1වන පරිච්ඡේදය
“බලන්න! මේ අපේ දෙවිය”
1, 2. (අ) ඔබ දෙවිගෙන් අසන්ට කැමති වන්නේ කිනම් ප්‍රශ්නද? (ආ) මෝසෙස් දෙවිගෙන් ඇසුවේ කුමක්ද?
දෙවි සමඟ සංවාදයක නියැලී සිටිනවා ඔබට සිතාගන්ට පුළුවන්ද? විශ්වයේ පරමාධිපතියාණන් ඔබට කතා කරනවා යන සිතිවිල්ල පවා ලොමු දැහැගන්වන්නක් සේ ඔබට පෙනේවිද! මුලින් මඳකට චකිතයක් ඇති වුණත්, පසුව ඔබට පිළිතුරු දෙන්ට හැකි වෙයි. ඔහු සවන් දෙයි, ඔබට පිළිතුරු දෙයි. එපමණක්ද නොවේ, ඔබට වුවමනා කරන ඕනෑම ප්‍රශ්නයක් අසන්න කියා ඔහු ඔබට කියයි. දැන්, ඔබ අසන්නේ කිනම් ප්‍රශ්නයද?
2 බොහෝ කලකට පෙර, මිනිසෙක් හරියටම එවන් තත්වයකට මුහුණ දුන්නා. ඔහුගේ නම මෝසෙස්. එහෙත්, ඔහු දෙවිගෙන් ඇසීමට තෝරාගත් ප්රශ්නය ඔබව මවිතයට පත් කළ හැකියි. ඔහු ඇසුවේ ඔහු ගැනවත්, ඔහුගේ අනාගතය ගැනවත් මිනිස්වර්ගයාගේ දුක්ඛිත තත්වය ගැනවත් නොවේ. ඒ වෙනුවට, ඔහු ඇසුවේ දෙවිගේ නාමය කුමක්ද කියායි. මෝසෙස් ඒ වන විටත් දෙවිගේ පෞද්ගලික නාමය දැන සිටි නිසා, එය තරමක අමුතු ප්‍රශ්නයක් කියා ඔබට සිතෙන්න පුළුවන්. එසේනම්, ඔහුගේ ප්‍රශ්නයට ගැඹුරු අර්ථයක් තිබුණා විය යුතුයි. ඇත්ත වශයෙන්ම, මෝසෙස්ට අසන්ට තිබුණු වැදගත්ම ප්රශ්නය වූයේ එයයි. දෙවි ඊට දුන් පිළිතුර අප සියල්ලන්ටම බලපානවා. දෙවිට ළංවීමේදී අතිවැදගත් පියවරක් ගැනීමට එය ඔබට උදව් විය හැකියි. ඒ කෙසේද? ඒ අතිවැදගත් සංවාදය දෙස අපි බැල්මක් හෙළමු.
3, 4. දෙවි සමඟ කතා කිරීමට මෝසෙස්හට මඟපෑදූ සිද්ධීන් මොනවාද? තවද එම සංවාදයේදී මූලිකව සාකච්ඡාවට භාජන වූ කරුණ කුමක්ද?
3 ඒ වන විට මෝසෙස්ගේ වයස අවුරුදු 80යි. ඔහු තමාගේ ජනතාව, එනම් මිසරයේ වහලුන්ව සිටි ඉශ්රායෙලිතයන්ගෙන් දුරස්තරව දශක හතරක් ගත කොට තිබුණා. එක් දිනක්, තම මාමණ්ඩියගේ බැටළු රැළ බලාගනිමින් සිටිද්දී, මහා පුදුම දනවන සිද්ධියකට මුහුණ දීමට ඔහුට සිදු වුණා. ඔහු දැක්කා ගිනි ගනිමින් තිබුණු කටු පඳුරක්. එහෙත් එය ඇවිළෙමින් තිබුණේ නැහැ. එය කන්දේ පැත්තක ඇවිළෙමින් තිබූ අනතුරු අඟවන ගිනි මැලයක් වගේ අඛණ්ඩව දැල්වෙමින් තිබුණා. එය කුමක්ද කියා බැලීමට මෝසෙස් එතැනට ගියා. ගින්දර මැදින් මතු වූ කටහඬක් ඇසුණු විට, ඔහු කොතරම් තිගැස්සෙන්ට ඇද්ද! දේවදූතයෙකු මාර්ගයෙන් දෙවි සහ මෝසෙස් මුහුණට මුහුණලා කතා කරන්ට පටන්ගත්තා. එහිදී, මෝසෙස් යම් දුරකට අදි මදි කළත් ඉශ්රායෙල් ජාතිය වහල්භාවයෙන් මුදවාගැනීම සඳහා ඔහු ගත කළ සාමකාමී ජීවිතය අතහැර දමා යළිත් මිසරයට යන ලෙස දෙවි අණ කළා.—නික්මයාම 3:1-12.
