පිළිතුරු දිය යුත්තේ කෙසේදැයි දැනගන්න
ඇතැම් ප්‍රශ්න පාවෙන අයිස් කුට්ටි හා සමානය. අයිස් කුට්ටියකින් වැඩි කොටසක් ජලය මතුපිට දැකගත නොහැකිය. ඒ හා සමානව, ප්‍රශ්නයක් ඇසීමට තුඩු දුන් ප්‍රධානතම හේතුසාධකය බැලූ බැල්මට තේරුම්ගැනීම අසීරුය. මින් පැහැදිලි වන්නේ අසන ප්‍රශ්නයට වඩා ඇසීමට හේතු වූ කාරණය බොහෝ දුරට වැදගත්කමින් වැඩි බවය.
ප්රශ්නය ඉස්මතු කරන්නා පිළිතුරක් ලබාගැනීමට මහත් උනන්දුවෙන් සිටිය හැක. කෙසේවෙතත්, පිළිතුරු දිය යුත්තේ කෙසේද යන්න දැනගැනීම වැදගත්ය. කොපමණ තොරතුරු ප්‍රමාණයක් හෙළි කළ යුතුද, එම විෂයට පිවිසිය යුත්තේ කෙසේද යන්න තේරුම්ගැනීම මීට ඇතුළත් විය හැක. (යොහ. 16:12) ඇතැම් අවස්ථාවලදී, යම් තොරතුරක් හෙළි කරන මෙන් ඉල්ලා සිටින පුද්ගලයෙකුට එම තොරතුරු දැනගැනීමට අයිතියක් නොතිබෙනවා විය හැක. නොඑසේනම්, ඉන් ඇත්තටම ඔහුට ප්‍රයෝජනයක් නොවන්නට පුළුවන. යේසුස් හා ප්‍රේරිතයන් අතර සිදු වූ එක්තරා සාකච්ඡාවකදී මෙවැන්නක් සිදු විය.—ක්‍රියා 1:6, 7.
ශුද්ධ ලියවිල්ල අපට මෙසේ උපදෙස් දෙයි. “නුඹලා එකිනෙකාට උත්තර දිය යුතු කෙසේදැයි දැනගන්නා පිණිස, නුඹලාගේ කතාව නිතරම ලුණෙන් රසවත්ව, අනුග්‍රහයෙන් යුක්තව තිබේවා [නිසි පිළිතුරු දිය යුත්තේ කෙසේ දැයි දැන ගන්න, න. අ.].” (කොලො. 4:6) මේ අනුව, පිළිතුරු දෙන්නට පෙර අප පවසන්නේ මොනවාද යන්න ගැන පමණක් නොව, නමුත් එය පවසන්නේ කෙසේද යන්න ගැනත් සැලකිලිමත් විය යුතුය.
ප්‍රශ්න අසන්නාගේ දෘෂ්ටිකෝණය තේරුම්ගන්න
කිහිප වතාවක්ම විවාහ වූ ස්ත්‍රියකගේ නැවත-නැඟිටීම පිළිබඳ ප්‍රශ්නයක් අසා යේසුස්ව හසු කරගැනීමට සද්දුසිවරු වරක් උත්සාහ කළහ. කෙසේවෙතත්, ඔවුන් නැවත-නැඟිටීම ගැන විශ්වාස නොකළ අය බව යේසුස් දැන සිටියේය. එමනිසා යේසුස් ඔවුන්ගේ ප්‍රශ්නයට උත්තරයක් දුන්නා පමණක් නොව, ඊට හේතුපාදක වූ ඔවුන්ගේ වැරදිසහගත මතයද නිවැරදි කළේය. හෙතෙම තම තර්කය ගොඩනැඟුවේ ඉතා දක්ෂ ආකාරයකින්ය. යේසුස් ඔවුන් කලින් කිසිදාක සලකා නොතිබූ යමක් ගෙනහැර දැක්වූයේ සුපුරුදු බයිබල් වාර්තාවක් උපයෝගි කරගනිමිනි. මෙසේ, දෙවි මළවුන් නැවත-නැඟිටුවන බවට පැහැදිලි සාක්ෂි සපයන ලදි. ඔහු දුන් පිළිතුරෙන් ඔහුගේ සතුරන් කොතරම් මවිතයට පත් වූවාද කිවහොත්, ඔහුගෙන් තවත් ප්‍රශ්න ඇසීමට ඔවුහු පසුබට වූහ.—ලූක් 20:27-40.
