‘ඔබේ හෘදය මා සමඟ අවංකව තිබේද?’
“මා සමඟ ගොස්, යෙහෝවා කෙරෙහි කිසිදු එදිරිවාදිකමක් මා නොඉවසන සැටි බලන්න.”—2 රාජාවලිය 10:16, NW.
1, 2. (අ) ඉශ්රායෙලයේ පැවති ආගමික තත්වය වඩ වඩා නරක අතට හැරුණේ කෙසේද? (ආ) පොදු යුගයට පෙර 905දී, කිනම් ප්‍රබල වෙනස්කම් ඉශ්රායෙලයේ සිදුවීමට තිබුණාද?
පොදු යුගයට පෙර 905වන වසර ඉශ්රායෙලයේ විශාල වෙනස්කම් සිදු වූ කාලයක් වුණා. සාලමොන්ගේ ඇදහිල්ල අත්හැර යෑම නිසා, වසර 100කට ඉතා ආසන්න කාලයකට ඉහතදී යෙහෝවා එක්සත් ඉශ්රායෙල් රාජ්‍යය බෙදී යෑමට සැලැස්සුවා. (1 රාජාවලිය 11:9-13) දකුණු රාජ්‍යය වන යූදා දේශය පසුව සාලමොන්ගේ පුත් රෙහොබොවම් පාලනය කරමින් සිටි අතරේදී, උතුරු රාජ්‍යය වන ඉශ්රායෙලය එප්‍රායිම්හි වැසියෙකු වන යෙරොබොවම් රජුගේ පාලනය යටතේ පැවතුණා. කනගාටුදායක ලෙස, උතුරු රාජ්‍යයෙහි විනාශකාරි ආරම්භයක් තිබුණා. දේවමාළිගාවට ගොස් නමස්කාර කිරීම සඳහා තම යටත්වැසියන් දකුණු රාජ්‍යයට යනවාට යෙරොබොවම් කැමති වුණේ නැහැ; දාවිත්ගේ වංශයට නැවත සම්බන්ධ වීමේ අදහස ඔවුන්ගේ සිත්වලට ඇතුල් වේවිද කියා භයක් ඔහුට තිබුණා. එනිසා ඔහු ඉශ්රායෙල්හි වසු නමස්කාරය පිහිටෙව්වා; එහි ප්‍රතිඵලයක් වශයෙන්, උතුරු රාජ්‍යයේ ඉතිහාසය පුරා යම් දුරකට පැවතුණු පිළිම නමස්කාරය හා සම්බන්ධ රටාවක් පිහිටෙව්වා.—1 රාජාවලිය 12:26-33.
2 ඔම්රීගේ පුත් ආහබ් රජ වූ විට, තත්වය තවත් නරක අතට හැරුණා. ඔහුගේ විදේශීය භාර්යාව වන යෙසෙබෙල් බාල් නමස්කාරයට අනුබල දුන් අතර, යෙහෝවාගේ අනාගතවක්තෘවරුන්ව ඝාතනය කළා. අනාගතවක්තෘ එලියාගේ අවංක අනතුරු ඇඟවීම් නොසලකමින්, ඇගේ ක්‍රියාමාර්ගය නතර කිරීම සඳහා ආහබ් කිසිම පියවරක් ගත්තේ නැහැ. කෙසේවෙතත්, පො.යු.පෙර 905දී ආහබ් මියගිය අතර, ඔහුගේ පුත් යෝරාම් පාලනය කළා. දේශය පවිත්‍ර කිරීමට කාලය මෙය වුණා. ඉශ්රායෙල්හි ඊළඟ රජු වීම සඳහා යෙහෝවා යුධ සෙන්පති යේහුව ආලේප කරමින් සිටිය බව එලියාගේ අනුප්‍රාප්තිකයා වූ එලිෂා ඔහුට දැනුම් දුන්නා. ඔහුගේ බලපැවරුම? ආහබ්ගේ පව්කාර වංශයට පහර දී, යෙසෙබෙල් වැගිරූ අනාගතවක්තෘවරුන්ගේ ලේවලට පළිගැනීමයි!—2 රාජාවලිය 9:1-10.
3, 4. තමාගේ හෘදය ‘යේහුගේ හෘදය සමඟ අවංකව’ තිබෙන බව යෙහෝනාදාබ් පෙන්නුවේ කෙසේද?
3 දෙවිගේ අණට කීකරුව, යේහු යෙසෙබෙල්ව මරා දැමීමෙන් පසුව, ආහබ්ගේ වංශයට පහර දී ඉශ්රායෙලය පවිත්‍ර කිරීමේ කටයුතු ආරම්භ කළා. (2 රාජාවලිය 9:15–10:14, 17) පසුව ඔහුට සහායකයෙක් හමු වුණා. “ඔහු එතැනින් ගිය විට ඔහුගේ පෙරමගට ආ රේකාබ්ගේ පුත්‍රවූ යෙහෝනාදාබ් සම්බවී ඔහුට ආචාරකොට: මාගේ [හෘදය, NW] නුඹේ [හෘදය, NW] කෙරේ අවංකව තිබෙන්නාක්මෙන් නුඹේ [හෘදයත්, NW] අවංකදැයි ඇසුවේය. යෙහෝනාදාබ්: එසේයයි කී විට: එසේ නම් මට නුඹේ අත දෙන්නැයි ඔහු කීවේය. ඔහු තමාගේ අත ඔහුට දුන්නේය. එවිට යේහු තමාගේ රථයට ඔහු නංවාගෙන කථාකොට: [යෙහෝවා] උදෙසාවූ මාගේ ජ්වලිතකම [යෙහෝවා කෙරෙහි කිසිදු එදිරිවාදිකමක් මා නොඉවසන සැටි, NW] බලන්ට මා සමග එන්නැයි කීවේය. මෙසේ ඔව්හු ස්වකීය රථයෙහි ඔහු නංවාගෙන ගියෝය.”—2 රාජාවලිය 10:15, 16.
