නූතන ජීවිතය සඳහා ප්‍රායෝගික පොතක්
උපදෙස් ලබා දෙන පොත් අද ලෝකයේ හරිම ජනප්‍රියයි. නමුත් ඒවා යල්පනින්න බලාගෙනයි ඉන්නේ; එහෙම වෙච්ච ගමන්ම ඉක්මනින් සංශෝධනය කරනවා නැත්නම් වෙන එකක් ඒ වෙනුවට ලියනවා. බයිබලය ගැන මොනවාද කියන්න පුළුවන්? එය සම්පූර්ණ කළේ දැනට අවුරුදු 2,000කට විතර කලිනුයි. ඒත් ඒකෙ මුල් පණිවිඩය පෙරට වඩා දියුණු කරලවත් නවීකරණය කරලවත් නැහැ. එවැනි පොතකට, අදදින සිටින අප සඳහා, ප්‍රායෝගික මඟ පෙන්වීමක් කොහොම හරි ලබා දෙන්න පුළුවන්ද?
සමහරු කියනවා බැහැ කියලා. “අද කාලෙ තියෙන රසායනික විද්‍යා පංතියක උගන්වන කිසිම කෙනෙක්, 1924 ගහපු රසායනික විද්‍යා අත්පොතකින් උගන්වන්නේ නැහැ” කියා වෛද්‍ය ඊලයි එස්. චෙසන් ලිව්වේ, බයිබලය යල්පැනපු එකක් කියල ඔහුට හැඟෙන ආකාරය ගැන විස්තර කරමින්.1 පෙනෙන විදිහට නම්, මේ තර්කය සාධාරණයි. ඇයි කිව්වොත්, බයිබලය ලියපු දා ඉඳල මිනිස් චර්යාව සහ මානසික සෞඛ්‍යය ගැන මිනිසුන් ගොඩාක් දේවල් ඉගෙනගෙන තියෙනවා. ඉතිං එච්චර පරණ පොතක්, නූතන ජීවිතයට අදාළව පවතින්න පුළුවන් වෙන්නේ කොහොමද?
සදාකාලික මූලධර්ම
කාලයන් වෙනස් වෙලා තියෙන බව ඇත්ත වුණත්, මූලික මිනිස් අවශ්‍යතා එහෙම්මම තියෙනවා. ඉතිහාසය පුරාම මිනිසුන්ට ආදරයෙත් සෙනෙහසෙත් අවශ්‍යතාවක් තිබිලා තියෙනවා. ඔවුන්ට ප්‍රීතියෙන් ඉන්නත් අර්ථවත් ජීවිතයක් ගත කරන්නත් ඕනෙ වෙලා තියෙනවා. ආර්ථික පීඩන සමඟ පොරබදින්නේ කොහොමද, විවාහය සාර්ථක කරගන්නේ කොහොමද? ඔවුන්ගේ දරුවන් තුළ, හොඳ සදාචාරයන් සහ ආචාර ධර්මයන් පැලපදියම් කරන්නේ කොහොමද කියන එක ගැන ඔවුන්ට උපදෙස් අවශ්‍ය වෙලා තියෙනවා. එවැනි මූලික අවශ්‍යතා ගැන කතා කරන උපදෙස්, බයිබලයේ තියෙනවා.—දේශනාකාරයා 3:12, 13; රෝම 12:10; කොලොස්සි 3:18-21; 1 තිමෝති 6:6-10.
බයිබල් උපදෙස්, මිනිස් ස්වභාවය ගැන තියුණු අවබෝධයක් තියෙන බව පිළිබිඹු කරනවා. නූතන ජීවිතයට ප්‍රායෝගික වන සුවිශේෂී මෙන්ම සදාකාලික මූලධර්ම සමහරක උදාහරණ සලකල බලන්න.
විවාහයට ප්‍රායෝගික මඟ පෙන්වීම
එය “මිනිස් සංවිධානයේ ඉපැරණිම සහ ඉතාම කුඩා ඒකකයයි; පරම්පරාවන් අතර ඇති ඉතා වැදගත්ම පුරුකයි” කියලා යූඑන් ක්‍රොනිකල් කියනවා. කෙසේවෙතත්, මේ “ඉතා වැදගත්ම පුරුක” තැතිගන්වන වේගයෙන් සුනුවිසුනු වෙමින් යනවා. “වර්තමාන ලෝකයේ පවුල් බොහොමයක්, ක්‍රියාත්මක වීම සඳහා, ඇත්තෙන්ම බේරී පැවතීම සඳහා තමුන්ගේ හැකියාවට තර්ජනය එල්ල කරන අසීරු අභියෝගයන්ට මුහුණ දෙන” බව ක්‍රොනිකල් සඳහන් කරනවා.2 පවුල් ඒකකය ආරක්ෂා කරන්න, බයිබලය ඉදිරිපත් කරල තියෙන උපදෙස් මොනවාද?
