කියවීමේ උදාසීනත්වයට එරෙහිව ආරක්ෂා වන්න
අපගේ ලෝකය පුරා නවතම ආකාරයක කියවීමේ ගැටලුවක් පැතිරෙමින් පවතී. මෙය කියවීමේ උදාසීනකම ලෙස හඳුන්වනු ලැබේ. එය නිර්වචනය කර තිබෙන්නේ, “කියවීමට හැකියාව හෝ තත්වය තිබෙන මුත්, එසේ කිරීමට උනන්දුවක් නොමැතිකම” වශයෙනි.a (මෙරියම්-වෙබ්ස්ටර්’ස් කොලීජියට් ඩික්ෂනරි, ටෙන්ත් එඩිෂන් ) එසේය, වරක් සතුට ගෙන දෙන යමක් ලෙස නියැලුණ කියවීම, දැන් බොහෝදුරට අප්‍රසන්න කටයුත්තක් ලෙස ප්‍රතික්ෂේප කර දමනු ලැබේ. “කියවීම සඳහා ඔබ වෑයමක් දැරිය යුතුයි,” කියා අවුරුදු 12ක් වයසැති ගැහැනු ළමයෙක් පැමිණිලි කළාය, “අනික, ඉන් විනෝදයක් ලැබෙන්නේ නැහැ.”
බොහෝ වැඩිහිටියෝද කියවීමට උදාසීනකමක් දක්වති. නිදසුනක් වශයෙන්, සියයට 97ක අනුපාතයකට අකුරු හැකියාව තිබෙන බව එක්සත් ජනපදය ආඩම්බරයෙන් කියා සිටියත්, අමෙරිකානු වැඩිහිටියන්ගෙන් අඩක් පමණ පොත් සහ සඟරා කියවන්නේ කලාතුරකිනි! කියවීමේ හැකියාවට සමානව කියවීමේ ආශාව වර්ධනය වී නැති බව පැහැදිලිය. මැනවින් උගත් පුද්ගලයන් අතර පවා මෙය සැබෑය. “මා වැඩ ඇරී මහන්සි වී නිවසට ආ විට, පොතක් කියවනවා වෙනුවට රූපවාහිනිය නරඹනවා,” කියා එක් හාර්වඩ් විශ්වවිද්‍යාලීය උපාධිධාරියෙක් පවසයි. “එය ඊට වඩා පහසුයි.”
කියවීමට කුමක් සිදු වී තිබේද? මෑත ශතවර්ෂවලදී, එහි ප්‍රසිද්ධත්වය අවධානය උදුරාගන්නා මාධ්‍යවේදයට යට වී තිබේ. “දැන් අපට එම්ටීවී මෙන්ම වීඩියෝ ධාවකද නින්ටෙන්ඩෝ සෙල්ලම් හා වෝක්මන් එක තිබෙන නිසා, වඩාත් සරල ජීවන රටාවක් තිබූ කාලවලදී මෙන් පොතක් කියවීම එතරම් පහසු යමක් සේ නොපෙනේ,” කියා ෆෝචුන් සඟරාවෙහි ස්ට්‍රැට්ෆර්ඩ් පී. ෂර්මන් ලියයි. සමහරවිට රූපවාහිනිය නැරඹීම වනාහි, කියවීමට එරෙහිව තිබෙන වඩාත් කාලය උදුරන්නා වූ තරඟකරු විය හැකිය. සැබවින්ම, සාමාන්‍ය අමෙරිකානු ජාතිකයෙක් වයස අවුරුදු 65ක් වන විට, තම ජීවිත කාලයෙන් අවුරුදු නවයක්ම රූපවාහිනිය නැරඹීම සඳහා ගත කර තිබෙනු ඇත!
කියවීමේ විපාක බොහෝවිට තිරය ඉදිරිපිට පූජා කරනු ලබන බැවින්, පහත සඳහන් කාරණා සලකා බැලීම නැණවත් වනු ඇත.
කියවීමේ ප්‍රයෝජන
කියවීම පරිකල්පන ශක්තිය ප්‍රබෝධවත් කරයි. රූපවාහිනිය ඔබ වෙනුවෙන් කල්පනා කරයි. සෑම දෙයක්ම පැහැදිලිවම සඳහන් කර තිබේ: එනම් මුහුණේ ඉරියව්, කටහඬේ ගුණය සහ දර්ශනය යනාදියයි.
