අන්තිමය ළං වෙද්දී, “මනසින් සුවදායකබව” දැක්වීම
“සියලු දේවල අන්තිමය ළංවී තිබේ. එබැවින් නුඹලා සිහියෙන් [සුවදායක මනසකින්, NW] යුක්තව සි[ටින්න].”—1 පේතෘස් 4:7.
1. “සුවදායක මනසකින්” සිටීමට ඇතුළත් වන්නේ කුමක්ද?
ප්‍රේරිත පේතෘස්ගේ ඉහත සඳහන් වචන, ක්‍රිස්තියානීන් තම ජීවිතය ගත කරන ආකාරයට ගැඹුරින් බලපෑ යුතුයි. කොහොම වුණත්, පේතෘස් තම පාඨකයන්ට කියා සිටියේ නැහැ, ජීවිතයේ ලෞකික වගකීම් සහ කරදර මඟහරින්න කියලා; ඒ වගේම පැමිණෙන විනාශය ගැන උමතු ස්වභාවයකින් සිටින්න කියලවත් ඔහු දිරිගැන්වූයේ නැහැ. ඒ වෙනුවට ඔහු මෙසේ උනන්දු කළා: “සුවදායක මනසකින් සිටින්න.” [NW] “සුවදායක මනසකින්” සිටීම කියන්නේ, හොඳ විනිශ්චයක් පෙන්නුම් කිරීම, අපේ කතාවේදී සහ ක්‍රියාවේදී සිහිනුවණින්, නුවණැතිව, සිහිබුද්ධියෙන් සිටීමයි. එයින් අදහස් වන්නේ අපේ කල්පනාව සහ ක්‍රියාවන් පාලනය කිරීමට දේවවචනයට ඉඩ දීමයි. (රෝම 12:2) අපි “වංකවූ හිතුවක්කාරවූ පරම්පරාවක් අතරේ” ජීවත් වන නිසා, ගැටලු සහ දුෂ්කරතා මඟහැරීමට සුවදායක මනසක් අවශ්‍යයි.—පිලිප්පි 2:14.
2. යෙහෝවාගේ ඉවසීම අදදින ක්‍රිස්තියානීන්ට ප්‍රයෝජනදායක වෙන්නේ කොහොමද?
2 අපි ගැන සන්සුන්, යථාර්ථයට සමීප අදහසක් ඇතුව සිටින්නත් “මනසින් සුවදායකබව” අපිට උපකාර කරනවා. (තීතස් 2:12අ, 13; රෝම 12:3) දෙවන පේතෘස් 3:9හි වාර්තා වී තිබෙන වචන හේතුවෙන් මෙය අත්‍යවශ්‍යයි: “ප්‍රමාදයයි සමහරුන් සලකන හැටියට [යෙහෝවා] තමන්ගේ පොරොන්දුව ගැන ප්‍රමාද නොව[න්නේය]; නුමුත් සියල්ලන්ම පසුතැවිලිවෙනවාට මිස කිසිවෙක් විනාශවෙනවාට [ඔහු] නොකැමැතිව, නුඹලා කෙරෙහි බොහෝ කල් ඉවස[න්නේය].” යෙහෝවා නොඇදහිලිකාරයන් කෙරෙහි පමණක් නොව, ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයන් වන “නුඹලා කෙරෙහි[ත්]” ඉවසිලිවන්තව සිටින බව සැලකිල්ලට ගන්න. ඇයි? මන්ද ‘කිසිවෙක් විනාශ වෙනවාට ඔහු කැමති නැති’ නිසයි. ඇතැම්විට සදාකාල ජීවනය නමැති තිළිණයට සුදුසුකම් ලැබීම සඳහා සමහරදෙනෙකුට තවමත් වෙනස්කම් සහ සකස් කිරීම් කරන්න සිදු වෙන්න පුළුවන්. එමනිසා ඇතැම් සකස් කිරීම් අවශ්‍ය විය හැකි පැති සෝදිසි කර බලමු.
අපේ පෞද්ගලික සම්බන්ධතාවලදී “මනසින් සුවදායකබව”
3. තම දරුවන් සම්බන්ධයෙන් දෙමාපියන්ට තමුන්ගෙන්ම මොන ප්‍රශ්න අසාගත හැකිද?
3 නිවහන සමාදානයේ ක්ෂේම භූමියක් විය යුතුයි. ඒත් සමහරදෙනෙකුට එය “අඬදබර ඇති ගෙදර[ක්]” වෙනවා. (හිතෝපදේශ 17:1, නව අනුවාදය) ඔබේ පවුල ගැන කියන්න පුළුවන් වෙන්නේ කුමක්ද? ඔබේ නිවහන ‘උදහසින්, කෝලාහලවලින් සහ අපහාසවලින්’ නිදහස්ද? (එපීස 4:31) එතකොට ඔබේ දරුවන්ගේ තත්වය? ඔවුන්ට ඔබේ ප්‍රේමය සහ අගය දැනෙනවාද? (ලූක් 3:22 සසඳන්න.) ඔවුන්ට උපදෙස් දෙන්නත්, ඔවුන්ව පුහුණු කරන්නත් ඔබ කාලය ගන්නවාද? ඔබ කෝපයෙන් සහ උදහසින් නොව, ‘ධර්මිෂ්ඨකමින් හික්මවනවාද?’ (2 තිමෝති 3:16) දරුවන් ‘යෙහෝවාගෙන් ලැබෙන උරුමයක්’ නිසා, ඔවුන්ට සලකන ආකාරය ගැන ඔහු දැඩි උනන්දුවක් දක්වනවා.—ගීතාවලිය 127:3.
