සාරවූ ගුරුකම් ඔබගේ ජීවන මාර්ගය කරගන්න
“භක්තිවන්තකම [දේව භක්තිය, NW] . . . හැම දේටම ප්රයෝජනවත්ය.”—1 තිමෝති 4:8.
1, 2. ජනයා තමන්ගේ ශරීර සෞඛ්‍යයට සැලකිල්ල දැක්වීමෙහිලා ඔවුන් කොතරම් දුරදිගයත්ද, එමෙන්ම එහි ප්‍රතිඵලය කුමක් වී තිබේද?
නිරෝගී ශරීර සෞඛ්‍යය ජීවිතයේ වඩාත්ම වටිනා හිමිකම්වලින් එකක් බව වැඩි දෙනෙක් එකහෙළා එකඟ වනු ඇත. තමන්ව කායික වශයෙන් නිරෝගීව තබා ගැනීමට ඔවුන් මහත් කාලයක් හා මුදලක් කැප කරන අතර අවශ්‍ය වන අවස්ථාවේදී සුදුසු වෛද්‍ය සත්කාරය තමන්ට ලැබෙන බවටද ඔවුහු වගබලා ගනිති. උදාහරණයක් වශයෙන්, එක්සත් ජනපදයේ, මෑත වර්ෂයක් සඳහා වාර්ෂික සෞඛ්යාරක්ෂක වියදම ඩොලර් බිලියන 900කට වඩා වැඩි විය. එය එම රටේ වෙසෙන සෑම පුරුෂයෙක්, ස්ත්‍රියක් හා දරුවෙක් සඳහාම ඩොලර් 3,000කට වැඩි මුදලක් වන අතර වෙනත් සංවර්ධිත රටවල්වල ඒකපුද්ගල වියදම පවතින්නේද බොහෝ දුරට ඊට සමාන මට්ටමකය.
2 කාලයේ, ශ්‍රමයේ හා මුදලේ සියලු වියදම්වල ප්‍රතිඵලය කුමක් වී තිබේද? ඉතිහාසයේ වෙනත් මොනයම් හෝ කාලයක තිබුණාට වඩා අතිශයින් දියුණු වෛද්‍ය පහසුකම් හා සැපයුම් සමස්තයක් වශයෙන් අදදින අපට තිබෙන බව කිසිවෙක් ප්‍රතික්ෂේප නොකරනු ඇත. එහෙත් මෙය, සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට නිරායාසයෙන්ම පරිවර්තනය වන්නේ නැත. ඇත්තවශයෙන්ම, එක්සත් ජනපදය සඳහා යෝජිත සෞඛ්යාරක්ෂක වැඩසටහනක් ගෙනහැර දක්වන කථාවක ජනාධිපතිවරයා හුවා දැක්වූයේ, “මෙම රටේ ප්‍රචණ්ඩකාරී ක්‍රියා වෙනුවෙන් වැය වන දරුණු වියදමට” අමතරව, වෙනත් කිසිම සංවර්ධිත රටකට වඩා එක්සත් ජනපදයේ වැසියන්ට “ඒඩ්ස්හි, දුම් පානයෙහි හා අධික මත්පැන් පානයෙහි, නවයොවුන් ගැබිණි භාවයෙහි, උපතේදී අඩු බරැති දරුවන්ගේ ඉහළ අනුපාතයක් ඇත” යනුවෙනි. ඔහුගේ නිගමනය? “ජන පිරිසක් හැටියට අපට යම් කලක සෞඛ්‍ය සම්පන්නව සිටින්නට ඕනෑ නම් අප අපගේ ගතිපැවතුම් වෙනස් කළ යුතුය.”—ගලාති 6:7, 8.
සෞඛ්‍ය සම්පන්න ජීවන මාර්ගයක්
3. පුරාතන ග්‍රීක් සංස්කෘතිය සැලකිල්ලට ගනිමින්, පාවුල් ඉදිරිපත් කළේ කිනම් උපදේශයද?
3 පළමුවන ශතවර්ෂයේ, ග්‍රීක් ජාතිකයෝ කායික අභිවෘද්ධිය, දේහ වර්ධනය හා මලල ක්‍රීඩා තරඟ සඳහා නම් දරා සිටියහ. මෙම පසුබිම අබියස ප්‍රේරිත පාවුල් යෞවන පුරුෂයෙකු වූ තිමෝතිට මෙසේ ලියන්නට ආනුභාවය ලැබීය: “ශාරීරික ව්‍යායාමයෙන් ප්‍රයෝජන ටිකය; නුමුත් භක්තිවන්තකමට [දේව භක්තියට, NW] දැන් තිබෙන ජීවිතය ගැනත් මතු ජීවිතය ගැනත් පොරොන්දු තිබෙන බැවින් එය හැම දේටම ප්රයෝජනවත්ය.” (1 තිමෝති 4:8) මෙසේ, පාවුල් හුවා දක්වමින් සිටියේ ජනයා අද දවසේ ඒත්තු ගනිමින් සිටින දෙයයි, එනම්, වෛද්‍ය හෝ කායික සැපයුම් සැබවින්ම සෞඛ්‍ය සම්පන්න ජීවන මාර්ගයක් සහතික නොකරන බවය. කෙසේවෙතත්, පාවුල් අපට සහතික වන්නේ අත්‍යවශ්‍යම දෙය ආත්මික සමෘද්ධිය හා දේව භක්තිය වර්ධනය කිරීම බවය.
