17වෙනි පරිච්ඡේදය
යෙහෝවා දෙවියන්ගේ සංවිධානයත් එක්ක ඉන්න
“දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි” කියලා යාකොබ් කියලා තියෙනවා. (යාකො. 4:8) අපි හැමෝටම පව්කාරකම උරුම වෙලා තිබුණත් ඔහු අපෙන් දුරස් වෙලා නැහැ. (ක්‍රියා 17:27) අවංකව දෙවියන්ට යාච්ඤා කරන එක ඇතුළු ඔහු එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න උදව් වෙන දේවල් අපි කරනවා නම් ඔහුට ළං වෙන්න පුළුවන්. (ගීතා. 39:12) හැමදාම බයිබලය අධ්‍යයනය කරන එකත් ඒකට උදව් වෙනවා. බයිබලය අධ්‍යයනය කරද්දී යෙහෝවා දෙවියන්ව දැන හඳුනා ගන්නත් ඔහුගේ අරමුණු සහ ඔහු අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා දැනගන්නත් පුළුවන් වෙනවා. (2 තිමෝ. 3:16, 17) එතකොට දෙවියන් ගැන අපේ හිතේ ආදරයක් ඇති කරගන්නත් ඔහු අකමැති දේවල් නොකර ඉන්නත් අපිට පුළුවන්.—ගීතා. 25:14.
2 යෙහෝවා දෙවියන්ට ළං වෙන්න පුළුවන් වෙන්නේ යේසුස් මාර්ගයෙන් විතරයි. (යොහ. 17:3; රෝම 5:10) යේසුස් තරම් යෙහෝවා දෙවියන් ගැන දන්න කිසිම කෙනෙක් නැහැ. ඔහුම කියපු මේ දෙයින් ඒක පැහැදිලි වෙනවා. “පුත්‍රයාව හොඳින් හඳුනාගෙන සිටින්නේ පියාණන් පමණයි. පියාණන්ව හොඳින් හඳුනාගෙන සිටින්නෙත් පුත්‍රයා පමණයි.” (ලූක් 10:22) ඒ නිසා අපි සුවිශේෂ පොත්වලින් යේසුස් ගැන ඉගෙනගන්නවා කියන්නේ හරියට යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගන්නවා වගෙයි. දෙවියන්ට ළං වෙන්න අපිට ඒ තොරතුරු උදව් වෙනවා.
3 යේසුස්ගේ නායකත්වය යටතේ ඉන්න අපි, දෙවියන්ගේ කැමැත්ත ඉටු කරන්න ඕන විදිහ ගැන උගන්වන දෙවියන්ගේ සංවිධානයේ පොළොවේ තියෙන කොටසත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න ඕනේ. දෙවියන්ට ළං වෙන්න ඒක උදව් වෙනවා. මතෙව් 24:45-47 සඳහන් විදිහට ස්වාමියා වන යේසුස් ‘නියම වේලාවට ආහාර දීම සඳහා විශ්වාසවන්ත නුවණ ඇති දාසයාව’ පත් කරලා තියෙනවා. මේ කාලයේදී ඒ දාසයා අපිට ඇති තරම් පෝෂණය දෙනවා. හැමදාම බයිබලය කියවන්න, නොකඩවා රැස්වීම්වලට සහභාගි වෙන්න සහ ‘රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය’ ගැන උනන්දුවෙන් මිනිසුන්ට කියන්න කියලා දාසයා මාර්ගයෙන් දෙවියන් අපිට නිතර නිතර මතක් කරනවා. (මතෙ. 24:14; 28:19, 20; යොෂු. 1:8; ගීතා. 1:1-3) දාසයාව පත් කරලා තියෙන්නේ දෙවියන්ගේ බලයෙන් කියලා අපි හොඳින්ම තේරුම් අරන් ඉන්නවා. යෙහෝවා දෙවියන්ගේ සංවිධානයේ පොළොවේ තියෙන කොටසත් එක්ක අපි දිගටම සහයෝගයෙන් වැඩ කරමින් අපිට ලැබෙන මඟ පෙන්වීම් අදාළ කරගන්න ඕනේ. දෙවියන්ට ළං වෙන්නත් පීඩා මැද දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්නත් ඒ දේවල් උදව් වෙනවා.
