දෙවිගේ මඟ පෙන්වීම් පතන අයට දෙවි ආශීර්වාද කරනවා
“දෙවිට නමස්කාර කිරීම සඳහා ඔහු වෙතට ළඟා වන කෙනෙක් ඔහු ජීවමාන බවත් දෙවිගේ මඟ පෙන්වීම් මහත් උනන්දුවකින් පතන අයට ඔහු ආශීර්වාද කරන බවත් විශ්වාස කළ යුතුයි.”—හෙබ්‍රෙ. 11:6.
1, 2. (අ) ආදරේ සහ විශ්වාසය කියන්නේ එකිනෙකට බැඳිලා තියෙන ගුණාංග කියලා කියන්නේ ඇයි? (ආ) මේ ලිපියේ අපි බලන්නේ මොනවා ගැනද?
අපේ හිතේ යෙහෝවා දෙවි ගැන ආදරයක් තියෙන්නේ “දෙවි මුලින්ම අපට ප්‍රේම කළ නිසයි.” (1 යොහ. 4:19) ඒ ආදරේ පැහැදිලි වෙන විදිහක් තමයි අපිට ආශීර්වාද කරනවා කියලා දෙවි වෙලා තියෙන පොරොන්දුව. දෙවිට තියෙන ආදරේ වැඩි වෙන තරමට ඔහු ගැන අපිට තියෙන විශ්වාසයත් වැඩි වෙනවා. ඒත් ඒ විශ්වාසයට දෙවි ඉන්නවා කියලා පිළිගන්න එක විතරක් මදි. දෙවි තමන් ආදරේ කරන අයට අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවා කියලා මුළු හදින්ම විශ්වාස කරන එකත් ඇතුළත්.—හෙබ්‍රෙව් 11:6 කියවන්න.
2 තමන්ගේ සේවකයන්ට ආශීර්වාද කරන එක යෙහෝවා දෙවිගේ පෞද්ගලිකත්වයේ කැපීපේන ලක්ෂණයක්. දෙවි ආශිර්වාද කරනවා කියලා අපිට ස්ථිර නැත්නම් අපේ විශ්වාසය ශක්තිමත් කියලා කියන්න බැහැ. මොකද “විශ්වාසය යනු තමන් බලාපොරොත්තු වන දේවල් ඉටු වන බව කිසි ලෙසකින්වත් සැක නොකිරීමයි.” (හෙබ්‍රෙ. 11:1) ආශීර්වාද කරනවා කියලා දෙවි දීලා තියෙන පොරොන්දුව අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද? දෙවි තමන්ගේ විශ්වාසවන්ත සේවකයන්ට ආශීර්වාද කරලා තියෙන්නේ කොහොමද?
දෙවි තම සේවකයන්ට දෙන පොරොන්දුව
3. මලාකි 3:10 සඳහන් පොරොන්දුව මොකක්ද?
3 දෙවි අපිට ආශීර්වාද කරනවා කියන විශ්වාසයෙන් අපිට තියෙන හොඳම දේ ඔහුට දෙන්න කියලා දෙවි අපිට ආරාධනා කරනවා. දෙවි කියන්නේ “මා ඔබට ආශීර්වාද කරන්නේ නැද්ද කියා බලන්න. මම අහසේ කවුළු විවර කර ඔබේ ගබඩා පිරී ඉතිරී යන තරමට ඔබට ආශීර්වාද කරන්නෙමි” කියලා. (මලා. 3:10) ඒ ආරාධනය පිළිගද්දී අපි පෙන්නන්නේ දෙවි අපිට ඒ ආරාධනය කරපු එකම අපි කොච්චර අගය කරනවද කියලයි.
4. මතෙව් 6:33 යේසුස් කියපු දේ විශ්වාස කරන්න අපිට පුළුවන් ඇයි?