4 යෙහෝනාදාබ් (නැතහොත් යෝනාදාබ්) ඉශ්රායෙල් ජාතිකයෙක් නොවෙයි. ඒ කෙසේවෙතත්, (“යෙහෝවා කැමැත්තෙන් සිටියි,” “යෙහෝවා ශ්‍රේෂ්ඨයි,” නැතහොත් “යෙහෝවා ත්‍යාගශීලීයි” යන තේරුම්වලින් යුත්) ඔහුගේ නමට එකඟව, ඔහු යෙහෝවාගේ නමස්කාරකයෙක්ව සිටියා. (යෙරෙමියා 35:6) ‘යෙහෝවා කෙරෙහි කිසිදු එදිරිවාදිකමක් යේහු නොඉවසන’ සැටි දැකබලා ගැනීම සඳහා ඔහු තුළ අසාමාන්‍ය උනන්දුවක් තිබූ බව නිසැකයි. අප මෙය දන්නේ කෙසේද? හොඳයි, ඉශ්රායෙල්හි අභිෂේක ලත් රජු සමඟ වූ ඔහුගේ හමුවීම අහම්බෙන් සිදු වූ දෙයක් නොවෙයි. යෙහෝනාදාබ් “ඔහුගේ පෙරමගට [පැමිණෙමින්, NW]” සිටි අතර, මෙය සිදු වූයේ, යේහු ඒ වන විටත් යෙසෙබෙල්වත් ආහබ්ගේ වංශයේ අනිත් අයවත් ඝාතනය කර දමා තිබියදීයි. තමාගේ රථයට නඟින්න කියා කළ යේහුගේ ඇරයුම ඔහු පිළිගනිද්දී, සිදු වෙමින් තිබූ දෙය යෙහෝනාදාබ් දැන සිටියා. බොරු නමස්කාරය සහ සැබෑ නමස්කාරය අතර පැවති මේ සටනේදී ඔහු ඉතාමත් පැහැදිලිව යේහුගේ සහ යෙහෝවාගේ පැත්තෙහි සිටියා.
නවීන දින යේහු කෙනෙක් සහ නවීන දින යෙහෝනාදාබ් කෙනෙක්
5. (අ) මුළු මනුෂ්‍යවර්ගයාටම බලපාන කිනම් වෙනස්කම් ඉක්මනින්ම සිදු වෙන්න යනවාද? (ආ) උතුම් යේහු කවුද? එමෙන්ම පොළොව මත ඔහුව නියෝජනය කරන්නේ කවුද?
5 අදදින, පො.යු.පෙර 905දී ඉශ්රායෙලයේ සිදු වූවාක් මෙන්, මුළු මනුෂ්‍යවර්ගයා සඳහා ඉතා ඉක්මනින් දේවල් සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න යනවා. බොරු ආගම ඇතුළු සාතන්ගේ බලපෑම්වල සියලුම නරක ප්‍රතිඵලවලින් යෙහෝවා මේ පොළොව පවිත්‍ර කරන්න යන කාලය දැන් ආසන්නයි. නවීන දින යේහු කවුද? යේසුස් ක්‍රිස්තුස් මිස වෙන කිසිවෙකු නොවෙයි; මෙම අනාවැකිමය වදන්වලින් අමතා ඇත්තේ ඔහුටයි: “බලවන්තයාණෙනි, ඔබගේ තේජස හා මහිමය නමැති කඩුව ඉඟටියෙහි බැඳගත මැනව. සැබෑකමත් මොළොක්කමත් ධර්මිෂ්ඨකමත් සඳහා ස්වකීය මහිමයෙන් යුක්තව ජය රථයෙන් වැඩිය මැනව.” (ගීතාවලිය 45:3, 4) ‘දෙවිගේ ඉශ්රායෙල්’ වන ‘දෙවිගේ ආඥා පවත්වන්නාවූද යේසු පිළිබඳ සාක්ෂිය දරන්නාවූද’ ආලේප ලත් ක්‍රිස්තියානීන් යේසුව පොළොව මත නියෝජනය කරනවා. (ගලාති 6:16; එළිදරව් 12:16) යේසුගේ මෙම ආලේප ලත් සහෝදරයන් යෙහෝවාගේ පැමිණෙන විනිශ්චය ක්‍රියාවන් පිළිබඳව 1922 සිට නිර්භීතව අනතුරු අඟවා තිබෙනවා.—යෙසායා 61:1, 2; එළිදරව් 8:7–9:21; 16:2-21.
6. ආලේප ලත් ක්‍රිස්තියානීන්ට සහය වීම සඳහා ජාතීන්ගෙන් ඉවතට පැමිණියේ කවුද? එමෙන්ම ඔවුන් උපමාලංකාරව උතුම් යේහුගේ රථයට ඇතුල් වී තිබෙන්නේ කෙසේද?
