දේවසමාදානයේ දූතයෝ රැස්වෙයි
“අපි සහභාගි වුණ, හැම දිස්ත්‍රික් සමුළුවකින්ම තවතවත් දිරිගැන්වීමක් ලැබිලා තියෙනවා” කියා එක්සත් ජනපදයේ ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් පවසනවා. “කොහොමවුණත්, මේ අවුරුද්දේ තිබිච්ච සමුළුව නං විස්තර කරන්නවත් බැරි තරම්. අපි හැම දවසකදිම පිටවෙලා ගියේ, හෙට මොනවා තියෙයිද කියකියා හිතමිනුයි. ඒ හිතුවා වගේම, අපේ බලාපොරොත්තු සුන් වුණේ නෑ!”
ඔබත්, “දේවසමාදානයේ දූතයෝ” දිස්ත්‍රික් සමුළුවකට සහභාගි වූ කෙනෙක් නම්, පැමිණි මෙම උද්යෝගවත් සහෝදරයා හා සමඟ ඔබත් එකඟ වෙනවාට කිසිම සැකයක් නැහැ. සමුළුවේ සෑම දවසකදීම, දේවසමාදානයේ දූතයෝ වශයෙන් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ මෙහෙයෙහි විවිධ අංශ වෙත අවධානය යොමු කළා. අපි දින තුනේ වැඩසටහන පුනරීක්ෂණය කර බලමු.
‘සමාදානය ප්‍රකාශකරන්නාවූ . . . තැනැත්තා . . . කොපමණ අලංකාරද’
මුල් දින, සමුළුවේ තේමාව වුණේ එයයි. එය යෙසායා 52:7 මත පදනම් වෙලයි තිබුණේ. මෙම දුෂ්කර දවස්වලදී, බොහෝදෙනෙක් යෙහෝවඃවහන්සේට සේවය කරන්නේ, අභියෝග සහිත තත්වයන් යටතේයි. “සමාදානයේ ජ්වලිත ප්රකාශකයන්ගෙන් තොරතුරු ලැබීම” යන කතාව තුළදී, මෙවන් විශ්වාසවන්ත අය සමහරක් සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්තුවා. ඔවුන්ගේ පෞද්ගලික අදහස්වලට ඇහුම්කන් දීම ඇත්තටම, දිරිගන්වනසුලු වුණා. ඒ විතරක් නෙමෙයි, යෙහෝවඃවහන්සේ, තමන්වහන්සේගේ “සාමාන්‍ය ඉක්මවූ බලය” දීමෙන්, ඔවුන්ට විඳදරාගැනීමට උපකාර කරන බවටත්, ඔවුන්ව ශක්තිමත් කරන බවටත්, සමුළුවට සහභාගිවූවන්ට සහතික කළා.—2 කොරින්ති 4:7, NW.
යෙහෝවඃවහන්සේට ඕනෑ කරන දේවල් බරක් නොවෙයි. (1 යොහන් 5:3) මේ බව පැහැදිලි කරනු ලැබුවේ, පෙරවරු වැඩසටහනේ අවසන් කතාවේදියි; එය උච්චාවස්ථාවකට පැමිණියේ, දෙවියන්වහන්සේට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? යන මැයෙන් යුත් පිටු තිස්දෙකක විවරණිකාවක් ඉදිරිපත් කිරීමෙනුයි. මෙම අලංකාර පින්තූරුවලින් යුත් අලුත් පාඩම් ආධාරකය, බොහෝදෙනෙකුට, දෙවියන්වහන්සේගේ අරමුණු ඉගෙනගැනීමට උපකාර කිරීමේ විශිෂ්ට කාර්යභාරයක් ඉටු කරනවාට කිසිම සැකයක් නැහැ. මෙම අලුත් ප්රකාශනය පාවිච්චි කිරීම ගැන අදහස්, මේ සඟරාවේ අන්තිම පාඩම් ලිපිවලත්, 16 සහ 17වන පිටුවලත් සොයාගැනීමට පුළුවන්.
