ටියූලිප්—නොසන්සුන් අතීතයක් සහිත මලක්
නෙදර්ලන්තයේ පිබිදෙව්! වාර්තාකරු විසිනි
“ඕලන්දයේ වසන්ත සමය උදා වෙද්දී, එය හරියට අක්කර දහස් ගණනක් . . . පණගැන්විලා වගෙයි,” යනුවෙන් නෙදර්ලන්තයේ සංචාරක කාර්යාංශය ප්‍රකාශ කරයි. හිටි හැටියේම, වර්ණ රැසකින් යුත් ටියූලිප් මල් තීරුවලින් කෙත් වතු පිරී යන අතර, එහි අලංකාරය නැරඹීමට, ලොව වටා සිටින සංචාරකයෝ ඇදී එති. සුළං මෝල, චීස් සහ ලී සපත්තු යනාදිය ඕලන්දයට ආවේණික දේවල් වනවා සේම, අමුත්තන්ගෙන් බහුතරයකට මෙම ආකර්ෂණීය මෙන්ම ජනප්‍රිය මල්ද ඕලන්දයට ආවේනික ඒවා මෙන් වේ. එහෙත් ටියූලිප් මල්වල මූලාරම්භය ඇත්තෙන්ම තුර්කිය වූ බව ඔබ දැනගෙන සිටියාද?
ප්‍රාචීන මූලාරම්භයන් සහිත ඕලන්දයේ ටියූලිප් මල්
දොළොස්වන ශතවර්ෂය සටහන් කර තිබෙන තුර්කියේ විසිතුරු භාණ්ඩවල ටියූලිප් මල් දකින්ට තිබෙන නමුත්, යුරෝපීය පොත් පත්වල ටියූලිප් මල් ගැන ප්‍රථම වරට සඳහන් වන්නේ 1550 ගණන්වල බව උද්භිද විද්‍යාඥ ඇඩලේයීඩ් එල්. ස්ටෝක් සඳහන් කරයි. “විස්මිත විදේශිකයන්” කොන්ස්ටන්ටිනෝපල්හි (ඉස්තාන්බුල්හි) වෙළඳපොළවලින් අමුතු “ලොකු ලූනු ගෙඩි සහිත රතු මානෙල්” මිලට ගනිමින් සිටි බව 1553දී ප්‍රංශ ජාතික සංචාරකයෙක් ලීවේය. ස්වදේශීහූ එම මල තුර්කි භාෂාවෙන් “හිස්වැස්ම” යන අරුත දෙන ඩ්යූල්බෙන්ඩ් යනුවෙන් හැඳින්වූහ. එම වචනය “‘ටියූලිප්’ යන වචනයේ මුල” බවට පත් වූ බව ආචාර්ය ස්ටෝක් පැහැදිලි කරයි.
හිස්වැස්මක හැඩැති මෙම මල් ගැන උනන්දු වූ එක් විදේශිකයෙක් වූයේ, තුර්කියේ සිටි ඕස්ට්‍රියානු තානාපති, ඕචිර් ගීලැං ඩ බූස්බෙක්ය (1555-62). ඔහු අල කිහිපයක් කොන්ස්ටන්ටිනෝපල්වලින් වියෙනාවට ගෙන ගිය අතර, ඒවා හැප්ස්බර්ග්හි අගරජ වූ Iවන ෆර්ඩිනන්ඩ්ගේ උයනේ හිටවනු ලැබීය. එහිදී, කාරෝලූස් ක්ලූසිඋස් යන ලතින් නාමයෙන් වඩාත් ප්‍රසිද්ධ වූ, ප්‍රංශ ජාතික උද්භිද විද්‍යාඥයෙක් වූ ෂාර්ල් ඩි ලේක්ල්යූස්ගේ දක්ෂ සාත්තුව ලැබ, එම ටියූලිප් අල සරු ලෙස වැඩෙන්ට විය.
ටික කලකින්, ක්ලූසිඋස්ගේ කීර්තිය නෙදර්ලන්තයේ පිහිටි ලෙයිඩන් විශ්වවිද්‍යාලයේ අවධානයට ලක් වූ අතර, එම විශ්වවිද්‍යාලයේ උද්භිදෝද්‍යානයේ අධිකාරි වීමට ඔහුව පොලඹවන ලදි. වර්ෂ 1593 ඔක්තෝබර් මාසයේදී ක්ලූසිඋස් “ටියූලිප් අල කිහිපයක්” සමඟ ලෙයිඩන්වලට පැමිණියේය. මාස කිහිපයකට පසුව, 1594 වසන්ත සමයේදී, ක්ලූසිඋස්ගේ නව උයන නෙදර්ලන්තයේ ප්‍රථම ටියූලිප් මල පිපුණ පරිසරය බවට පත් විය.