6 ආලේප ලත් ක්‍රිස්තියානීන් තනි වී සිටියේ නැහැ. යෙහෝනාදාබ් යේහුව හමුවීමට පැමිණියාක් මෙන්, ජාතීන් අතුරින් බොහෝදෙනෙකු සැබෑ නමස්කාරය සඳහා තම ස්ථාවරය ගැනීමෙන් උතුම් යේහු වන යේසුටත් ඔහුගේ භූමික නියෝජිතයන්ටත් සහයෝගය දීමට පැමිණ තිබෙනවා. (සෙකරියා 8:23) තමාගේ ‘වෙනත් බැටළුවන්’ යනුවෙන් යේසු හැඳින්වූ අයව, පුරාණයේ විසූ යෙහෝනාදාබ්ගේ නවීන දින සමාන්තරයක් වශයෙන් 1932දී හඳුනාගත් අතර, නවීන දින යේහුගේ ‘රථයට නැඟීමට’ ඔවුන්ට ආරාධනා කරනු ලැබුවා. (යොහන් 10:16) කෙසේද? ‘දෙවිගේ ආඥා පැවැත්වීමෙන්’ හා ‘යේසු පිළිබඳ සාක්ෂිය දැරීමේදී’ ආලේප ලත් අය සමඟ හවුල් වීමෙන්. නවීන කාලවලදී, රජ වශයෙන් යේසු යටතේ පවතින දෙවිගේ පිහිටුවා තිබෙන රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීම මෙයට ඇතුළත් වෙනවා. (මාර්ක් 13:10) මෙම “යෝනාදාබ්” පංතිය, එළිදරව් 7:9-17 සඳහන් “මහත් සමූහය” වශයෙන් 1935දී හඳුනාගනු ලැබුවා.
7. යේසුගේ හෘදය සමඟ තමන්ගේ ‘හෘදය තවමත් අවංකව’ තිබෙන බව අද සිටින ක්‍රිස්තියානීන් පෙන්වා තිබෙන්නේ කෙසේද?
7 වර්ෂ 1930 ගණන්වල පටන්, මහත් සමූහය සහ ඔවුන්ගේ ආලේප ලත් සහෝදරයන් සැබෑ නමස්කාරය සඳහා තමන්ගේ සහය එඩිතරව පෙන්වා තිබෙනවා. නැඟෙනහිර සහ බටහිර යුරෝපයේ, ආසියාවේ හා අප්‍රිකාවේ ඇතැම් දේශවල වෙසෙන ඔවුන්ගෙන් බොහෝදෙනෙකු තමන්ගේ ඇදහිල්ල උදෙසා මියගොස් තිබෙනවා. (ලූක් 9:23, 24) වෙනත් දේශවල ඔවුන් සිරගත කිරීම්වලට, කලහකාරි පිරිස්වල ප්‍රහාරවලට හෝ පීඩාවලට ගොදුරු වී තිබෙනවා. (2 තිමෝති 3:12) ඇදහිල්ල පිළිබඳව ඔවුන් පිහිටුවා තිබෙන වාර්තාව මොනතරම් විශිෂ්ටද! මුහුණ දීමට සිදු වන දෙය කුමක් වුණත්, දෙවිට සේවය කිරීමට ඔවුන් තවමත් අදිටන් කරගෙන සිටින බව 1997 සේවා වසරේ වාර්තාවෙන් පැහැදිලි වෙනවා. යේසුගේ හෘදය සමඟ ඔවුන්ගේ ‘හෘදය තවමත් අවංකව’ තිබෙනවා. සියලුදෙනාම වගේ “යෝනාදාබ්” පංතියට ඇතුළත් වන රාජ්‍ය ප්‍රචාරකයන් 55,99,931දෙනා, යේසු පිළිබඳ සාක්ෂිය දැරීමේදී පැය 117,97,35,841ක් වැය කළ 1997දී මෙය පැහැදිලිව විදහාපෙන්වුවා.
තවමත් ජ්වලිතව දේශනා කරයි
8. යෙහෝවාගේ සාක්ෂිකරුවන් සැබෑ නමස්කාරය උදෙසා තමන්ගේ ජ්වලිතය පෙන්වන්නේ කෙසේද?