මුලින්ම, ස්වාමිපුරුෂයා සහ භාර්යාව එකිනෙකාට සලකන්න ඕනෙ කොහොමද කියන එක ගැන බයිබලයට කියන්න බොහෝ දේවල් තියෙනවා. උදාහරණයක් හැටියට, ස්වාමිපුරුෂයන්ට එය මෙහෙම කියනවා: ‘පුරුෂයන් විසින් තමුන්ගේ භාර්යාවන්ට තමුන්ගේම ශරීරවලට මෙන් ප්‍රේම කටයුතුය. තමාගේ භාර්යාවට ප්‍රේම කරන තැනැත්තේ තමාටම ප්‍රේම කරන්නේය. කිසිවෙක් කිසිකලෙක තමාගේම මාංසයට වෛර කළේ නැත. එකිනෙකා තම තමාගේ මාංසය පෝෂණය කොට රක්ෂා කරගන්නේය.’ (එපීස 5:28, 29, ඇල අකුරු අපේය.) භාර්යාවකට උපදෙස් දීල තියෙන්නේ, “පුරුෂයාට ගැඹුරු ගෞරවය ඇතුව සිටින්න” වග බලාගන්න කියලයි.—එපීස 5:33, NW, ඇල අකුරු අපේය.
එවැනි බයිබල් උපදෙස් අදාළ කරගැනීමෙන් අඟවන දේ සලකා බලන්න. තමාගේ භාර්යාවට ‘ඔහුගේම ශරීරයට මෙන්’ ප්‍රේම කරන පුරුෂයෙක්, ඇය කෙරෙහි වෛරයෙන් හෝ කෲරකමින් කටයුතු කරන්නේ නැහැ. ඔහු ඇයට ශාරීරිකව පහර දෙන්නේවත් වාචික හෝ චිත්තවේගීයව පහර ගසන්නේවත් නැහැ. ඒ වෙනුවට, ඔහු තමාට ගෞරවය සහ සැලකිල්ල දක්වන ආකාරයටම ඇය කෙරෙහිත් එය දක්වනවා. (1 පේතෘස් 3:7) මේ අනුව, ඔහුගේ භාර්යාවට ඇගේ විවාහය තුළ ආදරයත් සුරක්ෂිතභාවයත් දැනෙනවා. එසේ කිරීමෙන් ඔහු, ස්ත්රීන්ට සලකන්න ඕනෙ කොහොමද කියල දරුවන්ට හොඳ ආදර්ශයක් සපයනවා. අනිත් අතට, “ගැඹුරු ගෞරවය” දක්වන භාර්යාවක් කොයිවෙලේත්, විවේචනය කරමින් නැත්නම් සුළු කරමින් තම ස්වාමිපුරුෂයාගේ ගෞරවය ලිහා දමන්නේ නැහැ. ඇය ඔහුට ගෞරව කරන හින්දා, ඔහුව විශ්වාස කරන, පිළිගන්න සහ අගය කරන බවක් දැනෙනවා.
එවැනි උපදෙස් මේ වර්තමාන ලෝකය තුළ ප්‍රායෝගිකද? අදදින පවුල් අධ්‍යයනය කිරීමේ වෘත්තියේ යෙදෙන අය ඒ හා සමාන නිගමනවලට බැස තිබීම සිත්ගන්නක්. පවුල් උපදේශක වැඩසටහනක අධ්‍යක්ෂිකාවක් මෙහෙම සඳහන් කළා: “මම දන්න ස්ථිරසාර සෞඛ්‍යසම්පන්න පවුල් තමයි, අම්මාත් තාත්තාත් අතර ශක්තිමත්, ප්‍රේමනීය සම්බන්ධයක් තියෙන පවුල්. . . . මෙම ශක්තිමත් මූලික සම්බන්ධය, දරුවන් තුළ සුරක්ෂිත හැඟීමක් පැලපදියම් කරන බව පේනවා.”3
විවාහය ගැන බයිබලයේ තියෙන උපදෙස්, ගණින්න බැරි තරම් සිටින, හොඳ චේතනාවකින් කටයුතු කරන පවුල් උපදේශකයන්ගේ ඒවාට වඩා බොහෝ විශ්වාසදායක බව වසර ගණනාවක් පුරා ඔප්පු වෙලා තියෙනවා. අසන්තෝෂවත් විවාහයකට ඉක්මන් සහ පහසුම විසඳුම දික්කසාදය කියල, බොහෝ නිපුණයෝ කියලත් වැඩි කාලයක් ගත වෙලා නැහැ. හැබැයි, අද ඔවුන්ගෙන් බොහෝදෙනෙක් මිනිස්සුන්ගෙන් අයැද සිටින්නේ, හැකි නම් කොහොම හරි විවාහය දිගටම පවත්වාගෙන යන්න කියලයි. නමුත් මේ වෙනස් වීම සිදු වෙලා තියෙන්නේ, හානි ගොඩක් සිද්ධ වුණාට පස්සෙයි.