4 මෝසෙස්ට දෙවිගෙන් ඕනෑම ප්‍රශ්නයක් අසන්ට හැකිකම තිබුණා. කෙසේවෙතත්, ඇසීමට ඔහු තෝරාගත් ප්රශ්නය ගැන සලකා බලන්න. “මා ඉශ්රායෙල් පුත්‍රයන් වෙතට පැමිණ—නුඹලාගේ පියවරුන්ගේ [දෙවි] නුඹලා මා වෙතට [එව්වේයැයි] ඔවුන්ට කී කල්හි, [ඔහුගේ] නාමය කිමෙක්දැයි ඔවුන් මාගෙන් අසන විට ඔවුන්ට කුමක් කියන්නෙම්දැයි” මෝසෙස් දෙවිගෙන් ඇසුවා.—නික්මයාම 3:13.
5, 6. (අ) මෝසෙස්ගේ ප්රශ්නය අපට උගන්වන අතිවැදගත් සරල සත්‍යය කුමක්ද? (ආ) දෙවිගේ නාමය සම්බන්ධයෙන් කර ඇති වඩාත්ම දෝෂසහගත දෙය කුමක්ද? (ඇ) දෙවි තම නාමය මිනිස් සංහතියට දැනුම් දී තිබීම අතිවිශේෂ දෙයක් වන්නේ ඇයි?
5 මෙම ප්‍රශ්නයෙන් පළමුවෙන්ම අපට ඉගෙනගත හැකි දෙය නම් දෙවිට නමක් තිබෙන බවයි. අප මෙම සරල සත්‍යය සැහැල්ලුවට නොගත යුතුයි. එහෙත්, බොහෝදෙනෙක් එය සැහැල්ලුවට ගන්නවා. දෙවිගේ පෞද්ගලික නාමය බයිබල් පරිවර්තන ගණනාවකින් ඉවත් කොට තිබෙනවා. ඒ වෙනුවට “ස්වාමීන්වහන්සේ” සහ “දෙවියන්වහන්සේ” වැනි පදවි නම් යොදා තිබෙනවා. මෙය ආගමේ නාමයෙන් කර තිබෙන වඩාත්ම කනගාටුදායක සහ දෝෂ සහිත දෙය කියා අපට සහතිකවම කියන්න පුළුවන්. අපි මෙසේ කල්පනා කරමු. ඔබට යමෙක් මුණගැසුණොත් ඔබ ඔහුගෙන් හෝ ඇයගෙන් පළමුව අසන්නේ කුමක්ද? ඔබ අසන්නේ ඔහුගේ හෝ ඇයගේ නම නොවේද? දෙවි ගැන දැනගැනීමේදීත් එය එසේමයි. ඔහු නමක් නැති, දැනහඳුනා ගන්ට බැරි, තේරුම්ගන්ට බැරි දුරස්තරව සිටින දෙවි කෙනෙකු නොවේ. ඇස්වලට දකින්ට නොලැබුණත් ඔහු නමක් ඇති පුද්ගලයෙක්. ඒ නම තමයි යෙහෝවා.
6 එපමණක්ද නොවේ, දෙවි තමන්ගේ නම හෙළි කරන විට, අති වැදගත් වූ හා සතුට දනවන දෙයක්ද අනිවාර්යයෙන්ම අපේක්ෂා කළ හැකියි. තමාව දැනහඳුනා ගන්නා ලෙස ඔහු අපට ආරාධනා කරනවා. අපගේ ජීවිතය තුළ අපට කළ හැකි හොඳම තේරීම කරන ලෙස ඔහු අපට කියනවා. ඒ තමයි අප ඔහුට ළංවීම. එහෙත්, ඒ දේ කිරීම සඳහා තමන්ගේ නාමය අපට දැනුම් දෙනවාට වඩා වැඩි යමක් යෙහෝවා කර තිබෙනවා. ඉන් අදහස් කරන දෙයද යෙහෝවා අපට උගන්වා තිබෙනවා.
දෙවිගේ නාමයේ අර්ථය
7. (අ) දෙවිගේ පෞද්ගලික නාමයේ පදගතාර්ථය කුමක්ද? (ආ) මෝසෙස් දෙවිගේ නාමය කුමක්ද කියා ඇසූ විට ඇත්තටම ඔහුට දැනගන්ට අවශ්‍ය වූයේ කුමක්ද?
7 දෙවි තමන් සඳහාම තේරූ නාමය මහත් අර්ථයකින් යුක්ත වූවක්. “යෙහෝවා” යන්නෙහි පදගතාර්ථමය තේරුම “ඔහු සිදුවීමට සලස්වයි” යන්නයි. ඔහු සියලු දේ පැවැත්මට ගෙන ආ බව ඇත්තයි. ඒ කාරණයම අප තුළ ගරු බියක් ජනිත කරවනවා. නමුත් දෙවිගේ නාමයේ ඇති වැදගත්කම ඒකද? පෙනෙන විදිහට මෝසෙස්ට තවත් බොහෝ දේවල් ඉගෙනගැනීමට වුවමනා වුණා. දිව්‍ය නාමය අලුත් නමක් නොවේ කියා ඔබ තේරුම්ගත යුතුයි. මිනිසුන් සියවස් ගණනාවක් පුරා මෙම නාමය භාවිතා කරමින් සිටියා. ඇත්තෙන්ම, දෙවිගේ නම කුමක්ද කියා විචාරීමේදී මෝසෙස් දෙවිගෙන් අසමින් සිටියේ එම නාමයෙන් නියෝජනය වන පුද්ගලයා ගැනයි. තවත් විදිහකට ගත්තොත්, ඔහු ඇසුවේ මෙයයි. ‘ඔබේ සෙනඟ වන ඉශ්රායෙල් ජනයා ඔබ කෙරෙහි ඇදහිල්ල ගොඩනඟන පිණිසත්, ඔබ ඇත්තටම ඔවුන්ව ගළවාගන්නා බව ඒත්තුගන්නා පිණිසත් මම ඔවුන්ට කුමක් කියන්නද?’
