යෞවනයෙනි—ඔබේ වටහාගැනීමේ ශක්තිය වර්ධනය කරගන්න!
“නුමුත් දැඩි ආහාර ඕනෑවන්නේ යහපත සහ අයහපත විමසාබලන්ට ව්‍යවහාරයෙන් පුරුදු පුහුණුවූ ඉන්ද්රියයන් ඇති, සම්පූර්ණවූ [වටහාගැනීමේ ශක්තිය ඇති, මේරූ, NW] තැනැත්තන්ටය.”—හෙබ්‍රෙව් 5:14.
1, 2. (අ) අද අපේ තත්වය ඉපැරණි එපීසයේ සිටි ක්‍රිස්තියානීන්ගේ තත්වයට සමාන වන්නේ කොහොමද? (ආ) අන්තරාවන්ගෙන් ඔබව ආරක්ෂා කළ හැක්කේ කුමන හැකියාවන්වලටද? තවද ඔබට ඒවා වර්ධනය කළ හැක්කේ කොහොමද?
“නුඹලා ඥානය නැත්තන්මෙන් නොව ඥානවන්තයන් මෙන් ප්‍රවේසමෙන් හැසිරෙන්ට බලාගෙන, දවස් නපුරු බැවින් ප්‍රස්තාව අල්ලාගන්න.” (එපීස 5:15, 16) ප්‍රේරිත පාවුල් මෙම වචන අවුරුදු දෙදහකට පෙර ලිවූ කාලයේ සිට ‘නපුරු මනුෂ්‍යයෝ වඩ වඩා නරක් වී තිබෙනවා.’ අප ජීවත් වන්නේ “කටයුතු කිරීමට අසීරු අර්බුදකාරි කාලවලයි”; එසේත් නැතිනම් තවත් පරිවර්තනයක් එය පෙන්නුම් කළ ආකාරයට, “ත්‍රාසයෙන් පිරි කාලයකයි.”—2 තිමෝති 3:1-5, 13 NW; ෆිලිප්ස්.
2 කොහොම වුණත් “ඥානය . . . දැනගැන්ම සහ සිහිකල්පනාව [කල්පනා කිරීමේ හැකියාව, NW]” වර්ධනය කරගැනීම මගින්, ඔබව හසු කරගැනීමට මාන බලන අන්තරාවලින් ඔබට ආරක්ෂා වීමට පුළුවන්. (හිතෝපදේශ 1:4) හිතෝපදේශ 2:10-12 මෙසේ පවසයි: “මක්නිසාද ප්‍රඥාව නුඹේ සිතට ඇතුල්වන්නේය, දැනගැන්මද නුඹේ ආත්මයට [ප්‍රාණයට, NW] ප්‍රසන්නවන්නේය; සිහිය [කල්පනා කිරීමේ හැකියාව, NW] නුඹ රැකවල්කරන්නේය, ඥානයද [විචාර බුද්ධිය, NW] නුඹ ආරක්ෂාකරන්නේය; නපුරාගේ මාර්ගයෙන්ද ප්‍රයෝග කථාකරන මිනිසුන්ගෙන්ද නුඹ ගළවන්නේය.” නමුත් මෙම හැකියාවන් ඔබට වර්ධනය කරගත හැක්කේ කොහොමද? හෙබ්‍රෙව් 5:14හි මෙසේ පවසයි: “නුමුත් දැඩි ආහාර ඕනෑවන්නේ යහපත සහ අයහපත විමසාබලන්ට ව්‍යවහාරයෙන් පුරුදු පුහුණුවූ ඉන්ද්රියයන් ඇති, සම්පූර්ණවූ [වටහාගැනීමේ ශක්තිය ඇති, මේරූ, NW] තැනැත්තන්ටය.” වෙනත් ඕනෑම කුසලතාවක් හා සමානව, තමාගේ වටහාගැනීමේ ශක්තිය සම්බන්ධයෙන් නිපුණත්වයක් ලබාගැනීමට නම් පුහුණු කිරීමක් අවශ්‍ය වෙනවා. පාවුල් යොදාගත් ග්‍රීක වචනයෙන් ඇත්තෙන්ම අදහස් කරන්නේ ‘සරඹකරුවෙක් මෙන් පුහුණු ලැබ තිබීම’ යන්නයි. එවන් පුහුණුවක් ඔබ ආරම්භ කරන්නේ කොහොමද?
ඔබේ වටහාගැනීමේ ශක්තිය පුහුණු කිරීම
3. තීරණයක් ගැනීමට අවශ්‍ය වන විටකදී, ඔබට වටහාගැනීමේ ශක්තිය පාවිච්චි කළ හැක්කේ කොහොමද?
