පරිච්ඡේදය 17
‘මරනු ලැබූවන්ට’ ලැබෙන ත්‍යාගය
1. අප ජීවත් වෙන්නේ කිනම් කාලයේද? ඒ ගැන අපට තිබෙන සාක්ෂි මොනවාද?
දේවරාජ්‍යය පාලනය පටන් අරන්! සුදු අශ්වයා පිට සිටින අසරුවා තම ජයග්‍රහණය සම්පූර්ණ කිරීමට ආසන්නයි! රතු අශ්වයා, කලු අශ්වයා සහ සුදුමැලි අශ්වයා පොළොව පුරා සිය ගමනේ යෙදෙනවා! යේසුස් රජ හැටියට තමා පැමිණ සිටින කාලය ගැන කී අනාවැකි කිසිම අඩුවක් නැතිව ඉටු වෙමින් තිබෙනවා. (මතෙව් 24, 25 පරිච්ඡේද; මාක් 13 පරිච්ඡේදය; ලූක් 21 පරිච්ඡේදය) අප ජීවත් වෙන්නේ මේ දුෂ්ට සමාජයේ අවසාන දවස්වල බව ඉතා පැහැදිලියි. (2 තිමෝති 3:1-5) බැටළු පැටවාණන් වන යේසුස් ක්‍රිස්තුස් ඒ ලියවිල්ලේ පස්වෙනි මුද්‍රාව කඩද්දී ඊට කිට්ටු අවධානයක් දීම කොතරම් වැදගත්ද! එයින් අපට තවත් කුමන දේවල් හෙළි වේවිද?
2. (අ) පස්වන මුද්‍රාව කැඩූ විට යොහන් දුටුවේ කුමක්ද? (ආ) ස්වර්ගයේ සංකේතවත් පූජාසනයක් තිබෙන බව අප කියවන විට ඒ ගැන පුදුම නොවිය යුත්තේ ඇයි?
2 යොහන් මෙම දර්ශනය ගැන මෙසේ විස්තර කරනවා. “ඔහු පස්වන මුද්‍රාව කැඩූ විට, දෙවිගේ වචනය නිසාද තමන්ට තිබුණු සාක්ෂි දැරීමේ කාර්යය නිසාද මරනු ලැබූවන්ගේ රුධිරය පූජාසනය යට තිබෙනවා මම දුටිමි.” (එළිදරව් 6:9) යොහන් ස්වර්ගයේ පූජාසනයක් තිබෙන බව සඳහන් කරන්නේ ප්‍රථම වතාවටයි. දැනටමත් ස්වර්ගයේ ඔහු දුටු බොහෝ දේවල් ගැන යොහන් විස්තර කළා. එනම් යෙහෝවා දෙවි තම සිංහාසනයේ ඉඳගෙන සිටින ආකාරය, ඔහු වටේ සිටින කෙරුබ්වරු, වීදුරු මෙන් වූ මුහුද, පහන්, සුවඳ ද්‍රව්‍ය අතැතිව සිටින වැඩිමහල්ලන් 24දෙනා යනාදියයි. මේ සියලු දේවල් ඊශ්‍රායෙල් දේශයේ පිහිටි දෙවිගේ ශුද්ධ මණ්ඩපයේ තිබුණු දේවලින් නියෝජනය වුණා. (නික්මයාම 25:17, 18; 40:24-27, 30-32; 1 ලේකම් 24:4) එසේනම් ස්වර්ගයේ සංකේතවත් පූජාසනයක් තිබීම ගැනත් අප පුදුම විය නැහැ.—නික්මයාම 40:29.
3. (අ) පැරණි ඊශ්‍රායෙලයේ තිබූ මණ්ඩපයේදී පූජා කළ සතුන්ගේ ලේවලට කළේ කුමක්ද? (ආ) මරා දමනු ලැබූ සාක්ෂිකරුවන්ගේ රුධිරය ස්වර්ගයේ සංකේතවත් පූජාසනයක් යට තිබීමෙන් අදහස් කළේ කුමක්ද?