8 තම රථය පවනට බඳු වේගයකින් පැදවීම සම්බන්ධයෙන් යේහු ප්‍රසිද්ධියක් උසුලා තිබුණා; එය, තමාට පැවරී තිබෙන වැඩය සම්පූර්ණ කිරීම සඳහා ඔහු තුළ තිබූ ජ්වලිතය පිළිබඳව සාක්ෂියක්. (2 රාජාවලිය 9:20) උතුම් යේහු වන යේසුව විස්තර කර තිබෙන්නේ, ජ්වලිතයෙන් ‘දැවෙන’ කෙනෙකු ලෙසයි. (ගීතාවලිය 69:9) එසේනම්, අදදින සිටින සැබෑ ක්‍රිස්තියානීන් තමන්ගේ ජ්වලිතය සම්බන්ධයෙන් නම් දරා තිබීම ගැන පුදුම විය යුතු නැහැ. සභාවෙහි මෙන්ම ප්රසිද්ධියේද ඔවුන් ‘හිතකර කාලවලදීත් අසීරු කාලවලදීත් හදිසිතාවකින් යුක්තව වචනය දේශනා කරනවා.’ (2 තිමෝති 4:2, NW) ඔවුන්ගේ ජ්වලිතය විශේෂයෙන්ම පැහැදිලිව දක්නට ලැබුණේ, 1997 වසරේ මුල් භාගයේදී හැකි තරම් පිරිසකට උපකාරික පුරෝගාමී සේවයේ හවුල් වීම සඳහා අපගේ රාජ්‍ය සේවාවේ පළ වූ ලිපියක් මගින් දිරිගැන්වූ පසුවයි. සෑම රටකම උපකාරික පුරෝගාමීන්ගේ ඉලක්ක සංඛ්‍යාවක් තැබුවා. ලැබුණු ප්‍රතිචාරය? විශිෂ්ටයි! ශාඛා බොහොමයක් ඉලක්ක කළ සංඛ්‍යාව ඉක්මවා ගියා. ඉක්වදෝරය 4,000ක ඉලක්කයක් තැබූ නමුත් මාර්තු මාසයේදී උපකාරික පුරෝගාමීන් 6,936ක් වාර්තා කළා. එම මාස තුන ඇතුළත ජපානයේ වාර්තා වූ මුළු සංඛ්‍යාව 1,04,215යි. අපේක්ෂිත ඉලක්කය 6,000ක් වූ සැම්බියාවේ උපකාරික පුරෝගාමීන් 6,414දෙනෙකු මාර්තු මාසයේද, 6,532දෙනෙකු අප්‍රියෙල් මාසයේද, 7,695දෙනෙකු මැයි මාසයේද වාර්තා කළා. සමස්ත ලෝකයෙහිම, උපකාරික හා ස්ථාවර පුරෝගාමීන්ගේ එකතුවේ ඉහළම සංඛ්‍යාව 11,10,251ක්; මෙය 1996ට වඩා සියයට 34.2ක වැඩිවීමක්!
9. ගෙයින් ගෙට සේවයට අමතර, යෙහෝවාගේ සාක්ෂිකරුවන් ශුභාරංචිය ගැන ජනයාට කතා කිරීම සඳහා ඔවුන්ව සොයාගන්නේ කිනම් ආකාරවලින්ද?
9 ප්‍රේරිත පාවුල් එපීසයෙහි වැඩිමහල්ලන්ට මෙසේ පැවසුවා: “ප්රයෝජනවත්වූ කිසි දෙයක් ප්‍රකාශකිරීමෙන් නොවැලකී, ප්‍රසිද්ධයෙන්ද ගෙයින් ගෙටද නුඹලාට [ඉගැන්වූයෙමි].” (ක්‍රියා 20:20) අදදින යෙහෝවාගේ සාක්ෂිකරුවන් පාවුල්ගේ ආදර්ශය අනුකරණය කරමින් ජ්වලිතව ශුභාරංචිය ගෙයින් ගෙට දේශනා කරනවා. කෙසේවෙතත්, ජනයාව ඔවුන්ගේ නිවෙස්වලදී සොයාගැනීම පහසු දෙයක් නොවිය හැකියි. එනිසා, ජනයාව ව්‍යාපාරික ස්ථානවලදී, වීදිවලදී, මුහුදු වෙරළේදී, ප්‍රසිද්ධ උද්‍යානවලදී—ජනයාව සොයාගත හැකි ඕනෑම තැනකදී—ඔවුන් වෙතට එළඹීමට “විශ්වාසවූ නුවණ ඇති දාසයා” රාජ්‍ය ප්‍රචාරකයන්ව දිරිගන්වනවා. (මතෙව් 24:45-47) ලැබී තිබෙන ප්‍රතිඵල විශිෂ්ටයි.
10, 11. සාමාන්‍යයෙන් නිවසේදී හමු විය නොහැකි උනන්දුව දක්වන අයව සොයාගැනීමේදී, රටවල් දෙකක සිටින ප්‍රචාරකයන් ඉතා හොඳින් මුල් පියවර ගෙන තිබෙන්නේ කෙසේද?
10 ඩෙන්මාර්කයේ, කෝපන්හේගන්හි, ප්‍රචාරකයන් කුඩා කණ්ඩායමක් දුම්රියපොළවල් අසල පිහිටි වීදිවල සාක්ෂිදරා තිබෙනවා. ජනවාරි මාසයේ සිට ජූනි මාසය දක්වා ඔවුන් සඟරා 4,733ක් බෙදා දී, හොඳ සාකච්ඡාවන් ගණනාවක් කර, නැවත බැලීම් බොහොමයක් ඇති කරගත්තා. ඒ රටේ සිටින ප්‍රචාරකයන් කිහිපදෙනෙකු ව්‍යාපාරික ස්ථානවලදී සඟරා මාර්ග ඇති කරගත්තා. එක් නගරයක සෑම සිකුරාදාවකම අමුත්තන් දහස්ගණනක් පැමිණෙන විශාල පොළක් තිබෙනවා. මෙනිසා පොළ තිබෙන සෑම දවසකම සාක්ෂිදැරීම සඳහා එම නගරයේ පිහිටි සභාව කටයුතු පිළියෙළ කර තිබෙනවා. එක් ප්‍රදේශයක, විශේෂයෙන්ම පාසැල් ගුරුවරුන්ට යෝග්‍ය ප්‍රකාශන අඩංගු පාර්සලයක් සමඟින් පාසැල් බැහැදකින්න යනවා.
