‘යෙහෝවාගේ දවසින්’ බේරී ජීවත් වෙන්න යන්නේ කවුද?
“යෙහෝවාගේ දවසේ පැමිණතිබීම බලාසිටිමින්, එය මනසෙහි ප්රමුඛව තබාගනිමින්, ශුද්ධ වූ හැසිරීමේ කටයුතුවල සහ දේවභක්තියේ ක්‍රියා ඇතුව ඔබ කවර ආකාරයේ පුද්ගලයන් විය යුතුද!”—2 පේතෘස් 3:11, 12, NW.
1. එලියාගේ ආත්මයෙන් සහ බලයෙන් වැඩ කර තිබෙන්නේ කවුද?
යෙහෝවා දෙවි, ස්වර්ගික රාජ්‍යයෙහි තම පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් සමඟ හවුල් උරුමක්කාරයන් බවට පත් වන පුද්ගලයන්ව මනුෂ්‍යවර්ගයාගෙන් තෝරාගෙන තිබෙනවා. (රෝම 8:16, 17) ඔවුන් තවමත් පොළොවේ සිටින අතරතුරේදී, ආලේප ලත් ක්‍රිස්තියානීන් එලියාගේ ආත්මයෙන් සහ බලයෙන් වැඩ කර තිබෙනවා. (ලූක් 1:17) කලින් ලිපියෙහි, ඔවුන්ගේ ක්‍රියාකාරකම් සහ ප්‍රොපේත එලියාගේ ක්‍රියාකාරකම් අතර යම් සමාන්තරයන් තිබෙන බව අපි දුටුවා. එනමුත් එලියාට පසුව පැමිණි ප්‍රොපේත එලිෂාගේ වැඩ ගැන කුමක් කිව හැකිද?—1 රාජාවලිය 19:15, 16.
2. (අ) එලියාගේ අන්තිම ප්රාතිහාර්යය සහ එලිෂාගේ පළමුවන එක කුමක්ද? (ආ) එලියා ස්වර්ගයට නැග්ගේ නැහැයි කියා ඔප්පු කරන්න තිබෙන්නේ මොන සාක්ෂිද?
2 එලියා සිදු කළ අවසාන ප්රාතිහාර්යය වන්නේ, යොර්දාන් ගඟේ වතුරට තම නිල ලත් සළුවෙන් ගසා එය බෙදීමයි. වියළි බිම හරහා එතෙර වීමට මෙය එලියාට සහ එලිෂාට අවකාශ සැලසුවා. ඔවුන් ගඟේ නැඟෙනහිර පැත්තේ ගමන් කරද්දී, සුළි හුළඟක් ඇවිත් එලියාව පොළොවේ වෙනත් තැනකට ගෙනගියා. (“එලියා නැග්ගේ මොන ස්වර්ගයටද?” යන මැයින් යුත් 15වන පිටුවේ කොටුව බලන්න.) එලියාගේ නිල ලත් සළුව දමාගොස් තිබුණා. යොර්දානයට ගසන්න එලිෂා එය පාවිච්චි කළ විට, එහි වතුර නැවතත් බෙදී ගිය අතර, වියළි බිම හරහා නැවතත් එතෙර වෙන්න ඔහුට හැකි වුණා. මෙම ප්‍රාතිහාර්යයෙන් පැහැදිලි වුණේ, ඉශ්රායෙල්හි සැබෑ නමස්කාරයේ උන්නතිය තකා කටයුතු කිරීමට එලියාගේ අනුප්‍රාප්තිකයා වූයේ එලිෂා බවයි.—2 රාජාවලිය 2:6-15.
දේවභක්තික ගුණාංග අත්‍යවශ්‍යයි
3. පාවුල් සහ පේතෘස් යේසුගේ පැමිණසිටීම සහ ‘යෙහෝවාගේ දවස’ ගැන කිව්වේ කුමක්ද?
