අදෘශ්‍යමාන තැනැත්තා දකින්නාක් මෙන් ස්ථිරව සිටින්න!
‘අදෘශ්‍යමාන තැනැත්තා දකින්නාක් මෙන් [මෝසෙස්] ස්ථිරව සිටියේය.’—හෙබ්‍රෙව් 11:27.
1. යේසුස් සිය කන්ද උඩ දේශනාවේදී දෙවි සම්බන්ධයෙන් කියූ පුදුම දනවන ප්‍රකාශය කුමක්ද?
අදෘශ්‍යමාන දෙවි යෙහෝවාය. යෙහෝවාගේ තේජස දකින්නට සලස්වන්න කියා මෝසෙස් ඉල්ලා සිටි විට, දෙවි ඔහුට මෙසේ පිළිතුරු දුන්නේය. “මාගේ මුහුණ දකින්ට නුඹට නුපුළුවන. මක්නිසාද මනුෂ්‍යයා මා දැක ජීවත්නොවන්නේය.” (නික්මයාම 33:20) ප්‍රේරිත යොහන්ද මේ හා සමාන අදහසක් පළ කළේය. “කිසිවෙක් කිසිකලක [දෙවි] දුටුවේ නැත” කියා ඔහු පැවසීය. (යොහන් 1:18) යේසුස් ක්‍රිස්තුස් මිහිපිට මනුෂ්‍යයෙකු වශයෙන් වාසය කළ කාලයේදී ඔහුට පවා දෙවිව දැකගත නොහැකි විය. එනමුත්, සිය කන්ද උඩ දේශනාවේදී යේසුස් මෙසේ පැවසීය. “සිතින් පවිත්‍රව සිටින්නෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු [දෙවිව] දකින්නෝය.” (මතෙව් 5:8) යේසුස් මින් අදහස් කළේ කුමක්ද?
2. අපගේ පියවි ඇසින් දෙවිව දැකගැනීමට අපට නොහැක්කේ මන්ද?
2 යෙහෝවා අදෘශ්‍යමාන ආත්මයක් බව ශුද්ධ ලියවිල්ලෙහි පැහැදිලිව පවසයි. (යොහන් 4:24; කොලොස්සි 1:15; 1 තිමෝති 1:17) එසේ නම්, යේසුස් මින් අදහස් කළේ මනුෂ්‍යයන් වන අපට අපගේ පියවි ඇසින් යෙහෝවාව දැකගත හැකි බව නොවේ. ආලේප ලත් ක්‍රිස්තියානීන්ව අදෘශ්‍යමාන ආත්ම ජීවීන් ලෙස නැවත-නැඟිටුවනු ලබන විට, ඔවුහු යෙහෝවා දෙවිව ස්වර්ගයෙහිදී දකින්නෝය. එනමුත් මිහිපිට සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව ඇතුව “සිතින් පවිත්‍රව” සිටින මනුෂ්‍යයන්ටද දෙවිව ‘දැකගත’ හැකිය. ඒ කෙසේද?
3. මනුෂ්‍යයන්ට දෙවිගේ ගුණාංග සමහරක් තේරුම්ගත හැක්කේ කෙසේද?
3 යෙහෝවා මැවූ දේවල් හොඳින් නිරීක්ෂණය කර බැලීමෙන් අපට ඔහු ගැන යමක් උගත හැක. අප ඔහුගේ බලය දැක මවිතයට පත් වන විට, අපගේ දෙවි සහ මැවුම්කරු ලෙස යෙහෝවාව මුළු හදින්ම පිළිගැනීමට අප තුළ පෙලඹීමක් ඇති විය හැක. (හෙබ්‍රෙව් 11:3; එළිදරව් 4:11) මේ සම්බන්ධයෙන් ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය. “ලෝකය මැවූ තැන් පටන් [දෙවිගේ] අදෘශ්‍යමාන දේ වන [ඔහුගේ] සදාකාලිකවූ බලය හා දෙවිකම මවනලද දේවලින් තේරුම් ගොස් පැහැදිලිලෙස පෙනීයන්නේය.” (රෝම 1:20) මින් පැහැදිලි වන්නේ දෙවිව දැකීම සම්බන්ධයෙන් යේසුස් පැවසූ වදන්, යෙහෝවාගේ ගුණාංග සමහරක් තේරුම්ගැනීමේ හැකියාවට සම්බන්ධ වන බවයි. මෙලෙස දැකීමට නිවැරදි දැනුම අවශ්‍ය වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ‘සිත් නමැති ඇස්’ තුළින් ආත්මික ආකාරයකින් දැකීමටද හැකියාව ලැබේ. (එපීස 1:19) දෙවි ගැන තවත් බොහෝ දේවල් යේසුස් කළ කී දේවලින්ද හෙළි වේ. ‘මා දුටු තැනැත්තේ පියාණන් දුටුවේය’ කියා ඔහු පැවසුවේ එනිසාය. (යොහන් 14:9) යෙහෝවාගේ පෞද්ගලිකත්වය ගැන ඉතා පැහැදිලි පින්තූරයක් යේසුස්ගේ චරිතය තුළින් දැකගත හැකි විය. එමනිසා ඔහුගේ ජීවිතය සහ ඉගැන්වීම් අධ්‍යයනය කිරීම දෙවිගේ ගුණාංග සමහරක් දැකීමට නැතහොත් තේරුම්ගැනීමට අපට උපකාරවත් විය හැක.
