යෙහෝවාගේ මාර්ගයේ දිගටම ගමන් කරමින් සිටින්න
‘යෙහෝවා කෙරෙහි බලා සිටිමින් ඔහුගේ මාර්ගය රක්ෂා කරන්න; දේශය ඔබට උරුම වන පිණිස ඔහු ඔබව උසස් කරන්නේය.’—ගීතාවලිය 37:34.
1, 2. යෙහෝවාගේ මාර්ගයේ ගමන් කරනවා කීමෙන් දාවිත් අදහස් කළේ කුමක්ද? එමෙන්ම එය අදදින අපෙන් ඉල්ලා සිටින්නේ කුමක්ද?
“මා විසින් යා යුතු මාර්ගය මට දැක්වුව මැනව; මක්නිසාද ඔබ දෙසට මාගේ සිත ඔසවමි.” (ගීතාවලිය 143:8) දාවිත් රජුගේ එම වදන් අදදින සිටින ක්‍රිස්තියානීන්, මුළු හදින්ම වාගේ ප්රතිනාද කරයි. දෙවිව සතුටු කිරීමටත් ඔහුගේ මාර්ගයේ ගමන් කිරීමටත් ඔවුන්ට අවංක වුවමනාවක් ඇත. මෙයට ඇතුළත් වන්නේ මොනවාද? දාවිත් සම්බන්ධයෙන් ගත් කල, එයින් අදහස් කළේ දෙවිගේ ආඥා පැවැත්වීමත්, ජාතීන් සමඟ මිත්‍රකම් පවත්වාගන්නවා වෙනුවට, යෙහෝවාව විශ්වාස කිරීමත්ය. ඔව්, ඉන් අදහස් වූයේ අසල්වැසි මිනිසුන්ගේ දෙවිවරුන්ට නොව, නමුත් යෙහෝවාට පක්ෂපාතීව සේවය කිරීමයි. එහෙත්, යෙහෝවාට සේවය කිරීමේදී ක්‍රිස්තියානීන්ට ඉන් වැඩිමනත් දෙයක් අදහස් වෙයි.
2 එක් දෙයක් ගතහොත්, යෙහෝවාගේ මාර්ගයේ ගමන් කරනවා යන්නෙන් අදදින අදහස් වන්නේ, යේසුස් ක්‍රිස්තුස්ගේ මිදීමේ මිල පූජාව කෙරෙහි ඇදහිල්ල නිරූපණය කරමින්, “මාර්ගයද සැබෑවද ජීවනයද” ඔහු බව පිළිගැනීමයි. (යොහන් 3:16; 14:6; හෙබ්‍රෙව් 5:9) එමෙන්ම එයින් අදහස් වන්නේ, ‘ක්‍රිස්තුස්ගේ ව්‍යවස්ථාව’ සම්පූර්ණ කිරීමයි. තවද විශේෂයෙන්ම යේසුස්ගේ ආලේප ලත් සහෝදරයන් ඇතුළු අන්‍යයන් කෙරෙහි ප්‍රේමය පෙන්වීම ඊට අයත් වෙයි. (ගලාති 6:2; මතෙව් 25:34-40) යෙහෝවාගේ මාර්ගයේ ගමන් කරන අය ඔහුගේ ප්‍රතිපත්ති හා ආඥාවලට ප්‍රේම කරයි. (ගීතාවලිය 119:97; හිතෝපදේශ 4:5, 6) ක්‍රිස්තියානි මෙහෙයේ සහභාගි වීම සම්බන්ධයෙන් වූ ඔවුන්ගේ අනර්ඝ වරප්‍රසාදය ඔවුන් අගය කොට සලකයි. (කොලොස්සි 4:17; 2 තිමෝති 4:5) යාච්ඤාව, ඔවුන්ගේ ජීවිතයේ නිතිපතා කෙරෙන කොටසකි. (රෝම 12:12) තවද ඔවුන් ‘ඥානය නැත්තන් මෙන් නොව ඥානවන්තයන් මෙන් පරෙස්සමින් හැසිරෙන්ට [ගමන් කිරීමට, NW] බලාගනියි.’ (එපීස 5:15) තාවකාලික ද්‍රව්‍යමය වාසි නිසා හෝ නීතිවිරෝධී මාංසමය ආශාවන් නිසා හෝ ඔවුන් තම ආත්මික වස්තූන් පරිත්‍යාග කරන්නේ නැහැ. (මතෙව් 6:19, 20; 1 යොහන් 2:15-17) තවදුරටත්, යෙහෝවා කෙරෙහි පක්ෂපාතීත්වය හා ඔහු කෙරෙහි විශ්වාසය ඉතා වැදගත්ය. (2 කොරින්ති 1:9; 10:5; එපීස 4:24) ඇයි? මන්දයත් අපේ තත්වය එදා සිටි ඉශ්රායෙල්වරුන්ට බොහෝ සෙයින් සමාන නිසයි.
විශ්වාසය හා පක්ෂපාතීත්වය සඳහා අවශ්‍යතාවක්
3. පක්ෂපාතකම, ඇදහිල්ල හා විශ්වාසය යෙහෝවාගේ මාර්ගයේ ගමන් කරමින් සිටීමට අපට උපකාරවත් වනු ඇත්තේ මන්ද?