4 දේවරාජ්‍යයට ජීවිතේ මුල් තැන දෙන අයව දෙවි බලාගන්නවා කියලා යේසුස් පොරොන්දු වුණා. (මතෙව් 6:33 කියවන්න.) යේසුස් ඒ තරම්ම විශ්වාසයකින් ඒ ගැන කිව්වේ දෙවි දෙන ඕනම පොරොන්දුවක් ඉටු කරනවා කියලා යේසුස් හොඳින්ම දැනගෙන හිටපු නිසයි. (යෙසා. 55:11) මුළු හදින්ම දෙවිව විශ්වාස කරලා වැඩ කරනවා නම් “මා ඔබව කිසි ලෙසකින්වත් අත්හරින්නේ නැත. මම ඔබව කිසිදාක අසරණ නොකරන්නෙමි” කියලා දෙවි දුන්න පොරොන්දුව ඔහු ඉටු කරන විදිහ අපිටත් අද්දකින්න පුළුවන්. (හෙබ්‍රෙ. 13:5) ඒ පොරොන්දුව මතෙව් 6:33 යේසුස් කිව්ව දේ විශ්වාස කරන්න අපිට උදව්වක්.
5. යේසුස් පේතෘස්ට කිව්ව දේ අපිට දිරිගැන්වීමක් වෙන්නේ ඇයි?
5 දවසක් පේතෘස් යේසුස්ගෙන් මෙහෙම ඇහුවා. “අපි සියල්ල අත්හැර ඔබ අනුව ආවා. ඇත්තටම අපට කුමක් ලැබෙයිද?” (මතෙ. 19:27) එහෙම අහපු එක ගැන පේතෘස්ට අවවාද කරනවා වෙනුවට එයාලා දෙවි වෙනුවෙන් කරන කැප කිරීම්වලට දෙවි ආශීර්වාද කරනවා කියලා යේසුස් කිව්වා. යේසුස්ගේ නියෝජිතයන් ඇතුළුව දෙවිට විශ්වාසවන්තව ඉන්න තවත් අය අනාගතයේදී යේසුස් එක්ක ස්වර්ගයේ රජකම් කරනවා. අනාගතයේදී විතරක් නෙමෙයි දැනුත් දෙවිගේ ආශීර්වාද අද්දකින්න පුළුවන් කියලා යේසුස් කිව්වා. ඔහු කිව්වේ මෙහෙමයි. “මගේ නාමය නිසා ගේදොර හෝ සහෝදරයන් හෝ සහෝදරියන් හෝ පියා හෝ මව හෝ දරුවන් හෝ වතුපිටි හෝ අත්හැර තිබෙන සියල්ලන්ට ඊටත් වඩා බොහෝ වැඩියෙන් ලැබෙයි. ඔවුන්ට සදාකාල ජීවනයත් උරුම වෙයි.” (මතෙ. 19:29) ඔහුගේ අනුගාමිකයන් දේවරාජ්‍යය වෙනුවෙන් මොන දේ කැප කළත් ඊට වඩා වැඩියෙන් දෙවි ආශීර්වාද කරනවා කියලයි යේසුස් කිව්වේ. තාත්තලා, අම්මලා, අයියලා, අක්කලා, නංගිලා, මල්ලිලා, දුවලා, පුතාලගේ ආදරේ සභාවෙන් ලබන එක අපි කරන ඕනම කැප කිරීමකට වඩා වටින්නේ නැද්ද?
“ජීවිතය නමැති නැවට නැංගුරමක්”
6. තමන්ගේ සේවකයන්ට ආශීර්වාද කරනවා කියලා දෙවි පොරොන්දු වෙන්නේ ඇයි?
6 විශ්වාසවන්තව ඉන්න අයට ආශීර්වාද කරනවා කියලා දෙවි දීලා තියෙන පොරොන්දුව ගැන දැනගෙන ඉන්න එක දැන් අපි අද්දකින දුෂ්කරතා විඳදරාගන්න උදව්වක්. දැන් අද්දකින ආශීර්වාදවලට අමතරව අනාගතයේදී තවත් පුදුමාකාර ආශීර්වාද අපි අද්දකින්න යනවා කියලා අපිට නිසැකයි. (1 තිමෝ. 4:8) “දෙවිගේ මඟ පෙන්වීම් මහත් උනන්දුවකින් පතන අයට ඔහු ආශීර්වාද කරනවා” කියන දේ ගැන අපිට ස්ථිර විශ්වාසයක් තියෙනවා නම් මොන දුෂ්කරතා ආවත් අපි දෙවිට ළැදිව ඉන්නවා.—හෙබ්‍රෙ. 11:6.