3 එලියා සහ එලිෂාගේ දවස්වලින් සියවස් ගණනාවකට පසු, පාවුල් සහ පේතෘස් යන ප්‍රේරිතයන් මතු පැමිණෙන ‘යෙහෝවාගේ දවස,’ යේසුස් ක්‍රිස්තුස්ගේ පැමිණසිටීම සහ එවකට අනාගතයේ යමක් වූ ‘අලුත් අහස සහ අලුත් පොළොව’ සමඟ සම්බන්ධ කළා. (2 තෙසලෝනික 2:1, 2; 2 පේතෘස් 3:10-13) දෙවි තම සතුරන්ව විනාශ කරන සහ තම සෙනඟව ගළවන යෙහෝවාගේ මහත් දවසින් බේරී ජීවත් වීමට නම්, අපි යෙහෝවාව සොයමින් මොළොක්ගුණය සහ ධර්මිෂ්ඨකම විදහාපෙන්විය යුතුයි. (ශෙපනියා 2:1-3) එනමුත් අපි ප්‍රොපේත එලිෂා සම්බන්ධ සිද්ධීන් සලකා බලද්දී, අමතර ගුණාංග කිහිපයක් ප්රත්යක්ෂ වෙනවා.
4. යෙහෝවාගේ සේවයේදී ජ්වලිතයට හිමිව තිබෙන්නේ මොන වැඩකොටසක්ද?
4 අපි ‘යෙහෝවාගේ දවසින්’ බේරී ජීවත් වෙන්න නම්, දෙවිගේ සේවය සඳහා ජ්වලිතය අත්‍යවශ්‍යයි. එලියා සහ එලිෂා යෙහෝවාගේ සේවයේදී ජ්වලිත වුණා. ඒ හා සමාන ජ්වලිතයකින්, අදදින ආලේප ලත් ක්‍රිස්තියානීන්ගේ ඉතිරි කොටස යෙහෝවාට පරිශුද්ධ සේවය පිරිනමමින්, ශුභාරංචිය දේශනා කිරීමේදී පෙරමුණ ගන්නවා.a එක්දාස් නවසිය තිස්ගණන්වල මැද භාගයේ සිට, ඔවුන්, රාජ්‍ය පණිවිඩය පිළිගන්නා පොළොව මත සදාකල් ජීවත් වීමට බලාපොරොත්තු වන සෑම කෙනෙකුටම යෙහෝවාට කැප වී බව්තීස්ම වෙන්න දිරිගන්වා තිබෙනවා. (මාර්ක් 8:34; 1 පේතෘස් 3:21) මෙම දිරිගැන්වීමට දශලක්ෂ ගණනාවක්ම හිතකර ලෙස ප්‍රතිචාරය දක්වා තිබෙනවා. වරක් ආත්මික අන්ධකාරයෙහි සහ පාපය තුළ මළ තත්වයක සිටියත්, ඔවුන් දැන් දෙවිගේ සත්‍යය ඉගෙනගෙන, භූමික පාරාදීසයක සදාතනික ජීවනය නමැති බලාපොරොත්තුව වැලඳගෙන, යෙහෝවාගේ සේවයෙහි ජ්වලිතව සිටිනවා. (ගීතාවලිය 37:29; එළිදරව් 21:3-5) ඔවුන්ගේ ජ්වලිතය, සහයෝගය, ආගන්තුක සත්කාරය සහ වෙනත් යහපත් ක්‍රියා මගින්, මිහිපිට තවමත් සිටින ක්‍රිස්තුස්ගේ ආත්මික සහෝදරයන්ට ඔවුන් මහත් නැවුම්බවක් ගෙන දෙනවා.—මතෙව් 25:31-46.
5. යේසුගේ ‘සහෝදරයන්ට’ යහපත් දේවල් කිරීම එතරම්ම වැදගත් වන්නේ ඇයි? තවද එලිෂාගේ දවසින් අපිට තිබෙන්නේ මොන ආදර්ශයද?
5 යේසුගේ “සහෝදරයන්” ඔහුගේ අනුගාමිකයන් වන නිසා, මෙම ආලේප ලත් අය සඳහා යහපත් දේවල් කරන අයට ‘යෙහෝවාගේ දවසින්’ බේරී ජීවත් වීමේ බලාපොරොත්තුව තිබෙනවා. එලිෂා සහ ඔහුගේ වැඩකාරයාට කරුණාව සහ ආගන්තුක සත්කාරය පෙන්නූ ෂුනෙම් ගමෙහි විවාහක යුවළකට ඉමහත් ආශීර්වාද ලැබුණා. මෙම යුවළට පුතෙකු හිටියේ නැති අතර, ස්වාමිපුරුෂයා මහලුව සිටියා. එනමුත් ෂුනෙම්මිය ස්ත්‍රිය පුතෙකු බිහි කරන බවට එලිෂා පොරොන්දු වුණ අතර, මෙය ඇත්තටම සිදු වුණා. අවුරුදු කිහිපයකට පසු මෙම එකම පුත්‍රයා මියගිය විට, එලිෂා ෂුනෙම් වෙතට ගොස් ඔහුව නැවත නැඟිට්ටෙව්වා. (2 රාජාවලිය 4:8-17, 32-37) එලිෂාට ආගන්තුක සත්කාරය පෙන්වීමෙන් අත් වූයේ මොනතරම් විපුල විපාකද!
