ප්‍රේමය නමැති පරිපූර්ණ බැම්මෙන් එක්සත් වීම
“ප්‍රේමයෙන් එකමුතුව එකට බැඳී සිටින්න.”—කොලොස්සි 2:2, NW.
1, 2. අදදින විශේෂයෙන්ම දැනෙන්නේ කිනම් භේදකාරි බලපෑමද?
සවන්දෙන්න! අහස පුරා මහත් කටහඬක් මෙසේ දෝංකාර දෙයි: “ගොඩටත් මුහුදටත් දුක්වේ! මක්නිසාද යක්ෂයා තමාට ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්න බැවින්, මහත් උදහසින් යුක්තව නුඹලා වෙතට බැස ගියේය.” (එළිදරව් 12:12) වර්ෂයක් පාසා වර්ෂයක් පසුවෙත්ම, එම පණිවුඩය පොළොවේ වැසියන්ට එන්ට එන්ටම භයංකර අනතුරු ඇඟවීමක් කරයි.
2 යෙහෝවඃවහන්සේගේ මහත්ම එදිරිකාරයා, විරුද්ධවාදියෙකු (සාතන්) සහ අපහාසකරන්නෙකු (යක්ෂයා) ලෙස බොහෝ කලක් තිස්සේ හඳුන්වා තිබේ. එහෙත්, මෙම රැවටිලිකාරයා, දැන් තවත් අප්‍රසන්න භූමිකාවක් රඟපායි—එනම් ඔහු කෝපාවිෂ්ට දෙවියෙකු බවට පත්ව සිටී! ඒ මන්ද? වර්ෂ 1914දී ආරම්භ වූ, ස්වර්ගයේ යුද්ධයෙන් මිකායෙල් සහ ඔහුගේ දේවදූතයන් විසින් ස්වර්ගයෙන් ඔහුව නෙරපනු ලැබ ඇති හෙයිනි. (එළිදරව් 12:7-9) දෙවියන්වහන්සේට සේවය කිරීමෙන් සියලු මිනිසුන් ඈත් කිරීමට තමන්ට පුළුවන්ය කියා තමා කළ අභියෝගය ඔප්පු කිරීමට තමාට තව ඇත්තේ කෙටි කාලයක් බව යක්ෂයා දනී. (යෝබ් 1:11; 2:4, 5) කිසිදු පැත්තකට බේරී යා නොහැකි ඔහු සහ ඔහුගේ භූතයන්, කැළඹී සිටින මහත් මිනිස් ජනකාය මත තම උදහස එල්ල කිරීමට නැඹුරු වී සිටින කෝප වූ මීමැසි රංචුවක් වැනිය.—යෙසායා 57:20.
3. අපගේ කාලයේ සාතන්ව පහතට හෙළනු ලැබීම නිසා ඇති වී තිබෙන බලපෑම කුමක්ද?
3 මිනිස් ඇස්වලට නොපෙනෙන මෙම සිදුවීම්, මිනිස්වර්ගයා අතර දැන් දක්නට ලැබෙන පොදු සදාචාර බිඳවැටීමට හේතුව පැහැදිලි කරයි. සමගියෙන් ජීවත් වීමට කොහෙත්ම බැරි භේද භින්න වී සිටින ජාතීන්ව සමගි කිරීමට මිනිසුන්ගේ වියරු වැටුණු ප්රයත්නද ඉන් පහදා දෙනු ලැබේ. මිලියන ගණනක් පුද්ගලයන්ට නිවාස අහිමි කරමින් හා ඉබාගාතෙ යෑමට සලස්වමින් ගෝත්‍රික හා වාර්ගික කණ්ඩායම් කුරිරු ලෙස එකිනෙකාට ප්‍රහාර එල්ල කරති. පෙර නොවූ විරූ පරිමාණයකින් නොපනත්කම එන්ට එන්ටම වැඩි වීම ගැන පුදුම වෙන්ට දෙයක් නැත! යේසුස්වහන්සේ පුරෝකථනය කළාක් මෙන්, ‘බොහෝදෙනෙකුගේ ප්‍රේමය හීනවෙමින් තිබේ.’ සෑම තැනකම ඔබ දකින අසමගිය හා ප්‍රේමය නැතිකම, අදදින කැළඹුණු මිනිස්භාවයේ ලක්ෂණයක්ය.—මතෙව් 24:12.
4. දෙවියන්වහන්සේගේ ජනයා විශේෂ අන්තරායක සිටින්නේ මන්ද?
