අටවන පරිච්ඡේදය
‘දුෂ්ට ආත්ම සේනාවන්ට විරුද්ධව පොරබැදීම’
1. දුෂ්ට ආත්මවල ක්‍රියාකාරකම් අපට විශේෂයෙන්ම වැදගත් වන්නේ මන්ද?
දුෂ්ට ආත්ම සිටිනවාය යන කාරණය බොහෝදෙනා සමච්චලයට ලක් කරති. එහෙත්, එය සිනාසීමට කාරණයක් නොවේ. මිනිසුන් විශ්වාස කළත් නැතත්, දුෂ්ට ආත්මයෝ සිටිති. ඔවුන් අර අදින්නේ සැමදෙනා මතම යම් අන්දමකින් පීඩන එල්ල කිරීමටයි. යෙහෝවාගේ නමස්කාරකයන් මෙයින් නිදහස් නැත. ඇත්තෙන්ම මූලික ඉලක්කය ඔවුන්ය. ඒ කාරණයට ප්‍රේරිත පාවුල් අපේ අවධානය යොමු කරවයි. ඔහු මෙසේ කීවේය. “අපේ පොරබැදීම වනාහි මාංසයට සහ රුධිරයට විරුද්ධව නොව, [අදෘශ්‍යමාන] අධිපතිකම්වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනීන්ටත් [පාලකයන්, NW] ස්වර්ගීය ස්ථානවල සිටින [දුෂ්ට] ආත්ම සේනාවන්ටත් විරුද්ධවය.” (එපීස 6:12) මේ දුෂ්ට ආත්ම සේනාව වෙන කවරදාකටත් වඩා අපේ කාලයේදී පීඩන එල්ල කිරීම වැඩි කර ඇත. ඊට හේතුව නම්, ස්වර්ගයෙන් පන්නා දැමීම නිසා මහත් උදහසින් සිටින සාතන් තමන්ට ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්නා බැවින්ය.—එළිදරව් 12:12.
2. අධිමානුෂික ආත්මවලට විරුද්ධව පොරබැදීමෙන් ජයගන්ට අපට හැක්කේ කෙසේද?
2 අධිමානුෂික ආත්ම සේනාවන්ට විරුද්ධව පොරබැද ජයගන්ට හැකිද? එසේය. එනමුත් එසේ කළ හැක්කේ යෙහෝවා මත පූර්ණ විශ්වාසය තැබීමෙන් පමණි. අප ඔහුට ඇහුම්කන් දී ඔහුගේ වචනයට කීකරු විය යුතුය. එසේ කිරීමෙන්, සාතන්ගේ බලපෑමට යට වී සිටින අය අද්දකින ශාරීරික, සදාචාරමය හා චිත්තවේගීය හානි බොහොමයකින් ගැළවී සිටීමට අපට හැකි වෙයි.—යාකොබ් 4:7.
ස්වර්ගීය ස්ථානවල සිටින ලෝක පාලකයෝ
3. සාතන් අතිකෲර විරෝධය පෑවේ කාටද? ඒ කෙසේද?
3 යෙහෝවා ස්වර්ගයේ සිට ලෝකයේ සිදු වන දේ ඉතාම පැහැදිලි ලෙස දකින අතර, ඉතාම සවිස්තරව ඔහු එය අපට දන්වයි. ඔහු ප්‍රේරිත යොහන්ට දුන් දර්ශනයේ සාතන්ව දක්වා ඇත්තේ, “මහත් රතු සර්පයෙක් [මකරෙක්, NW]” හැටියටයි. වර්ෂ 1914දී ස්වර්ගයේදී දෙවිගේ මෙසියානු රාජ්‍යය බිහිවීමත් සමඟම හැකි නම් එය ගිල දැමීමට ඌ සූදානමින් සිටියේය. එය අසාර්ථක වූ විට, එම රාජ්‍යයේ භූමික නියෝජිතයන්ට විරුද්ධව අතිකෲර විරුද්ධවාදිකම් කන්දරාවක් දියත් කළේය. (එළිදරව් 12:3, 4, 13, 16) සාතන් තම යුද්ධය මෙහෙයවූයේ කෙසේද? ඔහුගේම මිනිස් නියෝජිතයන් මාර්ගයෙන්ය.
4. මිනිස් ආණ්ඩුවලට බලය සපයන ප්රභවය කවුද? අප එය දන්නේ කෙසේද?