4. දේව භක්තියේ ප්‍රයෝජන මොනවාද?
4 එවන් ක්‍රියාමාර්ගයක් “දැන් තිබෙන ජීවිතය” සඳහා ප්‍රයෝජන දායකවන්නේ එය අභක්තික ජනයා, නැතහොත් “දේවභක්තියේ වේසය [හෝ, බාහිර පෙනුමක්] දරන” අය තමන් මතට පමුණුවා ගන්නාවූ හානිදායක දේවල් සියල්ලට එරෙහිව ආරක්ෂාවක් සපයන නිසාය. (2 තිමෝති 3:5; හිතෝපදේශ 23:29, 30; ලූක් 15:11-16; 1 කොරින්ති 6:18; 1 තිමෝති 6:9, 10) තමන්ගේ ජීවිත හැඩ ගැස්වීමට දේව භක්තියට ඉඩ හරින්නන් තුළ දෙවියන්වහන්සේගේ නීති හා අවශ්‍යතාවන්ට සුවදායක ගෞරවයක් ඇති අතර, එය දෙවියන්වහන්සේගේ සාරවූ ගුරුකම් සිය ජීවන මාර්ගය කර ගැනීමට ඔවුන්ව පොලඹවන්නේය. මෙවන් ක්‍රියාමාර්ගයක් ඔවුන්ට ආත්මික හා කායික ශරීර සෞඛ්‍යය, තෘප්තිය හා සන්තෝෂය ගෙන දෙන්නේය. තවද ඔවුහු “සැබවින් ජීවනයවූ ඒ ජීවනය අල්ලාගන්නා පිණිස මතු කාලයට [අනාගතය සඳහා, NW] යහපත් අත්තිවාරමක්” දමා ගනිමින් සිටිති.”—1 තිමෝති 6:19.
5. තීතස්ට ලියන ලද සිය ලිපියේ දෙවන පරිච්ඡේදයේ පාවුල් සැපයුවේ කිනම් උපදේශද?
5 දෙවියන්වහන්සේගේ සාරවූ ගුරුකම්වලින් මඟ පෙන්වීම ලබන ජීවිතයක් දැනුත් අනාගතයේදීත් එවන් ආශීර්වාද ලබා දෙන බැවින්, අප විසින් දෙවියන්වහන්සේගේ සාරවූ ගුරුකම් අපගේ ජීවන මාර්ගය කර ගත හැකි ආකාරය, ප්‍රායෝගික වශයෙන්, අප දැන සිටිය යුතුය. තීතස්ට ලියූ සිය ලිපියේ ප්‍රේරිත පාවුල් එය සඳහා පිළිතුර සැපයීය. අප එම පොතේ දෙවන පරිච්ඡේදයට විශේෂ අවධානය යොමු කරනු ඇති අතර, එහිදී ඔහු තීතස්ට උපදෙස් දුන්නේ “සාරවූ ගුරුකමට හොබනා දේ” දිගටම කථා කරන හැටියටය. ස්ථීරවම බාල මහලු, ස්ත්‍රී පුරුෂ අප සියල්ලන්ට, එවන් ‘සාරවූ ගුරුකම්වලින්’ ප්‍රයෝජන ලබා ගත හැකිය.—තීතස් 1:4, 5; 2:1.
වයසින් වැඩි පුරුෂයන්ට උපදෙස්
6. ‘වයසින් වැඩි පුරුෂයන්’ සඳහා පාවුල් ඉදිරිපත් කළේ කිනම් උපදෙස්ද, තවද ඔහුගේ පැත්තෙන් එසේ කිරීම කාරුණික ක්‍රියාවක් වූයේ මන්ද?
