යෞවනයෙනි—මේ ලෝකයේ ස්වභාවයට විරුද්ධ වන්න
“[දෙවි] විසින් අපට දෙනලද දේ . . . ලෝකයේ ආත්මය [ස්වභාවය, NW] නොව [දෙවිගෙන්] වූ ආත්මය ලැබීමුව.”—1 කොරින්ති 2:12.
1, 2. (අ) ලෝකයේ සිටින යෞවනයන් අතර හා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවල සිටින යෞවනයන් අතර දැකිය හැකි වෙනස කුමක්ද? (ආ) සාක්ෂිකාර යෞවනයන් වැඩි පිරිසකට දිය හැක්කේ කිනම් උණුසුම් ප්‍රශංසාවක්ද?
“අපේ යෞවන පරම්පරාව අධෛර්යයට පත් වී සිටිනවා, ඔවුන්ව ප්‍රතික්ෂේප කොට තිබෙනවා, ඔවුන් කැරලිගසමින් ඉන්නවා.” එසේ පැවසුවේ ද සන් හෙරල්ඩ් යන ඕස්ට්‍රේලියානු පුවත්පතයි. එහි තවදුරටත් මෙසේ පැවසුවා: “දරුණු පහර දීම් නිසා චෝදනාවලට ලක් වූ බාලයන්ගේ සංඛ්‍යාව [පසුගිය අවුරුද්දට වඩා] සියයට 22කින් වැඩි වූ බව උසාවි වාර්තාවලින් පැහැදිලි වුණා . . . එක්දහස් නවසිය හැට ගණන්වල මැද භාගයේ සිට දරුවන්ගේ සියදිවි හානි කරගැනීම තුන්ගුණයකින් වැඩි වී තිබෙනවා . . . තවද පරම්පරා පරතරය එන්න එන්නම වැඩි වෙමින් පවතින අතර මේ හේතුවෙන් යෞවනයන් වැඩි වැඩියෙන් මත්ද්‍රව්‍ය, මත්පැත් හා තමාව නැති කරගැනීමේ තත්වයන්වලට යොමු වෙමින් පවතිනවා.” කොහොම වුණත්, මෙම තත්වය කොහෙත්ම එක රටකට සීමා වී නැහැ. ලොව පුරාම, දෙමාපියන්, ගුරුවරුන් හා මානසික සෞඛ්‍ය විශේෂඥයන් තරුණයන්ගේ මෙම ඛේදනීය තත්වය ගැන දුක් වෙනවා.
2 අදදින සිටින යෞවනයන් වැඩිදෙනෙකු හා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවල සිටින යෞවනයන් අතර ඇත්තේ මොනතරම් කැපීපෙනෙන වෙනසක්ද! ඔවුන් සම්පූර්ණයි කියා කියනවා නෙවෙයි. ඔවුන්ටද “යෞවන වයසේ තෘෂ්ණා” සමඟ පොරබැදීමට සිදු වෙනවා. (2 තිමෝති 2:22) නමුත් කණ්ඩායමක් හැටියට ගත් කල, මෙම යෞවනයන් හරි දේ වෙනුවෙන් ස්ථාවරයක් ගෙන තිබෙන අතර, ලෝකයෙන් එන පීඩනවලට විරුද්ධ වී තිබෙනවා. සාතන්ගේ “කපටි උපායවලට” විරුද්ධව කරන පොරබැදීම ජයගනිමින් සිටින යෞවනයන් සියලුදෙනාටම අප හද පත්ළෙන්ම ප්‍රශංසා කරන්න කැමතියි! (එපීස 6:11, NW පාදසටහන) ප්‍රේරිත යොහන් මෙන්, අපද මෙසේ කීමට නැඹුරු වෙමු: “තරුණයෙනි [තරුණියෙනි], නුඹලාට ලියා එවුවේ, නුඹලා ශක්තිමත් බැවිනුත් නුඹලා තුළ [දෙවිගේ] වචනය පවතින බැවිනුත් නපුරාගෙන් නුඹලා ජයගත් බැවිනුත්ය.”—1 යොහන් 2:14.
3. “ස්වභාවය” යන වචනයේ තේරුම කුමක් විය හැකිද?