4 ඊළඟට, “සියලු ගෝත්‍රයන්ද සෙනඟද භාෂාවන්ද ජාතීන්ද කෙරෙහි” බලය ඇති අං දසයක්ද හිස් හතක්ද ඇති වන මෘගයෙකුව යොහන්ට පෙන්වන ලදි. මේ මෘගයාගෙන් නියෝජනය කරන්නේ මුළු පොළොව පුරාම ක්‍රියාත්මක වන දේශපාලනික ක්‍රමයයි. බයිබලය කියන්නේ, “මහ සර්පයා [මකරා හෙවත් සාතන් නමැති යක්ෂයා] තමාගේ පරාක්‍රමයත් තමාගේ සිංහාසනයත් මහත් බලයත් [මෘගයාට] දුන්නේය” කියායි. (එළිදරව් 13:1, 2, 7) එසේය, මිනිස් ආණ්ඩු සතු බලයේ හා අධිකාරයේ ප්රභවය සාතන්ය. මෙසේ, ප්‍රේරිත පාවුල් ලියූ ආකාරයට, සැබෑ “ලෝක මුලාදෑනීන්” යනු මිනිස් ආණ්ඩු මෙහෙයවන ‘ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ට ආත්ම සේනාවන්’ වේ. මෙම කාරණයේ බරපතළකම යෙහෝවාට නමස්කාර කිරීමට කැමති සියලුදෙනා විසින් ඉතා හොඳින් තේරුම්ගත යුතුය.—ලූක් 4:5, 6.
5. දේශපාලකයන්ව දැන් රැස් කරමින් තිබෙන්නේ කුමකටද?
5 බොහෝ දේශපාලනික නායකයන් තමන් ආගමික බැතිමතුන්යැයි කියාගත්තත්, එම කිසිම ජාතියක් යෙහෝවාගේ පාලනයට හෝ ඔහු විසින් පත් කරන ලද රජු වන යේසුස් ක්‍රිස්තුස්ට යටත් නොවෙති. සැමෝම දැඩි පොරබැදීමක් කරන්නේ, තමන්ගේ බලය අල්ලාගැනීමටය. වර්තමානයේදී, එළිදරව් පොත පෙන්වන ආකාරයට, “භූතානුභාවයෙන් ප්‍රකාශ කරන කියමන් [NW],” “සර්වපරාක්‍රම වූ දෙවිගේ මහත් දවසේ යුද්ධයට” ලෝකයේ පාලකයන්ව එක්රැස් කරමින් සිටියි.—එළිදරව් 16:13, 14, 16; 19:17-19.
6. සාතන්ගේ ක්‍රමයට සහයෝගය දැක්වීමට හසු නොවී සිටීම සඳහා පරීක්ෂාකාරිව සිටීම අවශ්‍ය වන්නේ මන්ද?
6 සෑම දවසකම මිනිස් පවුල ඉරිතළා බෙදා දමන දේශපාලනික, සමාජීය, ආර්ථික හා ආගමික ගැටුම් ජනයාට බලපා ඇත. මේ ගැටුම්වලදී, තමන් අයත්ව සිටින ජාතිය, ගෝත්‍රය, භාෂා කණ්ඩායම හෝ සමාජ පන්තිය වැනි දේවල්හි පැත්ත වාචිකව හෝ වෙනත් ආකාරයකට ගැනීම අදදින පොදු දෙයකි. සමහර මිනිසුන් මෙවන් ගැටුම්වලට ඍජුවම සම්බන්ධ නොවුණත්, බොහෝවිට එක පැත්තකට ඔවුහු අනුග්‍රහය දක්වති. සහයෝගය කාට දුන්නත් කුමන අරමුණක් සඳහා දුන්නත්, ඔවුන් ඇත්තටම සහයෝගය දක්වන්නේ කාටද? බයිබලය පැහැදිලිවම මෙසේ කියයි. ‘මුළු ලෝකයා නපුරා තුළය.’ (1 යොහන් 5:19) එසේනම්, අද සිටින බහුතරයට වෙනස්ව කෙනෙකුට නොරැවටී සිටිය හැක්කේ කෙසේද? දෙවිගේ රාජ්‍යයට පූර්ණ සහයෝගය දෙමින්, ලෝකයේ පවතින ගැටුම්වලට එරෙහිව පූර්ණ මධ්‍යස්ථභාවය රැකගැනීමෙන් පමණි.—යොහන් 17:15, 16.