ටියූලිප් උමතුව—නොසන්සුන් කාලපරිච්ඡේදයක්
ටියූලිප් මල්වල විචිත්‍ර වර්ණ සහ අසාමාන්‍ය හැඩයන් ඕලන්ද ජාතිකයන්ට චිත්තාකර්ෂණීය විය. තුර්කි ජාතික සුල්තාන්වරුන් එම අලවලට අධිකතර වටිනාකමක් නියම කිරීම සම්බන්ධයෙන් අසන්ට ලැබූ මනඃකල්පිත කතා නිසා, තරාතිරම ගැන සාවධානව සිටි සෑම පුරවැසියෙකුටම එය ආශා විය යුතු යමක් බවට පත් විය. වැඩි කල් යන්ට මත්තෙන්, ටියූලිප් මල් වගාව ලාභ ඉපයීමේ ව්‍යාපාරයක් බවට පත් විය. එමෙන්ම, සැපයුමට වඩා ඉල්ලුම වැඩි වෙන්ට පටන්ගත් විට, එම අලවල මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස්, ටුල්පන්ව්යූඩ නැතහොත් ටියූලිප් උමතුව යනුවෙන් ඕලන්ද ඉතිහාසඥයන් හඳුන්වන නොසන්සුන් කාලපරිච්ඡේදයක් උදා විය.
ටියූලිප් උමතුව මුදුන් පත් වූයේ, ටියූලිප් අල වඩාත්ම ජනප්‍රිය වෙළඳ භාණ්ඩය බවට පත් වූ 1630ගණන්වලදීය. ඒ දවස්වල විරල ටියූලිප් අල ගෙඩියක් මිල දී ගැනීමට වඩා, යෑන් ඩෙ හේම් (නිසල රූ සිතුවම් කළ 17වන සියවසේ ශ්‍රේෂ්ඨ ඕලන්ද ජාතික චිත්‍ර ශිල්පියෙක්) සිතුවම් කළ ටියූලිප් මලක චිත්‍රයක් මිල දී ගැනීම වඩාත් මිල අඩු දෙයක් වූ බව චිත්‍ර ඉතිහාසඥ ඔලිවර් ඉම්පී ප්‍රකාශ කරයි. මනාලියකට ගෙවන දෑවැද්ද සඳහා එක ටියූලිප් අලයක් ප්‍රමාණවත් විය. ඇළක් අයිනේ පිහිටි නිවසක් සඳහා මිල, අල ගෙඩි තුනක් විය. එමෙන්ම ටියූලිපි බ්රාස්රී වර්ගයේ අලයකට දියුණු වූ ඉස්කාගාරයක් ලබාගත හැකි විය. අල වෙළෙන්දුන්ට මසකට ඩොලර් 44,000ක් පමණ (වර්තමාන එ.ජ. විනිමයට අනුව) උපයාගැනීමට හැකි විය. එක් මූලාශ්‍රයකට අනුව, “ඕලන්දය පුරා තානායම් සහ තැබෑරුම්වල කතා බහ සහ ගනු දෙනු කේන්ද්‍රගත වූයේ, එකම දෙයක් වටාය—එනම් ටියූලිප් අලය.”