6 මුලින්ම, සභාවේ වයසින් වැඩි පුරුෂයන්ට යම් උපදෙස් පාවුල්ට තිබුණි. කරුණාකර තීතස් 2:2 කියවන්න. කණ්ඩායමක් වශයෙන්, “මහලු [වයසින් වැඩි, NW] පුරුෂයන්,” ගෞරවයට පාත්‍ර වන අතර ඇදහිල්ලේ හා පක්ෂපාතකමේ ආදර්ශයන් කොට ගණන් ගනු ලබයි. (ලෙවී කථාව 19:32; හිතෝපදේශ 16:31) මෙනිසා, එතරම් බරපතළ නොවන කාරණා සම්බන්ධයෙන් වයසින් වැඩි පුරුෂයන්ට උපදෙස් හෝ යෝජනා ඉදිරිපත් කිරීමට අන්‍යයන් මැලි වන්නට පුළුවන. (යෝබ් 32:6, 7; 1 තිමෝති 5:1) එබැවින්, මුලින්ම වයසින් වැඩි පුරුෂයන්ව ඇමතීම පාවුල්ගේ පැත්තෙන් කාරුණික ක්‍රියාවක් වන අතර, පාවුල් මෙන්, අනුකරණය කිරීමට තමන් සුදුස්සන් බව තහවුරු කර ගැනීමට ඔවුන්ද පාවුල්ගේ වදන් හෘදයට ගෙන ක්‍රියාකිරීම යහපත් දෙයක් වනු ඇත.—1 කොරින්ති 11:1; පිලිප්පි 3:17.
7, 8. (අ) පුරුදු සම්බන්ධයෙන් “පමණ දැන” සිටීමට කුමක් අයත් වේද? (ආ) “සන්සුන්ව” සිටීම “සිහියෙන් යුක්තව” සිටීම සමඟ සමතුලනය කළ යුත්තේ මන්ද?
7 වයසින් වැඩි ක්‍රිස්තියානි පුරුෂයන්, පළමුකොට, පුරුදු සම්බන්ධයෙන් “පමණ දැන” සිටිය යුතුය. මුල් වචනය මත්පැන් බීමේ පුරුද්දට යොමු දැක්විය හැකි වුවත් (“සිහිසන් ඇති,” කින්ඩම් ඉන්ටර්ලීනියර්) පරෙස්සම් සහිත, ප්රත්යක්ෂ ඥානය ඇති, නැතහොත් සිහි ඇතුව සිටීමේ අර්ථයද එයට ඇත. (2 තිමෝති 4:5; 1 පේතෘස් 1:13) මෙසේ, මත්පැන් බීම හෝ වෙනත් කාරණා සම්බන්ධයෙන් හෝ, වයසින් වැඩි පුරුෂයන් පමණ ඉක්මවීම්වලට හෝ අන්තයන්ට නොගොස් පමණ දැන ක්‍රියා කළ යුතුය.
8 තවද, ඔවුන් “සන්සුන්ව” හා “සිහියෙන් යුක්තව” සිටිය යුතු වේ. සන්සුන්ව සිටීම, නැතහොත් සම්භාවනීයව, ගෞරවාන්විතව හා ගෞරවය ලබන්ට සුදුසුව සිටීම සාමාන්‍යයෙන් පැමිණෙන්නේ වයසත් සමඟය. කෙසේවෙතත්, ඇතැමෙක්, යෞවනයන්ගේ කඩිසර ක්‍රියාමාර්ග ගැන නුරුස්සමින්, පමණ ඉක්මවා සන්සුන් වීමට නැඹුරු විය හැකිය. (හිතෝපදේශ 20:29) “සන්සුන්” ස්වභාවය “සිහියෙන් යුක්ත” ස්වභාවය සමඟ සමතුලනය කර ඇත්තේ ඒ නිසාය. වයසින් වැඩි පුරුෂයන් වයසට සරිලන සන්සුන්භාවය පැවැත්විය යුතු වුවද, ඒත් සමඟම සිය හැඟීම් හා පෙලඹීම් පිළිබඳ පූර්ණ පාලනයක් ඇතිව සමබරතාව රැකගත යුතු වේ.
9. වයසින් වැඩි පුරුෂයන් ඇදහිල්ලේ හා ප්‍රේමයේ මෙන්ම විශේෂකොට විඳදරාගැනීමේ නිරෝගිමත්ව සිටිය යුත්තේ මන්ද?
9 අවසාන වශයෙන්, වයසින් වැඩි පුරුෂයන් “ඇදහිල්ලෙහිත් ප්‍රේමයෙහිත් ඉවසීමෙහිත් [විඳදරා ගැනීමෙහිත්, NW] හරිලෙස [නිරෝගිමත්ව, NW] සිටිය යුතු” වේ. පාවුල් සිය ලියවිලිවල බොහෝ වාර ගණනක්, ඇදහිල්ල හා ප්‍රේමය බලාපොරොත්තුව සමඟ එකට ලැයිස්තු ගත කළේය. (1 කොරින්ති 13:13; 1 තෙසලෝනික 1:3; 5:8) මෙහිදී ඔහු බලාපොරොත්තුව වෙනුවට විඳදරාගැනීම සඳහන් කළේය. ඇතැම්විට මෙයට හේතු වන්නට ඇත්තේ වයස්ගත වීමත් සමඟ වෑයම අත්හැරීමේ හැඟීම පහසුවෙන්ම මනසට ඇතුල් විය හැකි නිසාය. (දේශනාකාරයා 12:1) කෙසේවෙතත්, යේසුස්වහන්සේ හුවා දැක්වූ ආකාරයට, “අන්තිමය දක්වා ස්ථිරව [විඳදරාගෙන, NW] සිටින්නාම ගැළවෙන්නේය.” (මතෙව් 24:13) මීට අමතරව, වයසින් වැඩි පුරුෂයන් හුදෙක් තමන්ගේ වයස හෝ අද්දැකීම නිසා නොව ඔවුන්ගේ හොඳින් වැඩුණු ආත්මික ගුණාංග—එනම් ඇදහිල්ල, ප්‍රේමය හා විඳදරාගැනීම—නිසා ඉතිරි අයට යෝග්‍ය ආදර්ශ වෙති.
