බොරු ගුරුවරුන්ගෙන් පරෙස්සම් වන්න!
“බොරු ගුරුවරු නුඹලා අතරෙන් වන්නෝය.”—2 පේතෘස් 2:1.
1. යූද් ලියන්න අදහස් කර තිබුණේ කුමක් ගැනද? එමෙන්ම ඔහු තම විෂය මාරු කළේ ඇයි?
මොනතරම් කම්පිත කරවන දෙයක්ද! පළමුවන සියවසේ ක්‍රිස්තියානි සභාවේ බොරු ගුරුවරු! (මතෙව් 7:15; ක්‍රියා 20:29, 30) යේසුගේ අර්ධ සහෝදර වූ යූද් මෙම වර්ධනය වීම ගැන දැනසිටියා. “අපේ පොදු ගැළවීම ගැන” සෙසු ඇදහිලිවන්තයන්ට ලියන්න ඔහු අදහස් කළ බව කිව්වත්, ඔහු මෙසේ පැහැදිලි කළා: “ඇදහිල්ල උදෙසා උනන්දු ආකාරයෙන් පොරඅල්ලන ලෙස අවවාදකරමින් නුඹලාට ලියා එවන්ට මට ඕනෑවිය.” යූද් තම විෂය මාරු කළේ ඇයි? මන්ද, “අපගේ දෙවිගේ ලබන්න නොවටිනා තරම් වූ කරුණාව නින්දිත හැසිරීම සඳහා නිදහසට කරුණක් කරගන්නාවූ . . . මනුෂ්‍යයන් වගයක් [සභාවන් තුළට] රහසින් ඇතුල් වී” ඇති බව ඔහු පැවසූ නිසයි.—යූද් 3, 4, NW.
2. දෙවන පේතෘස් දෙවන පරිච්ඡේදය සහ යූද් එතරම් සමාන වන්නේ ඇයි?
2 පෙනෙන ප්‍රකාරයට, යූද් තම ලිපිය ලිව්වේ පේතෘස් ඔහුගේ දෙවන ලිපිය ලිව්වායින් කෙටි කලකට පසුවයි. යූද් මෙම ලිපියෙහි තොරතුරු හොඳින් දැන සිටින්න ඇති බවට කිසිම සැකයක් නැහැ. ඇත්තවශයෙන්ම, අනුශාසනාවලින් යුත් ඔහුගේම බලසම්පන්න ලිපියෙහි ඔහු ඊට සමාන්තර අදහස් කිහිපයක්ම පළ කළා. එමනිසා, අපි 2 පේතෘස් දෙවන පරිච්ඡේදය සෝදිසි කරද්දී, එය යූද්ගේ ලිපියට කොතරම් සමානද යන්න අපේ සැලකිල්ලට බඳුන් වේවි.
බොරු ඉගැන්වීම්වල ප්‍රතිවිපාක
3. නැවතත් සිදු වෙයි කියා පේතෘස් පැවසූ කුමන දෙයද අතීතයේ සිදු වුණේ?
3 අනාවැකිවලට අවධානය යොමු කරන්න කියා පේතෘස් තම සහෝදරයන්ට උනන්දු කළායින් පසු, ඔහු මෙසේ පවසනවා: “නුමුත් [පුරාණ ඉශ්රායෙල්] අතරේ බොරු ප්‍රොපේතවරුද සිටියෝය. එලෙසම . . . බොරු ගුරුවරු නුඹලා අතරෙන් වන්නෝය.” (2 පේතෘස් 1:14–2:1) පුරාණ කාලවල විසූ දෙවිගේ සෙනඟ සැබෑ අනාගතවාක්‍යය ලැබුවත්, බොරු ප්‍රොපේතවරුන්ගේ දූෂිත ඉගැන්වීම් සමඟත් පොරබදින්න ඔවුන්ට සිදු වුණා. (යෙරෙමියා 6:13, 14; 28:1-3, 15) “යෙරුසලමේ ප්‍රොපේතවරුන් අතරෙහිත් භයංකරවූ දෙයක් වන කාමමිථ්යාචාරයකිරීමත් බොරුකාරකමෙන් හැසිරීමත් දුටිමි” කියා යෙරෙමියා ලිව්වා.—යෙරෙමියා 23:14.
4. බොරු ගුරුවරුන් විනාශය ලැබීමට වටින්නේ ඇයි?
