මහත් ධෛර්යයෙන් යුක්ත ව සිටින්න!
“ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] මාගේ උපකාරකාරයාණෝය . . . කියා මහත් ධෛර්ය්යයෙන් යුක්තව කියමුව.”—හෙබ්‍රෙව් 13:6.
1. පොදු යුගයේ පළමු සියවසේ දී, දෙවියන් වහන්සේගේ සත්‍යතාවය ඉගෙන ගත් අය විසින් කිනම් නිර්භීතකමක් විදහා පානු ලැබී ද?
එය අපගේ පොදු යුගයේ පළමු සියවස විය. බොහෝ කලක් මුළුල්ලේ බලාපොරොත්තුවෙන් සිටි මෙසියස් වහන්සේ පැමිණ තිබුණි. උන් වහන්සේ සිය ගෝලයන්ට හොඳින් උගන්වා තිබූ අතර, අති වැදගත් දේශනා කර්තව්‍යයක් දියත් කර තිබුණි. ඒ වනාහි ජනයාට දෙවියන් වහන්සේගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ඇසීමට කාලය විය. මෙබැවින්, සත්‍යය ඉගෙන ගෙන තිබූ පුරුෂයෝ සහ ස්ත්‍රීහු එම පණිවුඩය නිර්භය ව ප්‍රකාශ කළහ.—මතෙව් 28:19, 20.
2. අද දින යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ට ධෛර්යය අවශ්‍ය මන්ද?
2 රාජ්‍යය එම දවස්වල ස්ථාපිත කර තිබුණේ නැත. එහෙත්, තනතුරට නියම රජාණන් එනම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, රාජ්‍යය බලයෙන් යුතු ව තමාගේ අදෘශ්‍යමාන අනාගත පැමිණ සිටීම ගැන පුරෝකථනය කොට තිබූ සේක. එය, පෙර නොවූ විරූ යුද්ධ, සාගත, වසංගත, භූමිකමිපා සහ ශුභාරංචිය ලෝක ව්‍යාප්ත ව දේශනා කිරීම වැනි දේවල් මගින් සනිටුහන් කරනු ඇත. (මතෙව් 24:3-14; ලූක් 21:10, 11) යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් වශයෙන්, මෙම තත්ත්වයන්ට හා අප අත්දකින පීඩාවන්ට සාර්ථක ව මුහුණ දීම සඳහා අපට ධෛර්යය අවශ්‍ය ය. එමනිසා, පො.යු. පළමු සියවසේ ධෛර්යය සම්පන්න රාජ්‍යය ප්‍රකාශකයන් පිළිබඳ බයිබල් වාර්තාවන් ගැන සලකා බැලීම ප්‍රයෝජනදායක වනු ඇත.
ක්‍රිස්තුස් වහන්සේ ව අනුකරණය කිරීමට ධෛර්යය
3. ධෛර්යය සම්බන්ධයෙන් ඉතා හොඳ ම ආදර්ශය සපයන්නේ කවුද, තව ද හෙබ්‍රෙව් 12:1-3 හි උන් වහන්සේ ගැන පවසනු ලැබුවේ කුමක් ද?
3 යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ධෛර්යය සම්බන්ධ ව හොඳ ම ආදර්ශය සපයන සේක. යෙහෝවඃ වහන්සේගේ ධෛර්යය සම්පන්න පූර්ව-ක්‍රිස්තියානි සාක්ෂිකරුවන්ගේ ‘මහත් සේනාව’ ගැන සඳහන් කළායින් පසු, ප්‍රේරිත පාවුල් මෙසේ පවසමින් යේසුස් වහන්සේ වෙත අවධානය යොමු කරවයි: “එබැවින් මෙපමණ මහත් සාක්ෂිකාර සේනාවකින් අප වටව සිටින නිසා, සියලු බරද පහසුවෙන් අප අසුකරන පාපයද අහක දමා, ඇදහිල්ලේ කර්තෘවරයාද සපුර්ණකරන්නාදවූ යේසුස් වහන්සේ දෙසම බලමින්, අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් [විඳදරා ගැනීමෙන් යුතු ව NW] දුවමු. උන්වහන්සේ වනාහි තමන් ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය නිසා ලජ්ජාව නොසලකා, . . . [වධ කණුව NW] දරාගන, පසුව දෙවියන්වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තෙහි වැඩහිඳගත්සේක. ඒ නිසා නුඹලා, නුඹලාගේ සිත්වලින් ක්ලාන්තවී වෙහෙස නොවන පිණිස, තමන්ට විරුත්ටධව සිටිය පව්කාරයන්ගෙන් එපමණ විරුත්ටධකම් ඉවසූ [විඳදරා ගත් NW] තැනන්වහන්සේ [ඉතා ඕනෑකමින් බලන්න NW] කල්පනාකර බලාපල්ලා.”—හෙබ්‍රෙව් 12:1-3.
4. සාතන් විසින් පරීක්ෂා කරනු ලැබූ විට, යේසුස් වහන්සේ ධෛර්යය විදහා පෑවේ කෙසේ ද?