4 ලෝක තත්ත්වය දෙස බලන කල, සිය අනුගාමිකයන් උදෙසා වූ යේසුස්වහන්සේගේ යාච්ඤාව වඩාත් ගැඹුරු අර්ථයක් ගනී: “ඔබ ලෝකයෙන් ඔවුන් අහක්කරන පිණිස නොව, නපුරාගෙන් ඔවුන් ආරක්ෂාකරන පිණිස යාච්ඤාකරමි. මා ලෝකයෙන් නොවන්නාක් මෙන්ම ඔව්හුද ලෝකයෙන් නොවෙති.” (යොහන් 17:15, 16) අදදින, “දුෂ්ටයා” විශේෂයෙන්ම තම කෝපය එල්ල කරගෙන සිටින්නේ, “දෙවියන්වහන්සේගේ ආඥා පවත්වන්නාවූ, යේසුස්වහන්සේගේ සාක්ෂිය දරන්නාවූ” අය වෙතටය. (එළිදරව් 12:16ආ) යෙහෝවඃවහන්සේගේ සුපරීක්ෂාව සහ ප්‍රේමනීය සැලකිල්ල නොතිබුණා නම්, උන්වහන්සේගේ ඇදහිලිවන්ත සාක්ෂිකරුවන්ව තුරන් කරනු ලබනවා ඇත. අපගේ ජීවිත රඳා පවතින්නේ, අපගේ ආත්මික ආරක්ෂාව සහ සුභසාධනය උදෙසා දෙවියන්වහන්සේ දෙන සියලු සැපයුම්වලින් ප්‍රයෝජන ගැනීම මතය. ප්‍රේරිතවරයා කොලොස්සි 1:29හි උදක්ම ඉල්ලා සිටියාක් මෙන්, ක්‍රිස්තුස්වහන්සේ තුළින් උන්වහන්සේගේ බලය ක්‍රියාත්මක වීමට එකඟව අප විසින් වීර්යක් දැරීම ඊට ඇතුළත් වෙයි.
5, 6. කොලොස්සියේ ක්‍රිස්තියානීන් සම්බන්ධයෙන් ප්‍රේරිත පාවුල්ට හැඟුණේ කෙසේද, එමෙන්ම 1995 වසර සඳහා වූ තේමාව යෝග්‍ය වන්නේ මන්ද?
5 පෙනෙන විදිහට, පාවුල් කොලොස්සියේ සිටි තම ප්‍රේමනීය සහෝදරයන්ව කිසිදා මුහුණට මුහුණ දැක නොතිබුණත්, ඔහු ඔවුන්ට ප්‍රේම කළේය. ඔහු ඔවුන්ට මෙසේ පැවසීය: “ඔබ උදෙසා මම කොතරම් ගැඹුරින් සිත්තැවුලට පත්වී සිටිනවාද කියා ඔබට තේරුම් ගත හැකිවේවායි මම පතමි.” (කොලොස්සි 2:1, ජේ. බී. ෆිලිප්ස් විසින් ද නිව් ටෙස්ටමන්ට් ඉන් මොඩර්න් ඉංග්ලිෂ්) යේසුස්වහන්සේගේ අනුගාමිකයන් ලෝකයේ කොටසක් නොවන බැවින්, මේ ලෝකයේ ස්වභාවය සහෝදරයන් අතර වැපිරීම මගින් ඔවුන්ගේ එකමුතුකම බිඳදැමීමට “දුෂ්ටයා” අර අඳිමින් සිටිනු ඇත. එපප්‍රස් කොලොස්සියෙන් රැගෙන විත් තිබූ පුවත්වලින් ඇඟවූයේ මෙය තරමක් දුරට සිදුවෙමින් තිබූ බවයි.
6 තම ක්‍රිස්තියානි සහෝදරයන් කෙරෙහි පාවුල් දැක්වූ මූලික සැලකිල්ල මෙම වචන තුළ සංක්ෂිප්ත කළ හැක: “ප්‍රේමයෙන් එකමුතුව එකට බැඳී සිටින්න.” අදදින, අසමගියෙන් හා නොපනත්කමෙන් පිරී තිබෙන ලෝකයක ඔහුගේ වචන විශේෂ අර්ථයක් ගනී. අපි පාවුල්ගේ අවවාදය සිතට ගනිමු නම්, අප යෙහෝවඃවහන්සේගේ සැලකිල්ල භුක්ති විඳිනු ඇත. මේ ලෝකයේ පීඩනවලට එරෙහි වීමට අපට උපකාර කරන, උන්වහන්සේගේ ආත්මයේ බලයද අපගේ ජීවිත තුළ අප අද්දකිනවා ඇත. මෙය මොනතරම් ප්‍රඥාවන්ත උපදෙසක්ද! මෙසේ, කොලොස්සි 2:2, [NW] 1995 වසර සඳහා අපගේ තේමා පාඨය වනු ඇත.
7. සැබෑ ක්‍රිස්තියානීන් අතර කිනම් සමගියක් තිබිය යුතුද?