“යහපත්කම් තුළ විඳදරාගැනීම” නමැති කතාවේ, යෙහෝවඃවහන්සේ අපගේ පරීක්ෂණ සම්බන්ධයෙන් ඉතා හොඳින් අවධානය යොමු කරන බව කාවද්දනු ලැබුවා. විඳදරාගැනීම කියන්නේ, බලාපොරොත්තුව අත් නොහැර, අපගේ ස්ථාවරයෙහි රැඳී සිටීමයි. යෙහෝවඃවහන්සේ උන්වහන්සේගේ වචනය, ආත්මය සහ සංවිධානය, අත්වැලක් හැටියට අපට දී තියෙනවා. දේශනා කිරීම සඳහා විඳදරාගැනීම ඕනෑ කරනවා. ඒත් දේශනා කිරීම විඳදරා ගන්නත් උදව් කරනවා. එයට හේතුව එය අපේ ඇදහිල්ල ප්‍රාණවත්ව තබන නිසයි. මෙසේ, දිනුම්පළ කරා යන ගමනේදී, අපගේ ජ්වලිතය අඩු කරන්ට අපගේ ගැටලුවලට ඉඩ නොදිය යුතු වන්නේ, අන්තිමය දක්වා විඳදරාගෙන සිටින්නාම ගැළවෙන නිසයි.—මතෙව් 24:13, NW.
“දේවසමාදානයේ දූතයන් වශයෙන් අපගේ වැඩ කොටස” යන මූලික ඇමතුමෙන්, පො.යු.පෙ. 537දී, යුදෙව් වහලුන් බබිලෝනියෙන් මිදීම ගැනත්, යෙරුසලමෙහි නිර්මල නමස්කාරය යළි පිහිටුවීම ගැනත් අවධානය යොමු කළා. මෙම සිද්ධිය ලෝක ව්‍යාප්ත මට්ටමෙන් ඉතා ඉක්මනින් දේවරාජ්‍යය ඉටු කරන්ට යන්නේ කුමක්ද යන දේ පිළිබඳව, පෙර අදහසක් පමණක් බව කථිකයා පැහැදිලි කළා. (ගීතාවලිය 72:7; යෙසායා 9:7) අපගේ වර්තමාන පැවරුම නම්, මේ රාජ්‍යය සම්බන්ධ ශුභාරංචිය දේශනා කිරීමත්, එම පණිවිඩයට අනුව ජීවත්වීමත්ය. දෙවියන්වහන්සේටත්, අසල්වැසියාටත් දක්වන ප්‍රේමය, මෙම වැඩයට බුරුලක් නොදී කරගෙන යන්ට අපව පොලඹවනවා.—ක්‍රියා 5:42
සිකුරාදා වැඩසටහනේ, විශේෂාංගයක් වූයේ, “විනෝදාස්වාදයේ සැඟවුණු මලපත් සම්බන්ධයෙන් අවදිව සිටින්න” යන කතා මාලාවයි. අදදින හාත්පස පැතිර පවතින සංගීතය, චිත්‍රපට, වීඩියෝ දර්ශන, රූපවාහිනී වැඩසටහන්, වීඩියෝ ක්‍රීඩා, පොත්පත්, සඟරා සහ චිත්‍ර කතා පොත් වැනි දේ, බොහෝවිට භූතමය සිතුවිලි පිළිබිඹු කරනවා. එමනිසා, ‘නපුරට පිළිකුල් කොට, යහපතට ඇලුම් වීම’ යන්න අපගෙන් අවශ්‍ය කරවයි. (රෝම 12:9) ඔව්, අප දූෂිත විනෝදාස්වාදය අතිශයින් අප්‍රියජනක දෙයක් ලෙස සලකා එයින් වැළකී සිටිය යුතුයි. ඒ අතරම, පිරිසිදු, ගුණවත් සහ ප්‍රශංසනීය දේවලට සිත යොමු කළ යුතුයි. (පිලිප්පි 4:8) යෙහෝවඃවහන්සේගේ සංවිධානය සපයා ඇති ප්‍රකාශන සහ පර්යේෂණ ආධාරක, අපගේ මනස් තුළ ගොඩනංවනසුලු සිතුවිලි පුබුදුවාලයි. ඒ වගේම, වරදෙන් නිවැරැද්ද හඳුනාගන්ට අපව පුහුණු කරයි. (හෙබ්‍රෙව් 5:14) කලබලකාරි මුහුදක පාරුවකට ඇලී සිටින්නා සේ, මෙම සැපයුම්වලට අප ඇලී සිටිය යුතුයි.
