ඔබේ ඇදහිල්ලේ ගුණය—දැන් පරීක්ෂා කෙරේ
“මාගේ සහෝදරයෙනි, නුඹලාගේ ඇදහිල්ල සෝදිසිකිරීමෙන් ක්ෂාන්තිගුණය [විඳදරාගැනීම, NW] උපදින බව දැන, අනේකාකාර පරීක්ෂාවලට වැටෙන කල, ඒ සියල්ල ප්‍රීතියක්යයි සිතන්න.”—යාකොබ් 1:2, 3.
1. ක්‍රිස්තියානීන් තම ඇදහිල්ල සම්බන්ධ පරීක්ෂණ අපේක්ෂා කළ යුත්තේ ඇයි?
සැබෑ ක්‍රිස්තියානීන් දුක් විඳීමට අමුතු ඇල්මක් දක්වන්නේ නැහැ. වේදනාවෙන් අවමානයට ලක්වීමෙන් යම් වින්දනයක් ලබන්නෙත් නැහැ. එනමුත්, යේසුගේ අර්ධ සහෝදර යාකොබ් ලියූ ඉහත සඳහන් වදන් ඔවුන් සිහියේ තබාගන්නවා. තම ගෝලයන් දෙවිගේ ප්‍රමිතිවලට ඇලී සිටි නිසා, ඔවුන්ට පීඩා මෙන්ම වෙනත් දුෂ්කරතා අපේක්ෂා කළ හැකි බව ක්‍රිස්තුස් ඔවුන්ට පැහැදිලි කළා. (මතෙව් 10:34; 24:9-13; යොහන් 16:33) කෙසේවෙතත්, එවන් පරීක්ෂණවලින් ප්‍රීතිය අත් විය හැකියි. ඒ කෙසේද?
2. (අ) අපේ ඇදහිල්ලේ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස ප්‍රීතිය අත් විය හැක්කේ කෙසේද? (ආ) අප සම්බන්ධව විඳදරාගැනීමේ ක්‍රියාව සම්පූර්ණ විය හැක්කේ කෙසේද?
2 ඇදහිල්ලේ පරීක්ෂා හෝ පරීක්ෂණ යටතේ සිටින විට අප ප්‍රීතිය ලබාගැනීමට ප්‍රධාන හේතුවක් නම්, මේවායින් හොඳ ඵලදාවක් නෙළිය හැකිවීමයි. යාකොබ් කියන ආකාරයට, පරීක්ෂණ හෝ දුෂ්කරතා හමුවේ දරාගෙන සිටීම, ‘විඳදරාගැනීම උපදවයි.’ එම වටිනා ක්‍රිස්තියානි ගුණාංගය වර්ධනය කරගැනීමෙන් අපට ප්‍රයෝජන ලබාගත හැකියි. යාකොබ් මෙසේ ලිව්වා: “නුඹලා කිසිවකින් අඩුව නොසිට සියලු ආකාරයෙන්ම සම්පූර්ණව සිටින පිණිස ක්ෂාන්තිගුණය සම්පූර්ණලෙස ක්‍රියාකෙරේවා [විඳදරාගැනීමේ ක්‍රියා සම්පූර්ණ කෙරේවා, NW].” (යාකොබ් 1:4) විඳදරාගැනීමට කාර්යයක්, එනම් ‘ක්‍රියාවක්’ තිබෙනවා කරන්න. ඊට අයත් පැවරුම, හැම ආකාරයකින්ම අපව සම්පූර්ණ කිරීමයි; එනම් ක්‍රිස්තියානීන් වශයෙන් මනා සමබරතාවකින් සහ මේරූභාවයකින් කටයුතු කිරීමට අපට උපකාර කිරීමයි. එබැවින්, පරීක්ෂා ශීඝ්‍ර අවසානයකට ගෙන ඒමට ශුද්ධ ලියවිලිවලට විරෝධී ක්‍රම යොදාගැනීමට කිසිම ප්රයත්නයක් නොදරා, පරීක්ෂා ඒවායෙහි අවසානය දක්වා පවතින්න ඉඩහැරීමෙන්, අපේ ඇදහිල්ල පරීක්ෂණයට ලක් වී ශෝධනය වෙනවා. යම් තත්වයන් හෝ සෙසු මනුෂ්‍යයන් සමඟ කටයුතු කරද්දී අපට ඉවසීමේ, දයානුකම්පාවේ, කරුණාවේ හෝ ප්‍රේමයේ ඌනතාවක් තිබී ඇත්නම්, අපව වඩාත් සම්පූර්ණ කිරීමට විඳදරාගැනීමට පුළුවන්. ඔව්, මේකයි අනුපිළිවෙළ: පරීක්ෂණවලින් විඳදරාගැනීම හටගැනේ; විඳදරාගැනීමෙන් ක්‍රිස්තියානි ගුණාංග වැඩිවර්ධනය වෙයි; මේවා ප්‍රීතිය සඳහා හේතුවක් වේ.—1 පේතෘස් 4:14; 2 පේතෘස් 1:5-8.
