ක්‍රිස්තියානීන් සහ මනුෂ්‍යවර්ගයාගෙන් සමන්විත ලෝකය
“පිටත සිටින්නන් කෙරෙහි ප්‍රඥාවෙන් ක්‍රියාකරන්න.”—කොලොස්සි 4:5.
1. යේසු තම අනුගාමිකයන් හා ලෝකය සම්බන්ධයෙන් පැවසුවේ මොනවාද?
යේසු තම ස්වර්ගික පියාට කළ යාච්ඤාවකදී, තම අනුගාමිකයන් සම්බන්ධයෙන් මෙසේ පැවසුවා: “මා ලෝකයාට අයිති නැති ලෙසම ඔවුනුත් ලෝකයාට අයිති නැති නිසා ලෝකයා ඔවුන්ට වෛරවුණෝය.” අනතුරුව ඔහු තවදුරටත් මෙසේ පැවසුවා: “ඔබ ලෝකයෙන් ඔවුන් අහක්කරන පිණිස නොව, නපුරාගෙන් ඔවුන් ආරක්ෂාකරන පිණිස යාච්ඤාකරමි.” (යොහන් 17:14, 15) ක්‍රිස්තියානීන් ශාරීරිකව ලෝකයෙන් වෙන් වී සිටිය යුතු බව—උදාහරණයක් හැටියට, පූජකාරාමයකට වී හුදකලාව ජීවත් වීම—එයින් අදහස් කළේ නැහැ. ඒ වෙනුවට, “පොළොවේ සීමාව දක්වා” තමාගේ සාක්ෂිකරුවන් වීම සඳහා ක්‍රිස්තුස් ‘ඔවුන්ව ලෝකයට යැව්වා.’ (යොහන් 17:18; ක්‍රියා 1:8) ඒත්, “මේ ලෝකයේ අධිපතියා” වන සාතන්, ක්‍රිස්තුස්ගේ නාමය දැරීම හේතුවෙන් ඔවුන්ට එරෙහිව එදිරිවාදිකම් අවුස්සන නිසා, ඔවුන්ව ආරක්ෂා කරන්න කියා ඔහු දෙවිගෙන් ඉල්ලා සිටියා.—යොහන් 12:31; මතෙව් 24:9.
2. (අ) “ලෝකය” යන වචනය බයිබලය භාවිත කරන්නේ කොහොමද? (ආ) යෙහෝවා ලෝකය කෙරෙහි කිනම් සමබර ආකල්පයක් විදහාපෙන්වනවාද?
2 බයිබලයේ “ලෝකය” (ග්‍රීක්, කොʹස්මොස්) යන වචනයෙන් බොහෝවිට ඇඟවෙන්නේ, “නපුරාගේ බලය යටතේ පවතින” අධර්මිෂ්ඨ මිනිස් සමාජයයි. (1 යොහන් 5:19, NW) ක්‍රිස්තියානීන් යෙහෝවාගේ ප්‍රමිතිවලට අනුකූලව ජීවත් වන නිසාත්, දේවරාජ්‍යයේ ශුභාරංචිය ලෝකයට දේශනා කිරීමේ ආඥාවට අවනත වෙන නිසාත්, සමහර අවස්ථාවලදී ලෝකය සහ ඔවුන් අතර හිතකර නොවූ සබඳතාවක් පැවත තිබෙනවා. (2 තිමෝති 3:12; 1 යොහන් 3:1, 13) කොහොම වුණත්, පොදුවේ මිනිස් පවුලට යොමු දැක්වීමේදීද කොʹස්මොස් යන වචනය ශුද්ධ ලියවිල්ලේ භාවිත කර තිබෙනවා. මේ අර්ථයෙන් ලෝකය ගැන කතා කිරීමේදී යේසු මෙසේ පැවසුවා: ‘දෙවි තමන්ගේ ඒකජාතක පුත්‍රයා දෙන තරම් ලෝකයාට ප්‍රේම කළේය. එසේ කළේ ඔහු කෙරෙහි අදහාගන්න සෑමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය. මක්නිසාද දෙවි පුත්‍රයාව ලෝකයට එවුවේ ලෝකයා විනිශ්චය කරන පිණිස නොව ලෝකයා ඔහු කරණකොටගෙන ගළවනු ලබන පිණිසය.’ (යොහන් 3:16, 17; 2 කොරින්ති 5:19; 1 යොහන් 4:14) මෙලෙස, යෙහෝවා සාතන්ගේ දුෂ්ට පිළිවෙළේ ගතිලක්ෂණ පිළිබිඹු කරන දේවලට වෛර කළත්, “පසුතැවිලිවෙන” සෑම කෙනෙකුටම ගැළවීම ලබාගත හැකි වන පරිදි තම පුත්‍රයාව එවීමෙන් මනුෂ්‍යවර්ගයාට තිබෙන තම ප්‍රේමය පෙන්නුවා. (2 පේතෘස් 3:9; හිතෝපදේශ 6:16-19) ලෝකය කෙරෙහි යෙහෝවාගේ සමබර ආකල්පය ඔහුගේ නමස්කාරකයන්ට මඟ පෙන්වීමක් විය යුතුයි.