8, 9. (අ) යෙහෝවා මෝසෙස්ගේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ කෙසේද? ඔහු දුන් පිළිතුර පරිවර්තනය කිරීමේදී බොහෝ විට සිදු වී ඇති වරද කුමක්ද? (ආ) “මා යම් තත්වයකට පත්වීමට බලාපොරොත්තු වෙම්ද එසේම ඒ තත්වයට පත් වෙමි” යන ප්‍රකාශයෙන් අදහස් කළේ කුමක්ද?
8 මීට පිළිතුරු දෙමින් යෙහෝවා සිය නාමයේ අර්ථය මෝසෙස්ට මෙසේ පැහැදිලි කළා. “මා යම් තත්වයකට පත්වීමට බලාපොරොත්තු වෙම්ද එසේම ඒ තත්වයට පත් වෙමි.” (නික්මයාම 3:14, NW) බොහෝ බයිබල් පරිවර්තනවල මෙය කියවීමට තිබෙන්නේ “මම යම් සේ සිටිම්ද එසේම සිටිමි” කියායි. එනමුත් නව ලෝක පරිවර්තනය තුළ ගෙනහැර දක්වා තිබෙන දෙය දෙස පරීක්ෂාවෙන් බැලුවහොත් අපට පෙනීයන්නේ දෙවි තමාගේම පැවැත්ම නිකම්ම තහවුරු කරමින් නොසිටි බවයි. ඔහු මෝසෙස්ටත් පසුව අපටත් උගන්වමින් සිටියේ එම නාමයෙන් අඟවන දෙයයි. යෙහෝවා තමන්ගේ පොරොන්දු ඉටු කිරීම පිණිස අවශ්‍ය කුමන තත්වයකට හෝ පත්වීමට හැකියාවක් ඇති දෙවියි. එසේ නැතහොත් ඒ සඳහා ඕනෑම දෙයක් සිදුවීමට සලස්වන දෙවියි. ජෝසෆ් බී. රොදර්හම්ගේ පරිවර්තනය මෙම පදය මෙසේ ගෙනහැර දක්වනවා. “මා කැමති කුමන තත්වයකට හෝ මම පත් වන්නෙමි.” බයිබලයේ භාවිතා කර ඇති හෙබ්‍රෙව් භාෂාව පිළිබඳ එක් විශාරදයෙක් මෙම ප්‍රකාශය පැහැදිලි කරන්නේ මෙසේයි. “තත්වය හෝ අවශ්‍යතාව කුමක් වුවත්, . . . එම අවශ්‍යතාව සඳහා දෙවි විසඳුම බවට ‘පත් වෙයි.’”
9 ඉශ්රායෙල්වරුන්ට ඉන් අදහස් කළේ කුමක්ද? ඔවුන් ඉදිරියේ මොනතරම් දුෂ්කර බාධක තිබුණත්, කොතරම් කටුක තත්වයක් දරාගෙන සිටීමට ඔවුන්ට සිදු වුණත්, ඔවුන්ව වහල්භාවයෙන් මුදවාගෙන, පොරොන්දු දේශය කරා ගෙන යෑමට යෙහෝවා ඕනෑම තත්වයකට පත් වී කැමති ඕනෑම දෙයක් සිදුවීමට සලස්වන බවයි. සහතිකවම එම නාමය ඉශ්රායෙල් ජනයා තුළ දෙවි කෙරෙහි නිසැකකමක් ජනිත කළ බව ස්ථිරයි. එය අදදින අප තුළත් එවන් නිසැකකමක් ජනිත කළ හැකියි. (ගීතාවලිය 9:10) ඒ ඇයි?
10, 11. තත්වයන් අනුව වඩාත් නම්‍යශීලී වූද, අපට සිටිය හැකි හොඳම පියා වූද යෙහෝවා ගැන සිතීමට ඔහුගේ නාමය අපව පොලඹවන්නේ කෙලෙසද? නිදර්ශනය කරන්න.