“යක්ෂයාට විරුද්ධව සිටින්න—කිසිදු එදිරිවාදිකමක් නොඉවසන්න” යන කතාව පැමිණියේ ඊළඟටයි. පොරොන්දු දේශයට ඇතුල් වෙන්ට ඔන්න මෙන්න තියෙද්දී, ඉශ්රායෙල්වරු දහස් ගණනක් දුරාචාරයේ මලපතට වැටුණා. පීනෙහාස් සැබෑ නමස්කාරය වෙනුවෙන් කිසිදු එදිරිවාදිකමක් ඉවසුවේ නැහැ. ඔහු වැරදිකරුවන්ට එරෙහිව තීරණාත්මක පියවරක් ගත් අතර, ඔහු තුළ තිබූ තනි භක්තිය, යෙහෝවඃවහන්සේ ඉදිරියේ ප්‍රසන්න වුණා. (ගණන් කතාව 25:1-13) සාතන්ගේ ඉලක්කය නම්, දෙවියන්වහන්සේගේ අලුත් ලෝකයට ඇතුල්වීමට, අප සැම නුසුදුසු තත්වයකට පත් කිරීමයි. පීනෙහාස් වගේ, අපත් අපව කෙලසන්ට සාතන් දරන වෑයම්වලට විරුද්ධව සිටිය යුතුයි. අප විවාහක වුවත්, නැතත්, ‘වේශ්‍යාකම කෙරෙන් පලා දිවිය’ යුතුයි.—1 කොරින්ති 6:18.
සමුළුවේ මුල් දිනයේ අවසාන කතාව වූයේ, “දේවවචනයෙහි සම්පූර්ණත්වය පක්ෂපාතව රැකගැනීම” යන්නයි. බොහෝ පරිවර්තකයන් ශුද්ධ ලියවිලි කොටස් වෙනස් කර නැත්නම් අත්හැර තියෙනවා. උදාහරණයකට, ස්ත්රීන්ගේ අයිතිවාසිකම් ඉල්ලා සටන් කරන කෙනෙකු සැනසීමට ද නිව් ටෙස්ටමන්ට් ඇන්ඩ් සාම්ස්: ඇන් ඉන්ක්ලූසිව් වර්ෂන්හි පරිවර්තකයන් දෙවියන්වහන්සේ ගැන සඳහන් කරන විට, පියාණන් නොව පියාණෙනි-මෑණියෙනි යන්න යොදනවා. එමෙන්ම, “මනුෂ්‍ය පුත්‍රයා” යන යෙදුම වෙනුවට, ඔවුන් යේසුස්වහන්සේව “මනුෂ්‍ය තැනැත්තා” හැටියට හඳුන්වනවා. ඊට පටහැනිව නිව් ව’ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් ඉතා පක්ෂපාතීව මුල් භාෂා ලියවිලිවලට ඇලී සිටින නිසා ශුද්ධ ලියවිලිමය කාරණා ගණනාවක්ම පැහැදිලිව තේරුම්ගැනීමට උපකාර වී තියෙනවා. නිදසුනක් වශයෙන් කථිකයා මෙසේ පැවසුවා: “පළමුවන සියවසේ ක්‍රිස්තියානි සභාව තැබූ ආදර්ශයට වඩාත් හොඳින් අනුකූල වෙමින්, 1970ගණන්වලදී වැඩිමහල්ලන්ගේ මණ්ඩල පත් කිරීම තුළින් සභාවන් නැවත සංවිධානය කිරීම සඳහා නිව් ව’ල්ඩ් ට්රාන්ස්ලේෂන්හි භාවිත වූ නිවැරදි යෙදුම්, පදනම සැපයුවා.” දේවවචනය දිනපතා කියවීමෙන් සහ එහි උපදෙස් අදාළ කරගැනීමෙන්, අපි එයට අපගේ පක්ෂපාතිභාවය පෙන්වනවා. කථිකයා තවදුරටත් මෙසේ කිව්වා: “දේවවචනය ජ්වලිතව අනුන්ට දේශනා කිරීමෙන් හා අනුන්ට උගන්වන විට එහි පවසන දේ විකෘති කිරීම හෝ ‘ලුණු ඇඹුල්’ එකතු කිරීම තුළින් අපේම අදහස්වලට සරිලන සේ එය හැඩගස්වන්නේ නැතුව, එය පරෙස්සමින් පාවිච්චි කිරීමෙන් අපි දේවවචනයට පක්ෂපාතව කතාකරන්නන් බව පෙන්වනවා.”
‘දෙවියන්වහන්සේගේ සමාදානය සියලුම සිතුවිලි අභිභවා යනු ඇත’
පිලිප්පි 4:7, NW මත පදනම් වූ මෙම තේමාව, සමුළුවේ දෙවන දවස මොනාකාරද යන්න පිළිබඳව අදහසක් ඉදිරිපත් කළා. ඉදිරිපත් කළ තොරතුරු බොහොමයක්, කෙනෙකුගේ සේවය, පවුල, කැපවීම සහ එදිනෙදා ජීවිතයේ අනෙකුත් අංග පිළිබඳව තිබිය යුතු නිසි දෘෂ්ටියට අදාළව තිබුණා.