6, 7. නාමන් තැබුවේ මොන ආදර්ශයද? එමෙන්ම ‘යෙහෝවාගේ දවසින්’ බේරී ජීවත් වීමට මෙය කොතරම් දුරකටද බලපාන්නේ?
6 යෙහෝවාගේ දවසින් බේරී ජීවත් වීමේ බලාපොරොත්තුව ඇතුව ක්‍රිස්තුස්ගේ “සහෝදරයන්ගෙන්” බයිබලය-මත-පදනම් මඟ පෙන්වීම පිළිගැනීමට නම් නිහතමානීකම අවශ්‍යයි. වහල් ඉශ්රායෙල් දැරියකගේ යෝජනාව පිළිගෙන, සුවය ලැබීමට එලිෂාව සොයා ඉශ්රායෙල් බලා යෑම සඳහා කුෂ්ඨ රෝගියෙකු වූ සිරියානු සේනාධිපති නාමන්ට නිහතමානීකම පෙන්නුම් කරන්න අවශ්‍ය වුණා. නාමන්ව හමු වෙන්න තම නිවසින් පිටතට එන්නේ නැතුව, එලිෂා ඔහුට මෙම පණිවිඩය ඇරියා: “නුඹ ගොස් යොර්දානෙහි සත් වරක් නාන්න, එවිට නුඹේ මාංසය හරිගැහී නුඹ පවිත්රවන්නෙහිය.” (2 රාජාවලිය 5:10) එය නාමන්ගේ ආත්මගරුත්වයට පහරක් වුණ අතර, ඔහු කෝප වුණා; එනමුත් නිහතමානීව යොර්දානය වෙතට ගොස් එයින් සත් වරක් නෑවායින් පසු, “ඔහුගේ මාංසයද කුඩා ළමයෙකුගේ මාංසය මෙන් හරි ගැහී ඔහු පවිත්‍රවුණේය.” (2 රාජාවලිය 5:14) තම නිවසට යන්න කලින්, යෙහෝවාගේ ප්‍රොපේතවරයාට ස්තුති කරන්න නාමන් නැවතත් දිගු ගමනක නිරත වෙමින් සමාරිය බලා ගියා. දෙවිගෙන් ලැබූ බලයෙන් ද්‍රව්‍යමය වාසි ලබා නොගැනීමට අදිටන් කරගෙන සිටි එලිෂා, නාමන්ව හමු වන්න පිටතට පැමිණියත් කිසිම පඬුරක් පිළිගන්න කැමති වුණේ නැහැ. නාමන් එලිෂාට නිහතමානීව මෙසේ පැවසුවා: “මින් මතු ඔබගේ මෙහෙකරුවා [යෙහෝවාට] මිස වෙන දෙවිවරුන්ට දවන පූජාවක්වත් යාගයක්වත් ඔප්පුකරන්නේ නැත.”—2 රාජාවලිය 5:17.
7 ආලේප ලත් අයගේ, ශුද්ධ ලියවිල්ලට එකඟ උපදෙස් නිහතමානීව අනුගමනය කිරීමෙන්, අදදින දශලක්ෂ ගණනාවකට ඉමහත් ආශීර්වාද අත් වෙනවා. එපමණක්ද නොව, යේසුගේ මිදීමේ පූජාව කෙරෙහි ඇදහිල්ල දැක්වීමෙන්, අවංක හෘද ඇති මොවුන්ව ආත්මික ලෙස පවිත්‍ර කර තිබෙනවා. යෙහෝවා දෙවි සහ යේසුස් ක්‍රිස්තුස්ගේ මිතුරන් වීමේ වරප්‍රසාදය ඔවුන් දැන් භුක්ති විඳිනවා. (ගීතාවලිය 15:1, 2; ලූක් 16:9) එමෙන්ම දෙවිටත් ඔහුගේ සේවයටත් ඔවුන් දක්වන භක්තියට විපාක වශයෙන්, ශීඝ්‍රයෙන් පැමිණෙන ‘යෙහෝවාගේ දවසේදී’ උඩඟු, පසුතැවිලි නොවන පව්කාරයන්ට අත් වෙන්න යන සදාකාල විනාශයෙන් ඔවුන්ව ගළවනු ලබන්න යනවා.—ලූක් 13:24; 1 යොහන් 1:7.