යේසුගේ ආදර්ශය
3, 4. (අ) පාලනතන්ත්‍රය සම්බන්ධයෙන් යේසු තෝරාගත්තේ කුමන ස්ථාවරයක සිටීමටද? (ආ) යේසු මනුෂ්‍යවර්ගයාගෙන් සමන්විත ලෝකය සැලකුවේ කොහොමද?
3 තම මරණයට මොහොතකට කලින්, යේසු පොන්තියුස් පිලාත්ට මෙසේ පැවසුවා: “මාගේ රාජ්‍යය මේ ලෝකය සම්බන්ධව නොවේ.” (යොහන් 18:36) මේ වචනවලට එකඟව කටයුතු කරමින් යේසු මීට කලින් අවස්ථාවකදී මේ ලෝකයේ රාජ්‍ය බලය තමාට පිරිනැමීම සඳහා කළ සාතන්ගේ ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කර තිබූ අතර, තමාව රජෙකු කොට පත් කරගැනීම සඳහා යුදෙව්වන්ට ඉඩහැරීමට අකමැති වී තිබුණා. (ලූක් 4:5-8; යොහන් 6:14, 15) ඒ වුණත් යේසු මනුෂ්‍යවර්ගයාගෙන් සමන්විත ලෝකයට ඉමහත් සේ ප්‍රේම කළා. මේ පිළිබඳ ආදර්ශයක් ප්‍රේරිත මතෙව් මෙසේ වාර්තා කළා: “[ඔහු] සමූහයන් දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටිය බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පා[කළේය].” ප්‍රේමයෙන් පෙලඹී, ඔහු ඔවුන්ගේ නගරවල හා ගම්වල දේශනා කළා. ඔහු ඔවුන්ට උගන්වා ඔවුන්ගේ රෝග සුව කළා. (මතෙව් 9:36) ඔහුගෙන් ඉගෙනගැනීමට පැමිණ සිටි අයගේ ශාරීරික අවශ්‍යතා ගැනද ඔහු සැලකිලිමත් වුණා. අපිට මෙසේ කියවීමට තිබෙනවා: “[යේසු] ගෝලයන් තමන් වෙතට කැඳවා [කියනුයේ]: මම සමූහයා කෙරෙහි අනුකම්පා ඇත්තෙමි, මක්නිසාද ඔව්හු දැනට තුන් දවසක් මා ළඟ සිටිති; ඔවුන්ට කන්ට කිසිත් නැත. ඔවුන් බඩගින්නෙන් හරින්ට නොකැමැත්තෙමි, හැරියෙම් නම් මාර්ගයේදී ඔවුන් ක්ලාන්තවෙන්ට පුළුවනැයි [කීවේය].” (මතෙව් 15:32) මොනතරම් ප්‍රේමනීය සැලකිල්ලක්ද!
4 යුදෙව්වරු සමාරීයයන්ට එරෙහිව දැඩි ලෙස අගතිසහගත අදහස් ඇතුව සිටියත්, යේසු සමාරීය ස්ත්‍රියකට දිගු වේලාවක් කතා කළ අතර, සමාරීයයන්ගේ නගරයක සම්පූර්ණ සාක්ෂියක් දෙමින් දින දෙකක් ගත කළා. (යොහන් 4:5-42) දෙවි ඔහුව “ඉශ්රායෙල් වංශයේ නැතිවුණු බැටළුවන්” වෙතට ඒවා තිබුණත්, ඔහු ඇතැම් අවස්ථාවලදී යුදෙව් නොවන අයගේ ඇදහිල්ලට ප්‍රතිචාරය දැක්වුවා. (මතෙව් 8:5-13; 15:21-28) ඔව්, ‘ලෝකයට සම්බන්ධ නොවී සිටින’ අතරම මනුෂ්‍යවර්ගයාගෙන් සමන්විත ලෝකය සඳහා, එනම් මිනිසුන් සඳහා ප්‍රේමය පෙන්වීම කළ හැකි දෙයක් බව යේසු නිරූපණය කළා. අපිත් ඒ හා සමානව අපි ජීවත් වන ප්‍රදේශයේ, රැකියා කරන ස්ථානයේ හෝ භාණ්ඩ මිල දී ගන්නා ස්ථානවල සිටින ජනයා සඳහා දයාව පෙන්වනවාද? අපි ඔවුන්ගේ ශුභසාධනය ගැන—ඔවුන්ගේ ආත්මික අවශ්‍යතාවන් කෙරෙහි විතරක්ම නොවෙයි, නමුත් අපිට උපකාර කිරීමට හැකියාවක් තිබෙනවා නම් සෙසු අවශ්‍යතා කෙරෙහිත්—සැලකිල්ල දක්වනවාද? යේසු එසේ කළා; ඒ වගේම ඔහු එසේ කිරීමෙන් රාජ්‍යය ගැන මිනිසුන්ට ඉගැන්වීම සඳහා මං සලසාගත්තා. ඇත්තයි, අපිට බැහැ යේසු කළා වගේ සැබෑ ප්රාතිහාර්යයන් කරන්න. නමුත් කාරුණික ක්‍රියාවක් මගින්, හරියට ප්රාතිහාර්යයන් වගේ අගතිසහගත හැඟීම් බොහෝ වෙලාවට බිඳ හෙළෙනවා.