4 තම බව්තීස්මයෙන් හා පාළුකරයේ දවස් 40ක් මෙනෙහි කිරීමෙන්, යාච්ඤා කිරීමෙන් හා නිරාහාරව සිටීමෙන් පසු, යේසුස් වහන්සේ නිර්භීත ලෙස සාතන්ට විරුද්ධ වූ සේක. ගල් රොටි බවට පත් කිරීමට යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලබද්දී, යේසුස් වහන්සේ එය ප්‍රතික්ෂේප කළේ මන්දයත්, පෞද්ගලික ආශාවන් තෘප්තිමත් කරලීම සඳහා ප්රාතිහාර්ය කිරීම වැරදි දෙයක් වූ නිසා ය. “මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] මුඛයෙන් නික්මෙන සියලු වචනවලින් ජීවත්වෙනවා මිස, රොටි පමණකින් ජීවත් නොවන්නේය කියා ලියා තිබේ” යයි යේසුස් වහන්සේ වදාළ සේක. දේව මාළිගාවේ මුදුනෙහි සිට පහතට පනින මෙන් සාතන් විසින් අභියෝග කරනු ලැබූ විට, යේසුස් වහන්සේ එය ප්‍රතික්ෂේප කළේ මන්දයත්, සිය දිවි නසා ගැනීමක් බඳු ක්‍රියාවකින් ගලවන ලෙස දෙවියන් වහන්සේ ව පරීක්ෂාවට භාජනය කිරීම වැරදි දෙයක් වන බැවිනි. “තාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] පරීක්ෂා නොකරව කියාත් ලියා තිබේයයි” ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ කළ සේක. ‘නමස්කාරයේ එක ක්‍රියාවකට’ ලෝකයේ සියලු රාජ්‍යයන් දීමට සාතන් ඉදිරිපත් වූ නුමුදු, පරීක්ෂාවන් යටතේ දී මනුෂ්‍යයන් දෙවියන් වහන්සේට විශ්වාසවන්ත ව සිටින්නේ නැතැයි යන යක්ෂයාගේ අභියෝගයට යේසුස් වහන්සේ අනුබල දුන්නේවත් ඇදහිල්ල අත්හැරියේවත් නැත. එමනිසා යේසුස් වහන්සේ මෙසේ ප්‍රකාශ කළ සේක: “සාතන් අහක්ව යව. මක්නිසාද—තාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට [යෙහෝවඃ වහන්සේට NW] නමස්කාරකරව, උන්වහන්සේට පමණක් සේවයකරවයි ලියා තිබේ.” ඒ අවස්ථාවේ දී, පරීක්ෂාකරුවා, “තවත් පහසුවේලාවක් පැමිණෙන තෙක් උන් වහන්සේගෙන් ඉවත් ව ගියේ ය.”—මතෙව් 4:1-11; ලූක් 4:13, NW.
5. පරීක්ෂාවන් ඉදිරියේ නැගී සිටින්නට අපට උපකාර කිරීමට කුමකට හැකි වේ ද?
5 යෙහෝවඃ වහන්සේට යටත් ව සිටි යේසුස් වහන්සේ, සාතන්ට විරුද්ධ ව සිටි සේක. අප ඒ හා සමාන ව, ‘අප ව ම දෙවියන් වහන්සේට යටත් කර ගෙන යක්ෂයාට විරුද්ධ වන්නේ නම්, ඔහු අප කෙරෙන් පලා යනවා ඇත.’ (යාකොබ් 4:7) යේසුස් වහන්සේ මෙන්, පාපතර යම් දෙයක් කිරීමට අප පරීක්ෂා කරනු ලබන අවස්ථාවල, සමහරක් විට ශුද්ධ ලියවිලි උපුටා දක්වමින් අපි ඒවා අදාළ කර ගන්නෙමු නම්, ඒවාට එරෙහි ව ධෛර්යයෙන් යුතු ව නැගී සිටින්නට අපට හැක. සොරකමක් කිරීමට අප ව පරීක්ෂා කරනු ලබන අවස්ථාවක, “සොරකම් නොකරව” යන දෙවියන් වහන්සේගේ ආඥාව අපි අපට ම යළි යළිත් පවසා ගන්නෙමු නම්, අප එම පරීක්ෂාවට හසුවීම සිදු විය හැකි දෙයක් ද? ක්‍රිස්තියානින් දෙදෙනෙකුගෙන් එක් අයෙක්, “කාමමිථ්‍යාචාරය නොකරව” යන වදන් ධෛර්යයෙන් යුතු ව උපුටා දක්වයි නම්, ඔවුන් දෙදෙනා ලිංගික දුරාචාරයේ නියැලීමට හසුවේ ද?—රෝම 13:8-10; නික්මයාම 20:14, 15.
6. යේසුස් වහන්සේ ලෝකය ජය ගත් ධෛර්යය සම්පන්න කෙනෙකු වූයේ කෙසේ ද?
6 ක්‍රිස්තියානින් වශයෙන් වෛර කරනු ලබන මෙම ලෝක ස්වභාවයෙන් හා පව්කාර හැසිරීමෙන් අපට වැළකිය හැක. යේසුස් වහන්සේ සිය අනුගාමිකයන්ට මෙසේ පැවසූ සේක: “ලෝකයෙහි නුඹලාට පීඩා තිබේ. නුමුත් ධෛර්ය්යවත් වෙයල්ලා; මම ලෝකයෙන් ජයගතිමි.” (යොහන් 16:33) උන් වහන්සේ ලෝකය හා සමාන නොවීමෙන් ඉන් ජය ගත් සේක. ජයග්‍රාහකයෙකු වශයෙන් උන් වහන්සේගේ ආදර්ශය සහ උන් වහන්සේගේ අඛණ්ඩතාවය රැකීමේ ක්‍රියා මාර්ගයේ ප්‍රතිඵලය, මේ ලෝකයෙන් කිලිටි නොවී එයින් වෙන් ව සිටීමෙන් උන් වහන්සේ ව අනුකරණය කිරීමට ධෛර්යයෙන් අප ව පුරවාලනු ලැබීමයි.—යොහන් 17:16.