කෙසේවෙතත්, කියවීමේදී, ඔබ නළු නිළි පිරිස තෝරාගෙන, වේදිකාව පිළියෙළ කරන අතර, සිදු වන දේ අධීක්ෂණය කරන්නේය. “ඔබට හුඟාක් නිදහස තියෙනවා,” කියා අවුරුදු 10ක් වයසැති පිරිමි ළමයෙක් පවසයි. “සෑම චරිතයක්ම ඔබ කැමති ආකාරයකට මවාගැනීමට ඔබට හැකියි. රූපවාහිනියෙන් යමක් දකිනවාට වඩා, පොතක් කියවන විට දේවල් පාලනය කිරීමට වැඩි හැකියාවක් ඔබට තිබෙනවා.” වෛද්‍ය බෲනෝ බෙටල්හයිම් නිරීක්ෂණය කළ පරිදි, “රූපවාහිනිය පරිකල්පන ශක්තියට ආකර්ෂණීය යමක් වුවත්, නිදහසේ ක්‍රියා කිරීමට දායක වන්නේ නැහැ. හොඳ පොතක් මනස එකවිටම ප්‍රබෝධවත් කර එය නිදහස් කරනවා.”
කියවීම වාචික කුසලතා වර්ධනය කරයි. “රූපවාහිනිය වැඩියෙන් නරඹන තරමටම, කිසිම දරුවෙක් හෝ වැඩිහිටියෙක්, ඒ සම්බන්ධයෙන් වැඩි දියුණුවක් ලබන්නේ නැහැ,” කියා මැසචූසෙට්ස් විශ්වවිද්‍යාලයේ රෙජිනල්ඩ් ඩැමරෝල් සඳහන් කරයි. “රූපවාහිනිය නැරඹීමට යම් විශේෂ කුසලතා අවශ්‍ය නොකරන නිසා, රූපවාහිනිය නැරඹීමට නොහැකි වන ආකාරයක ආබාධයක් සම්බන්ධයෙන් අප තවම අසා නැහැ.”
ඊට වෙනස්ව, කියවීමට වාචික කුසලතා අවශ්‍ය වන අතර, එම කුසලතා ඉන් වර්ධනය කෙරේ; එය කතා කිරීම සහ ලිවීම සමඟ වෙන් කළ නොහැකි ආකාරයකින් සම්බන්ධ වී තිබේ. එක් ඉංග්‍රීසි භාෂාව උගන්වන උසස් පාසැල් ගුරුවරයෙක් මෙසේ පවසයි: “ශිෂ්‍යයෙක් ලෙස ඔබගේ සාර්ථකත්වය ඔබගේ වාග්මාලාව මත විශාල වශයෙන් රඳා පවතිනවා, එනම් ඔබ කියවන විට තේරුම්ගන්නා දේ හා ලියන විට තර්ක කරන ආකාරය අනුව බවට කිසිම සැකයක් නැහැ, අනික ඔබගේ වාග්මාලාව වර්ධනය කරගැනීම සඳහා කියවීම හැර වෙන කිසිම මාර්ගයක් නැහැ—ඇත්තෙන්ම වෙන කිසිම මාර්ගයක් නැහැ.”
කියවීම ඉවසිලිවන්තකම වඩවයි. රූපවාහිනි තිරය ඔස්සේ එක පැයකින් පමණ, රූප දහසකට වඩා වැඩි සංඛ්‍යාවක් දකින්ට ලැබිය හැකි අතර, නරඹන්නාට දකින දේ සම්බන්ධයෙන් කල්පනා කිරීම සඳහා කාලයක් ඉතිරි නොවන තරම්ය. “මෙම ක්‍රමය අනුගමනය කිරීම අවධානය යොමු කිරීමේ ශක්තිය කෙටි වීමට සලස්වයි” කියා වෛද්‍ය මැතිව් ඩ්යූමොන්ට් පවසයි. ඇතැම් අධ්‍යයනවල, දරුවන් සහ වැඩිහිටියන් යන දෙපාර්ශ්වය අතරේම අධික ලෙස රූපවාහිනිය නැරඹීමත් සමඟ වහා තීරණ ගැනීම සහ නොසන්සුන්කම සම්බන්ධ කිරීම පුදුමයට හේතුවක් නොවේ.