4. (අ) ස්වාමිපුරුෂයෙක් තම භාර්යාවට කර්කශ ආකාරයකින් සලකනවා නම්, ප්‍රතිඵලය කුමක් විය හැකිද? (ආ) දෙවි සමඟ සමාදානයට සහ මුළු පවුලේ සන්තෝෂයට අනුබල දෙන්න භාර්යාවන්ට පුළුවන් වෙන්නේ කොහොමද?
4 එතකොට අපේ විවාහක කලත්‍රයා? “පුරුෂයන් විසින්ද තමුන්ගේ භාර්යාවන්ට තමුන්ගේම ශරීරවලට මෙන් ප්‍රේමකටයුතුය. තමාගේ භාර්යාවට ප්‍රේමකරන තැනැත්තේ තමාටම ප්‍රේමකරන්නේය. කිසිවෙක් කිසිකලක තමාගේම මාංසයට වෛරකළේ නැත. [ක්‍රිස්තුස්] සභාව ගැන කරන්නාක්මෙන් එකිනෙකා තම තමාගේ මාංසය පෝෂණයකොට රක්ෂාකරගන්නේය.” (එපීස 5:28, 29) නින්දාසහගත, බලයපාන හෝ අසාධාරණ පුරුෂයෙක් තම නිවසේ ශාන්තභාවය උවදුරෙහි හෙළනවා විතරක් නොව, දෙවි සමඟ ඇති ඔහුගේ සම්බන්ධතාවත් හානියට ලක් කරගන්නවා. (1 පේතෘස් 3:7) එතකොට භාර්යාවන්? ඒ හා සමානව ‘ඔවුන් ස්වාමීන්ට මෙන් තම පුරුෂයන්ට යටත්ව සිටිය යුතුයි.’ (එපීස 5:22) දෙවිට සතුට ගෙන දීමේ අටියෙන් කල්පනා කිරීම, ඇගේ පුරුෂයාගේ අඩුලුහුඬුකම් නොසලකා හැරීමටත්, අමනාපයකින් තොරව ඔහුට යටත්ව සිටීමටත් භාර්යාවකට උපකාර කරන්න පුළුවන්. ඇතැම් අවස්ථාවලදී, ඇගේ හිතේ තිබෙන දේ කියන්න අවශ්‍යයි කියා භාර්යාවකට හැඟෙන්න පුළුවන්. සමර්ථ භාර්යාව ගැන හිතෝපදේශ 31:26 මෙසේ පවසනවා: “ඈ නුවණින් යුක්තව ඇගේ මුඛය විහිදන්නීය; ඇගේ දිවෙහි කරුණාවන්ත දැනමුතුකම් තිබේ.” ඇගේ පුරුෂයාට කාරුණික, ගෞරවාන්විත ආකාරයකින් සැලකීමෙන්, ඇය දෙවි සමඟ සමාදානය පවත්වාගන්නා අතර, මුළු පවුලේ සන්තෝෂයට අනුබල දෙනවා.—හිතෝපදේශ 14:1.
5. තම දෙමාපියන්ට සැලකීම හා සම්බන්ධ බයිබලයේ උපදෙස් යෞවනයන් අනුගමනය කළ යුත්තේ ඇයි?
5 යෞවනයෙනි, ඔබ ඔබේ දෙමාපියන්ව සලකන්නේ කොහොමද? බොහෝදුරට ලෝකය රුස්සන සරදම්ශීලී, අගෞරවනීය කතා විලාසයක් ඔබ යොදාගන්නවාද? එහෙම නැත්නම්: “දරුවෙනි, නුඹලාගේ දෙමවුපියන්ට [ස්වාමීන්] තුළ කීකරුවෙන්න. මක්නිසාද එසේ කරන්ට යුතුය. නුඹට වැඩසිද්ධවන පිණිසද නුඹ පොළොවෙහි බොහෝ කල් ජීවත්වන පිණිසද, නුඹේ පියාටත් මවුටත් ගෞරවකරන්න. එය පොරොන්දුවක් ඇති පළමුවෙනි ආඥාවය” යන බයිබල් ආඥාවට ඔබ කීකරු වෙනවාද?—එපීස 6:1-3.
6. සෙසු නමස්කාරකයන් සමඟ සමාදානය සෙවීමට අපිට පුළුවන් වෙන්නේ කොහොමද?