නොකඩවා දේශනා කිරීමට ධෛර්යය
7, 8. පීඩා අභිබවා දිගට ම දේශනා කිරීමට අපට කුමක් උපකාරවත් වනු ඇත් ද?
7 යේසුස් වහන්සේ සහ උන් වහන්සේගේ ගෝලයෝ පීඩා මැද දිගට ම දේශනා කිරීම සඳහා ධෛර්යය ලැබීමට දෙවියන් වහන්සේ කෙරෙහි රඳා පැවතුණහ. පීඩා අභිමුඛයේ ක්‍රිස්තුස් වහන්සේ නිර්භීත ලෙස සිය දේව සේවය ඉෂ්ට කළ අතර, පො.යු. 33 පෙන්තකොස්තයෙන් පසු, උන් වහන්සේගේ පීඩා ලත් අනුගාමිකයන් ව නතර කිරීමට යුදෙව් ආගමික නායකයන් උත්සාහ දැරුවත්, ඔවුහු දිගට ම ශුභාරංචිය ප්‍රකාශ කළහ. (ක්‍රියා 4:18-20; 5:29) ගෝලයෝ මෙසේ යාච්ඤා කළෝ ය: “ස්වාමිනී [යෙහෝවඃ වහන්ස NW], ඔවුන්ගේ තර්ජන බලා, . . . ඔබගේ වචනය නිර්භීතකමින් කථා කරන්ටත් . . . ඔබගේ දාසයන්ට වර දුන මැනව.” කුමක් සිදුවූයේ ද? වාර්තාව මෙසේ කියයි: “ඔවුන් යාච්ඤාකළ පසු, ඔවුන් රැස්ව සිටි ස්ථානය කම්පාවිය; ඔවුන් සියල්ලෝද ශුද්ධාත්මයෙන් පූර්ණව, දෙවියන් වහන්සේගේ වචනය නිර්භීත ලෙස කථාකළෝය.”—ක්‍රියා 4:24-31.
8 අද දින ජනයාගෙන් බහුතරයක් ශුභාරංචිය පිළිනොගන්නා සුලු අය නිසා, දේශනා කිරීම දිගට ම පවත්වා ගැනීම සඳහා බොහෝ විට ඔවුන්ට නිර්භීතකම අවශ්‍ය වෙයි. විශේෂයෙන් ම පීඩාවන්ට භාජනය වන විට, හොඳින් සාක්ෂි දැරීම සඳහා යෙහෝවඃ වහන්සේගේ සේවකයන් හට දෙවියන් වහන්සේ විසින් දානය කරනු ලබන ධෛර්යය අවශ්‍ය වෙයි. (ක්‍රියා 2:40; 20:24) එබැවින්, ධෛර්යය සම්පන්න රාජ්‍යය ප්‍රකාශකයෙක් වූ පාවුල් අත්දැකීමෙන් වඩාත් අඩු, යෞවන සේවකයෙකු හට මෙසේ පැවසී ය: “දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් [සිහිබුද්ධියේත් NW] ආත්මයක්ය. එබැවින් අපගේ ස්වාමීන් වහන්සේගේ සාක්ෂිය ගැනවත් උන්වහන්සේගේ හිරකාරයෙක් වන මා ගැනවත් ලජ්ජා නොවී, දෙවියන්වහන්සේගේ බලයේ ප්‍රකාරයට ශුභාරංචිය නිසා මා සමග දුක් විඳපන්න.” (2 තිමෝති 1:7, 8) අප ධෛර්යය උදෙසා යාච්ඤා කරන්නේ නම්, දේශනා කිරීම දිගට ම කර ගෙන යාමට අප ට හැකි වනු ඇත, තව ද රාජ්‍යය ප්‍රකාශකයන් වශයෙන් අපගේ ප්‍රීතිය සොරා ගැනීමට පීඩාවලටවත් නොහැකි වනු ඇත.—මතෙව් 5:10-12.
යෙහෝවඃ වහන්සේගේ පැත්ත ගැනීමට ධෛර්යය
9, 10. (අ) ක්‍රිස්තුස් වහන්සේගේ බව්තීස්ම ලත් අනුගාමිකයන් බවට පත්වීම සඳහා පළමු සියවසේ යුදෙව්වෝ හා අන්‍ය ජාතීහු කුමක් කළෝ ද? (ආ) ක්‍රිස්තියානියෙකු බවට පත්වීමට ධෛර්යය අවශ්‍ය වූයේ මන්ද?
9 පළමු-සියවසේ අන්‍ය ජාතිකයන් හා යුදෙව්වන් බොහෝ දෙනෙක්, ක්‍රිස්තුස් වහන්සේගේ බව්තීස්ම ලත් අනුගාමිකයන් බවට පත්වීම සඳහා, ධෛර්යයෙන් යුතු ව ශුද්ධ ලියවිලිමය නොවන සම්ප්‍රදායන් අත්හැර දැමූහ. පොදු යුගයේ 33 පෙන්තකොස්ත දවසෙන් ටික කලකට පසු, “ගෝලයන්ගේ ගණන යෙරුසලමේ අතිශයින්ම වැඩිවිය; පූජකයන්ගෙන් මහත් සමූහයක්ද ඇදහිල්ලට කීකරුවූවෝය.” (ක්‍රියා 6:7) ආගමික බැඳීම් බිඳගෙන යේසුස් වහන්සේ ව මෙසියස් වහන්සේ වශයෙන් පිළිගැනීමට එම යුදෙව්වන්ට ධෛර්යය තිබිණි.