11 නිවෙස්වලදී හමු විය නොහැකි අය වෙත ළඟාවීම සඳහා හවායිහිද ප්රයත්න දරා තිබෙනවා. ප්‍රසිද්ධ ප්‍රදේශ, (වීදි, උද්‍යාන, රථගාල් සහ බස් නැවතුම්පොළවල්), නගරාසන්න ප්‍රදේශ, සාප්පු සංකීර්ණ සහ ගුවන්තොටුපොළවල්, දූරකථනයෙන් සාක්ෂිදැරීම, පොදු ප්‍රවාහණ මාධ්‍යය (බස් රථවල දේශනා කිරීම) සහ විශ්වවිද්‍යාල යනාදිය විශේෂ බලප්‍රදේශවලට ඇතුළත් වෙනවා. එක් එක් බලප්‍රදේශය සඳහා සාක්ෂිකරුවන් නියමිත ගණනක් යෙදවීම ගැනත්, පැවරුම් ලබන අය නිසි පුහුණුවක් ලැබ තිබෙන අය වීම ගැනත් සහතික වීම සඳහා කල්තියාම කටයුතු සැලසුම් කර තිබෙනවා. මේවාට සමාන හොඳින් සංවිධානය කළ වෑයම් බොහෝ රටවලින් වාර්තා වෙනවා. ප්‍රතිඵලයක් වශයෙන්, බොහෝදුරට කවදාවත් ගෙයින් ගෙට සේවයේදී හමු නොවන උනන්දුව දක්වන පුද්ගලයන්ව ඔවුන් හමු වෙමින් සිටිනවා.
ස්ථිරව සිටීම
12, 13. (අ) සාතන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට එරෙහිව 1997දී කිනම් උපක්‍රම යොදාගත්තාද? (ආ) එක් රටක බොරු ප්‍රචාරවලින් ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵල ලැබී තිබෙන්නේ කිනම් ආකාරයෙන්ද?
12 වර්ෂ 1997දී රටවල් ගණනාවකම යෙහෝවාගේ සාක්ෂිකරුවන් නින්දිත, සාවද්‍ය ප්‍රචාරවල ගොදුරු වී තිබෙනවා; ඔවුන්ට එරෙහිව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ පැහැදිලි පරමාර්ථය ඇතුව ඒවාට අනුබල ලැබී තිබෙනවා. නමුත් ඔවුන් පසුබට වී නැහැ! (ගීතාවලිය 112:7, 8) ගීතිකාකරුගේ මෙම යාච්ඤාව ඔවුන් සිහිපත් කර තිබෙනවා: “උඩඟු අය මට විරුද්ධව බොරුවක් යෙදුවෝය. මාගේ මුළු සිතින් ඔබගේ නියෝග රක්ෂාකරන්නෙමි.” (ගීතාවලිය 119:69) එවන් බොරු ප්‍රචාරයන් හුදෙක් යේසු පුරෝකථනය කළාක් මෙන් සැබෑ ක්‍රිස්තියානීන්ට වෛර කරනු ලබන බවට සාක්ෂියක්. (මතෙව් 24:9) එමෙන්ම සමහර අවස්ථාවලදී ඒවායින් ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵල ඇති වී තිබෙනවා. බෙල්ජියමේ වෙසෙන මිනිසෙක්, දිනපතා පළ වෙන ප්‍රසිද්ධ පුවත්පතක යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හෙළා දකිමින් ලියා තිබූ ලිපියක් කියෙව්වා. අපහාසාත්මක ප්රකාශයන්ගෙන් මවිතයට පත් වී, ඔහු ඊළඟ ඉරිදා රාජ්‍ය ශාලාවක පැවැත්වූ රැස්වීමකට පැමිණියා. ඔහු සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්න කටයුතු පිළියෙළ කළ අතර, ශීඝ්‍ර වර්ධනයක් ලැබුවා. කලින් මේ මිනිසා කල්ලියක සාමාජිකයෙකුව සිටියා. තමාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරගැනීමට ඔහුගේ බයිබල් පාඩම ඔහුට උපකාර වූ අතර, මෙය ඔහු අවට සිටි මිනිසුන්ගේ සැලකිල්ලට යොමු වුණා. නිසැකවම, මෙම නින්දාසහගත ලිපිය ලියූ ලේඛකයාගේ මනසේ එවැනි ප්‍රතිඵලයක් ඇතිවීම ගැන අදහසක්වත් තිබුණේ නැහැ!
13 බෙල්ජියමේ වෙසෙන අවංක හදවත් ඇති ඇතැම් අය, නොමඟ යවනසුලු ප්රචාරයන්ට එරෙහිව විවෘතව අදහස් පළ කර තිබෙනවා. ඔවුන් අතර කලින් අගමැතිව සිටි කෙනෙක්ද සිටියා; ඔහු යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඉටු කරගෙන තිබෙන දේවල් අගය කිරීමෙන් යුතුව පිළිගත්තා. එමෙන්ම නියෝජ්‍ය ප්‍රධානියෙක් මෙසේ ලිව්වා: “ඇතැම් අවස්ථාවලදී පතුරුවන වක්‍රාකාරව කරන අප්‍රසාදයට ලක් කිරීම්වලට වෙනස්ව, [යෙහෝවාගේ සාක්ෂිකරුවන්] රාජ්‍ය ආයතනවලට කිසිම ආකාරයක තර්ජනයක් නොවන බවයි මට පෙනෙන්නේ. ඔවුන් සාමයට ප්‍රිය කරන, යුතුකම් නොපිරිහෙළා ඉටු කරන මෙන්ම අධිකාරින්ට ගරු කරන පුරවැසියන්.” ඇත්තෙන්ම ප්‍රේරිත පාවුල්ගේ මෙම වදන් නැණවත්: “නුඹලා නපුරකරන්නෝයයි අන්‍යජාතීන් නුඹලාට විරුද්ධව කථාකරන නුමුත්, ඔවුන් නුඹලාගේ යහපත් ක්‍රියා දැක, විභාගකිරීමේ දවසේදී [දෙවිට] ගෞරවකරන පිණිස, ඔවුන් අතරේ නුඹලාගේ හැසිරීම ඔබිනලෙස පවත්වන්න.”—1 පේතෘස් 2:12.