3 දේවතා රූපවලට නමස්කාර කිරීමේදී දුරාචාරමය උත්සවයන්වලට සහභාගි වූ මිත්‍රශීලී නැති අසල්වැසියන්ගෙන් කුඩා ඉශ්රායෙල් ජාතිය වටව සිටියා. (1 ලේකම් 16:26) එකම සැබෑ අදෘශ්‍යමාන දෙවිට සේවය කළේ ඉශ්රායෙල්වරුන් පමණයි. තවද එවන් උසස් සදාචාර ප්‍රමිතිවලට අනුකූල වන හැටියට යෙහෝවා ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. (ද්විතීය කථාව 6:4) එයාකාරයෙන්ම අදදින, යෙහෝවාට සේවය කරන්නේ මිලියන කිහිපයක් පමණකි. තවද ඔවුන් ජීවත් වන්නේ, තමන්ගේ ප්‍රමිතීන්ට හා ආගමික දෘෂ්ටියට බොහෝ සෙයින් වෙනස් වූ බිලියන හයකට ආසන්න සංඛ්‍යාවක් ජීවත් වන ලෝකයකයි. අපත් එම මිලියන කිහිපයට ඇතුළත් නම්, වැරදි ආකාරයෙන් බලපෑම් ලැබීමට එරෙහිව පරෙස්සම් විය යුතුයි. ඒ කොහොමද? යෙහෝවා දෙවිට පක්ෂපාත වීම, ඔහු කෙරෙහි ඇදහිල්ල නිරූපණය කිරීම හා ඔහු තම පොරොන්දු ඉටු කිරීමට යනවාය කියා විශ්වාස කිරීම මගින්ය. (හෙබ්‍රෙව් 11:6) මෙය, ලෝකයා බලාපොරොත්තු තබන දේවල් කෙරෙහි විශ්වාසය තැබීමෙන් අපව වළක්වාලන්න යනවා.—හිතෝපදේශ 20:22; 1 තිමෝති 6:17.
4. ජාතීන් “තේරුම්ගැනීමෙන් අඳුරුව” සිටින්නේ ඇයි?
4 මෙසේ ලියද්දී, ක්‍රිස්තියානීන් ලෝකයාගෙන් කොතරම් වෙනස් විය යුතුදැයි ප්‍රේරිත පාවුල් පෙන්නුම් කළා: “එබැවින් අන්‍යජාතීන් තමුන්ගේ සිත්වල නිෂ්ඵලකමින් හැසිරෙන්නාක්මෙන් [ගමන් කරන්නාක් මෙන්, NW], නුඹලා තවත් නොහැසිරෙන්නැයි [ගමන් නොකරන්නයයි, NW] [ස්වාමීන්] තුළ සාක්ෂිදෙමින් කියමි. ඔව්හු තමුන්ගේ තේරුම්ගැනීමෙන් අඳුරුව, තමුන් තුළ ඇත්තාවූ අඥානකම නිසාද තමුන්ගේ සිත් දැඩිවීම නිසාද [දෙවි] කෙරෙන්වූ ජීවනයට විදේශීව සිටිති.” (එපීස 4:17, 18) යේසුස් “සත්‍යවූ ආලෝකය” වෙයි. (යොහන් 1:9) ඔහුව ප්‍රතික්ෂේප කරන හෝ ඔහුව විශ්වාස කරනවායයි කියන එහෙත් ‘ක්‍රිස්තුස්ගේ ව්‍යවස්ථාවට’ අකීකරු වන අය “තේරුම්ගැනීමෙන් අඳුරුව” සිටියි. යෙහෝවාගේ මාර්ගයේ ඇවිදිනවා වෙනුවට ඔවුන් “[දෙවි] කෙරෙන්වූ ජීවනයට විදේශිව” සිටියි. කොහොම වුණත්, තමන් කොතරම් ප්‍රඥාවන්තයයි සිතුවත්, ජීවනයට මඟ පාදන එකම දැනුම වන යෙහෝවා හා යේසුස් ක්‍රිස්තුස් පිළිබඳ දැනුම සම්බන්ධයෙන් ‘අඥානකමක් ඔවුන් තුළ’ ඇත.—යොහන් 17:3; 1 කොරින්ති 3:19.
5. ලෝකය තුළ සත්‍යයේ ආලෝකය බැබළෙමින් තිබුණත්, බොහෝ හෘදයන් ප්‍රතිචාරය නොදක්වන්නේ මන්ද?