10 පොදු යුගයේ 36න් පටන් ගෙන, අන්‍ය ජාතිකයන් බොහෝ දෙනෙක් ඇදහිලිවන්තයන් බවට පත් වූහ. කොර්නේලියස්, ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ වෙනත් අන්‍ය ජාතීන් ශුභාරංචිය ඇසූ අවස්ථාවේ, ඔවුහු එය විගස පිළිගෙන, ශුද්ධාත්මය ලබා, “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් . . . බව්තීස්ම” වූහ. (ක්‍රියා 10:1-48) පිලිප්පියේ දී, අන්‍ය ජාතික හිරගෙදර මුලාදෑනියෙක් සහ ඔහුගේ පවුලේ අය සැණෙකින් ක්‍රිස්තියානි ධර්මය වැළඳගත් අතර, “ඔහුද ඔහුගේ ගෙයි වැසි සියල්ලෝද එකෙණෙහිම බව්තීස්මකරනු ලැබුවෝය.” (ක්‍රියා 16:25-34) එවන් පියවර ගැනීමට ධෛර්යය අවශ්‍ය විය, මක්නිසාදයත් ක්‍රිස්තියානිහු වනාහි පීඩාලත් ජනප්‍රිය නොවූ සුළු පිරිසක් වූ නිසා ය. තවමත් ඔවුන් එසේ ම ය. එහෙත් ඔබ දෙවියන් වහන්සේට කැප වීමක් නොකර, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෙකු ලෙස තවමත් බව්තීස්ම නොවී සිටිනවා නම්, මෙම ධෛර්යය සම්පන්න පියවර ගැනීමට ඔබ සඳහා දැන් කාලය නොවේ ද?
බෙදුණු පවුල් තුළ ධෛර්යය
11. එවුනිකී සහ තිමෝති ධෛර්යයේ කිනම් කදිම ආදර්ශ සැපයූවෝ ද?
11 එවුනිකී සහ ඇගේ පුත් තිමෝති, ආගමික වශයෙන් බෙදුණු පවුලක ධෛර්යය සම්පන්න ඇදහිල්ලේ කදිම ආදර්ශයන් තැබූහ. එවුනිකී හට මිථ්‍යා දෘෂ්ටික ස්වාමිපුරුෂයෙක් සිටිය ද, ඈ ඇගේ පුත්‍රයාට ඔහුගේ ළදරුවියේ පටන්, ‘ශුද්ධ ලියවිලි’ ඉගැන්වූවා ය. (2 තිමෝති 3:14-16) ක්‍රිස්තියානියෙකු බවට පත් වෙමින්, ඈ ‘කිසි ම කුහකකමින් තොර ඇදහිල්ලක්’ විදහා පෑවා ය. (2 තිමෝති 1:5, NW) තම නොඇදහිලිකාර සැමියාගේ මූලිකත්වයට ගෞරවය පෙන්වන අතරේ දී, තිමෝති හට ක්‍රිස්තියානි ඉගැන්වීම් දීමට ඈ හට ධෛර්යය තිබිණි. හොඳින් උගන්වනු ලැබූ ඇගේ පුත්‍රයා ව පාවුල් සමඟ මිෂනාරි ගමන්වල නියැලීමට තෝරා ගනු ලැබූ විට, ඇගේ ඇදහිල්ලට හා ධෛර්යයට විපාක නිසැක ව ලැබිණි. මේ හා සමාන තත්ත්වයක තමනුත් සිටින බවට හැඟී යන ක්‍රිස්තියානි දෙමාපියන්ට මෙය කොතරම් ධෛර්යයක් විය හැකි ද!
12. තිමෝති කිනම් ආකාර පුද්ගලයෙකු බවට පත්වූයේ ද, තව ද ඔහු මෙන් වීමට දැන් උත්සාහ කරමින් සිටින්නේ කවුද?
12 ආගමික වශයෙන් බෙදුණු පවුලක ජීවත් වුණත්, ධෛර්යයෙන් යුතු ව ක්‍රිස්තියානි ධර්මය පිළිගත් තිමෝති, ආත්මික පුද්ගලයෙකු බවට පත් විය. ඔහු ගැන පාවුල්ට මෙසේ කියන්නට හැකි විය: “මමත් නුඹලාගේ කාරණ දැන හොඳ සැනසිල්ල ලබන පිණිස නුඹලා [පිලිප්පිවරුන්] ළඟට තිමෝතියස් නොබෝ කලකින් එවන්ට ස්වාමිවූ යේසුස්වහන්සේ තුළ බලාපොරොත්තුවෙමි. මක්නිසාද නුඹලාගේ කාරණ ගැන ඔහු වාගේ සැබෑලෙස සලකන්නාවූ වෙන කෙනෙක් මට නැත. . . . ඔහු නම් දරුවෙක් පියෙකුට සේවය කරන්නාක්මෙන් ශුභාරංචියේ වර්ධනය සඳහා මා සමග සේවයකළේය යන ඔහුගේ ඔප්පුව නුඹලා දනිහුය.” (පිලිප්පි 2:19-22) අද දින, ආගමික වශයෙන් බෙදුණු පවුල්වල පිරිමි ළමුන් හා ගැහැණු ළමුන් බොහෝ දෙනෙක්, ධෛර්යය සම්පන්න ව ක්‍රිස්තියානි ධර්මය වැළඳ ගනිති. තිමෝති මෙන්, ඔවුහු, තමන් ගැන ම සාක්ෂි ඉදිරිපත් කරති, එමෙන් ම, ඔවුන් යෙහෝවඃ වහන්සේගේ සංවිධානයේ අය වීම ගැන අපි කොතරම් සතුටු වන්නෙමු ද!