6 අපි සෙසු නමස්කාරකයන් සමඟ “සමාදානය සොයා, එය පස්සේ දුව[න]” විටත්, “මනසින් සුවදායකබව” විදහාපෙන්වනවා. (1 පේතෘස් 3:11) එකඟ නොවීම් සහ වරදවා වටහාගැනීම් වරින් වර ඉස්මතු වෙනවා. (යාකොබ් 3:2) වෛරයේ හැඟීම් පැසවන්න ඉඩ දුන්නොත්, මුළු සභාවේම සමාදානය අවදානමට ලක් වෙන්න පුළුවන්. (ගලාති 5:15) එමනිසා විවාද ඉක්මනින්ම නිරවුල් කරගන්න; සාමදායී විසඳුම් සොයන්න.—මතෙව් 5:23-25; එපීස 4:26; කොලොස්සි 3:13, 14.
“මනසින් සුවදායකබව” සහ පවුලේ වගකීම්
7. (අ) පාවුල් ලෞකික කාරණාවලදී “මනසින් සුවදායකබව” පෙන්වීමට දිරිගැන්වූයේ කොහොමද? (ආ) ක්‍රිස්තියානි පුරුෂයන් සහ භාර්යාවන් ගෙදර දොරේ වගකීම් කෙරෙහි මොන වගේ ආකල්පයක් දැරිය යුතුද?
7 ප්‍රේරිත පාවුල් ක්‍රිස්තියානීන්ට “මනසින් සුවදායකබව ඇතුව ජීවත් වීමට” උපදෙස් දුන්නා. (තීතස් 2:13, NW) අවට පාඨ සම්බන්ධයට අනුව, ස්ත්රීන්ට “තමුන්ගේ පුරුෂයන්ටත්, දරුවන්ටත් ප්‍රේමකරමින්, සිහියෙන් [සුවදායක මනසකින්, NW] යුක්තව, පිරිසිදුව, ගෙදර වැඩ කරන්නියන්ව” සිටින්න කියා පාවුල් අනුශාසනා කිරීම සිත්ගන්නා දෙයක්. (තීතස් 2:4, 5) පාවුල් යුදෙව් දේවල පිළිවෙළේ අවසානයට අවුරුදු කිහිපයකට කලින්, පො.යු. 61-64 දක්වා අවුරුදුවලදී එය ලිව්වා. ඒත්, ගෙදර දොරේ වැඩකටයුතු වැනි ලෞකික කාරණාවලට ඒ වන විටත් වැදගත්කමක් තිබුණා. එමනිසා, “[දෙවිගේ] වචනයට අපහාස නොපැමිණෙන පිණිස” පුරුෂයන් සහ භාර්යාවන් යන දෙපිරිසම, ගෙදර දොරේ තමුන්ට තිබෙන වගකීම් ගැන සුවදායක, ඒකාන්ත අදහසක් දැරීම අවශ්‍යයි. එක් ගෘහ මූලිකයෙක් ඔහුගේ නිවසේ ලජ්ජාසහගත පෙනුම නිසා අමුත්තෙකුගෙන් සමාව ඉල්ලුවා. එය කැඩුණු බිඳුණු තත්වයක තිබුණේ “ඔහු පුරෝගාමී සේවය කරමින් සිටි නිසා” බව ඔහු පැහැදිලි කළා. රාජ්‍යය උදෙසා පරිත්‍යාගයන් කිරීම ප්‍රශංසාකටයුතු දෙයක් වුණත්, අපේ පවුලේ ශුභසිද්ධිය පරිත්‍යාග නොකිරීමට වගබලා ගත යුතුයි.
8. ගෘහ මූලිකයන්ට තම පවුල්වල අවශ්‍යතා සමබර ආකාරයකින් හැසිරවිය හැක්කේ කොහොමද?
8 තම පවුලට අවශ්‍යතා සපයන්න අසමත් වන කෙනා “ඇදහිල්ල එපාකළේය, ඔහු නොඇදහිලිකාරයෙකුට වඩා නරකය” කියා පැවසීමෙන්, තම පවුල්වලට ප්‍රමුඛස්ථානය දීමට බයිබලය පියවරුන්ට උනන්දු කරනවා. (1 තිමෝති 5:8) ජීවන තත්වයන් ලොව පුරාම වෙනස් වන අතර, ද්‍රව්‍යමය අපේක්ෂාවන් යුතු පමණට තබාගැනීම හොඳයි. “මට දිළිඳුකමවත් පොහොසත්කමවත් නො[දෙන්න]” කියා හිතෝපදේශ 30:9හි ලේඛකයා යාච්ඤා කළා. කොහොම වුණත්, දෙමාපියන් තම දරුවන්ගේ ද්‍රව්‍යමය අවශ්‍යතා නොසලකා නොහැරිය යුතුයි. උදාහරණයක් හැටියට, දිව්‍යාණ්ඩුමය වරප්‍රසාද පසුපස හඹායෑමේ අදහසින්, යමෙකුගේ පවුලට ජීවිතයේ මූලික අවශ්‍යතා නැතුව ඉන්න සැලැස්වීම නුවණක්කාර දෙයක් වෙන්න යනවාද? යමෙකුගේ දරුවන්ට මෙයින් තික්තකමක් ඇති වෙන්න බැරිද? අනික් අතට, හිතෝපදේශ 24:27 මෙසේ කියනවා: “නුඹේ වැඩය පිටතදී සූදානම්කොට, කෙතෙහි එය පිළියෙළකරගන්න; පසුව නුඹේ ගේ සාදන්න [ගෙවැසියන් ගොඩනංවන්න, NW].” ඔව්, ද්‍රව්‍යමය දේවල් ගැන සැලකිලිමත් වීමට නිසි ස්ථානයක් තිබුණත්, ‘යමෙකුගේ ගෙවැසියන්’ ආත්මිකව සහ චිත්තවේගීයව ‘ගොඩනැංවීම’ අත්‍යවශ්‍යයි.