7. බලාපොරොත්තුව නැංගුරමක් වගේ කියන්නේ ඇයි?
7 කන්ද උඩ දේශනයේදී යේසුස් මෙහෙම කිව්වා. “ස්වර්ගයෙහි ඔබට මහත් ත්‍යාගයක් තිබෙයි. ඒ නිසා ප්‍රීති වන්න, ප්‍රීතියෙන් ඉපිල යන්න. ඔබට කලින් සිටි අනාගතවක්තෘවරුන්ටත් ඔවුන් එලෙසම පීඩා කළ බව මතක තබාගන්න.” (මතෙ. 5:12) දෙවිගේ සමහර සේවකයන්ට ලැබෙන ත්‍යාගය ස්වර්ගයේ ජීවිතයයි. තවත් අයට ලැබෙන ත්‍යාගය පාරාදීසයේ සදාකල් ජීවිතයයි. ඒක “ප්‍රීති වන්න, ප්‍රීතියෙන් ඉපිල යන්න” හේතුවක් නෙමෙයිද? (ගීතා. 37:11; ලූක් 18:30) ‘අපිට තියෙන ඒ බලාපොරොත්තුව අපේ ජීවිතය නමැති නැවට නැංගුරමක් හා සමානයි. ඒක ස්ථිරයි. ඒ ගැන කිසි සැකයක් තියාගන්න ඕනෙ නැහැ.’ (හෙබ්‍රෙ. 6:17-20) කුණාටුවක් ආවම නැවක් ගහගෙන යන එක වළක්වගන්න නැංගුරම උදව් වෙනවා වගේ අභියෝග එද්දී එහේ මෙහේ ගහගෙන යන්නේ නැතුව නොසැලී ඉන්න අපිට උදව් වෙන්නේ ඒ බලාපොරොත්තුවයි.
8. අපිට තියෙන බලාපොරොත්තුව කනස්සල්ල අඩු කරගන්න උදව් වෙන්නේ කොහොමද?
8 දෙවි දීලා තියෙන බලාපොරොත්තුව අපිට උදව් වෙනවා කනස්සල්ල අඩු කරගන්න. හරියට තෛලයකින් ශරීරයට සුවයක් ලැබෙනවා වගේ කැලඹිලා තියෙන අපේ සිතුවිලි සන්සුන් කරන්න ඒ බලාපොරොත්තුවට පුළුවන්. අපේ හිතේ තියෙන බර යෙහෝවා දෙවිට භාර දෙද්දී දෙවි අපිව උසුලනවා කියලා දැනගෙන ඉන්න එක අපිට මොන තරම් සහනයක්ද! (ගීතා. 55:22) ‘අප ඉල්ලන ඕනෑම දෙයකට වඩා වැඩියෙන් දේවල් කිරීමේ හැකියාව දෙවි සතුයි’ කියලා සැක නැතුව විශ්වාස කරන්න අපිට පුළුවන්. (එෆී. 3:20) දෙවි අපිට උදව් කරන්නේ අපි ඉල්ලන දේට වඩා වැඩියෙන් ඒ කියන්නේ අපිට හීනෙකින්වත් හිතාගන්න බැරි තරමට ආශීර්වාද කරලයි.
9. දෙවි ආශීර්වාද කරනවා කියලා අපිට නිසැක ඇයි?
9 දෙවි දෙන ආශීර්වාද අද්දකින්න නම් අපිට දෙවි ගැන ශක්තිමත් විශ්වාසයක් තියෙන්න ඕනේ. අපි ඔහුට කීකරු වෙන්න ඕනේ. මෝසෙස් ඊශ්‍රායෙල්වරුන්ට මෙහෙම කිව්වා. ‘යෙහෝවා දෙවි ඔබට උරුමයක් ලෙස ලබා දෙන දේශයේදී ඔබ සියලුදෙනාටම යෙහෝවා දෙවිගේ ආශීර්වාද නොඅඩුව ලැබෙයි. එවැනි සමෘද්ධිමත් තත්වයක් ඔබ අතරේ ඇති වෙන්නේ මම අද ඔබට කියා දෙන යෙහෝවා දෙවිගේ සියලුම අණපනත් ඔබ පිළිපැද ඔහුගේ වචනයට හොඳින් කන් දුන්නොත් පමණයි. ඔබ එසේ කරනවා නම් යෙහෝවා දෙවි පොරොන්දු වූ ලෙස ඔහු ඔබට අනිවාර්යයෙන්ම ආශීර්වාද කරයි.’ (ද්වි. 15:4-6) ඔයා දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්නවා නම් දෙවි ඔයාට ආශීර්වාද කරනවා කියලා ඔයාට නිසැකද? ඒ දේ විශ්වාස කරන්න ඕන තරම් හේතු ඔයාට තියෙනවා.