‘අපගේ ගෙල දීමට’ ධෛර්යය
13. අකිලා හා ප්‍රිස්කිලා ධෛර්යය විදහා පෑවේ කුමන ආකාරයෙන් ද?
13 අකිලා සහ ඔහුගේ භාර්යාව ප්‍රිස්කිලා (ප්‍රිස්කා), සෙසු ඇදහිලිවන්තයෙකු වෙනුවෙන් ධෛර්යයෙන් යුතු ව ‘තම ගෙල දීම’ මගින් ආදර්ශයක් තැබූහ. ඔවුහු පාවුල් ව තම නිවසට පිළිගෙන, කූඩාරම් සෑදීමෙහි ලා ඔහු සමඟ වැඩ කළ අතර, කොරින්තියේ නව සභාවක් සෑදීමට ඔහුට උපකාර කළෝ ය. (ක්‍රියා 18:1-4) තම මිත්‍රත්වයේ වසර 15ක කාල පරිච්ඡේදය අතරතුරේ දී, ඔවුහු ඔහු වෙනුවෙන් හෙළි නොකරන ලද ආකාරයකින් තම ජීවිත පරදුවට තැබූහ. පාවුල් රෝමයේ ක්‍රිස්තියානින් හට මෙසේ පැවසූ විට ඔවුහු එහි සිටියෝ ය: “ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මාගේ හවුල් වැඩකාරයන්වූ, මාගේ ජීවිතය උදෙසා තමුන්ගේ බෙල්ල දුන්නාවූ ප්‍රිස්කාටද අකිලාටද ආචාරකරපල්ලා. මා පමණක් නොව අන්‍යජාතීන්ගේ සියලු සභාවෝද ඔවුනට ස්තුතිකරති.”—රෝම 16:3, 4.
14. පාවුල් උදෙසා තම ගෙල දීමේ අවදානම ගැනීම මගින්, අකිලා සහ ප්‍රිස්කා කිනම් ආඥාවට එකඟ ව ක්‍රියා කරමින් සිටියෝ ද?
14 පාවුල් වෙනුවෙන් තම ගෙල දීම මගින්, අකිලා සහ ප්‍රිස්කා ක්‍රියා කළේ යේසුස් වහන්සේගේ වචනවලට අනුකූල ව ය: “මා නුඹලාට ප්‍රේමකළාක්මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේමකරන ලෙස, එකිනෙකාට ප්‍රේමකරපල්ලා කියා අලුත් ආඥාවක් මම නුඹලාට දෙමි.” (යොහන් 13:34) මෙම ආඥාව “අලුත්” එකක් වූයේ මන්දයත්, යම් පුද්ගලයෙක් තමාට ම ප්‍රේම කරන්නාක් මෙන්, තමාගේ අසල් වැසියාට ප්‍රේම කළ යුතු ය යන මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ සඳහන් වූ අවශ්‍යතාවය අභිබවා ගිය හෙයිනි. (ලෙවී කථාව 19:18) යේසුස් වහන්සේ කළාක් මෙන්, යමෙකුගේ ජීවිතය අන්‍යයන් වෙනුවෙන් දෙන තරම් දුර දිග යන්නා වූ ආත්ම-පරිත්‍යාගි ප්‍රේමයක් ඊට අවශ්‍ය කරවී ය. ක්‍රිස්තියානින් සම්බන්ධ ව ලෝකයේ ජනයා පැවසූ වචන උපුටා දක්වමින් පො.යු. දෙවෙනි සහ තුන්වෙනි සියවසේ ලේඛක ටර්ටූලියන් ලීවේ මෙසේ ය: “ ‘ඔවුන් එකිනෙකාට ප්‍රේම කරන සැටිත්, . . . ඔවුන් එකිනෙකා වෙනුවෙන් මිය යාමට සූදානමින් සිටින සැටිත් බලන්න’ යයි ඔවුහු කියති.” (ඇපොලජි, පරිච්ඡේද XXX1X, 7) විශේෂයෙන් ම, අප පීඩා මැද සිටින විට, වධ හිංසා කරනු ලැබීමට හෝ සතුරන් අතින් මරණය පත් කරනු ලැබීමට භාජනය වන පරිදි සෙසු ඇදහිලිවන්තයන් ගැන හෙළි කිරීමෙන් වැළකී සිටීමෙහි ලා ධෛර්යය සම්පන්න ව අපගේ ජීවිත පරදුවට තබා කටයුතු කිරීමෙන් අපි අපගේ සහෝදර ස්නේහය නිරූපනය කිරීමට බැඳී සිටින්නෙමු—1 යොහන් 3:16.
