පාඩම 40
යමක් නිවැරදිව පැවසීම
ක්‍රිස්තියානි භක්තිකයෙකු සත්‍යය නොවූ දෙයක් පැවසිය හැක්කේ කවර හේතු නිසාද? තමාගේ සවනට වැකුණු දෙයක් සැබෑද යන්න විමසා බැලීමට කාලය නොගෙන එය අසන්නට ලැබුණු ලෙසම කියනවා වන්නට පුළුවන. එසේ නැතහොත්, තොරතුරු ලැබූ මූලාශ්‍රයේ කරුණු වරදවා වටහාගෙන, යම් කාරණයකට තොරතුරු නොදැනුවත්වම අතින් දමා කිව හැක. සුළු කාරණාවලදී පවා දේවල් නිවැරදිව පැවසීමට අප වගබලා ගන්නවා නම්, අපගේ පණිවිඩයේ වඩාත් වැදගත් කාරණා සැබෑ බව නිසැකව විශ්වාස කිරීමට පදනමක් ඇති බව අපගේ සවන්දෙන්නන් දකිනු ඇත.
ක්ෂේත්‍ර සේවයෙහිදී. තවත් බොහෝ දේවල් උගත යුතු බව තේරුම්ගන්නා බොහෝදෙනෙකු ක්ෂේත්‍ර සේවයෙහි මුල් වතාවට සහභාගි වන්නට දක්වන්නේ යම් අන්දමක චකිතයකි. එනමුත්, මෙවැනි අයට සත්‍යය සම්බන්ධයෙන් ඉතා සරල දැනුමක් තිබුණද, වැඩි කල් නොගොස් ඉතා බලපෑමෙන් යුත් සාක්ෂියක් දිය හැකි බව ඔවුහු තේරුම්ගනිති. ඒ කෙසේද? එහි රහස සූදානම් වීමය.
එමනිසා ක්ෂේත්‍ර සේවය සඳහා පිටත්ව යෑමට කලින්, ඔබ සාකච්ඡා කිරීමට ආශාවෙන් සිටින විෂය ගැන යම් අවබෝධයක් ලබන්න. ඔබේ සවන්දෙන්නන් මොන වගේ ප්‍රශ්න ඉස්මතු කළ හැකිදැයි සිතා බලන්න. ඒවාට බයිබලය මත පදනම් වූ සෑහීම ගෙන දෙන පිළිතුරු සොයන්න. චකිතයකින් තොරව නිවැරදි පිළිතුරු දීමට මෙය හොඳ සූදානමක් වනු ඇත. ඔබ යන්නේ බයිබල් පාඩමක් පැවැත්වීම සඳහාද? පාඩමට නියමිත කොටස පරෙස්සමින් අධ්‍යයනය කරන්න. මුද්‍රිත ප්‍රශ්නවලට ඇති පිළිතුරු සඳහා තිබෙන ශුද්ධ ලියවිලිමය පදනම ඔබට අවබෝධ වී ඇද්දැයි සහතික වන්න.
එනමුත්, ඔබ අපේක්ෂා නොකළ ප්‍රශ්නයකට පිළිතුරක් නිවැසියෙකු හෝ රැකියා ස්ථානයේ කෙනෙකු බලාපොරොත්තු වේ නම් කුමක්ද? පිළිතුරට අවශ්‍ය වන සියලුම තොරතුරු ඔබ දන්නේ නැත්නම්, අනුමාන වශයෙන් පිළිතුරක් දීමේ පරීක්ෂාවට හසු නොවන්න. “ධර්මිෂ්ඨයාගේ සිත උත්තර දෙන පිණිස විමසා බලයි.” (හිතෝ. 15:28) ශුද්ධ ලියවිලි ඇසුරෙන් තර්ක කිරීම නමැති පොත හෝ “සාකච්ඡා කිරීම සඳහා බයිබල් විෂයන්” නමැති පොත් පිංචය ඔබට කියවිය හැකි භාෂාවකින් පළ වී ඇත්නම්, ඒවායින් උපකාරවත් යෝජනා ලබාගත හැකිය. ඒ දෙකින් එකක්වත් ඔබට නැත්නම්, ඉස්මතු කළ ප්රශ්නය සම්බන්ධයෙන් පර්යේෂණ කර නැවත පැමිණෙන බව පවසන්න. ප්රශ්නය ඉස්මතු කළ තැනැත්තා අවංක කෙනෙක් නම් නිවැරදි පිළිතුර ලැබෙන තෙක් ටිකක් බලා සිටීම ඔහුට ගැටලුවක් නොවනු ඇත. ඇත්තෙන්ම, එම අවස්ථාවේදී ඔබේ නිහතමානී ආකල්පය ඔහුගේ සිතට කාවැදිය හැක.