“පිටත අයවලුන්” කෙරෙහි පාවුල්ගේ ආකල්පය
5, 6. ප්‍රේරිත පාවුල් “පිටත [අයවලුන්ව]” සිටි යුදෙව්වන් සමඟ කටයුතු කළේ කොහොමද?
5 ප්‍රේරිත පාවුල් තමාගේ ලිපි කිහිපයකදීම මිනිසුන්ට යොමු දක්වන්නේ, “පිටත සිටින්නවුන්” නැතහොත් “පිටත අයවලුන්” ලෙසයි; එයින් අදහස් වූයේ යුදෙව් හෝ වේවා අන්‍යජාතීන් හෝ වේවා ක්‍රිස්තියානීන් නොවූ අයයි. (1 කොරින්ති 5:12; 1 තෙසලෝනික 4:11; 1 තිමෝති 3:7) ඔහු එවැනි අය සමඟ කටයුතු කළේ කොහොමද? ඔහු ‘සියලු ආකාරයෙන්ම සමහරෙකු ගළවන පිණිස සියල්ලන්ට [සියලු ආකාර මිනිසුන්ට, NW] සියල්ල වුණා.’ (1 කොරින්ති 9:20-22) ඔහු නගරයකට ආ විට, ඔහුගේ දේශනා කිරීමට අයත් අංගයක් වුණේ, මුලින්ම ඒ නගරයේ පදිංචි වී සිටි යුදෙව්වන් වෙතට යෑමයි. ඔහුගේ එළඹීම කුමක් වූවාද? මෙසියස් පැමිණි බවත්, ඔහු යාගයක් හැටියට තම ජීවිතය පූජා කළ බවත්, නැවත නැඟිටුවනු ලැබූ බවත් පැහැදිලි කිරීම සඳහා ඔහු උපායශීලීව මෙන්ම ගෞරවාන්විතව බයිබලයේ සඳහන් ඒත්තුගන්වනසුලු සාක්ෂි ඉදිරිපත් කළා.—ක්‍රියා 13:5, 14-16, 43; 17:1-3, 10.
6 මෙයාකාරයෙන් පාවුල් මෙසියස් ගැනත් දේවරාජ්‍යය ගැනත් ඔවුන්ට දේශනා කිරීමට හැකි වන පරිදි, ව්‍යවස්ථාව සහ අනාගතවක්තෲවරුන් පිළිබඳ යුදෙව්වන්ගේ දැනුම පදනම ලෙස යොදාගත්තා. සමහර අයට ඒත්තුගැන්වීමෙහිලා ඔහු සාර්ථක වුණා. (ක්‍රියා 14:1; 17:4) පාවුල් මෙසේ ලියන විට, යුදෙව් නායකයන්ගේ විරුද්ධවාදිකම් ගණනකට නොගෙන සෙසු යුදෙව්වන් සඳහා ඔහුගේ උණුසුම් ප්‍රේමය පෙන්නුවා: “සහෝදරයෙනි, ඔවුන් [යුදෙව්වන්] උදෙසා මාගේ සිතේ ආශාවත් [දෙවිට] කරන කන්නලව්වත් නම් ඔවුන් ගැළවෙන පිණිසය. මක්නිසාද ඔවුන්ට [දෙවි] උදෙසා ජ්වලිතකමක් ඇති බවට ඔවුන් ගැන මම සාක්ෂිදෙමි. නුමුත් එය දැනගැම්ම ඇතුව නොවේ.”—රෝම 10:1, 2.
යුදෙව් නොවන අදහන්නන්ට උපකාර කිරීම
7. යුදෙව් ආගමට හැරුණු බොහෝදෙනෙක් පාවුල් දේශනා කළ ශුභාරංචියට ප්‍රතිචාරය දැක්වූයේ කොහොමද?