10 මෙය මෙසේ උපහැරණය කරන්ට පුළුවන්. තම දරුවන්ව හදා වඩා ගැනීමේදී තමන් කොතරම් නම්‍යශීලී විය යුතුද, තත්වයන්ට අනුව කොතරම් සකස් විය යුතුද කියා දෙමාපියන් දන්නවා. එදිනෙදා දවසේ වැඩ කටයුතුවල නියැලෙන විට, තමන්ට හෙදියෙකු, කෝකියෙකු, ගුරුවරයෙකු, හික්මවන්නෙකු, විනිශ්චයකරුවෙකු සහ තවත් බොහෝ චරිතවලට බැසීමට දෙමාපියෙකුට සිදු වෙනවා. තමන්ගෙන් අපේක්ෂා කෙරෙන විවිධ චරිතවල නියැලීම තමන්ට කරගන්ට බැරි දෙයක් ලෙස බොහෝදෙනෙකුට හැඟෙනවා. තමන්ගේ දරුවන් තමන් කෙරෙහි දක්වන අපමණ විශ්වාසය දෙමාපියන්ගේ සැලකිල්ලට නිතැතින්ම බඳුන් වෙනවා ඇති. ඉන් අදහස් කරන්නේ තුවාලයක් ඇති වුණ විට තම දරුවන්ව සනසන්නත්, සණ්ඩු දබර සමතයකට පත් කරන්නත්, කැඩුණු සෙල්ලම් බඩු හදා දෙන්නත්, පුංචි මනස්වල නිතරම පැන නඟින දහසකුත් එකක් ප්‍රශ්නවලට උත්තර දෙන්නත් අම්මා තාත්තාට හැකි බව ඔවුන්ට නිසැක බවයි. ඇතැම් දෙමාපියන්ට මේවාට උත්තර දෙන්ට බැරි වුණු විට, ඔවුන්ට තමන්ගේ සීමාවන් ගැන කලකිරීමක් ඇති වෙනවා. තමන්ට තම දරුවන් වෙනුවෙන් මේ සියල්ල කරගන්ට බැරි වේදෝහෝයි සිතමින් ඇතැම් විට ඔවුන් ළත වෙනවා.
11 යෙහෝවාද ප්‍රේමනීය පියෙක්. එහෙත්, තමන්ගේම පරිපූර්ණ ප්‍රමිතිවලට පටහැනිව යන්නේ නැතුව, පොළොවේ වෙසෙන තම දරුවන්ව උපරිම යහපත් අයුරින් රැකබලා ගැනීම සඳහා ඕනෑම දෙයක් සිදු කිරීමටත් ඕනෑම තත්වයකට පත්වීමටත් ඔහුට හැකියි. යෙහෝවා යන ඔහුගේ නාමය, අපට සිටිය හැකි හොඳම පියා ලෙස ඔහු දෙස බැලීමට අපව පොලඹවනවා. (යාකොබ් 1:17) මෝසෙස් සහ අනෙකුත් විශ්වාසවන්ත ඉශ්රායෙල්වරුන් විගස දැනගත් දෙය තමයි, යෙහෝවා තමන්ගේ නාමයෙන් ඇඟවෙන වන දෙයට එකඟව ක්‍රියා කරන බව. යෙහෝවා අපරාජිත හමුදා නායකයෙකු ලෙස, සියලු ස්වාභාවික පදාර්ථයන්හි තැනුම්කරු ලෙස, අසමසම නීති දායකයෙකු ලෙස, විනිශ්චයකරුවෙකු ලෙස, ගෘහ නිර්මාණ ශිල්පියෙකු ලෙස, ආහාර සහ ජලය සපයන්නෙකු ලෙස, ඇඳුම් සහ පා ආවරණ සපයන්නෙකු ලෙස හා තවත් නානාවිධ චරිතයන්ට අනුව ක්‍රියා කරමින් තමා කැමති දේ සිදුවීමට සැලැස්වූ විට, මහත් පුදුමයෙන් ඔවුන් බලා සිටියා.
12. යෙහෝවා කෙරෙහි ඵාරාවෝගේ ආකල්පය මෝසෙස්ගේ ආකල්පයට වඩා වෙනස් වූයේ කෙසේද?
12 මේ අනුව, දෙවි තම පෞද්ගලික නාමය දැනගැනීමට සලස්වා තිබෙනවා. එහි අර්ථය පැහැදිලි කර දී, ඉන් අදහස් වන දේට එකඟව තමන් කටයුතු කරන බව නිරූපණය කර තිබෙනවා. අප විසින් දෙවිව දැනගැනීම ඔහුට වුවමනා කරන බවට කිසිදු සැකයක් නැහැ. අප මීට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? දෙවිව දැනගැනීමට මෝසෙස්ට වුවමනා වුණා. මෙම හෘදයාංගම ආශාව මෝසෙස්ගේ ජීවන මාර්ගය හැඩගැස්වූ අතර, තම ස්වර්ගික පියාණන් හැටියට යෙහෝවා වෙත බෙහෙවින් ළඟාවීමටද එය මඟ පෑදුවා. (ගණන් කථාව 12:6-8; හෙබ්‍රෙව් 11:27) එම ආශාව තිබුණේ මෝසෙස්ගේ සමකාලීනයන්ගෙන් ස්වල්පදෙනෙකුට පමණක් වීම කනගාටුවට කරුණක්. මෝසෙස් යෙහෝවාගේ නාමය ඵාරාවෝට දැනුම් දුන් අවස්ථාවේදී, ඒ මිසර රජ අහංකාර ලෙස පෙරළා පිළිතුරු දුන්නේ, ‘යෙහෝවා කවුද?’ කියායි. (නික්මයාම 5:2, NW) යෙහෝවා ගැන තවදුරටත් දැනගන්ට ඵාරාවෝට වුවමනාවක් තිබුණේ නැහැ. ඵාරාවෝ ඉශ්රායෙල්හි දෙවිව කිසි වැදගත්කමක් නැති අනවශ්‍ය කෙනෙකු හැටියට පසෙකලා ඔහුව මහත් සේ අවඥාවට ලක් කළා. එම ආකල්පය අද දිනටත් පොදුයි. එය සියලු සත්‍යතාවන්ගේ පරම සත්‍යය සම්බන්ධයෙන් මිනිසුන්ව අන්ධ කර තිබෙනවා. යෙහෝවා සර්වලෝක පරමාධිපති ස්වාමීන්ය යන්න එම පරම සත්‍යයයි.