3 ඔබේ වටහාගැනීමේ ශක්තිය එනම්, හරි වැරැද්ද වෙන් කර හඳුනාගැනීමට ඇති හැකියාව පුහුණු වන්නේ “ව්‍යවහාරයෙන් පුරුදු” වීමෙන් බව සැලකිල්ලට ගන්න. ඔබ තීරණයක් ගත යුතු වන විට, උපකල්පනය කිරීම, හිතුමතේට ක්‍රියා කිරීම හෝ වැඩිදෙනා කරන දෙය කිරීම නැණවත් තීරණයකට දායක වන්නේ කලාතුරකිනි. නැණවත් තීරණයක් ගැනීම සඳහා ඔබ ඔබේ වටහාගැනීමේ ශක්තිය යොදාගත යුතුයි. ඒ කොහොමද? පළමුවෙන්ම, තත්වය හොඳින් පරීක්ෂා කිරීමෙන් හා අවශ්‍ය සියලු දත්ත ලබාගැනීමෙනි. අවශ්‍ය නම් ප්‍රශ්න අසන්න. ඔබට ඇති විකල්පයන් මොනවාදැයි නිශ්චය කරගන්න. හිතෝපදේශ 13:16 මෙසේ පවසනවා: “බුද්ධිමත් කවුරු නමුත් දැනුම ඇතුව ක්‍රියාකරයි.” ඊළඟට, විෂයට බලපාන බයිබල් ආඥා හෝ ප්‍රතිපත්ති මොනවාදැයි නිශ්චය කරගන්න. (හිතෝපදේශ 3:5) නමුත් මෙය කිරීම සඳහා ඔබට බයිබලය පිළිබඳ දැනුමක් තිබිය යුතු බව අමුතුවෙන් කිව යුතු නැහැ. එනිසයි පාවුල් අපට “දැඩි ආහාර” ගැනීමට, එනම් සත්‍යයේ “පළල, දිග, උස, ගැඹුර” දැනගැනීමට උනන්දු කරන්නේ.—එපීස 3:18, 19.
4. දෙවිගේ ප්‍රතිපත්ති පිළිබඳ දැනුමක් අවශ්‍ය වන්නේ මන්ද?
4 එසේ කිරීම අත්‍යවශ්‍ය දෙයක් වන්නේ අප අසම්පූර්ණ නිසයි, එනම් පාපයට නැඹුරුවාවක් දක්වන නිසයි. (උත්පත්ති 8:21; රෝම 5:12) “සියල්ලට වඩා සිත [හෘදය, NW] රැවටිලිකාරව තිබේ” කියා යෙරෙමියා 17:9 පවසයි. අපව මඟ පෙන්වීමට දිව්‍ය ප්‍රතිපත්ති නොමැති වන විට, අපේ මාංසය යමක් කෙරෙහි ලොල්බවක් දක්වන හෙයින් නරක දෙයක් හොඳ දෙයක් හැටියට දැකීමට අප අපවම රවටාගන්න පුළුවන්. (යෙසායා 5:20 සසඳන්න.) ගීතිකාකරු මෙසේ ලීවා: “තරුණයෙක් තමාගේ මාර්ගය පවිත්‍රකරගන්නේ කුමකින්ද? ඔබගේ වචනය ප්‍රකාර පැවැත්මෙනි. . . . ඔබගේ නියෝගවලින් මට නුවණ ලැබේ. එබැවින් සියලු වංක මාර්ග නුරුස්සා හරිමි.”—ගීතාවලිය 119:9, 104.
5. (අ) සමහර යෞවනයන් වැරදි මාවත්වල යන්නේ ඇයි? (ආ) එක් යෞවනියක් සත්‍යය තමාගේම කරගත්තේ කොහොමද?
5 ක්‍රිස්තියානි නිවෙස්වල ඇති දැඩි වූ සමහරක් යෞවනයන් වැරදි මාවත්වල ගොස් ඇත්තේ මන්ද? සමහරක් විට ඔවුන්, “[දෙවිගේ] කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය” තමන්ටම ඔප්පු කර නැති බව ඉන් අදහස් විය හැකිද? (රෝම 12:2) සමහරුන් තම දෙමාපියන් සමඟ රැස්වීම් ගොස්, බයිබලයේ ඇති මූලික ඉගැන්වීම් කීපයක් කටපාඩමින් කීමට හැකියාවක් පෙන්වන්න පුළුවන්. නමුත් තම විශ්වාසයන් වෙනුවෙන් සාක්ෂි සැපයීමට හෝ දෙවිගේ වචනයේ ගැඹුරු දේවල් පැහැදිලි කරන්න කියා ඉල්ලා සිටි විට, කනගාටුදායක ලෙස ඔවුන්ගේ දැනුම මතුපිටට පමණක් සීමා වී ඇති බව දක්නට ලැබෙයි. එවන් යෞවනයන්ව පහසුවෙන්ම වෙනතකට යොමු විය හැකියි. (එපීස 4:14) මෙය ඔබ සම්බන්ධයෙනුත් සැබෑවක් නම්, වෙනස්කම් කිරීමට ඇයි අධිෂ්ඨාන කර නොගන්නෙ? එක් යෞවන සහෝදරියක් මෙසේ සිහියට නඟයි: “මම ගවේෂණය කළා. ‘මේක ඇත්ත ආගමද කියල මම කොහොමද දැනගන්නේ? යෙහෝවා කියල දෙවි කෙනෙක් ඉන්නව කියල මම කොහොමද දන්නෙ?’ කියල මම මගෙන්ම අහගත්තා.”a ශුද්ධ ලියවිලි පරෙස්සමින් අධ්‍යයනය කිරීමෙන් තමා දෙමාපියන්ගෙන් ඉගෙනගත් දේවල් ඇත්තෙන්ම සත්‍යය බව ඇය පිළිගත්තා!—ක්‍රියා 17:11 සසඳන්න.