ඊට සම්පූර්ණයෙන්ම වෙනස්ව, බයිබලය, විවාහය යන විෂය සම්බන්ධව විශ්වාසවන්ත, සමබර දැනමුතුකම් දෙනවා. සමහර බරපතළ අවස්ථාවලදී දික්කසාදයට අවසර තියෙන බව එය පිළිගන්නවා. (මතෙව් 19:9) ඒත් එක්කම, කිසිම වැදගැම්මකට නැති හේතු නිසා සිදු වන දික්කසාදය, බයිබලය හෙළා දකිනවා. (මලාකී 2:14-16) විවාහයේ ද්‍රෝහිකමත් එය හෙළා දකිනවා. (හෙබ්‍රෙව් 13:4) එය කියන්නේ, විවාහයට බැඳීමක් ඇතුළත් බවයි: එබැවින්, “මනුෂ්‍යයෙක් තමාගේ පියා සහ මවු අත්හැර තමාගේ භාර්යාවට ඇලුම්වන්නේය . . . ඒ දෙදෙන එක මාංසය වන්නෝය.”a—උත්පත්ති 2:24; මතෙව් 19:5, 6, ඇල අකුරු අපේය.
විවාහය සම්බන්ධයෙන් බයිබල් උපදේශය බයිබලය ලියපු කාලයට මෙන් අදටත් අදාළව පවතිනවා. ස්වාමිපුරුෂයා සහ භාර්යාව එකිනෙකාට ආදරය සහ ගෞරවය දක්වමින්, විවාහය තනි සම්බන්ධයක් ලෙස සලකද්දී විවාහයත් ඒ සමඟම පවුලත් බොහෝදුරට ආරක්ෂා වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි.
දෙමාපියන්ට ප්‍රායෝගික මඟ පෙන්වීම
දශක කිහිපයකට පෙර, දරුවන් පුහුණු කිරීම ගැන පළ වූ “නවීන පන්නයේ අදහස්වල” පෙලඹීම යටතේ, බොහෝ දෙමාපියන් “තහනම් කිරීම් තහනම් දෙයක්” කියා සිතුවා.”8 ළමුන්ට සීමා පැනවීම, දරුවන්ගේ සිතෙහි කම්පනය සහ කනස්සල්ල ඇති කරයි කියල ඔවුන් භය වුණා. හොඳ චේතනාවකින් කටයුතු කළ උපදේශකයෝ, දරුවන්ට ඉතාමත් සුළු නිවැරදි කිරීමක් ඇරෙන්න අනිත් ඒවායෙන් වැළකී සිටිය යුතු බව තරයේ කියා සිටිනවා. නමුත් බොහෝ නිපුණයන් හික්මවීමේ කාර්යභාරය ගැන නැවතත් සලකා බලමින් සිටින අතර, සැලකිලිමත් දෙමාපියෝ මෙම විෂය ගැන පැහැදිලි පිළිතුරක් සොයමින් සිටිනවා.
කෙසේවෙතත්, දරුවන්ව ඇති දැඩි කිරීම ගැන බයිබලය පුරාම අඛණ්ඩව පැහැදිලි සහ සාධාරණ උපදෙස් සපයා තියෙනවා. අවුරුදු 2,000කට ආසන්න කාලයකට කලින් එය මෙහෙම කිව්වා: “පියවරුනි, නුඹලාගේ දරුවන්ට කෝප නූපදවා, [යෙහෝවාගේ] හික්මවීමෙන්ද අවවාදයෙන්ද ඔවුන් ඇතිකරන්න.” (එපීස 6:4) “හික්මවීම” හැටියට පරිවර්තනය කර ඇති ග්‍රීක් නාමපදයෙන් අදහස් කරන්නේ, “ඇති දැඩි කිරීම, පුහුණු කිරීම, උපදේශ” යන්නයි.9 එවැනි හික්මවීම හෝ උපදේශ මාපිය ප්‍රේමයේ සාක්ෂියක් බව බයිබලය කියනවා. (හිතෝපදේශ 13:24) සදාචාරය පිළිබඳ පැහැදිලි මාර්ගදර්ශක සහ හරි වැරැද්ද ගැන හොඳින් වර්ධනය වෙලා තියෙන අවබෝධය සහිතව දරුවන් සඵල වෙනවා. ඔවුන්ගේ දෙමාපියන්, ඔවුන්ට සලකන බවත් ඔවුන් මොන වගේ පුද්ගලයන් බවට පත් වෙනවාද කියන එකත්, හික්මවීම තුළින් කියාපානවා.