යෙහෝවා දෙවි එයාලට ආශීර්වාද කළා
10, 11. යෝසෙප්ට යෙහෝවා දෙවි ආශීර්වාද කළේ කොහොමද?
10 අතීතයේ හිටපු දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ට දෙවි ආශීර්වාද කරපු විදිහ බයිබලෙන් අපිට දැනගන්න පුළුවන්. (රෝම 15:4) දෙවි යෝසෙප්ට ආශීර්වාද කරපු විදිහ ටිකක් බලමුද? යෝසෙප් හුඟක් දුක් වින්ද කෙනෙක්. එයාගේ අයියලා එයාව වහල්කමට විකුණුවා. පස්සේ කාලෙක එයා සේවය කරපු ස්වාමියාගේ බිරිඳ එයාට බොරු චෝදනා එල්ල කරලා එයාව හිරේ දැම්මා. යෝසෙප් හිටියේ හිරගෙදර නිසා දෙවිගේ උදව් එයාට ලැබුණේ නැද්ද? බයිබලේ කියන්නේ මෙහෙමයි. ‘යෙහෝවා දෙවි දිගටම යෝසෙප්ට උපකාර කර ඔහුට කරුණාව පෙන්නුවා. දෙවි යෝසෙප්ට ආශීර්වාද කර යෝසෙප් කළ සියල්ල සාර්ථක වෙන්න සැලැස්වුවා.’ (උත්. 39:21-23) ඒ දුෂ්කර කාලේ පුරාම යෝසෙප් කාරණා දෙවිට භාර දීලා ඉවසීමෙන් බලාගෙන හිටියා.
11 අවුරුදු ගාණකට පස්සේ පාරාවෝ යෝසෙප්ව හිරෙන් නිදහස් කරලා එයාව ඊජිප්තුවේ අගමැති කළා. (උත්. 41:1, 37-43) කාලයක් ගත වුණාට පස්සේ යෝසෙප්ටයි එයාගේ බිරිඳටයි පුතාලා දෙන්නෙක් ලැබුණා. ‘යෝසෙප් තම කුලුඳුලාට මනස්සේ යන නම තබමින් මෙහෙම කිව්වා. “දෙවි මගේ සියලු දුක් කරදර හා මගේ පියාගේ නිවස මට අමතක කරන්න සැලැස්සුවා.” ඔහු දෙවෙනි පුතාට එෆ්‍රායිම් යන නම තබමින් මෙහෙම කිව්වා. “මා දුක් පීඩා වින්ද දේශයේදී දෙවි මට දරුවන් ලබා දුන්නා.”’ (උත්. 41:51, 52) දෙවිට ළැදිව හිටපු නිසා දෙවි යෝසෙප්ට ආශීර්වාද කළා. ප්‍රතිඵලයක් විදිහට සාගත කාලෙදී යාකොබ්ගේ පවුලේ අයගෙයි, ඊජිප්තුවරුන්ගෙයි ජීවිත ආරක්ෂා කරන්න එයාට පුළුවන් වුණා. ඒ හැම දේම කරන්න එයාට පුළුවන් වුණේ යෙහෝවා දෙවි ආශීර්වාද කරපු නිසයි කියලා යෝසෙප් තේරුම්ගත්තා.—උත්. 45:5-9.
12. පීඩා මැද යේසුස් දෙවිට විශ්වාසවන්තව හිටියේ කොහොමද?