“එහි වටිනාකම ස්ථිරව ඉහළ නඟින්ට පටන්ගත් නිසා, ටියූලිප් වෙළෙඳාමෙන් මහත් ලාභ ලැබීමේ අපේක්ෂාවෙන් එම ව්‍යාපාරයෙහි යෙදීමට සාමාන්‍ය මධ්‍යම-පන්තියේ මෙන්ම දිළිඳු පවුල් බොහොමයකට බලවත් ආශාවක් ඇති වූ” බව ද නිව් එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා තවදුරටත් සඳහන් කරයි. “වැඩි මිලකට විකිණීම සඳහා අල මිල දී ගැනීමට, ගෙවල්, වතු සහ ව්‍යාපාර උගසට තබනු ලැබීය. එම අල උදුරාගනු ලැබීමෙන් තොරව පවා නැවත නැවත විකුණනු ලැබීය.” ඇසිපිය හෙළන ක්ෂණයකින් විශාල ධන සම්භාරයක් උපයාගන්නා ලදි. දිළින්දන් ධනවතුන් බවටත්; ධනවතුන් සුපිරි ධනවතුන් බවටත් පත් විය. ටියූලිප් අල ගනු දෙනුව වනාහි, මහත් ලාභ ලැබීමේ අපේක්ෂාවෙන් වියරු වැටුණු ආකාරයකින් ව්‍යාපාරයෙහි යෙදී සිටි අයගේ වෙළඳාමක් බවට පත් විය. එහෙත් හිටි හැටියේම, 1637දී, ගැණුම්කරුවන්ට වඩා විකුණුම්කරුවන්ගේ සංඛ්‍යාව වැඩි වූ අතර, වෙළඳාම බිඳ වැටිණ. එක් රැයකින්ම වාගේ, දහස් සංඛ්‍යාත ධනවත් ඕලන්ද ජාතිකයෝ දිළිඳුන් බවට පත් වූහ.
ප්‍රේම සම්බන්ධය දිගටම පවතියි
කෙසේවෙතත්, ටියූලිප් මල ආශ්රිත ප්‍රේම සම්බන්ධය, ටියූලිප් උමතුවේ පශ්චාත් ප්‍රතිඵලවලින් බේරුණ අතර, නැවතත් ටියූලිප් වෙළෙඳාම සඵල වීමට පටන්ගත්තේය. ඇත්තවශයෙන්ම, දහඅටවන ශතවර්ෂය වන විට, ඕලන්ද ටියූලිප් මල් කෙතරම් ජනප්‍රිය වී තිබුණාද කිවහොත්, තුර්කියේ IIIවන ආමට් නම් සුල්තාන්වරයෙක්, ඕලන්දයෙන් තම රටට දහස් සංඛ්‍යාත ටියූලිප් අල ආනයනය කළේය. එබැවින් දීර්ඝ ගමනකට පසුව, ඕලන්දයේ වැඩුණු තුර්කියේ ටියූලිප් පැළ නැවතත් ඒවායේ මුල් පසට ගෙනෙනු ලැබීය.
දැන්, ටියූලිප් මල් වගාව නෙදර්ලන්තයේ ප්‍රධාන ලාභ ඉපයීමේ මාධ්‍යයක් බවට පත් වී තිබේ—නැතහොත් ඇතමෙකු පවසන පරිදි ලස්සන ව්‍යාපාරයක් බවට පත් වී තිබේ. එම රටට අයත් වර්ග කිලෝමීටර 34,000න්, හෙක්ටාර 7,700ක් පමණ ටියූලිප් වගාව සඳහා යොදාගැනේ. සෑම වසරකම එම රටේ වගාකරුවන් 3,300දෙනා, රටවල් 80කටත් අධික සංඛ්‍යාවකට ටියූලිප් අල බිලියන දෙකක් පමණ අපනයනය කරති.
ටියූලිප්වලට නොසන්සුන් අතීතයක් තිබී ඇති නමුත්, මිදුලේ වැවීමට ප්‍රිය කරනු ලබන මෙම මල සමඟ වූ මිනිසාගේ ප්‍රේම සම්බන්ධය ස්ථිරව පැවත ඇත. ගෙවීගොස් ඇති ශතවර්ෂ ගණනාව පුරා, මෙම ලස්සන මලේ ශෝභන හැඩය සහ චිත්තාකර්ෂණීය වර්ණ, කැන්වස් රෙදි මත සහ කඩදාසි මත සිතුවම් කිරීමට හෝ විස්තර කිරීමට චිත්‍ර ශිල්පියෝ, කවියෝ සහ විද්‍යාඥයෝ පෙලඹී ඇත්තාහ. ඔවුන්ගෙන් කෙනෙකු වූ 18වන ශතවර්ෂයේ විසූ විද්‍යාඥ යෝහාන් ක්‍රිස්ටියාන් බේනමාන්, ජර්මානු භාෂාවෙන් ටියූලිප් මල ගැන ඒකලේඛයක් රචනය කළාට පසුව ඔහු එම නිබන්ධය නම් කළේ, ඩී ටූල්පෙ ට්සූම් රූම් ඊරස් ෂොප්ෆර්ස්, උන්ට් ෆර්ග්න්යූගුංජ් ඒඩ්ලර් ගෙම්යූටර් (මැවුම්කරුවාණන්ගේ මහිමය හා උදාර-සිත් ඇත්තවුන්ගේ ආස්වාදය සඳහා වූ ටියූලිප් මල) යනුවෙනි. ඔහුට මෙන්ම වෙනත් ලේඛකයන් බොහෝදෙනෙකුට, ටියූලිප් මල වනාහි “උයන්පල්ලාගේ මනාපය සේ භාවිත කිරීම සඳහා වූ දෙයක් පමණක් නොව, නමුත් එය එහි මැවුම්කරුවාණන්ගේ උදාරභාවයත් මහිමයත් පිළිබිඹු කරන” බව ඇඩිලෙයිඩ් ස්ටෝක් ප්‍රකාශ කරයි. මෙම සුමුදු මල දෙස බැලූ විට, මෙය පිළිගැනීමට අසීරු දෙයක් නොවන බව ඔබට හැඟෙනු ඇත.