7 මීට කලින් කොරින්තිවරුන්ට ලියන ලද ලිපියක, ප්‍රේරිතවරයා මිනිස් සිරුර උපහැරණයකට යොදාගත්තේය. අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ සභාව තුළ “කිසිදු භේදයක් නොතිබිය යුතු බවත්” නමුත් “එහි සාමාජිකයන්ට එකිනෙකා කෙරෙහි එකම සැලකිල්ල තිබිය යුතු” බවත් ඔහු ලීවේය. (1 කොරින්ති 12:12, 24, 25, NW) මොනතරම් අගනා වටිනා උපහැරණයක්ද! අපගේ අවයව අන්‍යොන්‍ය වශයෙන් රඳා පවතී, එක් එක් අවයවය සිරුරේ අනෙක් ඒවාට සම්බන්ධය. අභිෂේක ලත් අයගෙන් සහ පාරාදීස පොළොවක ජීවත් වීමට බලාපොරොත්තු වන මිලියන සංඛ්‍යාවකින් සමන්විත වන අපගේ ලෝක ව්‍යාප්ත සහෝදර සංගමයට මෙම ප්රතිපත්තියම අදාළ වේ. ස්වාධීනව ජීවත් වනු පිණිස අප අපගේ සෙසු ක්‍රිස්තියානීන් නමැති සිරුරෙන් අපවම වෙන්කර නොගත යුතුය! ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළින් ක්‍රියාත්මක වන දෙවියන්වහන්සේගේ ආත්මය මහත් ප්‍රමාණයකින් අපට ගලා එන්නේ අපගේ සහෝදරයන් සමඟ ඇසුර තුළිනි.
දැනුම සමඟ අත්වැල් බැඳගත් සමගිය
8, 9. (අ) සභාවේ සමගියට අප විසින් දායක වීමට මූලිකවම අවශ්‍ය දේ කුමක්ද? (ආ) ඔබ ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ දැනුම ලබාගෙන තිබෙන්නේ කෙසේද?
8 පාවුල්ගේ මූලික කරුණුවලින් එකක් වූයේ ක්‍රිස්තියානි සමගිය, දැනුම සමඟ, විශේෂයෙන්ම ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ දැනුම සමඟ අත්වැල් බැඳගෙන තිබෙන බවයි. ක්‍රිස්තියානීන්, “ප්‍රේමයෙන් එකමුතුව එකට බැඳී සිටිමින්, [ඔවුන්ගේ] තේරුම්ගැනීමේ පූර්ණ සහතිකය නමැති සියලු සම්පත භුක්ති විඳින පිණිසත් දෙවියන්වහන්සේගේ පරිශුද්ධ රහස වන ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ ඒකාන්ත දැනුම ලබන පිණිසත්” එසේ කළ යුතු බව පාවුල් ලීවේය. (කොලොස්සි 2:2, NW) අප දෙවියන්වහන්සේගේ වචනය අධ්‍යයනය කිරීමට පටන්ගත් දා සිට, අපි දැනුම,—එනම් කරුණු—ලබාගෙන ඇත්තෙමු. මෙම කරුණු බොහොමයක් දෙවියන්වහන්සේගේ අරමුණට ගැළපෙන්නේ කෙසේද කියා තේරුම්ගැනීමක් වශයෙන්, අපි යේසුස්වහන්සේගේ තීරණාත්මක කාර්යභාරය වටහාගනිමු. “ඒ තැනැන්වහන්සේ තුළ ප්‍රඥාවෙත් දැනගැන්මෙත් සියලු වස්තු නිධානකර ඇත්තේමය.”—කොලොස්සි 2:3.
9 යේසුස්වහන්සේ පිළිබඳව සහ දෙවියන්වහන්සේගේ අරමුණ තුළ උන්වහන්සේගේ කාර්යභාරය පිළිබඳව ඔබට හැඟෙන්නේ ඒ ආකාරයටද? යේසුස්වහන්සේව පිළිගන්නා බවට සහ තමන් ගැළවී ඇති බවට කියාපාමින්, ක්‍රිස්තියානි ලෝකයේ බොහෝදෙනෙක් උන්වහන්සේ ගැන සඳහන් කිරීමට යුහුසුලු වෙත්. එහෙත්, ඔවුහු ඇත්තටම උන්වහන්සේව දන්නෝද? නැත, මන්ද වැඩි දෙනෙකු විශ්වාස කරන්නේ ශුද්ධ ලියවිලිවලට එකඟ නැති ත්‍රිත්ව මූලධර්මයය. ඔබ මේ සම්බන්ධව සත්‍යය දන්නවා පමණක් නොව, නමුත් යේසුස්වහන්සේ කී සහ කළ දේවල් ගැන සෑහෙන පුළුල් දැනුමක් ඔබ සතුව තිබෙනවා විය හැකිය. ද ග්‍රේටස්ට් මෑන් හූ එවර් ලිව්ඩ් නමැති පොත භාවිත කරමින් විස්තරාත්මක අධ්‍යයනය කිරීමක් මගින් මිලියන ගණනකට උපකාර කොට තිබේ. එහෙත්, යේසුස්වහන්සේ සහ උන්වහන්සේගේ මාර්ග ගැන අපගේ දැනුම ගැඹුරු කරමින් සිටීමට අපට අවශ්‍යය.
10. නිධාන කර ඇති දැනුම අපට ලබාගත හැක්කේ කිනම් ආකාරයෙන්ද?