ධෛර්යය ප්‍රීතිය ගෙන එයි
15, 16. ක්‍රියා 16 වෙනි පරිච්ඡේදයේ පෙන්වා ඇතිවාක් මෙන්, ධෛර්යය සහ ප්‍රීතිය කෙසේ එකට සම්බන්ධ වනවා විය හැකි ද?
15 පරීක්ෂා මැද ධෛර්යය විදහා පෑමෙන් ප්‍රීතිය ලැබිය හැකි බවට පාවුල් සහ සීලස් සාක්ෂි සපයති. පිලිප්පි නගරයේ, සිවිල් මහේස්ත්රාත්වරුන්ගේ අණ පරිදි, ඔවුන් හට ප්‍රසිද්ධියේ කෝටුවලින් තලනු ලැබ සිර ගෙදර දඬුගසනු ලැබූහ. එහෙත්, ඔවුන් භයෙන් සැඟවී සිටියේ නැත. පරීක්ෂාකාරී තත්ත්වයන් මැද, තවදුරටත් දෙවියන් වහන්සේ විසින් දානය කරන ලද ධෛර්යය ඔවුනට තිබූ අතර, ඉන් ඇදහිලිවන්ත ක්‍රිස්තියානින් හට ගෙනෙන ප්‍රීතිය ඔවුනට තිබිණි.
16 මධ්‍යම රාත්‍රිය පමණ වන විට, පාවුල් සහ සීලස් යාච්ඤා කරමින් ද, ගීතිකා ගයමින් දෙවියන් වහන්සේට ප්රංශසා කරමින් ද සිටියෝ ය. හදිසියේ ම, භූමි කම්පාවකින් සිර ගෙදර චංචල වී ගියෙන්, ඔවුන්ගේ බැමි ලෙහී, දොරවල් කැඩී විවර විය. භීතියට පත් ව සිටි හිර ගෙදර මුලාදෑනියා සහ ඔහුගේ පවුල වෙත නිර්භීත සාක්ෂියක් දෙනු ලැබූ අතර, එය ඔවුන් ව යෙහෝවඃ වහන්සේගේ සේවකයන් වශයෙන් ඔවුන්ගේ බව්තීස්මයට හේතු කරවී ය. ඔහු ම “තමාගේ ගෙයි වැසි සියල්ලන් සමග දෙවියන්වහන්සේ අදහමින් බොහෝසේ ප්‍රීතිවූයේය.” (ක්‍රියා 16:16-34) මෙය පාවුල් සහ සීලස් හට මොනතරම් ප්‍රීතියක් ගෙන ආවා විය යුතු ද! මෙය සහ ධෛර්යය පිළිබඳ වෙනත් ශුද්ධ ලියවිලිමය ආදර්ශයන් සලකා බැලීමෙන්, යෙහෝවඃ වහන්සේගේ සේවකයන් වශයෙන් ධෛර්යය සම්පන්න ව දිගට ම සිටීමට අපට හැක්කේ කෙසේ ද?
දිගට ම මහත් ධෛර්යයක් ඇති ව සිටින්න
17. ගීතාවලිය 27 වෙනි පරිච්ඡේදයේ පෙන්වා ඇත්තාක් මෙන්, යෙහෝවඃ වහන්සේ කෙරෙහි බලාපොරොත්තු වීම, ධෛර්යයට සම්බන්ධ ව තිබෙන්නේ කෙසේ ද?
17 යෙහෝවඃ වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටීම, ධෛර්යයෙන් යුක්ත ව සිටීමට අපට උපකාරවත් වනු ඇත. දාවිත් මෙසේ ගායනා කළේ ය: “ස්වාමීන් [යෙහෝවඃ වහන්සේ NW] කෙරෙහි බලාසිටුව [බලාපොරොත්තුවෙන් සිටින්න NW]. ශක්තිමත් වෙව, තාගේ සිත ධෛර්ය්යමත් [හෘදය ශක්තිමත් NW] වේවා; එසේය ස්වාමීන් [යෙහෝවඃ වහන්සේ NW] කෙරෙහි බලාසිටුව.” (ගීතාවලිය 27:14) යෙහෝවඃ වහන්සේ තම ජීවිතයේ “බලකොටුව” ලෙස දාවිත් උන් වහන්සේ කෙරෙහි රඳා සිටි බව ගීතාවලිය 27 වෙනි පරිච්ඡේදය පෙන්වයි. (1 පදය) දාවිත්ගේ එදිරිවාදීන් සමඟ අතීතයේ දී දෙවියන් වහන්සේ කටයුතු කළ ආකාරය දැකීමෙන් ඔහුට ධෛර්යය ලැබිණි. (2, 3 පද) යෙහෝවඃ වහන්සේගේ නමස්කාර මධ්‍යස්ථානය කෙරෙහි වූ අගය කිරීම තවත් සාධකයක් විය. (4 පදය) යෙහෝවඃ වහන්සේගේ උපකාරය, රැකවරණය සහ ගැලවීම කෙරෙහි තිබූ දැඩි විශ්වාසය ද දාවිත් තුළ ධෛර්යය තව තවත් ගොඩ නැගුවේ ය. (පද 5-10) තව ද, යෙහෝවඃ වහන්සේගේ ධර්මිෂ්ඨ මාර්ගයේ ප්රතිපත්තිවල නොකඩවා ගලා ආ උපදෙස් ද උපකාරවත් විණි. (11 පදය) ඇදහිල්ල හා බලාපොරොත්තුව සමඟින් තම එදිරිවාදීන්ගෙන් ගැලවීමට, ඔහු නිසැකකමින් කළ යාච්ඤාව, ධෛර්යවත් වීමට දාවිත්ට උපකාර කළේ ය. (පද 12-14) මෙසේ, අප සැබවින් ම “යෙහෝවඃ වහන්සේ කෙරෙහි බලාපොරොත්තු වන” [NW] බව පෙන්වමින්, ඒ හා සමාන ආකාරයකින් අපගේ ධෛර්යය සම්පන්නකම ගොඩනැංවීමට අපට හැක.