කියවීමට ඉවසීම අවශ්‍ය කරයි. “අනුපිළිවෙළින් වාක්‍ය, ඡේද සහ පිටු සෙමින් දිග හැරෙන අතර, එය ඉඳුරාම ප්රතිභාඥානයට අනුකූල නොවන තර්කානුකූලභාවයකින් සැකසෙයි,” කියා අදහස් හුවමාරු කිරීම සම්බන්ධයෙන් ප්‍රවීණයෙකු වන නීල් පෝස්ට්මන් ලියයි. පිටුවෙහි තිබෙන දේ සම්බන්ධයෙන්, පාඨකයා ඔහුගේම වේගයෙන් කාරණා අර්ථ දක්වා, ඇගයුම් කර ඒ මත කල්පනා කර බැලිය යුතුය. කියවීම වනාහි, ඉවසීම ඉල්ලා සිටින සහ වර්ධනය කරන සංකීර්ණ තේරුම්ගැනීමේ ක්‍රියාවලියකි.
සමබර දෘෂ්ටියක්
කියවීමෙහි තිබෙන වාසි ප්රයෝජනවලට අමතරව, රූපවාහිනියටද හොඳ පැති තිබෙන බව පිළිගත යුතුය. ඇතැම් වර්ගයේ තොරතුරු ඉදිරිපත් කිරීමේදී, එයට කියවීම අබිබවා යා හැක.b සිත් ඇදගන්නා රූපවාහිනී ඉදිරිපත් කිරීමකට, කියවීම සඳහා උනන්දුවක් පවා ඇති කළ හැක. “ළමා සාහිත්‍යය සහ විද්‍යාව, නාටකාකාරයෙන් දක්වන රූපවාහිනී වැඩසටහන් මගින්, ඒ මත මෙන්ම ඒ හා සම්බන්ධ මාතෘකා මත තිබෙන පොත් පත් සෙවීම සඳහා දරුවන්ව පොලඹවන බව වාර්තා කර තිබේ,” යයි දි එන්සයික්ලොපීඩියා අමෙරිකානා පවසයි.
සමබර දෘෂ්ටියක් ඇතුව සිටීම අත්‍යවශ්‍යය. මුද්‍රිත පිටු සහ රූපවාහිනිය වෙනස් මාධ්‍යයන් දෙකකි. ඒ දෙකටම සහජ ශක්තීන් සහ සීමාවන් තිබේ. ඒ දෙකම නිසි ලෙස හෝ අනිසි ලෙස භාවිත කළ හැක. එසේය, තමාවම වෙන් කර සිටීමට තරම් අධික ලෙස කියවීමද, අධික ලෙස රූපවාහිනිය නැරඹීම තරම්ම හානිදායක විය හැක.—හිතෝපදේශ 18:1; දේශනාකාරයා 12:12.
එහෙත්, බොහෝදුරට නැරඹීමට වැඩි කැමැත්තක් තිබෙන නිසා, කියවීම හෙළාදකිනු ලැබේ. එක් ජපන් ජාතික ප්රවෘත්ති වාර්තාකරුවෙක් ශෝකයෙන් මෙසේ ප්‍රකාශ කරයි: “අප පාඨක සංස්කෘතියකින්, නරඹන සංස්කෘතියකට මාරු වෙමින් සිටිනවා.” මෙය විශේෂයෙන්ම යෞවනයන් අතර දකින්ට තිබේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙයින් බොහෝදෙනෙක් කියවීමේ උදාසීනත්වයකින් හැදී වැඩෙන අතර, පසුව එහි ඵල විපාකවලින් පීඩා විඳිති. එබැවින්, කියවීමට ආශාවක් වර්ධනය කරගැනීම සඳහා උපකාර කිරීමට දෙමාපියන්ට හැක්කේ කෙසේද?
උපකාර කිරීමට දෙමාපියන්ට හැකි අයුරු
ආදර්ශය තබන්න. “හොඳ පාඨකයන් ඇති කළ හැකි අයුරු” යන මාතෘකාවෙන් යුත් නියූස්වීක් සඟරාවේ ලිපියක මෙම ඍජු අවවාදය සපයයි: “ඔබ රූපවාහිනිය ඉදිරියේ වැඩි වේලාවක් ගත කරන්නෙහි නම්, ඔබගේ දරුවාද එවැනි කෙනෙක් වනු ඇත. අනික් අතට, ඔබ හොඳ පොතක් සතුටින් තුරුල් කරගනිමින් සිටිනවා ඔබගේ දරුවන් දුටුවහොත්, ඔබ කියවීම ගැන දේශනා කරනවා පමණක් නොව, නමුත් එය ක්‍රියාවට නංවන බවත් ඔවුන්ට පැහැදිලි වනවා ඇත.” සමහර දෙමාපියන් ඔවුන්ගේ දරුවන්ට ඇසෙන පරිදි කියවීම ඊටත් වඩා හොඳ දෙයකි. එසේ කිරීමෙන්, ඔවුහු උණුසුම් බැඳීමක් ඇති කරති—කනගාටුදායක ලෙසින් මෙය බොහෝ පවුල්වල හිඟව පවතී.
