සරදම්කරන්නන්ගෙන් පරෙස්සම් වන්න!
අද අනාවැකි පළ කිරීම බහුලව සිදු කෙරෙන අතර, වර්තමාන සිදුවීම් සැලකිල්ලට ගෙන අනාවැකි පළ කිරීමේ ව්‍යාපාරය ජයටම කෙරීගෙන යනවා. “වසර 2000 වඩාත් ළං වන විට අසාමාන්‍ය වුවත් යම් ප්‍රමාණයකට බලාපොරොත්තු වන යමක් සිදු වෙමින් පවතිනවා” කියා ලන්ඩනයේ ද ඩේලි ටෙලිග්රාෆ් නමැති පුවත්පත පවසනවා. “ලොව පුරා සිටින දහස් ගණනක් අනාගතය ගැන අරුම පුදුම මෙන්ම බොහෝවිට තැතිගන්වනසුලු දර්ශන දකිනවා.” අනාගතය කෙරෙහි දක්වන මේ දැඩි උනන්දුව නිරීක්ෂකයන් බොහෝදෙනෙකුට නම් ඉටු නොවූ, කලින් බලාපොරොත්තු තැබූ වෙනස්කම් නැවත සඳහන් කිරීමක් පමණයි.
කාලයක් ගියාට පසු යුරෝපයේ නගර හුස්ම ගන්න බැරි වෙන තරමට අශ්වයන්ගේ අශූචිවලින් පිරී යාවි කියා දහනවවන සියවසේදී අශ්ව රථ වැඩි වෙන විට එක් මිනිසෙක් අනාවැකි පළ කළා. ඔහුගේ අනාවැකිය සැබෑවක් නොවූ බව අමුතුවෙන් කිව යුතු නැහැ. මේ අනුව අනාවැකි පළ කිරීම් බොහෝ අවස්ථාවලදී සැබෑ නොවීම ගැන අවධානය යොමු කරමින් ලන්ඩනයේ ද ටයිම්ස් සඟරාව මෙසේ සඳහන් කළා: “අනාගතය හුදෙක් අශ්වයන්ගේ අශූචි ගොඩක් විතරයි.”
ඉදිරියේ තිබෙන අනතුරක් හඳුනාගන්නා අයට තවත් අය සරදම් කරනවා. උදාහරණයක් හැටියට, එ.ජ. විශ්වවිද්‍යාලයක ව්‍යාපාර පිළිබඳ මහාචාර්යවරයෙක් පාරිසරික පරිහානිය වඩාත් දරුණු අතට හැරෙන බවට අනතුරු ඇඟවූ අයට අභියෝග කළා. නියූ සයන්ටිස්ට් සඟරාව වාර්තා කළ ආකාරයට “අපේ ජීවිතයේ ගුණාත්මකබව දියුණු වෙමින් පවතින බවත් සෑමදාම එසේ දිගටම පවතින්න යන බවත්” ඔහු කියා සිටිනවා.
පක්ෂ හා විපක්ෂ ප්රකාශයන්ගේ වියවුල මැද බොහෝදෙනෙක් විශ්වාස කරන්නේ සෑම දෙයක්ම මූලික වශයෙන් වෙනස් නොවී පවතින්න යන බවයි. මිනිස් කටයුතු කෙරෙහි දිව්‍ය මැදිහත් වීම හා සම්බන්ධ ඕනෑම අදහසකට සරදම් කරමින්, ඔවුන් පළමු සියවසේ සිටි සරදම්කරන්නන්ගේ ආකල්පයට සමාන ආකල්පයක් විදහාපෙන්වනවා.
සෑම දෙයක්ම තවමත් නොවෙනස්ව පවතීද?
ක්‍රිස්තියානියෙකු වන ප්‍රේරිත පාවුල් පො.යු. 64දී ලියූ ඔහුගේ දෙවන ලිපියෙහි මෙසේ අනතුරු ඇඟෙව්වා: ‘අන්තිම දවස්වලදී තමුන්ගේ තෘෂ්ණා ලෙස හැසිරෙමින් තමන්ගේ සරදම් ප්‍රකාශවලින් සරදම්කරන්නන් පැමිණෙන්නේය.’—2 පේතෘස් 3:3, 4.
තමන්ගේ සරදම් ප්‍රකාශ හාස්‍ය උපදවන දෙයක් ලෙස පෙනීමට සලස්වන්න සරදම්කරන්නන් උත්සාහ කරනවා. තමන්ගේ සරදම් ප්රකාශයන්ට සවන් දෙන අයට තමන්ගේ අදහස් පිළිගන්වනු ලැබීමට සරදම්කරන්නන්ට වුවමනා නිසා, සරදම් ප්‍රකාශයන් පිළිගන්න යමෙක් ආත්මාර්ථකාමිත්වයේ උගුලට හසු වෙමින් සිටිනවා විය හැකියි. පේතෘස්ගේ අනතුරු ඇඟවීමේදී සඳහන් කළ ඇතැම් සරදම්කරන්නන් ‘තමුන්ගේ තෘෂ්ණා ලෙස හැසිරෙමින්’ එසේ කටයුතු කළා විය හැකියි. තම පාඨකයන්ට සාවධානව සිටීමට සලස්වමින් ප්‍රේරිතවරයා අවධාරණාත්මක ප්‍රකාශයක් යොදාගත්තා. ‘තමන්ගේ සරදම් ප්‍රකාශවලින් සරදම්කරන්නන්ගේ’ පැමිණීම ගැන ඔහු අනතුරු ඇඟෙව්වා.