3 කොහොම වුණත්, දුෂ්ටයාට විරුද්ධව කරන සටනෙන් දිගටම ජයගැනීමට නම්, “ලෝකයේ ස්වභාවය” හැටියට බයිබලය හඳුන්වන දෙයට ඔබ දැඩි ලෙස විරුද්ධ විය යුතුයි. (1 කොරින්ති 2:12) ග්‍රීක භාෂාව සම්බන්ධ එක් මූලාශ්‍රයකට අනුව, “ස්වභාවය” යන වචනයෙන් “ඕනෑම කෙනෙකුව පාලනය කරන හා කෙනෙකු තුළ ඇති වන නැඹුරුවාව හෝ බලපෑම” අදහස් කළ හැකියි. උදාහරණයක් හැටියට, කෙනෙකුට ඉක්මන් කෝපයක් ඇතැයි ඔබ නිරීක්ෂණය කළොතින්, ඔහුට නරක “ස්වභාවයක්” තිබෙන බව කියන්න පුළුවන්. ඔබේ “ස්වභාවය,” නැඹුරුවාව හෝ මානසික පෙළඹීම ඔබ ගන්නා තීරණවලට බලපෑම් කරයි; එය ඔබේ ක්‍රියාවන් හා වචනයන් හසුරුවයි. උනන්දුවට කරුණක් වන්නේ, පුද්ගලයන්ට මෙන්ම කණ්ඩායම්වලට යම් “ස්වභාවයක්” විදහාපෙන්විය හැකිවීමයි. එක් ක්‍රිස්තියානි කණ්ඩායමකට ප්‍රේරිත පාවුල් මෙයාකාරයෙන් ලීවා: “අපේ ස්වාමිවූ යේසුස් [ක්‍රිස්තුස්ගේ] කරුණාව නුඹලාගේ ආත්ම [නුඹලා පෙන්වන ස්වභාවය, NW] සමග වේවා.” (පිලෙමොන් 25) එසේ නම්, මේ ලෝකය විදහාපෙන්වන ස්වභාවය කුමක්ද? “මුළු ලෝකයා නපුරා,” වන සාතන් නමැති යක්ෂයා ‘තුළ පවතින බැවින්’, ලෝකයේ ස්වභාවය අහිතකර එකක් විය නොහැකිද?—1 යොහන් 5:19.
ලෝකයේ ස්වභාවය හඳුනාගැනීම
4, 5. (අ) එපීස සභාවේ අය ක්‍රිස්තියානීන් බවට පත්වීමට පෙර ඔවුන්ට බලපෑම් කළ ස්වභාවය කුමක්ද? (ආ) “ආකාශයේ බලයේ අධිපතියා” කවුද? එමෙන්ම ‘ආකාශය’ යනු කුමක්ද?
4 පාවුල් මෙසේ ලිව්වා: “නුඹලා නුඹලාගේ වරද සහ පාප කරණකොටගෙන මැරී සිටි කල [ඔහු] නුඹලා [ජීවත් කළේය]. පෙර කාලයේ නුඹලා මේ ලෝකයේ ව්‍යවහාරය ලෙසත්, අකීකරුකමේ පුත්‍රයන් තුළ දැන් ක්‍රියාකරන්නාවූ ආත්මය [ස්වභාවය, NW] වන ආකාශයේ බලයේ අධිපතියාගේ කැමැත්තේ හැටියටත්, ඒවායෙහි හැසුරුණහුය. ඔවුන් අතරේ අප සියල්ලෝද වරක් අපේ මාංසයේ තෘෂ්ණාවල හැසිරෙමින්, මාංසයටත් සිතටත් කැමතිදේ කරමින්, ස්වභාවෙන් අනික් අයමෙන් උදහසේ දරුවෝව සිටියෙමුව.”—එපීස 2:1-3.
5 එපීසයේ සිටි ක්‍රිස්තියානීන්, ක්‍රිස්තියානි මාර්ගය ඉගෙනීමට පෙර, නොදැනුවත්ව “ආකාශයේ බලයේ අධිපතියා” වන සාතන් නමැති යක්ෂයාගේ සේවකයන් වී සිටියා. එම ‘ආකාශය’ සාතන් හා ඔහුගේ භූතයන් වාසය කරන ඇත්ත තැනක් නොවෙයි. පාවුල් මේ වචන ලියන කාලයේදිත්, සාතන්ට හා ඔහුගේ භූතයන්ට ස්වර්ගයට යෑමට අවකාශ තිබුණා. (යෝබ් 1:6; එළිදරව් 12:7-12 සසඳන්න.) ‘ආකාශය’ යන වචනයේ අරුත වනාහි සාතන්ගේ ලෝකය යටතේ ඇති ස්වභාවය හෝ මානසික ආකල්පයයි. (එළිදරව් 16:17-21 සසඳන්න.) අප අවට ඇති ආකාශය මෙන් මෙම ස්වභාවයද සෑම තැනකම පවතිනවා.
6. ‘ආකාශයේ බලය’ යනු කුමක්ද? තවද එය යෞවනයන් බොහෝදෙනෙක් කෙරෙහි බලපවත්වන්නේ කොහොමද?