3. ඇදහිල්ලේ පරීක්ෂා හෝ පරීක්ෂණවලට භයින් අප පසුනොබැසිය යුත්තේ ඇයි?
3 අපේ ඇදහිල්ලේ පරීක්ෂණවලට භයවීමටවත් ඒවායින් පසුබැසීමටවත් අපට අවශ්‍ය නැති හේතුව ප්‍රේරිත පේතෘස්ද කැපීපෙනෙන්න සැලැස්සුවා. ඔහු මෙසේ ලිව්වා: “ඕනෑව තිබෙන විට නුඹලා දැන් ස්වල්ප කලක් අනේකාකාර පරීක්ෂාවලින් ශෝකයට පත්වන නුමුත්, ඒ ගැළවීම ගැන නුඹලා ඉතා ප්‍රීතිවන්නහුය. එසේ ශෝකයට පත්වන්නේ නාස්තිවී යන්නාවූ, එසේද වුවත් ගින්නෙන් සෝදිසිකරන්නාවූ රනට වඩා අගේව තිබෙන නුඹලාගේ ඇදහිල්ල පරීක්ෂාකිරීමෙන් යේසුස් [ක්‍රිස්තුස්ගේ] එළිදරව්වීමේදී ප්‍රශංසාවත් මහිමයත් ගෞරවයත් පැමිණෙන පිණිසය.” (1 පේතෘස් 1:6, 7) ඇතැම් අය සමහරවිට සිතනවාටත් වඩා ප්රශංසාවේ, තේජසේ, ගෞරවයේ සහ බේරී ජීවත් වීමේ කාලය වන “මහත් පීඩාව” ළඟ නිසාත්, අප ඇදහිලිවන්තයන් වූ දාට වඩා එය ළඟ නිසාත්, මෙම වදන්වලින් විශේෂ දිරිගැන්වීමක් ලැබෙනවා.—මතෙව් 24:21; රෝම 13:11, 12.
4. එක් සහෝදරයෙකුට තමා සහ වෙනත් ආලේප ලත් ක්‍රිස්තියානීන් අද්දුටු පරීක්ෂණ ගැන හැඟුණේ කෙසේද?
4 කලින් ලිපියේ, 1914 සිට ආලේප ලත් ඉතිරි කොටස මුහුණ දුන් පරීක්ෂණ අපි සලකා බැලුවා. මේවා ප්‍රීතිය සඳහා පදනමක් වුණාද? අතීතය දෙස බලමින් ඒ. එච්. ම’ක්මිලන් මෙම දෘෂ්ටිය ඉදිරිපත් කළා: “සංවිධානය පිට පැමිණෙන තදබල පරීක්ෂා බොහොමයකුත්, එතුළ ඉන්න අයගේ ඇදහිල්ල මතට එල්ල වී තිබෙන පරීක්ෂණත් මා දැක තිබෙනවා. දෙවිගේ ආත්මයේ උපකාරය ඇතුව එය බේරී දිගටම සමෘද්ධිමත් වුණා. අලුත් අදහසක් ගැන කලබල වන්නේ නැතුව, ශුද්ධ ලියවිලිමය දේවල් පිළිබඳව අපේ අවබෝධය පැහැදිලි කිරීමට යෙහෝවා කෙරෙහි ඉවසිලිවන්තව බලා සිටීමේ ප්‍රඥාව මා දැක තිබෙනවා. . . . අපේ අදහස් සම්බන්ධයෙන් අපට කලින් කලට මොන මොන සකස් කිරීම් කරන්න සිදු වුණත්, මිදීමේ මිලය නමැති දයාන්විත සැපයුමවත්, සදාකාල ජීවනය සඳහා දෙවිගේ පොරොන්දුවවත් එයින් වෙනස් වන්නේ නැහැ. ඒ හින්දා ඉටු නොවූ අපේක්ෂාවලින් සහ අදහස්වල වෙනස් වීම්වලින් අපේ ඇදහිල්ල දුබල කරවීමට ඉඩ දෙන්න අපට කිසිම අවශ්‍යතාවක් තිබුණේ නැහැ.”—මුරටැඹ (ඉංග්‍රීසියෙන්) 1966 අගෝස්තු 15, 504 පිටුව.
5. (අ) ඉතිරි කොටස පරීක්ෂණවලට ලක්වීමෙන් අත් වූයේ මොන වගේ ප්‍රයෝජනද? (ආ) පරීක්ෂා කිරීම පිළිබඳ කාරණය දැන් අපේ උනන්දුවට හේතු විය යුත්තේ ඇයි?