පරමාධිපති ස්වාමින් වන යෙහෝවා
13, 14. (අ) යෙහෝවාට බයිබලය තුළ පදවි නාම ගණනාවක් දී තිබෙන්නේ ඇයි? ඒවායින් සමහරක් මොනවාද? (14වන පිටුවේ ඇති කොටුව බලන්න.) (ආ) යෙහෝවා “පරමාධිපති “ස්වාමීන්” ලෙස හඳුන්වනු ලැබීමට සුදුසුකම් ලබන එකම තැනැත්තා වන්නේ ඇයි?
13 යෙහෝවා කොතරම් නම්‍යශීලීද, තත්වයන්ට අනුව සකස් වෙනවාද කිවහොත් ශුද්ධ ලියවිල්ලෙහි ඔහු සඳහා පදවි නාම රැසක් භාවිත කර තිබෙනවා. මෙම පදවි නාම ඔහුගේ පෞද්ගලික නාමය සමඟ එකම තලයේ තබා සැසඳීමට බැහැ. ඇත්තෙන්ම, ඔහුගේ නාමයෙන් නියෝජනය කරන දේ පිළිබඳව ඒවායින් බොහෝ දේවල් අපට උගන්වනවා. නිදසුනක් වශයෙන්, “පරමාධිපති ස්වාමින් වන යෙහෝවා” යනුවෙන් ඔහුව හඳුන්වනවා. (2 සාමුවෙල් 7:22, NW) බයිබලයේ වාර සිය ගණනක් දක්නට ලැබෙන මෙම උදාර පදවි නාමය, යෙහෝවාගේ තත්වය ගැන අපට කියාපානවා. මේ මුළු විශ්වයේම පාලකයා වීමට අයිතිය ඇත්තේ ඔහුට පමණයි. ඒ මන්ද කියා සලකා බලන්න.
14 මැවුම්කරුවාණන් හැටියට යෙහෝවා අද්විතීයයි. එළිදරව් 4:11හි මෙසේ පවසනවා. ‘යෙහෝවා, අපගේ දෙවියනි, ඔබ ප්‍රශංසාවත් ගෞරවයත් බලයත් ලබන්ට වටින තැනැත්තාය. මක්නිසාද ඔබ සියලු දේ මැව්වේය. ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේය, ඒවා මවන ලද්දේය.’ මෙම මහානුභාවසම්පන්න වදන් වෙන කිසිවෙකුට අදාළ කළ නොහැකියි. විශ්වයේ තිබෙන හැම දෙයක්ම එහි පැවැත්ම ගැන යෙහෝවාට ණයගැතියි! සර්වලෝක පරමාධිපති ස්වාමීන් හා සියලු දේවල මැවුම්කරු ලෙස ගෞරවය, බලය සහ මහිමය ලබන්ට වටින්නේ යෙහෝවා බවට කිසිදු සැකයක් නැහැ.
15. යෙහෝවාව “සදාකාල රජ්ජුරුවන්” ලෙස හඳුන්වනු ලබන්නේ ඇයි?
15 යෙහෝවාට පමණක් විශේෂයෙන් අදාළ වන තවත් පදවි නමක් වන්නේ, “සදාකාල රජ්ජුරුවන්” යන පදවි නාමයයි. (1 තිමෝති 1:17; එළිදරව් 15:3) මින් අදහස් කරන්නේ කුමක්ද? අපගේ සීමිත මනසට එය ග්‍රහණය කරගැනීමට අපහසුයි. නමුත් යෙහෝවා අතීතය සහ අනාගතය යන දෙදිශාවටම සදාකාලිකයි. ගීතාවලිය 90:2හි පවසන්නේ ‘සදාකාලයෙන් සදාකාලයටම ඔබ දෙවිය’ කියායි. එබැවින් යෙහෝවාට කිසිවිටෙකත් ආරම්භයක් තිබුණේ නැහැ. ඔහු සෑමකලම පැවතුණා. ‘පුරාතන තැනැත්තා’ කියා ඔහුව හැඳින්වීම යුක්තිසහගතයි. මන්ද මේ විශ්වයේ ඕනෑම දෙයක් හෝ ඕනෑම කෙනෙක් බිහිවීමට පෙරාතුව ඔහු සදාකාලිකව පැවත තිබෙන නිසයි. (දානියෙල් 7:9, 13, 22) පරමාධිපති ස්වාමීන් වීමට ඔහුට තිබෙන අයිතිය ගැන ප්‍රශ්න කළ හැක්කේ කාටද? එසේ කරයි නම් එය වලංගු ප්‍රශ්නයක් වේවිද?