ආත්මික දෘෂ්ටියක් අත්‍යවශ්‍යය
4. ආත්මිකත්වයෙන් හීන වූ ස්වභාවයක් අදදින බොහෝදෙනා විදහාපෙන්වන්නේ කෙසේද?
4 අදදින ඇදහිල්ලක් සහ සැබෑ ආත්මික දෘෂ්ටියක් ඇති අය සොයාගැනීම දුෂ්කරය. පාවුල් එය පැහැදිලි කළේ ‘සියල්ලන්ටම ඇදහිල්ල නැත’ කියා පැවසීමෙනි. (2 තෙසලෝනික 3:2) බොහෝදෙනෙක් තම පෞද්ගලික ආශාවන් පසුපසම හඹා යති. දෙවි කෙරෙහි ඇදහිල්ලක් කොහෙත්ම ඔවුන්ට නැත. ඔවුන්ගේ පව්කාර හැසිරීමත්, ආත්මිකත්වයෙන් හීන වූ ස්වභාවයත් නිසා, දෙවිව තමන්ගේ අවබෝධය නමැති ඇස්වලින් ඔවුන්ට දැකගත නොහැකිය. ප්‍රේරිත යොහන් එය මෙසේ පැහැදිලි කළේය. “නපුර කරන්නා [දෙවිව] දුටුවේ නැත.” (3 යොහන් 11) මෙවන් පුද්ගලයෝ තම පියවි ඇසින් දෙවිව නොදකින නිසා, ඔවුන් ක්‍රියා කරන්නේ තමන් කරන දේ දෙවිට නොපෙනෙනවා යන හැඟීමෙනි. (එසකියෙල් 9:9) ආත්මික දේවල් පහත් කොට සලකන ඔවුහු ‘දෙවි පිළිබඳ සැබෑ දැනුම’ ලබාගැනීමට අපොහොසත් වෙති. (හිතෝපදේශ 2:5, NW) පාවුල් ඔවුන්ගේ තත්වය මෙලෙස උචිත ආකාරයෙන් විස්තර කළේය. “ජම්මික [මාංසික, NW] මනුෂ්‍යයා [දෙවිගේ ආත්මයේ] කාරණා පිළි නොගනියි. ඒවා ඔහුට මෝඩකමය; ඒවා ආත්මිකලෙස විමසිය යුතු බැවින් ඒවා දැනගන්ට ඔහුට බැරිය.”—1 කොරින්ති 2:14.
5. ආත්මික මනසකින් ක්‍රියා කරන පුද්ගලයන් කුමන දේ මනසෙහි තබාගන්නවාද?
5 අපට ආත්මික මනසක් තිබෙනවා නම්, අප නපුරු සිතුවිලි සහ ආශාවන්ගෙන් පෙලඹී ක්‍රියා කරන විට දෙවි එය දකින බව නිතරම මනසෙහි තබාගන්නෙමු. ‘මනුෂ්‍යයාගේ මාර්ග යෙහෝවාගේ ඇස් ඉදිරියෙහිය. ඔහුගේ සියලු මාවත් ඔහු කල්පනා කර බලන්නේය.’ (හිතෝපදේශ 5:21) ඔව්, යෙහෝවා අපගේ වැරදි සොයන දෙවි කෙනෙකු නොවන බවට වූ කාරණයෙන් අපි අයුතු ප්‍රයෝජන නොගනිමු. අප යම් පාපයකට හසු වන අවස්ථාවලදී, ඒ ගැන පසුතැවිලි වී යෙහෝවාගේ සමාව අයදීමට අප තුළ පෙලඹීමක් ඇති වේ. අප එසේ කරන්නේ අප යෙහෝවාට ප්‍රේම කරන නිසාත්, ඔහුව වේදනාවට පත් කරන්න අප අකමැති නිසාත්ය.—ගීතාවලිය 78:41; 130:3.
ස්ථිරව සිටීමට මඟ කුමක්ද?