අද්දැකීම් ලත් ප්‍රචාරකයන් සමඟ ක්ෂේත්‍ර සේවයෙහි හවුල් වීමෙන් දෙවිගේ වචනය නිසි ලෙස හැසිරවීමට අවශ්‍ය ගුණාංග ප්‍රගුණ කරගත හැකිය. ඔවුන් භාවිත කරන ශුද්ධ ලියවිලි පද මොනවාද, ඒවා ඇසුරෙන් තර්කයක් ගොඩනඟන්නේ කෙසේද යන්න හොඳින් නිරීක්ෂණය කරන්න. ඔවුන් යම්කිසි යෝජනා ඉදිරිපත් කරනවා නම් හෝ ඔබව නිවැරදි කරනවා නම් එය නිහතමානීව භාරගන්න. අන් අයගේ උපකාරයෙන් ප්‍රයෝජන ලැබූ අයෙකි, ජ්වලිත ගෝලයෙකු වූ අපොල්ලොස්. ලූක් ඔහුව විස්තර කළේ “කතාවට දක්ෂ,” “ශුද්ධ ලියවිලි ගැන මනා දැනුමක්” ඇති, ‘ශුද්ධාත්මයෙන් බැබළුණු,’ “යේසුස් ගැන කාරණා නිවැරදිව පවසමින්ද උගන්වමින්ද” සිටි මනුෂ්‍යයෙකු ලෙසය. එනමුත් ඔහුගේ අවබෝධයෙහි යම් ඌනතාවක් තිබිණ. ප්‍රිසිලා සහ අකිලා මෙම ඌනතාව දුටු විට, “ඔහුව තමුන්ගේ ඇසුරට පිළිගෙන, ඔහුට දෙවිගේ මාර්ගය වඩා නිවැරදිව පහදා දුන්නෝය.”—ක්‍රියා 18:24-28, NW.
‘විශ්වාස වූ වචනය තදින් අල්ලාගෙන සිටීම.’ ක්‍රිස්තියානි සභාව පිහිටුවා ඇත්තේ ‘සත්‍යයට කුලුනක් හා ආධාරකයක්’ වීම සඳහාය. (1 තිමෝ. 3:15, NW) එමනිසා රැස්වීම්වලදී අප ඉදිරිපත් කරන කොටස්වලින් සභාව සතු මෙම කාර්යය සඳහා ගැඹුරු ගෞරවයක් පිළිබිඹු විය යුතුය. සත්‍යය තහවුරු වන ආකාරයකින් කටයුතු කිරීමට නම්, කතාවලදී අප භාවිත කිරීමට අදහස් කරන ශුද්ධ ලියවිලිවල නියම අරුත අවබෝධ කරගැනීම වැදගත්ය. එම බයිබල් පදවල අවට පාඨ සම්බන්ධය සහ ඒවා ලිවීමට හේතු සැලකිල්ලට ගන්න.