පීඩාවන් වැඩි වෙන්නේ ඇයි?
4 ඔයා අවුරුදු ගාණක් තිස්සේ සත්‍ය මාර්ගයේ ගමන් කරනවා ඇති. එහෙමනම් විශ්වාසවන්තකම සෝදිසියට ලක් වෙන පීඩාවන් විඳදරාගන්න එක ගැන ඔයාට අද්දැකීම් ඇති. ඔයා යෙහෝවා දෙවියන්ව දැන හඳුනා ගෙන වැඩි කාලයක් නැති වුණත් පාලකයා විදිහට දෙවියන්ව පිළිගන්නා අයට සාතන් අනිවාර්යයෙන්ම පීඩා කරනවා කියලා ඔයා දන්නවා. (2 තිමෝ. 3:12) මේ වෙද්දී ඔයා පීඩා හුඟක් විඳදරාගෙන තිබුණත් පීඩා කිහිපයක් විතරක් විඳදරාගෙන තිබුණත් බය වෙන්න එපා. අධෛර්යය වෙන්න එපා. ඔයාව රැකබලා ගන්නවා කියලත් ඔයාව ගලවාගෙන ජීවනය ලබා දෙනවා කියලත් යෙහෝවා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා.—හෙබ්‍රෙ. 13:5, 6; එළි. 2:10.
5 සාතන්ගේ පාලනය යටතේ තියෙන මේ මිනිස් සමාජයේ අවසානය අද්දර ජීවත් වෙන අපි හැමෝටම පීඩාවලට මුහුණ දෙන්න වෙනවා. 1914දී දේවරාජ්‍යය පිහිටෙව්වාට පස්සේ සාතන්වත් ඔහුගේ භූතයන්වත් පොළොවට හෙළුවා. එදා ඉඳන් ඒ කිසිම කෙනෙක්ට ආපහු ස්වර්ගයට යන්න බැහැ. යෙහෝවා දෙවියන්ගේ සෙනඟට මේ තරම් පීඩාවලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ සාතන් දැවෙන කෝපයකින් ඉන්න නිසයි. ඔහුගේ දුෂ්ට පාලනයේ අවසානය ළඟයි කියලා සිද්ධ වෙන ඒ දේවලින් පැහැදිලි වෙනවා.—එළි. 12:1-12.
6 තමන්ට තියෙන්නේ තව ටික කාලයයි කියලා සාතන් හොඳින්ම දන්නවා. දේශනා සේවය නතර කරන්නත් දෙවියන්ගේ සෙනඟ අතරේ තියෙන එක්සත්කම නැති කරන්නත් ඔහු තම භූතයන් එක්ක එකතු වෙලා පුළුවන් හැම දේම කරනවා. ඒ නිසා අපිට ලොකු සටනක නියැලෙන්න වෙනවා කියලා බයිබලයේ සඳහන් මේ දෙයින් පැහැදිලියි. “අපට තිබෙන පොරබැදීම ඇට මස් ලේ නහර සහිත මිනිසුන්ට විරුද්ධව තිබෙන පොරබැදීමක් නොවේ. ඒ වෙනුවට අපට පොරබැදීමට සිදු වී තිබෙන්නේ මේ අන්ධකාර ලෝකයට අයත් පාලන ක්‍රම, බලධාරීන් සහ ලෝක පාලකයන්ට විරුද්ධවය. එනම් ස්වර්ගීය ස්ථානවල සිටින භූත සේනාවන්ට විරුද්ධවය.” ඒ යුද්ධයෙන් ජය ගන්න නම් දෙවියන් අපිට දීලා තියෙන මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳගෙන දිගටම සටන් කරන්න ඕනේ. ඒ වගේම “යක්ෂයාගේ උපායන්වලට විරුද්ධව නොසැලී ස්ථිරව” ඉන්නත් ඕනේ. (එෆී. 6:10-17) එහෙම කරන්න පුළුවන් වෙන්නේ අපි දිගටම විඳදරාගෙන හිටියොත් විතරයි.