10 “ප්‍රඥාවෙත් දැනගැන්මෙත් සියලු වස්තු” සහ යේසුස්වහන්සේ තුළ පරෙස්සමින් “නිධාන කර ඇත්තේමය” යන ප්‍රකාශවලින් අදහස් කරන්නේ එවැනි දැනුමක් අපගේ ග්‍රහණයට ඔබ්බෙන් තිබෙනවාය යන්න නොවේ. ඒ වෙනුවට, එය යම් තරමක විවෘත ආකරයක් වැන්න. හෑරීමට පටන්ගන්නේ කොහෙන්දැයි කල්පනා කරමින් විශාල ප්‍රදේශයක එහා මෙහා යෑමට අපට අවශ්‍ය නැත. නියම දැනුම පටන්ගන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳව බයිබලය හෙළි කරන දෙයින් බව අපි දැනටමත් දනිමු. යෙහෝවඃවහන්සේගේ අරමුණ ක්‍රියාත්මක කරවීමේ යේසුස්වහන්සේගේ කාර්යභාරය වඩාත් පූර්ණ ලෙස අප විසින් අගය කරනවාත් සමඟම, සැබෑ ප්‍රඥාවේ සහ ඒකාන්ත දැනුමේ නිධාන අපි ලබාගන්නෙමු. එමනිසා අපට අවශ්‍ය වන්නේ, අප විසින් දැනටමත් හාරා ඇති මෙම උල්පතෙන් ලැබෙන මැණික් හෝ අනර්ඝ දේවල් තව තවත් පිටතට ඇදගනිමින්, දිගටම තවත් තවත් ගැඹුරට හැරීමයි.—හිතෝපදේශ 2:1-5.
11. යේසුස්වහන්සේ මත මෙනෙහි කිරීම මගින් අපගේ දැනුම හා ප්‍රඥාව වැඩි කරගැනීමට අපට කෙසේ හැකිවේද? (යේසුස්වහන්සේ සිය ගෝලයන්ගේ පාද සේදීම උපහැරණය කරන්න, නැතහොත් වෙනත් උදාහරණ යොදාගන්න.)
11 නිදසුනක් වශයෙන්, යේසුස්වහන්සේ සිය ප්‍රේරිතයන්ගේ පාද සේදූ බව අප දන්නවා විය හැක. (යොහන් 13:1-20) එනමුත්, උන්වහන්සේ උගන්වමින් සිටි පාඩම සහ විදහාපාමින් සිටි ආකල්පය ගැන අපි මෙනෙහි කර ඇත්තෙමුද? එසේ කිරීමෙන්, දිගු කලක් තිස්සේ අපව කුපිත කරවා ඇති පෞද්ගලිකත්වයකින් හෙබි සහෝදරයෙකු හෝ සහෝදරියක සමඟ අප කටයුතු කරන ආකාරය වෙනස් කිරීමට හේතු කරවන—එසේය, ඒ සඳහා අපව පොලඹවන—ප්‍රඥාවේ නිධානයක් අපට ඒ තුළින් මතුකරගැනීමට හැකිවන්ට පුළුවන. නැතහොත්, අපට එතරම් කැමති නැති පැවරුමක් දෙනු ලැබූ විට, යොහන් 13:14, 15හි පූර්ණ අර්ථය අප විසින් වටහාගත් වහාම අප වෙනස් අන්දමින් ප්‍රතිචාර දක්වන්ට පුළුවන. ප්‍රඥාව හා දැනුම අපට බලපාන්නේ ඒ අන්දමටයි. ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ වැඩි වූ දැනුම මත අපි අපවම සකස්කරගන්නා විට, එය අන්‍යයන් මත ඇති කරවන බලපෑම කුමක් විය හැකිද? සමහර විට රැළ ‘ප්‍රේමයෙන් වඩාත් සමගියෙන් එකට බැඳී සිටිනවා’ ඇත.a
අවධානය ඉවතට හරවන බාධාවලින් සමගියට හානි සිදුවිය හැක
12. අපට ආරක්ෂා වීමට අවශ්‍ය වන්නේ කිනම් දැනුම සම්බන්ධවද?
12 ඒකාන්ත දැනුම, අප විසින් ‘ප්‍රේමයෙන් එකමුතුව එකට බැඳී සිටීමට’ හේතු වේ නම්, “ ‘දැනුම’ යයි බොරුවෙන් හැඳින්වෙන ‘දැනුමෙන්’ ” කුමක් ප්‍රතිඵල වේද? හරියට එහි විරුද්ධ පැත්තය—මතභේද, අසමගිය සහ ඇදහිල්ලෙන් ඉවතට ඇදී යෑමය. එමනිසා පාවුල් තිමෝතිට අනතුරු ඇඟවූවාක් මෙන්, අප එවැනි බොරු දැනුමෙන් ආරක්ෂා විය යුතුය. (1 තිමෝති 6:20, 21) පාවුල් මෙසේද ලීවේය: “මා මෙසේ කියන්නේ ඒත්තු ගන්වනසුලු තර්කවලින් කිසි මිනිසෙකු ඔබ මුළා නොකරන පිණිසය. පරෙස්සම් වන්න: ක්‍රිස්තුස්වහන්සේට අනුව නොව, නමුත් මිනිසුන්ගේ සම්ප්‍රදායන්ට අනුව, ලෝකයේ මූලික දේවල්වලට අනුව දර්ශනවාදවලින් හා හිස් රැවටිලිවලින් ඔබව ගොදුරක් කරගැනීමට මාන බලන ඇතැමුන් සිටින්ට පුළුවන.”—කොලොස්සි 2:4, 8, NW.