3 මෙම පූජාසනයට යටින් ‘දෙවිගේ වචනය නිසාද තමන්ට තිබුණු සාක්ෂි දැරීමේ කාර්යය නිසාද මරනු ලැබූවන්ගේ රුධිරය තිබෙනවා.’ මින් අදහස් කරන්නේ කුමක්ද? රුධිරය මගින් ජීවිතය සංකේතවත් කළ බව යොහන් දැන සිටියා. ඔහු දැන සිටි තවත් දෙයක් නම් පුරාණ ඊශ්‍රායෙලයේ තිබූ මණ්ඩපයේ සේවය කළ පූජකයන් සතෙකු පූජා කළ විට ඒ සතාගේ ලේ “පූජාසනය මත” ඉසිය යුතු බව හෝ “දවන පූජා ඔප්පු කරන පූජාසනයේ පාමුල වත් කළ” යුතු බවයි. (ලෙවී කතාව 3:2, 8, 13; 4:7; 17:16, 11, 12, NW) සතාගේ ලේ පූජාසනය මත ඉසීමෙන් හෝ පාමුල වත් කිරීමෙන් අදහස් කළේ ඒ සතාගේ ජීවිතය දෙවිට පූජාවක් ලෙස ඔප්පු කළ බවයි. එසේනම් දෙවිගේ මෙම සේවකයන්ගේ රුධිරය ස්වර්ගයේ සංකේතවත් පූජාසනයක් යට තිබෙනවා කීමෙන් අදහස් වෙන්නේ ඔවුන්ගේ ජීවිතත් දෙවි වෙනුවෙන් පූජාවක් ලෙස ඔප්පු කර ඇති බවයි. ඔවුන්ගේ මරණය පූජාවක් හා සමානයි.
4. අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ මරණය පූජාවක් හා සමාන වෙන්නේ කොයි ආකාරයෙන්ද?
4 දෙවිගේ පුත්‍රයන් ලෙස අභිෂේක කළ අය ස්වර්ගයේ පිහිටි යෙහෝවා දෙවිගේ රාජ්‍යයේ සේවය කරන්න යන නිසා පොළොව මත සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව ඔවුන් අත්හරිනවා. ඔවුන් එසේ කිරීම දෙවිගේ කැමැත්තයි. ඔවුන් එය කරන්නේ යෙහෝවා දෙවි සහ ඔහුගේ ශ්‍රේෂ්ඨ අරමුණ වෙනුවෙනුයි. එසේ කරන පරිත්‍යාගය පූජාවක් හා සමානයි. (ෆිලිප්පි 3:8-11; 2:17ද බලන්න.) නමුත් මොවුන් අතර විශේෂ ආකාරයකින් තම ජීවිත පූජා කළ අයත් සිටිනවා. එනම් දෙවිට සේවය කළ නිසා ඝාතනය කළ අයයි. යොහන් විස්තර කරන ලෙස ‘ඔවුන්ව මරනු ලැබුවේ දෙවිගේ වචනය නිසා හා තමන්ට තිබුණු සාක්ෂි දැරීමේ කාර්යය නිසයි.’ මෙම අභිෂේක ලත් අය තම දිවි පුද කළේ ඔවුන් ඉතා උද්යෝගයෙන් දෙවි වෙනුවෙන් ඔහුගේ වචනය පතළ කරමින් සේවය කළ නිසයි.
5. ඝාතනය කළ විශ්වාසවන්ත අය යුක්තිය ඉල්ලා මොරගසනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
5 යොහන් ඊළඟට දකින දේ මෙසේ විස්තර කරනවා. “ඔවුහු මහත් ශබ්දයකින් හඬ නඟා, ‘ශුද්ධ වූද සැබෑ වූද පරමාධිපති ස්වාමිනි, පොළොවෙහි වාසය කරන්නන්ව විනිශ්චය කිරීමෙන් සහ අපේ ලේ ගැන ඔවුන්ගෙන් පළිගැනීමෙන් ඔබ වැළකී සිටින්නේ තව කොපමණ කලකටද?’ යයි කීවෝය.” (එළිදරව් 6:10) මිය ගිය අය කිසිවක් නොදන්නා බව බයිබලයේ සඳහන් වන නිසා ඝාතනය කරනු ලැබූ මේ අය මොරගසන්නේ කෙසේද? (දේශනාකාරයා 9:5) කායින් ධර්මිෂ්ඨයෙකු වූ ආබෙල්ව මරා දැමුවායින් පසුව ආබෙල්ගේ රුධිරය භූමියෙන් හඬගැසූ බව ඔබට මතක ඇති. යෙහෝවා දෙවි කායින්ට මෙසේ පැවසුවා. “ඔබ කුමක් කළෙහිද? ඔබේ සහෝදරයාගේ ලෙයෙහි ශබ්දය භූමියෙන් මට හඬගසයි.” (උත්පත්ති 4:10, 11; හෙබ්‍රෙව් 12:24) මින් අදහස් වෙන්නේ ආබෙල්ගේ රුධිරය ඇත්තටම හඬගැසුවා කියා නෙවෙයි. ආබෙල්ව ඝාතනය කළේ ඔහු යම් වරදක් කළ නිසා නෙවෙයි අයුක්තිසහගතවයි. ඒ නිසා ඔහුගේ මිනීමරුවාට දඬුවම් කරන ලෙසට මොර දුන්නේ යුක්තියයි. ඒ හා සමානව ඝාතනය කළ ක්‍රිස්තියානීනුත් නිර්දෝෂ අයයි. ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉටු විය යුතුමයි. (ලූක් 18:7, 8) යුක්තිය ඉල්ලා මොරගසන ශබ්දය බලවත්. මන්ද මෙසේ අයුක්තිසහගත ලෙස ඝාතනය කළ අයගේ සංඛ්‍යාව දහස් ගණනක් ඉක්මවා යනවා.—යෙරෙමියා 15:15, 16ද බලන්න.