විඳදරාගැනීම වර්ධනය කරගන්න
7 විඳදරාගන්නා කෙනෙක් මොන තරම් පීඩා, දුෂ්කරතා, විරුද්ධවාදිකම් ඇතුළු මොන දේකට මුහුණ දුන්නත් දිගටම හරි දේ කරමින් අන්තිමය දක්වාම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්නවා. ක්‍රිස්තියානීන් හැමෝම විඳදරාගැනීම වර්ධනය කරගන්න ඕනේ. ඒකට යම් කාලයක් යනවා. අපිට දෙවියන් එක්ක තියෙන බැඳීම වැඩි වෙන තරමටම අපේ විඳදරාගැනීමත් වැඩි වෙනවා. කෙනෙක් දෙවියන්ව දැන හඳුනා ගන්නා මුල් කාලෙදී මුහුණ දෙන පුංචි පුංචි පීඩාවන් විඳදරාගන්නවා නම් ඉදිරියේදී මුහුණ දෙන්න වෙන දරුණු පීඩාවන් වුණත් විඳදරාගන්න ඔහුට පුළුවන් වෙනවා. (ලූක් 16:10) අපි දිගටම විශ්වාසවන්තව ඉන්නවා කියන අධිෂ්ඨානය ගන්න ඕනෙ පීඩාවලට මුහුණ දෙන අවස්ථාවේදී නෙවෙයි. පීඩා එන්න කලින්ම අපි ඒ අධිෂ්ඨානය අරන් ඉන්න ඕනේ. විඳදරාගැනීම කියන ගුණාංගයත් එක්ක අපි වර්ධනය කරගන්න ඕන තවත් ගුණාංග ගැන පේතෘස් මෙහෙම කියලා තියෙනවා. “අවංකව හැසිරීමට උපරිම උත්සාහයක් දරමින් ඔබ තුළ තිබෙන විශ්වාසයට නිර්මලකම එකතු කරගන්න. එසේම ඔබේ නිර්මලකමට දැනුමද, ඔබේ දැනුමට තමාව පාලනය කරගැනීමේ හැකියාවද තමාව පාලනය කරගැනීමේ හැකියාවට විඳදරාගැනීමේ හැකියාවද විඳදරාගැනීමේ හැකියාවට දේවභක්තියද, ඔබේ දේවභක්තියට සහෝදර ස්නේහයද ඔබේ සහෝදර ස්නේහයට ප්‍රේමයද එකතු කරගන්න.”—2 පේතෘ. 1:5-7; 1 තිමෝ. 6:11.
එදිනෙදා මුහුණ දෙන ප්‍රශ්නවලින් අපි ජය ගනිද්දී අපේ විඳදරාගැනීම වර්ධනය වෙනවා
8 විඳදරාගන්න එකේ වැදගත්කම යාකොබ් කියලා තියෙන මේ දෙයින් පැහැදිලි වෙනවා. “මාගේ සහෝදරයෙනි, ඔබට විවිධාකාර ප්‍රශ්න ගැටලුවලට මුහුණ දීමට සිදු වන විට එය ප්‍රීතියක් ලෙස සලකන්න. මන්ද එයින් ඔබ තුළ තිබෙන විශ්වාසය සෝදිසියට ලක් වනු ඇත. එමගින් ඔබ තුළ විඳදරාගැනීමේ හැකියාව ඇති වන බව ඔබ හොඳින් දන්නා දෙයකි. විඳදරාගැනීමෙන් ඉතා වැදගත් කාර්යයක් ඉටු වෙයි. එයින් ඔබට සෑම පැත්තකින්ම අඩුපාඩුවක් නැති, නිර්දෝෂ, අවබෝධයෙන් ක්‍රියා කරන කෙනෙකු බවට පත් විය හැක.” (යාකො. 1:2-4) ඒ අනුව පීඩාවලට මුහුණ දෙද්දී අපේ විඳදරාගැනීම වර්ධනය වෙන නිසා පීඩා ගැන අපි සතුටු වෙන්න ඕනේ. පීඩාවලට මුහුණ දෙනකොට ඔයාටත් එහෙම හිතෙනවාද? පෞද්ගලිකත්වය වෙනස් කරගෙන දෙවියන්ගේ අනුමැතිය දිනාගන්න නම් විඳදරාගැනීම අත්‍යවශ්‍යයි කියලා යාකොබ් කියපු දෙයින් පැහැදිලියි. අපිට එදිනෙදා මුහුණ දෙන්න වෙන ප්‍රශ්නවලින් අපි ජය ගනිද්දී අපේ විඳදරාගැනීම වර්ධනය වෙනවා. ඒ වගේම අපිට අවශ්‍ය කරන තවත් වැදගත් ගුණාංග වර්ධනය කරගන්නත් විඳදරාගැනීම උදව් වෙනවා.