4 බොරු ගුරුවරුන් ක්‍රිස්තියානි සභාව තුළ කරන්න යන දේ විස්තර කරමින් පේතෘස් මෙසේ කියයි: “මේ අයම සූක්ෂ්ම ලෙස විනාශකාරි නිකායන් හඳුන්වා දෙමින්, තමුන්ව මිලට ගත් අයිතිකරුව [යේසුස් ක්‍රිස්තුස්ව] පවා නාඳුනන බවට ප්‍රකාශ කරමින්, තමුන් පිටටම ශීඝ්‍ර විනාශය පමුණුවාගන්නෝය.” (2 පේතෘස් 2:1; යූද් 4; NW) පළමුවන සියවසේ පැවති එවැනි නිකායවාදයේ අවසාන ප්‍රතිඵලය, අද අපි දන්නා හඳුනන ක්‍රිස්තියානි ලෝකයයි. බොරු ගුරුවරුන් විනාශය ලබන්න හොඳටම වටින්නේ ඇයි කියා පේතෘස් මෙසේ පෙන්නුම් කරනවා: “ඔවුන්ගේ සල්ලාලකම් [නින්දිත හැසිරීමේ ක්‍රියා, NW] අනුව බොහෝ දෙනෙක් යනවා ඇත; ඔවුන් නිසා සත්‍යතාවේ මාර්ගයට අපහාස පැමිණෙන්නේය.”—2 පේතෘස් 2:2.
5. බොරු ගුරුවරුන් වගකිව යුතු වූයේ කුමක් සඳහාද?
5 මේ ගැන ටිකක් සිතා බලන්න! බොරු ගුරුවරුන්ගේ බලපෑම නිසා, සභාවන්වල සිටින බොහෝදෙනෙක් නින්දිත හැසිරීමට යොමු වෙන්න යනවා. “නින්දිත හැසිරීම” හැටියට පරිවර්තනය කර තිබෙන ග්‍රීක් වචනය, සල්ලාලකම, සංයමය නොමැතිකම, අශෝභනකම, නොහික්මුණුභාවය, ලජ්ජා නැති හැසිරීම යනාදිය අඟවනවා. “තෘෂ්ණාව නිසා ලෝකයේ තිබෙන දූෂ්‍යකමෙන්” ක්‍රිස්තියානීන් “ගැළවී” තිබුණු බව පේතෘස් කලින් කියා තිබුණා. (2 පේතෘස් 1:4) එනමුත් එම දූෂ්‍ය වීමට සමහරු නැවත හැරෙන්න යන අතර, එයට වැඩියෙන්ම වගකිව යුත්තේ සභාවන් තුළ සිටින බොරු ගුරුවරුන්! මේ අනුව සත්‍යතාවේ මාර්ගය අවනම්බුවට පාත්‍ර වෙන්න යනවා. මොනතරම් කනගාටුදායකද! ඇත්තටම, මෙය අදදින යෙහෝවාගේ සාක්ෂිකරුවන් හැම කෙනෙක්ම කිට්ටු අවධානයක් යොමු කළ යුතු කාරණයක් වෙනවා. අපේ හැසිරීමට අනුව එක්කෝ අපිට යෙහෝවා දෙවි සහ ඔහුගේ ජනයාට ප්‍රශංසාව නැතහොත් ඔවුන් මත අපකීර්තියක් ගෙන දෙන්න පුළුවන් බව අපි කවදාවත් අමතක නොකළ යුතුයි.—හිතෝපදේශ 27:11; රෝම 2:24.
බොරු ඉගැන්වීම් හඳුන්වා දීම
6. බොරු ගුරුවරුන්ව පොලඹවන්නේ කුමක්ද? එමෙන්ම ඔවුන්ට අවශ්‍ය දේ ඔවුන් ලබාගන්න බලන්නේ කොහොමද?
6 බොරු ගුරුවරුන් තම දූෂිත කල්පනා හඳුන්වා දෙන ආකාරය අප විසින් සැලකිල්ලට ගැනීම ප්‍රඥාගෝචරයි. පේතෘස් පළමුවෙන්ම කියන්නේ, ඔවුන් එය සූක්ෂ්ම ලෙස, නැතහොත් කාටත් නොදැනෙන, සියුම් ආකාරයකින් කරන බවයි. “තණ්හාව නිසා ඔවුන් වංචා වචනවලින් නුඹලා වෙළඳාමක් කරගන්නවා [සූරාකනවා, NW] ඇත” කියා ඔහු තවදුරටත් කියනවා. ද ජෙරූසලම් බයිබල්හි පරිවර්තනයෙහි අවධාරණය කරන ආකාරයට, බොරු ගුරුවරුන්ව පොලඹවන්නේ ආත්මාර්ථකාමී තෘෂ්ණාවයි: “රැවටිලිකාර දේශන සමඟින් ඔබව ඔවුන් සඳහා මිල දී ගැනීමට ඔවුහු උද්යෝගයෙන් වෑයම් කරන්නෝය.” ඒ හා සමානව, ජේම්ස් මොෆට්ගේ පරිවර්තනය මෙහිදී මෙසේ කියයි: “ඔවුන්ගේ රාගයට එකඟව, ඔවුන් ප්‍රයෝගකාර තර්කවලින් ඔබව සූරාකනවා ඇත.” (2 පේතෘස් 2:1, 3) බොරු ගුරුවරුන් මුමුණන දේවල් ආත්මික ලෙස අවදිව නොසිටින යමෙකුට ඇතැම්විට සත්‍යයක් මෙන් පෙනුණත්, ඔවුන්ගේ වචන පරෙස්සමින් සකස් කර තිබෙන්නේ පුද්ගලයන්ව “මිල දී” ගැනීමටයි; එවිට මුළාකරන්නාගේ ආත්මාර්ථකාමී අරමුණු ඉටු කරගැනීමට ඔවුන්ව නපුරට කැමති කරවාගනු ලබනවා.