6. ක්‍රිස්තු පූර්ව 607දී යුක්තිය ඉටු වුණේ කලින් සිදු වූ කවර ලේ වැගිරවීමක් නිසාද?
6 අපට මෙහිදී මතක් වෙන්නේ ක්‍රි.පූ. 716දී මනස්සේ රජ වී මෙන් පසු යූදා රාජ්‍යයේ බොරු නමස්කාරය ව්‍යාප්ත වූ කාලයයි. ඔහු බොහෝ අහිංසක මිනිසුන්ගේ ලේ වැගිරුවා. සමහරවිට යෙසායාව ‘කියතෙන් දෙකට ඉරා’ මරන්න අණ දුන්නේ ඔහු විය හැකියි. (හෙබ්‍රෙව් 11:37; 2 රාජාවලිය 21:16) මනස්සේ පසුව පසුතැවිලි වී තම ජීවිතය වෙනස් කරගත්තත් ඔහු නිසා වැගිරෙවූ ලේවලට යුක්තිය ඉටු වී තිබුණේ නැහැ. එමනිසා බැබිලෝනිය ජාතිකයන් අතින් යූදා රාජ්‍යය ක්‍රි.පූ. 607දී විනාශ වූ විට එයට හේතුව ලෙස බයිබල් වාර්තාවේ සඳහන් වෙන්නේ මෙසේයි. “යූදා දේශයට මේ දේවල් සිද්ධ වූයේ යෙහෝවා දෙවි ඊට ඉඩ දුන් නිසාය. මන්ද මනස්සේ කළ පව් නිසා ඒ දේශය විනාශ කර දැමීමට දෙවි තීරණය කර තිබිණ. තවද ඔහු අහිංසක අයගේ ලේ වගුරුවා යෙරුසලම ලෙයින් නැහැවූ නිසා යෙහෝවා දෙවි සමාව දීමට කැමති වූයේ නැත.”—2 රාජාවලිය 24:3, 4, NW.
7. ‘ශුද්ධ තැනැත්තන්ගේ ලේ’ වැගිරවීම ගැන මූලිකවම වග කිව යුත්තේ කවුද?
7 එදා මෙන් අදත් දෙවිගේ සාක්ෂිකරුවන්ව මරා දැමූ පුද්ගලයන් බොහෝදෙනෙක් ජීවතුන් අතර නැහැ. නමුත් මේ ඝාතනවලට මුල් වූ සංවිධානය තවමත් තිබෙනවා. එය නම් පොළොවේ සාතන්ගේ වංශයට අයත් ඔහුගේ සංවිධානයයි. මේ ලේ වරදට වග කිව යුත්තේ ඔවුනුයි. ඔවුන් අතරින් ප්රමුඛව සිටින්නේ මහා බැබිලෝනියයි. එනම් ලෝකයේ අධිරාජ්‍යයක් හා සමානව පැතිර ඇති අසත්‍යය උගන්වන සියලුම ආගම්.a මහා බැබිලෝනිය විස්තර කර තිබෙන්නේ “ශුද්ධ තැනැත්තන්ගේ ලෙයින්ද, යේසුස්ගේ සාක්ෂිකරුවන්ගේ ලෙයින්ද වෙරි වී” සිටින තැනැත්තියක් ලෙසයි. “අනාගතවක්තෘවරුන්ගේත්, ශුද්ධ තැනැත්තන්ගේත්, පොළොවේදී මරනු ලැබූ සියල්ලන්ගේත් ලේ ඇය තුළ සම්බ වුණේය.” (එළිදරව් 17:5, 6; 18:24; එෆීස 4:11; 1 කොරින්ති 12:28) කොතරම් මහත් ලේ වරදක්ද! මහා බැබිලෝනිය පවතින තාක් කල්, ඇය විසින් ඝාතනය කළ සියල්ලන්ගේ ලේ යුක්තිය ඉල්ලා මොරගසන බව නම් ස්ථිරයි.—එළිදරව් 19:1, 2.