13, 14. (අ) දැනුම සම්බන්ධයෙන් කොලොස්සිය ක්‍රිස්තියානීන් අවදානමක සිටියේ මන්ද? (ආ) තමන් ඒ හා සමාන අවදානමක නොසිටින්නේය කියා අදදින ඇතැම් අයට හැඟී යා හැක්කේ මන්ද?
13 කොලොස්සි ක්‍රිස්තියානීහු සැබවින්ම දැනුම යයි බොරු ලෙස හඳුන්වනු ලැබූ දේවල ගුප්ත බලපෑමෙන් වට වී සිටියෝය. කොලොස්සියේ හා ඊට තදාසන්නයේ විසූ බොහෝදෙනෙක් ග්‍රීක් දර්ශනවාදය බොහෝසෙයින් උසස් කොට සැලකූහ. මංගල්‍ය දවස් හා ආහාර අවශ්‍යතා වැනි මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ දේවල් පැවැත්වීමට වුවමනා වූ යුදෙව් ආගමිකයෝද වූහ. (කොලොස්සි 2:11, 16, 17) තම සහෝදරයන් සැබෑ දැනුම ලැබීම සම්බන්ධයෙන් පාවුල් විරුද්ධ වූයේ නැත, නමුත් ජීවිතය හා ක්‍රියාවන් ගැන නිකම්ම මිනිස් සංකල්ප වැළඳගැනීම පිණිස ඒත්තුගැන්වෙනසුලු තර්ක උපයෝගි කරගනිමින් කිසිවෙකු ඔවුන්ව ගොදුරක් කරගෙන ඉවතට ගෙන යනවාට එරෙහිව ඔවුන් පරෙස්සම් විය යුතුව තිබුණි. සභාවේ සිටින ඇතැමුන්, තමුන්ගේ සිතිවිලි හා තීරණ එවන් ශුද්ධ ලියවිලිවලට එකඟ නැති මත හා සංකල්පවලින් මෙහෙයවනු ලැබීමට ඉඩ හරිනවා නම්, එය සභා සමාජිකයන් අතර පවතින සමගියට හා ප්‍රේමයට එරෙහිව ක්‍රියාත්මක වන බව ඔබට වටහාගත හැකිය.
14 ඔබ මෙසේ සිතන්ට පුළුවන, ‘ඔව්, කොලොස්සිවරුන් මුහුණ දුන් අන්තරාය මට පේනවා, නමුත් අමරණීය ආත්මයක් වැනි ග්‍රීක් මතවලින් හෝ ත්‍රිත්ව දෙවියෙකු වැනි සංකල්පවලින් බලපෑමට හසුවීමේ අවදානමක මා සිටින්නේ නැහැ; මා බේරී ආ බොරු ආගමේ මිථ්‍යා නිවාඩු දින මගින් පොලඹවනු ලබන අන්තරායක්ද මා දකින්නේ නැහැ.’ හොඳයි. යේසුස්වහන්සේ තුළින් එළිදරව් වූ හා ශුද්ධ ලියවිලිවලින් ලබාගත හැකි සරල සත්යතාවන්හි උත්තරීතරබව මත අධිෂ්ඨානයක් ගෙන තිබීම හොඳය. කෙසේවෙතත්, අදදින හාත්පස පැතිර පවතිනා අනෙකුත් දර්ශනවාදයන්හි හෝ මිනිස් දෘෂ්ටීන්ගේ ග්‍රහණයට හසුවී යෑමේ අවදානමක අප සිටිනවා විය හැකිද?
15, 16. ජීවිතය සම්බන්ධ කිනම් ආකල්පය ක්‍රිස්තියානියෙකුගේ සිතිවිලිවලට බලපෑ හැකිද?
15 එවන් එක් ආකල්පයක් දිගුකලක් තිස්සේ පැතිර පැවත තිබේ: “උන්වහන්සේගේ ආගමනය පිළිබඳ පොරොන්දුවට කිමෙක් වී ද? පියවරුන් මළ පසු සියලු දේ මැවීමේ පටන්ගැන්මේ සිට තිබුණු ලෙස ම තවමත් පවතිනවා නොවේ ද?” (2 පේතෘස් 3:4, නව අනුවාදය) එම හැඟීම වෙනත් වචනවලින් පළ කරනු ලබනවා විය හැක, නමුත් දෘෂ්ටිකෝණය එකමය. නිදසුනක් වශයෙන්, ඇතැමුන් මෙසේ තර්ක කරන්ට පුළුවන, ‘මීට දශක කිහිපයකට පෙර මා පළමු වතාවට සත්‍යය ඉගෙනගත් විට, අන්තිමය, “අත ළඟ” තිබුණි. එහෙත්, එය තවමත් පැමිණ නැහැ, ඇරත් එය කවදා පැමිණේද කියා දන්නේ කවුද?’ ඇත්තය, අවසානය කවදා පැමිණේද කියා කිසිවෙකු දන්නේ නැත. එහෙත්, තබාගන්නා ලෙසට යේසුස්වහන්සේ විසින් උදක්ම ඉල්ලා සිටිනු ලැබූ දෘෂ්ටි කෝණය සලකා බලන්න: “බලාගෙන සිටින්න, අවදිව සිටින්න, මන්ද නියමිත කාලය කවදාදැයි ඔබ නොදන්නෙහිය.”—මාර්ක් 13:32, 33, NW.