5 වර්ෂ 1914-19 දක්වා මෙම පරීක්ෂා කාලපරිච්ඡේදයෙන් බේරුණු ආලේප ලත් ක්‍රිස්තියානීන්, ලෝකයේ සහ බබිලෝනීය ආගමික වතාවත් රාශියක බලපවත්වන බලපෑමෙන් නිදහස් වුණා. දෙවිට ප්‍රශංසා පූජා කැමැත්තෙන්ම පුදමින්, ඒ ඉතිරි කොටස සෙනඟක් වශයෙන් දෙවි ඉදිරියෙහි පිළිගත හැකි තත්වයක සිටිනවාය කියන සහතිකය ඇතුව ඉදිරියට ඇදී ගියේ පවිත්‍ර සහ ශෝධනය කරන ලද සෙනඟක් වශයෙනුයි. (යෙසායා 52:11; 2 කොරින්ති 6:14-18) විනිශ්චය දෙවිගේ ගෘහයෙන් පටන්ගෙන තිබුණත්, එය එක් නියමිත කාලපරිච්ඡේදයක් තුළ කෙළවර නොවනු ඇත. දෙවිගේ සෙනඟව පරීක්ෂා කිරීමත් පෙළීමත් දිගටම සිදු වෙනවා. ‘මහත් සමූහයේ’ කොටසක් වශයෙන් මතු පැමිණෙන ‘මහත් පීඩාවෙන්’ බේරී ජීවත් වීමේ බලාපොරොත්තුව ඇතුව එක්රැස් කරනු ලබන අයගේ ඇදහිල්ලත් පරීක්ෂා කරනු ලබනවා. (එළිදරව් 7:9, 14) මෙය ආලේප ලත් ඉතිරි කොටස අද්දුටු ආකාරයට සමාන ආකාරවලින් කරනු ලබනවා.
ඔබව පරීක්ෂණයට ලක් විය හැක්කේ කෙසේද?
6. බොහෝදෙනෙකු අද්දැක තිබෙන එක්තරා දැඩි පරීක්ෂණයක් නම් කරන්න.
6 ඍජුව කෙළින්ම එල්ල වන ප්රහාරයන් ලෙස පැමිණෙන පරීක්ෂණවලට උර දීමේ අභියෝගය ගැන බොහෝ ක්‍රිස්තියානීන් කල්පනා කර තිබෙනවා. ඔවුන්ට මෙම වාර්තාව සිහි වෙනවා: “[යුදෙව් නායකයෝ] ප්‍රේරිතයන් තමුන් වෙතට ගෙන්වා, ඔවුන්ට තළා, [යේසුගේ] නාමයෙන් කථා නොකරන්ට අණකොට යන්ට හැරියෝය. එහෙයින් ඔව්හු ඒ නාමය නිසා නින්දාවිඳින්ට තුමූ වටින්නෝයයි ගණන්ගනු ලැබූ බැවින් සන්තෝෂව, සභාව ඉදිරියෙන් පිටත්ව” ගියෝය. (ක්‍රියා 5:40, 41) විශේෂයෙන්ම ලෝක යුද්ධ සමවලදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් බොහෝදෙනෙකු පීඩාකරන්නන් අතින් තැළීම් සහ ඊටත් වඩා දරුණු දේවල් ඇත්තටම අද්දුටු බව දෙවිගේ සෙනඟගේ නවීන දින ඉතිහාසය පැහැදිලි කරයි.
7. ඇදහිල්ල දැක්වීමේදී ඇතැම් නවීන දින ක්‍රිස්තියානීන් කොතරම් දුර ගොස් තිබෙනවාද?
7 ක්‍රිස්තියානීන්ව පීඩාවට ලක් කිරීම සම්බන්ධව, ලෝකය, ආලේප ලත් ඉතිරි කොටස සහ ‘වෙනත් බැටළුවන්ගේ’ මහත් සමූහය අතර කිසි වෙනස්කමක් කරන්නේ නැහැ. (යොහන් 10:16) ගෙවී ගොස් ඇති වසර ගණන පුරා, කණ්ඩායම් දෙකේම සාමාජිකයන් දෙවි සඳහා දැක්වූ ප්‍රේමය නිසාත්, ඔහු කෙරෙහි ඔවුන්ට තිබූ ඇදහිල්ල නිසාත්, සිරගත වීම් සහ ප්‍රාණ පරිත්‍යාගී ලෙස මැරුම්කෑමෙන් පවා දැඩි සේ පරීක්ෂණයට ලක්ව තිබෙනවා. කණ්ඩායම් දෙකට වෙනම බලාපොරොත්තු තිබුණත්, දෙවිගේ ආත්මය ඔවුන්ට අවශ්‍ය වී තිබෙනවා. (මුරටැඹ 1996 ජූනි 15, 31 පිටුව සසඳන්න.) එක්දහස් නවසිය තිස් ගණන්වල සහ 1940 ගණන්වල නාට්සි ජර්මනියේ දරුවන් ඇතුළුව යෙහෝවාගේ සාක්ෂිකරුවන් බොහෝදෙනෙක් පුදුමාකාර ඇදහිල්ලක් පෙන්වූ අතර, කිහිපදෙනෙකුව අන්තයටම පරීක්ෂා කරනු ලැබුවා. වඩාත් මෑත කාලවලදී, ඉතියෝපියාව, එරට්රියාව, බුරුන්ඩි, මලාවි, මොසැම්බික්, රුවන්ඩාව, සිංගප්පූරුව සහ සයරේ වැනි රටවල යෙහෝවාගේ සෙනඟ පීඩා නමැති පරීක්ෂණයට මුහුණ දී තිබෙනවා. තවද මෙයාකාර පරීක්ෂණ දිගටම සිදු වෙනවා.