වයසින් වැඩි ස්ත්‍රීන් සඳහා
10. සභාවේ සිටින ‘වයසින් වැඩි ස්ත්‍රීන්’ සඳහා පාවුල් ඉදිරිපත් කරන්නේ කිනම් උපදෙස්ද?
10 පාවුල් ඊළඟට සිය අවධානය යොමු කළේ සභාවේ සිටින වයසින් වැඩි ස්ත්‍රීන් වෙතටය. කරුණාකර තීතස් 2:3 කියවන්න. “මහලු [වයසින් වැඩි, NW] ස්ත්‍රීවරු” වනාහි වයසින් වැඩි පුරුෂයන්ගේ භාර්යාවන් මෙන්ම වෙනත් සාමාජිකයන්ගේ මව්වරුන් හා ආච්චිලාද ඇතුළුව, සභාවේ සිටින ස්ත්‍රීන් අතර ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ වෙති. ඒ හේතුවෙන්, යහපත හෝ නපුර සඳහා සැලකිය යුතු බලපෑමක් ඔවුන්ට කළ හැකිය. “එසේම” යන වචනයෙන් පාවුල් සිය වදන් හඳුන්වා දුන්නේ ඒ නිසාය. ඉන් අදහස් කරන ලද්දේ “මහලු [වයසින් වැඩි, NW] ස්ත්‍රීවරුන්” සභාවේ සිය කාර්ය භාරය ඉටු කිරීම පිණිස ඇතැම් වගකීම්වලට එකඟව සිය ජීවිතය ගත කළ යුතු බවය.
11. ගෞරවනීය චර්යාව යනු කුමක්ද?
11 පළමුකොට, “මහලු ස්ත්‍රීවරුන් ශුද්ධකමට [ගෞරවනීයබවට, NW] ඔබිනලෙස” හැසිරිය යුතු යයි පාවුල් පැවසීය. හැසිරීමෙන් හා බාහිර පෙනුමෙන් ප්‍රකාශ වන ආකාරයට, “චර්යාව” කෙනෙකුගේ ඇතුළාන්ත ආකල්පයේ හා පෞද්ගලිකත්වයේ බාහිර විදහා පෙන්වීමකි. (මතෙව් 12:34, 35) එසේ නම්, වයසින් වැඩි ක්‍රිස්තියානි ස්ත්‍රියකගේ ආකල්පය හා පෞද්ගලිකත්වය කුමක් විය යුතුද? එක් වචනයකින් කියනවා නම්, ‘ගෞරවනීය භාවය’ තිබිය යුතුය. මෙය පරිවර්තනය කර ඇත්තේ “පුද්ගලයන් ක්‍රියාවන් තුළ, නැතහොත් දෙවියන්වහන්සේට කැප කළ දේවල් තුළ ඔබින දෙය යන අදහස දෙන ග්‍රීක් වචනයකිනි.” ඔවුන්ට අන්‍යයන් කෙරෙහි, විශේෂයෙන්ම සභාවේ යෞවන ස්ත්‍රීන් කෙරෙහි තිබෙන බලපෑම ගැන කල්පනා කරන විට මෙය ඇත්තෙන්ම උචිත උපදේශයක් වන්නේය.—1 තිමෝති 2:9, 10.
12. සියලු දෙනම වැළකී සිටිය යුත්තේ දිවේ කිනම් අනිසි භාවිතයෙන්ද?