16 අවසානය කවදා පැමිණේවිද කියා අප නොදන්නා නිසා, අප පූර්ණ හා “සාමාන්‍ය” ජීවිතයකට සැලසුම් කළ යුතුය යන දෘෂ්ටිය දැරීම මොනතරම් භයානක වනු ඇත්ද! එම ආකල්පය මෙවන් තර්ක කිරීමක් තුළ පිළිබිඹු විය හැක, ‘මට (හෝ මගේ දරුවන්ට) හොඳ වැටුපක් ගෙවන වැදගත් රැකියාවක් ලැබීමටත්, හොඳ සැපපහසු ජීවිතයක් ගත කිරීමට මට හැකි වන පිණිසත් මා යම් පියවරක් ගත්තොත් හොඳයි. ඇත්තෙන්ම, මා ක්‍රිස්තියානි රැස්වීම්වලට යනවා, ඒ වගේම දේශනා වැඩයෙත් තරමක් හවුල් වෙනවා, නමුත් මා විසින්ම වීර්ය කිරීමට හෝ ලොකු පරිත්‍යාග කිරීමටත් මට කිසිදු හේතුවක් නැහැ.’—මතෙව් 24:38-42.
17, 18. යේසුස්වහන්සේ සහ ප්‍රේරිතයන්, අපෙන් උදක්ම ඉල්ලා සිටියේ කිනම් දෘෂ්ටිය තබාගන්නා ලෙසටද?
17 කෙසේවෙතත්, ශුභාරංචිය දේශනා කිරීම සම්බන්ධයෙන් හදිසිතාවේ හැඟීමකින් යුතුව අප ජීවිත් විය යුතු බවත්, අපම වීර්ය කරමින් පරිත්‍යාග කිරීමට කැමැත්තෙන් සිටිය යුතු බවත් යේසුස්වහන්සේ සහ උන්වහන්සේගේ ප්‍රේරිතයන් නිර්දේශ කළ බව ප්‍රතික්ෂේප කළ නොහැක. පාවුල් මෙසේ ලීවේය: “නුමුත් සහෝදරයෙනි, කාලය ලුහුඬුකරනලද්දේය. මෙතැන් පටන් භාර්යාවන් ඇත්තෝ භාර්යාවන් නැත්තන් මෙන්ද; . . . මිලේට ගන්නෝ අයිති නැත්තන් මෙන්ද; මේ ලෝකය භුක්ති විඳින්නෝ අධිකලෙස භුක්ති නොවිඳින්නන් මෙන්ද සිටිය යුත්තෝයයි කියමි. මක්නිසාද මේ ලෝකයේ අන්දම පහවෙවී යන්නේය.”—1 කොරින්ති 7:29-31; ලූක් 13:23, 24; පිලිප්පි 3:13-15; කොලොස්සි 1:29; 1 තිමෝති 4:10; 2 තිමෝති 2:4; එළිදරව් 22:20.
18 අප විසින් සැපපහසු ජීවිතයක් ගත කිරීම අපේ ඉලක්කය විය යුතු බව කිසි ලෙසකින්වත් යෝජනා නොකර, පාවුල් ආනුභාවය යටතේ ලීවේ මෙසේයි: “අප මේ ලෝකයට කිසිවක් ගෙනාවේ නැත, එයින් අපට කිසිවක් ගෙනයන්ටත් බැරිය. තවද කෑම ඇඳීම අපට ඇත්නම් එයින් සතුටුවන්නෙමු. . . . ඇදහිල්ලේ යහපත් සටනෙන් සටන්කොට සදාකාල ජීවනය අල්ලාගනින්න, ඊට නුඹ කැඳවනු ලැබ, බොහෝ සාක්ෂිකාරයන් ඉදිරියෙහි යහපත් ප්රකාශනය කර සිටියෙහිය.”—1 තිමෝති 6:7-12.
19. සභාවක් තුළ සිටින අය ජීවිතය පිළිබඳ යේසුස්වහන්සේ දිරිගැන්වූ දෘෂ්ටිය පිළිගන්නා විට එම සභාව ඉන් බලපෑම් ලබන්නේ කෙසේද?