[18වන පිටුවේ කොටුව]
ඔබේ ටියූලිප් මල් වගා කරන ආකාරය
ප්‍රමාණවත් ජල සැපයුමක් තිබෙනවා නම්, ඕනෑම වර්ගයේ පසක් ඊට යෝග්‍ය වේ. කෙසේවෙතත්, මතුපිට පස සමඟ වැලි, පීට් නැතහොත් කොම්පෝස්ට් පොහොර ආදිය මිශ්‍ර කිරීමෙන් පැළ කිරීම වඩාත් පහසු කරගත හැකිය.
ටියූලිප් අල ශරත් ඍතුවේදී සිටවන්න. එය කළ හැකි ක්‍රම දෙකකි: එක අලයකට එක වළක් බැගින් හෑරීමට හෝ අල සියල්ලක්ම එක විට හිටවීම සඳහා තවානක් දැමීමට හෝ ඔබට හැක.
ටියූලිප් අල හිටවීම සඳහා සුපුරුදු ක්‍රියා පටිපාටිය: අල හිටවිය යුත්තේ අලයේ උස මෙන් දෙගුණයක ගැඹුරකටය. එසේනම්, අල ගෙඩියේ පහළ කොටස (පැතලි පැත්ත) භූමියේ මතුපිටින් සෙන්ටිමීටර් 20ක් පමණ යටින් තිබිය යුතුයි. අල අතර පරතරය සෙන්ටිමීටර් 12ක් වන සේ තබන්න.
හාරාගත් පසෙන් අල ටික වසා, වැඩීම පටන්ගැනීමට හැකි වන පරිදි, එවෙලේම වතුර ඉහින්න. අධික තුහීන තිබෙන අවස්ථාවලදී පීට් හෝ කොළ රොඩු මිශ්‍රණයක තට්ටුවක් ඒ මත දැමීමෙන් පස වේළීමෙන් වළක්වාගත හැක. වසන්ත සමයේදී දළුලන්ට පටන් ගනිද්දී, කොළ රොඩු මිශ්‍රණය ඉවත් කරන්න.
පෙති මැලවීමට පටන්ගන්නා විට, මල කපා ඉවත් කරන්න; නොඑසේනම්, ඉන් බීජ හටගැනීමට පටන්ගන්න අතර, ඊළඟ වසරේදී වැඩීමට අලයෙහි තැන්පත් වී ඇති ආහාර ඊට වැය වේ. පත්‍ර ආදිය ස්වාභාවිකව මැරෙන්ට හැර, ඒවා කහ පාට වන විට ඉවත් කරන්න.
තැන් තැන්වල එක එක අල ගෙඩිය හිටවනවා වෙනුවට, එකම වර්ගයට හා පාටට අයත් අල එකට හිටවන්න. එසේ කිරීමෙන් එක කොටසක් එකම වර්ණයෙන් වර්ණවත් වීමට සැලැස්විය හැකි අතර, එමගින් ඔබගේ මිදුලේ ඇති වන ලස්සන මල් දර්ශනය නැරඹීමෙන් ඔබට සතුටක් ලබාගත හැකි වනු ඇත.—ජාත්‍යන්තර මල් අල මධ්‍යස්ථානය, ඕලන්දය/නැෂනල් ජියොග්රැෆික්.
[17වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
දහසයවන පිටුව පහළ: Nederlands Bureau voor Toerisme; ඉහළ වම, මැද සහ ඉහළ දකුණ: Internationaal Bloembollen Centrum, Holland; 17වන පිටුව පහළ: Nederlands Bureau voor Toerisme/Capital Press