6 නමුත් ‘ආකාශයේ බලය’ කියන්නේ කුමක්ද? පෙනෙන ප්‍රකාරයට, මිනිසුන් කෙරෙහි මෙම ‘ආකාශයට’ ඇති බලගතු බලපෑම මින් අඟවනවා විය හැකියි. මෙම ස්වභාවය ‘අකීකරුකමේ පුත්‍රයන් තුළ ක්‍රියා කරන’ බව පාවුල් පැවසුවා. එහෙයින්, ලෝකයේ ස්වභාවය අකීකරුකමේ හා කැරලිකාරකමේ ස්වභාවයක් ජනිත කරන අතර, මෙම අධිකාරිය හොබවන එක් ක්‍රමයක් වන්නේ තුල්‍ය පීඩනයයි. “පාසලේ ඉන්නකොට, හැමෝම උනන්දු කරන්නේ සුළුවෙන් හරි කැරලිකාර ගතියක් පෙන්නන්න කියලයි. භයානක දෙයක් කළොත්, එතකොට ළමයින්ගෙන් අපිට ලැබෙන ගෞරවය වැඩියි” කියා එක් යෞවන සාක්ෂිකාරියක් පවසයි.
ලෝකයේ ස්වභාවය විදහාපෑම
7-9. (අ) අද සිටින යෞවනයන් අතරේ ලෝකයේ ස්වභාවය විදහාපෙන්වන සමහරක් ක්‍රම මොනවාද? (ආ) මෙවැනි දේවල් ඔබ ඔබේ ප්‍රදේශයේ නිරීක්ෂණය කොට ඇද්ද?
7 අද ලෝකයේ සිටින යෞවනයන් එහි ස්වභාවය විදහාපෙන්වන්නේ කෙබඳු ආකාරවලින්ද? අකීකරු වීමෙන් හා කැරලිගැසීමෙන්. උසස් පාසැල් තුළදී, කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ සිසුන් සියයට 70කට වැඩි ප්‍රමාණයක් වංක අයුරින් කටයුතු කර ඇති බව එක් සඟරාවක් වාර්තා කළා. අගෞරවනීය, කැපෙනසුලු හා පිළිකුල්සහගත කතාබහ සෑම තැනකම දක්නට තිබෙනවා. ධර්මිෂ්ඨ කෝපය ප්‍රකාශ කිරීම සඳහා, සමහරුන් විසින් කැපෙනසුලු කතාවයයි සැලකිය හැකි ප්‍රකාශයන් යෝබ් හා පාවුල් යම් අවස්ථාවලදී භාවිත කළ බව ඇත්තයි. (යෝබ් 12:2, 3; 2 කොරින්ති 12:13) කොහොම වුණත්, අද යෞවනයන් වැඩිදෙනෙකුගේ මුවින් පිට වෙන කුරිරු කැපෙනසුලු කතා වාචික දූෂණය ලෙස වර්ග කළ හැකියි.
8 විනෝදාස්වාදයේදී අන්තයටම යෑමත් ලෝකයේ ස්වභාවය විදහාපෑමක් වෙනවා. යොවුන් රාත්‍රි සමාජශාලා, උමතු රැඟුම්a හා වෙනත් ආකාරයේ උමතු සාදයන් යෞවනයන් අතරේ ප්‍රචලිතයි. එමෙන්ම ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන්ද අන්තයට යෑම් අද ප්‍රචලිතව දක්නට තිබෙනවා. හිප් හොප් වැනි බාච්චුවට අඳින විලාසිතා මෙන්ම කරාබු පැළඳීම සඳහා ඇඟ සිදුරු කිරීම වැනි තැතිගන්වන විලාසිතාවන් යොදාගැනීමෙන්, ලෝකයේ කැරලිකාර ස්වභාවය සමඟ තමන් අත්වැල් බැඳගෙන සිටින බව යෞවනයන් පෙන්නුම් කරනවා. (රෝම 6:16 සසඳන්න.) ද්‍රව්‍යමය වස්තූන්වලටම ඇලී ගැලී සිටීමත් මේ ලෝකයේ ස්වභාවය විදහාපාන තවත් ආකාරයක් වෙනවා. එක් අධ්‍යාපනික සඟරාවකට අනුව, “වෙළඳ නියෝජිතයන් අධ්‍යාපන මෙන්ම වෙළඳ ප්‍රචාරණ වැනි උපායන් මාර්ගයෙන්ද, සිත් ඇදගන්නාසුලු භාණ්ඩ රැසකින්ද දරුවන්ට හැම පැත්තෙන්ම ප්‍රහාර එල්ල කරනවා.” එක්සත් ජනපදයේ වසන යෞවනයන් උසස් පාසලෙන් සමත් වන විට, ප්‍රචාරණ දැන්වීම් 3,60,000කට නිරාවරණය වී සිටිනු ඇත. සමහරක් අවස්ථාවලදී, මිල දී ගන්න කියා ඔබේ තුල්යයන්ද ඔබට බල කරන්න පුළුවන්. එක් 14හැවිරිදි ගැහැනු ළමයෙක් මෙසේ පවසයි: “‘ඔය ගවුම කොහෙන්ද? කලිසම ගත්තේ කොතනින්ද’ වගේ ප්‍රශ්න හැමෝම නිතරම අහනවා.”