12 හුඟක් පීඩාවලට මුහුණ දුන්නත් දිගටම දෙවිට ළැදිව හිටපු යේසුස්ටත් දෙවි ආශීර්වාද කළා. දෙවිට විශ්වාසවන්තව ඉන්න ඔහුට උදව් වුණේ මොකක්ද? බයිබලේ ඒ ගැන මෙහෙම කියනවා. “ඔහු තමාට තිබුණු ප්‍රීතිමත් අපේක්ෂාව නිසා ලැජ්ජාව නොතකා වධකණුවක මරණය පවා වින්දේය.” (හෙබ්‍රෙ. 12:2) දෙවිගේ නමට ඇති වෙලා තියෙන කැළැල ඉවත් කරන්න තමන්ට අවස්ථාව ලැබෙනවා කියලා දැනගෙන හිටපු එක යේසුස්ට තිබුණ ප්‍රීතිමත්ම අපේක්ෂාවයි. දෙවිට විශ්වාසවන්තව හිටපු නිසා යේසුස්ට දෙවිගේ අනුමැතිය වගේම තවත් හුඟක් ආශීර්වාද ලැබුණා. බයිබලේ කියන්නේ “එතැන් පටන් ඔහු දෙවිගේ සිංහාසනයේ දකුණු පැත්තේ අසුන්ගත්තා” කියලයි. “දෙවි ඔහුව කලින් සිටි තත්වයටත් වඩා උතුම් තත්වයකට පත් කළා. එලෙසම අන් සියලු නාමවලට වඩා උසස් නාමයක් දෙවි ඔහුට කාරුණිකව ලබා දුන්නා.”—ෆිලි. 2:9.
දෙවි කවදාවත් අමතක කරන්නේ නැහැ
13, 14. අපි දෙවි වෙනුවෙන් කරන දේවල් ගැන දෙවිට හැඟෙන්නේ කොහොමද?
13 දෙවි වෙනුවෙන් අපි කරන හැම දෙයක්ම දෙවිට හුඟක් වටිනවා කියලා අපිට ස්ථිර වෙන්න පුළුවන්. යම් දේවල් කරන්න අපිට බැහැ නැත්නම් අපිට හැකියාවක් නැහැ කියලා හිතෙද්දී දෙවි අපේ හැඟීම් තේරුම්ගන්නවා. ආර්ථික ප්‍රශ්න නිසා පවුලේ අයව බලාගන්න එක ගැන අපි කනස්සලු වෙද්දී දෙවි අපි ඉන්න තත්වය දකිනවා. අසනීප, මානසික පීඩනය නිසා කලින් තරම් සේවය කරන්න බැරි වෙද්දී යෙහෝවා දෙවි අපිට හැඟෙන විදිහ තේරුම්ගන්නවා. අභියෝග තිබුණත් දිගටම දෙවිට ළැදිව ඉන්න අපි ගන්න වෑයම යෙහෝවා දෙවි හුඟක් අගය කරනවා කියලා අපිට විශ්වාසයි.—හෙබ්‍රෙව් 6:10, 11 කියවන්න.
14 යෙහෝවා දෙවි “යාච්ඤා අසන තැනැත්තා” නිසා අපේ හිතේ තියෙන දේවල් ඔහුට කියද්දී ඔහු අපිට සවන් දෙනවා. (ගීතා. 65:2) “මහත් දයාවක් පෙන්වන පියාණන් ඔහුය. සියලු සැනසිල්ලේ දෙවි ඔහුය.” ඒ නිසා දෙවිත් එක්ක අපිට තියෙන මිතුදම රැකගන්න එක අභියෝගයක් වෙන වෙලාවලදී දෙවි අපිට අවශ්‍ය උදව් දෙනවා කියලා ස්ථිරයි. සමහර වෙලාවලදී දෙවි ඒ උදව් දෙන්නේ සහෝදරයන් මාර්ගයෙන්. (2 කොරි. 1:3) අපිත් අනිත් අයට ආදරෙන්, කරුණාවෙන් සලකද්දී දෙවි ඒ ගැන හුඟක් සතුටු වෙනවා. බයිබලේ කියන්නේ “දුප්පතාට කාරුණිකව සලකන තැනැත්තා යෙහෝවා දෙවිට ණයට දෙයි. ඔහු දක්වන සැලකිල්ලට දෙවි හොඳ ප්‍රතිඵල දෙයි” කියලයි. (හිතෝ. 19:17; මතෙ. 6:3, 4) දුෂ්කරතා අද්දකින අය වෙනුවෙන් අපි ත්‍යාගශීලීව දේවල් කරද්දී දෙවි ඒක සලකන්නේ හරියට අපි ඔහුට ණයක් දෙනවා වගේ. අපි සහෝදරයන්ට පෙන්නන කරුණාවට අපිට ආශීර්වාද කරනවා කියලා දෙවි පොරොන්දු වෙනවා.