කැපීපෙනෙන සිහි කිරීමේ උත්සවයක්
14. වර්ෂ 1997 සිහි කිරීමට පැමිණි සංඛ්‍යා හා සම්බන්ධ හැඟීම් දනවන වාර්තා සමහරක් මොනවාද?
14 යේසු පිළිබඳ සාක්ෂිය දරන අය ඔහුගේ මරණය සිහි කිරීම වසරේ සුවිශේෂ අංගයක් සේ සැලකීම යෝග්‍යයි. වර්ෂ 1997 මාර්තු මස 23වනදා මෙය සැමරීම සඳහා 1,43,22,226ක් පැමිණ සිටියා. එය 1996ට වඩා 14,00,000කට වඩා වැඩිවීමක්. (ලූක් 22:14-20) බොහෝ රටවල සිහි කිරීමට පැමිණි සංඛ්‍යාව, රාජ්‍ය ප්‍රචාරකයන්ගේ සංඛ්‍යාවට වඩා ඉතාමත් ඉහළයි; මෙය අනාගත වර්ධනය සඳහා යහපත් අපේක්ෂාවන් පිළිබඳ ඇඟවීමක්. උදාහරණයක් හැටියට, හයිටිහි, 1997දී ප්‍රචාරකයන් 10,621දෙනෙකුගේ ඉහළ සංඛ්‍යාවක් දක්නට තිබූ අතර, සිහි කිරීමට 67,259ක් පැමිණියා. පිටු 18 සිට 21 දක්වා සඳහන් වාර්ෂික වාර්තාව පරීක්ෂා කර බැලීමෙන්, තවත් බොහෝ රටවල ප්‍රචාරකයන්ගේ සංඛ්‍යාව සමඟ සැසඳීමේදී අද්දැක තිබෙන ඒ හා සමාන පැමිණ සිටි ඉහළ සංඛ්‍යා දැකබලා ගත හැකියි.
15. සමහර රටවල, අපේ සහෝදරයන් සිහි කිරීම සැමරීම සඳහා කටයුතු කිරීමේදී බරපතළ ගැටලු ජයගත්තේ කෙසේද?
15 සිහි කිරීමට පැමිණීම සමහරුන්ට පහසු වුණේ නැහැ. සිවිල් ආරවුල් හේතුවෙන් ඇල්බේනියාවේ ප.ව. 7.00ට ඇඳිරි නීතිය පනවා තිබුණා. රට පුරා සිටි කුඩා කණ්ඩායම් 115ක් සිහි කිරීම ප.ව. 5.45ට පටන්ගත්තා. නීසාන් 14වන දිනයේ ආරම්භය සලකුණු කෙරෙමින් හිරු බැස ගියේ ප.ව. 6.08ටයි. සංකේත අතිනත යැවීම සිදු වූයේ ප.ව. 6.15ට ආසන්නව තිබියදීයි. බොහෝ ස්ථානවල ප.ව. 6.30ට අවසාන යාච්ඤාව කළ අතර, පැමිණ සිටි අය ඇඳිරි නීතියට කලින් ඉක්මනින්ම නිවෙස් බලා ගියා. ඒත්, ප්‍රචාරකයන්ගේ ඉහළ සංඛ්‍යාව වන 1,090 සමඟ සසඳා බලන විට, සිහි කිරීමට පැමිණි සංඛ්‍යාව 3,154ක් වුණා. එක් අප්‍රිකානු රටක, සිවිල් ආරවුල් නිසා රාජ්‍ය ශාලාවට ඒමට නොහැකි තත්වයක් උදා වූ නිසා, කුඩා කණ්ඩායම් හැටියට මෙම උත්සවය පැවැත්වීම සඳහා කටයුතු පිළියෙළ කරන්න තවත් වැඩිමහල්ලෙකුගේ නිවසේදී හමුවීමට වැඩිමහල්ලන් දෙදෙනෙකු තීරණය කළා. නිවසට ළඟාවීම සඳහා දිය අගලකින් එගොඩ වීමට වැඩිමහල්ලන් දෙදෙනාට සිදු වුණා. කෙසේවෙතත්, ඒ ප්‍රදේශයේ සටන් ඇවිළෙමින් තිබුණු අතර, අගලින් එගොඩ වීමට තැත් කරන ඕනෑම කෙනෙකුට සැඟවී සිට වෙඩි තැබුවා. එක් වැඩිමහල්ලෙක් කිසිම කරදරයක් නැතුව ඉක්මනින් එගොඩ වුණා. අනෙක් වැඩිමහල්ලා එගොඩ වෙද්දී, ඔහුට වෙඩි හඬ ඇසුණා. වෙඩි උණ්ඩ ඔහුගේ හිසට ඉහළින් මහත් හඬින් ඇදී යද්දී, ඔහු බිමට පහත් වී බඩගාගෙන ඉදිරියට ගියා. මේ වැඩිමහල්ලන්ගේ රැස්වීම සාර්ථකව පැවැත්වූ අතර, සභාවේ අවශ්‍යතා සපුරනු ලැබුවා.