9 අපි විඳදරාගෙන කටයුතු කරද්දී යෙහෝවා දෙවියන් ඒ ගැන සතුටු වෙනවා. ප්‍රතිඵලයක් විදිහට ඔහු අපිට සදහටම ජීවත් වෙන්න අවස්ථාව ලබා දෙනවා. යාකොබ් මෙහෙමත් කියලා තියෙනවා. “විවිධ දුෂ්කරතා දිගටම විඳදරාගෙන සිටින පුද්ගලයෙකුට ප්‍රීතියෙන් සිටිය හැකියි. එවැනි පුද්ගලයෙකුට දෙවිගේ අනුමැතිය ලැබෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට ජීවනයේ ඔටුන්න උරුම වෙයි. තමාට නොකඩවා ප්‍රේම කරන අයට එය ලබා දෙන බව යෙහෝවා දෙවි පොරොන්දු වී ඇත.” (යාකො. 1:12) අපි විඳදරාගන්නවා නම් අපිට ජීවනය ලැබෙනවා. විඳදරාගන්නේ නැත්නම් දිගටම සත්‍ය මාර්ගයේ ගමන් කරන්න අපිට බැහැ. පීඩා එද්දී අපි සැලෙනවා නම් ලෝකයේ බලපෑමට අපි අහු වෙනවා. විඳදරාගන්නේ නැත්නම් දෙවියන්ගේ බලය ලැබෙන්නේ නැති නිසා දෙවියන්ගේ බලයේ ක්‍රියාකාරිත්වයෙන් ඇති වෙන ගුණාංග වර්ධනය කරගන්න පුළුවන් වෙන්නෙත් නැහැ.
10 අසීරු තත්වයන් මැද වුණත් විඳදරාගන්න නම් ක්‍රිස්තියානීන් විදිහට මුහුණ දෙන්න වෙන පීඩා ගැන අපිට හරි ආකල්පයක් තියෙන්න ඕනේ. යාකොබ් කිව්වේ පීඩා “ප්‍රීතියක් ලෙස සලකන්න” කියලයි. ශාරීරිකවත් මානසිකවත් පීඩා අද්දකින්න වෙද්දී එහෙම කරන එක ලේසි නැහැ. හැබැයි ඒ දේ අපේ ජීවනයට බලපානවා කියලා මතක තියාගන්න ඕනේ. පීඩා එද්දී ඒ ගැන ප්‍රීති වෙන්න පුළුවන් විදිහ ගැන යේසුස්ගේ නියෝජිතයන්ගෙන් අපිට වටිනා පාඩම් ඉගෙනගන්න පුළුවන්. ක්‍රියා පොතේ ඒ ගැන සඳහන් වෙන්නේ මෙහෙමයි. “යේසුස්ගේ නියෝජිතයන්ව කැඳවා ඔවුන්ට තළා, යේසුස්ගේ නාමයෙන් තවදුරටත් කතා නොකරන්න කියා නියෝග කර ඔවුන්ව නිදහස් කළෝය. යුදෙව් මන්ත්‍රණ සභාවෙන් පිටතට පැමිණි ඔවුහු, යේසුස්ගේ නාමය නිසා නින්දා විඳින්න ලැබීම කොතරම් උතුම් වරප්‍රසාදයක්ද කියා සිතමින් ප්‍රීතියෙන් පිටත්ව ගියෝය.” (ක්‍රියා 5:40, 41) යේසුස් දීපු ආඥාව පිළිපදිනවා කියලත් දෙවියන්ගේ අනුමැතිය තමන්ට තියෙනවා කියලත් කියන්න පීඩාවන් හොඳ සාක්ෂියක් කියන එක නියෝජිතයන් තේරුම් අරන් හිටියා. පීඩාවන් විඳදරාගන්න එක මොන තරම් වටිනවාද කියලා පස්සේ කාලෙකදී පේතෘස් සඳහන් කළා.—1 පේතෘ. 4:12-16.