දිනපදය සාකච්ඡා කිරීමෙන් පසුව, “සමාදානයේ ශුභාරංචි ගෙනයන දූතයෝ” යන කතා මාලාව ඉදිරිපත් කෙරුණා. අපගේ පණිවිඩය සමාදානයේ එකක් වන අතර, එය ඉදිරිපත් කළ යුත්තේ, සාමදායී ආකාරයෙන්. (එපීස 6:15) අපේ අභිප්‍රාය හෘදයන් දිනාගැනීම විනා, විවාද ජයගැනීම නොවෙයි. යෙහෝවඃවහන්සේගේ සංවිධානයෙන් සපයන පුහුණුව සහ ප්‍රකාශන අපට උපකාර කරන්නේ, හරියටම ඒ දේ කිරීමටයි. උදාසීනකම හෝ මන්දෝත්සාහයට අපව අධෛර්යවත් කරන්ට ඉඩ නොදිය යුතුයි. ඒ වෙනුවට පෞද්ගලික පාඩම, රැස්වීම්වලට යෑම සහ දේශනා වැඩයෙහි සහභාගි වීම වැනි හිතකර දින චර්යාවක් ඇතුව, නොකඩවාම ‘අපගේ උපරිමය’ කළ යුතුයි. (2 තිමෝති 2:15) සියල්ලන්ටම යහපත්කම් කිරීමෙහි, විශේෂයෙන්ම ඇදහිල්ලේ සිටින අයට යහපත්කම් කිරීමෙන් වැළකී නොසිටීම අවශ්‍යයි. (ගලාති 6:10) උපරිමය කිරීමෙන් අදහස් කරන්නේ හෙම්බත් වන තුරු වැඩ කිරීම නොවන බවට සැකයක් නැහැ. යෙහෝවඃවහන්සේ පිළිගන්නේ, එක් එක්කෙනාට තම තමාගේ හැකියාවේ සහ තත්වයේ හැටියට කරන්ට හැකි දෙයයි.
දෙවියන්වහන්සේගේ සෙනඟ, රාජ්‍ය කටයුතු ව්‍යාප්ත කිරීම සඳහා ඔවුන්ගේ කාලය, ශක්තිය සහ සම්පත් වැය කරනවා. “යෙහෝවඃවහන්සේගේ සංවිධානය තුළ සන්තෝෂයෙන් යුතුව දීම” යන කතාව තුළ, බැටළු ගුණැති බොහෝදෙනෙක් රාජ්‍ය පණිවිඩයට ප්‍රතිචාරය දක්වන බව පෙන්වූ අතර, ඒ සඳහා අමතර උපකරණ, රැස්වීම් ස්ථාන සහ ශාඛා පහසුකම් අවශ්‍ය බවද පෙන්වනු ලැබුවා. ලෝක ව්‍යාප්ත දේශනා වැඩය සම්පූර්ණ කිරීම සඳහා රිසි සේ ක්‍රියා කිරීමට, අපගේ සම්මාදම් නිසා සංවිධානයට හැකි වෙනවා. එමෙන්ම, ත්‍යාගශීලී දීම යෙහෝවඃවහන්සේට ගෞරවය ගෙනෙන අතර, දෙන්නාට ප්‍රීතිය ගෙනෙයි. එමනිසා, ක්‍රිස්තියානීන් වශයෙන්, අපගේ නමස්කාරයේ මෙම වැදගත් අංගය නොසලකා නොහැරිය යුතුයි.—2 කොරින්ති 8:1-7.
පෙරවරු සැසිවාරය අවසන් වූයේ, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ විශාල එක්රැස්වීම්වල, සෑමවිටම විශේෂාංගයක් වන, බව්තීස්ම කතාවෙනුයි. අලුත කැප වූ අය, යේසුස්වහන්සේගේ අඩිපාර අනුගමනය කරමින්, වතුර බව්තීස්මයෙන් තමන්ව යටත් කරගන්නවා දැකීම මොනතරම් ප්‍රීතියක් වුණාද! (මතෙව් 3:13-17) මෙම පියවර ගන්නාවූ සියලුදෙනාවම, ශ්‍රේෂ්ඨතම ප්‍රඥාවේ උල්පත වන බයිබලය තුළින්, දැනුවත් කර තියෙනවා. ඊටත් වැඩියෙන්, ඔවුන් ජීවිතයේ සැබෑ අරමුණක් අත් පත් කරගෙන තිබෙන අතර, තමුන් හරි දෙය කරමින් සිටින බව දැනගැනීමෙන් පැමිණෙන සාමය මගින් ආශීර්වාද ලබා තියෙනවා.—දේශනාකාරයා 12:13.