9. ගෘහ මූලිකයන් විසින් තමුන් මැරෙන්න හෝ අසනීප වෙන්න තිබෙන ඉඩ කඩ සලකා බැලීම නුවණක්කාර වෙන්නේ ඇයි?
9 ඔබ හදිස්සියේ අකල් මරණයකට ගොදුරු වුණොත්, ඔබේ පවුල රැකබලාගැනීමට ඔබ යම් ක්‍රියා පිළිවෙළක් දියත් කර තිබෙනවාද? හිතෝපදේශ 13:22 මෙසේ කියනවා: “සත්පුරුෂයා තමාගේ දරුවන්ගේ දරුවන්ට උරුමයක් තබා යයි.” යෙහෝවා පිළිබඳ දැනුමක් සහ ඔහු සමඟ සම්බන්ධතාවක් උරුම කර දෙනවාට අමතරව, තම දරුවන් සඳහා ද්‍රව්‍යමය අතින් සැපයීමටත් දෙමාපියන් උනන්දුවක් දක්වන්න යනවා. බොහෝ රටවල, වගකීමේ හැඟීමකින් කටයුතු කරන ගෘහ මූලිකයන් මුදල් ටිකක් ඉතිරි කරන්න, නීත්‍යනුකූල අන්තිම කැමති පත්‍රයක් සහ රක්ෂණයක් තබාගන්න වෑයම් කරනවා. ඇත්තවශයෙන්ම, “කාලයත් හදිසි කාරණා[වලිනුත්]” දෙවිගේ සෙනඟ නිදහස්ව සිටින්නේ නැහැ. (දේශනාකාරයා 9:11) මුදල “ආරක්ෂාවක්” සඳහා තිබෙන අතර, පරෙස්සමින් සැලසුම් කිරීම බොහෝදුරට දුෂ්කරතාවලින් අපිව වළක්වාලන්න පුළුවන්. (දේශනාකාරයා 7:12) ආණ්ඩුව මගින් වෛද්‍ය සාත්තුවට නොගෙවන රටවල, සෞඛ්‍ය අවශ්‍යතා සඳහා අරමුදල් වෙන් කරන්න හෝ යම් ආකාරයක සෞඛ්‍ය ආවරණයක් සැලසුම් කරන්න සමහරුන් තෝරාගන්න පුළුවන්.a
10. ක්‍රිස්තියානි දෙමාපියන්ට තම දරුවන් සඳහා “රැස්කර” ගත හැක්කේ කොහොමද?
10 ශුද්ධ ලියවිලි මෙලෙසත් පවසනවා: “රැස්කර තබන්ට යුතුව තිබෙන්නේ දරුවන් විසින් මවුපියන්ට නොව මවුපියන් විසින් දරුවන්ටය.” (2 කොරින්ති 12:14) තම දරුවන්ට ජීවිතයේ හොඳ ආරම්භයක් දීමට, ඔවුන්ගේ අනාගත අධ්‍යාපනය සහ විවාහය සඳහා මුදල් රැස් කර තබාගැනීම ලෝකයේ දෙමාපියන් පොදුවේ කරන දෙයක්. ඔබේ දරුවාගේ ආත්මික අනාගතය සඳහා රැස් කර තබාගැනීම ගැන ඔබ කල්පනා කර තිබෙනවාද? උදාහරණයක් හැටියට, වැඩිහිටි දරුවෙක් පූර්ණ-කාලීන දේවසේවයෙහි නිරත වෙනවායයි සිතන්න. පූර්ණ-කාලීන සේවකයන්ට පිටින් උපකාර බලෙන් ඉල්ලීමවත්, අපේක්ෂා කිරීමවත් නුසුදුසු වුණත්, ඔහුට පූර්ණ-කාලීන සේවයෙහි දිගටම රැඳී සිටීමට උපකාරයක් වශයෙන්, ‘ඔහුගේ ඕනෑකම්වලදී උපකාර කිරීමට’ ප්‍රේමනීය දෙමාපියන් තෝරාගත හැකියි.—රෝම 12:13; 1 සාමුවෙල් 2:18, 19; පිලිප්පි 4:14-18.
11. මුදල් පිළිබඳව යථාර්ථවාදී මතයක් දැරීම ඇදහිල්ලේ ඌනතාවක් තිබෙන බව අඟවනවාද? පැහැදිලි කරන්න.