6. ‘ස්වාමි වූ [යෙහෝවාට] ප්‍රසන්නව තිබෙන්නේ කුමක්ද කියා සහතික කරගැනීමට’ ඔබට හැක්කේ කොහොමද?
6 යෙහෝවාගේ දැනුමෙන් සන්නද්ධ වී සිටින ඔබ, “ස්වාමින්ට ප්‍රසන්නව තිබෙන්නේ කිමෙක්ද කියා” වඩා පහසුවෙන් ‘සහතික කරගැනීමට’ යනවා. (එපීස 5:10, NW) නමුත් යම් තත්වයකදී ගත යුතු නැණවත් මඟ කුමක්ද කියා ඔබ දන්නේ නැත්නම්? මඟ පෙන්වීම ඉල්ලා යෙහෝවාට යාච්ඤා කරන්න. (ගීතාවලිය 119:144) ඔබේ දෙමාපියන් සමඟ හෝ මේරු ක්‍රිස්තියානියෙක් සමඟ කාරණා කතා කරන්න. (හිතෝපදේශ 15:22; 27:17) බයිබලය හා වොච් ටවර් ප්‍රකාශන ගවේෂණය කිරීමෙන් ප්‍රායෝගික මඟ පෙන්වීම සොයාගත හැකියි. (හිතෝපදේශ 2:3-5) ඔබ ඔබේ වටහාගැනීමේ ශක්තිය වැඩි වැඩියෙන් පාවිච්චි කරන තරමට, ඒවා තව තවත් තියුණු වන්න යනවා.
විනෝදාස්වාදය සම්බන්ධයෙන් විචාර බුද්ධිය පෙන්වීම
7, 8. (අ) එකතු වීමකට යනවාද නැද්ද කියා තීරණය කිරීමට ඔබට ඔබේ වටහාගැනීමේ ශක්තිය පාවිච්චි කළ හැක්කේ කොහොමද? (ආ) විනෝදාස්වාදය සම්බන්ධයෙන් බයිබලයේ දෘෂ්ටිය කුමක්ද?
7 යම් සුවිශේෂී වූ තත්වයන්වලදී ඔබට ඔබේ වටහාගැනීමේ ශක්තිය පෙන්නුම් කළ හැකි ආකාරය සලකා බලමු. උදාහරණයක් හැටියට, යම් එකතු වීමකට එන්න කියා ඔබට ආරාධනා කර ඇතැයි සිතන්න. එම එකතු වීම ගැන විස්තර ඇතුළත් අතිනත යවන ආරාධනා පත්‍රයක් පවා ඔබේ අතට ලැබෙන්න ඇති. යෞවන සාක්ෂිකාරයන් විශාල පිරිසක් එතැනට එන බව ඔබට පවසා තිබෙනවා. නමුත් වියහියදම් පියවීම සඳහා යම් මුදලක්ද අය කර තිබෙනවා. ඔබ සහභාගි විය යුතුද?
8 ඔබේ වටහාගැනීමේ ශක්තිය පාවිච්චි කරන්න. මුලින්ම, කරුණු එකතු කරගන්න. මෙම එකතු වීම කොතරම් විශාල එකක් වනු ඇද්ද? එතැන සිටින්න යන්නේ කවුද? එය පටන්ගන්නේ කීයටද? එය ඉවර වන්නේ කීයටද? එයට ඇතුළත් වන ක්‍රියාකාරකම් මොනවාද? එය අධීක්ෂණය කරනු ලබන්න යන්නේ කොහොමද? ඊළඟට, මුරටැඹ ප්‍රකාශන සූචියේ, “සාමාජීය එකතු වීම්” හා “විනෝදාස්වාදය” යන තේමා යටතේ ගවේෂණය කරන්න.b ඔබේ ගවේෂණයෙන් කුමක් හෙළි විය හැකිද? හෙළි විය හැකි එක් දෙයක් නම්, විනෝදයෙන් කාලය ගත කරනවාට යෙහෝවා අකමැති නැති බවයි. ඇත්තෙන්ම කියනවා නම්, දේශනාකාරයා 8:15 පවසන හැටියට, අප මහන්සි වී කරන වැඩවලට අමතරව, “කා බී ප්‍රීතිවීමට වඩා ඉර යට මනුෂ්‍යයාට හොඳ දෙයක් [නැහැ].” ඇයි, යේසුස් ක්‍රිස්තුස් පවා කෑම ගැනීමට කළ විශේෂ ආරාධනා පිළිගත් අතර අඩුම තරමේ එක් විවාහ මංගල්යයකටවත් සහභාගි වුණා. (ලූක් 5:27-29; යොහන් 2:1-10) සමබරව තබාගත්තොතින්, සමාජීය මට්ටමෙන් කරන එකතු වීම් ප්‍රයෝජනදායක විය හැකියි.