5 එහෙත්, සත්‍යයේ ආලෝකය ලෝකයේ බැබළෙමින් පවතියි! (ගීතාවලිය 43:3; පිලිප්පි 2:15) සැබෑ “ප්‍රඥාව වීථියෙහි මොරගසයි.” (හිතෝපදේශ 1:20) පසුගිය වසරේදී, යෙහෝවා දෙවි හා යේසුස් ක්‍රිස්තුස් ගැන තම අසල්වැසියන්ට කතා කිරීමට, යෙහෝවාගේ සාක්ෂිකරුවන් පැය බිලියනයකට වැඩිය ගත කළා. සියදහස් ගණන් ප්‍රතිචාරය දැක්වූවා. නමුත්, වෙනත් බොහෝදෙනෙක් ප්‍රතිචාරය දැක්වීමට අසමත් වීම ගැන අප පුදුම විය යුතුද? නැහැ. “සිත් දැඩිවීම” ගැන පාවුල් කතා කළා. ආත්මාර්ථකාමීත්වය නිසා හෝ මුදලට ඇති ප්‍රේමය නිසා සමහර අයට ප්‍රතිචාරය නොදක්වන හදවත් තිබෙනවා. වෙනත් අය බොරු ආගම මගින් හෝ පුළුල්ව පැතිරි ඇති ලෞකික ආකල්පය මගින් බලපෑම් ලබා ඇත. ජීවිතයේ කුරිරුසහගත අද්දැකීම් හේතුවෙන් සමහරු දෙවිට පිටු පා ඇත. වෙනත් අය යෙහෝවාගේ උසස් සදාචාර ප්‍රමිතිවලට අනුව ජීවත් වීමට කැමති වන්නේ නැහැ. (යොහන් 3:20) යෙහෝවාගේ මාර්ගයේ ගමන් කරන අය එවන් පැති සම්බන්ධයෙන් අසංවේදී විය හැකිද?
6, 7. ඉශ්රායෙල්වරුන් යෙහෝවා දෙවිගේ නමස්කාරකයන් වුණත්, ඔවුන් වැටුණේ කෙබඳු අවස්ථාවන්හිදීද? එමෙන්ම ඇයි?
6 පාවුල් පෙන්නුම් කළ ආකාරයට පුරාණ ඉශ්රායෙල්වරුන්ට එම දෙයම සිදු වුණා. ඔහු මෙසේ ලිව්වා: “ඉදින් ඔවුන් නපුරු දේවලට ආශාවුණාක්මෙන් අප විසිනුත් ආශා නොවන පිණිස මේ කාරණා අපට ආදර්ශ විය. සෙනඟ කන්ටද බොන්ටද හිඳ, ක්‍රීඩාකරන්ට [විනෝද වීමට, NW] නැගුටුණෝයයි ලියා තිබෙන ලෙස, ඔවුන්ගෙන් සමහරෙකුමෙන් රූපවඳින්නෝ නොවෙන්න. ඔවුන්ගෙන් සමහරෙක් වේශ්‍යාකම් කළාක්මෙන් අපි වේශ්‍යාකම් නොකරමු, එයින් එක දවසෙහි විසිතුන්දහස් දෙනෙක් විනාශවුණෝය.”—1 කොරින්ති 10:6-8.
7 ඉශ්රායෙල්වරුන්, සීනයි කන්ද පාමුලදී රන් වස්සෙකුට නමස්කාර කළ අවස්ථාව ගැන පාවුල් පළමුව සඳහන් කරනවා. (නික්මයාම 32:5, 6) එය, කීකරු වීමට සති කිහිපයකට කලින් ඔවුන් කැමති වූ දිව්‍ය අණක් කෙළින්ම කඩ කිරීමක් වුණා. (නික්මයාම 20:4-6; 24:3) අනතුරුව, ඉශ්රායෙල්වරු මෝවබ්හි කාන්තාවන් සමඟ බාල්ට දණ නැමූ අවස්ථාව ගැන පාවුල් කතා කරනවා. (ගණන් කථාව 25:1-9) වසු නමස්කාරයෙන් අදහස් කළේ, ඉඳුරන් පිනවීමේ අන්තයටම යෑමයි, එනම්, ‘විනෝද වීමයි.’a බාල් වන්දනාව නිදහස් ලිංගික දුරාචාරයෙන් පිරී තිබුණා. (එළිදරව් 2:14) ඉශ්රායෙල්වරුන් මෙවැනි පාපයන් කළේ ඇයි? රූප වන්දනාව හෝ වේවා, එය සමඟ අත්වැල් බැඳ ගිය දුරාචාරමය පුරුදු හෝ වේවා, ඉශ්රායෙල්වරුන් තම හදවත් ‘නපුරු දේවලට ආශාවීම’ සඳහා ඉඩහැරියා.
8. ඉශ්රායෙල්වරුන්ගේ අද්දැකීමෙන් අපට උගත හැක්කේ කුමක්ද?