9 වැරදි ආකාරයේ හැසිරීම් රටාවක් වර්ධනය කිරීම සඳහා අහිතකර සංගීතය බයිබල් කාලවල සිටම සාතන්ගේ මෙවලමක් වී තිබෙනවා. (නික්මයාම 32:17-19; ගීතාවලිය 69:12; යෙසායා 23:16 සසඳන්න.) එසේ නම්, ලිංගික වශයෙන් පොලඹවනුසුලු හෝ හැඟීම් අවුස්සන වචන, අසභ්‍ය භාෂාව හා උමතු මෙන්ම හැඟීම් පුබුදුවාලන රිද්මයන්ගෙන් යුත් සංගීතය අද හාත්පස පැතිර තිබීම පුදුමයක් නෙවෙයි. එහෙත්, මෙම ලෝකයේ අපිරිසිදු ස්වභාවයේ තවත් විදහාපෙන්වීමක් වන්නේ ලිංගික දුරාචාරයයි. (1 කොරින්ති 6:9-11) නියූ යෝක් ටයිම්ස් මෙසේ වාර්තා කරයි: “නහඹරයන්හට ලිංගිකත්වය බොහෝදුරට, තුල්‍යයන් අතරේ තමන්ව පිළිගැනීමට තිබෙන අනිවාර්ය අංගයක් වී ඇත . . . උසස් පාසැල් ජ්‍යෙෂ්ඨයන්ගෙන් තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයක් ලිංගික සම්බන්ධතා පවත්වා තිබෙනවා.” වෝල් ස්ට්‍රීට් ජ’නල්හි එක් ලිපියකට අනුව, අවුරුදු 8ත් 12ත් අතර සිටින ළමයින් “ලිංගික ක්‍රියාකාරිත්වයේ වැඩියෙන් නියැලෙන” බව පෙන්නුම් කළා. මෑතකදී විශ්‍රාම ගිය එක් පාසැල් උපදේශිකාවක් මෙසේ පැවසුවා: “දැන් හයවෙනි පංතිවලත් ගැබිනි මව්වරුන් ඉන්නවා.”b
ලෝකයේ ස්වභාවය ප්‍රතික්ෂේප කිරීම
10. ක්‍රිස්තියානි පවුල්වල සිටින සමහරක් යෞවනයන් ලෝකයේ ස්වභාවයට යටත් වී ඇත්තේ කොහොමද?
10 කනගාටුදායක ලෙස, සමහරක් ක්‍රිස්තියානි යෞවනයන් ලෝකයේ ස්වභාවයට නතු වී තිබෙනවා. “මම මගේ දෙමව්පියෝ වගේම ක්‍රිස්තියානි සහෝදරයෝ ළඟ ඉන්නකොට හොඳ ආකල්පයක් විදහාපෑවට, මම ගත කරමින් හිටියේ දෙබිඩි ජීවිතයක්” කියා එක් නහඹර ජපන් ගැහැනු ළමයෙක් පැවසුවා. කෙන්යාවේ එක් යෞවනියක් පැවසුවේ මෙසේයි: “කාලයක් මම දෙබිඩි ජීවිතයක් ගත කළා. සාදයන්, රොක් සංගීතය වගේ දේවල්වලට මම පෙලඹුණා. නරක යාළුවෝ එක්කත් මම ඇසුරු කළා. මේක වැරදියි කියල මම දැනගෙන හිටියා. ඒත් මම හිතුවේ ඒක කවදහරි නවතියි කියලා. හැබැයි එහෙම වුණේ නැහැ. දේවල් තවත් නරක අතට හැරුණා විතරයි.” ජර්මනියේ වසන තවත් යෞවනියක් මෙසේ පවසයි: “මේ ඔක්කොම පටන්ගත්තේ නරක යාළුවන්ව ආශ්‍රය කරන එකෙන්. ඊට පස්සේ මම සිගරට් බොන්න පටන්ගත්තා. මට ඕන කළේ මගේ දෙමව්පියන්ව රිද්දවන්න, හැබැයි ඒකෙන් වුණේ මටම රිදුණ එකයි.”
11. ඔත්තුකාරයන් දසදෙනෙක් නරක වාර්තාවක් ගෙනා අවස්ථාවේදී, කාලෙබ් සමූහයාට එකඟ වීමෙන් වැළකුණේ කොහොමද?