8. අපේ ඇදහිල්ල පරීක්ෂණයට ලක් වන විට, තැළීම් වැනි පීඩා විඳදරාගැනීමට වඩා වැඩි යමක් ඊට අයත් බව එක් අප්‍රිකානු සහෝදරයෙකුගේ අදහස්වලින් පැහැදිලි වන්නේ කෙසේද?
8 කෙසේවෙතත්, දැනටමත් සඳහන් කර ඇති පරිදි, අපේ ඇදහිල්ල වඩාත් සූක්ෂ්ම මාර්ගවලිනුත් පරීක්ෂාවට ලක් වෙනවා. ඇතැම් පරීක්ෂණ එතරම් ඍජු පැහැදිලිව හඳුනාගත හැකි ඒවා නොවෙයි. මතු දැක්වෙන සමහරක් ඒවාට ඔබ ප්‍රතික්‍රියා කරන්නේ කෙසේද කියා සලකා බලන්න. දරුවන් දහදෙනෙක් ඉන්න ඇන්ගෝලාවේ සහෝදරයෙක් යම් කාලයකට, වැඩ බලාගන්නා සහෝදරයන් සමඟ අදහස් හුවමාරු කරන්න බැරි වුණ සභාවකට අයත්ව සිටියා. පසුව, වෙනත් අයට ඒ සභාව බැහැදකින්න හැකියාවක් උදා වුණා. තම පවුලට අවශ්‍ය ආහාර දෙන්නේ කොහොමද කියා ඔහුගෙන් විමසනු ලැබුවා. උත්තර දීම ඔහුට පහසු කාර්යයක් වුණේ නැහැ; ඔහු කිව්වේ තත්වය අමාරුයි කියා පමණයි. අඩුම තරමින් තම දරුවන්ට දවසකට එක වේලක්වත් කන්න දෙන්න ඔහුට පුළුවන් වුණාද? ඔහුගේ පිළිතුර: “ඇත්තෙන්ම, බොහොම අමාරුයි. තියෙන දෙයින් පිරිමහගෙන ඉන්න අපි ඉගෙනගෙනයි තියෙන්නේ.” ඊළඟට, ඒකාන්ත විශ්වාසයකින් පිරුණු හඬකින් ඔහු මෙසේ පැවසුවා: “ඒත්, මේ අන්තිම දවස්වල ඉන්න කොට අපි මේ දේවල් නෙවෙයිද අපේක්ෂා කරන්නේ?” එවන් ඇදහිල්ලක් පක්ෂපාත ක්‍රිස්තියානීන් අතර අසාමාන්‍ය දෙයක් නොවුවත්, එය ලෝකයේ කැපීපෙනෙන දෙයක්. රාජ්‍ය පොරොන්දුවල ඉටුවීම ගැන ඔවුන්ට ඇත්තේ පූර්ණ නිසැකකමක්.
9. පළමුවන කොරින්ති 11:3 සම්බන්ධයෙන් අපව පරීක්ෂා කෙරෙන්නේ කෙසේද?