19 ‘කදිම ප්‍රසිද්ධ ප්රකාශනයක් ඉදිරිපත් කිරීමට’ ඉතා උනන්දුවෙන් වෙර දරන ජ්වලිත ක්‍රිස්තියානීන්ගෙන් සභාවක් සෑදෙන විට, සමගිය ඇති වීම ස්වාභාවිකය. ‘අවුරුදු ගණනාවකට රැස් කරගත් සම්පත් ඔබට තිබෙනවා; පහසු ගන්න, කන්න, බොන්න, හොඳින් ජීවිතය භුක්ති විඳින්න’ යන ආකල්පයට ඔවුන් ලෙහෙසියෙන් හසු වන්නේ නැත. (ලූක් 12:19) ඒ වෙනුවට, නැවත කිසිවිටකත් කරනු නොලබන මෙම වැඩයේ හැකිතාක් පූර්ණ ලෙස හවුල් වීම සඳහා දැඩි කැමැත්තකින් එකම ප්රයත්නය තුළ ඔවුහු එක්සත් වී සිටිති.—පිලිප්පි 1:27, 28, සසඳන්න.
ඒත්තුගන්වනසුලු වාදවලින් පරෙස්සම් වන්න
20. ක්‍රිස්තියානීන් මුළාවිය හැකි තවත් ක්ෂේත්රයක් කුමක්ද?
20 ඇත්තවශයෙන්ම, ක්‍රිස්තියානීන්ව, ‘ප්‍රේමයෙන් එකමුතුව එකට බැඳී සිටීමට’ බාධා පැමිණවිය හැකි ‘ඒත්තුගන්වනසුලු වාදවලින්’ හෝ හිස් රැවටිලිවලින් මුළා විය හැක. ජර්මනියේ වොච්ටවර් සමිතියේ කාර්යාලය මෙසේ ලීවේය: “එක්තරා අවස්ථාවකදී, එක් සහෝදරයෙකු විසින් භාවිත කරන ලද යම් ප්‍රතිකාරයක් සම්බන්ධව ප්‍රචාරකයන්, එමෙන්ම වැඩිමහල්ලන් පවා පැති ගත් මත භේදයක් දැඩි සේ පැතිර ගියේය.” ඔවුහු තවදුරටත් මෙසේ පළ කළෝය: “භාවිත කරන ලද විවිධාකාර ක්‍රම හා රෝගීන් විශාල සංඛ්‍යාව නිසා, මෙය වනාහි මතභේදවලට විවෘත වී ඇති ක්ෂේත්රයකි, තවද චිකිත්සක ප්‍රතිකාර ක්‍රමවලට ආත්ම බන්ධන සම්බන්ධයක් තිබේ නම්, එය අන්තරාවලට තුඩු දිය හැකිය.”—එපීස 6:12.
21. අදදින ක්‍රිස්තියානියෙකු හරි දේට අවධානය යොමු කිරීම කෙසේ අහිමි කරගන්නවා විය හැකිද?
21 දෙවියන්වහන්සේට නමස්කාර කළ හැකි වන පිණිස ජීවත් වීමටත් සෞඛ්‍යසම්පන්නව සිටීමටත් ක්‍රිස්තියානීන්ට වුවමනාය. කෙසේවෙතත්, මෙම පිළිවෙළ තුළ, අසම්පූර්ණකමින් ප්‍රතිඵල වී තිබෙන වයස්ගත වීමටත් අසනීප වීමටත් අපි යටත් වී සිටින්නෙමු. සෞඛ්‍යමය ප්‍රශ්න ගැන අවධානය යොමු කරනවා වෙනුවට, අප උදෙසා සහ අන්‍යයන් උදෙසා ඇති සැබෑ විසඳුම කෙරෙහි අප අපගේ මුළු අවධානය යොමු කළ යුතුය. (1 තිමෝති 4:16) පාවුල් කොලොස්සිවරුන්ට දුන් උපදෙසෙහි මූලික අවධානය යොමු වී තිබුණේ ක්‍රිස්තුස්වහන්සේට වූවාක් මෙන්ම, එම විසඳුමේ මූලික කේන්ද්‍රයද උන්වහන්සේය. එහෙත්, ඇතැමුන් ක්‍රිස්තුස්වහන්සේ වෙතින් අපගේ අවධානය සමහරවිට රෝග නිර්ණ ක්‍රම, ප්‍රතිකාර හෝ ආහාර වට්ටෝරු දෙසට හැරවීමේ අටියෙන් “ඒත්තුගන්වනසුලු විවාද” සහිතව පැමිණිය හැකි බවට පාවුල් ඇඟවූ බව මතක තබාගන්න.—කොලොස්සි 2:2-4.
22. රෝග නිර්ණ ක්‍රම හා ප්‍රතිකාර සම්බන්ධයෙන් තිබෙන විවිධ ප්‍රකාශන ගැන අපට තිබිය යුතු සමබර ආකල්පය කුමක්ද?