11 එහෙත්, ලෝකයේ ස්වභාවය ප්‍රතික්ෂේප කිරීමට, ඔව් එයට විරුද්ධ වීමට හැකියි. අතීතයේ විසූ කාලෙබ්ගේ උදාහරණය සලකා බලන්න. බියගුලු ඔත්තුකාරයන් දසදෙනා පොරොන්දු දේශයෙන් නරක වාර්තාවක් ගෙනා විට, යෝෂුවා සහ ඔහු, බයවීම නිසා සමූහයාට එකඟ වීම ප්‍රතික්ෂේප කළා. ඔවුන් අභීතව මෙසේ ප්‍රකාශ කළා: “අප සෝදිසි කරන්ට ගිය දේශය ඉතාම හොඳ දේශයක්ය. [යෙහෝවා] අප කෙරෙහි ප්‍රසන්න [වන්නේ] නම් කිරි සහ මීපැණි ගලායන ඒ දේශයට අප පමුණුවා ඒක අපට දෙනවා ඇත.” (ගණන් කථාව 14:7, 8) ඒ හැම පීඩනයකටම විරුද්ධ වීමට කාලෙබ්ට හැකි කරවූයේ කුමක්ද? ‘ඔහුට වෙන ආකාරයේ සිතක් [වෙනස් ස්වභාවයක්, NW] තිබුණා’ කියා යෙහෝවා කාලෙබ් ගැන පැවසුවා.—ගණන් කථාව 14:24.
‘වෙනස් ස්වභාවයක්’ විදහාපෑම
12. කෙනෙකුගේ කතාබහ සම්බන්ධයෙන් “වෙනස් ස්වභාවයක්” පෙන්වීම වැදගත් වන්නේ මන්ද?
12 ලෝකයාට වඩා වෙනස් මානසික ආකල්පයක් හෝ “වෙනස් ස්වභාවයක්” විදහාපෙන්වීමට නම්, අදදින අපට ධෛර්යය හා ශක්තිය අවශ්‍ය වෙනවා. ඔබට එය කළ හැකි ක්‍රමයක් වන්නේ කැපෙනසුලු ආකාරයකින් හෝ අගෞරවනීය ලෙස කතා කිරීමෙන් වැළකී සිටීමෙනි. “කැපෙනසුලු කතාබහ” යන වචනය ග්‍රීක ක්‍රියා පදයකින් පැමිණෙන අතර, “බල්ලන් මෙන් මාංශය ඉරා කෑම” යන අදහස එහි අන්තර්ගත වීම උනන්දුවට කරුණක්. (ගලාති 5:15 සසඳන්න.) බල්ලෙකුට, කටුවක ඇති මස් ඉරා කෑමට හැකි වන්නා සේ, කැපෙනසුලු “විහිළු තහළු” නිසා කෙනෙකුගෙන් ගෞරවය ඉරා දැමිය හැකියි. නමුත් කොලොස්සි 3:8 උනන්දු කරන්නේ “දැන් නුඹලා ඒ සියල්ල-කෝපය, උදහස, ක්‍රෝධය, අපහාසය, නින්දාකිරීම, නුඹලාගේ මුඛයෙන් නික්මෙන කැත කථාව—පහකරන්න.” එමෙන්ම හිතෝපදේශ 10:19 මෙසේ පවසයි: “වචන බහුලවූ කල වරද හිඟ නැත; එහෙත් තමාගේ තොල් ආණ්ඩුකරගන්නා නුවණ ඇති කෙනෙක්ය.” කෙනෙකු ඔබට නිග්‍රහ කරයි නම්, ඔබේ ‘අනික් කම්මුල හැරවීම’ සඳහා ආත්ම-දමනය ඇති කරගන්න. මෙසේ කිරීමේදී සමහරක් විට ඔබට, සන්සුන්ව හා සමාදානයෙන් ඔබේ විරුද්ධකාරයාට තනිව කතා කළ හැකියි.—මතෙව් 5:39; හිතෝපදේශ 15:1.
13. ද්‍රව්‍යමය දේවල් කෙරෙහි යෞවනයන්ට සමබර ආකල්පයක් විදහාපෑ හැක්කේ කොහොමද?