6. ස්ථිරව සිටිනවා යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
6 අපට යෙහෝවාව අපගේ ඇස්වලින් දැකිය නොහැකි වුවද, ඔහුට අපව පෙනෙන බව නිතරම මතක තබාගනිමු. අපට ස්ථිරව සිටීමට එනම් අපගේ විශ්වාසවන්තකම සම්බන්ධයෙන් නොසැලී සිටීමට උපකාරවත් වන්නේ, ඔහු ජීවමානව සිටින බව මනසෙහි තබාගැනීම හා ඔහුට යාච්ඤා කරන අයට ඔහු ළංව සිටින බවට නිසැකකමක් ඇතුව සිටීමය. (ගීතාවලිය 145:18) මෝසෙස් සම්බන්ධයෙන් පාවුල් මෙසේ ලීවේය. “ඇදහිල්ලෙන්, ඔහු රජුගේ උදහසට භය නොවී, මිසරය අත්හැර ගියේය. මක්නිසාද අදෘශ්‍යමාන [තැනැත්තා] දකින්නාක්මෙන් ඔහු ස්ථිරව සිටියේය.” (හෙබ්‍රෙව් 11:27) අපටද මෝසෙස් හා සමාන විය හැක.
7, 8. ඵාරාවෝ ඉදිරියෙහි ධෛර්යයවන්තව පෙනී සිටීමට මෝසෙස්ට උපකාරවත් වූයේ කුමක්ද?
7 මිසර වහල්කමින් ඉශ්‍රායෙලිතයන්ව මුදාගැනීමේ භාරදූර කාර්යය දෙවි මෝසෙස්ට පවරා තිබිණ. එය ඉටු කිරීමේදී ඉතා කුරිරු පාලකයෙකු වූ ඵාරාවෝ ඉදිරියෙහිද, බලපුළුවන්කාර ආගමික නායකයන් සහ හමුදා ප්‍රධානීන් ඉදිරියෙහිද නිතරම පෙනී සිටීමට මෝසෙස්ට සිදු විය. ඵාරාවෝගේ රජ මාළිගයේ බිත්ති පිළිකුල් රූපවලින්ද ගහනව තිබෙන්නට ඇත. කෙසේවෙතත්, මිසරයේ පණ නැති දෙවිවරුන්ව නියෝජනය කළ මෙම රූප සියල්ලට වඩා වෙනස්ව, අදෘශ්‍යමාන වූ යෙහෝවාව මෝසෙස් සැලකුවේ සැබෑ පුද්ගලයෙකු ලෙසයි. මෝසෙස් ඵාරාවෝ ඉදිරියෙහි බියට පත් නොවීම පුදුමයක්ද!
8 “මෝසෙස් නම් මනුෂ්‍ය තෙමේ පොළෝ මතුයෙහි සිටි සියලු මනුෂ්‍යයන්ට වඩා අධික වශයෙන් මෘදු ගුණාන්විත කෙනෙක් වූ” බව ශුද්ධ ලියවිල්ල අපට පවසයි. (ගණන් කථාව 12:3) එසේ නම්, ඵාරාවෝ ඉදිරියෙහි නැවත නැවත පෙනී සිටීමට මෝසෙස්ට ධෛර්යය ලැබුණේ කෙසේද? ඔහුට තිබූ පැහැදිලි ආත්මික දෘෂ්ටියත්, දෙවි ඔහු සමඟ සිටින බවට වූ ඔහුගේ ස්ථිර විශ්වාසයත්, මිසරයේ සිත් පිත් නොමැති රජු ඉදිරියෙහි ‘අදෘශ්‍යමාන තැනැත්තාව’ නියෝජනය කිරීමට අවශ්‍ය වූ ශක්තිය මෝසෙස්ට ලබා දුන්නේය. අදදින අදෘශ්‍යමාන දෙවිව ‘දකින’ අය ඔහු කෙරෙහි වූ තම ඇදහිල්ල විදහාපෙන්වන ක්‍රම සමහරක් මොනවාද?
9. අපට ස්ථිරව සිටිය හැකි එක් ක්‍රමයක් නම් කරන්න.
9 ඇදහිල්ල විදහාපෙන්වමින්, අදෘශ්‍යමාන තැනැත්තා දකින්නාක් මෙන් ස්ථිරව සිටිය හැකි එක් ක්‍රමයක් නම්, පීඩා හමුවේදී පවා එඩිතරව දේශනා කිරීමයි. “මාගේ නාමය නිසා සියල්ලෝම නුඹලාට වෛරවන්නෝය” කියා යේසුස් තම ගෝලයන්ට අනතුරු ඇඟවීය. (ලූක් 21:17) ඔහු මෙම කාරණයද ගෙනහැර දැක්වීය. “දාසයෙක් තමාගේ ස්වාමියාට වඩා උතුම් නොවේ . . . ඔව්හු මට පීඩාකළෝනම් නුඹලාටත් පීඩාකරන්නෝය.” (යොහන් 15:20) යේසුස්ගේ මරණයෙන් පසු එම වචන එයාකාරයෙන්ම ඉටු විය. වැඩි කල් නොගොස් ඔහුගේ අනුගාමිකයන්ට නොයෙකුත් පීඩාවලට මුහුණ දීමට සිදු විය. ඔවුන්ට තර්ජන එල්ල විය. ඔවුන්ව අත්අඩංගුවට ගන්නා ලදි. නොයෙකුත් අවස්ථාවලදී ඔවුහු පහර කෑහ. (ක්‍රියා 4:1-3, 18-21; 5:17, 18, 40) ක්‍රිස්තියානීන්ට විරුද්ධව පීඩා රැල්ලක් පැමිණියද, යේසුස්ගේ ප්‍රේරිතයෝ සහ ගෝලයෝ නිර්භීතව ශුභාරංචිය නොනැවතී දේශනා කළෝය.—ක්‍රියා 4:29-31.