12 “කේලාම් නොකියන [අපහාසකාරී නොවන, NW], බොහෝ මුද්‍රිකපානයට නොවහල්වූ” යනුවෙන් ඊළඟට ඉදිරිපත් වන්නේ නිෂේධාත්මක කාරණා දෙකකි. මෙම කරුණු දෙක එකට ගළපා තිබීම සිත්ගන්නාසුලුය. “මුද්‍රිකපානය එකම බීම වර්ගය ලෙස තිබූ, පුරාතන කාලවල, මහලු ස්ත්‍රීන් සිය අසල්වැසියන්ගේ චරිත ඝාතනය කළේ සුළු පරිමාණයෙන්වූ සිය මුද්‍රිකපාන සාදයන්හිදී” යයි මහාචාර්ය ඊ. එෆ්. ස්කොට් පවසයි. සාමාන්‍යයෙන් ස්ත්‍රීන් පුරුෂයන්ට වඩා ජනයා ගැන සැලකිල්ලක් දක්වන අතර මෙය ප්‍රශංසා කටයුතු දෙයකි. එහෙත්, විශේෂයෙන්ම මත්පැන් තොල ගා ගත් විට, මෙම සැලකිලිමත් බව ඕපාදූප මෙන්ම අපහාසය බවට පවා පහත වැටෙන්නට පුළුවන. (හිතෝපදේශ 23:33) ඇත්ත වශයෙන්ම, සාරවූ ජීවිත මාර්ගයක් ලුහුබඳින සියල්ලන්, පුරුෂයන් මෙන්ම ස්ත්‍රීන්, මෙම බොරුවළ ගැන විමසිල්ලෙන් සිටීම වැදගත් වේ.
13. වයසින් වැඩි ස්ත්රීන්ට ගුරුවරුන් විය හැක්කේ කිනම් ආකාරවලින්ද?
13 තමන්ට ඇති කාලය ඵලදායී ලෙස පාවිච්චි කිරීමේ මාර්ගයක් හැටියට, මහලු ස්ත්‍රීවරුන්ට දිරිගන්වා ඇත්තේ “යහපත් දේ උගන්වන්නාවූ තැනැත්තියන්ව” සිටින හැටියටය. වෙනත් තැනක, පාවුල් පැහැදිලිව උපදෙස් දුන්නේ ස්ත්‍රීන් සභාවේ ගුරුවරුන්ව නොසිටිය යුතු බවය. (1 කොරින්ති 14:34: 1 තිමෝති 2:12) කෙසේවෙතත්, මෙය, තමන්ගේ නිවසෙහි මෙන්ම ප්‍රසිද්ධියේ දෙවියන්වහන්සේ පිළිබඳ අනර්ඝ දැනුම බෙදා දීමෙන් ඔවුන්ව වළක්වන්නට යන්නේ නැත. (2 තිමෝති 1:5; 3:14, 15) ඊළඟ වගන්ති පෙන්වන පරිදි, සභාවේ යෞවන ස්ත්රීන්ට ක්‍රිස්තියානි ආදර්ශයන් වීමෙන්ද ඔවුන්ට මහත් යහපතක් ඉටු කළ හැකිය.
යෞවන ස්ත්‍රීන් සඳහා
14. සිය වගකීම්වලට සැලකිල්ල දැක්වීමෙහිලා යෞවන ක්‍රිස්තියානි ස්ත්රීන්ට සමබරතාව පෙන්විය හැක්කේ කෙසේද?
14 මහලු ස්ත්‍රීවරුන්ට “යහපත් දේ උගන්වන්නාවූ තැනැත්තියන්” වෙන්නට දිරිගැන්වූ කල්හි, පාවුල් විශේෂාකාරයෙන් යෞවන ස්ත්‍රීන් ගැන සඳහන් කළේය. කරුණාකර තීතස් 2:4, 5 කියවන්න. මෙම උපදෙස්වලින් වැඩි ප්‍රමාණයක් ගේදොර කටයුතු හා සම්බන්ධව තිබුණද, යෞවන ක්‍රිස්තියානි ස්ත්‍රීවරුන් ද්‍රව්‍යමය කාර්යයන්ට තමන්ගේ ජීවිතය පාලනය කිරීමට ඉඩ හරිමින් සීමාව ඉක්මවා කටයුතු නොකළ යුතුය. ඒ වෙනුවට, ඔවුන් “සිහියෙන් යුක්තව, පිරිසිදුව, . . . කරුණාවන්තව [යහපත්ව, NW]” සිටිය යුතු අතර, ඒ සියල්ලට ඉහළින්, “දෙවියන්වහන්සේගේ වචනයට අපහාස නොපැමිණෙන පිණිස” ක්‍රිස්තියානි මූලිකත්වය පිළිබඳ විධිවිධානයට අනුබල දීමට සූදානමින් සිටිය යුතුය.
15. සභාවේ යෞවන ස්ත්‍රීන් බොහෝ දෙනෙකු ප්‍රශංසාවට ලක් විය යුත්තේ මන්ද?