දැනුත් සදහටමත් ආශීර්වාද
15. ඔයා බලාගෙන ඉන්නේ මොන ආශීර්වාද අද්දකින්නද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)
15 අභිෂේක ලත් අය ආසාවෙන් බලාගෙන ඉන්නේ “ධර්මිෂ්ඨකම හිමි කර දෙන ඔටුන්න” ලබාගන්න. ඒක යේසුස්ගෙන් එයාලට ලැබෙන ත්‍යාගයක්. (2 තිමෝ. 4:7, 8) ඒත් ඔයාට තියෙන්නේ ඒ බලාපොරොත්තුව නෙමෙයි නම් අභිෂේක ලත් අය තරම් දෙවිට ඔයාව වටින්නේ නැහැ කියලා ඒකෙන් අදහස් කරන්නේ නැහැ. යේසුස්ගේ රැළට අයිති “වෙනත් බැටළුවන්” මිලියන ගාණකට පාරාදීසයේ සදහටම ජීවත් වෙන ආශීර්වාදය දෙවි ලබා දෙනවා. ඒ අය “දසත පැතිරී තිබෙන සාමය නිසා මහත් සේ ප්‍රීති වෙනවා.”—යොහ. 10:16; ගීතා. 37:11.
16. 1 යොහන් 3:19, 20 සඳහන් දේ අපිට සහනයක් වෙන්නේ කොහොමද?
16 අපිට හිතෙන්න පුළුවන් ‘යෙහෝවා දෙවි වෙනුවෙන් මං එච්චර දෙයක් කරන්නේ නැහැ’ නැත්නම් ‘මං කරන සේවය ගැන දෙවි සතුටු වෙනවද’ කියලා. ‘දෙවිගේ ආශීර්වාද අද්දකින්න මං සුදුසු නැහැ’ කියලා හිතෙන්නත් පුළුවන්. ඒත් “අපිට වඩා හොඳින් දෙවි අපගේ සිත් ගැන දන්නා බවත් ඔහු සියලු දේ දන්නා බවත්” කවදාවත් අමතක කරන්න එපා. (1 යොහන් 3:19, 20 කියවන්න.) අපි දෙවි වෙනුවෙන් කරන්නේ පුංචි දෙයක් කියලා අපිට හිතෙයි. ඒත් දෙවිට තියෙන ආදරේ, ඔහු ගැන තියෙන විශ්වාසය නිසා අපි ඔහු වෙනුවෙන් කරන ඕනෑම දෙයකට දෙවි අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවා.—මාක් 12:41-44.
17. අපි දැන් අද්දකින සමහර ආශීර්වාද මොනවද?
17 දුෂ්කරතා පිරුණ මේ අවසාන කාලෙදීත් දෙවි ඔහුගේ සෙනඟට ආශීර්වාද කරනවා. දෙවි ඔහුගේ සංවිධානය මාර්ගයෙන් අපිට හුඟක් දේවල් උගන්වනවා. (යෙසා. 54:13) යේසුස් පොරොන්දු වුණ විදිහට ආදරෙන් බැඳුණ විශාල පවුලක් දෙවි අපිට දීලා තියෙනවා. (මාක් 10:29, 30) දෙවිගේ මඟ පෙන්වීම් මහත් උනන්දුවකින් පතන අයට දෙවි දැන් හිතේ සාමය, සතුට, තෘප්තිය ලබා දෙනවා. ඒ ආශීර්වාද වෙන කිසිම දේකට සම කරන්න බැහැ.—ෆිලි. 4:4-7.
18, 19. දෙවිගෙන් ලැබෙන ආශීර්වාද ගැන ඔහුගේ සේවකයන්ට හැඟෙන්නේ කොහොමද?