“විචාර බුද්ධිය ඔබට ආරක්ෂාවක් වේවා!” යන කතාවෙන්, ඍජු උපදෙස් සැපයුවා. ව්‍යාපාර කටයුතුවලදී, විචාර බුද්ධිය ඉතා වැදගත් වෙයි. රාජ්‍ය ශාලාවේදී, පෞද්ගලික ව්‍යාපාර කටයුතුවල නිරත වීමෙන් අපි වැළකී සිටිය යුතු අතර, මූල්‍යමය වාසි ප්‍රයෝජන තකා සෙසු සාමාජිකයන්ව අනිසි ලෙස යොදා නොගැනීමටද වගබලා ගත යුතුයි. (යොහන් 2:15, 16, සසඳන්න) ව්‍යාපාරයක් සඳහා මුදල් ආයෝජනය කරන විටත්, මුදල් ණයට ලබාගන්නා විටත් ණයට දෙන විටත් විචාර බුද්ධිය අවශ්‍යයි. “ක්‍රිස්තියානීන් අතර ව්‍යාපාර අසාර්ථක වීමේ හේතුවෙන්, බලාපොරොත්තු සුන් වී ඇති අතර, මුදල් ඉපයීමේ අවදානම් සහිත ව්‍යාපාරවලට දුරදිග නොබලා සම්බන්ධ වූ අයගේ ආත්මිකත්වය පවා හීන වී තිබෙනවා” කියා කථිකයා සඳහන් කළා. ක්‍රිස්තියානීන් අතර ව්‍යාපාරික කටයුතු කිරීම වැරදි නොවුවත්, සුපරීක්ෂාකාරි වීම ඇත්තෙන්ම ඥානවන්ත වෙයි. එමෙන්ම, පක්ෂ දෙකක් ව්‍යාපාරික ගිවිසුමක් කරන විට, ඒවා සැමවිටම ලිඛිතව පවත්වා ගත යුතු වෙයි.
“උන්වහන්සේ පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවූසේක” යන මැයෙන් යුත් කතාවේදී, පුරුෂයන් සහ ස්ත්‍රීන් සඳහා දෙවියන්වහන්සේගේ ප්‍රමිතිය සාකච්ඡා කෙරුණා. ඉතිහාසය පුරා ස්ත්රීපුරුෂත්වය පිළිබඳ අදහස් විකෘති වී තියෙනවා. “පිරිමි ගතියට පරුෂ ආධිපත්‍යය, රළුබව නැතහොත් අනවශ්‍ය ලෙස පෞරුෂත්වය විදහාපෙන්වීම ඇතුළත් බව බොහෝදෙනෙක් වැරදිසහගත විදිහට සිතනවා” යයි කථිකයා කියා සිටියා. “සමහර සංස්කෘතීන්වල පුරුෂයෙකු ප්‍රසිද්ධියේ නැතහොත් තනිව පවා ඇඬීම දුර්ලභ මෙන්ම නින්දාසහගත දෙයක් වෙනවා. එහෙත් යොහන් 11:35 විස්තර කරන්නේ, ලාසරුස්ගේ සොහොන අසල සෙනඟ අතර සිටිද්දී, ‘යේසුස්වහන්සේ ඇඬූ’ බවයි.” ස්ත්‍රීන් ගැන කියන්න පුළුවන් මොනවාද? ගැහැනු ගතිය බොහෝවිට ශාරීරික ආකර්ෂණීයභාවය සමඟ සම්බන්ධ කර තියෙනවා. එහෙත් කථිකයා මෙහෙම ඇහුවා: “ස්ත්‍රියකට රූපශ්‍රීය තිබුණත්, ඇයට සිහි නුවණ නැත්නම්, එමෙන්ම ඇය විවාදශීලී, අපහාස කරන නැතහොත් අහංකාර කෙනෙක් නම්, ඇය සැබවින්ම රූපශ්‍රීයෙන් යුත් කෙනෙක්, එනම් සැබවින්ම ගැහැනු ගතිය ඇති කෙනෙක් කියා සලකන්ට පුළුවන්ද?” (සසඳන්න හිතෝපදේශ 11:22; 31:26.) තම කතාවෙන්, හැසිරීමෙන් සහ ඇඳුම් පැළඳුම් අඳින ආකාරයෙන්, ක්‍රිස්තියානි පුරුෂයන් සහ ස්ත්‍රීන් බයිබල් ප්රමිතීන් අනුගමනය කිරීමට වෑයම් කරනවා. තවදුරටත්, “ආත්මයේ ඵල විදහාපාන පුරුෂයෙකුට ගරු කරන්න ලෙහෙසි වන අතර, එසේ කරන ස්ත්‍රියකට ප්‍රේමය දැක්වීමටත් පහසුයි” කියලත් කථිකයා කිව්වා.—ගලාති 5:22, 23.