8 මෙවැනි සිදුවීම්වලින් අප ඉගෙනගත යුතු බව පාවුල් පෙන්නුම් කළා. කුමක්ද ඉගෙනගත හැක්කේ? ක්‍රිස්තියානියෙක් රන් වස්සෙකුට හෝ පුරාණයේ සිටි මෝවබීය දෙවිකෙනෙකුට දණ නමයි කියා සිතාගන්නවත් බැහැ. නමුත් දුරාචාරය හා සීමා රහිත ඉඳුරන් පිනවීමක් ගැන කුමක් කිව හැකිද? මේවා අද සුලභව දක්නට ලැබෙන අතර, අපේ හදවත් තුළ ඒවා වර්ධනය වීමට අප ඉඩ දුන්නොතින්, ඒවා අපව යෙහෝවාගෙන් ඈත් කරන්න යනවා. ප්‍රතිඵලය හරියට නිකම් අප රූප වන්දනාවේ නියැලුණා හා සමාන වෙන්න යනවා, එනම් දෙවි කෙරෙන් ඈත්වීමයි. (සසඳන්න කොලොස්සි 3:5; පිලිප්පි 3:19.) ඇත්තෙන්ම, තම සෙසු ඇදහිලිවන්තයන්ගෙන් මෙසේ උදක්ම ඉල්ලා සිටිමින් පාවුල් එම සිදුවීම් පිළිබඳ සාකච්ඡාව අවසන් කරයි: “රූප ඇදහීම කෙරෙන් පලා දුවන්න.”—1 කොරින්ති 10:14.
දෙවිගේ මාර්ගයේ ගමන් කිරීමට උපකාර
9. (අ) යෙහෝවාගේ මාර්ගයේ ගමන් කිරීමට අපට ලැබෙන උපකාරය කුමක්ද? (ආ) “පස්සෙන් කියන හඬ” ඇසෙන එක් ක්‍රමයක් නම් කරන්න.
9 යෙහෝවාගේ මාර්ගයේ ගමන් කිරීමට අප අධිෂ්ඨාන කරගෙන ඉන්නවා නම්, අපට උපකාර නොලැබී යන්නේ නැහැ. යෙසායා මෙසේ පුරෝකථනය කළා: “නුඹලා දකුණට හැරෙන විටද නුඹලා වමට හැරෙන විටද: මාර්ගය මේය, මෙහි හැසිරෙන්නැයි [ගමන් කරන්නයයි, NW] නුඹට පස්සෙන් කියන හඬක් නුඹේ කන්වලට ඇසෙන්ටත් යෙදෙනවා ඇත.” (යෙසායා 30:21) “පස්සෙන් කියන හඬක්,” ‘අපේම කන්වලට’ ඇසෙන්නේ කොහොමද? ඇත්තෙන්ම, කාටවත් අද දෙවිගේ ඇත්ත කටහඬ ඇසෙන්නේවත් ඔහුගෙන් පෞද්ගලික පණිවිඩයක් ලැබෙන්නේවත් නැහැ. ඇසෙන “හඬ” අප සියලුදෙනාටම ලැබෙන්නේ එකම ක්රමයකටයි. මුලින්ම, එය ආනුභාවයෙන් ලද ශුද්ධ ලියවිලි වන බයිබලයෙන් ලැබෙන අතර, එහි දෙවිගේ අදහස් හා මනුෂ්‍යයන් සමඟ ඔහු කළ කටයුතු වාර්තා වී තිබෙනවා. අප නිතරම “[දෙවි] කෙරෙන්වූ ජීවනයට විදේශී” වූ ප්රභවයන්වලින් ලැබෙන බොරු ප්‍රචාරයන්වලට නිරාවරණය වන නිසා, අප නිතිපතා බයිබලය කියවා එමත මෙනෙහි කිරීම අවශ්‍ය වනවා. මෙය අපට “සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස” “නිෂ්ඵල දේවලින්” වැළකීමට උපකාර කරනවා. (2 තිමෝති 3:16; ක්‍රියා 14:14, 15) එය අපව ශක්තිමත් කිරීමටත් බලසම්පන්න කිරීමටත් යන අතර, ‘අපේ මාර්ගය සඵල’ කරගැනීමටත් උපකාරවත් වන්න යනවා. (යෝෂුවා 1:7, 8) එහෙත් යෙහෝවාගේ වචනය මෙසේ දිරිගන්වයි: “එබැවින් මාගේ පුත්‍රයෙනි, මට ඇහුම්කන්දෙන්න. මක්නිසාද මාගේ මාර්ග රක්ෂාකරන්නෝ වාසනාවන්තයෝය. ඉගැන්වීම එපා නොකොට, එය අසා නැණවත් වෙන්න.”—හිතෝපදේශ 8:32, 33.
10. “පස්සෙන් කියන හඬ” ඇසෙන දෙවන ක්‍රමය කුමක්ද?
10 “පස්සෙන් කියන හඬ” ‘විශ්වාස වූ නුවණ ඇති දාසයාගෙන්’ ලැබෙන අතර, එම පංතිය “නියම වේලාවට කෑම” සපයයි. (මතෙව් 24:45-47) මෙම ආහාර බෙදාහරිනු ලබන එක් ක්‍රමයක් වන්නේ බයිබලය මත පදනම් වූ මුද්‍රිත ප්රකාශනවලිනි. තවද මෑත කාලවලදී මෙම ආහාර සැපයුම බහුල වී ඇත. උදාහරණයක් හැටියට, මුරටැඹ මගින් අනාවැකි පිළිබඳ අපේ තේරුම්ගැනීම අලුත් වී තිබෙනවා. මෙම සඟරාවේ, වර්ධනය වන උදාසීනත්වය මධ්‍යයේ දේශනා කිරීමේ හා ගෝලයන් සෑදීමේ වැඩයේ දිගටම පැවතීමට දිරිගන්වා ඇති අතර, බොරුවළවල් මඟහැරීමටත්, කදිම ක්‍රිස්තියානි ගුණාංග වර්ධනය කරගැනීමටත් උනන්දු කර තිබෙනවා. මෙලෙස නියම වේලාවට ලැබෙන ආහාර අප කොතරම් අනර්ඝ කොට තකනවාද!