9, 10. (අ) යම් එකතු වීම්වලින් එල්ල විය හැකි අන්තරාවන් කවරේද? (ආ) යම් එකතු වීමකට යනවාද නැද්ද කියා තීරණය කිරීමට පෙර ඔබට ඔබෙන්ම ඇසිය හැකි ප්‍රශ්න කවරේද?
9 ඒ කොහොම වුණත්, සංවිධානයෙන් තොර වූ එකතු වීම්වලින් කරදර ඇති විය හැකියි. නරක ආශ්‍රය වේශ්‍යාකමට මඟ පෑදූ ආකාරයත්, “එක දවසෙහි [නොඇදහිලිකාර ඉශ්රායෙල්වරුන්] විසිතුන්දහස් දෙනෙක්” විනාශ වූ ආකාරයත් ගැන 1 කොරින්ති 10:8 කතා කරයි. කල්පනා කිරීමට තුඩු දෙන තවත් අනතුරු ඇඟවීමක් රෝම 13:13හි ඇත. එහි මෙසේ පැවසේ: “ක්‍රීඩා ඝෝෂාව සහ බීමත්කමෙන් හෝ සල්ලාලකම සහ අනාචාරයෙන් හෝ ඩබර සහ ඊර්ෂ්‍යාවෙන් හෝ නොහැසිර, දවාලෙහි මෙන් ඔබින ලෙස හැසිරෙමු.” (1 පේතෘස් 4:3 සසඳන්න.) එකතු වීමකට සහභාගි විය යුතු නිශ්චිත ගණනක් සම්මත කරගත නොහැකි බව ඇත්තයි. නමුත් අද්දැකීමෙන් පෙන්නුම් කරන්නේ එකතු වීම විශාල වන තරමට, එය අධීක්ෂණය කිරීමට තවත් අපහසු වන බවයි. කුඩා, හොඳින් පාලනය කළ එකතු වීම් “උමතු සාදයන්” බවට පෙරළීමට ඇති හැකියාව අඩුයි.—ගලාති 5:21, බයිංටන්.
10 ඔබ කරන ගවේෂණය නිසා තවත් මෙයාකාර ප්‍රශ්න පැනනැඟිය හැකියි. මේරූ වැඩිහිටි ක්‍රිස්තියානීන් එකතු වීමට පැමිණ සිටීද? ඇත්තෙන්ම එය භාරව ඉන්නේ කවුද? එම එකතු වීම පවත්වන්නේ හිතකර ඇසුර සඳහාද නැතිනම් කෙනෙකුගේ ලාභය තකාද? එයට එකතු විය හැකි අය සම්බන්ධයෙන් යම් සීමා පනවා තිබෙනවාද? එකතු වීම පවත්වන්නේ සති අන්තයක නම්, සහභාගි වන අයට ඊළඟ දවසේ ක්‍රිස්තියානි දේවසේවයේ යෑමට හැකි වන පරිද්දෙන් එය සුදුසු වේලාවකට අවසන් වෙයිද? එතැන සංගීතය හා නැටීම ඇතිනම්, එය ක්‍රිස්තියානි ප්‍රමිතීන්ට එකඟ වන තත්වයක පවතීද? (2 කොරින්ති 6:3) මෙවැනි ප්‍රශ්න අසාගැනීම පහසු වන්න යන්නේ නැහැ. නමුත් හිතෝපදේශ 22:3 මෙසේ අනතුරු අඟවයි: “නුවණ ඇත්තා විපත්තිය දැක සැඟවෙයි. එහෙත් අනුවණයෝ නොනැවතී ගොස් අච්චු ලබති.” ඔව්, ඔබේ වටහාගැනීමේ ශක්තිය පාවිච්චි කිරීමෙන් අවදානම් සහිත තත්වයන්ගෙන් තමන්වම ආරක්ෂා කරගැනීමට ඔබට හැකියි.
ඔබේ අධ්‍යාපනය සැලසුම් කිරීමේදී විචක්ෂණ බුද්ධිය පාවිච්චි කිරීම
11. තම අනාගතය සැලසුම් කිරීමේදී යෞවනයන්ට තම වටහාගැනීමේ ශක්තිය පාවිච්චි කළ හැක්කේ කොහොමද?