නමුත් දෙමාපිය අධිකාරය—“දඬුවම්කිරීමේ ඉපල”—කිසිදාක අයුතු ලෙස පාවිච්චි නොකළ යුතුයි.b (හිතෝපදේශ 22:15; 29:15) බයිබලය දෙමාපියන්ට මෙහෙම අනතුරු අඟවනවා: “ඔබේ දරුවන්ව ඕනෑවට වඩා නිවැරදි කරන්න එපා; එහෙම කළොත් ඔබ ඔවුන්ට තියෙන ධෛර්යය සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්නවා ඇත.” (කොලොස්සි 3:21, ෆිලිප්ස්) තවදුරටත්, ශාරීරික දඬුවම සාමාන්‍යයෙන් ඵලදායකම ඉගැන්වීමේ ක්‍රමය නොවන බව එය පිළිගන්නවා. හිතෝපදේශ 17:10 මෙහෙම කියනවා: “අඥානයෙකුට පහර සියයකට වඩා, නුවණ ඇත්තෙකුට තරවටුව වදින්නේය.” ඊට අමතරව, බයිබලය නිර්දේශ කරන්නේ, නිවාරක හික්මවීමයි. තම දරුවන්ගේ සිතේ සාරධර්ම පැලපදියම් කරන්න, සාමාන්‍ය අවස්ථාවලින් ප්‍රයෝජන ගන්න කියා, ද්විතීය කථාව 11:19හි දෙමාපියන්ගෙන් උදක්ම ඉල්ලලා තියෙනවා.—ද්විතීය කථාව 6:6, 7ත් බලන්න.
දෙමාපියන්ට බයිබලයේ දෙන සදාකාලික උපදෙස් පැහැදිලියි. දරුවන්ට ස්ථිරසාර සහ ප්‍රේමනීය හික්මවීම අවශ්‍යයි. ප්‍රායෝගික අද්දැකීම පෙන්වන්නේ, උපදෙස් ඇත්තෙන්ම ඵලදායක බවයි.c
මිනිසුන්ව බෙදන බාධකවලින් ගොඩ ඒම
අදදින සිටින මිනිසුන් වාර්ගික, ජාතික සහ මානවවාංශික බාධකවලින් වෙන් වෙලයි ඉන්නේ. එවැනි කෘත්‍රිම තාප්ප, ලොව පුරා යුද්ධවලින් අහිංසක මිනිසුන් මරා දාන්න දායක වෙලා තියෙනවා. ඉතිහාසයෙන් යම් අදහසක් ලබාගන්න පුළුවන් බව හිතුවොත්, විවිධ ජාතීන් සහ වර්ගවල මිනිසුන් සහ ගැහැනුන් එකිනෙකාට එක හා සමානව සැලකීම සම්බන්ධයෙන් තියාගන්න පුළුවන් බලාපොරොත්තු, ඉතා අඳුරුයි කියල කියන්න පුළුවන්. අප්‍රිකානු දේශපාලනඥයෙක් කීවේ, “විසඳුම අපේ හදවත් තුළ” කියලයි.11 නමුත් මනුෂ්‍යයන්ගේ හදවත් වෙනස් කරන එක පහසු නැහැ. කෙසේවෙතත්, බයිබල් පණිවිඩය හෘදයට අයදින ආකාරයත්, සමානාත්මතාවේ ආකල්ප පෝෂණය කරන ආකාරයත් සලකා බලන්න.
දෙවි “සියලු මනුෂ්‍ය ජාතීන් . . . එක්කෙනෙකුගෙන්” මැව්ව බවට බයිබලයේ ඉගැන්වීම, තම ජාතිය උසස් කියන මාන්නයට, කොහෙත්ම ඉඩක් දෙන්නේ නැහැ. (ක්‍රියා 17:26) සිටින්නේ එක ජාතියක් විතරයි කියා එය පෙන්වනවා—ඒ මිනිස් ජාතියයි. බයිබලය තවදුරටත්, “[දෙවි] අනුව යන්නෝ වෙන්න” කියා දිරිගන්වනවා, මොකද, ඒ දෙවි “තරාතිරම් නොබලන කෙනෙක්ය. සියලු ජාතීන් අතරේ [ඔහු] කෙරෙහි භය ඇතිව ධර්මිෂ්ඨකම් කරන තැනැත්තේ [ඔහුට] ප්‍රසන්න” වන නිසයි. (එපීස 5:1; ක්‍රියා 10:34, 35) බයිබලය බරපතළ දෙයක් විදිහට සලකන අයට සහ ඇත්තෙන්ම එහි ඉගැන්වීම්වලට එකඟව ජීවත් වෙන්න සොයන අයට එම දැනුම, එක්සත් කරවන බලපෑමක් ඇති කරවනවා. එය ගැඹුරුම මට්ටමට එනම් මිනිස් හදවතටම බලපාමින්, මිනිසුන්ව භේදභින්න කරවන මිනිසුන්ම සෑදූ බාධක ඉවත් කරවනවා. උදාහරණයක් සලකා බලන්න.