11. “පස්සෙන් කියන හඬ” ඇසෙන තෙවන ක්‍රමය පැහැදිලි කරන්න.
11 නිතිපතා පවත්වන්නාවූ අපේ රැස්වීම් තුළින් පවා විශ්වාස වූ නුවණ ඇති දාසයා ආහාර සපයයි. ප්‍රාදේශීය සභා රැස්වීම්, වසරකට දෙවතාවක් පවත්වන චාරිකා මට්ටමේ රැස්වීම් හා වාර්ෂිකව පවත්වන වඩා විශාල සමුළු මීට ඇතුළත් වෙනවා. එවන් එකතු වීම් අගය කොට සලකන්නේ නැත්තේ කොයි ඇදහිලිවන්ත ක්රිස්තියානිවරයාද? යෙහෝවාගේ මාර්ගයේ ගමන් කිරීමේදී අපට සහය වීමට ඒවා වැදගත් වනවා. බහුතරයකට තමන්ගේ ඇදහිල්ලට අයත් නොවූ අය සමඟ රැකියාවේදී හෝ පාසැලේදී වැඩි කාලයක් ගත කිරීමට සිදු වන හෙයින්, නිතිපතා කරන ක්‍රිස්තියානි ඇසුර ඇත්තෙන්ම ජීවිත ගළවයි. ‘ප්‍රේමයටත් යහපත් ක්‍රියාවලට පෙලඹවීමටත්’ රැස්වීම් කදිම අවස්ථාවක් සලසයි. (හෙබ්‍රෙව් 10:24) අප අපේ සහෝදරයන්ට ප්‍රේම කරන අතර, ඔවුන් සමඟ කරන ආශ්රයටත් ප්‍රිය කරයි.—ගීතාවලිය 133:1.
12. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට ඇත්තේ කෙබඳු අධිෂ්ඨානයක්ද? තවද ඔවුන් එය මෑතකදී පළ කළේ කොහොමද?
12 එවන් ආත්මික ආහාරවලින් ශක්තිමත් වෙමින්, මිලියන හයක පමණ පිරිසක් යෙහෝවාගේ මාර්ගයේ ගමන් කරමින් සිටින අතර, තවත් මිලියන සංඛ්‍යාවක් එසේ කරන්නේ කෙසේද කියා ඉගෙනගනිමින් සිටිනවා. ලෝකයේ සිටින බිලියන සංඛ්‍යාත ජනගහනය සමඟ සාපේක්ෂව බලන කල, මොවුන් සංඛ්‍යාවෙන් සුළු පිරිසක් නිසා අධෛර්යය හෝ දුර්වල වනවාද? කොහෙත්ම නැහැ! යෙහෝවාගේ කැමැත්ත කරමින්, ‘පස්සෙන් කියන හඬට’ සවන් දෙන්න ඔවුන් අධිෂ්ඨානපූර්වකව සිටිනවා. “ජීවිතය සඳහා දෙවිගේ මඟ” යන 1998/99 දිස්ත්‍රික් හා ජාත්‍යන්තර සමුළුවලට පැමිණි නියෝජිතයන්, තම හෘදයාංගම ස්ථාවරය ප්‍රසිද්ධ සාක්ෂියක් හැටියට සම්මුතියක් මගින් ස්ථිර කරගත්තා. මතු දැක්වෙන්නේ එම සම්මුතියේ පාඨයයි.
සම්මුතිය
13, 14. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට ලෝකයේ තත්වය ගැන ඇත්තේ කෙබඳු යථාර්ථවාදී දෘෂ්ටියක්ද?
13 “ ‘ජීවිතය සඳහා දෙවිගේ මඟ’ සමුළුවට පැමිණ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් වන අප, ජීවිතය සඳහා හොඳම මඟ දෙවිගේ මඟ බව හද පත්ලෙන්ම පිළිගනිමු. කෙසේවෙතත්, අදදින මනුෂ්‍යවර්ගයාගෙන් බහුතරයකට හැඟෙන්නේ වෙනස් ආකාරයකට බව අපි තේරුම්ගෙන ඇත්තෙමු. ජීවිතය සඳහා හොඳම මඟ පිහිටුවීමේ අරමුණ පෙරදැරි කරගෙන, මිනිස් සමාජය විසින් බොහෝ සංකල්ප, දර්ශනවාද සහ ආගමික සිතුවිලි අත්හදා බලා ඇත. මිනිස් ඉතිහාසය මෙන්ම අදදින ලෝක තත්වය දෙස අවංක බැල්මක් හෙළීමෙන්, යෙරෙමියා 10:23හි ඇති දිව්‍ය ප්‍රකාශයේ ඇති සත්‍යභාවය තහවුරු කරගත හැකිය: ‘ගමනෙහි යෙදෙන මනුෂ්‍යයාට තමාගේ ගමන නියම කිරීම අයිති නැත.’