13 “වෙනස් ස්වභාවයක්” පෙන්නුම් කළ හැකි තවත් ක්‍රමයක් වන්නේ ද්‍රව්‍යමය දේවල් සම්බන්ධයෙන් සමබර දෘෂ්ටියක් පවත්වාගැනීමයි. ඇසට ප්‍රිය දේවල් ලබාගැනීමට උවමනා වීම ඇත්තෙන්ම සාමාන්‍ය දෙයක්. යේසුස් ක්‍රිස්තුස්ට පවා අඩුම තරමේ වටිනා සළු එකක් හෝ තිබුණා. (යොහන් 19:23, 24) කොහොම වුණත්, දේවල් අත් කරගැනීම උමතුවක් බවට පත් වන විටත්, ඔබේ දෙමාපියන්ට ලබා දිය නොහැකි දේවල් ඉල්ලමින් ඔබ කන්කෙඳිරිගාන විටත්, එසේ නැතහොත් වෙනත් යෞවනයන්ව අනුකරණය කිරීමට ඔබ වෑයම් කරන විටත්, ඔබ සිතුවාටත් වඩා ඔබට මේ ලෝකයේ ස්වභාවය බලපෑම් කර තිබෙනවා විය හැකියි. බයිබලය මෙසේ පවසයි: “ලෝකයෙහි තිබෙන සියල්ල, එනම්, මාංසයේ තෘෂ්ණාවත් ඇස්වල තෘෂ්ණාවත් ජීවිතයේ අහංකාරකමත් [පියාගෙන්] නොව ලෝකයෙන් වේ.” එසේය, මේ ලෝකයේ ද්‍රව්‍යමය ස්වභාවයේ බලයට යට වෙන්න එපා! ඔබට ඇති දෙයින් සතුටු වීමට ඉගෙනගන්න.—1 යොහන් 2:16; 1 තිමෝති 6:8-10.
14. (අ) විනෝදාස්වාදය සම්බන්ධයෙන් යෙසායාගේ කාලයේ ජීවත් වූ අය අසමබර ආකල්පයක් විදහාපෑවේ කොහොමද? (ආ) රාත්‍රී සමාජශාලාවල හා උමතු සාදයන්වලදී ක්‍රිස්තියානි යෞවනයන් අද්දැක ඇති සමහරක් අන්තරාවන් මොනවාද?
14 විනෝදාස්වාදය එහි නිසි තැන තැබීමද වැදගත්. ප්‍රොපේත යෙසායා මෙසේ ප්‍රකාශ කළා: “මද්‍යපානය පස්සේ යන පිණිස උදෑසනම නැගිටින්නාවූ, මුද්රිකාපනයෙන් ඇවිළෙන ලෙස රෑවෙන තුරු ප්‍රමාද වෙන්නාවූ අයට දුක් වේ! ඔවුන්ගේ මංගල්‍යවල වීණාව සහ කුඩා වීණාවත් රබානත් නළාවත් මුද්‍රිකපානයත් ඇත. නුමුත් ඔවුන් [යෙහෝවාගේ] ක්‍රියාව සලකන්නේවත් [ඔහුගේ] අත්වල ක්‍රියාව කල්පනාකළේවත් නැත.” (යෙසායා 5:11, 12) එවැනිම උමතු සාදයන්වලට ක්‍රිස්තියානි යෞවනයනුත් සහභාගි වී තිබීම ඇත්තෙන්ම කනගාටුවට කරුණක්. යොවුන් රාත්‍රී සමාජශාලාවල සිදු වන දෙය විස්තර කිරීමට එක් යෞවන ක්‍රිස්තියානි කණ්ඩායමකට පැවසූ විට යෞවන ස්ත්‍රියක් මෙසේ පැවසුවා: “ළමයි හැම තිස්සෙම ගහගන්නවා. මමත් ඒවාට පැටලිලා තියෙනවා.” තවත් යෞවන සහෝදරයෙක් මෙසේ පැවසුවා: “බීමත්කම, සිගරට් බොන එක වගේ දේවල් තියෙනවා.” එක් යෞවන සහෝදරයෙක් මෙසේ පිළිගත්තා: “මිනිසුන් බොනවා. අන්තිමට පිස්සෝ වගේ හැසිරෙනවා! ඒ වගේම ඒ තැන්වල මත්ද්‍රව්‍යයත් තියෙනවා. නරක දේවල් ගොඩක් වෙනවා. එතනට ගියාට ඒකෙං කිසි හානියක් වෙන්නේ නැහැයි කියලා කෙනෙක් හිතනවා නං ඒක ලොකු වැරදීමක්.” එසේනම්, මංගල්‍ය ඝෝෂා හෙවත් “උමතු සාදයන්” ‘මාංසයේ ක්‍රියාවක්’ හැටියට බයිබලයේ ලැයිස්තුගත කිරීම පුදුමයක් නෙවෙයි.—ගලාති 5:19-21; බයිංටන්; රෝම 13:13.
15. විනෝදාස්වාදය සම්බන්ධයෙන් බයිබලය දෙන්නේ කිනම් සමබර දෘෂ්ටියක්ද?