9 දිව්‍යාණ්ඩු ක්‍රියාපිළිවෙත්වලට යටත් වීම සම්බන්ධයෙනුත් මහත් සමූහයව පරීක්ෂා කරනවා. ලෝක ව්‍යාප්ත ක්‍රිස්තියානි සභාව දිව්‍ය ප්‍රතිපත්ති සහ දිව්‍යාණ්ඩු ප්‍රමිතිවලට අනුව මඟ පෙන්වනු ලබනවා. මුලින්ම යේසුස්ව නායකයා, එනම් සභාවේ හිස ලෙස පත් කර ඇති තැනැත්තා හැටියට තේරුම්ගැනීම මෙයින් අදහස් වෙනවා. (1 කොරින්ති 11:3) ඔහුට සහ ඔහුගේ පියාට කැමැත්තෙන්ම යටත් වීම විදහාපෙන්වනු ලබන්නේ, දිව්‍යාණ්ඩු පත්වීම් කෙරෙහි අපේ ඇදහිල්ල සහ යෙහෝවාගේ කැමැත්ත එක්සත්ව කරන්න ඉවහල් වන තීරණ කෙරෙහි අපට තිබෙන ඇදහිල්ලෙනුයි. එපමණක්ද නොව, එක් එක් ප්‍රාදේශීය සභාවක, පෙරමුණ ගැනීම සඳහා පත් කර තිබෙන පුරුෂයන් සිටිනවා. ඔවුන් ඇතැම්විට අපට දුර්වලකම් පහසුවෙන් දැකිය හැකි අසම්පූර්ණ පුරුෂයෝයි; එහෙත් එවන් අවේක්ෂකයන්ට ගෞරව දක්වන්නත් ඔවුන්ට යටත්ව සිටින්නත් අපව උනන්දු කර තිබෙනවා. (හෙබ්‍රෙව් 13:7, 17) ඇතැම් අවස්ථාවලදී ඔබට එය අභියෝගයක් මෙන් පෙනී යනවාද? මෙය ඇත්තටම ඔබ සඳහා පරීක්ෂණයක්ද? එසේනම්, ඔබේ ඇදහිල්ලේ මෙම පරීක්ෂණයෙන් ඔබ ප්‍රයෝජන ලබමින් සිටිනවාද?
10. ක්ෂේත්‍ර සේවය සම්බන්ධව අප මුහුණ දෙන්නේ කුමන ආකාරයේ පරීක්ෂණයකටද?
10 ක්ෂේත්‍ර සේවයෙහි නිතිපතා නිරත වීමේ වරප්‍රසාදය සහ අවශ්‍යතාව සම්බන්ධයෙනුත් අපව පරීක්ෂා කරනු ලබනවා. මෙම පරීක්ෂණයෙන් සමත් වීමට නම්, දේවසේවයට පූර්ණ අන්දමින් සහභාගි වීමට, අවම ආකාරයකින් හෝ යාන්ත්‍රිකව දේශනා කිරීමට වඩා වැඩි යමක් අයත් වන බව අප තේරුම්ගත යුතුයි. තමාට තිබෙන සියල්ල දුන් දුප්පත් වැන්දඹුව ගැන යේසු පළ කළ හිතකර අදහස සිහියට නඟන්න. (මාර්ක් 12:41-44) අපට අපෙන් මෙසේ ඇසිය හැකියි, ‘ක්ෂේත්‍ර සේවය ගත්තොත්, මම ඒ හා සමාන ආකාරයකින් පරිත්‍යාගශීලීව කටයුතු කරනවාද?’ අපි සියලුදෙනාම දවසේ පැය 24 පුරාම යෙහෝවාගේ සාක්ෂිකරුවන් විය යුතු අතර, අපේ ආලෝකය බැබළවීමට හැම ප්‍රස්තාවක්ම යොදාගන්න සූදානමින් සිටිය යුතුයි.—මතෙව් 5:16.
11. අවබෝධය හෝ හැසිරීම පිළිබඳ උපදෙස් වෙනස් වෙද්දී එය පරීක්ෂණයක් විය හැක්කේ කෙසේද?
11 අප මුහුණ දිය හැකි තවත් පරීක්ෂණයක්, බයිබල් සත්‍යය මත හෙළන වැඩි වන ආලෝකය සඳහාත් විශ්වාස වූ දාස පංතිය සපයන උපදෙස් සඳහාත් අපේ අගයේ ප්‍රමාණයට සම්බන්ධයි. (මතෙව් 24:45) නිදසුනක් ලෙස සභාව තුළ දිගටම සිටීමට ඕනෑ නම් දුම්කොළ භාවිත කරන්නන්ට එම පුරුද්ද අත්හරින්න අවශ්‍ය බව පැහැදිලි වුණාක් මෙන්, ඇතැම්විට පෞද්ගලික හැසිරීමේදී යම් සකස් කිරීම් කරන්න අවශ්‍ය වෙනවා.a (2 කොරින්ති 7:1) එසේ නැතහොත්, සංගීතය හෝ වෙනත් ආකාරයේ විනෝදාස්වාදයක් සම්බන්ධව අප දක්වන රුචිය සකස් කිරීමේ අවශ්‍යතාව පිළිගැනීම පරීක්ෂණයක් විය හැකියි.b ඉදිරිපත් කළ උපදෙස්වල නුවණක්කාරකම අප ප්‍රශ්න කරන්න යනවාද? එසේ නැත්නම්, අපේ චින්තන රටා ඇඹීමටත් අලුත් ක්‍රිස්තියානි පෞද්ගලිකත්වය පැළඳගැනීමටත් අපට උපකාර කරන්න දෙවිගේ ආත්මයට අපි ඉඩ දෙන්න යනවාද?—එපීස 4:20-24; 5:3-5.
12. යමෙකු බව්තීස්ම වූවායින් පසුව ඇදහිල්ල ශක්තිමත් කිරීමට අවශ්‍ය වන්නේ කුමක්ද?