14 “එම වචනවල සත්‍යභාවය තහවුරු කරන වැඩිමනත් සාක්ෂි ගෙවී යන සෑම දිනකම අපි දකින්නෙමු. මිනිස් සමාජයෙන් වැඩි කොටසක් ජීවිතය සඳහා දෙවිගේ මඟ නොසලකා හරිති. තම දෙනෙත්වලට හරියයි පෙනෙන දේ ජනයා ලුහුබඳිති. ප්‍රතිඵල ශෝචනීය වී තිබේ. දරුවන්ට මඟ පෙන්වීමක් නොදීම හේතුවෙන් පවුල් ජීවිතය බිඳ වැටීම, ඉවක් බවක් නැතුව ද්‍රව්‍යවාදය හඹා යෑමේ ප්‍රතිඵලයක් ලෙස නිස්සාරබවින් සහ අධෛර්යයෙන් අවසන් වීම, අසංඛ්යාතදෙනෙක් ගොදුරු කරගන්නා තේරුමක් නැති අපරාධ සහ සැහැසියාව, අප්‍රසන්න ලෙස බොහෝ මිනිස් ජීවිත ඩැහැගනිමින් කෙරෙන මානවවංශික අරගල සහ යුද්ධ, ලිංගිකව බෝවන රෝග නම් වසංගතයට ගිනි අවුළන දසත පැතුරුණු ලිංගික දුරාචාරය. මේවා සන්තෝෂයේ, සමාදානයේ සහ සුරක්ෂිතභාවයේ ලුහුබැඳීම් හා ගැටෙන සංකීර්ණ ගැටලු රාශියකින් කිහිපයක් පමණි.
15, 16. ජීවිතය සඳහා දෙවිගේ මඟ සම්බන්ධයෙන් ගත් කල, සම්මුතිය තුළ කියවුණේ කුමන අධිෂ්ඨානයක්ද?
15 “මිනිස්වර්ගයාගේ අතිදුඃඛිත තත්වය සහ අර්මගෙදොන් ලෙස හඳුන්වන, ‘සර්වපරාක්‍රම දෙවිගේ මහත් දවසේ යුද්ධය’ (එළිදරව් 16:14, 16) ගැන මනසේ තබාගෙන, යෙහෝවාගේ සාක්ෂිකරුවන් වන අපි මෙසේ සම්මත කරගනිමු.
16 “පළමුව: අප යෙහෝවා දෙවිට අයිති බවත්, අප එක් එක්කෙනා ඔහුට කොන්දේසි විරහිත කැපවීමක් කර ඇති බවත් අප සලකන අතර, තම පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්ගේ මිදීමේ මිලය තුළින් දුන් යෙහෝවාගේ සැපයුම කෙරෙහි නොසැලෙන ඇදහිල්ලක් පවත්වාගන්නෙමු. ජීවිතය සඳහා දෙවිගේ මඟෙහි ගමන් කිරීමටත්, ඔහුගේ සාක්ෂිකරුවන් ලෙස සේවය කිරීමටත්, යේසුස් ක්‍රිස්තුස්ගේ පාලන තන්ත්රය මගින් ක්‍රියාත්මක වන ඔහුගේ පරමාධිපත්‍යයට යටත් වීමටත් අප අධිෂ්ඨාන කරගන්නෙමු.
17, 18. සදාචාර ප්‍රමිති හා ක්‍රිස්තියානි සහෝදරත්වය සම්බන්ධයෙන් ගත් කල, යෙහෝවාගේ සාක්ෂිකරුවන් පවත්වාගනු ඇත්තේ කිනම් ස්ථාවරයක්ද?
17 “දෙවනුව: බයිබලයේ සඳහන් උසස් සදාචාර සහ ආත්මික ප්‍රමිතීන්ට අප දිගටම ඇලී සිටිමු. අන්‍ය ජාතීන් තමන්ගේ මනස්වල නිෂ්ඵලකමින් ගමන් කරන්නාක් මෙන් ගමන් කිරීමෙන් වැළකී සිටීමට අපි අධිෂ්ඨාන කරගෙන ඇත්තෙමු. (එපීස 4:17-19) යෙහෝවා ඉදිරියේ පවිත්‍රව සිටීමත්, ලෝකයෙන් කැළැල් නොවී සිටීමත් අපේ සම්මුතියයි.—යාකොබ් 1:27.
18 “තෙවනුව: ලෝක ව්‍යාප්ත ක්‍රිස්තියානි සහෝදරත්වයක් හැටියට, අපි අපේ ශුද්ධ ලියවිලිමය ස්ථාවරයෙහි දිගටම රැඳී සිටිමු. වාර්ගික, ජාතික සහ මානවවංශික වෛරයේ හෝ වාද විවාදවලට අපව හසු කර නොගෙන, ජාතීන් අතරෙහි, අප අපේ ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවය පවත්වාගනිමු.