15 අහිතකර විනෝදාස්වාදයෙන් වැළකී සිටීම, ඔබව අසතුටුදායක ජීවිතයකට සීමා කරන්නේ නැහැ. අප නමස්කාර කරන්නේ “සන්තෝෂවත් දෙවි” කෙනෙකුටයි. තවද ඔබේ යෞවන කාලය ඔබ භුක්ති විඳිනවා දකින්න ඔහු කැමතියි. (1 තිමෝති 1:11, NW; දේශනාකාරයා 11:9) නමුත් බයිබලය මෙසේ අනතුරු අඟවයි: “සැපසෙල්ලමට [“විනෝදාස්වාදයට,” ලම්සා] ඇලුම්වෙන්නා හිඟමනට පැමිණෙයි.” (හිතෝපදේශ 21:17) ඔව්, විනෝදාස්වාදය ඔබේ ජීවිතයේ වඩා වැදගත්ම දෙය කරගත්තොතින්, ඔබ ආත්මික වශයෙන් හිඟ තත්වයකට පත් විය හැකියි. එනිසා විනෝදාස්වාදය සම්බන්ධයෙන් ගන්නා තීරණවලදී බයිබල් ප්‍රතිපත්ති අනුගමනය කරන්න. ඔබව බිඳ වට්ටනවා වෙනුවට ඔබව ගොඩනංවන විනෝදාංශ රැසක් තිබෙනවා.c—දේශනාකාරයා 11:10.
16. තමන් වෙනස් බව ක්‍රිස්තියානි යෞවනයන්ට පෙන්නුම් කළ හැක්කේ කොහොමද?
16 ඔබ අඳින පළඳින සහ හිසකෙස් සකස් කරන ආකාරය සම්බන්ධයෙන් විනීත වීම මෙන්ම, ලෝකයේ විලාසිතා ප්‍රතික්ෂේප කිරීමෙන් ඔබ වෙනස් කෙනෙකු හැටියට කැපීපෙනෙන්න යනවා. (රෝම 12:2; 1 තිමෝති 2:9) සංගීතය සම්බන්ධයෙන් ඔබ ගන්නා තීරණවලින්ද එලෙසම සිදු වෙයි. (පිලිප්පි 4:8, 9) “මං ගාව සුදුසු නැති සංගීතය තියෙනවා කියල මම දන්නවා” කියා එක් යෞවන ක්‍රිස්තියානි සහෝදරියක් පිළිගනියි. “හැබැයි ඒකෙ නියම රිද්මයක් තියෙනවා.” එයාකාරයෙන්ම තවත් නහඹරයෙක් මෙසේ පිළිගත්තා: “මට සංගීතය කියන්නේ භයානක දෙයක්; මොකද මම ඒකට හරිම ආසයි. ඒකෙ මොකක් හරි වරදක් තියෙනවා කියල මට දැනුණොත්, නැත්තං දෙමාපියන් මට ඒ ගැන දෙයක් පෙන්නුවොතින්, මගේ හිත පාලනය කරන්න මට ඇත්තටම ලොකු ශක්තියක් ඕනෙ. මොකද ඇත්තටම මම ඒ සින්දුවට ආසයි.” යෞවනයෙනි, “[සාතන්ගේ] උපායවල්” ගැන “නොදැන” සිටින්න එපා. (2 කොරින්ති 2:11) යෞවනයන්ව යෙහෝවාගෙන් වෙනතකට හැරවීමේ අටියෙන් ඔහු සංගීතය ඇත්තෙන්ම පාවිච්චි කරයි! රැප්, හෙවි මෙටල් හා රොක් වැනි සංගීතය ගැන කතා කරන මුරටැඹ ප්‍රකාශන ලැබී තිබෙනවා.d කොහොම වුණත්, අලුතෙන් එන හැම ආකාරයකම සංගීතයක් ගැනම මුරටැඹ ප්රකාශනවලට අදහස් දක්වන්න බැහැ. එනිසා, ඔබ සංගීතය තෝරාගනිද්දී, “කල්පනා කිරීමේ හැකියාව” හා “විචාර බුද්ධිය” පාවිච්චි කිරීම අවශ්‍ය වෙනවා.—හිතෝපදේශ 2:11, NW.
17. (අ) පොර්නියා යන්නෙහි තේරුම කුමක්ද? තවද එයට කුමන ක්‍රියා ඇතුළත් වෙයිද? (ආ) සදාචාරමය කාරණා ගත් කල, දෙවිගේ කැමැත්ත කුමක්ද?