15 අදදින පවුලේ තත්ත්වය පාවුල්ගේ කාලයේ තිබූ එහි තත්ත්වයට වඩා සැලකිය යුතු ලෙසින් වෙනස් වී ඇත. පවුල් බොහොමයක් ඇදහිල්ල සම්බන්ධයෙන් භේද වී සිටින අතර අනෙක් ඒවාට ඇත්තේ එක් මව්පියෙකු පමණකි. සම්ප්‍රදායික පවුල් තුළ පවා, භාර්යාව නැතහොත් මව පූර්ණ-කාලීන ගෘහිණියක්ව සිටීම එන්න එන්නම විරල දෙයක් බවට පත් වෙමින් තිබේ. මේ සියල්ලක්ම යෞවන ක්‍රිස්තියානි ස්ත්‍රීන් මත අතිමහත් පීඩනයක් හා වගකීමක් පවරන නමුත්, මෙය ඔවුන්ව සිය ශුද්ධ ලියවිලිමය බැඳියාවන්ගෙන් නිදහස් කරන්නට යන්නේ නැත. එබැවින්, ඇදහිලිවන්ත යෞවන ස්ත්‍රීන් බොහෝ දෙනෙකු තමන්ගේ යුතුකම් බොහොමය සමබරව කිරීමට වෙහෙසා වැඩ කරමින් තවදුරටත් රාජ්‍යය කාරණා පළමු තැනට දැමීම, දක්නට ලැබීම මහත් සතුටකි, ඇරත් ඇතැමෙක් උපකාරික හෝ ස්ථාවර පුරෝගාමි සේවිකාවන් හැටියට පූර්ණ-කාලීන සේවාවේ පවා යෙදෙති. (මතෙව් 6:33) ඔවුන් සැබවින්ම ප්‍රශංසාවට ලක්විය යුතුය!
යෞවන පුරුෂයන් සඳහා
16. යෞවන පුරුෂයන් සඳහා පාවුල්ට තිබුණු උපදෙස් මොනවාද, එමෙන්ම ඒවා කාලෝචිත වන්නේ මන්ද?
16 පාවුල් ඉන් අනතුරුව තීතස්ද ඇතුළුව යෞවනයන්ව ඇමතීය. කරුණාකර තීතස් 2:6-8 කියවන්න. අද දවසේ සිටින යෞවනයන් බොහෝ දෙනෙකුගේ වගකීමෙන් තොර හා විනාශකාරී මාර්ග—එනම් දුම්පානය, මත්ද්‍රව්‍ය හා මත්පැන් අනිසි භාවිතය, අයථා ලිංගික සම්බන්ධකම් මෙන්ම, ප්‍රචණ්ඩකාරී ක්‍රීඩා, නීච සංගීතය හා විනෝදාස්වාද වැනි, වෙනත් ලෞකික ලුහුබැඳිම්—ගැන කල්පනා කිරීමේදී, සාරවූ හා තෘප්තිමත් ජීවිත මාර්ගයක් අනුගමනය කිරීමට වුවමනා ක්‍රිස්තියානි යෞවනයන් සඳහා මෙය ඇත්තෙන්ම කාලෝචිත අවවාද වන්නේය.
17. යෞවනයන්ට “සිහියෙන් යුක්තව” සිටින්නටත්, “යහපත් ක්‍රියාවල ආදර්ශයක්” වන්නටත් හැක්කේ කෙසේද?
17 ලෝකයේ යෞවනයන්ට පටහැනිව, යෞවන ක්‍රිස්තියානි පුරුෂයෙක් “සිහියෙන් යුක්තව” හා “යහපත් ක්‍රියාවල ආදර්ශයක්” හැටියට සිටිය යුතුය. සිහි ඇති හා මේරූ මනසක් අත්කර ගන්නේ නිකම්ම පාඩම් කරන අය විසින් නොව, එහෙත් “යහපත සහ අයහපත විමසාබලන්ට ව්‍යවහාරයෙන් පුරුදු පුහුණුවූ ඉන්ද්රියයන් [ප්රත්යක්ෂ ඥානයේ බලයන්, NW] ඇති” අය විසින් යයි පාවුල් පැහැදිලි කළේය. (හෙබ්‍රෙව් 5:14) යෞවනයන් සිය යොවුන් ශක්තිය ආත්මාර්ථකාමී ලුහුබැඳීම්වල නාස්ති නොකර, ක්‍රිස්තියානි සභාවේ බොහෝ යුතුකම්වලට පූර්ණ ලෙස සහයෝගය දක්වන පිණිස ස්වෙච්ඡාවෙන් සිය කාලය හා ශ්‍රමය කැප කරනු දැකීම කොතරම් විස්මයජනකද! එසේ කිරීමෙන්, ඔවුන්ට, තීතස් මෙන්, සභාව තුළ “යහපත් ක්‍රියාවල” ආදර්ශයන් බවට පත්වන්නට පුළුවන.—1 තිමෝති 4:12.