දුෂ්ටයාගේ කපටි සැලසුම්
7. සාතන් බොරු ආගම යොදාගෙන ඇති ආකාරයෙන් ඔහුගේ දක්ෂකම දැකිය හැක්කේ කෙසේද?
7 ඉතිහාසයේ සෑම කාලපරිච්ඡේදයකදීම, සැබෑ නමස්කාරයෙන් මිනිසුන්ව ඉවතට හරවාගැනීම සඳහා සාතන් වාචික හා කායික පීඩා යොදාගෙන තිබේ. ඔහු ඊටත් වඩා සූක්ෂ්ම ක්‍රම වන කපටි ක්‍රියා හා මුළා කරවනසුලු සැලසුම්ද පාවිච්චි කර තිබේ. ඔහු ඉතා දක්ෂ ලෙස මිනිස්වර්ගයාගෙන් බහුතරයක් ආත්මික අන්ධකාරයේ තබා ඇත. බොරු ආගම් මාර්ගයෙන් එසේ කර තිබෙන්නේ, තමන් දෙවිට සේවය කරනවායැයි සිතීමට සලස්වමිනි. දෙවි පිළිබඳ නිවැරදි දැනුමෙන් හා සැබෑව සඳහා ප්‍රේමයකින් ඌනව සිටින මොවුන් ඇදී යන්නේ ගුප්ත, උද්වේගකර ආගමික වතාවත් නිසා හෝ අන්දමන්ද කරවන බලවත් ක්‍රියා හේතුවෙනි. (2 තෙසලෝනික 2:8-10) එපමණක්ද නොව, සත්‍ය නමස්කාරයෙහි වරක් හවුල් වූ ‘සමහරුන් පවා මුළා කරවන ආත්මයන්ද යක්ෂයන්ගේ ගුරුකම්ද සලකා ඇදහිල්ලෙන් අහක්ව යන’ බව අපට අනතුරු අඟවා ඇත. (1 තිමෝති 4:1) එවැන්නක් සිදු විය හැක්කේ කෙසේද?
8. අප කලින් යෙහෝවාට නමස්කාර කළත්, අපව බොරු ආගම තුළට ආකර්ෂණය කරගැනීමට සාතන්ට හැක්කේ කෙසේද?
8 ඉතාම සැලසුම්සහගත ලෙස සාතන් අපේ දුර්වලකම් සොයාගෙන ඒවාටම පහර දෙයි. මිනිසුන්ට ඇති භය අපව තවමත් හිර කර තබනවාද? එසේ නම්, බොරු ආගමික ආරම්භයක් ඇති සිරිත් විරිත්වලට හවුල් වීමට නෑදෑයන් හෝ අසල්වැසියන් ගෙනෙන පීඩනවලට අප හසු විය හැකිය. අප උඩඟුද? එසේ නම්, අපට උපදෙසක් දෙන විට හෝ අපේ අදහස්වලට අනිත් අය එකඟ නොවන විට අප අමනාප වීමට ඉඩ ඇත. (හිතෝපදේශ 15:10; 29:25; 1 තිමෝති 6:3, 4) අප සිතන විදිහ ක්‍රිස්තුස්ගේ ආදර්ශයට එකඟව සකස් කරගන්නේ නැතුව බයිබලය ටිකක් කියවා කාටවත් කරදරයක් නැතිව ජීවිතය ගත කළාම ඇතියයි පවසමින් ‘අපේ කන් පිනවන්නාවූ’ අය වෙත අප නැඹුරු වීමට ඉඩ තිබේ. (2 තිමෝති 4:3, NW) අප ඇත්තටම වෙනත් ආගමකට බැඳෙනවාද, එහෙම නැත්නම් අප කැමති විදිහට අපේම ආගම අදහාගෙන සිටිනවාද කියන කාරණය සාතන්ට වැදගත් නැත. දෙවි තම වචනයෙන් හා සංවිධානයෙන් දෙන මඟ පෙන්වීම්වලට එකඟව අප විසින් යෙහෝවාට නමස්කාර නොකිරීමයි ඔහුට අවශ්‍ය කරන්නේ.
9. සාතන් තම ඉලක්ක සපුරාගැනීමට ලිංගික ආශාවන් කපටි ලෙස යොදාගන්නේ කෙසේද?