10. යෙහෝවාගේ රැකවරණය ගැන නිසැකව සිටීම අපගේ සේවයට උපකාරයක් වන්නේ කෙසේද?
10 මෝසෙස් මෙන්, යේසුස්ගේ මුල් අනුගාමිකයන්ද ඔවුන් වටකර සිටි දෘශ්‍යමාන සතුරන් සමුදායට බිය වූයේ නැත. යේසුස්ගේ ගෝලයන්ට දෙවි කෙරෙහි ඇදහිල්ලක් තිබූ නිසා, ඔවුන් අද්දුටු දරුණු පීඩාවන් හමුවේ පවා ස්ථිරව සිටීමට ඔවුන්ට හැකි විය. ඔව්, ඔවුහු අදෘශ්‍යමාන තැනැත්තා දකින්නාක් මෙන් ස්ථිරව සිටියෝය. අදදින යෙහෝවාගේ රැකවරණය අපට තිබෙන බව අප නිරන්තරයෙන්ම මනසෙහි තබාගත යුතුය. එසේ කළොත්, ධෛර්යය උපදවාගෙන, නිර්භීතව අපගේ රාජ්‍යය දේශනා කිරීමේ වැඩයෙහි නියැලීමට අපට හැකියාව ලැබේ. “මනුෂ්‍යයාට භයවීම මලපතක්ය; එහෙත් [යෙහෝවා] කෙරෙහි විශ්වාසකරන්නා සුරක්ෂිතව සිටියි” කියා දේවවචනය පවසයි. (හිතෝපදේශ 29:25) එමනිසා, පීඩාවලට භය වී අපි පසුබට නොවන්නෙමු. අපගේ සේවය ගැනද ලජ්ජා නොවෙමු. අපගේ ඇදහිල්ල නිසා අසල්වාසීන්ට, රැකියා ස්ථානයෙහි අයට, පාසැලෙහි සෙසු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ වෙනත් අයට නිර්භීතව සාක්ෂි දරන්න පෙලඹෙන්නෙමු.—රෝම 1:14-16.
අදෘශ්‍යමාන තැනැත්තා තම සෙනඟට මඟ පෙන්වයි
11. පේතෘස් සහ යූද් පැවසූ පරිදි, ක්‍රිස්තියානි සභාව සමඟ ඇසුරු කළ සමහරදෙනෙකු ආත්මිකත්වයෙන් හීන ස්වභාවයක් විදහාපෙන්වූයේ කෙසේද?
11 යෙහෝවා තම භූමික සංවිධානයට මඟ පෙන්වන බව දැකීමටද ඇදහිල්ල අපට උපකාර කරයි. ඒ නිසා, සභාවෙහි වගකීම් දරන අය දෙස වපර ඇසින් බැලීමෙන් අපි වැළකී සිටින්නෙමු. ප්‍රේරිත පේතෘස් සහ යේසුස්ගේ අර්ධ-සොහොයුරු වූ යූද් ආත්මික මනසක් නොතිබූ ඇතැම් අය ගැන අනතුරු ඇඟෙව්වෝය. ඒ අය ක්‍රිස්තියානීන් අතර පෙරමුණ ගත් උදවිය ගැන කතා කළේ නිග්‍රහාත්මක විලාසයකිනි. (2 පේතෘස් 2:9-12; යූද් 8) යෙහෝවා ඔවුන්ගේ ඇස්පණාපිටම සිටියා නම්, වැරදි සෙවූ අය මෙලෙස කතා කරනු ඇද්ද? කිසිසේත් නැත. එනමුත් මාංසික ආකල්පයකින් කටයුතු කළ එම පුරුෂයෝ දෙවි අදෘශ්‍යමාන නිසා ඔහුට ගණන් දිය යුතු බවට වූ කාරණය බැරෑරුම්ව සැලකීමට අපොහොසත් වූහ.
12. සභාව තුළ පෙරමුණ ගන්නා අය සම්බන්ධයෙන් අපට තිබිය යුත්තේ කවර ආකල්පයක්ද?