ඊළඟට ආවේ, “සමාදානයේ දෙවියන්වහන්සේ ඔබ ගැන සැලකිල්ලක් දක්වයි” යන කතා මාලාවයි. බොහෝ ක්‍රිස්තියානීන්ට මූල්‍යමය කාරණා පිළිබඳ කනස්සලුවීම් තියෙනවා. ඒ වුණත්, යෙහෝවඃවහන්සේ මෙහෙම පොරොන්දු වෙනවා: “මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමි.” (හෙබ්‍රෙව් 13:5) ආර්ථික අමාරුකම් තිබියදීත්, සමහරුන් එම පොරොන්දුව කෙරෙහි විශ්වාසය තබා, උපකාරික හෝ ස්ථාවර පුරෝගාමී සේවයට ඇතුල් වී තියෙනවා. දැන් පුරෝගාමීන් විදිහට සේවය කිරීමට හැකියාවක් නැති අනිත් අය, රාජ්‍ය කටයුතු මුල් තැනට තබමින්, සාක්ෂිදැරීමට සෑම ප්‍රස්තාවක්ම අල්ලා ගනිමින් සිටිනවා. (මතෙව් 6:33) එවැනි සියලුම උත්සාහයන් ප්‍රශංසා කටයුතුයි! යෙහෝවඃවහන්සේගේ සංවිධානය, අපගේ සේවයට උපකාර කිරීම සහ අපගේ ගැටලුවලට උර දීම සඳහා ප්‍රකාශන විශාල සංඛ්‍යාවක් අපට සපයා දී තියෙනවා. යෙහෝවඃවහන්සේගේ ආත්මික සැපයුම්වලට අපි අගය කිරීම පෙන්වනවා නම්, උන්වහන්සේ මෙම ආර්ථික කලබලකාරි කාලවලදී අපට සමාදානයෙන් ආශීර්වාද කරනවා ඇත.—ගීතාවලිය 29:11
“පවුල් ජීවිතය තුළ දේවසමාදානය ලුහුබඳින්න” යන මැයෙන් යුත් දවසේ අවසාන කතාවේදී, පවුලේ සන්තෝෂයට රහස” නම් අලුත් පොත ලැබීමෙන්, සමුළුවට සහභාගිවූවෝ ගොඩාක් සතුටු වුණා. “පෞද්ගලිකව හා පවුල් කණ්ඩායම් වශයෙන් උද්යෝගයෙන් යුතුව මෙම පොත අධ්‍යයනය කරන්න” යයි කථිකයා බලවත් උනන්දුවෙන් ඉල්ලා සිටියා. “එහි බයිබලය මත පදනම්ව ඇති උපදෙස් අදාළ කරගැනීමට අවංක වෑයමක් දරන්න; එවිට ඔබේ පවුලේ සාමය හා සන්තෝෂය ස්ථිරවම වැඩි වනු ඇත.”
‘එක්සත් කරවන සමාදානයේ බැම්මෙන් . . . එකමුතුකම පවත්වාගන්න’
එපීස 4:3, NW මත පදනම් මෙම තේමාව, සමුළුවේ අවසන් දිනය සඳහා ගැළපෙන තේමාවක් වුණා. ලොව සෑම ජාතියකින්ම ඇදී ඇවිත් සිටින යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට උගන්වා තියෙන්නේ, දෙවියන්වහන්සෙයි. ඒ නිසා, ඔවුන් සාමයට ප්‍රේම කරනවා. ඔවුන් යේසුස්වහන්සේගේ ආදර්ශය අනුගමනය කරමින්, “එක්සත් කරවන සමාදානයේ බැම්මෙන්, එකමුතුකම පවත්වාගැනීමට” වෑයම් කරනවා.