පුස්තකාලයක් අරඹන්න. “අවට පොත් තබාගන්න—බොහෝ පොත්,” කියා වෛද්‍ය ආචාර්ය තියඩෝර් අයිසැක් රූබන් නිර්දේශ කරයි. “ඒවා තිබුණු නිසාත්, අනික් සියලුදෙනාම ඒවා කියවමින් සිටි නිසාත්, මා එය කියවූ බව මට මතකයි.” පොත් පහසුවෙන්ම ලබාගත හැකි නම් ළමයින් කියවනු ඇත. පොත් ඔවුන්ගේම පෞද්ගලික පුස්තකාලයේ කොටසක් වන්නේ නම්, කියවීමට තිබෙන පෙලඹවීම ඊටත් වඩා වැඩි වනු ඇත.
කියවීම ප්‍රීතිමත් එකක් කරන්න. දරුවෙකු කියවීමට කැමති නම්, ඉගෙනගැනීමේ සටනෙහි අඩක්ම ජයගෙන තිබෙන බව පවසා තිබේ. එනිසා ඔබගේ දරුවාට කියවීම සතුටු ගෙන දෙන අද්දැකීමක් කරන්න. ඒ කෙසේද? ප්‍රථමයෙන්ම, රූපවාහිනිය නරඹන කාලය සම්බන්ධයෙන් සීමා තබන්න; එසේ නොකළා නම්, එය සැමවිටම වාගේ කියවීම සඳහා යොදවන කාලය ගනු ඇත. දෙවනුව, කියවීමට උපකාරි වන වාතාවරණයක් ඇති කරන්න; නිශ්ශබ්ද වේලාවන්, හොඳ ආලෝකයක් තිබෙන පෞද්ගලික පුස්තකාලයක් වැනි තැන් කියවීමට පෙලඹවීම ඇති කරයි. තෙවනුව, කියවීමට බල නොකරන්න. කියවීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සහ අවස්ථා ඇති කරන්න, නමුත් ආශාව වර්ධනය කිරීම සඳහා දරුවාට ඉඩ දෙන්න.
ඇතැම් දෙමාපියෝ, කුඩා අවදියේ පටන්ම තම දරුවන්ට කියවීමට ආරම්භ කරති. මෙය ප්‍රයෝජනදායක විය හැක. දරුවෙකුට වයස අවුරුදු තුන වන විට, මෙම වචන තමාට තවමත් ව්‍යක්ත ලෙස උච්චාරණය කිරීමට නොහැකි වුවත්, සාමාන්‍ය වැඩිහිටි සංවාදයකදී භාවිත කරනු ඇති භාෂාවේ වැඩි හරියක් ඔහු තේරුම්ගන්නා බව ඇතැම් ප්‍රවීණයෝ පවසති. “දරුවන් බාල අවදියේදීම භාෂාවක් භාවිත කිරීමට ඉගෙනගන්නවාට වඩා වැඩි වේගයකින් එය තේරුම්ගැනීමට ඉගෙනගන්නා,” බව ද ෆර්ස්ට් ත්‍රී ඉයර්ස් ඔෆ් ලයිෆ් නමැති පොත පවසයි. තිමෝති සම්බන්ධයෙන් බයිබලය මෙසේ පවසයි: “ශුද්ධලියවිලි නුඹ බාල [බිළිඳු, NW ] වයසේ පටන් දැනගන” සිටින්නෙහිය. (2 තිමෝති 3:15) බිළිඳා යන වචනයට භාවිත කරන ඉංග්‍රීසි වචනය වන ඉන්ෆන්ට් පැමිණ තිබෙන්නේ, ලතින් ඉන්ෆන්ස් යන වචනයෙනි, එහි පදගතාර්ථ තේරුම නම් “කතා නොකරන්නා” වේ. එසේය, ආත්මික වදන් කතා කිරීමට කලින්, තිමෝති ඒවා අසා ගත්තේය.