11 අනාගතය සඳහා සැලසුම් කිරීම නැණවත් දෙයක් බව බයිබලය පවසයි. (හිතෝපදේශ 21:5) ඔබ සහ ඔබේ දෙමාපියන් ඔබේ අනාගතය ගැන සාකච්ඡා කර ඇද්ද? පුරෝගාමියෙකු වශයෙන් පූර්ණ කාලීන සේවයට ඇතුල් වීමට ඔබ සැලසුම් යොදා තිබෙනවා වන්න පුළුවන්. ඇත්තෙන්ම, මෙතරම් තෘප්තියක් ගෙන දිය හැකි වෙනත් කිසිම වෘත්තියක් නැහැ. හොඳ අධ්‍යයන පුරුදු හා සේවයේ කුසලතා ඔබ වැඩිදියුණු කරගන්නවා නම්, ආස්වාදය ගෙන දෙන මෙම වෘත්තියට ඔබ ඔබවම සූදානම් කරගනිමින් සිටියි. සේවය කරගෙන යන විට තම අවශ්‍යතා සපුරාගන්නේ කොහොමදැයි ඔබ කල්පනා කොට තිබෙනවාද? අනාගතයේදී, පවුලක් නඩත්තු කිරීමට සිදු වුණොත්, අමතර වගකීම් බලා කියාගැනීමට ඔබට හැකි වෙයිද? එවන් දේවල් සඳහා සමබර, යථාර්ථවාදී තීරණ ගැනීම සඳහා වටහාගැනීමේ ශක්තිය පාවිච්චි කිරීම අවශ්‍ය වෙනවා.
12. (අ) වෙනස් වන ආර්ථික තත්වයන් අනුව හැඩගැසීමට සමහරක් පවුල් තෝරාගෙන ඇත්තේ කොහොමද? (ආ) අමතර අධ්‍යාපනයක් ලැබීම හා පුරෝගාමී සේවය නමැති ඉලක්කය අනිවාර්යයෙන්ම එකිනෙකට විරුද්ධව යන ඉලක්කයන්ද? පැහැදිලි කරන්න.
12 වෙනත් තැන්වල යම් ප්‍රයෝජනවත් කුසලතාවක් හෝ වෘත්තිමය පුහුණුවක් රැකියාවේදීම ලබාගත හැකියි. පවුලේ ව්‍යාපාරය ඉගෙනගන්නා හෝ ව්‍යාපාරයන් ගෙන යන වැඩිහිටි මිත්‍රයන්ගෙන් පුහුණුව ලබන යෞවනයන් සිටිනවා. වෙනත් අය, පසු කලෙකදී ජිවිකාව ගෙන යෑමට උපකාරවත් වන ප්‍රයෝජනවත් පාඨමාලාවන් හදාරනවා. එවන් අවස්ථා නැති තැන්වල, පරෙස්සමින් සිතා බැලීමෙන් පසුව, උසස් පාසලෙන් පසුව කරන අමතර අධ්‍යාපනයක් දරුවන්ට ලබා දීමට දෙමාපියන් කටයුතු සූදානම් කළ හැකියි. වැඩිහිටි වගකීම් ඉටු කිරීමටත් දිගු කාලයක් පුරා පුරෝගාමී සේවය කිරීමට හැකිවීම සඳහාත් කල්තියාම සූදානම් වීම, දෙවිගේ රාජ්‍ය පළමුව දැමීමට විරුද්ධව යන්නේ නැහැ. (මතෙව් 6:33) තවද අමතර අධ්‍යාපනය පුරෝගාමී සේවය අයින් කිරීමක් නෙවෙයි. උදාහරණයක් හැටියට, එක් යෞවන සාක්ෂිකාරියකට දිගු කාලයක සිට පුරෝගාමී සේවයේ නියැලීමට උවමනා වුණා. ඇය උසස් පාසැල අවසන් කිරීමෙන් පසු, ස්ථාවර පුරෝගාමීන් වශයෙන් සේවය කළ ඇගේ දෙමාපියන් ඇයට අමතර අධ්‍යාපනයක් ලබා දීමට කටයුතු සූදානම් කළා. පාසැල් යන අතරතුරේදීම පුරෝගාමී සේවය කිරීමට ඇයට හැකි වුණා. දැන් ඇය පුරෝගාමී සේවය කරමින්, තමාගේ මූල්‍යමය අවශ්‍යතා සපුරාගැනීමට උපකාරවත් වන කුසලතාවක් ඉගෙනගෙන තිබෙනවා.
13. පවුලක් වශයෙන් අමතර අධ්‍යාපනයේ වියදම ගණන් බැලිය යුත්තේ කොහොමද?