18. ගුරුකමෙන් පිරිසිදුව සිටීම, ක්‍රියාවෙන් සන්සුන්ව සිටීම හා කථාවෙන් සාරව සිටීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
18 යෞවනයන්ට මතක් කර ඇත්තේ තමන් “කිසි නපුරක් කියන්ට නැතුව, . . . [ඔවුන්ගේ] ගුරුකමෙන් පිරිසිදුකමත් [දූෂ්‍ය නොවූ බවත්, NW] සන්සුන්කමත් නිවැරදිවූ සාරවූ කථාවත්” පෙන්විය යුතු බවය. ‘දූෂ්‍ය නොවූ’ ගුරුකම ස්ථීරව පදනම් විය යුත්තේ දේව වචනය මතය: එබැවින් යෞවනයන් බයිබලයේ අනලස ශිෂ්‍යයන් විය යුතුය. වයසින් වැඩි පුරුෂයන් හා සමානව, යෞවනයන්ද සන්සුන්ව සිටිය යුතුය. දේව වචනයේ සේවකයෙකුව සිටීම බරපතළ වගකීමක් බවත්, එනිසා ඔවුන් “ශුභාරංචියට ඔබිනලෙසම හැසිරිය” යුතු බවත් ඔවුන් පිළිගත යුතුය. (පිලිප්පි 1:27) ඒ හා සමානව ඔවුන්ගේ කථාව ‘සාරව’ තිබිය යුතු අතර, ඒවා විරුද්ධකාරයන්හට චෝදනා කරනු සඳහා හේතුවක් ලබා නොදෙනු පිණිස “කිසි නපුරක් කියන්ට” නොහැකි තත්ත්වයකද තිබිය යුතුය.—2 කොරින්ති 6:3; 1 පේතෘස් 2:12, 15.
වහලුන් හා දාසයන් සඳහා
19, 20. අන්‍යයන්ගේ සේවකයන්ව සිටින අයහට ‘අපගේ ගැළවුම්කාරයාණන් වන දෙවියන්වහන්සේගේ ධර්මය අලංකාර’ කළ හැක්කේ කෙසේද?
19 අවසානයේ, පාවුල් අන් අය යටතේ සේවය කරන්නාවූ අය වෙතට යොමු විය. කරුණාකර තීතස් 2:9, 10 කියවන්න. අද දවසේ අපෙන් වැඩි දෙනෙකු වහලුන් හෝ දාසයන් හැටියට නොසිටියත්, බොහෝ දෙනෙකු සිටින්නේ අන්‍යයන්ට සේවය පිරිනමන්නාවූ සේවකයන් හා වැඩකරුවන් හැටියටය. මෙසේ, පාවුල් විසින් එකිනෙකට සඳහන් කළ ප්‍රතිපත්ති අදදිනත් ඒ හා සමානව අදාළ වේ.
20 “සියලු කාරණාවලදී . . . තමුන්ගේ ස්වාමිවරුන්ට යටත්ව” සිටීම යන්නෙන් අදහස් කරන්නේ ක්‍රිස්තියානි සේවකයන් සිය සේව්‍යයන්ට මෙන්ම පරිපාලකයන්ටද අව්‍යාජ ගෞරවය පෙන්විය යුතු බවය. (කොලොස්සි 3:22) සිය සේව්‍යයාට දිය යුතු යමක් හැටියට පූර්ණ දිනයක සේවයක් පිරිනමමින්, ඔවුන් අවංක සේවකයන්ව සිටීමේ කීර්තිය ඇතුවද සිටිය යුතුය. එමෙන්ම එහි සේවය කරන අන්‍යයන්ගේ හැසිරීම කෙබඳු එකක් වුවද ඔවුන් සිය සේවා ස්ථානයේ ක්‍රිස්තියානි හැසිරීමේ උසස් ප්‍රමිති පැවැත්විය යුතුය. මේ සියල්ලම කළ යුත්තේ “ගැළවුම්කාරයාණන් වන දෙවියන්වහන්සේගේ ධර්මය [ඉගැන්වීම, NW] සියලු කාරණාවලදී අලංකාර කරන” පිණිසය. තමන් සමඟ එකට වැඩ කරන සාක්ෂිකරුවන්ගේ නැතහොත් තමන්ගේ සාක්ෂිකාර සේවකයන්ගේ කදිම හැසිරීම හේතුවෙන් අවංක නිරීක්ෂකයන් සත්‍යයට ප්‍රතිචාරය දක්වන විට එහි සන්තෝෂදායක ප්‍රතිඵල ගැන අප කොතරම් වාර ගණනාවක් අසනවාද! මෙය වනාහි තමන්ගේ සේවා ස්ථානයේ පවා යෙහෝවඃවහන්සේගේ සාරවූ ගුරුකම් අනුගමනය කරන්නාවූ අයට උන්වහන්සේ දානය කරන විපාකයක් වන්නේය.—එපීස 6:7, 8.
පවිත්‍ර කරන ලද සෙනඟක්
21. යෙහෝවඃවහන්සේ සාරවූ ගුරුකම් සපයා ඇත්තේ මන්ද, එමෙන්ම අප ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේද?