18. (අ) යෙහෝවඃ වහන්සේගේ සෙසු ඇදහිලිවන්තයන් සමඟ නිති පතා ඇසුරු කිරීම, ධෛර්යය සම්පන්න ව සිටීමට අපට උපකාර කරන බව පෙන්වන්නේ කුමකින් ද? (ආ) ධෛර්යය ගොඩනැංවීමෙහි ලා ක්‍රිස්තියානි රැස්වීම් කිනම් කාර්ය භාරයක් ඉටු කරයි ද?
18 යෙහෝවඃ වහන්සේගේ සෙසු ඇදහිලිවන්තයන් සමඟ නිති පතා ඇසුරු කිරීම, ධෛර්යය සම්පන්න ව සිටීමට අපට උපකාරවත් විය හැකි ය. පාවුල් කායිසර්ට අභියාචනා කොට, රෝමයට ගමන් කරමින් සිටි අවස්ථාවේ, අපියුස්ගේ වෙළෙඳාම් පොළ හා තානායම් තුන අසල දී සෙසු ඇදහිලිවන්තයන් ව ඔහුට මුණ ගැසුණි. “පාවුල් ඔවුන් දැක, දෙවියන්වහන්සේට ස්තුතිකොට, ධෛර්ය්ය ලැබුවේය” යයි වාර්තාව කියයි. (ක්‍රියා 28:15) අප නිති පතා ක්‍රිස්තියානි රැස්වීම්වලට යනවාත් සමඟ ම, අපි පාවුල්ගේ මෙම උපදෙසට අවනත වන්නෙමු: “තවද ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන පිණිස එකිනෙකා ගැන සිතේ තබා ගනිමු. සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේම රැස්වීම අත් නෑර, ඒ දවස ළංවන බව නුඹලාට පෙනෙන ප්‍රකාරයට වඩ වඩා එකිනෙකාට අවවාදකරමු.” (හෙබ්‍රෙව් 10:24, 25) එකිනෙකා ව දිරිගැන්වීම කීමෙන් අදහස් කරන්නේ කුමක් ද? දිරිගැන්වීම යනුවෙන් අදහස් කරන්නේ, “ධෛර්යයෙන්, ප්රාණවත්කමින් හෝ බලාපොරොත්තුවෙන් සජීවී කරවීම ය.” (වෙබ්ස්ටර්ස් නයින්ත් න කොලීජියට් ඩික්ෂනරි) වෙනත් ක්‍රිස්තියානින් ව ධෛර්යයෙන් සජීවී කරලීම සඳහා අපට බොහෝ දේ කළ හැක, එමෙන් ම ඔවුන්ගේ දිරිගැන්වීම තුළින් ඒ හා සමාන ව අප තුළත් එම ගුණාංගය වර්ධනය කළ හැකි ය.
19. අප ධෛර්යයෙන් යුතු ව දිගට ම සිටීමට, ශුද්ධ ලියවිලි සහ ක්‍රිස්තියානි රැස්වීම් කෙසේ සම්බන්ධ ව තිබේ ද?
19 ධෛර්යය සම්පන්න ව සිටීමට නම්, අප නිති පතා දේව වචනය අධ්‍යයනය කොට, එහි උපදෙස් අපගේ ජීවිතවලට අදාළ කළ යුතු ය. (ද්විතීය කථාව 31:9-12; යෝෂුවා 1:8) අපගේ නිති පතා අධ්‍යයනයට ශුද්ධ ලියවිලි මත පදනම් වූ ප්‍රකාශන ඇතුළත් විය යුතු ය, මන්දයත්, දෙවියන් වහන්සේ විසින් දානය කරනු ලබන ධෛර්යය සමඟින් ඇදහිල්ලේ පරීක්ෂාවන්ට මුහුණ දීමට, මේ අයුරින් සපයා ඇති ස්ථිරසාර උපදෙස් අපට උපකාර කරන බැවිනි. යෙහෝවඃ වහන්සේගේ සේවකයන් විවිධ තත්ත්වයන් තුළ ධෛර්යය සම්පන්න ව සිට ඇති ආකාරය බයිබල් වාර්තාවලින් අපි දැක ඇත්තෙමු. එවැනි තොරතුරු අපට උපකාරවත් විය හැකි ආකාරය දැන් අප නොදන්නවා වන්නට පුළුවන, නමුත් දෙවියන් වහන්සේගේ වචනයට බලය තිබේ, තව ද අප එයින් ඉගෙන ගන්නා දේ සෑම විට ම අපට ප්‍රයෝජන ලබා දිය හැකි ය. (හෙබ්‍රෙව් 4:12) නිදසුනක් වශයෙන්, මනුෂ්‍යයන්ට ඇති භය අපගේ දේව සේවයට බලපෑම් කරන්නට පටන් ගෙන තිබේ නම්, අභක්තික මිනිසුන්ට දෙවියන් වහන්සේගේ පණිවුඩය ප්‍රකාශ කරන්නට ඒනොක්ට ධෛර්යය තිබූ ආකාරය අපට සිහි කළ හැකි ය.—යූද් 14, 15.