17 අවසාන වශයෙන්, ඔබ ඔබවම සදාචාරමය වශයෙන් පිරිසිදුව තබාගත යුතුයි. බයිබලය මෙසේ උනන්දු කරයි: “වේශ්‍යාකම කෙරෙන් පලා දුවන්න.” (1 කොරින්ති 6:18) වේශ්‍යාකම සඳහා යොදාගෙන ඇති මුල් ග්‍රීක වචනය වන පො·ර්නිʹයා යන්නෙන් විවාහ බන්ධනයෙන් පිටත, ලිංගික අවයව යොදාගෙන කෙරෙන සෑම ආකාරයකම වැරදි ලිංගික ක්‍රියාවකටම යොමු දක්වයි. තවද ඊට මුඛ සේවනය හා වුවමනාවෙන් ලිංගික අවයව අත පත ගෑම අයත් වෙනවා. තමන් ඇත්තටම වේශ්‍යාකමේ යෙදෙන්නේ නැතැයි සිතමින් ක්‍රිස්තියානි යෞවනයන් බොහෝදෙනෙක් එවැනිම ක්‍රියාවල යෙදී තිබෙනවා. කොහොම වුණත්, බයිබලය මෙසේ පැහැදිලිව පවසයි: “[දෙවිගේ] කැමැත්ත නම්, නුඹලා ශුද්ධව සිටීමය—නුඹලා වේශ්‍යාකමින් වැලකී, නුඹලාගෙන් එකිනෙකා තම තමාගේ භාජනය, . . . ශුද්ධකමෙහිත් ගෞරවයෙහිත් තබාගන්ට දැනගන [සිටීමයි].”—1 තෙසලෝනික 4:3-5.
18. (අ) ලෝකයේ ස්වභාවයෙන් දූෂ්‍ය වීමෙන් වැළකීමට යෞවනයෙකුට හැක්කේ කොහොමද? (ආ) ඊළඟ ලිපියෙන් සාකච්ඡා කරනු ඇත්තේ කුමක්ද?
18 එසේය, යෙහෝවාගේ උපකාරය ඇතුව ලෝකයේ ස්වභාවයෙන් දූෂ්‍ය නොවීමට ඔබට හැකියි. (1 පේතෘස් 5:10) ඒ කොහොම වුණත්, සාතන් සමහරක් අවස්ථාවලදී ඔහුගේ මාරාන්තික මලපත් සූක්ෂම ආකාරවලින් සඟවන අතර, එවන් අන්තරාවන් තේරුම්ගැනීම සඳහා ඇත්තෙන්ම නියම විචාර බුද්ධියක් අවශ්‍ය විය හැකියි. එහෙයින්, අපගේ ඊළඟ ලිපිය සකස් කර ඇත්තේ යෞවනයන්ගේ වටහාගැනීමේ ශක්තිය දියුණු කිරීමට උපකාර කිරීමේ අටියෙනි.
[පාදසටහන්වල]
a බොහෝවිට එලි වෙන ජාමය දක්වා පවතින රැඟුම් සාදයන්. වැඩි විස්තර සඳහා, 1998 ජනවාරි 08 පිබිදෙව්! කලාපයේ “යෞවන අය අසති. . .—උමතු රැඟුම් හානිකර නොවන විනෝදයක්ද?”
b අවුරුදු 11ක් පමණ වන ළමයින්.
c තවත් යෝජනා සඳහා, යෞවන අය අසන ප්‍රශ්න—ක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු යන පොතේ පිටු 296-303 දක්වා බලන්න.
d 1993 අප්‍රියෙල් 15 මුරටැඹ කලාපය බලන්න.
පුනරීක්ෂණ ප්‍රශ්න
◻ “ලෝකයේ ස්වභාවය” කුමක්ද? තවද එය මිනිසුන් කෙරෙහි “බලය” විදහාපෙන්වන්නේ කොහොමද?
◻ අද සිටින යෞවනයන් ලෝකයේ ස්වභාවය විදහාපෙන්වන සමහර ක්‍රම මොනවාද?
◻ කතාබහ මෙන්ම විනෝදාස්වාදය සම්බන්ධයෙන් ගත් කල, ක්‍රිස්තියානි යෞවනයන්ට “වෙනස් ස්වභාවයක්” පෙන්නුම් කළ හැක්කේ කොහොමද?
◻ සදාචාරය හා සංගීතය සම්බන්ධයෙන් ගත් කල, ක්‍රිස්තියානි යෞවනයන්ට “වෙනස් ස්වභාවයක්” පෙන්නුම් කළ හැක්කේ කොහොමද?
[9වන පිටුවේ පින්තූරය]
ලෝකයේ ස්වභාවයේ “බලයට” යටත් වී සිටින බව යෞවනයන් බොහෝදෙනෙක් තම හැසිරීමෙන් පෙන්නුම් කරයි
[10වන පිටුවේ පින්තූරය]
සංගීතය තේරීමකින් යුතුව රස විඳින්න
[11වන පිටුවේ පින්තූරය]
ලෝකයේ ස්වභාවයට විරුද්ධ වී සිටීම සඳහා ධෛර්යය අවශ්‍ය වෙයි