18 ලෝකෙ පුරාම ඉන්න දෙවිගේ සේවකයන්ට දෙවි පුදුමාකාර විදිහට ආශීර්වාද කරලා තියෙනවා. ජර්මනියේ ඉන්න බියංකාගේ අද්දැකීම බලන්න. එයා මෙහෙම කියනවා. “කනස්සල්ල නිසා මට දැනුණ පීඩනයෙන් ගොඩ එන්න යෙහෝවා දෙවි මාත් එක්කම ඉඳලා මට උදව් කළා. ඒකට දෙවිට කොහොම ස්තුති කරන්නද කියලා මට හිතාගන්නවත් බෑ. මුළු ලෝකෙම තියෙන්නේ අවුල් ජාලාවක. ඒත් දෙවි එක්ක එකට දේවල් කරද්දී මට දැනෙන්නේ පුදුම ආරක්ෂාවක්. හරියට මං දෙවිගේ තුරුලේ ඉන්නවා වගේ. දෙවි වෙනුවෙන් කැප කරන පුංචි දේකට වුණත් ඒ වගේ සිය ගුණයකින් දෙවි මට ආශීර්වාද කරනවා.”
19 කැනඩාවේ ඉන්න අවුරුදු 70ක් වයස පෝලාගේ අද්දැකීම බලන්න. උපතින්ම සුෂුම්නාවේ ඇති වුණ ආබාධයක් නිසා එයාට කරන්න පුළුවන් දේවල් සීමිතයි. එයා මෙහෙම කියනවා. “කකුල් දෙකේ වාරු නැති වුණාට මං ඒක සේවයට බාධාවක් කරගන්නේ නැහැ. මං ෆෝන් එකෙන් සාක්ෂි දරනවා. මට හම්බ වෙන අයටත් මං කතා කරනවා. මට උදව් වෙයි කියලා හිතෙන බයිබල් පද, අපේ සඟරාවල තිබුණ සමහර දේවල් මං පුංචි පොතක ලියාගන්නවා. නිතරම වගේ මං ඒ පොත බලනවා. දුකක් දැනෙන වෙලාවට ඒකේ තියෙන දේවල් ඇත්තටම මට හයියක්. අපි දෙවිගේ පොරොන්දුවලට මනස යොමු කරනවා නම් අපේ ප්‍රශ්න තාවකාලිකයි කියලා තේරුම්ගන්න පුළුවන්. අපි මොන දේට මුහුණ දුන්නත් ඕනම වෙලාවක යෙහෝවා දෙවි අපිට අත දෙන්න ලෑස්තියි.” බියංකා, පෝලා තරම් දුෂ්කර දේවලට ඔයා මුහුණ දෙන්නේ නැතුව ඇති. ඒත් යෙහෝවා දෙවි ඔයාටයි, ඔයා කිට්ටුවෙන් ඇසුරු කරන අයටයි ආශීර්වාද කරලා තියෙන විදි ඕන තරම් ඇති. දැන් දෙවි ඔයාට ආශීර්වාද කරන විදි, අනාගතයේදී දෙවි ආශීර්වාද කරන්න යන විදි ගැන හිතද්දී අපේ හිතට මොන තරම් සහනයක් දැනෙනවද!
20. මුළු හදවතින්ම දෙවිට සේවය කරද්දී අපිට ලැබෙන ආශීර්වාද මොනවද?
20 අපි බියක් සැකක් නැතුව අපේ හිතේ තියෙන දේ දෙවිට කියද්දී දෙවි අපි වෙනුවෙන් “ඉමහත් ත්‍යාගයක් වෙන් කර තියෙනවා” කියලා අමතක කරන්න එපා. ‘ඔයා දෙවිගේ කැමැත්ත ඉටු කළාට පස්සේ ඔහු දුන් පොරොන්දුවල ඉටු වීම’ අද්දකින්න ලැබෙනවා කියලා ඔයාට ස්ථිර වෙන්න පුළුවන්. (හෙබ්‍රෙ. 10:35, 36) ඒ නිසා දෙවි ගැන තියෙන විශ්වාසය තව වැඩි කරගන්නත් පුළුවන් උපරිමයෙන් දෙවිට සේවය කරන්නත් අදිටන් කරගමු. අපේ වෑයමට යෙහෝවා දෙවි ආශීර්වාද කරනවා කියන දේ ගැන නම් කිසිම සැකයක් නැහැ.—කොලොස්සි 3:23, 24 කියවන්න.