8. (අ) යොහන් ජීවත් වූ කාලය පුරා ඝාතනය කරනු ලැබුවේ කාවද? (ආ) රෝම අධිරාජ්‍යයන් විසින් ඇති කළ පීඩා මොනවාද?
8 මුල් සියවසේ ක්‍රිස්තියානි සභාව වර්ධනය වෙද්දී එහි සාමාජිකයන්ට එරෙහිව සාතන් සහ ඔහුගේ වංශයට අයත් අය ඉතා කුරිරු ලෙස පීඩා එල්ල කරමින් ඔවුන්ගෙන් සමහරෙකුව මරා දැමූ ආකාරය යොහන්ම දැක තිබුණා. යේසුස්ව ඇණ ගසා මරා දැමූ ආකාරය ඔහු පෞද්ගලිකව දැක්කා. ඊටපසුව ස්තේපන්වත්, යොහන්ගේම සහෝදරයා වූ යාකොබ්වත්, ඉන්පසුව පේතෘස්ව, පාවුල්ව සහ ඔහු කිට්ටුවෙන් ආශ්‍රය කළ වෙනත් අයවත් ඝාතනය කරනු ලැබුවා. (යොහන් 19:26, 27; 21:15, 18, 19; ක්‍රියා 7:59, 60; 8:2; 12:2; 2 තිමෝති 1:1; 4:6, 7) ක්‍රිස්තු වර්ෂ 64දී රෝම අධිරාජ්‍යයා වූ නීරෝ, රෝමය ගිනිගැනීමේ වරද ක්‍රිස්තියානීන් පිට තැබූ අතර, ඔහු එසේ කළේ ගිනි තැබීම කළේ ඔහු බවට පැතිරගිය රාවය වසාලීමටයි. ටැසිටස් නම් ඉතිහාසඥයා මෙසේ වාර්තා කරනවා. “ඔවුන්ව [ක්‍රිස්තියානීන්ව] මරා දැම්මේ ඔවුන්ට බොහෝ නිග්‍රහ කිරීමෙන් පසුවයි. ඇතමුන්ට වන සතුන්ගේ හම් අන්දවනු ලැබුවා. ඉන්පසුව ඔවුන්ව බල්ලන් ලවා ඉරා දමන්න සැලැස්සුවා. තවත් අයව [කණුවල]b ඇණ ගසනු ලැබුවා. රාත්‍රියට අවශ්‍ය ආලෝකය ලබාගැනීමට සමහරුන්ව කණුවල දමා පුලුස්සනු ලැබුවා.” තවත් අධිරාජ්‍යයෙකු වූ ඩොමිෂියන්ගේ කාලයේ (ක්‍රි.ව. 81-96) දැඩි පීඩා රැල්ලක් පැමිණි අතර යොහන්ව පැට්මොස් නම් වූ දූපතට පිටුවහල් කරනු ලැබුවේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. “ඔවුන් මට පීඩා කළා නම්, ඔවුහු ඔබටත් පීඩා කරන්නෝය” කියා යේසුස් පැවසූ වචන ඇත්තටම ඉටු වුණා.—යොහන් 15:20; මතෙව් 10:22.
9. (අ) සාතන් මිනිසුන්ව මුළා කිරීමට ක්‍රි.ව. හතරවන සියවසේදී පාවිච්චි කළ ප්රබලතම අවිය කුමක්ද? එහි ප්‍රධාන කොටස කුමක්ද? (ආ) ක්‍රිස්තියානි පල්ලිවල ඇතැම් නායකයන් පළමු හා දෙවන ලෝක මහා යුද්ධවලදී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට පීඩා කළේ කෙසේද?