‘සියලු ජාතීන්ගෙන් ගෝත්‍රවලින් හා භාෂාවන්ගෙන්’
16. කුඩා කණ්ඩායම් කතා කරන භාෂාවලින් ශුභාරංචිය පැතිර වීම සඳහා විශ්වාස වූ නුවණ ඇති දාසයා කටයුතු පිළියෙළ කර තිබෙන්නේ කෙසේද?
16 “සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් . . . භාෂාවන්ගෙනුත්” මහත් සමූහයක් පැමිණෙන බව ප්‍රේරිත යොහන් පැවසුවා. (එළිදරව් 7:9) මේ නිසා, පිටිසර ගම්මානවල වෙසෙන ගෝත්‍ර හා කුඩා කණ්ඩායම් කතා කරන භාෂා ඇතුළු තව තවත් භාෂාවලින් පොත් පත් සැපයීමට පාලක මණ්ඩලය කටයුතු පිළියෙළ කරනවා. උදාහරණයක් හැටියට මොසැම්බික්හි, සාමකාමී නව ලොවක ජීවිතය නමැති පත්‍රිකාව අමතර භාෂා පහකින් ප්‍රකාශයට පත් කළා. නිකරගුවාහි, පොළොව මත ජීවිතය සදාකල් භුක්ති විඳින්න! නමැති විවරණිකාව මිස්කිටෝ භාෂාවෙන් සැපයෙව්වා—වොච් ටවර් සමිතිය ඒ භාෂාවෙන් ප්‍රකාශයට පත් කළ මුල්ම ප්රකාශනය එයයි. තමන්ගේම භාෂාවෙන් යමක් දැකබලා ගැනීමත් සමඟම මිස්කිටෝ ඉන්දියානුවන් මහත් ප්‍රීතියක් ලැබුවා. සමිතිය 1997දී පොත් පත් අමතර භාෂා 25කින් ප්‍රකාශයට පත් කිරීම අනුමත කළ අතර, සඟරා බිලියනයකට වඩා මුද්‍රණය කළා.
17. කොරියාවේ උපකාරය සපයා තිබෙන්නේ කුමන භාෂා කණ්ඩායමටද? එමෙන්ම වීඩියෝ පටි ජනගහනයේ මේ පිරිසට ඉමහත් සේ උපකාරවත් වී තිබෙන්නේ කෙසේද?
17 කොරියාවේ තවත් භාෂාවක් කතා කරන කණ්ඩායමකට උපකාරය ලැබුණා. වර්ෂ 1997දී සංඥා භාෂාවෙන් කොරියාවේ පැවැත්වූ මුල්ම සමුළුව දැකගන්න ලැබුණා. කොරියාවේ සංඥා භාෂාවෙන් රැස්වීම් පවත්වන සභා 15ක ප්‍රචාරකයන් 543දෙනෙකු සිටියත්, සමුළුවට 1,174දෙනෙකු පැමිණි අතර, 21දෙනෙකු බව්තීස්ම වුණා. කථික හෝ ලිඛිත වචන ලෙහෙසියෙන් තේරුම්ගත නොහැකි බිහිරි අයට උපකාර කිරීම සඳහා, ප්‍රකාශන විවිධ සංඥා භාෂා 13කින් වීඩියෝ පටිවල සපයනු ලබමින් තිබෙනවා. මෙසේ කදිම ප්‍රතිඵල ඇතුව බිහිරි අයට ශුභාරංචි “කියවන්න” හා පාඩම් කරන්න උපකාර කරනු ලබනවා. කලින්, එක්සත් ජනපදයේ බිහිරි කෙනෙකුට බව්තීස්මය කරා වර්ධනය වීමට අවුරුදු පහක් ගත වුණා. දැන්, අමෙරිකානු සංඥා භාෂාවෙන් වීඩියෝ පටි ගණනාවක් ලබාගත හැකි නිසා සමහර බිහිරි අය සඳහා එම කාලය අවුරුද්දකට පමණ අඩු වී තිබෙනවා.
‘රථයෙහි රැඳී සිටීම’
18. යෙහෝනාදාබ්ව හමුවීමෙන් පසුව, යේහු කරන්න පටන්ගත්තේ කුමක්ද?
18 පොදු යුගයට පෙර 905 අවසාන භාගයේදී, යෙහෝනාදාබ් එක්වීමෙන් පසුව, යේහු බොරු නමස්කාරය විනාශ කර දැමීම ආරම්භ කළා. ඔහු සියලුම බාල් නමස්කාරකයන්ට මෙසේ ඇරයුමක් නිකුත් කළා: “බාල් උදෙසා ශුද්ධ රැස්වීමක් නියමකරන්න.” පසුව, ඔහු බාල්ගේ නමස්කාරකයන් කිසිවෙකු අත් නොහැරී ගොස් ඇති බවට සහතික වීම සඳහා දේශය මුළුල්ලේම ගියා. මෙම බොරු දෙවියාගේ විශාල නමස්කාර ගෘහයට සමූහයා වැල නොකැඩී එන විට, යෙහෝවාගේ කිසිම නමස්කාරකයෙක් එහි නොසිටින බවට වගබලා ගත්තා. අවසානයේදී, යේහු සහ ඔහුගේ හමුදාව බාල් නමස්කාරකයන්ව මරා දැමුවා. “මෙසේ යේහු ඉශ්රායෙල්වරුන් අතරෙන් බාල් නැතිකර දැමුවේය.”—2 රාජාවලිය 10:20-28.