7. පළමුවන සියවසේදී ජනප්‍රිය වුණේ මොන දර්ශනයද?
7 එවකට පැවති ලෞකික චින්තනය පළමුවන සියවසේ බොරු ගුරුවරුන්ට බලපෑ බවට සැකයක් නැහැ. පේතෘස් ලියූ කාලයේදී පමණ, ඥානවාදය කියන දර්ශනයක් ජනප්‍රිය වෙමින් පැවතුණා. හැම ද්‍රව්‍යයක්ම නපුරු බවත්, ආත්මයට සම්බන්ධ දේවල් පමණක් යහපත් බවත් ඥානවාදීන් විශ්වාස කළා. මේ අනුව සමහරුන් කිව්වේ, මනුෂ්‍යයෙක් තම භෞතික ශරීරයෙන් මොනව කළත් කම් නැති බවයි. අන්තිමේදී මනුෂ්‍යයාට මේ ශරීරය අහිමි වන බවට ඔවුන් වාද කළා. එමනිසා, ලිංගික ඒවා ඇතුළුව, ශාරීරික පාප වැදගත් නොවන බව ඔවුන් නිගමනය කළා. එවැනි මතයන්, ක්‍රිස්තු ධර්මයට අයත් බව කියා සිටි සමහරදෙනෙකුට බලපෑම් කරන්න පටන්ගත් බව පෙනී යනවා.
8, 9. (අ) මුල් ක්‍රිස්තියානීන් සමහරදෙනෙකුට බලපෑවේ මොන දූෂිත වූ තර්කයද? (ආ) යූද්ට අනුව, සභාවන්වල සමහරදෙනෙකු කුමක්ද කරමින් සිටියේ?
8 “අනුග්රහයේ” නොහොත් “ලබන්න නොවටිනා තරම් වූ කරුණාවේ” [NW] “ධර්මය විකෘති කර දැක්වූ අය සභාවෙහි සිටි බව” එක් බයිබල් විශාරදයෙක් ගෙනහැර දැක්වූවා. (එපීස 1:5-7) ඔහුගේ අදහසට අනුව, සමහරුන්ගේ තර්කය මෙලෙස විස්තර කළ හැකියි: “දෙවිගේ [ලබන්න නොවටිනා තරම් වූ කරුණාව] හැම පාපයක්ම වසන්න තරම් පුළුල් බව ඔබ කියනවාද? . . . ඉතින්, දෙවිගේ [ලබන්න නොවටිනා තරම් වූ කරුණාවට] හැම පාපයක්ම මකන්න හැකි නිසා, දිගටම පව් කරමු. ඇත්තෙන්ම පව් කරන තරමට, දෙවිගේ [ලබන්න නොවටිනා තරම් වූ කරුණාවට] ක්‍රියාත්මක වෙන්න වැඩි අවස්ථාවන් උදා වෙනවා.” එයට වඩා දූෂිත වූ තර්කයක් ඔබ කවදා හෝ අහලවත් තිබෙනවාද?
9 “අනුග්‍රහය [ලබන්න නොවටිනා තරම් වූ කරුණාව, NW] බොහෝ වන පිණිස පාපයෙහි පවතිමුද?” කියා ප්‍රේරිත පාවුල් ඇසූ විට, දෙවිගේ දයාව ගැන පැවති වැරදිසහගත චින්තනයට විරුද්ධව අදහස් දැක්වූවා. ඔහු මෙලෙසත් විමසුවා: “අපි ව්‍යවස්ථාව යටතෙහි නොව [ලබන්න නොවටිනා තරම් වූ, NW] කරුණාව යටතෙහි සිටින නිසා පව්කරමුද?” එක එක ප්‍රශ්නයට පාවුල් “එසේ නොවේවා” කියා ප්රබලව උත්තර දුන්නා. (රෝම 6:1, 2, 15) පැහැදිලිවම, යූද් නිරීක්ෂණය කරන්නාක් මෙන්, ඇතැම් අය “අපගේ දෙවිගේ ලබන්න නොවටිනා තරම් වූ කරුණාව නින්දිත හැසිරීම සඳහා නිදහසට කරුණක් කරග[නිමින්]” සිටියා. කොහොම වුණත්, එවැනි අය සඳහා ‘විනාශය ප්‍රමාද නොවන’ බව පේතෘස් ගෙනහැර දක්වනවා.—යූද් 4, NW; 2 පේතෘස් 2:3.
අවවාදය සඳහා ආදර්ශ
10, 11. අවවාදය සඳහා පේතෘස් සපයන්නේ මොන ආදර්ශ තුනද?