7 යුදෙව් ආගමට හැරුණු අය වූයේ, චර්මච්ඡේදිත, යුදෙව් ධර්මය පවත්වන්නන් බවට පත් වූ යුදෙව් නොවන අයයි. යුදෙව් ආගමට හැරුණු අය රෝමයේද, සිරියේ අන්තියෝකියේද, එතියෝපියේද, පිසිදියේ අන්තියෝකියේද—ඇත්තෙන්ම විසිරී ගිය යුදෙව්වන්ගේ ජනාවාස පුරා—ජීවත් වූ බව පැහැදිලියි. (ක්‍රියා 2:8-10; 6:5; 8:27; 13:14, 43; සසඳන්න මතෙව් 23:15.) බොහෝ යුදෙව් පාලකයන් මෙන් නොව, පෙනෙන විදිහට යුදෙව් ආගමට හැරුණු අය අහංකාර වුණේ නැහැ; ඒ වගේම ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන් වීම ගැන පුරසාරම් දොඩන්න ඔවුන්ට හැකියාවක් තිබුණේ නැහැ. (මතෙව් 3:9; යොහන් 8:33) ඒ වෙනුවට ඔවුන් මිථ්‍යාදෘෂ්ටික දෙවිවරුන්ව අත්හැර දමා, යෙහෝවා ගැනත් ඔහුගේ නීති ගැනත් යම් ප්‍රමාණයක දැනුමක් ලබාගනිමින් ඔහු වෙතට නිහතමානීව හැරුණා. ඒ වගේම ඔවුන් මෙසියස්ගේ පැමිණීම පිළිබඳ යුදෙව්වන්ගේ බලාපොරොත්තුව පිළිගත්තා. ඔවුන් සත්‍යය සොයන අතරතුරම වෙනස්කම් සිදු කිරීමට කැමැත්තක් දක්වා තිබුණු අතර, ඔවුන්ගෙන් බොහෝදෙනෙක් තවදුරටත් වෙනස්කම් කිරීමටත් ප්‍රේරිත පාවුල්ගේ දේශනයට ප්‍රතිචාරය දැක්වීමටත් කැමැත්තෙන් සිටියා. (ක්‍රියා 13:42, 43) කලින් මිථ්‍යාදෘෂ්ටික දෙවිවරුන්ට නමස්කාර කළ යුදෙව් ආගමට හැරුණු කෙනෙක් ක්‍රිස්තියානි ධර්මය වැලඳගත් විට, ඒ වන විටත් එවැනි දෙවිවරුන්ට නමස්කාර කරමින් සිටි සෙසු අන්‍යජාතීන්ට සාක්ෂිදැරීම සඳහා ඔහු ඉතා විශිෂ්ට ලෙස සෑදී පැහැදී සිටියා.
8, 9. (අ) යුදෙව් ආගමට හැරුණු අයට අමතරව, යුදෙව් ආගම ගැන පැහැදීමක් ඇති වූ අන්‍යජාතීන්ගෙන් සමන්විත අනිත් කණ්ඩායම කුමක්ද? (ආ) අචර්මච්ඡේදිත දේවභය-ඇත්තන් බොහෝදෙනෙක් ශුභාරංචියට ප්‍රතිචාරය දැක්වූයේ කොහොමද?
8 චර්මච්ඡේදනය වූ යුදෙව් ආගමට හැරුණු අය හැර, යුදෙව් නොවන අනිකුත් අයටද යුදෙව් ආගම ගැන පැහැදීමක් ඇති වුණා. මේ අය අතුරින් ක්‍රිස්තියානියෙක් බවට පත් වූ පළමුවැන්නා කොර්නේලියස්; ඔහු යුදෙව් ආගමට හැරුණු කෙනෙක් නොවුවත්, ඔහු ‘භක්තිවන්ත වූ, දෙවි කෙරෙහි භය ඇතුව සිටි’ කෙනෙක්ව සිටියා. (ක්‍රියා 10:2) ක්‍රියා පොත පිළිබඳව තම විවරණයේදී, මහාචාර්ය එෆ්. එෆ්. බෲස් මෙසේ ලියා තිබෙනවා: “සාමාන්‍යයෙන් එවන් අන්‍යජාතිකයන්ව හැඳින්වූයේ ‘දේවභය-ඇත්තන්’ ලෙසයි; මෙය පාරිභාෂික යෙදුමක් නොවූවත්, එය භාවිතයට පහසු වඩාත් යෝග්‍ය යෙදුමක්. (චර්මච්ඡේදනය වීමේ අවශ්‍යතාව විශේෂයෙන්ම පුරුෂයන්ට මහත් බාධාවක් වූ නිසා) ඒ දවස්වල සිටි අන්‍යජාතිකයන් බොහෝදෙනෙක් යුදෙව් ආගම සම්පූර්ණයෙන්ම වැලඳගැනීමට සූදානම් නොවූවත්, යුදෙව් සිනගෝගවල පැවති නමස්කාරය හා බැඳි පහසුවෙන් තේරුම්ගත හැකි ඒක දේවවාදය හා යුදෙව්වන්ගේ ජීවන රටාව හා සම්බන්ධ ආචාර ධර්ම ප්‍රමිති ගැන ඔවුන්ට පැහැදීමක් ඇති වුණා. ඔවුන්ගෙන් සමහරදෙනෙක් සිනගෝගයට ගිය අතර, එහිදී ග්‍රීක් අනුවාදයෙන් කියවනු ලැබූ යාච්ඤා සහ ශුද්ධ ලියවිලි පාඩම්වලට සවන් දීමෙන් ඔවුන් ඒවා ගැන දැනුම් තේරුම් ඇති අය බවට පත් වුණා.”