ඒ හා සමානව, නිසි පිළිතුරු දිය යුත්තේ කෙසේද යන්න දැනගැනීමට ඔබෙන් ප්‍රශ්න විචාරන අයගේ මතයන් හා සිතෙහි තිබෙන දේවල් තේරුම්ගැනීම අවශ්‍යය. නිදසුනකට, පංතියේ සිසුවෙකු හෝ රැකියා ස්ථානයේ සෙසු සේවකයෙකු නත්තල නොපැවැත්වීමට හේතුව ඔබෙන් විමසිය හැක. ඔහු එවන් ප්‍රශ්නයක් ඉස්මතු කළේ මන්ද? ඔහුට ඇත්තටම දැනගන්නට ඕනෑ වන්නේ ඊට හේතුවද? එසේ නැතහොත් ඔහුගේ සැලකිල්ලට භාජන වී ඇත්තේ විනෝද වෙන්නට ඔබට ඉඩ කඩ ලැබෙනවාද යන කාරණයද? ඔහුගේ චේතනාව දැනගැනීමට නම්, එම ප්රශ්නය ඉස්මතු කිරීමට හේතුව ඔහුගෙන් විමසීමට සිදු විය හැක. අනතුරුව ලැබෙන ප්‍රතිචාරයට අනුව පිළිතුරු දෙන්න. බයිබලයේ මඟ පෙන්වීම අනුගමනය කරන විට, එම නිවාඩුව සැමරීමෙන් ජනතාවට මහත් හිසරදයක් සහ පීඩාවක් ගෙන දිය හැකි යම් දේවලින් ආරක්ෂා විය හැකි අන්දම පෙන්වා දීම සඳහා මෙය අවස්ථාවක් කරගැනීමට ඔබට පුළුවන.
සිසුන් කණ්ඩායමක් ඉදිරියෙහි යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන කතා කිරීමට ආරාධනයක් ඔබට ලැබෙනවා කියා සිතන්න. ඔබේ ඉදිරිපත් කිරීමෙන් පසු, ඔවුන් ප්‍රශ්න අසනවා විය හැකියි. ප්‍රශ්න අවංක හා ඍජු ඒවා නම්, සරල මෙන්ම කෙළින් උත්තරයක් දීම වඩාත් යෝග්‍ය විය හැක. අසන ප්‍රශ්නයෙන් සමාජයේ පවතින යම් අගතිසහගත හැඟීමක් පිළිබිඹු වෙනවා නම්, ඇතැම් කාරණා සම්බන්ධයෙන් ජනයාට තිබෙන ජනප්‍රිය මතයන්ට හේතුපාදක විය හැකි දේවල් සඳහන් මුලින්ම කරන්න. මීට අමතරව යෙහෝවාගේ සාක්ෂිකරුවන් තම ප්‍රමිතිය ලෙස බයිබලය තෝරාගැනීමට නැඹුරු වන්නේ මන්ද යන්න ගැන කෙටි අදහස් කිහිපයක් දැක්වීම යහපති. මෙවැනි ප්‍රශ්න අභියෝගයන් ලෙස පෙනෙතත්, ඒවා අභියෝගයන් මෙන් නොව නමුත් සැලකිල්ලට බඳුන් වී ඇති විෂයන් ලෙස සැලකීම බොහෝ අවස්ථාවලදී ප්රයෝජනවත්ය. එවිට ඔබ දෙන පිළිතුරෙන් ඔබේ සබය දරන අදහස පුළුල් කිරීමට අවස්ථාවක් ලබා දෙන අතර, නිවැරදි තොරතුරු ඔවුන්ට ලබා දීමටත්, අපගේ විශ්වාසයන්වල ශුද්ධ ලියවිලිමය පදනම පැහැදිලි කිරීමටත් ප්‍රස්තාව සැලසේ.