11 පාවුල් සහ සීලස්ගේ අද්දැකීම ගැන හිතන්න. ඔවුන් ෆිලිප්පියේ මිෂනාරි සංචාරයක නියැලෙමින් ඉද්දී ඔවුන් ඒ නුවරේ මහා කලබලයක් ඇති කරනවා කියලත් රෝම චාරිත්‍රවලට පටහැනි දේවල් කරන්න උගන්වනවා කියලත් බොරු චෝදනා නැඟුවා. ප්‍රතිඵලයක් විදිහට ඔවුන්ට හොඳටම පහර දීලා සිරගත කළා. හැබැයි “මධ්‍යම රාත්රියේදී පමණ පාවුල් සහ සීලස් යාච්ඤා කරමින්ද දෙවිට ප්‍රශංසා ගී ගයමින්ද” හිටියා කියලා බයිබලයේ සඳහන් වෙනවා. (ක්‍රියා 16:16-25) ක්‍රිස්තුස් වෙනුවෙන් පීඩා විඳින්න වෙන එක ගැන ඔවුන්ට හරි ආකල්පයක් තිබුණා. පීඩා විඳදරාගන්න එකෙන් ඔවුන්ට සැබෑ විශ්වාසයක් තියෙන බව ඔප්පු කරන්න පුළුවන් කියලත් අනිත් අයට ශුභාරංචිය ගැන දැනගන්න අවස්ථාවක් ලැබෙනවා කියලත් ඔවුන් දැනගෙන හිටියා. එදා රාත්‍රියේදීම සිරගෙයි භාරකරුත් ඔහුගේ නිවසේ හැමෝමත් ශුභාරංචියට සවන් දීලා ගෝලයන් වුණා. (ක්‍රියා 16:26-34) පීඩාවන් දරාගන්න අවශ්‍ය බලය දෙන්න දෙවියන් කැමැත්තෙන් ඉන්නවා කියලත් දෙවියන් අනිවාර්යයෙන්ම බලය ලබා දෙනවා කියලත් පාවුල් සහ සීලස් දැනගෙන හිටියා. ඒ දේ ඒ විදිහටම වුණු නිසා ඔවුන් කලකිරුණේ නැහැ.
12 පීඩාවලට සාර්ථකව මුහුණ දෙන්න අපිව ශක්තිමත් කරන්න අවශ්‍ය හැම දෙයක්ම යෙහෝවා දෙවියන් අදටත් සපයනවා. අන්තිමය දක්වාම අපි විඳදරාගන්නවාටයි ඔහු කැමති. ඔහුගේ අරමුණු ගැන නිවැරදි දැනුමක් ලබාගන්න ඔහු අපිට බයිබලය දීලා තියෙනවා. අපේ විශ්වාසය ශක්තිමත් කරගන්න ඒ තොරතුරු මොන තරම් ප්‍රයෝජනවත්ද! එකිනෙකාව ආශ්‍රය කරන්නත් දෙවියන්ට පරිශුද්ධ සේවයක් පිරිනමන්නත් අපිට අවස්ථාව තියෙනවා. යාච්ඤාව මාර්ගයෙන් දෙවියන් එක්ක කතා කරන්න වගේම ඔහුත් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්නත් අපිට පුළුවන්. අපි දෙවියන්ට ප්‍රශංසා කරද්දීත් දිගටම දෙවියන් ඉදිරියේ පවිත්‍ර ජීවිතයක් ගත කරන්න උදව් ඉල්ලලා කන්නලව් කරද්දීත් දෙවියන් ඒවාට ඇහුම්කන් දෙනවා. (ෆිලි. 4:13) අනාගතය ගැන අපිට තියෙන ප්‍රීතිමත් බලාපොරොත්තුව නිසාත් අපි මොන තරම් සහනයක් අද්දකිනවාද!—මතෙ. 24:13; හෙබ්‍රෙ. 6:18; එළි. 21:1-4.