11 මුදල් පිළිබඳව යථාර්ථවාදී මතයක් දැරීම, සාතන්ගේ දුෂ්ට පිළිවෙළ එහි අවසානයට අතළඟයි කියා තිබෙන ඇදහිල්ලේ ඌනතාවක් අඟවන්නේ නැහැ. සරලව කිව්වොත් එය “ප්‍රායෝගික ප්‍රඥාව” සහ හොඳ විනිශ්චයක් දැක්වීම හා බැඳුණු කාරණයක් පමණයි. (හිතෝපදේශ 2:7; 3:21; NW) මුදල් පාවිච්චිය සම්බන්ධයෙන් “ආලෝකයේ පුත්‍රයන්ට වඩා මේ ලෝකයේ පුත්‍රයෝ . . . නුවණැත්තෝ” බව යේසු වරක් පැවසුවා. (ලූක් 16:8) තම පවුල්වල අවශ්‍යතා වඩාත් හොඳින් පිරිමසාගැනීමට හැකි වන පරිද්දෙන්, තම වත්කම් පාවිච්චි කරන විදිහ සැලසුම් කිරීමේ අවශ්‍යතාව සමහරුන්ට පෙනී යෑම පුදුමයක් නෙවෙයි.
අධ්‍යාපනය ගැන අපි දරන මතයේදී “මනසින් සුවදායකබව”
12. යේසු තම ගෝලයන්ට අලුත් තත්වයන්ට අනුව සකස් වෙන්න ඉගැන්වූයේ කොහොමද?
12 “මේ ලෝකයේ අන්දම පහවෙවී” යන අතර, පුළුල් ආර්ථික වෙනස්කම් සහ තාක්ෂණික වර්ධනය වීම් ශීඝ්‍ර ලෙස සිදු වෙනවා. (1 කොරින්ති 7:31) කොහොම වුණත්, යේසු තම ගෝලයන්ට ඉගැන්නුවා කොහොමද අවශ්‍යතාවට අනුව සකස් වෙන්නේ කියලා. ඔවුන්ගේ පළමුවන දේශනා කිරීමේ ප්රයත්නයට ඔවුන්ව යවද්දී, ඔහු ඔවුන්ට මෙසේ කිව්වා: “නුඹලාගේ පසුම්බිවල රන්වත් රිදීවත් පිත්තලවත් නොගන්න. ගමනට මල්ලක්වත් කබා දෙකක්වත් වහන්වත් සැරයටියක්වත් සපයා නොගන්න. මක්නිසාද වැඩකරුවාට තමාගේ කෑම ලැබෙන්ට යුතුය.” (මතෙව් 10:9, 10) කොහොම වුණත්, පස්සේ අවස්ථාවකදී යේසු මෙසේ කිව්වා: “දැන් පසුම්බියක් ඇත්තෙක් ඒක ගනීවා, එසේම මල්ලකුත් ගනීවා.” (ලූක් 22:36) වෙනස් වී තිබුණේ කුමක්ද? තත්වයන්. ආගමික වාතාවරණය වඩාත් එදිරිවාදී එකක් බවට පත් වී තිබුණ අතර, ඔවුන්ටම ඔවුන්ගේ අවශ්‍යතා සපයාගන්න සිදු වුණා.
13. අධ්‍යාපනයෙහි ප්‍රධාන අරමුණ කුමක්ද? එමෙන්ම මේ සම්බන්ධයෙන් දෙමාපියන්ට තම දරුවන්ට රුකුලක් විය හැක්කේ කොහොමද?
13 ඒ හා සමානව, අදදින, වර්තමානයේ ආර්ථිකය පිළිබඳ යථාර්ථය සැලකිල්ලට ගැනීමට දෙමාපියන්ට සිදු විය හැකියි. උදාහරණයක් හැටියට, ඔබේ දරුවන්ට ප්‍රමාණවත් අධ්‍යාපනයක් ලැබෙන බවට ඔබ වගබලා ගන්නවාද? අධ්‍යාපනයෙහි ප්‍රධාන අරමුණ විය යුත්තේ, යෙහෝවාගේ කාර්යසාධක දේවසේවකයෙකු වීමට තරුණයෙකුව සන්නද්ධ කිරීමයි. එමෙන්ම හැම අධ්‍යාපනයක්ම අතුරින් වඩාත්ම වැදගත් එක නම්, ආත්මික අධ්‍යාපනයයි. (යෙසායා 54:13, NW) තම දරුවන්ට තමුන්වම මූල්‍යමය අතින් නඩත්තු කරගන්න තිබෙන හැකියාව ගැනත් දෙමාපියන් සැලකිලිමත් වෙනවා. එමනිසා ඔබේ දරුවන්ට මඟ පෙන්වීමක් දෙන්න; යෝග්‍ය පාසැල් විෂයන් තෝරාගන්න ඔවුන්ට උපකාර කරන්න; එමෙන්ම, යම් අතිරේක අධ්‍යාපනයක් ලැබීම හෝ නොලැබීම නුවණක්කාරද නැද්ද කියන එක ඔවුන් සමඟ සාකච්ඡා කරන්න. එවැනි තීරණ පවුලක වගකීමක් වන අතර, ගන්නා ක්‍රියාමාර්ගය අනුන් විවේචනය නොකළ යුතුයි. (හිතෝපදේශ 22:6) තමුන්ගේ දරුවන්ට නිවසේදී අධ්‍යාපනයක් දෙන්න තෝරාගෙන තිබෙන අය ගැන මොනවද කියන්න තිබෙන්නේ?b බොහෝදෙනෙක් ප්‍රශංසාකටයුතු කාර්යයක් ඉටු කර තිබුණත්, සමහරෙකුට එය හිතුවාටත් වඩා අමාරු කාර්යයක් බව පෙනීගොස් තිබෙන අතර, ඔවුන්ගේ දරුවන්ට එය පාඩුවක් වී තිබෙනවා. එමනිසා නිවසේදී අධ්‍යාපනයක් දෙන්න ඔබ සිතනවා නම්, වියදම ගණන් බලමින්, දිගටම එසේ කරන්න ඔබට කුසලතා මෙන්ම ආත්ම-හික්මවීම තිබෙනවාද කියා යථාර්ථවාදීව තක්සේරු කිරීමට වගබලා ගන්න.—ලූක් 14:28.