12 ක්‍රිස්තියානි සභාවේ පුද්ගලයන් අසම්පූර්ණ බව නම් ඇත්තයි. ඇතැම්විට වැඩිමහල්ලන් ලෙස සේවය කරන අය අතින් පවා අපට පෞද්ගලිකව බලපාන වැරදි සිදු විය හැක. කොහොම වුණත්, දෙවි තම රැළ රැකබලා ගැනීම සඳහා එවන් පුරුෂයන්ව එඬේරුන් හැටියට භාවිත කරයි. (1 පේතෘස් 5:1, 2) මෙය යෙහෝවා තම සෙනඟට මඟ පෙන්වන එක් ක්‍රමයක් බව ආත්මික මනසකින් කටයුතු කරන පුරුෂයෝ හා ස්ත්‍රීහු තේරුම්ගනිති. එමනිසා, ක්‍රිස්තියානීන් වශයෙන් අප විවේචනාත්මක, මැසිවිලි නඟන ස්වභාවයකින් වැළකී, දෙවිගේ දිව්‍යාණ්ඩු විධිවිධානයට ගෞරවය පෙන්වන්නෙමු. ඔව්, අප අතර පෙරමුණ ගෙන කටයුතු කරන අයට කීකරුව සිටීමෙන්, අපි අදෘශ්‍යමාන තැනැත්තා දකින බව ඔප්පු කරන්නෙමු.—හෙබ්‍රෙව් 13:17.
අපගේ ශ්‍රේෂ්ඨ උපදේශක හැටියට දෙවිව දැකීම
13, 14. යෙහෝවාව අපගේ ශ්‍රේෂ්ඨ උපදේශකයා හැටියට දැකීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
13 ආත්මික දෘෂ්ටියක්, එනම් වටහාගැනීමේ ශක්තිය අවශ්‍ය තවත් පැත්තක් සලකා බලමු. යෙසායා මෙසේ අනාවැකි පළ කළේය. “ඔබේ ඇස්වලින් ඔබේ ශ්‍රේෂ්ඨ උපදේශකයාව දකිනවා ඇත.” (යෙසායා 30:20, NW) යෙහෝවා තම භූමික සංවිධානය මාර්ගයෙන් අපට උගන්වනවා කියා පිළිගැනීමට ඇදහිල්ල අවශ්‍යය. (මතෙව් 24:45-47) දෙවිව අපගේ ශ්‍රේෂ්ඨ උපදේශකයා හැටියට දකින්න නම්, නිතිපතා කාලසටහනකට අනුව බයිබලය හොඳින් අධ්‍යයනය කිරීමට හා නිතිපතා රැස්වීම්වලට යෑමට වඩා වැඩි යමක් අප විසින් ඉටු කළ යුතුය. අප දෙවිගේ ආත්මික සැපයුම්වලින් උපරිම ප්‍රයෝජන නෙළාගත යුතුය. උදාහරණයකට, සැබෑ මාර්ගයෙන් අහක් නොවී සිටීම සඳහා යෙහෝවා යේසුස් තුළින් සපයන මඟ පෙන්වීමට සාමාන්‍යයට වඩා වැඩි අවධානයක් යොමු කිරීම අවශ්‍යය.—හෙබ්‍රෙව් 2:1.
14 ආත්මික ආහාරවලින් උපරිම ප්‍රයෝජන නෙළාගැනීමට නම්, ඇතැම් අවස්ථාවලදී විශේෂ වෑයමක් දැරිය යුතු වේ. නිදසුනකට, තේරුම්ගැනීමට අමාරුයයි පෙනෙන ඇතැම් බයිබල් වගන්ති ඉක්මනින් කියවා හමාර කිරීමට අප තුළ නැඹුරුවාවක් තිබිය හැක. මුරටැඹ සහ පිබිදෙව්! සඟරා කියවද්දී, ඇතැම් ලිපි අපගේ සිත්ගන්නේ නැති නිසා, ඒවා නොකියවා සිටීමට පවා අප පෙලඹෙනවා විය හැක. එසේ නැතහොත් ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වෙද්දී, අපගේ මනස වෙනත් දේවල් ගැන කල්පනා කරමින් එහෙ මෙහෙ දුවනවා විය හැක. කොහොම නමුත්, සාකච්ඡා කරන කරුණු ගැන අප ගැඹුරින් සහ තර්කානුකූලව සිතා බලනවා නම්, අපට හොඳ අවධානයෙන් සිටිය හැකිය. එසේ නම්, අපට ලැබෙන ආත්මික උපදෙස් සඳහා ගැඹුරු අගයක් පෙන්වීම, යෙහෝවා අපගේ ශ්‍රේෂ්ඨ උපදේශකයා හැටියට අප පිළිගන්නා බවට සාක්ෂියක් වේ.
අප ගණන් දිය යුතුය
15. ඇතමුන් ඔවුන්ගේ ක්‍රියා යෙහෝවාට නොපෙනෙනවා යන හැඟීමෙන් ක්‍රියා කර ඇත්තේ කෙසේද?