හිට්ල’ යුරෝපය පුරා යුද්ධයට සම්බන්ධ වූ විට, අහිංසක ලේ වැගිරීමට හවුල් වන එක ප්‍රතික්ෂේප කළේ එක ක්‍රිස්තියානි කණ්ඩායමක් විතරයි—ඒ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ. ඔවුන් ඔවුන්ගේ සහයකයන්ට ‘විරුද්ධව කඩුව ඔසවන්නේ නැහැ.’ ඔවුන් මේ ස්ථාවරය ගත්තේ, දෙවිව ප්‍රසන්න කරන්න තිබුණු ඔවුන්ගේ ආශාව නිසයි. (යෙසායා 2:3, 4; මීකා 4:3, 5) බයිබලය උගන්වන දේ ඔවුන් ඇත්තෙන්ම විශ්වාස කළා—ඒ, කිසිම ජාතියක් වර්ගයක් අනෙකෙකුට වඩා උසස් නැහැ කියන එකයි. (ගලාති 3:28) සමාදානයට ප්‍රේම කිරීමේ ඔවුන්ගේ ස්ථාවරය නිසා, වධක ගාල් කඳවුරුවලට ඇතුල් වූ මුල්ම අය අතර ඔවුන් සිටියා.—රෝම 12:18.
නමුත් බයිබලය අනුගමනය කරනවයි කියපු හැම කෙනාම එවැනි ස්ථාවරයක් ගත්තේ නැහැ. දෙවන ලෝක මහා යුද්ධයෙන් ටික කාලෙකට පස්සේ, ජර්මානු රෙපරමාදු පූජක මාටීන් නීම’ල’ මෙහෙම ලිව්වා: “[යුද්ධ] සම්බන්ධයෙන් දෙවිට දොස් කියන ඕනෑම අයෙකු, දේවවචනය දන්නේ නැහැ, ඒ ගැන දැනගන්න ඔවුන්ට ඕනකමකුත් නැහැ. . . . ක්‍රිස්තියානි පල්ලි යුග ගණන් පුරා, යුද්ධවලට, භට සේනාංකවලට සහ ආයුදවලට ආශීර්වාද කිරීමෙහිලා නැවත නැවතත් නිරත වී ඇති අතර, යුද්ධයේදී තම සතුරන්ව විනාශ කිරීම සඳහා ඉතා දරුණු ලෙස, ක්‍රිස්තියානි ප්‍රතිපත්තිවලට පටහැනි අන්දමින් ඔවුන් යාච්ඤාද කර තියෙනවා. එයට වැරදිකරුවන් වන්නේ අප සහ අපගේ පියවරුන් වන අතර, දෙවි කොහෙත්ම වගකිව යුතු නැහැ. එමෙන්ම යුද සේවයෙන් වැළකී සිටීම නිසාත්, මිනිසුන්ට වෙඩි තැබීම ප්‍රතික්ෂේප කිරීම නිසාත් වධක ගාල් කඳවුරුවල තපින්න මෙන්ම මරණය පවා විඳින්න සිදු වූ, අවංක බයිබල් ශිෂ්‍යයන් [යෙහෝවාගේ සාක්ෂිකාරයන්] ලෙස හඳුන්වා ගන්නා නිකායට අයිතිවුන් ඉදිරියේ, ක්‍රිස්තියානීන් හැටියට අදදින අපි ලජ්ජාවට පත් වෙලා ඉන්නවා.”12
අද දවස දක්වා, යෙහෝවාගේ සාක්ෂිකාරයෝ, ඔවුන්ගේ සහෝදරත්වය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ වී සිටිනවා. එය අරාබිවරුන්ව සහ යුදෙව්වන්වත්, ක්රොඒෂියානුවන්ව සහ ස’බියානුවන්වත්, හුටු සහ ටුට්සිවරුන්වත් එක්සත් කරවනවා. කොහොම වුණත්, සාක්ෂිකාරයන්ට එච්චර එක්සත්කමක් පවත්වාගන්න හැකි වෙලා තියෙන්නේ, ඔවුන් අන්‍යයන්ට වඩා වෙනස් හින්දා නෙවෙයි, නමුත් ඒ ඔවුන් බයිබල් පණිවිඩයේ බලයෙන් පෙලඹී ඇති නිසා කියල ඔවුන් පසු නොබැස පිළිගන්නවා.—1 තෙසලෝනික 2:13.