“ඔහුගේ මේ පොරොන්දු කරන ලද පැමිණසිටීම සිදු වන්නේ කොතැනද? අපේ මුතුන්මිත්තන් සැතපුණු දවස්වල සිට සියලුම දේවල් මැවිල්ලේ පටන්ගැන්මේ සිට දිගටම එයාකාරයෙන්ම පවතින්නේය” කියා පවසමින් පළමු සියවසේ සිටි සරදම්කරන්නන් ක්‍රිස්තුස්ගේ “පොරොන්දු කරන ලද පැමිණ [සිටීමේ]” යථාර්ථය ගැන ප්‍රශ්න කළා. (2 පේතෘස් 3:4, NW) ඔවුන්ට එය පෙනුණේ එයාකාරයටයි. එසේ වුණත්, යෙරුසලම් නගරය මත පැමිණෙන මහත් විනාශය ගැන පො.යු. 33දී යේසු පුරෝකථනය කර තිබුණා. “නුඹේ සතුරන් විසින් නුඹ වටේට පස්වැටියක් නගා, නුඹ වටකොට, සියලු දිසාවෙන්ම නුඹ කොටුකරගෙන, නුඹ සහ නුඹ තුළ සිටින නුඹේ දරුවන්ද පොළොවේ ගසා, නුඹ තුළේ ගලක් පිට ගලක් තිබෙන්ට නාරින දවස් පැමිණෙන්නේය” කියා ඔහු පැවසුවා. ඒ අනතුරු ඇඟවීම සරදමට ලක් කළ අය මොනතරම් වැරදි විනිශ්චයක් කළාද! පොදු යුගයේ 70දී රෝම හමුදා යෙරුසලම වටලා එහි වැසියන්ගේ ජීවිත විශාල ප්‍රමාණයක් සමඟ ඒ නගරය විනාශ කළා. නගර වැසියන් වැඩිදෙනෙක් ඒ විපත්තිය සඳහා සූදානමින් නොසිටියේ ඇයි? දෙවි තමාගේ පුත් යේසුස් මගින් ඔවුන්ව පරීක්ෂා කර තිබූ බව ඔවුන් වටහාගෙන තිබුණේ නැති නිසයි.—ලූක් 19:43, 44.
සර්වපරාක්‍රම දෙවිගේ අනාගතික මැදිහත් වීමකට ප්‍රේරිත පේතෘස් යොමු දක්වනවා. “සොරෙකුමෙන් [යෙහෝවාගේ] දවස පැමිණෙන්නේය” කියා පේතෘස් අනතුරු අඟවනවා. (2 පේතෘස් 3:10) ඒ කාලයේදී දෙවි මුළු පොළොව පුරාම සිටින අභක්තික ජනයාව එයින් ඉවත් කර දමා ධර්මිෂ්ඨ අය ලෙස විනිශ්චය කරනු ලබන අයව ඉතුරු කරන්න යනවා. මේ සඟරාව නිතරම පැහැදිලි කර තිබෙන්නාක් මෙන් යේසුස් ක්‍රිස්තුස්ගේ “පැමිණසිටීම” 1914දී ආරම්භ වුණා. නමුත් දුෂ්ටකම ඉවත් කිරීම සඳහා දෙවිගේ වධකයා හැටියට ඔහු ක්‍රියාත්මක වීම සිදු වන්නේ අනාගතයේදියි. එය සැලකිල්ලට ගනිමින් සරදම්කරන්නන්ගෙන් පරෙස්සම් වීම සම්බන්ධයෙන් ප්‍රේරිතවරයා කළ අනතුරු ඇඟවීම වැඩි හදිසිතාවකින් යුතුව දැන් අදාළ වෙනවා.
මිනිසුන්ගේ කටයුතු කෙරෙහි දිව්‍ය මැදිහත් වීම සිදු වන තෙක් ඔබ දැනටමත් බොහෝ කාලයක් බලා සිටිනවා විය හැකියි. සරදම්කරන්නන්ගේ ගොදුරක් නොවී දිගටම ඉවසිලිවන්තව බලා සිටීමට ඔබට උපකාරවත් වන්න යන්නේ කුමක්ද? කරුණාකර ඉතිරි කොටසත් කියවන්න.
[4වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“නුඹේ සතුරන් විසින් නුඹ . . . වටකොට, සියලු දිසාවෙන්ම නුඹ කොටුකරගෙන, . . . නුඹ තුළේ ගලක් පිට ගලක් තිබෙන්ට නාරින දවස් පැමිණෙන්නේය.” මෙය සරදමට ලක් කළ යුතු අනතුරු ඇඟවීමක් වුණේ නැහැ. රෝම හමුදා ජීවිත විශාල ප්‍රමාණයක් සමඟින් යෙරුසලම විනාශ කළා.