13 අමතර අධ්‍යාපනය සම්බන්ධ කාරණයේදී, තමන් කැමති තීරණයක් ගැනීමට එක් එක් පවුලට අයිතියක් මෙන්ම වගකීමක් තිබෙනවා. එවන් අධ්‍යාපනයක් ගැන ඥානවන්ත තේරීමක් කළ විට, එය උපකාරවත් විය හැකියි. නමුත් එය මලපතක්ද විය හැකියි. ඔබ එවන් අධ්‍යාපනයක් සලකා බලනවා නම්, ඔබේ ඉලක්කය කුමක්ද? එය ඔබේ වැඩිහිටි වගකීම් ගෞරවනීය ආකාරයකින් ඉෂ්ට කිරීමට සූදානම් කිරීමටද? එසේත් නැතිනම් ඔබ “[ඔබටම] මහත් දේවල් . . . සොයන්නෙහිද?” (යෙරෙමියා 45:5; 2 තෙසලෝනික 3:10; 1 තිමෝති 5:8; 6:9) අමතර අධ්‍යාපනය නිවසෙන් පිට, සමහරක් විට විශ්වවිද්‍යාලයේ නැවතී කරන එක ගැන කුමක් කිව හැකිද? “නපුරු සමාගමෙන් හොඳ චරිත නරක්වන්නේය” යන පාවුල්ගේ අනතුරු ඇඟවීමට එකඟව මෙය නැණවත් දෙයක් වෙයිද? (1 කොරින්ති 15:33; 2 තිමෝති 2:22) ‘[ඉතුරුව ඇති, NW] කාලය ලුහුඬු කරන ලද’ බවත් මතක තබාගන්න. (1 කොරින්ති 7:29) එවන් අධ්‍යාපනයක් සඳහා ඔබ කොතරම් කාලයක් කැප කරනු ඇද්ද? ඔබේ යෞවන වයසේ වැඩි කාලයක් මෙයට වැය වනු ඇද්ද? තත්වය එසේ නම්, “යෞවන දවස්වලදී නුඹේ මැවුම්කාරයා [දැන්] සිහිකරන්න” යන දිරිගැන්වීම ඔබ අදාළ කරගන්න යන්නේ කොහොමද? (දේශනාකාරයා 12:1) තවදුරටත්, රැස්වීම්වලට පැමිණීම, ක්ෂේත්‍ර සේවය හා පෞද්ගලික පාඩම වැනි අතිවැදගත් වන එක් එක් ක්‍රිස්තියානි ක්‍රියාකාරකම් සඳහා ඔබට කාලය ඉතුරු වෙයිද? (මතෙව් 24:14; හෙබ්‍රෙව් 10:24, 25) ඔබේ වටහාගැනීමේ ශක්තිය තියුණු එකක් නම්, ඔබත් ඔබේ දෙමාපියනුත් ඔබේ අනාගතය සඳහා සැලසුම් යොදද්දී, ආත්මික දේවලට ඇති ඔබේ දෘෂ්ටිය කවමදාකවත් නැතිව යන්නේ නැහැ.
පුර්ව විවාහ ඇසුර ගෞරවනීයව තබාගැනීම
14. (අ) පූර්ව විවාහ ඇසුරේ යෙදෙන යුවළයන් එකිනෙකාට ආදරයේ හැඟීම් පෙන්වන විට, ඔවුන් මඟ පෙන්වීම ලබාගත යුත්තේ කිනම් ප්‍රතිපත්ති මගින්ද? (ආ) මේ සම්බන්ධයෙන් සමහරක් යුවළයන් අනුවණ ලෙස කටයුතු කර ඇත්තේ කොහොමද?
14 ඔබේ වටහාගැනීමේ ශක්තිය අවශ්‍ය වන තවත් පැත්තක් වන්නේ පූර්ව විවාහ ඇසුරයි. ඔබ සැලකිල්ලක් දක්වන කෙනෙකුට ආදරය පෙන්වීමට වුවමනා වීම ස්වභාවික දෙයක්. සාලමොන්ගේ ගීතිකාවේ කතා කරන පිරිසිදු ලෙස හැසිරුණු යුවළ, තමන් විවාහ වීමට කලින්, යම් ආකාරයක ආදරයේ හැඟීම් එකිනෙකාට ප්‍රකාශ කළා. (සාලමොන්ගේ ගීතිකාව 1:2; 2:6; 8:5) විශේෂයෙන්ම, විවාහය අත ළඟ ඇති විට, සමහර යුවළයන් අත් ඇල්ලීම, සිපගැනීම මෙන්ම වැළඳගැනීම සුදුසු දෙයක් හැටියට දැකිය හැකියි. නමුත් “තමාගේම සිත කෙරෙහි විශ්වාසය තබන්නා අඥානයෙක්” බව මතක තබාගන්න. (හිතෝපදේශ 28:26) නමුත් කනගාටුදායක ලෙස, ප්‍රතිපත්ති පාවා දෙන තත්වයක සිටීම හේතුවෙන් යුවළයන් ගණනාවක් අවස්ථා රැසකදී අනුවණ ලෙස කටයුතු කර තිබෙනවා. ආදරයේ හැඟීම් උණුසුම් මෙන්ම පාලනයෙන් තොර වී තිබෙනවා; අපිරිසිදු ක්‍රියාවන් ප්‍රතිඵල වී ඇති අතර, මෙය ලිංගික දුරාචාරයට පවා මඟ පාදා තිබෙනවා.