සභා රැස්වීමකදී ඔබ පවසන දේ වෙනත් අය විසින්ද භාවිත කළ හැකි වේ. ‘අප සියල්ලන්ම බොහෝ වර පැකිලෙන’ බව නම් ඇත්තය. (යාකො. 3:2) එනමුත් නිවැරදි දේ පැවසීමට දායක වන පුරුදු ඇති කරගැනීමෙන් ඔබ ප්‍රයෝජන නෙළාගනු ඇත. දිව්‍යාණ්ඩු සේවා පාසැලට ඇතුල් වන සහෝදරයන් බොහෝදෙනෙක් කාලයාගේ ඇවෑමෙන් වැඩිමහල්ලන් බවට පත් වන්නෝය. වැඩිමහල්ලෙකු වීමේ වගකීම භාර දී ඇති අයගෙන් “සාමාන්‍යයට වඩා ඉල්ලා සිටිනු ලැබේ.” (ලූක් 12:48, NW) වැඩිමහල්ලෙකු සභාවේ සාමාජිකයන්ට බරපතළ ගැටලු ඇති කළ හැකි වැරදිසහගත උපදෙසක් නොසැලකිලිමත්ව ඉදිරිපත් කරනවා නම්, එම වැඩිමහල්ලා දෙවිගේ උදහසට ලක් විය හැක. (මතෙ. 12:36, 37) එමනිසා, වැඩිමහල්ලෙකු ලෙස සුදුසුකම් ලබන සහෝදරයෙක්, “තම ඉගැන්වීමේ කලාව සම්බන්ධයෙන් විශ්වාස වූ වචනය තදින් අල්ලාගන්නා” කෙනෙකු ලෙස නම් දරා සිටිය යුතුය.—තීත. 1:9, NW.
ඔබ ඉදිරිපත් කරන නිගමනයන් ශුද්ධ ලියවිල්ලෙහි දක්නට ලැබෙන සත්‍යතා සියල්ල තුළින් එළි දකින “සුවදායී වචන රටාව” සමඟ එකඟ වන බවට වගබලා ගන්න. (2 තිමෝ. 1:13, NW) මෙය ඔබව බියගැන්විය යුතු දෙයක් නොවේ. ඇතැම්විට ඔබ තවමත් මුළු බයිබලය කියවා හමාර කර නොතිබෙනවා විය හැක. එසේ කිරීමට නිරතුරු උත්සාහයක් දරන්න. එනමුත් ඒ අතරතුරේදී, ඔබේ ඉගැන්වීමේදී භාවිත කිරීමට අදහස් කරන තොරතුරු විග්රහ කර බැලීමට මතු දැක්වෙන යෝජනා උපකාරවත් විය හැකි ආකාරය සැලකිල්ලට ගන්න.
මුලින්ම ඔබෙන් මෙසේ අසන්න. ‘මෙම තොරතුරු මා දැනටමත් බයිබලයෙන් ඉගෙනගෙන ඇති දේවලට එකඟද? එමගින් මගේ සවන්දෙන්නන් යෙහෝවාට ළං වේවිද? එසේ නැතහොත් ලෝකයේ ප්‍රඥාවට මුල් තැන දෙමින්, එහි මඟ පෙන්වීමට යටත් වන්නට සවන්දෙන්නන් තුළ පෙලඹීමක් ඇති කරයිද?’ යේසුස් පැවසුවේ, “ඔබගේ වචනය සත්‍යතාව” බවයි. (යොහ. 17:18; ද්වි. 13:1-5; 1 කොරි. 1:19-21) ඊළඟට, විශ්වාස වූ නුවණැති දාස පංතිය සපයා ඇති අධ්‍යයන ආධාරක හොඳින් පාවිච්චියට ගන්න. මෙම ආධාරක ශුද්ධ ලියවිලි පද නිවැරදිව තේරුම්ගැනීමට පමණක් නොව, ඒවා සමබරව සහ සාධාරණකමින් යුතුව අදාළ කිරීමටත් උපකාරවත් වේ. ඔබේ කතා “සුවදායී වචන රටාව” මත පදනම් කරගෙන, ශුද්ධ ලියවිලි පද පැහැදිලි කර අදාළ කිරීම සඳහා යෙහෝවා තොරතුරු සපයන මාධ්‍යය මත රඳා සිටිනවා නම් ඔබ පවසන දේ නිවැරදි වනු ඇත.