‘මහත් දේවල් නොසොයන්න’
14, 15. (අ) බාරුක් තම ආත්මික සමබරතාව නැති කරගත්තේ කොහොමද? (ආ) ‘මහත් දේවල් සෙවීම’ ඔහු කළ මෝඩ දෙයක් වුණේ ඇයි?
14 මේ පිළිවෙළෙහි අවසානය තවමත් පැමිණ නැති නිසා, ලෝකයට ඉදිරිපත් කරන්න තිබෙන දේ සොයන්න සමහරුන් නැඹුරු වෙන්න පුළුවන්; එනම්, වැදගත්කමක් ඇති වෘත්තීන්, ලාභ උපදවන රැකියා සහ ධනය. යෙරෙමියාගේ ලේකම් වූ බාරුක් සලකා බලන්න. ඔහු මෙසේ විලාප නැඟුවා: “අහෝ මට දැන් දුක්වේ! [යෙහෝවා] මාගේ වේදනාවට ශෝකය එකතුක[ළේය]. මාගේ සුසුම් ලෑමෙන් වෙහෙසව සිටිමි, සහනයක් මට ලැබී නැත.” (යෙරෙමියා 45:3) බාරුක් විඩාවට පත් වී සිටියා. යෙරෙමියාගේ ලේකම් වශයෙන් සේවය කිරීම අමාරු, පීඩාකාරි කාර්යයක් වුණා. (යෙරෙමියා 36:14-26) එමෙන්ම එම පීඩාවේ අවසානය පෙනෙන තෙක් මානයක තිබුණේ නැහැ. යෙරුසලම විනාශ වෙන්න තවත් අවුරුදු 18ක් ගත වෙන්න තිබුණා.
15 යෙහෝවා බාරුක්ට මෙසේ කිව්වා: “බලව, මම ගොඩනැගූ දෙය කඩාදමමි, මම සිටෙවු දෙය උදුරාදමමි; මුළු දේශයටම මෙසේ වන්නේය. නුඹටම මහත් දේවල් ලබාගන්ට නුඹ සොයන්නෙහිද? එසේ නොසොයන්න.” බාරුක් තම සමබරතාව නැති කරගෙන තිබුණා. ‘ඔහු තමාටම මහත් දේවල්’ සමහරවිට, ධනය, ප්‍රසිද්ධිය හෝ ද්‍රව්‍යමය සුරක්ෂිතභාවය ‘සොයන්න’ පටන්ගෙන තිබුණා. යෙහෝවා ‘මුළු දේශයම උදුරා දමමින්’ සිටි නිසා, එවැනි දේවල් සෙවීමෙන් ඇති ඵලය කුමක්ද? එමනිසා යෙහෝවා බාරුක්ට ගැඹුරින් සිතා බැලීමට තුඩු දෙන මෙම සිහිගැන්වීම දුන්නා: “මක්නිසාද මාංසමයවූ සියල්ලන් පිටට විපත්තිය පමුණුවමි. . . . නුඹ යන්නාවූ සියලුම ස්ථානවලදී නුඹේ ප්‍රාණය කොල්ලයක් කොට නුඹට දෙමි.” යෙරුසලමේ විනාශයෙන් ද්‍රව්‍යමය වස්තු බේරෙන්නේ නැහැ! ඔහුගේ “ප්‍රාණය කොල්ලයක් කොට” දෙන්න පමණයි යෙහෝවා සහතික වුණේ.—යෙරෙමියා 45:4, 5.
16. බාරුක්ගේ අද්දැකීමෙන් අදදින යෙහෝවාගේ සෙනඟට ඉගෙනගත හැක්කේ මොන පාඩමද?
16 බාරුක් යෙහෝවාගේ නිවැරදි කිරීමට අවනත වුණ අතර, යෙහෝවාගේ පොරොන්දුව සැබෑ වෙමින්, බාරුක් තම ජීවිතය රැකගනිමින් බේරුණා. (යෙරෙමියා 43:6, 7) අදදින යෙහෝවාගේ සෙනඟ සඳහා මොනතරම් ප්‍රබල පාඩමක්ද! ‘අපටම මහත් දේවල් සොයන්න’ මෙය කාලයක් නෙවෙයි. ඇයි? “ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහවය[න]” නිසයි.—1 යොහන් 2:17.