10 හිතාමතා වැරදි කරන අයට එරෙහිව දෙවි ක්‍රියා කරන්න යන බව අවධාරණය කිරීමට, පේතෘස් ශුද්ධ ලියවිල්ලෙන් අවවාදය සඳහා ආදර්ශ තුනක් සපයනවා. පළමුව, ඔහු මෙසේ ලියයි: “දේවදූතයන් පව්කළ විට [දෙවි] ඔවුන්ට දඬුවම් නොකර [නෑරියේය].” මොවුන් “තමුන්ගේම අධිපතිකමෙහි නොපැවත [ස්වර්ගයෙහි] ස්වකීය වාසස්ථානය අත්හැරිය” බව යූද් කියනවා. ජලගැල්මට කලින් ඔවුන් පොළොවට පැමිණි අතර, මනුෂ්‍ය දූවරුන් සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වීම සඳහා මාංසික ශරීරවලින් මූර්තිමත් වුණා. ඔවුන්ගේ නුසුදුසු, අස්වාභාවික හැසිරීමට දඬුවමක් වශයෙන්, ඔවුන්ව “ටාටරස්” තුළට හෙළනු ලැබුවා, නැතහොත් යූද්ගේ වාර්තාව පවසන පරිදි, ඔවුන්ව “මහත් දවසේ විනිශ්චය පිණිස අන්ධකාරය යට සදාකාල බැඳුම්වලින් බැඳ” ‘තබනු’ ලැබුවා.—2 පේතෘස් 2:4, NW; යූද් 6; උත්පත්ති 6:1-3.
11 ඊළඟට, පේතෘස් නෝවාගේ දවසේ ජනයාට යොමු දක්වනවා. (උත්පත්ති 7:17-24) නෝවාගේ කාලයේදී, දෙවි “අභක්තීන්ගේ ලෝකය පිට ජලගැලීමක් පැමිණෙවු කල, පුරාණ ලෝකය ඉතිරි නො[කළ]” බව ඔහු කියනවා. අන්තිමට, “සොදොම හා ගොමොරාව යන නුවරවල් අළුකරමින් ඒවා පෙරළා” දැමීමෙන් දෙවි “මතු අභක්තිකලෙස හැසිරෙන්නන්ට ඒවා ආදර්ශයක්” කොට තැබූ බව පේතෘස් ලියනවා. එම පුද්ගලයන් “වේශ්‍යාකමෙහි අධික ලෙස නිරත වී, අස්වාභාවික ව්‍යවහාරය සඳහා මාංසය පස්සේ [ගිය]” බව කියමින් යූද් අමතර තොරතුරු සපයයි. (2 පේතෘස් 2:5, 6; යූද් 7, NW) පුරුෂයන් ස්ත්‍රීන් සමඟ නීති විරෝධී ලිංගික සම්බන්ධකම් පැවැත්වූවා පමණක් නොව, වෙනත් පුරුෂයන්ගේ මාංසය සහ ඇතැම්විට වනමෘගයන්ගේ මාංසය සඳහා පවා රාගයෙන් මත් වී සිටියා.—උත්පත්ති 19:4, 5; ලෙවී කථාව 18:22-25.
12. පේතෘස්ට අනුව, ධර්මිෂ්ඨ හැසිරීමට විපාක ලැබෙන්නේ කොහොමද?
12 ඒත්, ඒ සමඟම, යෙහෝවා ඔහුට ඇදහිලිවන්තව සේවය කරන අයට විපාක දෙන්නෙක් බව පේතෘස් ගෙනහැර දක්වනවා. උදාහරණයක් හැටියට, දෙවි ජලගැල්ම ගෙනා විට, “ධර්මිෂ්ඨකමේ දේශනාකාරයෙක්වූ නෝවා තවත් සත්දෙනෙකුත් සමඟ ආරක්ෂා” කළ ආකාරය ඔහු විස්තර කරනවා. සොදොම පැවති කාලයේදී යෙහෝවා “ධර්මිෂ්ඨවූ ලොත්” ගැළවූ හැටි ගැන කතා කරන ඔහු, මෙම නිගමනයට එළඹෙනවා: “භක්තිවන්තයන් [දේවභක්තියෙන් යුත් ජනයා, NW] පරීක්ෂාවෙන් ගළවන්ටත් අධර්මිෂ්ඨයන්, . . . දඬුවම යටතේ විනිශ්චය දවස දක්වා තබන්ටත් [යෙහෝවා දන්නේය].”—2 පේතෘස් 2:5, 7-10.
දඬුවම් ලැබීමට වටින ක්‍රියාවන්
13. විශේෂයෙන්ම විනාශය සඳහා තබා තිබෙන්නේ කාවද? එමෙන්ම පෙනෙන ප්‍රකාරයට ඔවුන් මොන වගේ සිහිනවලද ගැලී සිටින්නේ?