9 සටකපට ආකාරයට මිනිසුන්ගේ ස්වාභාවික ආශාවන් වැරදි ආකාරයට සතපවා ගැනීමට සාතන් ඔවුන්ව පොලඹවයි. ඔහු මෙය ලිංගික සබඳකම් ඇති කරගැනීමට වූ ආශාව සම්බන්ධයෙන් කර ඇත. බයිබලයේ ඇති සදාචාර ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරන ලෝකයේ සිටින බොහෝදෙනෙක්, අවිවාහකයන් අතර සිදු වන ලිංගික සබඳතා වින්දනය ලබාගැනීමට පිළිගත් ක්‍රමයක් ලෙස නැතහොත් තමන් වැඩිහිටියන් බව පෙන්විය හැකි ආකාරයක් ලෙස සලකති. විවාහකයන් සම්බන්ධයෙන් කුමක් කිව හැකිද? බොහෝදෙනෙක් පරදාර සේවනයෙහි යෙදෙති. විවාහ කලත්‍රයන් එකිනෙකාට ද්‍රෝහි නොවුවත්, වෙනත් කෙනෙකු සමඟ ජීවත් වීම සඳහා එවැනි බොහෝදෙනෙක් වෑයම් කරන්නේ දික්කසාදයක් හෝ වෙන්වීමක් ලබාගැනීමටය. සාතන් සූක්ෂ්ම ලෙස ඉලක්ක කරන්නේ ජනයාට තමන්ගේ හා අන් අයගේ දිගු කාලීන ප්‍රයෝජන නොතැකීමට පමණක් නොව නමුත් විශේෂයෙන්ම යෙහෝවා හා ඔහුගේ පුත්‍රයා සමඟ ඇති ඔවුන්ගේ සම්බන්ධය නොතකා හැර, දැන් විනෝදයක් ලැබීම සඳහා බලපෑම් කිරීමටයි.—1 කොරින්ති 6:9, 10; ගලාති 6:7, 8.
10. ලිංගික දුරාචාරය හා සැහැසියාව සම්බන්ධයෙන් අපේ ආකල්පය දුර්වල කිරීමට සාතන් උත්සාහ කරන්නේ කිනම් මාර්ගවලින්ද?
10 තවත් ස්වාභාවික ආශාවක් නම් විනෝදාස්වාදයයි. එය සුවදායී විනෝදාස්වාදයක් නම්, එය ශාරීරික, මානසික හා චිත්තවේගීය නැවුම්භාවයක් ලබා දේ. එහෙත් සාතන් දක්ෂ ලෙස මෙවන් විනෝදාස්වාදී අවස්ථාවන් ඔස්සේ දෙවිගේ සිතිවිලිවලින් අපව වෙනතකට ගෙන යෑමට උත්සාහ කරද්දී අප ප්‍රතික්‍රියා කරන්නේ කෙසේද? උදාහරණයක් හැටියට, යෙහෝවා ලිංගික දුරාචාරය හා සැහැසියාව ද්වේෂ කරන බව අපි දනිමු. චිත්‍රපට, රූපවාහිනි වැඩසටහන් හෝ වේදිකා ඉදිරිපත් කිරීම් එවැනි දේ උලුප්පා දක්වනවා නම්, අප ඔහේ ඉඳගෙන ඒ දේවල් ඔළුවට දාගන්නවාද? ‘නපුරු මනුෂ්‍යයන් හා රැවටිලිකාරයන් රවටමින්ද රැවටෙමින්ද වඩ වඩා නරක් වන’ නිසා, තමන්ව පාතාලගත කරන කාලය ළඟා වන විට සාතන් එවැනි දේවල් තවත් පහත් ආගාධයකට ඇද දමන බවත් මතක තබාගන්න. (2 තිමෝති 3:13; එළිදරව් 20:1-3) ඒ නිසා, අප සාතන්ගේ උපක්රමවලට එරෙහිව නිරන්තරවම සීරුවෙන් සිටිය යුතුය.—උත්පත්ති 6:13; ගීතාවලිය 11:5; රෝම 1:24-32.
11. භූතවාදී දේ පිළිබඳ සැබෑව දන්නා කෙනෙකු පවා සුපරීක්ෂාකාරි නොවුණොත් කිනම් ආකාරයෙන් එම උගුලට හසු විය හැකිද?