තොරතුරුවල නිරවද්‍යතාව පරීක්ෂා කිරීම. ඇතැම් කරුණු විස්තර කරන විට හා අදාළ කරන විට වත්මන් සිදුවීම්, උපුටා දැක්වීම් සහ අද්දැකීම් ආදියෙන් ප්‍රයෝජනවත් කාර්යයක් ඉටු විය හැක. එනමුත් ඒවා නිවැරදි බවට සහතික විය හැක්කේ කෙසේද? එක දෙයක් නම්, එවැනි තොරතුරු විශ්වාසවන්ත මූලාශ්‍රවලින් ලබාගැනීමය. අනික් අතට, ලබාගත් තොරතුරු යල් පැන නොගිය ඒවා බවට පරීක්ෂා කරබැලීමට අතපසු නොකරන්න. සංඛ්‍යා ලේඛන ඉක්මනින්ම යල් පනී. විද්‍යාත්මක දත්තයන් නව සොයාගැනීම් හේතුවෙන් විගස යටපත් වේ. අනික් අතට, ඉතිහාසය සහ පුරාණ භාෂා සම්බන්ධයෙන් මිනිසා එකතු කරගත් දැනුම තවත් පුළුල් වෙත්ම, කලින් දැන සිටි දේ මත ඉදිරිපත් කළ නිගමනයන් සංශෝධනය කිරීමට සිදු වේ. පුවත්පත්, රූපවාහිනිය, ගුවන්විදුලිය, විද්‍යුත් තැපැල් සේවය හෝ අන්තර්ජාලය ඇසුරෙන් රැගත් තොරතුරු භාවිත කිරීමට ඔබ අදහස් කරන්නේ නම් ඉතා පරෙස්සමින් එසේ කරන්න. හිතෝපදේශ 14:15 උපදෙස් දෙන්නේ මෙසේය. “නුවණ නැත්තා හැම වචනම විශ්වාස කරයි. එහෙත් බුද්ධිමත් මනුෂ්‍යයා තමාගේ පියවර හොඳට බලාගනියි.” එමනිසා ඔබෙන්ම මෙසේ අසන්න. ‘නිවැරදි තොරතුරු දැනුම් දීම සම්බන්ධයෙන් මෙම තොරතුරු මූලාශ්‍රයට හොඳ නමක් තිබෙනවාද? මෙහි තොරතුරු සැබෑ බව වෙනත් මාධ්‍යයකින් තහවුරු කරගත හැකිද?’ යම්කිසි තොරතුරක් සම්බන්ධයෙන් ඔබට යම් සැකයක් ඇත්නම් එය භාවිත නොකරන්න.
තොරතුරු මූලාශ්‍ර විශ්වාසවන්තද යන්න පරීක්ෂා කිරීමට අමතරව, එම තොරතුරු භාවිත කරන ආකාරයද හොඳින් සලකා බැලිය යුතුය. ඔබ උපුටනයන් සහ සංඛ්‍යා ලේඛන භාවිත කරන විට, එම මූලාශ්රවල අවස්ථා සම්බන්ධයෙන් පිට නොගොස් ඒවා භාවිත කිරීමට වගබලා ගත යුතුය. ඔබේ අදහස් අවධාරණය කිරීමට දරන උත්සාහයේදී, “මිනිසුන් කිහිපදෙනෙකු” යන්න “මිනිසුන් වැඩිදෙනා” බවට වෙනස් නොකිරීමටත්, “වැඩිදෙනා” “සියලුදෙනා” බවටත්, “ඇතැම් අවස්ථාවලදී,” “සෑම අවස්ථාවකදීම” බවටත් වෙනස් නොකිරීමට පරෙස්සම් විය යුතුය. කරුණු අතින් දමා යම් විස්තර ඉදිරිපත් කිරීමෙන් හෝ යම්කිසි දෙයක් විස්තර කිරීමට භාවිත කරන සංඛ්‍යා වැඩි කර දැක්වීමෙන් හෝ එහි ව්‍යාප්තිය හෝ බැරෑරුම්කම හා සම්බන්ධ වාර්තා අතිශයෝක්තියෙන් ඉදිරිපත් කිරීමෙන් ඔබ නිවැරදි දේ පවසනවාද යන්න සම්බන්ධයෙන් සැක මතු කරයි.
ඔබ නිතරම නිවැරදි දේ පවසන කෙනෙක් නම්, සත්‍යයට ගරු කරන පුද්ගලයෙකු ලෙස ඔබ හොඳ නමක් ලබනු ඇත. කණ්ඩායමක් ලෙස යෙහෝවාගේ සාක්ෂිකරුවන් සම්බන්ධයෙන් මෙය හොඳ සාක්ෂියක් වේ. වඩාත් වැදගත් ලෙස, ‘සැබෑකමේ දෙවි වූ යෙහෝවාට’ මෙමගින් ගෞරවයක් ගෙන දෙනු ඇත.—ගීතා. 31:5.