13 පේතෘස්, දෙවිගේ විනිශ්චය සඳහා විශේෂයෙන්ම වෙන් කර තබා ඇති අයව ඉතා සියුම් සේ වෙන් කොට දක්වනවා; එනම්, “කිලුටුකමේ තෘෂ්ණාවෙන් මාංසය අනුව හැසිරෙන්නාවූ, අධිපතිකමට අපහාසකරන්නාවූ අය[යි].” “භය නැත්තාවූ හිතුවක්කාරවූ මොව්හු උත්තමයන්ට නින්දාකරන්ට තැති නොගනිති” කියා කියද්දී, අපිට පේතෘස්ගේ කෝපය දැනෙනවා දැනෙනවා වගෙයි. “මොව්හුත් තමුන්ගේ නිස්සාර හීන දැක්වීම්වලදී මාංසය කිලුටුකරගනිති, . . . උත්තමයන්ට [තේජවන්ත අයට, NW] නින්දාකරති” කියා යූද් ලියයි. (2 පේතෘස් 2:9, 10; යූද් 8) දුරාචාරමය ලිංගික පිනවීම පසුපස යෑමට දිරිගන්වන දූෂ්‍ය ලිංගික මනඃකල්පිතයන් ඔවුන්ගේ සිහිනවලට අයත් විය හැකියි. එනමුත් ඔවුන් ‘අධිපතිකම සුළු කරන්නෙත්’ ‘තේජවන්ත අයට නින්දා කරන්නෙත්’ මොන අර්ථයෙන්ද?
14. බොරු ගුරුවරුන් ‘අධිපතිකම සුළු කරන්නෙත්’ ‘තේජවන්ත අයට නින්දා කරන්නෙත්’ මොන අර්ථයෙන්ද?
14 ඔවුන් එසේ කරන්නේ දිව්‍යමය ලෙස පත් කර තිබෙන අධිකාරයට අවමන් කිරීමෙනුයි. ක්‍රිස්තියානි වැඩිමහල්ලන් තේජාන්විත යෙහෝවා දෙවි සහ ඔහුගේ පුත්‍රයාව නියෝජනය කරන අතර, ප්‍රතිඵලයක් වශයෙන් යම් දුරකට තේජස ඔවුන්ට දී තිබෙනවා. පේතෘස්ම කළාක් මෙන් ඔවුන් අතින් වැරදි සිදු වන බව සැබෑ වුණත්, එවැනි තේජවත් අයට යටත් වන්න කියා ශුද්ධ ලියවිලි සභාවේ සාමාජිකයන්ට උනන්දු කරනවා. (හෙබ්‍රෙව් 13:17) ඔවුන්ගේ දුර්වලකම් ඔවුන් ගැන නින්දාසහගතව කතා කිරීමට හේතුවක් නෙවෙයි. “[බොරු ගුරුවරුන්ට] විරුද්ධව නින්දා සහිත විනිශ්චයක්” පමුණුවන්න හොඳ හේතු තිබුණත්, දේවදූතයන් එසේ “නොපමුණුව[න]” බව පේතෘස් කියයි. පේතෘස් තවදුරටත් මෙසේ කියයි: “නුමුත්, අල්ලා විනාශකරනු ලබන්ට උපන්, ජම්මයෙන් නුවණ නැත්තාවූ තිරිසනුන් මෙන්, මොව්හු, නොදන්නා දේට අපහාසකරමින්, අධර්මිෂ්ඨකමේ කුලිය ලබමින්, තමුන්ගේම කිලුටුකමෙන් සැබවින් විනාශවන්නෝය.”—2 පේතෘස් 2:10-13.
“ඔබ සමඟ මංගල්‍ය පවත්වද්දී”
15. බොරු ගුරුවරුන්ගේ උපක්‍රම නම් කරන්න; එමෙන්ම ඔවුන් ඔවුන්ගේ නපුරට කැමති කරවාගැනීම් ලුහුබඳින්නේ කොහේදීද?
15 මෙම දූෂිත පුරුෂයෝ “දවාලෙහි සුඛෝපභෝගී ජීවිකාව ආස්වාදයක් ලෙස සලකමින්,” [NW] “ලප හා කැලැල්ව සිටි[නවා]” පමණක් නොව, ඔවුන් ප්රයෝගකාරිව කටයුතු කරනවා. පේතෘස් කලින් ගෙනහැර දැක්වූවාක් මෙන්, ඔවුන් “වංචා වචන” භාවිත කරමින්, “සූක්ෂ්ම” ලෙස ක්‍රියා කරනවා. (2 පේතෘස් 2:1, NW, 3, 13) මේ අනුව ඔවුන් දෙවිගේ සදාචාර ප්‍රමිති රැකීමට වැඩිමහල්ලන් දරන වෑයමට ප්‍රසිද්ධියේ අභියෝග නොකරනවා වෙන්න පුළුවන්; එහෙම නැත්නම්, තමුන්ගේම ලිංගික පිනවීම විවෘතව ලුහු නොබඳිනවා වෙන්න පුළුවන්. ඒ වෙනුවට, “ඔබ සමඟ මංගල්‍ය පවත්වද්දී, සංයමයකින් තොර ප්‍රීතියක් ලබමින්,” ඔවුන් “තමුන්ගේ මුළා කරවන ඉගැන්වීම්වල” [NW] නිරත වන බව පේතෘස් කියයි. “මොව්හු නම් . . . නුඹලාගේ ප්‍රේම-මංගල්‍යවල නොපෙනී තිබෙන්නාවූ පර්වතයෝය” කියා යූද් ලියයි. (යූද් 12) ඔව්, පරීක්ෂාකාරි නොවූ නාවිකයන්ව ගිලීමට සලස්වමින්, ජල මට්ටමෙන් යට පිහිටි උල් සහිත පර්වතවලට බෝට්ටුවක පතුල ඉරාදැමිය හැකිවාක් මෙන්, බොරු ගුරුවරුන් පරීක්ෂාකාරි නොවූ අයව දූෂ්‍ය කරමින් සිටි අතර, “ප්‍රේම-මංගල්‍යවල[දී]” කුහක ලෙස ව්‍යාජ ප්‍රේමයක් ඔවුන් සඳහා දක්වමින් සිටියා.