ඉතිරි කාලයෙන් උපරිමය ගැනීම
17, 18. (අ) නිනිවයේ වැසියන් පසුතැවිලි වූ විට යෝනා ප්‍රතික්‍රියා කළේ කොහොමද? (ආ) යෙහෝවා යෝනාට ඉගැන්වූයේ මොන පාඩමද?
17 එහෙමනම්, ඉතිරි වී තිබෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට අපිට පුළුවන් වෙන්නේ කොහොමද? ප්‍රොපේත යෝනාගේ අද්දැකීමෙන් ඉගෙනගන්න. ඔහු “නිනිවයට ගියේය. . . . තව සතළිස් දවසකින් නිනිවය හෙළාදමනු ලැබේයයි කියා ප්‍රකාශකෙළේය.” යෝනාව පුදුමයට පත් කරවමින්, නිනිවයේ වැසියන් ඔහුගේ පණිවිඩයට ප්‍රතිචාරය දක්වා පසුතැවිලි වුණා! එම නුවර විනාශ කිරීමෙන් යෙහෝවා වැළකී සිටියා. යෝනාගේ ප්‍රතිචාරය? “ඉතින් [යෙහෝවා], මාගේ ප්‍රාණය මාගෙන් තුරන්කර[න්න]; ජීවත්වීමට වඩා නැසීයාම මට හොඳය.”—යෝනා 3:3, 4; 4:3.
18 ඊළඟට යෙහෝවා යෝනාට වැදගත් පාඩමක් ඉගැන්නුවා. ඔහු “ලබු වැලක් නියමකර, . . . [යෝනාගේ] හිසට උඩින් සෙවණක් වීමට ඒක ඔහුට උඩින් යන්ට සැලැස්[සුවේය]. යෝනා ලබුවැල ගැන ඉතා ප්‍රීතිවුණේය.” කොහොම වුණත්, එම වැල ඉක්මනින්ම වියළී ගිය නිසා, යෝනා අද්දුටු ප්‍රීතිය කෙටිකාලීන වුණා. තම අපහසුව ගැන යෝනා “කෝප” වුණා. යෙහෝවා තම කාරණය අවධාරණය කරමින් මෙසේ පැවසුවා: “ලබුවැල කෙරෙහි නුඹ අනුකම්පාකෙළෙහිය. එසේ නම්, තමුන්ගේ දකුණතවත් වමතවත් නොදන්න එක්ලක්ෂ විසිදහසකට වඩා මනුෂ්‍යයන්ද බොහෝ මෘගයන්ද සිටින්නාවූ නිනිවය නම්වූ ඒ මහත් නුවර කෙරෙහි මාත් අනුකම්පාකළ යුතු නොවේද”?—යෝනා 4:6, 7, 9-11.
19. අපට මඟහැරීමට ඕනෑකමක් තිබිය යුත්තේ මොන වගේ ආත්මාර්ථකාමී කල්පනාවක්ද?
19 යෝනා තර්ක කළේ මොනතරම් ආත්මාර්ථකාමී විදිහකටද! පැළයක් ගැන ඔහුට දුකක් ඇති වුණත්, නිනිවයේ ජනයා සඳහා ඔහුට අල්පමාත්රයක තරම්වත් අනුකම්පාවක් දැනුණේ නැහැ. ආත්මික පැත්තෙන් ගත්තොත් ඔවුන් ‘තම දකුණත සහ වමත අතර වෙනස නොදැන සිටි’ ජනතාවක්. ඒ හා සමානව හොඳ හේතු ඇතුව, මේ දුෂ්ට ලෝකයෙහි විනාශය අපිත් ඉතා ඕනෑකමින් පතනවා වෙන්න පුළුවන්. (2 තෙසලෝනික 1:6, 7) කොහොම වුණත්, බලා සිටින අතරේදී, ආත්මික පැත්තෙන් ගත්තොත්, ‘තම දකුණත සහ වමත අතර වෙනස නොදන්නා’ අවංක හදවත් ඇති ජනයාට උපකාර කිරීමේ වගකීම අපිට තිබෙනවා. (මතෙව් 9:36; රෝම 10:13-15) හැකි තරම් සෙනඟකට යෙහෝවා පිළිබඳ වටිනා දැනුම ලබාගන්න උපකාර කිරීමට, ඔබ ඉතිරිව තිබෙන කෙටි කාලය ප්‍රයෝජනයට ගන්න යනවාද? කෙනෙකුට ජීවනය ලබන්න උපකාර කිරීමේ ප්‍රීතියට මොන රැකියාවද සමාන කරන්න පුළුවන් වෙන්නේ?
“මනසින් සුවදායකබව” ඇතුව දිගටම ජීවත් වීම
20, 21. (අ) මතු දවස්වලදී, “මනසින් සුවදායකබව” විදහාපෙන්වීමට අපිට පුළුවන් වන ඇතැම් මාර්ග මොනවාද? (ආ) “මනසින් සුවදායකබව” ඇතුව ජීවත් වීමෙන් මොන ආශීර්වාද ලැබේවිද?