12 දශක ගණනාවක් පුරා, මහත් සමූහයට අයත් සංඛ්‍යාව වැඩි වෙමින් පැවතවිත් ඇති අතර, ඔවුන්ගේ බව්තීස්මයෙන් පසු ඔවුන් දිගටම යෙහෝවා සමඟ ඔවුන්ගේ සම්බන්ධය ශක්තිමත් කරමින් සිටිනවා. නිකම් ක්‍රිස්තියානි එක්රැස්වීමකට යෑම, රාජ්‍ය ශාලාවේ රැස්වීම් කිහිපයකට යෑම හෝ ඉඳහිට ක්ෂේත්‍ර සේවයෙහි සහභාගි වීමට වඩා වැඩි දෙයක් මෙයට ඇතුළත් වෙනවා. එය මෙසේ නිදර්ශනය කළ හැකියි: පුද්ගලයෙකු භෞතික ලෙස බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය වන මහ බබිලෝනියෙන් පිට සිටිනවා ඇති; නමුත් ඔහු එය ඇත්තටම අත්හැර දමා තිබෙනවාද? මහ බබිලෝනියේ ආත්මය, එනම් දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති ගණනකට නොගන්නා ආත්මයක් පිළිබිඹු කරන ඒ දේවලට ඔහු තවමත් ඇලී සිටිනවාද? ඔහු සදාචාරය සහ විවාහයේදී විශ්වාසවන්තභාවය සුළුකොට සලකනවාද? ආත්මික කටයුතුවලට වඩා පෞද්ගලික සහ ද්‍රව්‍යමය කටයුතුවලට ඔහු වැඩි වැදගත්කමක් දෙනවාද? ඔව්, ඔහු ලෝකයෙන් කිලුටු නොවී ඉඳ තිබෙනවාද?—යාකොබ් 1:27.
පරීක්ෂා කෙරුණු ඇදහිල්ලෙන් ප්‍රයෝජන ලබන්න
13, 14. සැබෑ නමස්කාර මාර්ගය ආරම්භ කිරීමෙන් පසුව ඇතැම් අය කර තිබෙන්නේ කුමක්ද?
13 අපි ඇත්තටම මහ බබිලෝනියෙන් පලාගොස්, ලෝකයෙන් ඉවත්ව සිටිනවා නම්, අත්හැරිය දේවල් දෙස නොබලා සිටිමු. ලූක් 9:62හි වාර්තා වී ඇති ප්‍රතිපත්තියට එකඟව, අපෙන් ඕනෑම කෙනෙක් ආපසු හැරී බැලුවොත්, දේවරාජ්‍යයෙහි යටත්වැසියෙකු වීම අහිමි වීමක් අදහස් විය හැකියි. යේසු කිව්වේ: “නගුලේ අත තබා ආපසු බලන කිසිවෙක් [දෙවිගේ] රාජ්‍යයට සුදුසු නැත” කියායි.
14 එනමුත් අතීතයේ ක්‍රිස්තියානීන් බවට පත් වූ අය, එතැන් සිට මේ දේවල පිළිවෙළේ ආකාරයට අනුව හැඩගැසීමට පෞද්ගලිකව නැඹුරු වී තිබෙනවා. ඔවුන් ලෝකයේ ආත්මයට එරෙහිව ඉඳ නැහැ. (2 පේතෘස් 2:20-22) සිත වෙනතකට යොමු කරන ලෞකික දේවල් ඔවුන්ගේ උනන්දුව සහ කාලය කා දමමින්, ඔවුන්ගේ ප්‍රගතියට බාධා පමුණුවා තිබෙනවා. තම මනස් සහ හෘද දෙවිගේ රාජ්‍යය සහ ඔහුගේ ධර්මිෂ්ඨකම කෙරෙහි ස්ථිර ලෙස පිහිටුවන්නේ නැතුව, එවන් දේවල් ජීවිතයේ මුල් තැනට දමමින්, ද්‍රව්‍යවාදී ඉලක්ක පසුපස යෑමට ඔවුන් වෙනතකට හැරී තිබෙනවා. තම දුර්වල ඇදහිල්ල මෙන්ම ඇල්මැරුණු තත්වය පිළිගෙන, දිව්‍ය උපදෙස් පැතීමෙන් තම මාර්ගය වෙනස් කිරීමට ඔවුන් පෙලඹෙන්නේ නැත්නම්, යෙහෝවා සහ ඔහුගේ සංවිධානය සමඟ ඔවුන්ට තිබෙන අනර්ඝ සම්බන්ධය නැති කරගැනීමේ අන්තරාවෙහි ඔවුන් සිටිනවා.—එළිදරව් 3:15-19.
15. දෙවි ඉදිරියෙහි පිළිගත හැකි තත්වයක් පවත්වාගැනීමට අවශ්‍ය වන්නේ කුමක්ද?