හොඳ මානසික සෞඛ්‍යයක් වඩවන ප්‍රායෝගික මඟ පෙන්වීම
පුද්ගලයෙක්ගේ කායික සෞඛ්‍යය බොහෝදුරට ඔහුගේ මානසික සහ චිත්තවේගීය සෞඛ්‍ය තත්වය මගින් බලපෑමට ලක් වෙනවා. නිදසුනක් වශයෙන්, කෝපවීමේ හානිකර ප්‍රතිඵල විද්‍යාත්මක අධ්‍යයනවලින් සනාථ වී තියෙනවා. ඩියුක් විශ්වවිද්‍යාල වෛද්‍ය මධ්‍යස්ථානයේ මානවචර්යා පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂක වෛද්‍ය රෙඩ්ෆ’ඩ් විලියම්ස් සහ ඔහුගේ බිරිඳ වන ව’ජීනියා විලියම්ස් ඇංග’ කිල්ස් (කෝපය මාරාන්තිකයි) යන ඔවුන්ගේ පොතේ මෙහෙම කියනවා: “කෝප වන පුද්ගලයන් අතර හෘද රෝග (වෙනත් රෝගත්) ඇතිවීමේ අවදානම ඉහළ බව තියෙන සාක්ෂිවලින් පැහැදිලි වෙනවා. ඒ සඳහා විවිධ හේතු බලපානවා; සමාජීය වශයෙන් අඩු අනුබලයක් ලැබීම, කෝප වෙද්දී කායික ප්‍රතික්‍රියා වැඩිවීම සහ සෞඛ්‍යයට අවදානමක් වන හැසිරීමෙහි වැඩි වැඩියෙන් නියැලීම ඒවාට ඇතුළත් වෙනවා.”13
එවැනි විද්‍යාත්මක අධ්‍යයනවලට අවුරුදු දහස් ගණනාවකට කලින්, බයිබලය තුළ, අපේ චිත්තවේගීය තත්වය සහ ශාරීරික සෞඛ්‍යය අතර ඇති සම්බන්ධය, සරල නමුත් පැහැදිලි වචනවලින් විස්තර කළා: “මාංසයේ සනීපය නම් නිශ්චල සිතක්ය [හෘදයක්ය, NW]; එහෙත් ඊර්ෂ්‍යාව ඇටවලට දිරවීමක්ය.” (හිතෝපදේශ 14:30; 17:22) ඥානවන්ත විදිහට, බයිබලය දැනමුතුකම් දුන්නා මෙහෙම: ‘තරහෙන් වැලකී උදහස අත්හැරව’ සහ “කෝපවීමට [හෝ “අමනාප වීමට,” NW] නුඹේ සිතින් ඉක්මන් නොවෙන්න.”—ගීතාවලිය 37:8; දේශනාකාරයා 7:9.
කේන්තිය පාලනය කිරීම ගැන, සිහිනුවණෙන් යුත් උපදෙස් පවා බයිබලය තුළ තියෙනවා. උදාහරණයක් හැටියට, හිතෝපදේශ 19:11 මෙහෙම කියනවා: “සිහි කල්පනාව [තීක්ෂ්ණ බුද්ධිය, NW] ඇති මනුෂ්‍යයා ඉක්මනට නොකිපෙයි; වරදක් නොසලකා හැරීමද ඔහුගේ ගෞරවයක්ය.” “තීක්ෂ්ණ බුද්ධිය” සඳහා යොදන හෙබ්‍රෙව් වචනය ගෙන තියෙන්නේ, යමක් සඳහා “හේතුව සම්බන්ධ දැනුමට” අවධානය යොමු කරන ක්රියාපදයකිනි.14 ඥානවන්ත උපදෙස නම්: “පනින්න පෙර සිතා බැලීමයි.” අනිත් අය අමුතු විදිහට කතා කරන්නේ හෝ ක්‍රියා කරන්නේ ඇයි කියන එකට ප්‍රධාන හේතුව තේරුම්ගන්න වෑයම් කළොත්, කෙනෙකුට වඩා ඉවසිලිවන්ත වෙන්න එය උපකාර කරනවා—ඒ වගේම කෝපවීමට දක්වන නැඹුරුවාව පාලනය කරනවා.—හිතෝපදේශ 14:29.
තවත් වටිනා ප්‍රායෝගික උපදෙසක් කොලොස්සි 3:13න් [NW] සොයාගන්න පුළුවන්. එහි කියන්නේ මෙහෙමයි: “එකිනෙකා ගැන ඉවසමින්, එකිනෙකාට නිදහසේ සමාව දෙන්න.” සුළු හිත් වේදනා ජීවිතයේ කොටසක්. “එකිනෙකා ගැන ඉවසමින්” කියන එකේ අදහස නම්, අන් අය තුළ අපි ආස නැති දේවල් දරාගැනීමයි. “සමාව දෙන්න” කියල අදහස් කරන්නේ, අමනාපය පිට කර හැරීමයි. තිත්ත හැඟීම් පෝෂණය කරනවා වෙනුවට, ඒවා අත්හැර දැමීම ඇතැම් අවස්ථාවලදී ඥානවන්තයි; කෝපය සිතේ තබාගැනීම අපේ බරට තව එකතු කරගන්නවා විතරයි.—“මිනිස් සම්බන්ධකම් සඳහා ප්‍රායෝගික මඟ පෙන්වීම” කියන කොටුව බලන්න.
අදදින, උපදෙස් සහ මඟ පෙන්වීමේ මූලාශ්‍ර බොහොමයක් තියෙනවා. නමුත් බයිබලය ඇත්තෙන්ම අද්විතීයයි. එහි දැනමුතුකම් නිකම්ම සිද්ධාන්තයක්වත්, එහි උපදෙස් අපේ හානියටවත් නොවෙයි. ඒ වෙනුවට, එහි ප්‍රඥාව “ඉතා විශ්වාස කටයුතු” බවට ඔප්පු වෙලා තියෙනවා. (ගීතාවලිය 93:5, NW) තවදුරටත්, බයිබල් උපදේශය සදාකාලිකයි. එය සම්පූර්ණ කර අවුරුදු 2,000ක් විතර ගත වුණත්, ඒකෙ වචන දැනටත් අදාළයි. අපේ හමේ පාට, අපි ජීවත් වන රට මොකක් වුණත්, එක හා සමානව එය අපිට බලපානවා. යහපත සඳහා මිනිසුන්ව වෙනස් කරන්න, බයිබලයේ වචනවලට බලයත් තියෙනවා. (හෙබ්‍රෙව් 4:12) මේ අනුව, එම පොත කියවීමෙන් සහ එහි ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන්, ඔබේ ජීවන තත්වය වැඩිදියුණු කරගත හැකියි.