9 ප්‍රේරිත පාවුල් කුඩා ආසියාවේ සහ ග්‍රීසියේ පිහිටි සිනගෝගවල දේශනා කරමින් සිටියදී, ඔහුට දේවභය-ඇත්තන් බොහෝදෙනෙක් හමු වුණා. පිසිදියේ අන්තියෝකියේදී, ඔහු සිනගෝගයේ රැස්ව සිටි අයව ඇමතුවේ “ඉශ්රායෙල් මනුෂ්‍යයෙනි, [දෙවි] කෙරෙහි භය ඇත්තෙනි” කියායි. (ක්‍රියා 13:16, 26) පාවුල් තෙසලෝනිකයේ පිහිටි සිනගෝගයේ සබත් දවස් තුනක් දේශනා කිරීමෙන් පසු, “ඔවුන්ගෙන් [යුදෙව්වන්ගෙන්] සමහරෙක්ද භක්තිවන්තවූ ග්‍රීක්වරුන්ගෙන් මහත් සමූහයක්ද ප්‍රධාන ස්ත්‍රීන්ගෙන් කීප දෙනෙක්ද ඇදහීමට [ක්‍රිස්තියානීන් බවට] පමුණුවනු ලැබ, පාවුල් හා සීලස් සමඟ සමාගම් වූවෝය.” (ක්‍රියා 17:4) පෙනෙන විදිහට, ග්‍රීක්වරුන්ගෙන් සමහරදෙනෙක් අචර්මච්ඡේදිත දේවභය-ඇත්තන් වුණා. එවන් අන්‍යජාතිකයන් බොහෝදෙනෙක් යුදෙව් ජන සමූහයන් සමඟ ඇසුරු කළ බවට සාක්ෂි තිබෙනවා.
“නොඅදහන්නන්” අතර දේශනා කිරීම
10. ශුද්ධ ලියවිලි පිළිබඳ පසුබිමක් නොතිබූ අන්‍යජාතීන්ට පාවුල් දේශනා කළේ කොහොමද? එමෙන්ම මොන වගේ ප්‍රතිඵල ඇතුවද?
10 ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල දැක්වෙන “නොඅදහන්නන්” යන වදනින් ක්‍රිස්තියානි සභාවෙන් පිටත සිටින පොදු ජනයාව යොමු දැක්විය හැකියි. බොහෝ අවස්ථාවලදී එය යොමු දක්වන්නේ මිථ්යාදෘෂ්ටිකයන්ටයි. (රෝම 15:31, NW; 1 කොරින්ති 14:22, 23; 2 කොරින්ති 4:4; 6:14) අතීනසයේ සිටි නොඅදහන්නන් බොහෝදෙනෙකුට ග්‍රීක් දර්ශනවාදය ගැන දැනුමක් තිබුණත් ශුද්ධ ලියවිලි ගැන කිසිම දැනුමක් තිබුණේ නැහැ. මෙය ඔවුන්ට සාක්ෂිදැරීමෙන් පාවුල්ව වළක්වනු ලැබුවාද? නැහැ. ඒ කොහොම වුණත් ඔහු තමාගේ එළඹීම සකස් කරගත්තා. අතීනසයේ මනුෂ්‍යයන් නොදැන සිටි හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි පාඨ කෙළින්ම උපුටා දක්වන්නේ නැතුව ඔහු බයිබල් සංකල්ප දක්ෂ ලෙස ඉදිරිපත් කළා. ඔහු බයිබල් සත්‍යයන් හා පුරාණයේ විසූ ස්තෝයික කිවියන් ප්‍රකාශ කළ යම් අදහස් අතර තිබෙන සමානකමක් දක්ෂ ලෙස පැහැදිලි කළා. එමෙන්ම ඔහු සියලු මනුෂ්‍යවර්ගයා සඳහා සිටින එකම සැබෑ දෙවිකෙනෙකු, එනම් මියගොස් නැවත නැඟිටුවා තිබෙන මිනිසෙකුව යොදාගනිමින් ධර්මිෂ්ඨ ලෙස විනිශ්චය කරන දෙවිකෙනෙකු පිළිබඳ සංකල්පය ඉදිරිපත් කළා. මෙසේ, පාවුල් උපාය දක්ෂ ලෙස අතීනසයේ මිනිසුන්ට ක්‍රිස්තුස් ගැන දේශනා කළා. එහි ප්‍රතිඵලය? වැඩි පිරිසක් ඔහුට කෙළින්ම සමච්චල් කළත්, ඔහු පැවසූ දේවල් විශ්වාස නොකළත්, “සමහර මනුෂ්‍යයෝ ඔහුට එකතුවී අදහාගත්තෝය. ඔවුන් අතරෙහි ඇරියෝපගිය දියොනිසියස්ද දමරිස් නම් ස්ත්‍රියෙක්ද ඔවුන් සමඟ වෙනත් අයද වූවෝය.”—ක්‍රියා 17:18, 21-34.
11. කොරින්තිය මොන වගේ නගරයක්ද? එමෙන්ම එහි සිදු කළ පාවුල්ගේ දේශනා වැඩයේ ප්‍රතිඵල මොනවාද?