බයිබලය—අනගි ආධාරකයකි
“බයිබලය වනාහි, ශාස්ත්‍රීය කෘතිවල මවිත කරවන එකතුවකි,” කියා ද බයිබල් ඉන් ඉට්ස් ලිටරරි මිල්ය නම් පොත පවසයි. ඇත්තෙන්ම, යෞවන හා මහලු යන දෙපිරිසටම එක හා සමානවම ඉගෙනගත හැකි ආකාරයට, කාව්‍යමය, ගීතිකා සහ ඓතිහාසික වාර්තා එහි පොත් 66 තුළ අඩංගු වේ. (රෝම 15:4) තවදුරටත්, බයිබලය වනාහි “දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල [වන අතර, එය] ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ.”—2 තිමෝති 3:16.
එසේය, කියවීම සඳහා ලබාගත හැකි වැදගත්ම පොත දේවවචනය වන බයිබලයයි. හොඳ හේතු ඇතුව, සෑම ඉශ්රායෙල් රජෙකුටම ශුද්ධ ලියවිලිවල පෞද්ගලික පිටපතක් තබාගෙන එය “මුළු ජීවිත කාලය තුළ ම . . . . කියවිය යුතු[ව]” තිබිණ. (ද්විතීය කථාව 17:18, 19, නව අනුවාදය) තවද ශුද්ධ ලියවිලි “රෑ දාවල්” හීන් හඬින් කියවීමට යෝෂුවාට අණ කරනු ලැබිණ—එනම් ඉතා මෘදු හඬකින් තමාටම කියවාගැනීමට සිදු විය.—යෝෂුවා 1:8.
බයිබලයේ ඇතැම් කොටස් කියවීම පහසු නොවන බව පිළිගත යුතුය. ඒ සඳහා සිත ඒකාග්රව තැබීමට සිදු විය හැක. පේතෘස් මෙසේ ලියූ බව මතක තබාගන්න: “අලුත උපන් බිළිඳුන් මෙන් පිරිසිදු ආධ්‍යාත්මික කිරිවලට බොහෝ සෙයින් ආශා වන්න.” (1 පේතෘස් 2:2, නව අනුවාදය) පුහුණුවත් සමඟින්, දේවවචනයේ “කිරි” කෙරෙහි නැඹුරුවාව, අලුත උපන් බිළිඳෙකු මවගේ කිරි සඳහා දක්වන සහජ දැඩි ආශාව හා සමාන විය හැක. බයිබලය කියවීම සඳහා අගය දැක්වීම වර්ධනය කළ හැක.c ඒ සඳහා දරන වෑයම වටී. “ඔබගේ වචන මාගේ පාදයන්ට පහනක්ය, මාගේ මාවතට එළියක්ය,” කියා ගීතිකාකරු ලීවේය. (ගීතාවලිය 119:105) අපගේ දුෂ්කර කාලවලදී අප සියලුදෙනාටම එවැනි මඟ පෙන්වීමක් අවශ්‍ය නොවන්නේද?
[පාදසටහන්වල]
a කියවීමට උදාසීනකම, “අකුරු නොදැනුම” සමඟ, එනම් “කියවීමට හෝ ලිවීමට නොහැකිවීම” සමඟ පටලවා නොගත යුතුය.
b මෙය පිළිගැනීමක් වශයෙන්, මෑත වසරවලදී වොච් ටවර් සමිතිය එහි මුද්‍රිත තොරතුරුවලට අමතරව, බයිබලය හා සම්බන්ධ විවිධ විෂයන් මත වීඩියෝ කැසට් පට හඳුන්වා දී තිබේ.
c දරුවන්ට බයිබල් දැනුම සඳහා දැඩි ආශාවක් ඇති කිරීමට උපකාර කරන පිණිස, මගේ බයිබල් කතන්දර පොත සහ ලිස්නිං ටූ ද ග්‍රේට් ටීචර් වැනි සරල කරන ලද බයිබල් පාඩම් ආධාරක, වොච් ටවර් සමිතිය මගින් නිපදවා තිබේ. මෙම පොත් දෙකම ශ්‍රව්‍ය කැසට් පටි ලෙස ලබාගත හැක.