20. අප යෙහෝවඃ වහන්සේගේ සේවකයන් වශයෙන්, ධෛර්යය සම්පන්න ව සිටීමට, යාච්ඤාව අතිශයින් වැදගත් බව පැවසිය හැක්කේ මන්ද?
20 යෙහෝවඃ වහන්සේගේ සේවකයන් වශයෙන් ධෛර්යය සම්පන්න ව සිටීමට, අප යාච්ඤාවේ නොකඩවා නියැලිය යුතුයි. (රෝම 12:12) යේසුස් වහන්සේ සිය පරීක්ෂාවන් ධෛර්යයෙන් යුතු ව විඳදරා ගත් සේක, මන්දයත්, උන් වහන්සේ, ‘තමන්ගේ මරණයෙන් ගලවන්ට පුළුවන් වූ තැනන් වහන්සේට බලවත් හැඬීමෙන් හා කඳුලින් යුක්ත යාච්ඤා සහ කන්නලව් ඔප්පු කර, තමන්ගේ දේව භය නිසා උත්තර ලැබූ’ බැවිනි. (හෙබ්‍රෙව් 5:7) යාච්ඤාවෙන් දෙවියන් වහන්සේට ළංව සිටීම මගින්, නැවත නැගිටීමක් නැති “දෙවෙනි මරණය” අත්දැකීමට නියම වී සිටින ලෝකයේ බියසුල්ලන්ට අප සමාන නොවනවා ඇත. (එළිදරව් 21:8) දිව්‍ය ආරක්ෂාව හා දෙවියන් වහන්සේගේ නව ලෝකයේ ජීවිතය තිබෙන්නේ උන් වහන්සේගේ ධෛර්යය සම්පන්න සේවකයන්ට ය.
21. යෙහෝවඃ වහන්සේගේ පක්ෂපාත සේවකයන්ට ධෛර්යය සම්පන්න ව සිටිය හැක්කේ මන්ද?
21 භූතයන්ට හා මිනිස් සතුරන්ට භය වීමට, යෙහෝවඃ වහන්සේගේ පක්ෂපාත සාක්ෂිකරුවන් වශයෙන්, අපට අවශ්‍ය නැත, මක්නිසාදයත්, දෙවියන් වහන්සේගේ අනුබලය සහ ලෝකය ජය ගත්තෙකු වශයෙන් යේසුස් වහන්සේගේ ධෛර්යය සම්පන්න ආදර්ශය අපට ඇති නිසා ය. යෙහෝවඃ වහන්සේගේ ජනයා සමඟ ආත්මික ව ගොඩනංවන සුලු ඇසුර ද, ධෛර්යය සම්පන්න ව සිටීමට මේ හා සමාන ව අපට උපකාර කරයි. ශුද්ධ ලියවිල්ලේ සහ ක්‍රිස්තියානි ප්‍රකාශනවලින් ලැබෙන මඟ පෙන්වීම හා උපදෙස් තුළින් ද අපගේ ධෛර්යය ගොඩනංවනු ලැබේ. තව ද, අතීතයේ දෙවියන් වහන්සේගේ සේවකයන් පිළිබඳ වාර්තාවන්, උන් වහන්සේගේ මාර්ගවල ධෛර්යයෙන් යුක්ත ව ගමන් කිරීමට අපට උපකාරවත් වේ. එමනිසා, මෙම අර්බුදකාරී අවසාන දවස්වල, අපි පරිශුද්ධ සේවය තුළ එඩිතර ව ඉදිරිය බලා ගමන් කරමු. එසේ ය, යෙහෝවඃ වහන්සේගේ සියලු ජනයා මහත් ධෛර්යයකින් යුතු ව සිටීවා!
ඔබ පිළිතුරු දෙනු ඇත්තේ කෙසේ ද?
◻ අප ව ධෛර්යයෙන් පුරවාලීමට යේසුස් වහන්සේගේ ආදර්ශයට හැක්කේ කෙසේ ද?
◻ දිගට ම දේශනා කිරීම පිණිස යේසුස් වහන්සේට හා උන් වහන්සේගේ ගෝලයන්ට ධෛර්යය දුන්නේ කුමක් ද?
◻ යෙහෝවඃ වහන්සේගේ පැත්ත ගැනීමට යුදෙව්වන්ට හා අන්‍ය ජාතීන්ට ධෛර්යය අවශ්‍ය වූයේ මන්ද?
◻ එවුනිකී සහ තිමෝති විසින් ධෛර්යය සම්බන්ධයෙන් කිනම් ආදර්ශයන් තබන ලද්දේ ද?
◻ පීඩා මැද පවා, ධෛර්යය ප්‍රීතිය ගෙනෙන බවට ඇති සාක්ෂි මොනවා ද?
[18වන පිටුවේ පින්තූරය]
යේසුස් වහන්සේ මෙන් ශුද්ධ ලියවිලි අදාළ කර උපුටා දක්වන්නේ නම්, අපටත් පරීක්ෂාවන්ට එරෙහි ව නැගී සිටිය හැක