11 පේන කීම්, හදි හූනියම් හෝ මළවුන්ගෙන් විචාරීම් වැනි ඕනෑම ආකාරයක භූතවාදී ක්‍රියාවක නියැලීම යෙහෝවාට පිළිකුලක් බව අපි දනිමු. (ද්විතීය කථාව 18:10-12) එම කාරණය මතකයේ තබාගන්නා අප මළවුන්ගෙන් විචාරීමට කිසිදා නොසිතන අතර, එවැනි යක්ෂ කර්මවල යොදවාගැනීම සඳහා අපි ඔවුන්ව අපේ ගෙවලට කොහෙත්ම වැද්ද නොගන්නෙමු. එහෙත්, රූපවාහිනි තිරය මත හෝ අන්තර්ජාලයෙන් ඔවුන් පෙනී සිටින විට අප ඔවුන්ට ඇහුම්කන් දෙනවාද? එමෙන්ම, අප මතුරන්නෙකුගේ ප්‍රතිකාර පිළි නොගත්තද, අපේ අලුත උපන් බිළිඳාව හානිවලින් කෙසේ හෝ ආරක්ෂා කරගැනීමේ අටියෙන් ඔහුගේ අතේ නූලක් බඳින්ට ඉඩ තිබේද? වශී ගුරුකම් භාවිත කිරීම බයිබලය හෙළා දකින බව දන්නා අප, අපේ මනස පාලනය කිරීමට මෝහනය කරන්නෙකුට ඉඩ දෙනවාද?—ගලාති 5:19-21.
12. (අ) වැරදියි කියා අප දන්නා අදහස් ගැන සිතීමට සංගීතය පාවිච්චි කෙරෙන්නේ කෙසේද? (ආ) කෙනෙකුගේ ඇඳුම්, කොණ්ඩා මෝස්තර හෝ කතා විලාසය යෙහෝවා අනුමත නොකරන අයගේ ජීවන රටාව අගය කරන බවට ඇඟවීමක් විය හැක්කේ කෙසේද? (ඇ) සාතන්ගේ කපටි සැලසුම්වල ගොදුරු බවට පත්වීමෙන් වැළකීම සඳහා අපේ පැත්තෙන් කළ යුත්තේ කුමක්ද?
12 වේශ්‍යාකම හා සියලු ආකාර අපවිත්‍රකම අප අතරේ (අපවිත්‍ර චේතනා ඇතුව) සඳහන් කරන්ටවත් එපා කියා බයිබලය අපට පවසයි. (එපීස 5:3-5) එහෙත්, කන්කලු තාලයක්, සිත්ගන්නා රිද්මයක් හෝ නොනවත්වා පපුවට වදින “බීට් එකක්” සමඟ එවන් තේමා සංකලනය කළ විට තත්වය කුමක්ද? විවාහ නොවී ලිංගිකව හැසිරීම, වින්දනය සඳහා මත්ද්‍රව්‍ය ගැනීම සහ වෙනත් පාපතර ක්‍රියා වර්ණනා කෙරෙන එවන් ගීත හිතින් හෝ හීන් හඬින් ගැයීමට අප පෙලඹෙනවාද? එවන් දේවල ඇලී ගැලී සිටින මිනිසුන්ගේ ජීවන රටාව අනුගමනය නොකළ යුතුයි කියා දන්නා අප, ඔවුන්ගේ ඇඳුම් විලාසිතා, කොණ්ඩා මෝස්තර හෝ කතා විලාසය අනුකරණය කිරීමෙන් අපද ඔවුන්ගේ ආරෙට හැසිරෙන කෙනෙකැයි හඳුන්වා දීමට නැඹුරුවාවක් දක්වනවාද? තම දූෂිත සිතුවිලි රටාවට එකඟ කරවාගැනීම සඳහා මිනිසුන්ව රැවටීමට සාතන් යොදාගන්නා ක්‍රම මොනතරම් සටකපටද! (2 කොරින්ති 4:3, 4) ඔහුගේ කපටි සැලසුම්වලට ගොදුරු නොවී සිටීම සඳහා ලෝකය සමඟ එහාට මෙහාට ගසාගෙන යෑමෙන් වැළකී සිටිය යුතුය. “මේ අන්ධකාරයේ ලෝක පාලකයන්” කවුදැයි නිතරම මතකයේ තබාගෙන ඔවුන්ගේ බලපෑමට එරෙහිව නොනවත්වාම පොරබැදීම අවශ්‍යය.—1 පේතෘස් 5:8.