සමුළුවට සහභාගි වීම සඳහා නිවාඩු දෙන ලෙස ඔබ කළ ඉල්ලීමට අවනත වන්නට අකමැති ඔබේ රැකියා ස්ථානයේ ස්වාමියාට ඔබ ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? මුලින්ම, ඔහුගේ දෘෂ්ටියෙන් දේවල් දෙස බැලීමට උත්සාහ කරන්න. වෙනත් අවස්ථාවකදී අතිකාල පැය වැඩ කිරීමට ඉදිරිපත් වීමෙන් ගැටලුව නිරාකරණය කරගත හැකිද? අපගේ සමුළුවලින් අපට ලැබෙන උපදෙස් හේතුවෙන් අවංක, විශ්වාසවන්ත සේවකයන් වීමට අපට පෙලඹීමක් ලැබෙන බව ඔහුට පැහැදිලි කර දුන්නොත් එය ප්‍රයෝජනවත් වේවිද? ඔහුගේ සැලකිල්ලට බඳුන් වන දේ ගැන ඔබ සැලකිලිමත් බව පෙන්නුම් කළහොත්, ඔබ වැදගත්යයි සලකන දේවල් සම්බන්ධයෙන් හිතකර ප්‍රතිචාරයක් සමහර විට ඔහුගෙන් බලාපොරොත්තු විය හැක. එනමුත් ඔබෙන් යම් වංක ක්‍රියාවක් අපේක්ෂා කළහොත්, තත්වය කුමක්ද? එය පැහැදිලිව ප්‍රතික්ෂේප කරමින්, ඔබේ ස්ථාවරය පැහැදිලි කරන අදහසක් ශුද්ධ ලියවිල්ලෙන් ඉදිරිපත් කිරීම යෝග්‍යය. කෙසේවෙතත්, මුලින්ම ඔබේ ස්ථාවරයට හේතුව තර්කානුකූලව පැහැදිලි කර දුන්නොත් යහපති. ඔහු වෙනුවෙන් බොරු කීමට හෝ සොරකම් කිරීමට කැමති තැනැත්තෙක් ඔහුටද බොරුවක් කීම හෝ ඔහුගෙන් සොරාගැනීම සඳහා ඇති ඉඩ කඩ ගැන පෙන්වා දීම හොඳ තර්කයකි. මෙවැනි තර්කයක් ඉදිරිපත් කිරීමෙන් වැඩි යහපතක් සිදු විය හැක.
තවත් නිදසුනක් සලකා බලන්න. ඔබ පාසැල් සිසුවෙකු කියා සිතමු. පාසැලේදී පවත්වන ශුද්ධ ලියවිල්ලට විරුද්ධ වූ ඇතැම් කටයුතුවලට සහභාගි වන්නට ඔබ අකමැතිය. ඔබේ ගුරුවරයා බොහෝ දුරට ඔබේ අදහස් නොදරන කෙනෙකු වන බවත්, පංතියේ විනය පවත්වාගැනීම ඔහුගේ වගකීම බවත් මතක තබාගන්න. දැන්, ඔබට මුහුණ දීමට සිදු වන අභියෝගයන් මෙලෙස දැක්විය හැක. (1) ඔහු වැදගත්යයි සලකන දේට යම් ගෞරවයක් දැක්වීම, (2) ඔබේ ස්ථාවරය ගෞරවාන්විතව පැහැදිලි කර දීම සහ (3) යෙහෝවාව සතුටු කරන බවට ඔබ දන්නා දේ සම්බන්ධයෙන් ස්ථිරව සිටීම. හොඳම ප්‍රතිඵල ලබාගැනීම පිණිස ඔබ විශ්වාස කරන දේ ගැන සරල, ඍජු පිළිතුරක් දීමට වඩා වැඩි යමක් අවශ්‍ය විය හැක. (හිතෝ. 15:28) ඔබ මඳක් ළාබාල කෙනෙක් නම්, කුමක් කිව යුතුද යන්න සූදානම් කිරීමේදී ඔබේ මව සහ පියා උපකාර කරනවාට සැකයක් නැත.