“මාගේ පැත්තට සිටින්නේ කවුද? කවුද”?
8. (අ) ‘යෙහෝවාගේ දවසින්’ බේරී ජීවත් වීමට යන අයට දිව්‍ය කැමැත්ත කිරීම සම්බන්ධයෙන් ඇත්තේ මොන ආකල්පයද? (ආ) යේහුට දෙනු ලැබුවේ මොන පැවරුමද? (ඇ) යෙසෙබෙල්ට සිදු වෙන්න තිබුණේ කුමක්ද?
8 ‘යෙහෝවාගේ දවසින්’ බේරී ජීවත් වීමට බලාපොරොත්තු වන අය දිව්‍ය කැමැත්ත කිරීමෙහිත් තීරණාත්මක විය යුතුයි. එලියා, ආහබ් රජුගේ මිනීමරු, බාල්ට-වන්දනා-කරන පවුලේ විනාශය නිර්භීතව පුරෝකථනය කළා. (1 රාජාවලිය 21:17-26) කොහොම වුණත්, මෙම ඝාතන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන්ම, අවසන් නොකළ වැඩක් නිම කරන්න එලියාගේ අනුප්‍රාප්තික එලිෂාට සිදු වුණා. (1 රාජාවලිය 19:15-17) යෙහෝවාගේ නියමිත කාලය පැමිණි විට, ගොස් සේනාධිපති යේහුව ඉශ්රායෙල්හි නව රජු වශයෙන් ආලේප කරන්න කියා එලිෂා වැඩකාරයෙකුට උපදෙස් දුන්නා. යේහුගේ හිසේ තෙල් වත් කළායින් පසු, පණිවිඩකාරයා ඔහුට මෙසේ කිව්වා: “ඉශ්‍රායෙල්ගේ දෙවිවූ [යෙහෝවා] මෙසේ [පවසා ඇත]—[යෙහෝවාගේ] සෙනගවූ ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකමට නුඹ ආලේපකෙළෙමි. මාගේ මෙහෙකරුවන්වූ ප්‍රොපේතවරුන්ගේ ලේද [යෙහෝවාගේ] සියලු මෙහෙකරුවන්ගේ ලේද ගැන මා විසින් යෙසෙබෙල්ගෙන් පළිගන්නා පිණිස නුඹේ ස්වාමිවූ ආහබ්ගේ වංශයට පහර දෙන්න. ආහබ්ගේ මුළු වංශය විනාශවන්නේය.” දුෂ්ට යෙසෙබෙල් රැජිනව බල්ලන්ට හෙළනු ලබන අතර, ගෞරවනීය භූමදානයක් ඇයට ලැබෙන්න යන්නේ නැහැ.—2 රාජාවලිය 9:1-10.
9, 10. යෙසෙබෙල් සම්බන්ධයෙන් ගත් කල එලියාගේ වචනය ඉටු වුණේ කොහොමද?
9 යේහුගේ මනුෂ්‍යයන් ඔහුගේ ආලේප කිරීමේ වලංගුතාව පිළිගත් අතර, ඉශ්රායෙල්හි නව රජු ඔහු බවට ප්‍රකාශ කළා. තීරණාත්මකව ක්‍රියා කරමින්, යේහු බාල් නමස්කාරයේ ඇදහිල්ල අත්හළ මූලිකයන්ව ඝාතනය කිරීමේ වැඩපිළිවෙළට මුලපුරන්න යෙස්රෙයෙල් බලා ශීඝ්‍රයෙන් ගමන් කළා. යේහුගේ ඝාතන වැඩපිළිවෙළේ පළමු ඊ පහර කෑවේ ආහබ්ගේ පුත්‍ර යෝරාම් රජුයි. යේහු සමාදානය තකා පැමිණ තිබුණාදැයි විමසන්න ඔහු නුවරින් පිටතට රථයෙන් ගමන් කළා. “නුඹේ මවුවූ යෙසෙබෙල්ගේ වේශ්‍යාකමද ඇගේ මායාද මෙපමණ තිබියදී මොන සමාදානයක්දැයි” යේහු පිළිතුරු දුන්නා. එවිට යේහුගේ ඊය යෝරාම්ගේ හෘදය පසාරු කරගෙන ගියා.—2 රාජාවලිය 9:22-24.