15 මෙම ‘අන්තිම කාලයේදී’ දුෂ්ටකම දසත පැතිර ඇති නිසා, අදෘශ්‍යමාන තැනැත්තා කෙරෙහි ඇදහිල්ල දැක්වීම සඳහා විශේෂ අවශ්‍යතාවක් පවතී. (දානියෙල් 12:4) වංකකම හා ලිංගික දුරාචාරය මාරාන්තික පිළිකාවක් මෙන් අද සමාජයේ ඔඩු දුවයි. අප කරන දේ මනුෂ්‍යයන්ට නොපෙනුණත්, ඒවා දැකීමට යෙහෝවාට පුළුවන් බව මතක තබාගැනීම නුවණට හුරුය. සමහරුන් මෙය කල්පනාවට නොගෙන ක්‍රියා කර තිබේ. වෙනත් අය නොදකින විටදී, ශුද්ධ ලියවිල්ලට විරුද්ධ ක්‍රියාවල ඔවුහු නිරත වෙති. නිදසුනකට, අන්තර්ජාලය, රූපවාහිනිය සහ නවීන තාක්ෂණයේ වෙනත් ක්‍රම ඔස්සේ හානිකර ප්‍රතිඵල ගෙන දෙන දේවල් සහ කාමුක දර්ශන නැරඹීමේ පරීක්ෂාවට ඇතමුන් ගොදුරු වී ඇත. මෙවැනි දේවල කාටත් හොරා නිරත විය හැකි නිසා, ඇතමුන් ක්‍රියා කර ඇත්තේ ඔවුන්ගේ ක්‍රියා යෙහෝවාට නොපෙනෙනවා යන හැඟීමෙනි.
16. යෙහෝවාගේ උසස් ප්‍රමිතිවලට ඇලී සිටින්න අපට උපකාරවත් විය යුත්තේ කුමක්ද?
16 “අප එක් එක්කෙනා තම තමා ගැන [දෙවිට] ගණන්දෙනවා ඇත” යනුවෙන් ප්‍රේරිත පාවුල් පැවසූ වදන් අප විසින් සිහියේ තබාගැනීම වැදගත්ය. (රෝම 14:12) අප පව් කරන සෑම අවස්ථාවකදීම, අප ක්‍රියා කරන්නේ යෙහෝවාට විරුද්ධව බව මනසෙහි තබාගත යුතුය. මෙය අවබෝධ කරගැනීම, යෙහෝවාගේ උසස් ප්‍රමිතිවලට අවනත වන්නත්, අපවිත්‍ර කරවන හැසිරීමෙන් වැළකී සිටින්නටත් ඉවහල් වේ. බයිබලය අපට මෙසේ සිහිගන්වයි. “[ඔහු] ඉදිරියෙහි ප්‍රකාශ නුවූ කිසි මැවිල්ලක් නැත. [ඔහුගේ] ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව ඇරී තිබේ, අපෙන් ගණන්ගන්නේ [ඔහුය].” (හෙබ්‍රෙව් 4:13) ඔව්, අප දෙවිට ගණන් දිය යුතුයි. එහෙත් අප ඔහුගේ කැමැත්ත කරන්නෙත්, ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට ඇලී සිටින්නෙත් ඔහු සඳහා අපට තිබෙන ගැඹුරු ප්‍රේමය නිසා නොවේද? එමනිසා, අපි විනෝදය සඳහා තේරීම් කරද්දීත්, විරුද්ධ ලිංගයේ අය සමඟ ආශ්‍රය කරද්දීත් සිහි නුවණින් යුතුව කටයුතු කිරීමට වගබලා ගනිමු.
17. යෙහෝවා අප දෙස බලන්නේ මොන වගේ හැඟීමකින්ද?
17 යෙහෝවා අප ගැන දක්වන්නේ දැඩි උනන්දුවකි. ඉන් අදහස් කරන්නේ අපට දඬුවම් කරන පිණිස අප වරදක් කරන තෙක් ඔහු බලා සිටිනවා යන්න නොවේ. ඔහු අප දෙස බලන්නේ ප්‍රේමනීය පියෙකු තම දරුවන් දෙස බලන්නාක් මෙනි. තම දරුවන් කීකරු වන විට ඔවුන්ට ප්‍රතිඵල දෙන්න ඔහු ඉතා ආශාවෙන් බලා සිටියි. අපගේ ස්වර්ගික පියාණන් අපගේ ඇදහිල්ල දකින විට සන්තෝෂ වන බවත්, ‘ඔහුව [උනන්දුවෙන්, NW] සොයන්නන්ට විපාක දෙන’ බවත් දැන සිටීම මොනතරම් අස්වැසිල්ලක්ද! (හෙබ්‍රෙව් 11:6) එසේ නම්, යෙහෝවා කෙරෙහි ගැඹුරු ඇදහිල්ලක් වර්ධනය කරගනිමු. ‘ඔහුට සම්පූර්ණ සිතකින් මෙහෙ කරන්න’ අදිටන් කරගනිමු.—1 ලේකම් 28:9.
18. යෙහෝවා අප දෙස බලා, අපගේ විශ්වාසවන්තකම සැලකිල්ලට ගන්නා නිසා, අපට ශුද්ධ ලියවිල්ලෙන් ලැබෙන්නේ කවර සහතිකයද?