11 සැලකිය යුතු යුදෙව් ජන සමූහයක් කොරින්තියේ සිටි නිසා, සිනගෝගයේ දේශනා කිරීමෙන් පාවුල් ඔහුගේ දේවසේවය එහි ආරම්භ කළා. නමුත් යුදෙව්වරුන් විරුද්ධවාදිකම් එල්ල කරන්න පටන්ගත් විට, පාවුල් අන්‍යජාතිකයන් වෙතට ගියා. (ක්‍රියා 18:1-6) මොනතරම් විවිධත්වයකින් යුත් ජනකායක්ද! කොරින්තිය කාර්යබහුල, අන්තර්ජාතික නගරයක්, වාණිජ නගරයක් ලෙස මෙන්ම ග්‍රීක-රෝම අධිරාජ්‍යය පැවති කාලය පුරා එහි තිබුණු දුරාචාරය නිසා ප්‍රසිද්ධව තිබුණා. ඇත්තෙන්ම, “කොරින්තිකරණය” යනුවෙන් අදහස් වූයේ, දුරාචාරමය ලෙස හැසිරීමයි. නමුත්, ක්‍රිස්තුස් පාවුල් ඉදිරියෙහි පෙනී සිට මේ වදන් ඔහුට පැවසුවේ යුදෙව්වන් ඔහුගේ දේශනා කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවයි: ‘භය නොවී, [දිගටම, NW] කතා කරන්න. මට මේ නුවර බොහෝ සෙනඟ සිටිනවා.’ (ක්‍රියා 18:9, 10) එහි සාමාජිකයන්ගෙන් සමහරදෙනෙක් කලින් “කොරින්තීය” ජීවන රටාවක් අනුගමනය කළත්, කියූ ලෙසම පාවුල් කොරින්තියේ සභාවක් පිහිටෙව්වා.—1 කොරින්ති 6:9-11.
“සියලු ආකාර මිනිසුන්ව” ගළවාගැනීමට වෑයම් කිරීම
12, 13. (අ) අද අපගේ බලප්‍රදේශය පාවුල්ගේ කාලයේ පැවති එකට සමාන වන්නේ කොහොමද? (ආ) බොහෝ කාලයක සිට ක්‍රිස්තියානි ලෝකයේ ආගම් පැවතී තිබෙන නැතහොත් සංවිධානාත්මක ආගමක් ගැන කලකිරී සිටින බොහෝදෙනෙකු සිටින බලප්‍රදේශ සම්බන්ධයෙන් අපි මොන වගේ ආකල්පයක් විදහාපෙන්විය යුතුද?
12 පළමු සියවසේදී මෙන් අදත් “දෙවිගේ ලබන්ට නොවටිනා තරම් වූ කරුණාව . . . සියලු ආකාර මිනිසුන්ව ගැළවීමට පමුණුවයි.” (තීතස් 2:11, NW) සියලුම මහාද්වීප හා සාගරවල පිහිටි බොහෝ දිවයින් ආවරණය කිරීම සඳහා ශුභාරංචිය දේශනා කිරීමට තිබෙන බලප්‍රදේශ ව්‍යාප්ත වී තිබෙනවා. එමෙන්ම පාවුල්ගේ කාලයේදී මෙන්, ඇත්තෙන්ම “සියලු ආකාර මිනිසුන්ව” හමු වෙනවා. උදාහරණයක් හැටියට, සියවස් ගණනාවක් පුරා ක්‍රිස්තියානි ලෝකයේ පල්ලි පිහිටුවා තිබෙන දේශවල අපගෙන් සමහරදෙනෙක් දේශනා කරනවා. පළමු සියවසේ සිටි යුදෙව්වන් මෙන්, ඔවුන්ගේ සාමාජිකයන් දැඩි ලෙස ආගමික සම්ප්‍රදායන්ට බැඳි සිටිනවා විය හැකියි. නමුත් යහපත් හදවත් තිබෙන අයව සොයා බලා, බයිබලය පිළිබඳව ඔවුන්ට තිබෙන දැනුම කුමක් වුණත් එය පදනම හැටියට යොදාගැනීමට අපි සතුටු වෙනවා. සමහර අවස්ථාවලදී ඔවුන්ගේ ආගමික නායකයන් අපිට විරුද්ධ වී හිංසා පීඩා කළත් අපි ඔවුන් ගැන සුළු කොට කතා කරන්නේ හෝ අවඥාසහගතව සලකන්නේ හෝ නැහැ. ඒ වෙනුවට, ඒකාන්ත දැනුමක් නැති වුණත් ඔවුන් අතර සමහරදෙනෙකුට “[දෙවි] උදෙසා ජ්වලිතකමක්” තිබිය හැකි බව අපි පිළිගන්නවා. යේසු හා පාවුල් වගේ, අපිත් මිනිසුන්ට අව්‍යාජ ප්‍රේමයක් පෙන්වනවා; ඒ වගේම ඔවුන් ගැළවෙනවා දැකීම සඳහා අපි තුළ දැවෙන ආශාවක් තිබෙනවා.—රෝම 10:2.
13 සංවිධානාත්මක ආගම් ගැන කලකිරී සිටින බොහෝදෙනෙකුව දේශනා සේවයේදී අපගෙන් බොහෝදෙනෙකුට හමු වෙනවා. කොහොම වුණත්, ඔවුන් තවමත් යම් ප්‍රමාණයකට දෙවි කෙරෙහි විශ්වාස කරමින් යහපත් ජීවිතයක් ගත කිරීමට උත්සාහ කරන දේවභය-ඇත්තන් විය හැකියි. මේ වංක හා අභක්තිකකම වැඩි වන පරම්පරාව තුළ දෙවි කෙරෙහි යම් ප්‍රමාණයක හෝ විශ්වාසයක් තිබෙන මිනිසුන්ව හමුවීම ගැන අපි සතුටු විය යුතු නැද්ද? එමෙන්ම කුහකකම හා බොරුවෙන් සලකුණු නොවෙන නමස්කාරයකට ඔවුන්ව යොමු කිරීම සඳහා අපි තුළ ජ්වලිතයක් ඇති වන්නේ නැද්ද?—පිලිප්පි 2:14, 15.