විවිධ පීඩා විඳදරාගැනීම
13 හුඟක් වෙලාවට අද අපි මුහුණ දෙන්නේ මුල් සියවසේ හිටිය ගෝලයන් මුහුණ දීපු අභියෝගවලටමයි. දෙවියන්ගේ සෙනඟ වන අපි ගැන අහන්න ලැබිලා තියෙන බොරු ආරංචි නිසා හුඟක් අය අපිට විරුද්ධව කටයුතු කරනවා. අතීතයේදී වගේම මේ කාලයේදීත් ආගමික නායකයන් දෙවියන්ගේ සෙනඟට විරුද්ධව වැඩ කරන්න මිනිසුන්ව පොලඹවනවා. (ක්‍රියා 17:5-9, 13) සමහර අවස්ථාවලදී දෙවියන්ගේ සෙනඟ නීතිය මාර්ගයෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් දිනාගැනීමට පියවර අරන් තියෙනවා. (ක්‍රියා 22:25; 25:11) හැබැයි සමහර පාලකයන් දේශනා සේවය නතර කිරීමේ අරමුණින් අපේ සේවයට යම් තහංචි පනවලා තියෙනවා. (ගීතා. 2:1-3) ඒ වගේ අවස්ථාවලදීත් අපි කටයුතු කරන්නේ “අප කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිට” කියන ප්‍රතිපත්තියට එකඟවයි.—ක්‍රියා 5:29.
14 ජාතිවාදී හැඟීම් දැන් එන්න එන්නම වැඩි වෙලා තියෙන නිසා මේ කාලයේ දේශනා සේවයේ හවුල් වෙන අයට ලොකු පීඩනයක් එල්ල වෙනවා. එළිදරව් 14:9-12 සඳහන් “මෘගයාටත් උගේ රූපයටත්” නමස්කාර කරන එක ගැන දීලා තියෙන අනතුරු ඇඟවීම අපි හොඳින් හිතට අරන් තියෙනවා. ඒ වගේම ‘දෙවිගේ ආඥා පිළිපදිමින් යේසුස් කෙරෙහි විශ්වාසය දක්වන ශුද්ධ තැනැත්තන් අනිවාර්යයෙන්ම විඳදරාගන්න ඕනෙ’ කියලත් අපි තේරුම් අරන් තියෙනවා.
15 යුද්ධ, විප්ලව, දරුණු පීඩා සහ තහංචි නිසා සමහරවිට ඉදිරියේදී නමස්කාර කටයුතු නිදහසේ කරන්න බැරි වෙයි. සභාවක් විදිහට එකට රැස් වෙන්නත් බැරි වෙයි. ශාඛා කාර්යාලයත් එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන එකකුත් නැහැ. චාරිකා සේවකයන්ගේ පැමිණීමටත් බාධා ඇති වෙයි. අපේ ප්‍රකාශන ලැබෙන එකකුත් නැහැ. එහෙම වුණොත් ඔයා මොකද කරන්නේ?
16 ඔයාට කරන්න පුළුවන් දේ උපරිමයෙන් කරන්න. පෞද්ගලික අධ්‍යයනය කරන්න ඔයාට අවස්ථාව තියෙයි. පුංචි කණ්ඩායම් විදිහට නිවෙස්වල රැස් වෙන්න පුළුවන් වෙයි. අපි ළඟ තියෙන ප්‍රකාශන සහ බයිබලය පදනම් කරගෙන ඒ රැස්වීම් පවත්වන්න පුළුවන්. කලබල වෙන්නවත් කනස්සලු වෙන්නවත් එපා. වැඩි කාලයක් යන්න කලින් පාලක මණ්ඩලය පෙරමුණ අරන් වැඩ කරන සහෝදරයන්ට අවශ්‍ය තොරතුරු දැනුම් දෙන්න පියවර ගනියි.