ජයග්‍රාහකයන් වීමට සන්නද්ධ වෙමු
13. අසම්පූර්ණකම් තිබුණත්, සාතන් පාලනය කරන මේ ලෝකයේ ජයග්‍රාහකයෙකු වීමට අපෙන් ඕනෑම කෙනෙකුට හැක්කේ කෙසේද?
13 යේසුස් තම මරණයට පෙර ඔහුගේ ප්‍රේරිතයන්ට මෙසේ පැවසුවේය. “ධෛර්යවත් වෙන්න. මම ලෝකයෙන් ජය ගතිමි.” (යොහන් 16:33) ජයග්‍රාහකයන් වීමට ඔවුන්ටද හැකිකම තිබිණ. එතැන් සිට අවුරුදු 60ක් පමණ ගිය පසු, ප්‍රේරිත යොහන් මෙසේ ලීවේය. “යේසුස් දෙවිගේ පුත්‍රයා බව විශ්වාස කරන [ඇදහිල්ල තබන, NW] තැනැත්තා මිස ලෝකයෙන් ජයගන්නේ වෙන කවුද?” (1 යොහන් 5:5) එවන් ඇදහිල්ලක් යේසුස්ගේ ආඥාවලට කීකරු වීමෙන් හා යේසුස් කළාක් මෙන් දෙවිගේ වචනය මත රඳා සිටීමෙන් පෙන්විය හැකිය. තවත් කුමක් අවශ්‍ය කෙරේද? යේසුස් හිස හෙවත් මූලිකයා ලෙස ක්‍රියා කරන ඔහුගේ සභාවට අප සමීපව සිටීමත් අවශ්‍ය කෙරේ. අප පව් කළ විට, අප අවංකවම පසුතැවිලි වී, යේසුස්ගේ ජීවිත පූජාවේ පදනම මත දෙවිගෙන් සමාව ඉල්ලා සිටිය යුතුය. මේ ආකාරයට, අපේ අසම්පූර්ණකම් හා අඩුපාඩුකම් හමුවේ, ජයග්‍රාහකයන් වීමට අපටද හැකි වේ.—ගීතාවලිය 130:3, 4.
14. එපීස 6:13-17 දක්වා කියවා, එම එක් එක් ආත්මික යුධායුධයේ ප්‍රයෝජන සාකච්ඡා කිරීමට පදනමක් වශයෙන් මේ ඡේදයේ ඇති ප්‍රශ්න හා බයිබල් පද යොදාගන්න.
14 සාර්ථක වීමට නම්, අප “දෙවිගේ සියලු යුද්ධායුධ පැළඳගැනීම” [NW] අවශ්‍යය. ඉන් එකක්වත් නොසලකා නොහැරිය යුතුය. ඔබේ බයිබලය එපීස 6:13-17ට පෙරළා, එම ආයුධ පිළිබඳව ඇති විස්තරය කියවන්න. ඉන්පසුව, පහත සඳහන් ප්‍රශ්නවලට උත්තර දෙන ගමන්, ඒ එක් එක් ආයුධය සපයන ආරක්ෂාවෙන් ඔබට ප්‍රයෝජන ලැබිය හැකි ආකාරය සලකා බලන්න.