15, 16. තම පූර්ව විවාහ ඇසුර ගෞරවනීය එකක් ලෙස තබාගැනීම සහතික කරගන්නා පිණිස, යුවළකට කල්තියාම කුමන සාධාරණ ක්‍රියාමාර්ග ගත හැකිද?
15 ඔබ පූර්ව විවාහ ඇසුරේ යෙදෙන විට, නුසුදුසු තත්වයන්වල ඔබේ අනාගත කලත්‍රයා සමඟ තනිව නොසිටීමට වගබලා ගැනීම නැණවත් දෙයක් වන්න යනවා. එසේනම්, කණ්ඩායම් වශයෙන් සිටිද්දී හෝ ප්‍රසිද්ධ ස්ථානවලදී එකිනෙකාගේ ඇසුර භුක්ති විඳීම වඩාත් හොඳ දෙය විය හැකියි. සමහරක් යුවළයන් තවත් කෙනෙකුව ගෙන යෑමට තීරණය කරයි. හොෂෙයා 4:11හි ඇති වචනද සැලකිල්ලට ගන්න. එහි මෙසේ පවසනවා: “මුද්‍රිකපානයද මිදියුසද නිසා සිහිය පහවයන්නේය.” මත්පැන් කෙනෙකුව සිහි විකල් කළ හැකි අතර පසු කලෙක තමන් පසුතැවෙන ක්‍රියා පටිපාටියක යෙදීමට යුවළයන්ව පොලඹවන්න පුළුවන්.
16 හිතෝපදේශ 13:10 මෙසේ පවසනවා: “උඩඟුකමෙන් තරඟය අටගන්නවා පමණක්ය. එහෙත් දැනමුතුකම පිළිගන්නන් [එකිනෙකා අතරෙහි කාරණා කතාකරගන්නන්, NW] වෙත ප්‍රඥාව තිබේ.” ඔව්, ඔබ දෙපළ හැසිරෙන්නේ කොහොමදැයි ‘එකිනෙකා අතරෙහි කාරණා කතා කරගෙන’ සාකච්ඡා කරගන්න. එකිනෙකාගේ හැඟීම් හා හෘදය සාක්ෂිය සැලකිල්ලට ගනිමින්, ආදරයේ හැඟීම් පෙන්වීම පිළිබඳව සීමා පනවාගන්න. (1 කොරින්ති 13:5; 1 තෙසලෝනික 4:3-7; 1 පේතෘස් 3:16) මේ සංවේදී විෂය ගැන කතා කිරීම මුලින් අපහසු යමක් විය හැකියි. නමුත් පසු කලෙකදී බරපතළ ගැටලු ඇතිවීම වළක්වාලීමට ඊට හැකියි.
‘යෞවනත්වයේ සිට’ උගන්වනු ලැබීම
17. දාවිත් යෙහෝවාව ‘තරුණ වයසේ සිට තමාගේ විශ්වාසය’ කරගත්තේ කොහොමද? තවද අද සිටින යෞවනයන්ට මින් කුමන පාඩමක් උගත හැකිද?
17 සාතන්ගේ මලපත්වලින් වැළකීම සඳහා ඔබේ පැත්තෙන් නිරන්තර සුපරීක්ෂාකාරිබවක් අවශ්‍ය වෙයි. ඒ අතරම සමහරක් විට, මහත් ධෛර්යයක් අවශ්‍ය විය හැකියි. මන්දයත් සමහර අවස්ථාවලදී, තුල්‍යයන් ඉදිරියෙහි පමණක් නොව මුළු ලෝකයා ඉදිරියෙහිත් තනි වී ඇති බවක් ඔබට දැනෙන්න පුළුවන්. ගීතිකාකාර දාවිත් මෙසේ යාච්ඤා කළා: “මක්නිසාද ස්වාමිවූ [යෙහෝවා,] මාගේ බලාපොරොත්තුව ඔබය, තරුණ වයස පටන් මාගේ විශ්වාසය ඔබය. [දෙවි], මාගේ යෞවන කාලයේ පටන් ඔබ මට [ඉගැන්වූයේය]. මේ දක්වා ඔබගේ ආශ්චර්ය ක්‍රියා ප්‍රකාශකෙළෙමි.” (ගීතාවලිය 71:5, 17)c දාවිත්ට තිබූ ධෛර්යය ගැන කවුරුත් දන්නවා. නමුත් ඔහු එය වර්ධනය කරගත්තේ කවදාද? යෞවනයෙකුව සිටිද්දී! ගොලියත් සමඟ කළ සුප්‍රසිද්ධ සටනට පළමුවෙන් පවා, දාවිත් තම පියාගේ රැළ රැකබලා ගැනීමේදී, සිංහයෙකු හා වලසෙකුව මැරීමෙන් මහත් ධෛර්යයක් පෙන්වා තිබුණා. (1 සාමුවෙල් 17:34-37) කොහොම වුණත්, තමා පිළිබිඹු කළ මොනයම් වීරකමක් සම්බන්ධයෙන් හෝ දාවිත් යෙහෝවාට ප්‍රශංසා කළා. ඔහු යෙහෝවාව හැඳින්වූයේ “තරුණ වයස පටන් මාගේ විශ්වාසය” හැටියටයි. යෙහෝවා කෙරෙහි රඳාපැවතීමට වූ ඔහුගේ හැකියාව නිසා, තමන් මුහුණ දුන් කිසිම පීඩනයකට ඔහු දෙවනි වූයේ නැහැ. ඔබත් යෙහෝවා කෙරෙහි රඳාපවතිනවා නම්, ඔබටත් ‘ලෝකයෙන් ජයගැනීමට’ ඔහු ධෛර්යය සපයන බව පෙනී යාවි.—1 යොහන් 5:4.