ඇතැම් අවස්ථාවලදී යම් බලධාරියෙකු විසින් එල්ල කර ඇති චෝදනා නිෂ්ප්‍රභ කිරීමට ඔබට සිදු විය හැක. යම් නීතියකට කීකරු වීම, ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවය සම්බන්ධයෙන් ඔබේ ස්ථාවරය හෝ දේශ ප්‍රේමී උත්සවවලට සහභාගි වීම සම්බන්ධයෙන් ඔබ දරන ආකල්පය ගැන යමක් කීමට පොලිස් නිලධාරියෙකු, ආණ්ඩු නිලධාරියෙකු හෝ උසාවියේ විනිසුරුවෙකු ඔබට බල කර සිටිය හැක. ඔබ පිළිතුරු දිය යුත්තේ කෙසේද? ‘මෘදුකමින් හා යටහත්කමින් එසේ කරන්න’ කියා බයිබලය උපදෙස් දෙයි. (1 පේතෘ. 3:15) මෙවැනි ප්‍රශ්න සැලකිල්ලට බඳුන් වී ඇත්තේ මන්ද කියා අසා, ඒවායෙහි වැදගත්කම ගෞරවාන්විතව පිළිගන්න. ඊළඟට කුමක් කළ යුතුද? ප්‍රේරිත පාවුල් රෝම ව්‍යවස්ථාවෙන් බලාපොරොත්තු විය හැකි ආරක්ෂාව ගැන සඳහන් කළා සේ, ඔබටද අදාළ නීතිමය අයිතිවාසිකම් පදනම් කරගෙන ආරක්ෂාව ඉල්ලා සිටිය හැක. (ක්‍රියා 22:25-29) මුල් ක්‍රිස්තියානීන් ගත් ස්ථාවරය හා ලොව පුරා සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගන්නා ස්ථාවරය ගැන තොරතුරු ඉදිරිපත් කළහොත් නිලධාරියාගේ දෘෂ්ටිය තවත් පුළුල් වනු ඇත. එසේ නැතහොත් දෙවි සතු අධිකාරය පිළිගැනීම, මනුෂ්‍යයන් පනවන සාධාරණ නීතිවලට අනිවාර්යයෙන්ම කීකරු වීමට රුකුලක් වන ආකාරය ඔබට පෙන්නුම් කළ හැක. (රෝම 13:1-14) මෙවැනි පසුබිමක් ආධාරයෙන් ඔබේ ස්ථාවරයට ශුද්ධ ලියවිලිමය හේතු පැහැදිලි කර දුන්නොත් එය සතුටින් භාරගැනීමට ඉඩ කඩ ඇත.
ශුද්ධ ලියවිලි පිළිබඳව ප්‍රශ්න විචාරන්නාගේ මතය
නිසි පිළිතුරු දිය යුත්තේ කෙසේදැයි යන්න තීරණය කරන විට, ප්‍රශ්න විචාරන්නා ශුද්ධ ලියවිලි සම්බන්ධයෙන් දරන මතය සලකා බැලීම ප්‍රයෝජනවත් විය හැක. නැවත නැඟිටීම ගැන සද්දුසිවරුන් ඉස්මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දුන් විට යේසුස් කළේ මෙයයි. ඔවුන් පිළිගත්තේ මෝසෙස්ගේ ලියවිලි පමණක් බව දැන සිටි යේසුස්, තම තර්කය ගොඩනැඟුවේ පංච පුස්තකයෙහි සඳහන් වාර්තාවක් උපයෝගි කරගනිමිනි. අනතුරුව තමන් කීමට අදහස් කළ දෙයෙහි සාරය පවසන්නට පෙර මෙසේ පැවසීය. “නුමුත් මළවුන් නැඟිටුවනු ලබන බව මෝසෙස් පවා . . . පෙන්වා දී තිබේ.” (ලූක් 20:37) ඒ හා සමානව ඔබට සවන් දෙන තැනැත්තා පිළිගන්නාවූ, හුරු පුරුදු කොටස්වලින් උපුටා දැක්වීම ප්‍රයෝජනවත් බව ඔබට පෙනී යා හැක.