15 අනුමැතිය ලත් තත්වයක මෙන්ම ශීඝ්‍රයෙන් එළඹෙන මහත් පීඩාවෙන් ගැළවීමට සුදුස්සෙකු සේ සිටීම රඳා පවතින්නේ, අපේ ‘සළු බැටළුපැටවාගේ ලෙයින් සෝදා’ පවිත්‍රව සිටීම මතයි. (එළිදරව් 7:9-14; 1 කොරින්ති 6:11) අප දෙවි ඉදිරියෙහි පවිත්‍ර, ධර්මිෂ්ඨ ස්ථාවරයක් පවත්වා නොගත්තොත්, අපේ පරිශුද්ධ සේවය පිළිගනු ලබන්නේ නැහැ. ඇත්තෙන්ම, පරීක්ෂා කෙරුණු ඇදහිල්ලේ ගුණය, විඳදරාගැනීමටත් දෙවිගේ අප්‍රසාදය ලබාගැනීමෙන් වැළකී සිටීමටත් අපට උපකාර කරන බව අප සෑමදෙනාම තේරුම්ගත යුතුයි.
16. බොරු, අපේ ඇදහිල්ලේ පරීක්ෂණයක් බවට ඔප්පු විය හැක්කේ කවර ආකාරවලින්ද?
16 ඇතැම් අවස්ථාවල, ජන මාධ්‍යය සහ ලෞකික බලධාරීන්, අපේ ක්‍රිස්තියානි විශ්වාසයන් සහ ජීවිත මාර්ගය වරදවා දක්වමින්, දෙවිගේ සෙනඟට එරෙහිව බොරු චෝදනා එල්ල කරනවා. ‘අප ලෝකයට අයත්ව නොසිටින නිසා ලෝකය අපට වෛර කරන බව’ යේසු පැහැදිලිවම පෙන්නුම් කරන බැවින්, මෙය අපේ පුදුමයට හේතු විය යුතු නැහැ. (යොහන් 17:14) සාතන් විසින් අන්ධ කරනු ලැබූ අයට අපව භයගැන්වීමටත්, අධෛර්යය කිරීමටත්, ශුභාරංචිය ගැන අපට ලජ්ජාවක් හැඟීමට සැලැස්වීමටත් අප ඉඩ දෙන්න යනවාද? සත්‍යය පිළිබඳ පැතිර ඇති බොරු අපේ නිතිපතා රැස්වීම්වලට පැමිණීම සහ අපේ දේශනා කිරීමේ ක්‍රියාකාරකම්වලට බලපාන්න අප ඉඩ දෙන්න යනවාද? එසේ නැතහොත් යෙහෝවා සහ ඔහුගේ රාජ්‍යය ගැන සත්‍යය ප්‍රකාශ කිරීමට අප ස්ථිරව, එඩිතරව, වෙනදාටත් වඩා ධෛර්යයක් ඇතුව සිටින්න යනවාද?
17. දිගටම ඇදහිල්ල පෙන්වන්න අපව පිබිදවිය හැක්කේ කුමන සහතිකයද?
17 ඉටු වූ බයිබල් අනාවැකිවලට අනුව, අප දැන් ජීවත් වන්නේ අන්තිම කාලයේ අවසාන භාගයෙයි. ධර්මිෂ්ඨකමේ නව ලොවක් සඳහා බයිබලය මත පදනම් අපේක්ෂාවන් සතුටින් පිරුණු යථාර්ථයක් වනවාට කිසිම සැකයක් නැහැ. ඒ දවස පැමිණෙන තෙක්, අපි සැමෝම දේවවචනය කෙරෙහි නොසැලෙන ඇදහිල්ලක් දක්වමින්, ලොව පුරා රාජ්‍යයේ ශුභාරංචිය අත්නෑර දේශනා කිරීමෙන් ඒ ඇදහිල්ල ඔප්පු කරමු. සතියක් සතියක් පාසා බව්තීස්ම කරනු ලබන අලුත් ගෝලයන් දහස් ගණන ගැන සිතා බලන්න. තම විනිශ්චය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යෙහෝවා දක්වන ඉවසිල්ල, තවත් බොහෝදෙනෙකුගේ ගැළවීමට හේතු විය හැකිය යන්න අගය කරන්න එය ප්‍රමාණවත් හේතුවක් නොවේද? ජීවිත ගළවන රාජ්‍ය දේශනා කිරීමේ කටයුත්ත දිගටම සිදු වෙන්න දෙවි විසින් ඉඩ දීම ගැන අපි ප්‍රීතිමත් වන්නේ නැද්ද? ඒ වගේම දශලක්ෂ ගණන් සත්‍යය පිළිගෙන තමුන්ගේ ඇදහිල්ල නිරූපණය කිරීමෙන් අප මහත් සතුටක් ලබන්නේ නැද්ද?