[පාදසටහන්වල]
a ඩා·වාක්ʹ කියන හෙබ්‍රෙව් වචනය මෙහි “ඇලුම්වන්නේය” කියා පරිවර්තනය කර තියෙනවා. එහි “කෙනෙකුට ලැදිකමින් සහ සෙනෙහසින් ඇලී සිටීමේ අදහස ගැබ්ව තියෙනවා.”4 ග්‍රීක් භාෂාවේ, මතෙව් 19:5හි “ඇලුම්වන්නේය” හැටියට පරිවර්තනය කර තියෙන වචනය “මැලියම් ගා ඇලවීම,” “ඒකාබද්ධ කිරීම,” “වඩාත් තදින් එක් කර සම්බන්ධ කිරීම” යන අර්ථය ඇති වචනයට සම්බන්ධයි.5
b බයිබල් කාලවලදී, “ඉපල” කියන වචනයෙන් (හෙබ්‍රෙව්, ෂීʹවෙට්) අදහස් කළේ, එඬේරෙක් පාවිච්චි කරන “පොල්ලක්” නැතහොත් “දණ්ඩක්.”10 මෙම පද සම්බන්ධයේ අධිකාරයේ ඉපල කියා අදහස් කරන්නේ, ප්‍රේමනීය මඟ පෙන්වීම මිස දරදඬු කෲරභාවය නොවේ.—ගීතාවලිය 23:4, සසඳන්න.
c Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත පවුලේ සන්තෝෂයට රහස යන පොතේ, “බිළිඳු අවදියේ පටන් ඔබේ දරුවා පුහුණු කරන්න,” “ඔබේ නහඹරයාට සඵල වීමට උපකාර කරන්න,” “කැරලිගසන්නෙක් නිවසෙහි සිටීද?” සහ “ඔබේ පවුල විනාශකාරි බලපෑම්වලින් ආරක්ෂා කරගන්න” යන පරිච්ඡේද බලන්න.
[24වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
පවුල් ජීවිතය සඳහා, බයිබලය පැහැදිලි සහ සාධාරණ උපදෙස් දෙනවා
[23වන පිටුවේ කොටුව]
සෞඛ්‍යසම්පන්න පවුල්වල ලක්ෂණ
අවුරුදු කිහිපයකට කලින්, ශික්ෂක මෙන්ම පවුල් විශේෂඥවරියක්, පවුල් එක්ක වැඩ කරල අද්දැකීම් ඇති නිපුණයන් 500කට වඩා වැඩි ගණනක් එක්ක එක්කහු වෙලා, සවිස්තර සමීක්ෂණයක් පැවැත්වූවා. එහිදී “සෞඛ්‍යසම්පන්න” පවුල්වල නිරීක්ෂණය කළ ලක්ෂණ ගැන අදහස් ඉදිරිපත් කරන්න ඔවුන්ට ආරාධනා කළා. සිත්ගන්නා ලෙස, එම ලැයිස්තුවේ තිබූ සාමාන්‍ය ලක්ෂණවලින් වැඩිහරියක්, බොහෝ කාලයකට ප්‍රථම බයිබලයේ නිර්දේශ කර තිබූ ඒවායි.
එකඟ නොවීම් සමථයකට ගෙනෙන ඵලදායී ක්‍රම ඇතුළත් හොඳ අදහස් හුවමාරු කිරීමේ පුරුදු, ලැයිස්තුවේ උඩින්ම තිබුණා. ඒ සමීක්ෂණයේ කර්තෘවරිය සඳහන් කළ විදිහට සෞඛ්‍යසම්පන්න පවුල්වලින් සොයාගත් පොදු ප්‍රතිපත්තියක් තිබුණා; ඒ තමයි: “කාත් එක්ක හරි තරහ වෙලා කිසි කෙනෙක් ඇඳට යන්නේ නැහැ.”6 ඒත් අවුරුදු 1,900කට කලින් බයිබලය මෙහෙම උපදෙස් දුන්නා: “කෝප වුණත් පව් නොකරන්න. ඉර බසින තුරු නුඹලාගේ කෝපය පවතින්ට ඉඩ නාරින්න.” (එපීස 4:26) බයිබල් කාලවලදී දවස ගණන් කළේ, ඉර බැසයෑමේ සිට ඊළඟ ඉර බැසයෑම දක්වායි. ඒ නිසා, නූතන පවුල් නිපුණයෝ පවුල් ගැන අධ්‍යයනය කරන්න බොහෝ කලකට කලින්, බයිබලය ඥානවන්තව උපදෙස් දුන්නේ: දවසක් අවසන් වී තව දවසක් ඇරඹෙන්න ඉස්සෙල්ලා, භේද ඇති කරවන කාරණා ඉක්මනින් සමථයකට පත් කරගන්න කියලයි.