16. (අ) “ප්‍රේම මංගල්‍ය” කිව්වේ කුමකටද? අදදින දුරාචාර පුද්ගලයන් මොන සමාන අවස්ථාවලද ක්‍රියා කළ හැක්කේ? (ආ) බොරු ගුරුවරුන් තම අවධානය කවුරුන් කෙරෙහි යොමු කරනවාද? එබැවින් එවැනි අය කුමක් කළ යුතුද?
16 මෙම “ප්‍රේම-මංගල්‍ය,” පළමුවන සියවසේ ක්‍රිස්තියානීන් ආහාර ගැනීම සහ ආශ්‍රය භුක්ති විඳීම සඳහා එකට එකතු වූ සමාජීය උත්සවයන් වූ බව පෙනෙනවා. අදදින යෙහෝවාගේ සාක්ෂිකරුවනුත්, සමාජීය වශයෙන්, ඇතැම්විට විවාහ මංගල සාදයන්, විනෝද ගමන් හෝ ඇසුරු කිරීමට සැන්දෑවක් ගත කිරීම සඳහා ඇතැම්විට එකට එකතු වෙනවා. පුද්ගලයන්ව නපුරට කැමති කරවාගන්න එවැනි උත්සව යොදාගන්න දූෂිත පුද්ගලයන්ට හැක්කේ කොහොමද? පේතෘස් මෙසේ ලියනවා: “ඔව්හු කාමමිථ්‍යාචාරයෙන් පිරුණාවූ . . . ඇස් ඇත්තෝය; ඔව්හු අස්ථිර [ප්‍රාණ] පොලඹවන්නෝය.” ඔවුන් “තණ්හාවට පුරුදු” ඔවුන්ගේ “සිත [හෘදය, NW],” සත්‍යය සම්පූර්ණයෙන් තමුන්ගේම කරගැනීමට අසමත් වී සිටින ආත්මික වශයෙන් අස්ථිර වූ අය කෙරෙහි යොමු කරවනවා. එමනිසා පේතෘස්ගේ දවසේදී වුණ දේ කල්තියාම ලැබෙන අවවාදයක් ලෙස භාරගෙන, පරෙස්සමින් සිටින්න! සිත් ඇදගැනීමට කරන දූෂිත වෑයම්වලට විරුද්ධ වන්න; ඒ වගේම දුරාචාරයට සිත ඇදගන්න වෑයම් කරන කෙනෙකුගේ වශීකරණයට හෝ කායික ආකර්ෂණයට මුළා නොවන්න!—2 පේතෘස් 2:14.
“බාලාම්ගේ මාර්ගය”
17. “බාලාම්ගේ මාර්ගය” කිව්වේ කුමකටද? එමෙන්ම එය ඉශ්රායෙල්වරුන් 24,000කට බලපෑවේ කොහොමද?
17 මෙම ‘ශාප ලත්’ අය සත්‍යය සෑහෙන කලක සිට දැන තිබෙනවා. ඔවුන් තවමත් සභාවේ ක්‍රියාශීලී ගතියක් මවාපානවා වෙන්න පුළුවන්. එනමුත් පේතෘස් මෙසේ කියයි: “ඔව්හු හරි [ඍජු, NW] මාර්ගය අත්හැර, අයුතුකමේ කුලියට කැමතිවූ බෙයොර්ගේ පුත්‍රවූ බාලාම්ගේ මාර්ගය අනුව මුළාව ගියෝය.” (2 පේතෘස් 2:14, 15) තමාගේ පෞද්ගලික වාසිය උදෙසා, බාලාම්ගේ මාර්ගය වුණේ දුරාචාරමය නපුරට කැමති කරවාගැනීමේ මාර්ගයක් අනුව යෑමට උපදෙස් දීමයි. ඉශ්රායෙල් ජනයාව වේශ්‍යාකමට පොලඹවන්න පුළුවන් වුණොත් දෙවි ඔවුන්ට ශාප කරයි කියා ඔහු මෝවබ්හි බාලාක් රජුට කිව්වා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, දෙවිගේ සෙනඟගෙන් බොහෝදෙනෙකුව මෝවබ් කාන්තාවන් විසින් නපුරට කැමති කරවාගනු ලැබූ අතර, ඔවුන්ගේ දුරාචාරමය හැසිරීම නිසා 24,000ක් ඝාතනය කරනු ලැබුවා.—ගණන් කථාව 25:1-9; 31:15, 16; එළිදරව් 2:14.