18. යෙහෝවාට සේවය කිරීම සම්බන්ධව ඔබට තිබෙන අධිෂ්ඨානය කුමක්ද?
18 වර්තමානයේ අපේ ඇදහිල්ල පරීක්ෂා කිරීම කොතරම් කලකට සිදු වෙයිද කියා අපට කිව නොහැකියි. එනමුත් මේ දේ නම් ස්ථිරයි: වර්තමාන දුෂ්ට අහසත් පොළොවත් සඳහා, යෙහෝවාට නියමිත ගණන් දීමේ දවසක් තිබෙනවා. ඒ අතරතුර, අපේ ඇදහිල්ලේ පරිපූරකයා වන යේසු විදහාපෙන්වූ, පරීක්ෂා කෙරුණු ඇදහිල්ලේ නියම ගුණය අනුකරණය කරන්න අපි අධිෂ්ඨාන කරගෙන සිටිමු. එමෙන්ම පොළොව මත වයසට යමින් සිටින ආලේප ලත් ඉතිරි කොටසේ මෙන්ම අප අතර එඩිතරව පෙරමුණ ගන්නා වෙනත් අයගේ ආදර්ශය අනුගමනය කරමු.
19. ඔබට සහතික විය හැක්කේ මෙම ලෝකයෙන් කුමක් ජයගන්නා බවටද?
19 අහස මැද පියාසර කරන දේවදූතයාට සහයෝගය දක්වමින්, හැම ජාතියකටම, ගෝත්රයකටම, භාෂාවකටම සහ ජනකායකටම අත්නෑර සදාකාල ශුභාරංචිය දේශනා කිරීමට අප අදිටන් කරගත යුතුයි. ‘දෙවිට භය වී, ඔහුට ගෞරව දෙන්න; මක්නිසාද ඔහුගේ විනිශ්චයේ පැය පැමුණුණේය’ කියන දේවදූතමය ප්‍රකාශය ඇසීමේ වරම ඔවුන්ට දෙන්න. (එළිදරව් 14:6, 7) ඒ දිව්‍යමය විනිශ්චය ඉටු කරනු ලබන විට, පරීක්ෂා කෙරුණු අපේ ඇදහිල්ලේ ගුණය සම්බන්ධයෙන් ප්‍රතිඵලය කුමක් වේවිද? එය වර්තමාන දේවල පිළිවෙළින් මිදී, දෙවිගේ ධර්මිෂ්ඨ නව ලොව තුළට පිවිසීමෙන් මුදුන් පත් වන තේජාන්විත විජයග්රහණයක් වන්නේ නැද්ද? අපේ ඇදහිල්ලට එල්ල වන පරීක්ෂණ විඳදරාගැනීමෙන්, “ලෝකයෙන් ජයගෙන තිබෙන්නේ අපේ ඇදහිල්ල” යයි ප්‍රේරිත යොහන් කිව්වාක් මෙන් කීමට අපටත් පුළුවන් වේවි.—1 යොහන් 5:4.
[පාදසටහන්වල]
a මුරටැඹ (ඉංග්‍රීසියෙන්) 1973 ජූනි 1, 336-43 පිටු සහ 1973 ජූලි 1, 409-11 පිටු බලන්න.
b මුරටැඹ 1984 මාර්තු 1, 19-22 පිටු බලන්න.
ඔබට මතකද?
◻ අපේ ඇදහිල්ලේ පරීක්ෂණ ප්‍රීතිය සඳහා හේතුවක් විය හැක්කේ කෙසේද?
◻ එතරම් පහසුවෙන් හඳුනාගත නොහැකි අපේ ඇදහිල්ලේ පරීක්ෂණ සමහරක් මොනවාද?
◻ අපේ ඇදහිල්ලේ පරීක්ෂණ සාර්ථකව විඳදරාගැනීමෙන් අපට ප්‍රයෝජන අත් කරගත හැක්කේ කෙසේද?
[17වන පිටුවේ පින්තූර]
ඒ. එච්. ම’ක්මිලන් (ඉදිරිපස වමේ). ඔහුද වොච් ටවර් සමිතියේ නිලධාරීන්ද අසාධාරණ ලෙස සිරගත කරනු ලැබූ කාලයේදී
ඔහු 1928 ඩීට්‍රොයිට් මිචිගන්වල පැවති සමුළුවක නියෝජිතයෙකුව සිටියා
සිය ජීවිතයේ අවසාන අදියරේදිත් සහෝදර ම’ක්මිලන් ඇදහිල්ල විදහාපාමිනුයි සිටියේ
[18වන පිටුවේ පින්තූරය]
මෙම පවුල මෙන්, අප්‍රිකාවේ ක්‍රිස්තියානීන් බොහෝදෙනෙක් පරීක්ෂා කෙරුණු ඇදහිල්ලේ ගුණයක් දක්වා තිබෙනවා