9 නමුත් ක්‍රි.ව. හතරවන සියවසේ සිට පුරාණ සර්පයා වන සාතන් නමැති යක්ෂයා මිනිසුන්ව මුළා කිරීමට ඔහුගේ ප්රබලතම අවිය යොදාගන්න පටන්ගත්තා. ඒ තමයි ක්‍රිස්තියානියයි කියාගන්නාවූ පල්ලිවලින් සැදුම් ලත් සංවිධානය. එය “ක්‍රිස්තියානි” යන ලේබලය ගසාගෙන තිබුණත් එය ඇත්තටම මහා බැබිලෝනියේ කොටසක්. සර්පයාගේ වංශයෙන් බිහි වන ප්‍රධාන කොටස එයයි. ප්‍රතිඵලයක් හැටියට එකිනෙකට පටහැනි දේ උගන්වන නිකායන් රැසක් බිහි වී තිබෙනවා. ඉපැරණි යූදා රාජ්‍යය මෙන්ම, මෙම ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවලින් සැදුම් ලත් සංවිධානය දරුණු ලේ වරදකට හසු වී සිටිනවා. පළමු සහ දෙවන ලෝක මහා යුද්ධවල වැගිරෙවූ ලේවලට බොහෝ සෙයින් වග කිව යුත්තේ ඔවුනුයි. මෙම පල්ලිවල අණසක යටතේ සිටි දේශපාලන නායකයන් කිහිපදෙනෙක් මෙම යුද්ධ අතකොළුවක් ලෙස භාවිත කරමින් දෙවිගේ අභිෂේක ලත් සේවකයන් බොහෝදෙනෙක්ව ඝාතනය කළා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට මෙසේ දරුණු ලෙස පීඩා කළ හිට්ලර් ගැන ෆ්රයිඩ්රික් සිප්ෆෙල් ලියූ පොතක තොරතුරු ගැන විග්‍රහයක් කළ එක් කතුවැකියක මෙසේ සඳහන් වුණා. “අත්අඩංගුවට ගත් අයගෙන් [සාක්ෂිකරුවන්ගෙන්] තුනෙන් එකක්ම ඔවුන් ඝාතනය කළා. සමහරුන්ට ඔවුන් වෙඩි තැබුවා. නැත්නම් වෙනත් දරුණු ක්‍රමවලින් මරා දැම්මා. තවත් අය කුසගින්න නිසාත් අසනීපවලට ගොදුරු වීම නිසාත් අධික වහල් වැඩ නිසාත් මිය ගියා. මේ සාක්ෂිකරුවන් සමාජවාදී සංකල්පවලට එකඟ නොවූ නිසාත් තම ස්ථාවරයෙන් කිසිසේත් ඉවත් නොවූ නිසාත් ඔවුන්ට එල්ල කළ පීඩා ඉතා දරුණු මුහුණුවරක් ගත්තා.” (Kirchenkampf in Deutschland, ජර්මනියේ පල්ලි කළ සටන) ඇත්තෙන්ම පූජක පක්ෂය ඇතුළු මේ පල්ලි වලට කීමට තිබෙන්නේ මෙයයි. “අහිංසක අයගේ ලේ ඔබේ වස්ත්‍රය පුරා තැවරී තිබෙනවා.”—යෙරෙමියා 2:34, NW.c
10. බොහෝ රටවල මහත් සමූහයට අයත් යෞවනයන් මුහුණ දී ඇත්තේ කිනම් පීඩාවලටද?
10 වර්ෂ 1935 සිට, බොහෝ රටවල මහත් සමූහයට අයත් විශ්වාසවන්ත යෞවනයන් මෙම පීඩාවල් බොහොමයකට මුහුණ දී තිබෙනවා. (එළිදරව් 7:9) දෙවන ලෝක මහා යුද්ධයේ අවසානයත් සමඟම යුරෝපයේ යෙහෝවාගේ සාක්ෂිකාර යෞවනයන් 14දෙනෙක්ව එල්ලා මරනු ලැබුවා. ඔවුන් කළ වරද වුණේ ‘තවත් යුද්ධ ඉගෙනගැනීම’ ප්‍රතික්ෂේප කිරීමයි. (යෙසායා 2:4) මෑතකදී ආසියාවේ සහ අප්‍රිකාවේ රටවල් කිහිපයක ඉහත සඳහන් හේතුව නිසාම ඇතැම් යෞවනයන්ට මැරෙන තෙක් පහර දී තිබෙනවා. එසේත් නැත්නම් වෙඩි තබා මරා දමා තිබෙනවා. යේසුස්ගේ අභිෂේක ලත් සහෝදරයන්ට පක්ෂව සිටි මෙම විශ්වාසවන්ත යෞවනයන් පාරාදීස පොළොවේදී නැවත නැඟිටීමක් ලබන බව නම් නිසැකයි.—2 පේතෘස් 3:13; ගීතාවලිය 110:3ද, මතෙව් 25:34-40ද, ලූක් 20:37, 38ද බලන්න.
සුදු සළුවක්
11. ඝාතනය කළ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට “සුදු සළුවක්” ලැබෙනවා කීමෙන් අදහස් වෙන්නේ කුමක්ද?