16, 17. (අ) අපට යෙහෝවාව දකින්ට බැරි ඇයි? ඒ ගැන අප පුදුම නොවිය යුත්තේ ඇයි? (ආ) යෙහෝවා අපට දකින්ට හෝ අල්ලන්ට හැකි මොනයම් දෙයකට වඩා වෙනස් වුවත් ඔහු සැබෑ පුද්ගලයෙකු වන්නේ කිනම් අර්ථයෙන්ද?
16 එහෙත්, ඵාරාවෝ මෙන් ඇතැම් අය එම අයිතිය ගැන ප්‍රශ්න කරනවා. මෙහි තිබෙන ගැටලුවේ එක් පැත්තක් නම්, අසම්පූර්ණ මිනිසුන් තමන්ගේ ඇස්වලින් දැකිය හැකි දේ ගැන උවමනාවට වඩා වැඩි විශ්වාසයක් තැබීමයි. අපට පරමාධිපති ස්වාමින්ව දකින්ට බැහැ. ඔහු ආත්මයක්. මිනිස් ඇස්වලට පෙනෙන්නේ නැති පුද්ගලයෙක්. (යොහන් 4:24) මීට අමතරව, මාංසයෙන් ලේවලින් හැදුණු මිනිසුන් යෙහෝවා දෙවිව දුටුවොත්, එම අද්දැකීම මාරාන්තික වේවි. යෙහෝවාම මෝසෙස්ට පැවසුවේ මෙයයි. “මාගේ මුහුණ දකින්ට නුඹට නුපුළුවන. මක්නිසාද මනුෂ්‍යයා මා දැක ජීවත් නොවන්නේය.”—නික්මයාම 33:20; යොහන් 1:18.
17 ඒ ගැන අප පුදුම විය යුතු නැහැ. මෝසෙස්ට දකින්ට ලැබුණේ යෙහෝවාගේ මහිමයෙන් යම් ප්‍රමාණයක් පමණයි. පෙනෙන විදිහට එය දැක්කෙත් යෙහෝවාව නියෝජනය කළ දේවදූතයෙකු මාර්ගයෙන්. ඉන් ඇති වූ බලපෑම කුමක්ද? ඉන්පසුව කෙටි වේලාවකට මෝසෙස්ගේ මුහුණෙන් ‘රශ්මි විහිදෙන්ට’ වුණා. මෝසෙස්ගේ මුහුණ කෙළින් බලන්ට පවා ඉශ්‍රායෙලිතයන් භය වුණා. (නික්මයාම 33:21-23; 34:5-7, 29, 30) එසේනම්, කිසිම මිනිසෙකුට පරමාධිපති ස්වාමීන්ගේ පූර්ණ මහිමය ඒ විදිහටම බලන්න බැරිය යන කාරණය නම් ස්ථිරයි! මින් අදහස් කරන්නේ අපට දකින්න හෝ අල්ලන්න නොලැබුණු පමණින් යෙහෝවා සැබෑ පුද්ගලයෙකු නොවන බවද? නැහැ. අපට දැකිය නොහැකි බොහෝ දේවල්, එනම් සුළඟ, ගුවන් විදුලි තරංග සහ සිතිවිලි වැනි දේවල් පවතින බව අපි සැණෙකින් පිළිගන්නවා. යෙහෝවා ගිණිය නොහැකි අවුරුදු බිලියන ගණනක් ඇතුළත් කාලය නමැති ප්රවාහයට යටත් නොවූ, සැමදා ජීවත් වන කෙනෙක්! ඒ අර්ථයෙන් බලන කල, අපට ඇල්ලිය හැකි හෝ දැකිය හැකි ඕනෑම දෙයකට වඩා වෙනස් වුවත් ඔහු සැබෑ පුද්ගලයෙක්. මන්ද භෞතික විෂයේ තිබෙන ඕනෑම දෙයක් කල් යත්ම පිරිහීමට ලක් වන නිසයි. (මතෙව් 6:19) එහෙත්, පෞද්ගලිකත්වයක් නැති, පැහැදිලිව විස්තර කළ නොහැකි, මනසින් ග්‍රහණය කරගන්ට බැරි මුල් හේතුව ලෙස අප ඔහු ගැන සිතිය යුතුද? අපි ඒ ගැන සලකා බලමු.
පෞද්ගලිකත්වයක් සහිත දෙවි කෙනෙක්
18. එසකියෙල්හට දෙනු ලැබුවේ කිනම් දර්ශනයද? තවද යෙහෝවා අසල සිටින ‘ජීවමාන සත්වයන්ගේ’ මුහුණුවලින් සංකේතවත් කරන්නේ කුමක්ද?