14, 15. ශුභාරංචිය දේශනා කිරීම සඳහා විශාල ක්ෂේත්රයක් සෑදී තිබෙන්නේ කොහොමද?
14 දේශනා වැඩය ක්‍රියාත්මක කිරීම සඳහා විශාල බලප්‍රදේශයක් තිබෙන බව දැල පිළිබඳ තම උපමාවේදී යේසු පුරෝකථනය කළා. (මතෙව් 13:47-49) මේ උපමාව පැහැදිලි කරමින් 1993 අප්‍රියෙල් 15 මුරටැඹ (අතිරේක කලාපයේ) 9වන පිටුවේ මෙසේ සඳහන් කර තිබුණා: “ශතවර්ෂ ගණනාවක් පුරා, ක්‍රිස්තියානි ලෝකයේ සාමාජිකයෝ, දේව වචනය පරිවර්තනය කිරීමේ, පිටපත් කිරීමේ හා බෙදා හැරීමේ විශාල කොටසක් ඉටු කළහ. පසු ව පල්ලි ඈත රටවල දේශීය භාෂාවන්ට බයිබලය අනුවර්තනය කළා වූ බයිබල් සමාගම් පිහිටුවාලූහ, නැත්නම් ඒවාට අනුබල දුන්හ. බත් ක්‍රිස්තියානින් ඇති කිරීම සඳහා වැඩ කළා වූ ගුරුවරුන් සහ වෛද්‍ය මිෂනාරිවරුන් ද ඔවුන් විසින් පිටත් කර හරින ලදි. [දෙවිගේ] අනුමැතිය නොතිබුණා වූ නුසුදුසු මසුන් විශාල ගණන්වලින් මේ මගින් එකතු කරන ලදි. එහෙත් එය අඩු තරමින් ක්‍රිස්තියානි නොවන මිලියන ගණනාවක් ම බයිබලයට ද එමෙන් ම දූෂිත වූ නමුත් එක්තරා ක්‍රිස්තියානි ධර්මයකට ද නිරාවරණය කළේ ය.”
15 ක්‍රිස්තියානි ලෝකය විසින් දියත් කළ ක්‍රිස්තියානි ආගමට හරවාගැනීමේ ප්රයත්නය විශේෂයෙන්ම දකුණු අමෙරිකාවේ, අප්‍රිකාවේ හා සාගරයේ පිහිටි දිවයින් කිහිපයක සාර්ථක වුණා. අපගේ කාලයේදී, මොළොක් ගුණැති බොහෝදෙනෙක් මේ ප්‍රදේශවල වාසය කරන අතර, යුදෙව් ආගමට හැරුණු අය කෙරෙහි පාවුල්ට තිබුණාක් මෙන් අපිටත් එවැනි නිහතමානි මිනිසුන් කෙරෙහි ශුභවාදී, ප්‍රේමනීය ආකල්පයක් තිබෙනවා නම් අපිට පුළුවන් දිගටම යහපත කිරීමේ හවුල් වන්න. අපේ උපකාරය අවශ්‍ය කරන අය අතර යෙහෝවාගේ සාක්ෂිකරුවන් කෙරෙහි “හිතකර ආකල්පයක් දක්වන්නන්” වශයෙන් නම් කළ හැකි දශලක්ෂ ගණනක් සිටිනවා. අපි ඔවුන්ව බැහැදැකීමට යන සෑම අවස්ථාවකදීම ඔවුන් අපිව හමු වෙන්න ආසාවෙන් සිටිනවා. සමහර අය අප සමඟ බයිබලය පාඩම් කර තිබෙනවා; ඒ වගේම අපේ රැස්වීම්වලට, විශේෂයෙන්ම ක්‍රිස්තුස්ගේ මරණයේ වාර්ෂික සැමරීමට ඇවිත් තිබෙනවා. රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීම සඳහා තිබෙන විශාල ක්ෂේත්රයක් එවැනි අයගෙන් නියෝජනය වෙන්නේ නැද්ද?
16, 17. (අ) අපි ශුභාරංචිය සමඟින් එළඹෙන්නේ මොන වගේ මිනිසුන් වෙතටද? (ආ) විවිධාකාර මිනිසුන්ට දේශනා කිරීමේදී අපි පාවුල්ව අනුකරණය කරන්නේ කොහොමද?