11 යේසුස්ට කලින් ජීවත් වූ ඇදහිලිවන්තයන්ගේ විශ්වාසවන්තකම ගැන තොරතුරු සඳහන් කිරීමෙන් පසු පාවුල් මෙසේ පැවසුවා. “ඔවුහු සියල්ලෝම, තමන්ගේ ඇදහිල්ල නිසා සාක්ෂියක් ලැබූ නමුත් පොරොන්දුවේ ඉටුවීම නොලැබුවෝය. එසේ වූයේ, අප නැතුව ඔවුන් පරිපූර්ණ කරනු නොලබන පිණිස, දෙවි අප සඳහා වඩා උතුම් දෙයක් කල් තියා දුටු හෙයිනි.” (හෙබ්‍රෙව් 11:39, 40) පාවුල් සහ වෙනත් අභිෂේක ලත් ක්‍රිස්තියානීන් අපේක්ෂා කරන මේ “උතුම් දෙය” කුමක්ද? යොහන් එය දර්ශනය තුළ දකිනවා. “ඔවුන් එකිනෙකාට සුදු සළුවක්ද දෙන ලදි. තවද, ඔවුන් මෙන් මරනු ලැබීමට සිටි ඔවුන්ගේ සෙසු දාසයන්ගේ හා සහෝදරයන්ගේ ගණනත් සම්පූර්ණ වන තුරු තව ටික කලක් නවතින්නයයි ඔවුන්ට කියන ලදි.” (එළිදරව් 6:11) ඔවුන්ට “සුදු සළුවක්” ලැබෙනවා කීමෙන් අදහස් කරන්නේ සියලුම අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව අවසානයේදී ස්වර්ගයේ අමරණීය ජීවිතයකට නැවත නැඟිටුවනු ලබන බවයි. පූජාසනය යට තිබූ ලෙයින් විශේෂයෙන්ම නියෝජනය වූ ඝාතනය කළ අභිෂේක ලත් අයව දැනටමත් නැවත නැඟිටුවා අවසන්. ඔවුන් දැන් ඇතුළත් වී සිටින්නේ දෙවිගේ සිංහාසනය ඉදිරියේ නමස්කාර කරන වැඩිමහල්ලන් 24දෙනාගේ කණ්ඩායමටයි. එහිදී ඔවුන්ටත් සිංහාසනවල ඉඳගන්න ලැබෙනවා. එනම් ඔවුන්ටත් රජකම් කිරීමේ වරප්‍රසාද හිමි වෙනවා. යේසුස් සර්දිස්හි පිහිටි ඇදහිලිවන්ත අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ සභාවට පොරොන්දු වුණේ “ජයගන්නාට මෙසේ සුදු පිටත වස්ත්‍ර පළඳවනු ලබන්නේය” කියායි. (එළිදරව් 3:5; 4:4) මෙයත් මෙම අභිෂේක ලත් ක්‍රිස්තියානීන් සම්බන්ධයෙන් ඉටු වෙනවා. ඔවුන්ට “සුදු පිටත වස්ත්‍ර” පැළඳවීමෙන් අදහස් කරන්නේ ඔවුන් ධර්මිෂ්ඨ අය හැටියට තීන්දු කර ඇති බවයි. එනම් ස්වර්ගයේ යෙහෝවා දෙවි ඉදිරියේම සිටීමේ ගෞරවය ලැබීමට ඔවුන් සුදුසුකම් ලබා ඇති බවයි.—1 පේතෘස් 1:4.
12. නැවත නැඟිටුවනු ලබන අභිෂේක ලත් අයට “ටික කලක් නවතින්න” යයි කීමෙන් අදහස් කළේ කුමක්ද? එසේ ‘නවතින්නේ’ කවදා වන තෙක්ද?