18. බාලාම් කොතරම් දුරට මුරණ්ඩුව ක්‍රියා කළාද? එමෙන්ම එහි අවසාන ප්‍රතිඵලය බොරු ගුරුවරුන් සඳහා අදහස් කරන්නේ කුමක්ද?
18 බාලාම්ගේ බූරුවා ඔහුට කතා කළ විට එය ඔහුට බාධාවක් වූ නමුත්, බාලාම් “අයුතුකමේ කුලියට” කොතරම් “කැමති” වුණාද කිවහොත් එය සිදු වුණායින් පසුව පවා ඔහුගේ “උමතු” මාර්ගය ඔහු අත්හැරියේ නැති බව පේතෘස් ගෙනහැර දක්වනවා. (2 පේතෘස් 2:15, 16) කොතරම් දුෂ්ටද! බාලාම් වගේ, දෙවිගේ සෙනඟව දුරාචාරයට පොලඹවන්න මාන බලමින් ඔවුන්ව දූෂ්‍ය කිරීමට වෑයම් කරන ඕනෑම කෙනෙකුට දුක් වේ! තමාගේ නපුරුකම හේතුවෙන් බාලාම් මියගියා; මෙයින් කලින්ම ගෙනහැරපාන්නේ ඔහුගේ මාර්ගය අනුව යන හැම කෙනෙකුටම අත් වන දෙයයි.—ගණන් කථාව 31:8.
ඔවුන්ගේ යක්ෂාකාර දූෂණ
19, 20. (අ) බාලාම් වගේ අයව සමාන කර තිබෙන්නේ මොනවටද? ඒ ඇයි? (ආ) ඔවුන් ඇදගන්නේ කාවද? ඒ කොහොමද? (ඇ) ඔවුන්ගේ නපුරට කැමති කරවාගැනීම් යක්ෂාකාරයි කියා අපිට කිව හැක්කේ ඇයි? එමෙන්ම අපවත් අනුන්වත් ඔවුන්ගෙන් ආරක්ෂා කරගැනීමට අපිට පුළුවන් කොහොමද?
19 බාලාම්ට සමාන අයව විස්තර කරමින් පේතෘස් මෙසේ ලියයි: “ඔව්හු වතුර නැති උල්පත්ය [හෝ, ළිංය], තද සුළඟින් ගසාගනයන මීදුම්ය [හෝ, වලාකුළුය].” කාන්තාරයක සිටින පිපාසිත සංචාරකයෙකුට වියළි ළිඳක් මරණය අදහස් කරන්න පුළුවන්. එවැනි දේවලට සමාන අය සඳහා “අන්ධකාරයේ කළුවරකම ඉතුරුකර” තිබීම පුදුමයක්ද! පේතෘස් තවදුරටත් මෙසේ කියයි: “මක්නිසාද ඔව්හු නිෂ්ඵලකමේ මහත් ආඩම්බර වචන කථාකරමින්, වරදෙහි වසන්නන් කෙරෙන් යන්තම් ගැළවීයන්නන් මාංසයේ තෘෂ්ණාව වන සල්ලාලකමෙන් ඇදගනිති.” “ඔව්හු තුමූම දූෂ්‍යකමේ දාසයන්ව සිටින අතර,” අද්දැකීම් නැති අයට “නිදහස දෙන්ට පොරොන්දු” වීමෙන් ඔවුන්ව නපුරට කැමති කරවාගත් බව පේතෘස් කියයි.—2 පේතෘස් 2:17-19; ගලාති 5:13.