ඔබට සවන් දෙන්නා බයිබලය පිළිගත් සම්මතයක් ලෙස පිළිගන්නේ නැත්නම්, තත්වය කුමක්ද? ක්‍රියා 17:22-31 දක්වා වාර්තා වී ඇති පරිදි, ප්‍රේරිත පාවුල් ඇරියෝපගයේදී දුන් දේශනයෙහි ඔහු කළ දේ සලකා බලන්න. බයිබලයෙන් කෙළින්ම උපුටා දක්වන්නේ නැතුව ශුද්ධ ලියවිලිමය සත්‍යයන් ඔහු ඔවුන් සමඟ බෙදාගත්තේය. එවන් අවශ්‍යතාවක් පැනනඟින ඕනෑම අවස්ථාවකදී, ඔබටත් එසේ කළ හැකිය. ඇතැම් අවස්ථාවලදී බයිබලයට කෙළින්ම අවධානය යොමු කරන්නට පෙර පුද්ගලයෙකු සමඟ සාකච්ඡා කිහිපයක්ම කිරීමට සිදු විය හැක. බයිබලය හඳුන්වා දෙන විට, එය දෙවිගේ වචනය කියා කෙළින්ම කීමට වඩා එය අපගේ සැලකිල්ලට භාජන විය යුතු වටිනා පොතක් බව පෙන්වීමට හේතු කිහිපයක් සරලව ඉදිරිපත් කිරීම නුවණට හුරුය. ඔබේ ඉලක්කය වන්නේ, දෙවිගේ අරමුණ ගැන පැහැදිලි සාක්ෂියක් දීමයි. කල් යත්ම බයිබලයෙහි සඳහන්ව ඇත්තේ මොනවාද යන්න දැකබලා ගැනීමට ඔබට සවන් දෙන තැනැත්තාට අවස්ථාව ලැබේවි. ඇත්තෙන්ම අපට පෞද්ගලිකව පැවසිය හැකි මොනයම් දෙයකටත් වඩා බයිබලයෙන්ම දේවල් පෙන්වීමෙන් කාරණා වඩා ඒත්තුගන්වනු ලැබිය හැකියි.—හෙබ්‍රෙ. 4:12.
‘නිතරම අනුග්‍රහයෙන් යුක්තව’
යෙහෝවා අනුග්‍රහය දක්වන දෙවි කෙනෙකි. එසේ නම් ඔහුගේ සේවකයන් කතා කරන විට ඔවුන්ගේ කතා බහ “නිතරම ලුණෙන් රසවත්ව, අනුග්‍රහයෙන් යුක්තව” තබාගන්නා ලෙසට ලැබී ඇති උපදේශය කොතරම් යෝග්‍යද! (කොලො. 4:6; නික්. 34:6) මින් අදහස් කරන්නේ කරුණාව පෙන්වීමට කිසිදු හේතුවක් නොමැති විටක පවා අප කාරුණිකව කතා කිරීමට බැඳී සිටින බවය. අපගේ කතා බහ, සිත් පිනවන ආකාරයේ එකක් විය යුතුය. රළු හෝ සැර පරුෂ ස්වරයකින් කතා නොකළ යුතුයි.
සමාජයේ වැඩිදෙනා කටුක පීඩාවලින් මිරිකී සිටිති. ඔවුහු දෛනිකව යම් වාචික ප්රහාරයන්වලට ලක් වෙති. මේ නිසා, අප එවන් අයව බැහැදැකීමට යන විට, ඔවුන් අපට රළු ලෙස කතා කරනවා විය හැකියි. අප කෙලෙස ප්‍රතිචාරය දැක්විය යුතුද? බයිබලය මෙසේ පිළිතුරු දෙයි. “මෘදු උත්තරයකින් කෝපය පහවෙයි.” අපට එදිරිව සිටින කෙනෙකුව සන්සුන් කිරීමටද බලයක් එවන් පිළිතුරක තිබිය හැක. (හිතෝ. 15:1; 25:15) දිනපතා කටුක ජීවිතයක් ගත කරන පුද්ගලයන්ට කාරුණික ලෙස කතා කිරීම, කාරුණික ස්වභාවයක් විදහාපෙන්වීම කොතරම් සිත් ඇදගන්නක්ද කිවහොත්, අප ගෙනෙන ශුභාරංචියට සවන් දෙන්නට පවා ඔවුන් පෙලඹිය හැක.