18. අද සිටින යෞවනයන්ට දී ඇත්තේ කිනම් දිරිගැන්වීමක්ද?
18 ඔබ වැනි යෞවන සාක්ෂිකරුවන් දහස් ගණනක් ධෛර්යවන්ත පියවරක් ගෙන ඇති අතර දැන් ශුභාරංචියේ බව්තීස්ම ලත් ප්‍රචාරකයන් හැටියට සේවය කරනවා. යෞවනයන් වන ඔබ තුළ ඇති ඇදහිල්ල හා ධෛර්යය වෙනුවෙන් අපි දෙවිට ස්තුති කියමු! ලෝකයේ දූෂණයෙන් දිගටම බේරී සිටීමට අධිෂ්ඨාන කරගෙන සිටින්න. (2 පේතෘස් 1:4) බයිබලය මගින් පුහුණුව ලැබූ ඔබේ වටහාගැනීමේ ශක්තිය දිගටම පාවිච්චි කරන්න. එසේ කිරීමෙන් ඔබ දැන් විපත්තිවලින් ආරක්ෂා වනු ඇති අතර, අන්තිමේදී ඔබේ ගැළවීමද සහතික කරගැනීමට හැකි වනු ඇත. අන්තිම ලිපියෙන් පෙන්නුම් කිරීමට යන පරිදි, ඇත්තෙන්ම ඔබ ඔබේ ජීවිතය සාර්ථක කරගැනීමට යනවා.
[පාදසටහන්වල]
a 1998 නොවැම්බර් 8 පිබිදෙව්! කලාපයේ “යෞවන අය අසති . . . සත්‍යය මගේම කරගන්නේ කොහොමද?” යන ලිපිය බලන්න.
b 1992 අගෝස්තු 15 මුරටැඹ කලාපයේ දැකිය හැකි “සමාජීය එකතු වීම්—ප්‍රයෝජන නෙළාගන්න; මලපත් මඟහරින්න” (ඉංග්‍රීසියෙන්) යන ලිපියේ මේ විෂය සම්බන්ධයෙන් දැනුම් සම්භාරයක් සොයාගත හැකියි.
c දාවිත්ගේ ගීතයක් හැටියට ශීර්ෂ පාඨයේ සඳහන්ව ඇති 71වන ගීතය 70වන ගීතයේම කොටසකි.
පුනරීක්ෂණ ප්‍රශ්න
◻ යෞවනයෙක් තම වටහාගැනීමේ ශක්තිය පුහුණු කරන්නේ කොහොමද?
◻ ක්‍රිස්තියානි එකතු වීම්වලට සහභාගි වීම ගත් කල, යෞවනයෙකුට තම වටහාගැනීමේ ශක්තිය පාවිච්චි කළ හැක්කේ කොහොමද?
◻ කෙනෙකුගේ අධ්‍යාපනය සැලසුම් කිරීමේදී කිනම් කාරණා සැලකිල්ලට ගත හැකිද?
◻ පූර්ව විවාහ ඇසුරේ යෙදෙන යුවළයන්ට ලිංගික දුරාචාරය නමැති මලපත මඟහැරිය හැක්කේ කොහොමද?
[15වන පිටුවේ පින්තූරය]
ගවේෂණය කිරීමට ඉගෙනීම, ඔබේ වටහාගැනීමේ ශක්තිය පුහුණු කිරීමට උපකාරවත් වනු ඇත
[16වන පිටුවේ පින්තූරය]
කුඩා එකතු වීම් අධීක්ෂණය කිරීමට පහසු වන අතර, පාලනයෙන් තොර වූ උමතු සාදයන්වලට පෙරළීමට ඇති හැකියාවද අඩුයි
[16වන පිටුවේ පින්තූරය]
අධ්‍යාපනය සැලසුම් කිරීමේදී දෙමාපියන් දරුවන්ට උපකාර කළ යුතුයි
[17වන පිටුවේ පින්තූරය]
කණ්ඩායම් වශයෙන් සිටිද්දී පූර්ව විවාහ ඇසුරේ යෙදීම ආරක්ෂාවක්