“ඉඟටි සැබෑකම නමැති පටියෙන් බැඳගෙන”
අප සත්‍යය දන්නවා වුණත්, නිතිපතා කරන අධ්‍යයනය, බයිබල් සත්‍යයන් මෙනෙහි කිරීම හා රැස්වීම්වලට සහභාගි වීම අපට ආරක්ෂාවක් වන්නේ කෙසේද? (1 කොරින්ති 10:12, 13; 2 කොරින්ති 13:5; පිලිප්පි 4:8, 9)
“ධර්මිෂ්ඨකම නමැති ළයවැස්ම”
මේ කතා කරන්නේ කාගේ ධර්මිෂ්ඨකමේ ප්රමිතීන් ගැනද? (එළිදරව් 15:3)
යෙහෝවාගේ ධර්මිෂ්ඨ මාර්ග අනුගමනය කිරීමට අපොහොසත් වීම කෙනෙකුව ආත්මික හානිවලට අනාවරණය කරන්නේ කෙසේදැයි නිදර්ශනය කරන්න. (ද්විතීය කථාව 7:3, 4; 1 සාමුවෙල් 15:22, 23)
“සමාදානයේ ශුභාරංචියේ සූදානම නමැති වහන් පයලා”
සමාදානය වෙනුවෙන් දෙවි කර ඇති සැපයුම් ගැන ජනයාට කතා කිරීම සඳහා අප අපේ පාද නිතරම කඩිසරව භාවිත කිරීම ආරක්ෂාවක් වන්නේ කෙසේද? (ගීතාවලිය 73:2, 3; රෝම 10:15; 1 තිමෝති 5:13)
“ඇදහිල්ල නමැති [විශාල] පලිහ”
අපට ගැඹුරටම මුල් බැසගත් ඇදහිල්ලක් තිබේ නම්, අප තුළ සැකය හෝ බිය ඇති කිරීමේ අරමුණෙන් ගෙනෙන දේවල් හමුවේ අප ප්‍රතික්‍රියා කරන්නේ කෙසේද? (2 රාජාවලිය 6:15-17; 2 තිමෝති 1:12)
“ගැළවීම නමැති ආරක්ෂා තොප්පිය”
ගැළවීම නමැති බලාපොරොත්තුව ද්‍රව්‍යමය දේවල් පිළිබඳව අනවශ්‍ය සැලකිල්ලක් දැක්වීමේ උගුලෙන් කෙනෙකුව වළක්වන්නේ කෙසේද? (1 තිමෝති 6:7-10, 19)
“ආත්මයේ කඩුව”
අපේ සහ අන් අයගේ ආත්මිකත්වයට එරෙහිව කෙරෙන පහර දීම් සමඟ සටන් කිරීම සඳහා අප සැමවිටම රඳා සිටිය යුත්තේ කුමක් මතද? (ගීතාවලිය 119:98; හිතෝපදේශ 3:5, 6; මතෙව් 4:3, 4)
ආත්මික යුද්ධයේදී සාර්ථක වීම සඳහා තවත් අත්‍යවශ්‍ය වන්නේ කුමක්ද? එය කොතරම් දුරට පාවිච්චි කළ යුතුද? කා උදෙසාද? (එපීස 6:18, 19, 20ආ)
15. ආත්මික සටනේදී දැඩිව ප්‍රතික්‍රියා කිරීමට අපට හැක්කේ කෙසේද?
15 ක්‍රිස්තුස්ගේ යුධ භටයන් හැටියට, අපි ආත්මික යුද්ධයක යෙදී සිටින විශාල හමුදාවක කොටස්කරුවන් වන්නෙමු. අප සුපරීක්ෂාකාරි වී, දෙවිගේ යුධායුධ කට්ටලයෙන් උපරිම ප්‍රයෝජන ගත්තොත්, අපි මේ යුද්ධයේ තුවාලකරුවන් නොවන්නෙමු. ඒ වෙනුවට, අපි දෙවිගේ සෙසු සේවකයන්ට ශක්තිසම්පන්න උපකාරයක් වන්නෙමු. එමෙන්ම, සාතන් දැඩි විරුද්ධකමක් දක්වන දෙවිගේ මෙසියානු රාජ්‍යය හෙවත් ස්වර්ගීය ආණ්ඩුව ගැන ශුභාරංචිය පතුරුවාහැරීමට අපි සූදානමින් මෙන්ම ඉමහත් උනන්දුවෙන් යුතුව ක්‍රියාත්මක වන්නෙමු.
පුනරීක්ෂණ සාකච්ඡාව
• ලෝකයේ ගැටුම්වලදී යෙහෝවාගේ නමස්කාරකයන් පූර්ණ මධ්‍යස්ථභාවය පවත්වන්නේ මන්ද?
• ක්‍රිස්තියානීන්ව ආත්මිකව විනාශ කර දැමීම සඳහා සාතන් පාවිච්චි කරන කපටි සැලසුම් සමහරක් මොනවාද?
• අපේ ආත්මික යුද්ධයේදී දෙවි සපයන ආත්මික යුද්ධායුධ ආරක්ෂාවක් වන්නේ කෙසේද?
[76වන පිටුවේ පින්තූර]
ජාතීන්ව අර්මගෙදොන් සඳහා රැස් කෙරෙමින් තිබේ