සත්‍යය සඳහා කිසිදු ගෞරවයක් නොපෙන්වන අය සමඟ වාද විවාද කිරීමට අප තුළ කිසිදු ආශාවක් නොමැත. ඒ වෙනුවට, අපගේ ආශාව වන්නේ ශුද්ධ ලියවිල්ලෙහි තිබෙන දේ දැනගැනීමට කැමැත්තක් ඇති අයට ශුද්ධ ලියවිල්ලෙන්ම කාරණා තර්කානුකූලව ගෙනහැර දැක්වීමයි. අපට මුහුණ දීමට සිදු වන තත්වය කවර ආකාරයේ එකක් වෙතත්, අප කාරුණිකව හා දෙවිගේ අනර්ඝ පොරොන්දු විශ්වාසවන්තයි යන නිසැකකමින් යුතුව පිළිතුරු දිය යුතු බව මතක තබාගැනීම අවශ්‍යය.—1 තෙස. 1:5.
පෞද්ගලික තීරණ සහ හෘදය සාක්ෂිය හා සම්බන්ධ කාරණා
බයිබල් ශිෂ්‍යයෙකු හෝ සෙසු ඇදහිලිවන්තයෙකු උද්ගත වී ඇති තත්වයක් සම්බන්ධයෙන් කුමක් කළ යුතුදැයි ඔබෙන් විමසන විට, පිළිතුරු දිය යුත්තේ කෙසේද? ඔබ පෞද්ගලිකව කරන දේ ඔබ දන්නවා විය හැක. කෙසේවෙතත්, ජීවිතයේ තමා ගන්නා තීරණ සම්බන්ධයෙන් සෑම කෙනෙකුම පෞද්ගලිකව වගකීම දැරිය යුතුය. (ගලා. 6:5) තමා දේශනා කළ අයට “අදහා කීකරු” වන්නට තමන් දිරිගැන්වූ බව ප්‍රේරිත පාවුල් පෙන්වා දුන්නේය. (රෝම 16:26, න. අ.) එය අපහට අනුගමනය කිරීම සඳහා කදිම ආදර්ශයක් වේ. පුද්ගලයෙක් තමාට බයිබලය උගන්වන ගුරුවරයාව හෝ වෙනත් මනුෂ්‍යයෙකුව සතුටු කිරීමට යම් තීරණ ගන්නවා නම්, ඔහු ඇදහිල්ලෙන් ජීවත් වන කෙනෙකු ලෙස හැඳින්විය නොහැක. (ගලා. 1:10) එමනිසා ඔබෙන් එවන් ප්‍රශ්නයක් අසන කෙනෙකුට සරල, ඍජු පිළිතුරක් දීම ඔහුගේ යහපතට හේතු වන්නක් සේ සිතීම උගහටය.
එසේ නම්, බයිබලයෙහි සඳහන් මඟ පෙන්වීම්වලට එකඟ වන අන්දමකින් පිළිතුරු දිය හැක්කේ කෙසේද? අදාළ බයිබල් ප්රතිපත්තිද, බයිබල් වාර්තාවෙහි ඇතුළත් උදාහරණ කිහිපයක්ද ඔහුගේ අවධානයට ලක් කිරීමට ඔබට පුළුවන. ඇතැම් අවස්ථාවලදී, එම ප්‍රතිපත්ති සහ උදාහරණ පෞද්ගලිකව සොයාගැනීමට හැකි වන පරිද්දෙන් පර්යේෂණ කරන ආකාරය ඔබට පෙන්නුම් කර දිය හැක. මෙම ප්රතිපත්තිද, උදාහරණවල වටිනාකමද සාකච්ඡා කිරීමට පුළුවන. කෙසේවෙතත්, පැන නැඟී ඇති තත්වයට ඒවා අදාළ කිරීමෙන් වළකින්න. ඥානවන්ත තීරණයක් ගැනීමට උපකාරවත් විය හැකි යමක් මේවායින් දැකගැනීමට ඔහුට පුළුවන්දැයි ඔහුගෙන් විමසන්න. මේ අනුව, මෙම ප්‍රතිපත්ති සහ උදාහරණ පදනමක් කරගෙන යෙහෝවාට සතුට ගෙන දෙන මාර්ගය කුමක්ද කියා සලකා බැලීමට ඔහුව උනන්දු කරන්න. ‘හරි වැරැද්ද නිශ්චය කරගැනීම සඳහා ඔහුගේම වටහාගැනීමේ ශක්තිය දියුණු කරගැනීමට’ අවශ්‍ය උපකාර මෙමගින් ඔබ ඔහුට සපයමින් සිටින වග පැහැදිලිය.—හෙබ්‍රෙ. 5:14, NW.