18 අපට දෙවිව දැකිය නොහැකි වුණත්, ස්වර්ගය ගැන යම් අදහසක් ලබාගත හැකි චමත්කාරජනක පරිච්ඡේද ගණනාවක් බයිබලයේ තිබෙනවා. මෙයින් එසකියෙල් පළමුවෙනි පරිච්ඡේදය එක උදාහරණයක් ලෙස ගන්ට පුළුවන්. යෙහෝවාගේ ස්වර්ගික සංවිධානය ගැන යම් දර්ශනයක් එසකියෙල්ට දකින්ට ලැබුණා. එහිදී අතිවිශාල ස්වර්ගික රථයක් ඔහු දුටුවා. මෙහි විශේෂයෙන්ම මනස කුල්මත් කරන්නේ, යෙහෝවා වටා සිටි බලවත් ආත්ම මැවිලිවල විස්තරයයි. (එසකියෙල් 1:4-10) මෙම “ජීවමාන සත්වයන්” [NW] යෙහෝවා සමඟ කිට්ටුවෙන් ඇසුරු කරන අතර, තමන් සේවය කරන දෙවි පිළිබඳ වැදගත් යමක් මොවුන්ගේ පෙනුමෙන් අපට කියාපානවා. ගවයෙකුගේ, සිංහයෙකුගේ, රාජාලියෙකුගේ සහ මිනිසෙකුගේ මුහුණ බැගින් මේ එක් එක්කෙනාට මුහුණු හතරක් තිබෙනවා. මේවායින් යෙහෝවාගේ කැපීපෙනෙන ගුණාංග හතරක් සංකේත කරන බවක් පෙනෙන්ට තිබෙනවා.—එළිදරව් 4:6-8, 10.
19. පහත දැක්වෙන දේවලින් නියෝජනය වන්නේ මොනවාද? (අ) ගවයාගේ මුහුණ (ආ) සිංහයාගේ මුහුණ (ඇ) රාජාලියාගේ මුහුණ (ඈ) මිනිසාගේ මුහුණ
19 බයිබලය තුළ බොහෝ විට ගවයාගෙන් නියෝජනය කරන්නේ බලයයි. තවද ගවයා මහත් ශක්තියක් ඇති සතෙකු නිසා එය ඌට ගැළපෙනවා. අනෙක් අතට, සිංහයාගෙන් නියෝජනය කරන්නේ යුක්තියයි. සැබෑ යුක්තිය ඉෂ්ට කරන්ට එඩිතරකම අවශ්‍යයි. එය සිංහයන්ට ආවේණික ගුණයක් බව ප්‍රකට කරුණක්. සැතපුම් ගණනක් දුර තිබෙන කුඩා දෙයක් පවා පැහැදිලිව දැකගන්ට සමත් දෙනෙත් රාජාලීන්ට තිබෙන බවත් ප්‍රකට කරුණක්. එමනිසා, රාජාලි මුහුණෙන් දෙවිගේ දුර දක්නා ප්‍රඥාව පිළිබිඹු කරන බව කියන්ට පුළුවන්. මිනිසාගේ මුහුණ ගැන කුමක් කියන්ට හැකිද? දෙවිගේ ස්වරූපයෙන් සාදනු ලැබූ මිනිසාට දෙවිගේ ප්‍රධානතම ගුණාංගය පිළිබිඹු කිරීමට අද්විතීය හැකියාවක් තිබෙනවා. ඒ තමයි ප්‍රේමය. (උත්පත්ති 1:26) යෙහෝවාගේ පෞද්ගලිකත්වයේ මෙම අංග, එනම් බලය, යුක්තිය, ප්‍රඥාව සහ ප්‍රේමය ශුද්ධ ලියවිල්ලේ කොතරම් කැපීපෙනෙන්ට සලස්වා තිබෙනවාද කියතොත්, ඒවා දෙවිගේ ප්‍රධාන ගති ලක්ෂණ ලෙස හඳුන්වන්ට පුළුවන්.
20. යෙහෝවාගේ පෞද්ගලිකත්වය වෙනස් වී ඇතැයි කියා අප කරදර විය යුතුද? ඔබ එසේ පිළිතුරු දෙන්නේ මන්ද?