17 ඔයාට සහෝදර සහෝදරියන්ගෙන් වෙන් වෙලා ඉන්න සිද්ධ වුණත් ඔයා යෙහෝවා දෙවියන්ගෙන් සහ ක්‍රිස්තුස්ගෙන් වෙන් වෙලා නැහැ කියලා මතක තියාගන්න. දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න ඔයාට පුළුවන්. ඔයා කරන යාච්ඤාවලට යෙහෝවා දෙවියන් ඕනෙම වෙලාවක ඇහුම්කන් දෙනවා. ඒ වගේම ඔහුගේ බලය ඔයාට දීලා ඔයාව ශක්තිමත් කරන්නත් ඔහුට පුළුවන්. ඒ නිසා දිගටම දෙවියන්ගෙන් මඟ පෙන්වීම් ඉල්ලන්න. ඔයා යෙහෝවා දෙවියන්ගේ සේවකයෙක් සහ යේසුස්ගේ ගෝලයෙක් කියලා අමතක කරන්න එපා. ශුභාරංචිය ගැන අනිත් අයට කියන්න ලැබෙන එක අවස්ථාවක්වත් අතපසු කරන්න එපා. ඔයා වෑයම් කරද්දී යෙහෝවා දෙවියන් අනිවාර්යයෙන්ම ඔයාට ආශීර්වාද කරයි. ඒ වගේම අනිත් අයත් ඔයාත් එක්ක එකතු වෙලා සැබෑ නමස්කාරයේ හවුල් වෙන්න පෙලඹෙයි.—ක්‍රියා 4:13-31; 5:27-42; ෆිලි. 1:27-30; 4:6, 7; 2 තිමෝ. 4:16-18.
18 අතීතයේදී හිටිය නියෝජිතයන්ට වුණා වගේ කවදා හරි දවසක ඔයාගේ ජීවිතයත් අනතුරේ වැටුණොත් “මිය ගිය අයට ජීවනය ලබා දෙන දෙවි” ගැන විශ්වාසය තියන්න. (2 කොරි. 1:8-10) ඕනම දරුණු පීඩාවක් විඳදරාගන්න නැවත නැඟිටීම ගැන තියෙන බලාපොරොත්තුව ඔයාට උදව් වෙයි. (ලූක් 21:19) යේසුස් ඒ සම්බන්ධයෙන් අපිට කදිම ආදර්ශයක් තියලා තියෙනවා. තමන් දිගටම විශ්වාසවන්තව ඉන්න එක අනිත් අයටත් දිගටම විඳදරාගන්න උදව් වෙනවා කියලා යේසුස් හොඳින්ම දැනගෙන හිටියා. ඔයාටත් පුළුවන් ඒ විදිහට අනිත් සහෝදරයන්ව ශක්තිමත් කරන්න.—යොහ. 16:33; හෙබ්‍රෙ. 12:2, 3; 1 පේතෘ. 2:21.