19, 20. (අ) ක්‍රිස්තියානි දෙමාපියන් කරනු ඇත්තේ කුමක්ද? (ආ) සියලුම සැබෑ ක්‍රිස්තියානීන් තමන්ව ක්‍රිස්තුස්ගේ ගෝලයන් හැටියට දිගටම හඳුන්වා දෙනු ඇත්තේ කොහොමද?
19 “හතරවනුව: දෙමාපියන් වන අප, අපේ දරුවන් තුළ දෙවිගේ මඟ පැලපදියම් කරමු. නිතිපතා බයිබලය කියවීම, පවුලේ පාඩම සහ ක්‍රිස්තියානි සභාවෙහි මෙන්ම ක්ෂේත්‍ර සේවයෙහි ප්‍රාණ-පූර්ණ ලෙස හවුල් වීම ඇතුළත්, ක්‍රිස්තියානි ජීවිතයෙහි ආදර්ශයක් තබමු.
20 “පස්වනුව: අප සියලුදෙනාම, අපේ මැවුම්කරු පිළිබිඹු කරන දිව්‍ය ගුණාංග වගා කිරීමට වෑයම් කරමු. එමෙන්ම, යේසුස් කළාක් මෙන්, ඔහුගේ පෞද්ගලිකත්වයත්, ඔහුගේ මඟත් අනුකරණය කිරීමට උත්සාහ කරමු. (එපීස 5:1) අපගේ සියලු කටයුතු ප්‍රේමයෙන් සිදු කිරීමටත්, එසේ කිරීමෙන් අප යේසුස්ගේ ගෝලයන් බව හඳුන්වා දීමත් අපගේ සම්මුතිය කරගනිමු.—යොහන් 13:35.
21-23. යෙහෝවාගේ සාක්ෂිකරුවන් දිගටම කරනු ඇත්තේ කුමක්ද? තවද ඔවුන්ට ඒත්තුගොස් ඇත්තේ කුමක්ද?
21 “හයවනුව: දෙවිගේ රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමත්, ගෝලයන් සෑදීමත් අඩුවක් නැතුව අප දිගටම කරගෙන යන අතර, අප ඔවුන්ට ජීවිතය සඳහා දෙවිගේ මඟ උගන්වා, සභා රැස්වීම්වලදී තවත් පුහුණුව ලබන්න දිරිගන්වන්නෙමු.—මතෙව් 24:14; 28:19, 20; හෙබ්‍රෙව් 10:24, 25.
22 “හත්වනුව: පුද්ගලයන් හැටියට සහ ආගමික සංවිධානයක් හැටියට, අප දෙවිගේ කැමැත්ත අපගේ ජීවිතයේ පළමු තැනට තැබීම දිගටම කරගෙන යන්නෙමු. දෙවිගේ වචනය ලෝකයේ මාර්ගවලට වඩා ඉතා උසස් බව සනාථ කරමින්, දේවවචනය වන බයිබලය අපගේ මඟ පෙන්වීම ලෙස යොදාගෙන, අප වමටවත් දකුණටවත් නොහැරී සිටිමු. ජීවිතය සඳහා දෙවිගේ මඟ ලුහුබැඳීමට අප අධිෂ්ඨාන කරගෙන සිටිමු. එසේ කර තිබෙන්නේ, ස්ථිර ලෙසත්, පක්ෂපාත ලෙසත්, දැනටත් සදාකාලයටත්ය!
23 “අප මෙම සම්මුතිය ඉදිරිපත් කරන්නේ, දෙවිගේ කැමැත්ත කරන අය සදාකාලයටම ජීවත් වන බව පවසා ඇති යෙහෝවාගේ ප්‍රේමනීය පොරොන්දුව කෙරෙහි ඇති අපගේ පූර්ණ විශ්වාසය නිසයි. අප මෙම සම්මුතිය ඉදිරිපත් කරන්නේ, බයිබල් ප්‍රතිපත්ති, උපදෙස් සහ අනුශාසනාවලට එකඟව ජීවත් වීම ජීවිතය සඳහා අදට ඔබින හොඳම මඟ සාදා දෙන බවටත්, සැබෑ ජීවනය තදින් අල්ලාගැනීමට අපට හැකි වන පිණිස අනාගතයට යහපත් අත්තිවාරමක් දමා දෙන බවටත් අප ඒත්තුගෙන ඇති නිසයි. (1 තිමෝති 6:19; 2 තිමෝති 4:7ආ, 8) මේ සියල්ලටම වඩා, අප මෙම සම්මුතිය ඉදිරිපත් කරන්නේ, අප යෙහෝවා දෙවිට අපේ මුළු හෘදයෙන්ද, ප්‍රාණයෙන්ද, බුද්ධියෙන්ද, ශක්තියෙන්ද ප්‍රේම කරන නිසයි!
24, 25. නිර්දේශිත සම්මුතියේ ප්‍රතිචාරය වූයේ කුමක්ද? එමෙන්ම යෙහෝවාගේ මාර්ගයේ ගමන් කරන අයගේ අධිෂ්ඨානය කුමක්ද?