21 පාවුල් විස්තර කළ ගුරුකම් වනාහි අපට කැමති ආකාරයකට අදහස් ලබා ගත හැකි හුදෙක් යම් ආචාර ධර්මීය ප්‍රතිපත්ති හෝ සාරධර්මීය අදහස් මාලාවක් නොවේය. පාවුල් වැඩිදුරටත් එහි අරමුණද පැහැදිලි කරන්නට යෙදුණි. කරුණාකර තීතස් 2:11, 12 කියවන්න. අප සඳහා වූ සිය ප්‍රේමයෙන් හා ලබන්ට නොවටිනා තරම් වූ කරුණාවෙන්, යෙහෝවඃ දෙවියන්වහන්සේ එම සාරවූ ගුරුකම් සපයා ඇත්තේ මෙම අර්බුදකාරි මෙන්ම අන්තරා සහිත කාලවල අපට අරමුණු සහිත මෙන්ම තෘප්තිකර ජීවිතයක් ගත කිරීමට ඉගෙන ගත හැකිවන පිණිසය. එම සාරවූ ගුරුකම් පිළිගෙන ඒවා ඔබගේ ජීවන මාර්ගය කර ගැනීමට ඔබ කැමැත්තෙහිද? එසේ කිරීම ඔබගේ ගැළවීම අදහස් කරනු ඇත.
22, 23. සාරවූ ගුරුකම් අපගේ ජීවන මාර්ගය කර ගැනීමෙන් අපට නෙලා ගත හැක්කේ කිනම් ආශීර්වාදයන්ද?
22 ඊටත් වඩා, සාරවූ ගුරුකම් අපගේ ජීවන මාර්ගය කර ගැනීම දැන් අපට අද්විතීය වරප්‍රසාදයක් මෙන්ම අනාගතය සඳහා සන්තෝෂවත් බලාපොරොත්තුවක්ද ලබා දෙන්නේය. කරුණාකර තීතස් 2:13, 14 කියවන්න. ඇත්තවශයෙන්ම, සාරවූ ගුරුකම අපගේ ජීවන මාර්ගය කර ගැනීම පවිත්‍ර කරන ලද සෙනඟක් හැටියට දූෂ්යවූද අභාවයට පත්වන්නාවූද ලෝකයෙන් අපව වෙන්කර තබන්නේය. පාවුල්ගේ වදන් හරියටම සීනයිහි ඉශ්රායෙල් පුත්‍රයන්ට මෝසෙස්ගේ සිහිගැන්වීම්වලට සමාන්තරය: “ස්වාමීන්වහන්සේද [යෙහෝවඃවහන්සේද, NW] . . . තමන් මැවූ සියලු ජාතීන්ට වඩා කීර්තියෙන්ද නාමයෙන්ද ගෞරවයෙන්ද නුඹ උසස්කරන්ටත්, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] කී ලෙස නුඹ තමන්වහන්සේට ශුද්ධවූ සෙනඟක් කරගන්ටත් අද නුඹට පොරොන්දුවූසේක.”—ද්විතීය කථාව 26:18, 19.
23 සාරවූ ගුරුකම් අපගේ ජීවන මාර්ගය කර ගැනීමෙන් යෙහෝවඃවහන්සේගේ පවිත්‍ර කරන ලද සෙනඟක්ව සිටීමේ වරප්‍රසාදය අපි සැමදාටම රක්ෂා කර ගනිමු! යෙහෝවඃවහන්සේ අදදින කරමින් සිටින ශ්‍රේෂ්ඨ වැඩයෙහි උන්වහන්සේ විසින් පාවිච්චි කරනු ලැබීමට පවිත්‍ර හා උචිත තත්ත්වයක සිටීමෙන්, ඕනෑම ආකාරයක අභක්තිකකමත්, ලෞකික තෘෂ්ණාවත් ප්‍රතික්ෂේප කිරීමට සාවධානව සිටින්න.—කොලොස්සි 1:10.
ඔබට මතකද?
◻ දේව භක්තිය හැම දේටම ප්‍රයෝජනවත්ව තිබෙන්නේ මන්ද?
◻ වයසින් වැඩි ක්‍රිස්තියානි පුරුෂයන්ටත් ස්ත්‍රීන්ටත් සාරවූ ගුරුකම් ජීවන මාර්ගයක් හැටියට ලුහුබැඳිය හැක්කේ කෙසේද?
◻ සභාවේ සිටින යෞවන පුරුෂයන් හා ස්ත්‍රීන් සඳහා පාවුල් ඉදිරිපත් කළ සාරවූ ගුරුකම් මොනවාද?
◻ සාරවූ ගුරුකම් අපගේ ජීවන මාර්ගය කර ගන්නේ නම් අපට ලැබිය හැකි වරප්‍රසාදය හා ආශීර්වාදය කුමක්ද?
[18වන පිටුවේ පින්තූර]
අදදින බොහෝ දෙනෙක් තීතස් 2:2-4හි ඇති උපදෙස් අදාළ කර ගනිමින් සිටිත්