10 දේවභක්තික ස්ත්‍රීන්, යෙසෙබෙල් මෙන් හෝ ඇයට සමාන ඕනෑම කෙනෙකු මෙන් වීමෙන් වැළකී සිටිනවා. (එළිදරව් 2:18-23) යේහු යෙස්රෙයෙල් වෙතට ළඟා වූ විට, ඇය ඇගේ පෙනුම ඔප් නංවන්න වෑයම් කර තිබුණා. කවුළුවකින් පහළ ඔහු දෙස බලමින්, ඇය සැඟවුණු තර්ජනයක් මුසුව ඔහුට ආමන්ත්‍රණය කළා. ඔහු ඇගේ වැඩකරුවන්ගෙන් මෙසේ ඇසුවා: “මාගේ පැත්තට සිටින්නේ කවුද? කවුද”? වහාම, රජ වාසලේ නිලධාරීන් දෙතුන්දෙනෙක් පහළ බැලුවා. ඔවුන් යේහුගේ පැත්තේද සිටියේ? “ඈ පහළට හෙළන්නැයි” ඔහු උනන්දු කළා. එකල, ඔවුන් තීරණාත්මකව ක්‍රියා කරමින්, නපුරු යෙසෙබෙල්ව කවුළුවෙන් පිටත පහළට හෙළුවා. ඇතැම්විට අශ්වයන්ගේ කුරවලට ඇයව පෑගුණා විය හැකියි. ජනයා ඇයව භූමදාන කරන්න පැමිණි විට ‘ඇගේ ඉස්කබලද පාදද දෙඅල්ලද මිස වෙන කිසිවක් ඔවුන්ට සම්බ වුණේ නැහැ.’ “බල්ලෝ යෙසෙබෙල්ගේ මාංස කන්නෝය” යන එලියාගේ වචනවලට මොනතරම් අපූරු ඉටුවීමක්ද!—2 රාජාවලිය 9:30-37.
සැබෑ නමස්කාරයට හෘදයාංගම අනුබල දීමක්
11. යෙහෝනාදාබ් කියන්නේ කවුද? එමෙන්ම සැබෑ නමස්කාරය සඳහා ඔහුගේ අනුබල දීම ඔහු පෙන්නුම් කළේ කොහොමද?
11 ‘යෙහෝවාගේ දවසින්’ බේරී පොළොව මත සදාකල් ජීවත් වීමට බලාපොරොත්තු වන අය සැබෑ නමස්කාරයට මුළු හෘදයෙන්ම අනුබල දිය යුතුයි. ඔවුන් යෙහෝවාට නමස්කාර කළ ඉශ්රායෙලිතයෙකු නොවූ යෙහෝනාදාබ් නොහොත් යෝනාදාබ්ට සමාන විය යුතුයි. යේහු තම පැවරුම ජ්වලිතව දිගටම ඉටු කරද්දී, යෙහෝනාදාබ්ට වුවමනා වුණා තම අනුමැතිය සහ අනුබල දීම පෙන්නුම් කරන්න. එබැවින් ආහබ්ගේ වංශයේ ඉතිරි අයව ඝාතනය කරන්න සමාරිය බලා ගමන් කරමින් සිටි ඉශ්රායෙල්හි නව රජුව හමු වන්න ඔහු පිටත්ව ගියා. යෙහෝනාදාබ්ව දකිද්දී, ‘මාගේ හෘදය නුඹේ හෘදය කෙරේ අවංකව තිබෙන්නාක් මෙන් නුඹේ හෘදයත් අවංකදැයි’ යේහු ඇසුවා. යෙහෝනාදාබ්ගේ ඒකාන්ත පිළිතුරෙන්, යේහු මෙසේ පවසමින් තම අත දිගුකොට, තම යුද රථය තුළට යෙහෝනාදාබ්ට ආරාධනා කරන්න පෙලඹුණා: “කරුණාකර මා සමඟ ඇවිත්, යෙහෝවා කෙරෙහි කිසිම එදිරිවාදිකමක් මා නොඉවසන සැටි බලන්න.” [NW] යෙහෝවාගේ ආලේප ලත් වධකයාට තම අනුබලය දීම පෙන්නුම් කිරීමේ වරප්‍රසාදය යෙහෝනාදාබ් අප්‍රමාදව පිළිගත්තා.—2 රාජාවලිය 10:15-17.