20 බයිබලය තුළ මීට වසර දහස් ගණනකට පෙර දෙවිව විස්තර කර ඇති අන්දමට වඩා දැන් දෙවි වෙනස් වී ඇතැයි කියා අප කරදර විය යුතුද? නැහැ. දෙවිගේ පෞද්ගලිකත්වය වෙනස් වන්නේ නැහැ. “[යෙහෝවා] වන මම වෙනස් නොවෙමි” යයි ඔහු අපට කියනවා. (මලාකී 3:6) තමන්ට හිතු හිතු විදිහට සැණෙකින් වෙනස් වනවා වෙනුවට, එක් එක් තත්වයන්ට ඔහු ප්‍රතිචාර දක්වන ආකාරයෙන් තමන් ඉතා යෝග්‍ය පියෙකු බව යෙහෝවා ඔප්පු කර තිබෙනවා. මෙලෙස තමන්ගේ පෞද්ගලිකත්වයේ මෙම ගති ලක්ෂණ අවස්ථානුකූලව සුදුසු පරිදි පෙරට ගෙනෙනවා. මෙම ගුණාංග සතර අතුරින්, සියලු දේ පරයා යන්නේ ප්‍රේමයයි. දෙවි කරන සියලු දේ සිසාරා මෙය පැතිර පවතිනවා. තමන්ගේ බලය, යුක්තිය සහ ප්‍රඥාව ඔහු ප්‍රේමනීය අන්දමින් විදහාපෙන්වනවා. ඇත්ත වශයෙන්ම, දෙවි ගැනත් මෙම ගති ලක්ෂණය ගැනත් අතිවිශේෂ යමක් බයිබලයේ පැවසෙනවා. ඒ තමයි “දෙවි ප්‍රේමයය” යන ප්‍රකාශය. (1 යොහන් 4:8) මෙය කල්පනාවට ගන්න. එනම්, දෙවිට ප්‍රේමය තිබෙන බව හෝ දෙවි ප්‍රේමනීය කෙනෙක් බව එහි කියන්නේ නැහැ. ඒ වෙනුවට එහි කියන්නේ දෙවි ප්‍රේමයය කියායි. ඔහු ප්‍රේමයේ සාරය වන අතර, සියලු දේ කිරීමට ඔහුව පොලඹවන්නේ ඒ ප්‍රේමයයි.
“බලන්න! මේ අපේ දෙවිය”
21. යෙහෝවාගේ ගුණාංග ගැන අප තව තවත් දැනගන්නා විට අපට ඔහු ගැන කෙසේ හැඟේවිද?
21 කුඩා දරුවෙක් තමන්ගේ පියාව “අන්න මගේ තාත්තා” කියා තම මිතුරන්ට පෙන්වමින් අහිංසක ආඩම්බරයකින් කියනවා ඔබ කවදා හෝ දැක තිබෙනවාද? දෙවිට නමස්කාර කරන අයටත් යෙහෝවා ගැන හැඟිය යුත්තේ එලෙසමයි. “බලන්න! මේ අපේ දෙවිය” කියමින් ඇදහිලිවන්ත ජනයා ප්‍රීතියෙන් මොර දෙන කාලයක් පැමිණෙන බව බයිබලයේ පුරෝකථනය කර තිබෙනවා. (යෙසායා 25:8, 9, NW) ඔබ යෙහෝවාගේ ගුණාංග ගැන වඩාත් ගැඹුරු නුවණක් ලබන විට, සිටිය හැකි හොඳම පියා ඔබට සිටින බව ඔබට තව තවත් දැනේවි.
22, 23. අපගේ ස්වර්ගික පියාණන්ව බයිබලයේ විචිත්‍රණය කර තිබෙන්නේ කෙසේද? අප ඔහුට ළං වෙනවා දකින්න ඔහුට වුවමනා බව අප දන්නේ කෙසේද?
22 මෙම පියා කිසි සැලකිල්ලක් නොපෙන්වා තමන්ගේ පාඩුවේ සිටින, අතේ දුරින් සිටින හෝ දුරස්තරව සිටින කෙනෙකු නොවේ. තපස් දිවියක් ගෙවන ආගම් අදහන ඇතමුන් හෝ දර්ශනවාදීන් දෙවි ගැන කියන්නේ එයයි. නමුත් යෙහෝවා එවන් කෙනෙකු නොවේ. කිසි සැලකිල්ලක් නොදක්වන දෙවි කෙනෙකුට ළංවීමට අප කිසිවිටෙකත් පෙලඹෙන්නේ නැහැ. බයිබලය අපේ ස්වර්ගික පියාණන්ව එලෙසින් විස්තර කරන්නේ නැහැ. ඒ වෙනුවට, ඔහුව හඳුන්වන්නේ “සන්තෝෂවත් දෙවි” යනුවෙනුයි. (1 තිමෝති 1:11, NW) ප්‍රබල මෙන්ම මුදු මොළොක් හැඟීම් ඔහු සතුව තිබෙනවා. තම බුද්ධිමත් මැවිලිවල සුභසාධනය උදෙසා තමන් සපයන මාර්ගෝපදේශ උල්ලංගනය කරන විට ඔහු ‘මුළු සිතෙන්ම ශෝක වෙනවා.’ (උත්පත්ති 6:6; ගීතාවලිය 78:41, NW) එහෙත්, අප ඔහුගේ වචනයට අනුකූලව ප්‍රඥාවන්ත ලෙස ක්‍රියා කරන විට, අපි ඔහුගේ ‘සිත ප්‍රීති කරනවා.’—හිතෝපදේශ 27:11.
23 අපේ පියාණන්ට වුවමනා කරන්නේ අප ඔහු වෙතට ළංවීමයි. ඔහුගේ වචනයෙහි අපව දිරිගන්වා තිබෙන්නේ, ‘අතගා යමින්වත් යම් අන්දමකින් දෙවිව සම්බ වන ලෙස . . . ඔහුව සොයන්න’ කියාය. මන්ද ‘ඔහු අප එකිනෙකාට නුදුරුව සිටින්නේය.’ (ක්‍රියා 17:27) එහෙත්, විශ්වයේ පරමාධිපති ස්වාමීන් වෙතට ළංවීමට මිනිසුන්ට හැක්කේ කොහොමද?
[6වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]