16 ඒ විතරක් නොවෙයි, ක්‍රිස්තියානි ලෝකයට බාහිර සංස්කෘතීන්වලින් පැමිණෙන අය—ඔවුන්ගේම මව් බිම්වලදී අපිට මුණගැසුණත් එහෙම නැත්නම් බටහිර රටවලට සංක්‍රමණය වූ අය වුණත් ඔවුන් ගැන කියන්න පුළුවන් මොනවාද? එමෙන්ම සම්පූර්ණයෙන්ම අදේවවාදීන් හෝ අඥෙයවාදීන් බවට පත් වෙමින් ආගම්වලින් ඈත් වී සිටින දශලක්ෂ ගණනක්දෙනා ගැන කියන්න පුළුවන් මොනවාද? ඊට අමතරව, පොත් සාප්පුවලින් ලබාගත හැකි ආත්මෝපකාර පොත් පත් කන්දරාවේ පළ කර තිබෙන නවීන දර්ශනවාදය භක්ත්‍යාදරයෙන් සලකන අය ගැන කියන්න පුළුවන් මොනවාද? ඒ අයට ගැළවීම ලැබෙන්නේ නැහැ කියා සිතා, එවන් ඕනෑම කෙනෙකුව නොසලකා හැරිය යුතුද? අපි ප්‍රේරිත පාවුල්ව අනුකරණය කරනවා නම් එසේ කරන්නේ නැහැ.
17 පාවුල් අතීනසයේ දේශනා කරන විට, තමාට සවන් දුන් අය සමඟ දර්ශනවාදය හා සම්බන්ධ වාද විවාදවලට පැටලීමේ උගුලට ඔහු හසු වුණේ නැහැ. කොහොම වුණත්, ඔහු බයිබල් සත්‍යයන් පැහැදිලිව හා තර්කානුකූලව ඉදිරිපත් කරමින්, ඔහු සමඟ සාකච්ඡා කළ ජනයා සමඟ කටයුතු කිරීමේදී තමාගේ තර්ක කිරීම ගැළපෙන විදිහට සකස් කරගත්තා. ඒ හා සමානව, අපි දේශනා කරන්න යන ජනයාගේ ආගම් හෝ දර්ශනයන් සම්බන්ධයෙන් ප්‍රවීණයන් වීම අපිට අවශ්‍ය නැහැ. කොහොම වුණත්, අපේ සාක්ෂිදැරීම බලපෑමෙන් යුත් එකක් බවට පත් කරගැනීම සඳහා අපේ එළඹීම අපි සකස් කරගනිමින්, “සියලු ආකාර මිනිසුන්ට සියල්ල” විය යුතුයි. (1 කොරින්ති 9:22, NW) කොලොස්සියේ සිටි ක්‍රිස්තියානීන්ට ලියන විට පාවුල් මෙසේ සඳහන් කළා: “නුඹලා ප්‍රස්තාව අල්ලාගනිමින්, පිටත සිටින්නන් කෙරෙහි ප්‍රඥාවෙන් ක්‍රියාකරන්න. නුඹලා එකිනෙකාට උත්තර දියයුතු කෙසේදැයි දැනගන්නා පිණිස, නුඹලාගේ කථාව නිතරම ලුණෙන් රසවත්ව, අනුග්‍රහයෙන් යුක්තව තිබේවා.”—කොලොස්සි 4:5, 6, ඇල අකුරු අපගේය.
18. අපිට තිබෙන්නේ මොන වගේ වගකීමක්ද? එමෙන්ම අපි කවදාවත් අමතක නොකළ යුත්තේ කුමක්ද?
18 යේසු හා ප්‍රේරිත පාවුල් කළාක් මෙන්, අපිත් සියලු ආකාර මිනිසුන්ට ප්‍රේමය පෙන්වමු. විශේෂයෙන්ම රාජ්‍යයේ ශුභාරංචිය අනිත් අය සමඟ බෙදාගැනීම සඳහා දැඩි ප්රයත්නයක් දරමු. අනිත් අතට, යේසු තම ගෝලයන්ට මෙසේ පැවසූ බව කවදාවත් අමතක කරන්න එපා: “ඔවුහු ලෝකයෙන් කොටසක් නොවෙති.” (යොහන් 17:16, NW) මෙයින් අපට අදහස් කරන දෙය, ඊළඟ ලිපියේදී තවදුරටත් සාකච්ඡා කරන්න යනවා.
පුනරීක්ෂණය සඳහා ප්‍රශ්න
◻ ලෝකය කෙරෙහි යේසුගේ සමබර ආකල්පය විස්තර කරන්න.
◻ ප්‍රේරිත පාවුල් යුදෙව්වන්ට මෙන්ම යුදෙව් ආගමට හැරුණු අයට දේශනා කළේ කොහොමද?
◻ පාවුල් දේවභය-ඇත්තන් හා නොඅදහන්නන් වෙතට එළඹුණේ කොහොමද?
◻ අපේ දේශනා වැඩයේදී “සියලු ආකාර මිනිසුන්ට සියල්ල” වෙන්න අපිට පුළුවන් වෙන්නේ කොහොමද?
[10වන පිටුවේ පින්තූරය]
තම අසල්වැසියන්ට කාරුණික ක්‍රියා කිරීමෙන් අගතිසහගත හැඟීම් බිඳ දමන්න බොහෝවිට ක්‍රිස්තියානීන්ට පුළුවන්