12. යෙහෝවා යුක්තිසහගත ලෙස තනි භක්තිය ඉල්ලා සිටින්නේ ඇයි?
12 යෙහෝවා අපේ තනි භක්තිය යුක්තිසහගත ලෙස ඉල්ලා සිටින, එය ලබන්න වටින මැවුම්කරු සහ විශ්වනීය පරමාධිපති වන නිසා, සැබෑ නමස්කාරයට හෘදයාංගමව අනුබල දීම ඇත්තවශයෙන්ම ඔබිනා දෙයක්. ඔහු ඉශ්‍රායෙලිතයන්ට මෙසේ ආඥා කළා: “කැපූ රූපයක් හෝ උඩ අහසෙහිවත් පාත පොළොවෙහිවත් පොළොවෙන් යට ජලයෙහිවත් තිබෙන කිසිම දෙයක සමානත්වයක් හෝ සාදානොගනුව. ඊට නමස්කාර නොකරව, සේවය නොකරව. මක්නිසාද නුඹේ දෙවිවූ [යෙහෝවා] වන මම අන්‍ය භක්ති නොඉවසන්නාවූ [තනි භක්තිය උදක්ම ඉල්ලා සිටින, NW] . . . දෙවිකෙනෙක්ය.” (නික්මයාම 20:4-6) ‘යෙහෝවාගේ දවසින්’ බේරී ජීවත් වන්න බලාපොරොත්තු වන අය, “ආත්මයෙන්ද සැබෑකමෙන්ද” ඔහුට පමණක් නමස්කාර කළ යුතුයි. (යොහන් 4:23, 24) එලියා, එලිෂා සහ යෙහෝනාදාබ් මෙන් ඔවුන් සැබෑ නමස්කාරය සඳහා ස්ථිර විය යුතුයි.
13. යෙහෝනාදාබ්ගේ හෘදය යේහුට පක්ෂව තිබුණු ආකාරයටම, මෙසියානු රජුව පිළිගන්නේ කවුද? එමෙන්ම ඔවුන් මෙය පෙන්නුම් කරන්නේ කොහොමද?
13 ආහබ්ගේ වංශය ඝාතනය කිරීමෙන් පසු, යේහු රජ බාල් වන්දනාකරුවන්ව හඳුනාගෙන ඉශ්‍රායෙලයෙන් මෙම බොරු ආගම තුරන් කර දැමීමට තව තවත් පියවර ගත්තා. (2 රාජාවලිය 10:18-28) අදදින, යෙහෝවාගේ සතුරන්ව ඝාතනය කරන්නත් ඔහුගේ පරමාධිපත්‍යය නිදොස් කරන්නත් ස්වර්ගික රජ වන යේසුස් ක්‍රිස්තුස්ව පත් කර තිබෙනවා. යෙහෝනාදාබ්ගේ හෘදය යේහුට පක්ෂව තිබුණාක් මෙන්, අදදින යේසුට අයත් ‘වෙනත් බැටළුවන්ගේ’ “මහත් සමූහය” මෙසියානු රජු වශයෙන් යේසුව මුළු හෘදයෙන්ම පිළිගන්නා අතර, මිහිපිට සිටින ඔහුගේ ආත්මික සහෝදරයන්ට සහයෝගය දෙනවා. (එළිදරව් 7:9, 10; යොහන් 10:16) සැබෑ ආගම පිළිපැදීමෙනුත්, ශීඝ්‍රයෙන් ළඟා වන ‘යෙහෝවාගේ දවස’ ගැන දෙවිගේ සතුරන්ට අනතුරු ඇඟවීම ඇතුළුව ක්‍රිස්තියානි දේවසේවයෙහි ජ්වලිත ලෙස සහභාගි වීමෙනුත් ඔවුන් මේ සම්බන්ධයෙන් සාක්ෂි දෙනවා.—මතෙව් 10:32, 33; රෝම 10:9, 10.