24 “මෙම සම්මුතිය ස්ථිර කිරීමට පක්ෂ, මෙම සමුළුවට පැමිණ සිටින ඔබ සියලුමදෙනා, කරුණාකර එසේය කියා කියන්න!”
25 “එසේය!” කියා පැමිණ සිටි සියල්ලන් මහත් හඬින් පිළිතුරු දෙද්දී, ක්‍රීඩාංගණ හා රංගන ශාලා පුරා එය රැව් පිළිරැව් දුන්නා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට යෙහෝවාගේ මාර්ගයේ දිගටම ගමන් කිරීමට වුවමනා බවට කිසිම සැකයක් නැහැ. යෙහෝවා කෙරෙහි ඔවුන්ට පූර්ණ විශ්වාසයක් ඇති අතර ඔහුගේ පොරොන්දු ඔහු ඉටු කරාවිය කියා ඔවුන්ට ඇදහිල්ලක් ඇත. කුමක් සිදු වෙතත්, ඔවුන් පක්ෂපාතීව සිටියි. ඔහුගේ කැමැත්ත කිරීමට ඔවුන් අධිෂ්ඨානපූර්වකව සිටියි.
‘දෙවි අපේ පක්ෂයට’
26. යෙහෝවාගේ මාර්ගයේ ගමන් කරන අයගේ සතුටුදායක තත්වය කුමක්ද?
26 ගීතිකාකරුගේ ඉල්ලීම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට හොඳින් මතකයි: ‘යෙහෝවා කෙරෙහි බලා සිටිමින් ඔහුගේ මාර්ගය රක්ෂා කරන්න; දේශය ඔබට උරුම වන පිණිස ඔහු ඔබව උසස් කරන්නේය.’ (ගීතාවලිය 37:34) පාවුල්ගේ දිරිගන්වන වචනද ඔවුන්ට අමතක වී නැහැ: ‘එසේ වී නම් මේ කාරණා ගැන කුමක් කියමුද? දෙවි අපේ පක්ෂයට සිටින්නේ නම්, අපට විරුද්ධ වෙන්නේ කවුද? තමන්ගේම පුත්‍රයා ඉතුරු කර නොගෙන අප සියල්ලන් උදෙසා පාවා දුන්නාවූ තැනැත්තා පුත්‍රයා ඇතුළුව අනිකුත් සියල්ල අපට නොදෙන්නේ කෙසේද?’ (රෝම 8:31, 32) එසේය, අප දිගටම යෙහෝවාගේ මාර්ගයේ ගමන් කරමින් සිටියොත්, ‘සියල්ල භුක්ති විඳීම සඳහා’ ඔහු අපට ‘බහුල ලෙස සපයා දෙයි.’ (1 තිමෝති 6:17) අපගේ හිතාදර සහෝදර සහෝදරියන් සමඟ යෙහෝවාගේ මාර්ගයේ ගමන් කරමින් සිටිනවාට වඩා තව හොඳ දෙයක් ඇද්ද! යෙහෝවා අපේ පැත්තේ සිටින නිසා, එතැන සිටීමට අපි අධිෂ්ඨාන කරගෙන අන්තිමය දක්වා විඳදරාගනිමු. එමෙන්ම ඔහුගේ සෑම පොරොන්දුවක්ම ඔහුගේ නියමිත කාලයේදී ඉටු කරනු ඇතැයි කියා අප පූර්ණ වශයෙන් නිසැක වෙමු.—තීතස් 1:1.
[පාදසටහන]
a “විනෝද වීම” ලෙස පරිවර්තනය කර ඇති ග්‍රීක් වචනයට යොමු දක්වමින් ශබ්දකෝෂ විශාරදයෙක් කියන්නේ එය මිථ්‍යදෘෂ්ටික උත්සවවල සිදු වූ නැටුම්වලට යොමු දක්වන බවයි. ඔහු තවදුරටත් මෙලෙසද පවසයි: “මෙම නැටුම්වලින් බොහොමයක්ම සිදු කළේ රාගය උපරිමයෙන් ඇවිස්සීම සඳහාය යන්න හොඳින් දන්නා කරුණකි.”
ඔබට මතකද?
◻ යෙහෝවාගේ මාර්ගයේ ගමන් කිරීමට ක්‍රිස්තියානියෙකුගෙන් අවශ්‍ය වන්නේ කුමක්ද?
◻ යෙහෝවා කෙරෙහි විශ්වාසයත් පක්ෂපාතීත්වයත් අප වර්ධනය කරගත යුත්තේ මන්ද?
◻ යෙහෝවාගේ මාර්ගයේ අප ගමන් කිරීමත් සමඟ අපට ලබාගත හැකිව තිබෙන උපකාරය කුමක්ද?
◻ “ජීවිතය සඳහා දෙවිගේ මඟ” යන සමුළුවල ස්ථිර කරගත් සම්මුතියේ විශේෂාංග කිහිපයක් පෙන්නුම් කරන්න.
[18වන පිටුවේ පින්තූර]
“ජීවිතය සඳහා දෙවිගේ මඟ” යන දිස්ත්‍රික් හා ජාත්‍යන්තර සමුළුවල වැදගත් සම්මුතියක් ස්ථිර කරගත්තා