12 තිබෙන සියලු සාක්ෂිවලින් පැහැදිලි වෙන්නේ අභිෂේක ලත් අයගේ නැවත නැඟිටීම 1918දී ආරම්භ වූ බවයි. මෙය සිදු වූයේ 1914දී රජකමට පත් වූ යේසුස් ස්වර්ගයෙන් සාතන්ව හා ඔහුගේ භූතයන්ව පලවාහැර තම ජයග්‍රාහී ගමන ආරම්භ කිරීමෙන් අනතුරුවයි. එහෙත් “ඔවුන්ගේ සෙසු දාසයන්ගේ . . . ගණනත් සම්පූර්ණ වන තුරු ටික කලක් නවතින්න” යයි නැවත නැඟිටුවනු ලැබූ මෙම අභිෂේක ලත් අයට පවසන්නේ ඇයි? ඒ යොහන් පන්තියට අයත් අය තවමත් පොළොව මත සිටින නිසයි. ඔවුන් පරීක්ෂා සහ පීඩා මැද තම විශ්වාසවන්තකම ඔප්පු කළ යුතුයි. මේ අය අතරෙන් සමහරදෙනෙක්ව ඝාතනය කරන්න පවා ඉඩ තිබෙනවා. නමුත් කෙසේ හෝ අවසානයේදී මහා බැබිලෝනිය සහ ඇයට බැඳී සිටින දේශපාලනඥයන් විසින් වගුරුවා ඇති ධර්මිෂ්ඨයන්ගේ ලේ සඳහා යුක්තිය අනිවාර්යයෙන්ම ඉටු වෙනවා. ඒ අතරතුර දැනටමත් ස්වර්ගයට නැවත නැඟිටුවනු ලැබූ අයට එහි නොයෙකුත් වැඩකටයුතු පවරා ඇති. ඒ නිසා ටික කලක් නැවතී සිටිනවා කීමෙන් අදහස් කරන්නේ කිසිම ක්‍රියාවක් නොකර ඔවුන් සැහැල්ලුවෙන් සිටිනවා කියා නෙවෙයි. නමුත් යෙහෝවා දෙවිගේ පළිගැනීමේ දවස එන තෙක් ඉතා ඉවසිල්ලෙන් බලා සිටින බවයි. (යෙසායා 34:8; රෝම 12:19) ඔවුන් බලා සිටින ඒ කාලය නිම වෙන්නේ අසත්‍යය උගන්වන සියලුම ආගම්වල විනාශය දකිනවාත් සමඟයි. එවිට “කැඳවාගත්තාවූ, තෝරාගත්තාවූ, විශ්වාසවන්ත වූ අය” ලෙස ඔවුන් යේසුස් ක්‍රිස්තුස් සමඟ එකතු වී පොළොව මත සාතන්ගේ වංශයට අයත් සියලුම ඉතිරි කොටස් මත දෙවිගේ විනිශ්චය ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා.—එළිදරව් 2:26, 27; 17:14; රෝම 16:20.
‘මළාවූ අය පළමුකොට නැඟිටින්නෝය’
13, 14. (අ) පාවුල් පැවසූ දේට අනුව ස්වර්ගික නැවත නැඟිටුවීම ආරම්භ වුණේ කවදාද? නැවත නැඟිටුවනු ලබන්නේ කාවද? (ආ) ස්වාමීන්ගේ දවස තුළ ජීවත් වන අයව ස්වර්ගයට නැවත නැඟිටුවනු ලබන්නේ කිනම් අවස්ථාවේදීද?
13 පස්වෙනි මුද්‍රාව විවෘත කිරීමෙන් ලැබෙන අවබෝධය ස්වර්ගික නැවත නැඟිටීම ගැන විස්තර සපයන වෙනත් බයිබල් පද සමඟ සම්පූර්ණයෙන්ම එකඟයි. නිදසුනක් වශයෙන් පාවුල් ලියූ දේ සලකා බලන්න. “යෙහෝවාගේ වචනයෙන් අප ඔබට කියන්නේ මෙයයි. ස්වාමීන්ගේ පැමිණ සිටීම දක්වා ජීවත්ව සිටින අපි, මරණයේ සැතපී සිටින අයට කලින් කිසිසේත් ඉස්සර නොවන්නෙමු. මන්ද ස්වාමීන්ම අණ දීමේ ශබ්දයක්ද, අග්රදේවදූතයෙකුගේ හඬද, දෙවිගේ හොරණෑවද ඇතිව ස්වර්ගයෙන් බැස එන්නේය. ක්‍රිස්තුස් සමඟ එක්සත්ව මැරී සිටින අය පළමුවෙන් නැඟිටින්නෝය. ඉන්පසුව, ජීවත්ව ඉතිරිව සිටින අපි ස්වාමීන්ව අහසේදී හමු වන පිණිස, ඔවුන් සමඟ වලාකුළුවලින් ඔසවාගනු ලබන්නෙමු. මෙසේ අපි සැමවිටම ස්වාමීන් සමඟ සිටින්නෙමු.”—1 තෙසලෝනික 4:15-17.