“හරියාකාර දූතයන් හඳුනාගැනීම” යන කතා මාලාවෙන්, මූලික ලෙස ගෙනහැර දැක්වූයේ, දෙවියන්වහන්සේගේ සංවිධානයේ හාත්පස පැතිර පවතින සමාදානයයි. පුරාණ ඉශ්රායෙලයේ බොරු අනාගතවක්තෘවරු සිටියා. කෙසේවෙතත්, දෙවියන්වහන්සේගේ සැබෑ පණිවිඩකරුවන් වන යෙසායා, එසකියෙල් සහ යෙරෙමියා වැනි අනාගතවක්තෘවරු, යෙරුසලමේ වැටීම, වහල්භාවයේ කාලපරිච්ඡේදය සහ අවසානයේදී දෙවියන්වහන්සේගේ සෙනඟගේ මිදීම ගැන නිවැරදි ලෙස කලින් කියා තිබුණා. ඒ හා සමාන තත්වයක් අදත් පවතිනවා. දේශපාලනය සහ බොරු ආගම් තුළ බොරු පණිවිඩකරුවන් බහුලව සිටිනවා. එහෙත්, මේ දේවල පිළිවෙළ සම්බන්ධ අරමුණ ගැන ප්‍රකාශ කිරීමට, යෙහෝවඃවහන්සේ තමන් සාක්ෂිකාරයන්ව නැඟිටුවා තියෙනවා. විශේෂයෙන්ම, 1919 පටන් දෙවියන්වහන්සේගේ පණිවිඩය ප්‍රචාරය කරන්ට යෙහෝවඃවහන්සේගේ සේවකයන්ව පාවිච්චි කර තියෙනවා. ක්‍රිස්තියානි ලෝකයේ බොරු පණිවිඩකරුවන්ට වඩා ඔවුන් කෙතරම් වෙනස්ද! එබැවින්, වැඩය නවතන්නයයි යෙහෝවඃවහන්සේ කියන තුරු උද්යෝගයෙන් අපේ කොටස කරමින් සිටිමු.
ශුද්ධ ලියවිලි, මඟ පෙන්වීමේ, සැනසීමේ සහ බලාපොරොත්තුවේ ශ්‍රේෂ්ඨතම උල්පත බව කාවද්දනු ලැබුවේ, “දේවවචනයට සවන් දී කීකරු වන්න” යන කතාවෙනි. (යෙසායා 30:20, 21; රෝම 15:4) අදදින ලෝකය අඛණ්ඩව ලිහිල් ප්‍රතිපත්ති දරමින් සිටී. කිසිදාකටත් වඩා, දේවවචනයෙන් සහ සංවිධානයෙන් පැමිණෙන උපදෙස්වලට අප ඇහුම්කන් දීම අවශ්‍යයි. යෙහෝවඃවහන්සේ අපගේ දුර්වලකම් දන්නා අතර, අපට ප්‍රයෝජනවත් වන ක්‍රියාමාර්ගය පැහැදිලිව සඳහන් කර තියෙනවා. යෙහෝවඃවහන්සේ අපට අත දෙන බව දැනගැනීම, අපට කරන්ට කියා කියන ඕනෑම දෙයක් කිරීම සඳහා ආත්ම විශ්වාසයෙන් කටයුතු කිරීමට හැකියාව ලබා දෙනවා.
මෙය, සබයේ සිටින්නන්ගේ මනස් සකස් කළේ, ඊළඟට තිබුණාවූ, මුළුමනින්ම වෙස්ගැන්වූ නාට්‍යයටයි. එහි තේමාව වුණේ, “දිව්‍යාණ්ඩු විධිවිධානයන්ට ගරු කළ යුත්තේ මන්ද?” යන්නයි. බයිබල් චරිතයක් වන ගිඩියොන්ව පාදක වන වාර්තාව පාවිච්චි කර, ඉතා ප්‍රබල පාඩමක් ඉගැන්නුවා. එනම්, අප විසින් දෙවියන්වහන්සේගේ උපදෙස් අනුගමනය කරන්ටත්, අපේ සිතුවිලි ඒ උපදෙස් වෙනුවට පාවිච්චි නොකරන්ටත්, දිව්‍යාණ්ඩු උපදෙස්වලින් අහක්ව නොයන්ටත් කාවැද්දුවා.