18 “[යෙහෝවාගේ] ඇස් සෑමතැනම පැවත, නපුරන්ද යහපතුන්ද බලන්නේය” කියා හිතෝපදේශ 15:3හි පවසයි. ඔව්, දෙවි නපුරු අය කරන දේවල් බලා, ඔවුන්ගේ හැසිරීමට අනුව විපාක දෙයි. කෙසේවෙතත්, අප සිටින්නේ “යහපතුන්” අතර නම්, යෙහෝවා අපගේ විශ්වාසවන්ත හැසිරීම සැලකිල්ලට ගන්නා බවට අපට නිසැක විය හැක. ‘ස්වාමීන් කෙරෙහි අපගේ මෙහෙය නිෂ්ඵල නොවන’ බවත්, අදෘශ්‍යමාන තැනැත්තා ‘අපගේ වැඩයද, ඔහුගේ නාමයට පෙන්නූ ප්‍රේමයද මතක නැති නොකරන’ බවත් දැන සිටීම අපගේ ඇදහිල්ලට මොනතරම් ශක්තියක්ද!—1 කොරින්ති 15:58; හෙබ්‍රෙව් 6:10.
අපව සෝදිසි කරන මෙන් යෙහෝවාට ඇරයුම් කරමු
19. යෙහෝවා කෙරෙහි ශක්තිමත් ඇදහිල්ලක් තැබීමෙන් නෙළාගත හැකි ප්‍රයෝජන සමහරක් මොනවාද?
19 යෙහෝවාගේ විශ්වාසවන්ත සේවකයන් වන අපව ඔහුට ඉතා අනර්ඝ වේ. (මතෙව් 10:29-31) දෙවි අදෘශ්‍යමාන වුවත්, සැබෑ පුද්ගලයෙකුව මෙන් අපට ඔහුව දැකගත හැකි අතර, ඔහු සමඟ ඇති අපගේ වටිනා සම්බන්ධතාවද ආදරයෙන් රැකගත හැකිය. අපගේ ස්වර්ගික පියාණන් කෙරෙහි මෙවැනි ආකල්පයක් පවත්වාගැනීම ප්‍රයෝජන රැසකට මඟ පාදයි. අපගේ ශක්තිමත් ඇදහිල්ල යෙහෝවා ඉදිරියෙහි පවිත්‍ර සිතක් සහ යහපත් හෘදය සාක්ෂියක් පවත්වාගැනීමට ඉවහල් වේ. අපගේ ඇදහිල්ලට කුහකකමක් මුසු වී නැත්නම් හෝ එය අවංක නම්, දෙබිඩි ජීවිතයක් ගත කිරීමෙන්ද එය අපව වළක්වයි. (1 තිමෝති 1:5, 18, 19) දෙවි කෙරෙහි වූ අපගේ නොසැලෙන ඇදහිල්ල අන්‍යයන්ට හොඳ ආදර්ශයක් වන අතර, ඔවුන්ට එවන් ඇදහිල්ලක් වර්ධනය කරගැනීමට එය පෙලඹවීමක්ද විය හැකිය. (1 තිමෝති 4:12) ඔව්, එවන් ඇදහිල්ලක් අන්‍යයන්ගේ හැසිරීමට යහපත් ආකාරයකින් බලපාන අතරම, යෙහෝවාගේ සිත ප්‍රීති කිරීමටද දායක වේ.—හිතෝපදේශ 27:11.
20, 21. (අ) යෙහෝවා අප දෙස විමසිල්ලෙන් බැලීම ගැන අප සතුටු විය යුත්තේ මන්ද? (ආ) අපට ගීතාවලිය 139:23, 24 අදාළ කරගත හැක්කේ කෙසේද?
20 අප සැබවින්ම ප්‍රඥාවන්ත නම්, යෙහෝවා අප ගැන විමසිල්ලෙන් සිටීම සම්බන්ධයෙන් අප සතුටට පත් වනු ඇත. මින් අදහස් කරන්නේ යෙහෝවා අපව දකිනවාය යන කාරණයෙන් අප සෑහීමට පත්වීම පමණක්ම නොවේ. අපගේ අවංක ආශාව වන්නේ යෙහෝවා අපගේ සිතුවිලි සහ ක්‍රියාවන් සම්පූර්ණයෙන්ම සෝදිසි කරනවා දැකීමයි. එමනිසා, යාච්ඤා කරන විට අපව සම්පූර්ණයෙන්ම විමසා බලන මෙන් හා අප තුළ යම් නුසුදුසු නැඹුරුවාවන් ඇද්දැයි සොයා බලන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටීම යෝග්‍යය. අප මුහුණ දෙන ගැටලුවලදී සාර්ථකව ක්‍රියා කරන්නත්, අවශ්‍ය සකස් කිරීම් කරන්නත් ඔහුගේ සහයෝගය අපට ලැබෙනවා නොඅනුමානය. ගීතිකාකාර දාවිත් මෙසේ ගායනා කළේ හොඳ හේතු ඇතුවය. “[දෙවියනි], මා විමසා බලා, මාගේ සිත දැනගත මැනව. මා පරීක්ෂාකොට, මාගේ සිතිවිලි දැනගත මැනව. යම් නපුරු මාර්ගයක් මා තුළේ ඇද්දැයි බලා, සදාකාල මාර්ගයෙහි මා ගෙනගිය මැනව.”—ගීතාවලිය 139:23, 24.