20 එවැනි දූෂිත ගුරුවරුන්ගේ දූෂණ යක්ෂාකාරයි. උදාහරණයක් වශයෙන් ඔවුන් මෙසේ පවසනවා විය හැකියි: ‘අපි දුර්වලයි කියලත් රාගයට යටත් වෙන්න පුළුවන් කියලත් දෙවි දන්නවා. ඉතින් අපි කැමති දෙයක් කරන්න හිතාගෙන අපේ ලිංගික ආශාවන් තෘප්තිමත් කරනවා නම්, දෙවි දයාව පෙන්නාවි. අපි අපේ පව් කියා දුන්නොත්, ඔහු අපි මුලින් සත්‍යයට එන කොට කළා වගේ අපිට සමාව දේවි.’ යක්ෂයා ඒව සම්බන්ධයෙන් යම් දුරකට ඒ හා සමාන එළඹීමක් යොදාගත් බව සිහියේ තබාගන්න; ඔහු පොරොන්දු වුණේ ඇයට දුර්විපාක නොලබා පව් කරන්න පුළුවන් බවයි. ඒව සම්බන්ධයෙන් ගත් කල, දෙවිට විරුද්ධව පව් කිරීම ඇයට ඥානාලෝකය සහ නිදහස ලබා දෙයි කියා ඔහු කියා සිටියා. (උත්පත්ති 3:4, 5) සභාව සමඟ ආශ්‍රය කරන එවැනි දූෂිත පුද්ගලයෙක්ව අපිට හදිස්සියේවත් මුණගැසුණොත්, ක්‍රිස්තියානි සභාවේ වගකීම් දරන අයට මේ පුද්ගලයා ගැන දැන්වීමෙන් අපවත් අනුන්වත් ආරක්ෂා කිරීමේ වගකීම අපිට තිබෙනවා.—ලෙවී කථාව 5:1.
ඒකාන්ත දැනුමෙන් ආරක්ෂා වී
21-23. (අ) ඒකාන්ත දැනුම අදාළ කරගැනීමට අපොහොසත් වීමේ ප්‍රතිවිපාක මොනවාද? (ආ) පේතෘස් සාකච්ඡා කරන්නේ, ඊළඟට සලකා බැලීමට යන තවත් කුමන ගැටලුවද?
21 කලින්, “ජීවිතයටත් දේවභක්තියටත්” අත්‍යවශ්‍ය වූ බවට ඔහු පැවසූ දැනුම අදාළ කරගැනීමට අසමත් වීමේ ප්‍රතිවිපාක විස්තර කිරීමෙන් පේතෘස් තම ලිපියෙහි මෙම කොටස නිම කරනවා. (2 පේතෘස් 1:2, 3, 8) ඔහු මෙසේ ලියයි: “ස්වාමීවූ ගැළවුම්කාරවූ යේසුස් [ක්‍රිස්තුස්] දැනගැනීමෙන් [පිළිබඳ ඒකාන්ත දැනුමකින්, NW] ලෝකයේ කිලුටුකම්වලින් මිදුණායින් පසු ඔවුන් නැවත ඒවාට පටලැවී වහල්වුණොත්, ඔවුන්ගේ පළමු ස්වභාවට වඩා අන්තිම ස්වභාව නපුරු වන්නේය.” (2 පේතෘස් 2:20) මොනතරම් කනගාටුදායකද! පේතෘස්ගේ දවසේ සිටි එවැනි අය මොහොතකට පවතින ලිංගික වින්දනයක් වෙනුවෙන්, අමරණීය ස්වර්ගික ජීවිතය නමැති අනර්ඝ බලාපොරොත්තුව පහ කර තිබුණා.
22 එබැවින් පේතෘස් මෙසේ කියනවා: “ඔවුන් ධර්මිෂ්ඨකමේ මාර්ගය දැනගත්තායින් පසු, ඔවුන්ට භාරදුන් ශුද්ධවූ ආඥාවෙන් හැරීයනවාට වඩා ඒ මාර්ගය දැන නොගත්තා නම් ඔවුන්ට යහපත්ය. බල්ලා නැවත උගේ වමනයටත්, නෑවාවූ ඊරී මඩේ පෙරළීමටත් හැරී ගියෝය යන සැබෑවූ උපමාවේ ප්‍රකාරයට ඔවුන්ට සිදුවී තිබේ.”—2 පේතෘස් 2:21, 22; හිතෝපදේශ 26:11.
23 මුල් ක්‍රිස්තියානීන්ට පැහැදිලිවම බලපාන්න පටන්ගෙන තිබූ තවත් ගැටලුවක් අදදින සමහරුන්ට බලපාන එකකට සමානයි. එදා සමහරුන්ට ක්‍රිස්තුස්ගේ පොරොන්දු වූ පැමිණසිටීම නොපැමිණෙනවා වගේ දැනුණු නිසා, ඔවුන් ඒ ගැන මැසිවිලි නඟමින් සිටියා. පේතෘස් මෙම කාරණයට අවතීර්ණ වන අන්දම අපි පරීක්ෂා කර බලමු.
ඔබට මතකද?
◻ පේතෘස් සඳහන් කරන අවවාදය සඳහා ආදර්ශ තුන මොනවාද?
◻ බොරු ගුරුවරුන් ‘අධිපතිකම සුළු කරන්නේ’ කොහොමද?
◻ බාලාම්ගේ මාර්ගය කුමක්ද? එමෙන්ම එය අනුගමනය කරන අය අනුන්ව නපුරට කැමති කරවන්න වෑයම් කළ හැක්කේ කොහොමද?
◻ ඒකාන්ත දැනුම අදාළ කරගැනීමට අපොහොසත් වීමේ ප්‍රතිඵලය කුමක්ද?
[16, 17වන පිටුවේ පින්තූරය]
බාලාම් අවවාදය සඳහා ආදර්ශයක් වෙනවා