22 ලොව වටා සිටින ජනයෝ, සියලු ආකාර ප්‍රතිකාර හා රෝග නිර්ණ ක්‍රම පිළිබඳ වෙළඳ දැන්වීම් හා සාක්ෂි ප්‍රකාශවලින් වට වී සිටිති. මේවායින් සමහරක් පුළුල් ලෙස භාවිත කරනු ලැබේ, එමෙන්ම පිළිගනු ලැබේ; තවත් ඒවා පුළුල් ලෙස විවේචනයට පාත්‍ර වේ, නැතහොත් සැකයකට භාජන වේ.b තමාගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් කුමක් කරනු ඇත්දැයි තීරණය කිරීමට සෑම පුද්ගලයෙකුටම වගකීමක් ඇත. එහෙත්, කොලොස්සි 2:4, 8හි සොයාගත හැකි පාවුල්ගේ උපදෙස පිළිගන්නා අය, රාජ්‍යය බලාපොරොත්තුවෙන් හීනව, සහනය උදෙසා අසරණ වී සිටින අයව ඉවතට ගසාගෙන යෑමට සලස්වන “ඒත්තුගන්වනසුලු විවාද” හෝ “හිස් රැවටිලි” මගින් මුළාවීමෙන් ආරක්ෂාවක් ලබනු ඇත. යම් ප්‍රතිකාරයක් තමාට හොඳ බව ක්‍රිස්තියානියෙකුට ඒත්තු ගොස් තිබුණත්, ඔහු ක්‍රිස්තියානි සහෝදරත්වය තුළ ඒ ගැන මහා ඉහළින් කථා නොකළ යුතුය, මන්ද එය පුළුල් සාකච්ඡාවට හෝ මතභේදයට තුඩු දිය හැකි විෂයක් බවට පත්වන්ට පුළුවන. මෙසේ, සභාවේ සමගියේ වැදගත්කමට ඔහු ඉතා උසස් කොට ගෞරවය දක්වන බව විදහාපෑමට ඔහුට හැක.
23. ප්‍රීති වීම සඳහා විශේෂයෙන් අපට හේතුවක් තිබෙන්නේ මන්ද?
23 ප්‍රේරිත පාවුල් කාවැද්දුවේ, ක්‍රිස්තියානි සමගිය සැබෑ ප්‍රීතිය සඳහා පදනමක් බවයි. ඔහුගේ දවසේ, සභාවල සංඛ්‍යාව අදදිනට වඩා අඩු වූ බව සහතිකය. එහෙත්, කොලොස්සිවරුන්ට මෙසේ ලිවීමට ඔහුට හැකිවිය: “මම මාංසාකාරයෙන් ඈත්ව සිටින නුමුත්, ආත්මයෙන් නුඹලා සමඟ සිට, නුඹලාගේ පිළිවෙළත් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි තිබෙන නුඹලාගේ ඇදහිල්ලේ ස්ථිරකමත් බලමින් ප්‍රීතිවෙමි.” (කොලොස්සි 2:5; එමෙන්ම කොලොස්සි 3:14ද බලන්න.) ප්‍රීතිවීම සඳහා අපට තිබෙන හේතුව කොතරම් වඩාත් මහත්ද! සමගියේ, හොඳ පිළිවෙළක හා ඇදහිල්ලේ ස්ථිරත්වයේ සැබෑ සාක්ෂි අපගේම සභාව තුළ අප දැකිය හැකි අතර, එය ලොව පුරා දෙවියන්වහන්සේගේ ජනයාගේ පොදු තත්ත්වය පිළිබිඹු කරයි. එබැවින්, මෙම වත්මන් පිළිවෙළේ ඉතිරි වී තිබෙන කෙටි කාලයේදී, “ප්‍රේමයෙන් එකමුතුව එකට බැඳී සිටීමට” අපි එක් එක්කෙනා අධිෂ්ඨාන කරගනිමු.
[පාදසටහන්වල]
a අපට ඉගෙනගත හැකි වාර්තා අනන්ත අප්‍රමාණව තිබුණත්, ඔබේ සභාවේ සමගියට දායක විය හැකි, ඔබට යේසුස්වහන්සේගෙන් පෞද්ගලිකව ඉගෙනගත හැකි දේ කුමක්දැයි පහත උදාහරණවලින් බලන්න: මතෙව් 12:1-8; ලූක් 2:51, 52; 9:51-55; 10:20; හෙබ්‍රෙව් 10:5-9.
b 1982 ජූනි 15දා ද වොච්ටවර්හි පිටු 22-9 බලන්න.
ඔබ සැලකිල්ලට ගත්තාද?
◻ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සඳහා 1995 වාර්ෂික පදය කුමක්ද?
◻ ප්‍රේමයෙන් එකමුතුව එකට බැඳී සිටීමට කොලොස්සි ක්‍රිස්තියානීන්ට අවශ්‍ය වූයේ මන්ද, තවද, අදදින අපට අවශ්‍ය වන්නේ මන්ද?
◻ අදදින ක්‍රිස්තියානීන් විශේෂයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය වන්නේ ජීවිතය සම්බන්ධ කිනම් ගුප්ත ආකල්පයෙන්ද?
◻ සෞඛ්‍යය සහ රෝග නිර්ණ ක්‍රම සම්බන්ධ ඒත්තුගන්වනසුලු විවාදවලින් රැවටීමට එරෙහිව ක්‍රිස්තියානීන් සුපරීක්ෂාකාරි විය යුත්තේ මන්ද?
[17වන පිටුවේ පින්තූර]
ඔබගේ අනාගත සැලසුම් කේන්ද්‍රගත වී ඇත්තේ යේසුස්වහන්සේගේ පැමිණ සිටීම මතද?