සෞඛ්‍යසම්පන්න පවුල් “ගෙයින් පිටට හෝ ඇඳට හෝ යන්න කලින් පිපිරෙන්න ඉඩ තියෙන විෂයන් ඇදල ගන්නේ නැහැ. ‘හරි වෙලාව’ කියන වචනෙ මට නැවත නැවත අහන්න ලැබුණා” කියල කර්තෘ සොයාගත්තා.7 එවැනි පවුල් නොදැනුවත්ව හරි ප්රතිනාද කළේ, දැනට අවුරුදු 2,700කට කලින් වාර්තා කර තිබූ හිතෝපදේශයයි: “කලට සුදුසු වචනය රිදී කර්මාන්තවල තිබෙන රන් ජම්බුමෙනි.” (හිතෝපදේශ 15:23; 25:11, ඇල අකුරු අපේය.) කැටයම් කළ රිදී බන්දේසිවල දැමූ ඇපල් නැත්නම් ජම්බුවල හැඩයට සෑදූ රත්තරන් භාණ්ඩවලට මෙම උපමාලංකාරය යොමු දැක්වූවා වෙන්න පුළුවන්; මෙය බයිබල් කාලවලදී ඉමහත් සේ අගය කළ අලංකාර වස්තු වුණා. සුදුසු වෙලාවේදී, තෙපලන වචනවල ඇති අලංකාරයත් වටිනාකමත්, එය ගෙනහැර දක්වනවා. පීඩාකාරි අවස්ථාවලදී, හරි වෙලාවට කියන ගැළපෙන වචන මිල කරන්න බැහැ.—හිතෝපදේශ 10:19.
[26වන පිටුවේ කොටුව]
මිනිස් සම්බන්ධකම් සඳහා ප්‍රායෝගික මඟ පෙන්වීම
“[කලබල වුණත්, NW], පව් නොකරව්. යහනේදී නුඹලාගේම සිතින් විමසා නිශ්චලවව්.” (ගීතාවලිය 4:4) සුළු සුළු වැරදීම් ඇති වන බොහෝ අවස්ථාවලදී, ඔබේ වචන වළක්වාගන්න එක හොඳයි; මොකද එසේ කිරීමෙන් හැඟීම් ප්‍රකාශ වන ඝට්ටනයක් මඟහරවා ගන්න පුළුවන්.
“කඩුවෙන් අනින්නාක්මෙන් රළු බස් කීමක් තිබේ; එහෙත් ඥානවන්තයාගේ දිව සුවය හටගන්වන්නේය.” (හිතෝපදේශ 12:18) ඔබ කතා කරන්න ඉස්සෙල්ලා හිතන්න. නොසැලකිලිමත් වචන අනිත් අයව තුවාල කර, මිත්‍රත්වයන් විනාශ කර දැමිය හැකියි.
“මෘදු උත්තරයකින් කෝපය පහවෙයි; එහෙත් කර්කශ වචනයකින් තරහ හටගනියි.” (හිතෝපදේශ 15:1) මෘදුකමින් ප්‍රතිචාරයක් දක්වන්න ආත්ම දමනය ඕනෙ. එවැනි ක්‍රියාමාර්ගයක් බොහෝ වෙලාවට, තියෙන ගැටලු සුව කරලා, සාමදායි සම්බන්ධයකට දිරි දෙනවා.
“ඩබරය පටන්ගැන්ම වක්කඩක් අරින්නාක්මෙන්ය; එබැවින් තරඟය ඇවිස්සෙන්ට පළමුවෙන් [ඉවත්ව යන්න, NW].” (හිතෝපදේශ 17:14) ඔබට තරහගතිය ඇවිස්සෙන්න කලින්, පිපිරෙනසුලු තත්වයකින් ඉවත්ව යෑම ඥානවන්තයි.
“අමනාප වීමට ඉක්මන් නොවෙන්න. මක්නිසාද අමනාපය පෝෂණය කරන්නේ අඥානයාය.” (දේශනාකාරයා 7:9, ද නියූ ඉංග්ලිෂ් බයිබල්) ක්‍රියාවට කලින් බොහෝදුරට චිත්තවේගයන් මතු වෙනවා. තරහ වීමට ඉක්මන් වන පුද්ගලයා මෝඩයි; මොකද, ඔහුගේ ක්‍රියාමාර්ගය රළු වචන සහ ක්‍රියාවලට මඟ පෙන්විය හැකි නිසයි.
[25වන පිටුවේ පින්තූරය]
වධක ගාල් කඳවුරුවලට මුලින්ම ඇතුල් වූ අය අතර යෙහෝවාගේ සාක්ෂිකාරයෝ සිටියා