20 සාතන්ගේ පිළිවෙළ විනාශය කරා එහි ප්‍රපාතාකාර ගමනෙහි යෙදෙද්දී, අප හමුවට අලුත් අභියෝගයන් නිසැකවම එයි. දෙවන තිමෝති 3:13 මෙසේ පුරෝකථනය කරනවා: “නපුරු මනුෂ්‍යයොත් රැවටිලිකාරයොත් රවටමින්ද රැවටෙමින්ද වඩ වඩා නරක්වන්නෝය.” එනමුත් “නුඹලාගේ සිත්වලින් ක්ලාන්තවී වෙහෙස නොව[න්න].” (හෙබ්‍රෙව් 12:3) ශක්තිය සඳහා යෙහෝවා මත රඳා සිටින්න. (පිලිප්පි 4:13) අතීතය ගැන සිත සිතා සිටිනවා වෙනුවට, නම්‍යසුලු වීමට, එනම් මෙම දරුණු වෙමින් පවතින තත්වයන්ට අනුව සකස්වන්න ඉගෙනගන්න. (දේශනාකාරයා 7:10) “විශ්වාසවූ නුවණ ඇති දාසයා” සපයන මඟ පෙන්වීම සමඟම යමින්, ප්‍රායෝගික ප්‍රඥාව පාවිච්චි කරන්න.—මතෙව් 24:45-47.
21 තවත් ඉතිරිව තිබෙන්නේ කොපමණ කාලයක්ද කියා අපි දන්නේ නැහැ. ඒත්, “සියලු දේවල අන්තිමය ළංවී තිබේ” කියා අපිට නිසැකකමින් පවසන්න පුළුවන්. ඒ අන්තිමය පැමිණෙන තෙක්, එකිනෙකා සමඟ කටයුතු කරද්දී, අපේ පවුල් බලාකියා ගන්නා ආකාරයේදී සහ අපේ ලෞකික වගකීම්වලදී “මනසින් සුවදායකබව” ඇතුව ජීවත් වෙමු. එසේ කිරීමෙන්, අන්තිමේදී අපි “කැලැල් රහිතව, නිදොස්ව, සමාදානයෙන් යුක්තව” සිටින බවට සොයාගනු ලබන බව නිසැක වෙන්න අපි සැමට පුළුවන්!—2 පේතෘස් 3:14.
[පාදසටහන්වල]
a උදාහරණයක් හැටියට, එක්සත් ජනපදවල, සොඛ්‍ය රක්ෂණයක් කිරීම යම් දුරකට මිල අධික වුණත්, බොහෝදෙනෙකුට සෞඛ්‍ය රක්ෂණයක් තිබෙනවා. පවුල්වලට වෛද්‍යමය අතින් එලෙස ආවරණයක් තිබෙන විට, රුධිර නොවන විකල්ප සලකා බැලීමට ඇතැම් වෛද්‍යවරුන් වැඩි කැමැත්තක් දක්වන බව සමහර සාක්ෂිකාර පවුල්වලට පෙනී ගොස් තිබෙනවා. සීමිත රක්ෂණ සැලසුම් හෝ ආණ්ඩුවේ සෞඛ්‍ය ආවරණය යටතේ අවසර දෙන ගෙවීම් ප්‍රමාණය බොහෝ වෛද්‍යවරුන් පිළිගන්නවා.
b යමෙක් නිවසේදී අධ්‍යාපනය දෙනවාද නැද්ද යන්න පෞද්ගලික තීරණයක්. පිබිදෙව්! 1993 ජූලි 8හි පළ වුණ “නේවාසික අධ්‍යාපනය—එය ඔබ සඳහා ද?” යන ලිපිය බලන්න.
පුනරීක්ෂණය සඳහා කරුණු
◻ අපේ පෞද්ගලික සම්බන්ධතාවලදී “මනසින් සුවදායකබව” පෙන්වීමට අපිට පුළුවන් වෙන්නේ කොහොමද?
◻ අපේ පවුලේ වගකීම් බලාකියා ගැනීමේදී සමබරතාව පෙන්වීමට අපිට පුළුවන් වෙන්නේ කොහොමද?
◻ දෙමාපියන් තම දරුවන්ගේ ලෞකික අධ්‍යාපනය කෙරෙහි උනන්දුවක් දැක්විය යුත්තේ ඇයි?
◻ බාරුක් සහ යෝනාගෙන් අපිට ඉගෙනගත හැක්කේ මොන පාඩම්ද?
[18වන පිටුවේ පින්තූරය]
පුරුෂයෙක් සහ භාර්යාවක් එකිනෙකාට අනිසි ලෙස සලකන විට, ඔවුන් යෙහෝවා සමඟ ඇති ඔවුන්ගේ සම්බන්ධතාවට හානි පමුණුවනවා
[20වන පිටුවේ පින්තූරය]
දෙමාපියන් තම දරුවන්ගේ අධ්‍යාපනය කෙරෙහි උනන්දුවක් දැක්විය යුතුයි