සභා රැස්වීම්වලදී අදහස් දැක්වීම
ක්‍රිස්තියානි සභාවේ රැස්වීම්වලදී විටින් විට අපගේ ඇදහිල්ල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලැබේ. එසේ කළ හැකි එක් මාර්ගයක් වන්නේ ප්‍රශ්නවලට ප්‍රතිචාරයක් වශයෙන් අදහස් දැක්වීමෙනි. අප අදහස් දැක්විය යුත්තේ කෙසේද? යෙහෝවාට ප්‍රශංසා ගෙන දීමේ හා ඔහුගේ යහපත ගැන කතා කිරීමේ ආශාව ඇතුවය. ගීතිකාකාර දාවිත් “සභාවලදී [ප්‍රසිද්ධ නමස්කාරයේ දී, න. අ.]” කළේ එවන් දෙයකි. (ගීතා. 26:12) මීට අමතරව ප්‍රේරිත පාවුල් උනන්දු කළ ලෙස “ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද” සෙසු ඇදහිලිවන්තයන්ව පෙලඹවීමේ අරමුණින්, දිරිගන්වනසුලු අන්දමකින් අදහස් දැක්විය යුතුය. (හෙබ්‍රෙ. 10:23-25) මෙය ඉටු කරගැනීම සඳහා, අදාළ පාඩම් කලින් අධ්‍යයනය කිරීම මහෝපකාරි වේ.
අදහස් දැක්වීමට අවස්ථාවක් ලැබෙන විට ඒවා සරලව, පැහැදිලිව සහ කෙටියෙන් ඉදිරිපත් කරන්න. මුළු ඡේදයේම ඇති අදහස් ඉදිරිපත් කරන්න එපා. ඔබේ අදහස් එක කරුණකට පමණක් සීමා කරන්න. සම්පූර්ණ පිළිතුර විස්තර නොකරන විට, අමතර අදහස් දැක්වීමට අන් අයටද අවස්ථාවක් ලැබේ. තොරතුරුවල සඳහන් ශුද්ධ ලියවිලි පාඨ උලුප්පා දැක්වීම විශේෂයෙන්ම ප්‍රයෝජනවත් වේ. එසේ කරද්දී, අදාළ බයිබල් පදයෙන් සාකච්ඡා කරන කාරණයට සම්බන්ධ වන කොටස ගෙනහැර දැක්වීමට උත්සාහ කරන්න. කෙළින්ම ඡේදයෙන් කියවන්නේ නැතුව, ඔබේ වචනවලින් අදහස් දැක්වීමට ඉගෙනගන්න. ඔබ පැවසූ දේ, අදහස් කළ විදිහටම ප්‍රකාශ නොවූ විටෙක, ඒ ගැන කලබල වන්න එපා. අදහස් දක්වන සියලුදෙනාටම මෙය විටින් විට සිදු වන්නකි.
නිසි පිළිතුරු දිය යුත්තේ කෙසේදැයි දැනගැනීම, පිළිතුර පමණක් දැනගැනීමට වඩා බැරෑරුම් කාරණයක් බව මෙම සාකච්ඡාවෙන් මොනවට පැහැදිලි වේ. ඒ සඳහා විචාර බුද්ධිය අවශ්‍යය. එහෙත් ඔබේ හද පත්ලෙන්ම නැඟෙන පිළිතුරක් අන් අයගේ හදවත් ස්පර්ශ කරන විට, එයින් ඔබ අද්දකින තෘප්තිය මොනතරම්ද!—හිතෝ. 15:23.