19. මනුෂ්‍යවර්ගයා ඉදිරියෙහි තිබෙන දෙය සලකා බැලීමේදී, අප කිනම් ආත්මයක් විදහාපෙන්විය යුතුද? එමෙන්ම අප ක්‍රියාශීලී ලෙස නිරත වී සිටිය යුත්තේ කිනම් කාර්යයකද?
19 අද, සියලුම බොරු ආගම්වල අවසාන විනිශ්චය ඉතා ආසන්නයි. දෙවිට බය වී බොරු ආගම්වලින් ඉවත් වීමට දිරිගන්වමින්, ක්‍රිස්තියානීන් දේවදූතයන්ගේ මඟ පෙන්වීම යටතේ මුළු මනුෂ්‍යවර්ගයාටම ශුභාරංචිය ප්‍රචාරය කරනවා. (එළිදරව් 14:6-8; 18:2, 4) යෙහෝවාගේ සිංහාසනාරූඪ වී සිටින රජ වන යේසුස් ක්‍රිස්තුස් යටතේ තිබෙන දේවරාජ්‍යයට තමන්වම යටත් කරගැනීමට මොළොක් ගුණ ඇති අයව දිරිමත් කරනු ලබනවා. (එළිදරව් 12:10) මෙම හැඟීම් දනවන කාලයේදී, සැබෑ නමස්කාරය උදෙසා අප ස්ථිරව සිටිද්දී, අපගේ ජ්වලිතය දුර්වල වීමට අප ඉඩ නොදිය යුතුයි.
20. වර්ෂ 1998 සේවා වසරේදී ඔබ කුමක් කරන්න අදිටන් කරගන්න යනවාද?
20 එක් අවස්ථාවක, දාවිත් රජ දැඩි පීඩනයකට ලක් වී සිටියදී මෙසේ යාච්ඤා කළා: ‘දෙවියනි, මාගේ හෘදය ස්ථිරය, මාගේ හෘදය ස්ථිරය. මම ගීතිකා කරන්නෙමි, එසේය, ප්‍රශංසා ගී කියන්නෙමි. ජාතීන් අතරේ ඔබට ප්‍රශංසා ගී කියන්නෙමි.’ (ගීතාවලිය 57:7, 9) අපිත් ස්ථිර වෙමු. වර්ෂ 1997 සේවා වසරේදී, බොහෝ දුෂ්කරතා මධ්‍යයෙහි යෙහෝවා දෙවිව මහිමවත් කිරීම සඳහා ප්රශංසාවේ මහත් හඬක් නඟා තිබෙනවා. මේ සේවා වසරේදීත් ඒ හා සමාන, ඊටත් වඩා විශාල හඬක් ඇසෙන්න ලැබේවා! එමෙන්ම අපව අධෛර්යය කිරීමට හෝ විරුද්ධවාදිකම් එල්ල කිරීමට සාතන් මොන දෙය කරන්න උත්සාහ කළත් මෙය සැබෑවක් වේවා! මෙසේ අපේ හදවත් උතුම් යේහු වන යේසුස් ක්‍රිස්තුස් සමඟ අවංකව තිබෙන බවත්, මෙම දේවානුභාවය ලත් අනුශාසනාවට අපේ මුළු ප්‍රාණයෙන්ම ප්‍රතිචාරය දක්වන බවත් පෙන්වමු: “ධර්මිෂ්ඨයෙනි, [යෙහෝවා] කෙරෙහි සතුටුව ප්‍රීතිවව්. අවංක සිත් ඇති සියල්ලෙනි, ප්‍රීති නාද කරව්.”—ගීතාවලිය 32:11.
ඔබට පැහැදිලි කළ හැකිද?
◻ පොදු යුගයට පෙර 905දී ඉශ්රායෙල්හි සිදු වූයේ කිනම් වෙනස්කම්ද?
◻ නවීන දින යේහු කවුද? එමෙන්ම ඔහුගේ හෘදය සමඟ තමන්ගේ ‘හෘදය අවංකව තිබෙන’ බව “මහත් සමූහය” පෙන්වා තිබෙන්නේ කෙසේද?
◻ යෙහෝවාගේ සාක්ෂිකරුවන් 1997 සේවා වසරේදී පෙන්වූ ජ්වලිතය වාර්ෂික වාර්තාවේ කුමන සංඛ්‍යාවලින් පැහැදිලි වේද?
◻ සාතන් අපට විරුද්ධව මොනව කළත්, 1998 සේවා වසරේදී අප කුමන ආත්මයක් විදහාපෙන්වන්න යනවාද?
[18-21යන පිටුවල වගුව]
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ 1997 සේවා වසරේ ලෝක ව්‍යාප්ත වාර්තාව
(මුද්‍රිත පිටපත බලන්න)
[15වන පිටුවේ පින්තූරය]
සිහි කිරීමේ කැපීපෙනෙන සංඛ්‍යාවෙන් අනාගත වර්ධනය සඳහා යහපත් අපේක්ෂා පෙන්වනවා
[16වන පිටුවේ පින්තූරය]
යෙහෝනාදාබ් යේහුට සහය වූවාක් මෙන්ම, ‘මහත් සමූහයත්’ උතුම් යේහු වන යේසුස් ක්‍රිස්තුස්ටත් ඔහුගේ ආලේප ලත් සහෝදරයන්ටත් අද සහය වෙනවා