19 පීඩා සහ විරුද්ධවාදිකම්වලට අමතරව ඔයාට තවත් දේවලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. උදාහරණයකට සේවයේ යන ප්‍රදේශයේ ඉන්න අය ශුභාරංචියට උනන්දුවක් පෙන්වන්නේ නැති නිසා සමහර අය අධෛර්යය වෙලා තියෙනවා. ඒ වගේම පව්කාරකම නිසා උරුම වෙලා තියෙන යම් දුබලතාවක් එක්ක එහෙමත් නැත්නම් මානසික හරි ශාරීරික හරි අසනීපයක් එක්ක සමහර අයට පොරබදන්න සිද්ධ වෙලා තියෙනවා. සේවයට බාධාවක් වෙන දෙයක් එක්ක දිගටම පොරබදන්න පාවුල්ටත් සිද්ධ වුණා. (2 කොරි. 12:7) තමන් “අසනීපයෙන් සිටි බව [ඔහුගේ මිතුරන්ට] ආරංචි වූ නිසා” ෆිලිප්පියේ ජීවත් වුණු එපෆ්‍රොදිතස් ඒ ගැන ‘කලකිරුණා.’ (ෆිලි. 2:25-27) අපිට වගේම අනිත් අයටත් පව්කාරකම උරුම වෙලා තියෙන නිසා සමහර අවස්ථාවලදී යම් ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. පෞද්ගලිකත්වයන් එකිනෙකට වෙනස් නිසා පවුලේ අය අතරෙත් සහෝදර සහෝදරියන් අතරෙත් එකඟ නොවීම් ඇති වෙන්න පුළුවන්. හැබැයි බයිබලයේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගන්නවා නම් ඒ ඕනම තත්වයක් විඳදරාගන්න පුළුවන් වෙනවා.—එස. 2:3-5; 1 කොරි. 9:27; 13:8; කොලො. 3:12-14; 1 පේතෘ. 4:8.
දිගටම විශ්වාසවන්තව ඉන්න
20 යෙහෝවා දෙවියන් සභාවේ හිස විදිහට පත් කරලා තියෙන යේසුස්ට අපි දිගටම විශ්වාසවන්තව ඉන්න ඕනේ. (කොලො. 2:18, 19) ඒ වගේම අපි ‘විශ්වාසවන්ත නුවණ ඇති දාසයාටත්’ පෙරමුණ අරන් වැඩ කරන අයටත් සහයෝගය දෙන්න ඕනේ. (හෙබ්‍රෙ. 13:7, 17) දෙවියන් ඇති කරලා තියෙන සැලසුම්වලට සහ පෙරමුණ අරන් වැඩ කරන අයගෙන් ලැබෙන මඟ පෙන්වීම්වලට අපි කීකරු වෙනවා නම් යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න හොඳින් සංවිධානය වෙන්න අපිට පුළුවන්. යාච්ඤා කරන්න අපිට ලැබිලා තියෙන වරප්‍රසාදයෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. අපිව තනි කළත්, හිර කළත් අපේ ස්වර්ගික පියාණන් වන යෙහෝවා දෙවියන් එක්ක කතා කරන එක වළක්වන්නවත් අපේ එක්සත්කම නැති කරන්නවත් ඒ කිසිම දේකට බැරි බව අපි මතක තියාගන්න ඕනේ.
21 විඳදරාගැනීමත් අධිෂ්ඨානයත් ඇතුව දිගටම ශුභාරංචිය දේශනා කරන්න අපි අපේ උපරිමය කරමු. නැවත නැඟිටුණු යේසුස් ඒ කාර්යය ගැන තම අනුගාමිකයන්ට මෙහෙම කිව්වා. “ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න. පියාණන්වත් පුත්‍රයාවත් දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයත් පිළිගන්නා අයව බව්තීස්ම කරන්න. මා ඔබට අණ කළ සෑම දෙයක්ම පිළිපදින්න ඔවුන්ට උගන්වන්න.” (මතෙ. 28:19, 20) යේසුස් වගේ අපිත් අන්තිමය දක්වාම විඳදරාගමු. අනාගතයේදී සදාකාලයටම ජීවත් වෙන්න අපිට තියෙන බලාපොරොත්තුව අපි නිතරම මනසේ තියාගමු. (හෙබ්‍රෙ. 12:2) යේසුස්ගේ අනුගාමිකයන් විදිහට “පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය” ගැන ඔහු කියපු අනාවැකිය ඉටු කරන්න දායක වීමේ වරප්‍රසාදය අපිටත් තියෙනවා. යේසුස් මෙහෙම කිව්වා. “රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි. එවිට අවසානය පැමිණෙයි.” (මතෙ. 24:3, 14) මේ කාලයේදී ඒ කාර්යය ඉටු කරන්න අපි උපරිමයෙන් දායක වෙනවා නම් අනාගතයේදී ධර්මිෂ්ඨකම රජයන පොළොවක සදහටම ජීවත් වෙන්න අපිට අවස්ථාව ලැබෙනවා.