ප්‍රසිද්ධ අනුශාසනාවේ විෂය වූයේ, “අන්තිමේදී සැබෑ සමාදානය!—කුමන උල්පතකින්ද?” යන්නයි. දෙවියන්වහන්සේ පොරොන්දු වී ඇති සාමය, මේ ලෝකයේ සිතාගත හැකි ඕනෑම දෙයක් අභිභවා යයි. “සැබෑ සමාදානය කියල කියන කොට එයින් අදහස් වන්නේ දිනපතා සමාදානය පැවතීමයි” කියල කථිකයා කිව්වා. “දෙවියන්වහන්සේගේ සමාදානය කියන්නේ, අසනීප, වේදනාව, දුක සහ මරණය නැති ලෝකයකටයි.” යෙහෝවඃවහන්සේ, “පොළෝ කෙළවර දක්වා යුද්ධ නවත්වන” බව බයිබලය අපට කියයි. (ගීතාවලිය 46:9) උන්වහන්සේ මෙය කරන්නේ, කොහොමද? යුද්ධය අවුස්සන්නා වන සාතන් නමැති යක්ෂයාව ඉවත් කිරීමෙනුයි. (එළිදරව් 20:1-3) මෙය, මොළොක් ගුණ ඇත්තන්ට, ‘දේශය උරුමකරගන්ටත්, මහත් සමාදානයෙන් ප්රීතිමත්වන්ටත්’ මාර්ගය විවෘත කරනවා ඇත.—ගීතාවලිය 37:11.
සතියට නියමිත මුරටැඹ පාඩම් ලිපිය සාරංශ කළාට පසුව, සමුළුවේ අවසාන කතාව ඉදිරිපත් කළා. එහි තේමාව නම්, “දේවසමාදානයේ දූතයන් ලෙස ඉදිරියට ගමන් කිරීම” යන්නයි. මෙම පොලඹවනසුලු අනුශාසනාව අපගේ දේශනා වැඩය විශිෂ්ට සහ හදිසි එකක් බව කාවැද්දුවා. මෙය විවේක ගන්ටවත්, ප්‍රමාද වෙන්ටවත් නැත්නම් බොරු අදහස්වලට ආපසු හැරෙන්ටවත් කාලය නොවෙයි. අපි අපිට ඕනෑ කරන දේවලින්, ඒ කියන්නේ, දෙවියන්වහන්සේගේ පණිවිඩය, ශුද්ධාත්මය සහ උන්වහන්සේගේ ආදරණීය දිව්‍යාණ්ඩු සංවිධානයෙන් සපයන සැපයුම් රාශියෙන් සන්නද්ධ වෙලයි ඉන්නේ. යෙහෝවඃවහන්සේගේ සේවකයන් ලෙස, එනම් දේවසමාදානයේ දූතයන් හැටියට, අපි ඉදිරියට ගමන් කරමින් සිටිමු!
[9වන පිටුවේ කොටුව⁄පින්තූර]
පවුල්වලට ප්‍රේමනීය සැපයුමක්
“දේවසමාදානයේ දූතයෝ” දිස්ත්‍රික් සමුළුවේ, දෙවන දිනයේ පැමිණි අය, පවුලේ සන්තෝෂයට රහස යන මැයෙන් යුත් අලුත් ප්රකාශනය ලැබීමෙන් කුල්මත් වුණා. දෙවියන්වහන්සේට ප්‍රේම කරන්නාවූ සියලුම පවුල් සඳහා, ශුද්ධ ලියවිලිමය තොරතුරු මෙම පොතෙහි අඩංගු වෙයි.
අමෙරිකා එක්සත් ජනපදයේ, කනෙක්ටිකට්හි වැඩිමහල්ලෙක්, අදහස් දක්වන්නේ මෙහෙමයි: “ජූනි 15වෙනිදා, අපි, පවුලේ සන්තෝෂය පොත ලබාගත්තා. ජූනි 16වෙනිදා වෙනකොට, පොතෙන් භාගයක් කියවල ඉවරයි. දහහත්වෙනිදා, ඒකෙන් අපේ පවුලේ පාඩම පටන්ගත්තා විතරක් නෙමෙයි, අපි ගොඩාක් ධෛර්යවත් වුණා! එදාම, මම ඒ පොත කියවලා ඉවර කළා. මේ අගනා ප්රකාශනයෙන් ප්‍රයෝජන ගන්නාවූ හැමදෙනාටම, ඒක වටිනා එකක් වෙනවාට කිසිම සැකයක් නැහැ. මෙම පොතේ කරුණු කෙළින් ඉදිරිපත් කිරීම සහ තත් කාලීන තොරතුරු අඩංගු වීම, මේ පරීක්ෂාකාරි කාලවල, ‘විශ්වාස වූ නුවණ ඇති දාසයා’ අපගේ අවශ්‍යතා ගැන අවධානයෙන් ඉඳලා, ‘නියම වේලාවට කෑම’ දෙන බවට තවත් සාක්ෂියක්.”—මතෙව් 24:45-47.
[7වන පිටුවේ පින්තූරය]
බාල මහලු දෙගොල්ලෝම දෙවියන්වහන්සේට ඕනෑ කරන්නේ කුමක්ද කියා දැනගැනීමට කැමතියි