14 ඇත්තෙන්ම මෙම පද කියවීමෙන් අපට මහත් කුතුහලයක් ඇති වෙනවා. මුලින්ම ස්වර්ගයට නැවත නැඟිටුවනු ලබන්නේ යේසුස් පැමිණ සිටින කාලයට කලින් මිය ගිය ඔහුගේ අභිෂේක ලත් සහෝදරයන්වයි. ක්‍රිස්තුස් සමඟ එක්සත්ව මැරී සිටින අය වෙන්නේ ඔවුනුයි. යේසුස් බැස එනවා කීමෙන් අදහස් කරන්නේ ඔහුගේ අවධානය ඔවුන් වෙතට යොමු කර, ඔවුන් ස්වර්ගික ජීවිතයකට නැවත නැඟිටුවා, ඔවුන්ට “සුදු සළුවක්” දෙන බවයි. යේසුස් පැමිණ සිටින කාලයේදී ජීවත්ව සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට සිදු වෙන්නේ කුමක්ද? මේ අය තම මරණය දක්වා දෙවිට විශ්වාසවන්තව සේවය කරනවා. සමහරුන් විරුද්ධවාදීන් අතින් මිය යන්නත් ඉඩ තිබෙනවා. නමුත් ඔවුන් මැරෙන විට ඔවුන්ට පෙර මරණයේ සැතපී සිටි අය මෙන් කාලයක් බලා සිටීමට ඔවුන්ට සිදු වෙන්නේ නැහැ. ඒ වෙනුවට මිය යන විට ඔවුන්ව “ඇසි පිය හෙළන සැණින්” වෙනස් කරනු ලබනවා. ඉන් අදහස් වෙන්නේ යේසුස් සමඟත් යේසුස්ගේ ශරීරයේ සෙසු සාමාජිකයන් සමඟත් සිටීමට ඔවුන්ව ස්වර්ගයට නැවත නැඟිටුවනු ලබන බවයි. (1 කොරින්ති 15:50-52; එළිදරව් 14:13ද බලන්න.) මේ අනුව අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ නැවත නැඟිටීම ආරම්භ වෙන්නේ එළිදරව් පොතේ සඳහන් අසරුවන් හතරදෙනාගේ ගමන ආරම්භ වීමත් සමඟයි.
15. (අ) පස්වන මුද්‍රාව කැඩීමෙන් හෙළි වුණේ කුමන ප්‍රීතිමත් කාරණයද? (ආ) සුදු අශ්වයා පිට සිටින ජයග්‍රාහී අසරුවාගේ ගමන අවසන් වෙන්නේ කුමක් සමඟද?
15 ලියවිල්ලේ පස්වෙනි මුද්‍රාව කැඩීමෙන් අපට ප්‍රීතිමත් කාරණයක් දැනගන්න ලැබුණා. එනම් මරණය දක්වා දෙවිට විශ්වාසවන්තව සිට ජයගන්නාවූ අභිෂේක ලත් අයට ලැබෙන ත්‍යාගය ගැනයි. නමුත් සාතන් සහ ඔහුගේ වංශයට අයත් අයට නම් එය ප්‍රීතියට කාරණයක් නෙවෙයි. සුදු අශ්වයා පිට සිටින ජයග්‍රාහී අසරුවා, “දුෂ්ටයාගේ බලයට යටත්” ලෝකය පිට දෙවිගේ විනිශ්චය ඉටු කරන තෙක් තම ගමනේ දිගටම යෙදෙනවා. (1 යොහන් 5:19) බැටළු පැටවාණන් හයවන මුද්‍රාව කඩන විට මෙය තවත් පැහැදිලි වේවි.
[පාදසටහන්වල]
a මහා බැබිලෝනිය පැහැදිලිව හඳුනාගැනීමට මේ පොතේ 33වන පරිච්ඡේදය බලන්න.
b “වධකණුව” ගැන ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනයේ 1672වන පිටුවේ ඇති උපග්රන්ථ අංක 6 බලන්න.
c ආගම් අතින් සිදු වී ඇති ලේ වැගිරවීම් පිළිබඳ තවත් තොරතුරු 36වන පරිච්ඡේදයේ ඇතුළත් කර තිබෙනවා.
[102වන පිටුවේ කොටුව]
‘මරනු ලැබූවන්’
ප්‍රංශයේ රෙපරමාදු කණ්ඩායමකට අයත් දෙමව්පියන්ට දාව උපන් 18වන සියවසේ ඉංග්‍රීසි රෙපරමාදු භක්තිකයෙකු වූ, ජෝන් ජෝටින් පැවසූ දෙය එක්තරා විශ්වකෝෂයක මෙසේ සඳහන් වෙයි: “ක්‍රිස්තියානීන් තම ආගමේ නාමයෙන් පීඩා කරන්න පටන්ගත් විට ඔවුන්ගේ ක්‍රිස්තියානිකම නැතිව ගියා. . . . ක්‍රිස්තියානි ආගම [රෝම] අධිරාජ්‍යයේ නිල ආගම බවට පත් වී එහි පූජකයන්ට ධනය හා ගෞරවය ලැබුණු පසු සිදු වුණේ එයයි. ඔවුන් සැබෑ ක්‍රිස්තියානීන්ට පීඩා කරන්න පටන්ගත්තා. ඒ පීඩා රුදුරු රකුසෙක් සේ හිස ඔසවා ශුද්ධ ලියවිල්ලේ සඳහන් සැබෑ ක්‍රිස්තියානි නමස්කාරය ගිලගත්තා.”—McClintock and Strong’s Cyclopedia.
[103වන පිටුවේ පින්තූරය]
“ඔවුන් එකිනෙකාට සුදු සළුවක්ද දෙන ලදි”