21 තමා තුළ යම් “නපුරු මාර්ගයක්” ඇද්දැයි පරීක්ෂා කරන්න කියා දාවිත් යෙහෝවාගෙන් ඉතා ඕනෑකමින් අයැද සිටියේය. අපටත් ගීතිකාකාර දාවිත්ගේ ආදර්ශය අනුකරණය කළ නොහැකිද? යෙහෝවා අපගේ සිත් පරීක්ෂා කොට, අප තුළ යම් නුසුදුසු චේතනාවන් සැඟවී ඇද්දැයි බලනවා දකින්න අප තුළ දැවෙන ආශාවක් නැද්ද? එසේ නම්, අපව පරීක්ෂා කරන මෙන් යෙහෝවාගෙන් ඇදහිල්ලෙන් යුතුව ඉල්ලා සිටිමු. එනමුත් යම් වරදක් නිසා හෝ යම් නපුරු නැඹුරුවාවක් අප තුළ ඇති නිසා හෝ අප ඇතුළතින් පීඩා විඳිනවා නම් හෝ වේදනා විඳිනවා නම් කුමක් කිව හැකිද? එසේ නම්, අපි දිගටම අපගේ ප්‍රේමනීය දෙවි යෙහෝවාට උනන්දුවෙන් යාච්ඤා කරමු. ඔහුගේ ශුද්ධාත්මය සපයන මඟ පෙන්වීම්වලටත්, ඔහුගේ වචනයෙහි සඳහන් උපදෙස්වලටත් නිහතමානීව යටත් වෙමු. ඔහු අපට සහාය වන බවටත්, සදාකාල ජීවනයට මඟ පාදන ක්‍රියාමාර්ගයක් ගැනීමට උපකාර කරන බවටත් අපට නිසැක විය හැකිය.—ගීතාවලිය 40:11-13.
22. අදෘශ්‍යමාන තැනැත්තා සම්බන්ධයෙන් අපගේ අදිටන කුමක් විය යුතුද?
22 අප යෙහෝවාගේ කොන්දේසිවලට එකඟව ක්‍රියා කරනවා නම්, අපට සදාකාල ජීවනය නමැති ආශීර්වාදය අත් වනවා නොඅනුමානය. මීට අමතරව, දෙවිගේ බලය සහ අධිකාරයටද අප කීකරුව යටත් විය යුතුය. ප්‍රේරිත පාවුල් මෙම වදන්වලින් තමාගේ යටහත් ආකල්පය පැහැදිලි කළේය. “අමරණීයවූ, අදෘශ්‍යමානවූ, එකම දෙවිවූ, සදාකාල [රජ්ජුරුවන්ට] ගෞරවයද තේජසද සදාකාලේටම වේවා. ආමෙන්.” (1 තිමෝති 1:17) අපිත් එවන් හෘදයාංගම ගෞරවයක් යෙහෝවාට පිරිනමමු. ඔව්, අප කුමකට මුහුණ දුන්නත්, අදෘශ්‍යමාන තැනැත්තා දකින්නාක් මෙන් දිගටම ස්ථිරව සිටින්නට අදිටන් කරගනිමු.
ඔබේ පිළිතුර කුමක්ද?
• මනුෂ්‍යයන්ට දෙවිව දැකගත හැක්කේ කෙසේද?
• යෙහෝවා අපට සැබෑ පුද්ගලයෙක් නම්, පීඩාවලට මුහුණ දෙද්දී අප ක්‍රියා කරන්නේ කෙසේද?
• යෙහෝවාව අපගේ ශ්‍රේෂ්ඨ උපදේශකයා හැටියට දැකීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
• යෙහෝවා අපව පරීක්ෂා කර බලනවාට අප ආශා විය යුත්තේ මන්ද?
[18වන පිටුවේ පින්තූරය]
ඵාරාවෝ ඉදිරියේදී මෝසෙස් බියට පත් වූයේ නැත; ඔහු ක්‍රියා කළේ අදෘශ්‍යමාන දෙවි වන යෙහෝවාව දකින්නාක් මෙනි
[21වන පිටුවේ පින්තූරය]
අප කරන දේ යෙහෝවා දකින්නේ නැතැයි යන ආකල්පයෙන් කිසිදා ක්‍රියා නොකරමු
[23වන පිටුවේ පින්තූරය]
දෙවිව අපගේ ශ්‍රේෂ්ඨ උපදේශකයා ලෙස අප දකින නිසා, ඔහු පිළිබඳ දැනුම අප සොයන්නේ ඉමහත් ආශාවකිනි