චමත්කාරජනක සිදුවීම් තදාසන්නයි!
14. බොරු ආගමට ඉදිරිය සඳහා තිබෙන ඉරණම කුමක්ද?
14 ඉශ්රායෙල්හි බාල් වන්දනාව තුරන් කරන්න යේහු ක්‍රියා කළා. අපේ දවසේදී, වඩාත් උතුම් යේහු වන යේසුස් ක්‍රිස්තුස් තුළින්, යෙහෝවා බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය වන මහ බබිලෝනියේ විනාශය සිදු කරන්න යනවා. දේවදූතයා ප්‍රේරිත යොහන්ට පැවසූ මෙම වදන්වල ඉටුවීම අපි ළඟදීම දකින්න යනවා: “නුඹ දුටු අං දසයද මෘගයාද වේශ්‍යාවට [මහ බබිලෝනියට] වෛරවී, ඈ පාළුද නග්නද කර, ඇගේ මාංස කා, ඈ සහමුලින් ගින්නෙන් දවන්නෝය. මක්නිසාද [දෙවිගේ] වචන සම්පූර්ණවන තුරු [ඔහුගේ] කැමැත්ත කරන්ට එක්සිත්ව තමුන්ගේ රාජ්‍යය මෘගයාට දෙන ලෙස [ඔහු] ඔවුන්ගේ සිත් කැමතිකෙරෙ[වූයේය].” (එළිදරව් 17:16, 17; 18:2-5) “අං දසය” පොළොව මත බලපවත්වන අවි සන්නද්ධ දේශපාලන බලයන් දක්වනවා. දැනට ඔවුන් මහ බබිලෝනිය සමඟ ආත්මික වශයෙන් කාමමිථ්‍යාචාරික සම්බන්ධයක් පැවැත්වුවත්, ඇගේ කාලය කෙටියි. මෙම ලෝකයේ දේශපාලන අංගය බොරු ආගම විනාශ කරන්න යන අතර, “මෘගයා” ඒ කියන්නේ එක්සත් ජාතීන්, ඇයව විනාශ කිරීමේදී “අං දසය” සමඟ ප්‍රධාන කාර්යයක් ඉටු කරන්න යනවා.b යෙහෝවාට ප්‍රශංසා කිරීම සඳහා මොනතරම් කදිම අවස්ථාවක්ද!—එළිදරව් 19:1-6.
15. දෙවිගේ භූමික සංවිධානය විනාශ කරන්න උත්සාහයක් දරනු ලබන විට සිදු වෙන්න යන්නේ කුමක්ද?
15 බාල් නමස්කාරයට එරෙහිව යේහු රජ දියත් කළ දරුණු ප්‍රහාරයෙන් පසු, ඔහුගේ රාජකීය වංශය ඉශ්‍රායෙල්ගේ දේශපාලන සතුරන් වෙතට අවධානය යොමු කළා. රජ වන යේසුස් ක්‍රිස්තුස් ඊට සමාන ලෙස ක්‍රියා කරන්න යනවා. බාල් වන්දනාවට සමාන බොරු ආගමේ විනාශයෙන් පසු දේශපාලන බලයන් ඉතිරි වේවි. යෙහෝවාගේ පරමාධිපත්‍යයට සතුරු වන මොවුන්, සාතන් නමැති යක්ෂයාගේ බලපෑම යටතේ, දෙවිගේ භූමික සංවිධානය විනාශ කිරීමට උත්සාහයක් වශයෙන් මුළු වැර යොදා ප්‍රහාරයක් දියත් කරන්න යනවා. (එසකියෙල් 38:14-16) එනමුත් ‘සර්වපරාක්‍රම වූ දෙවිගේ මහත් දවසේ යුද්ධය’ වන හර්–මගෙදොන්හිදී, යෙහෝවා යේසුස් ක්‍රිස්තුස්ව යොදාගන්න යනවා ඔවුන්ව විනාශ කිරීමෙන් ඔවුන්ට පහර දීමට. මෙය තමයි යෙහෝවාගේ පරමාධිපත්‍යය නිදොස් කිරීමේ නිමාව.—එළිදරව් 16:14, 16; 19:11-21; එසකියෙල් 38:18-23.
එලිෂාගේ ජ්වලිතයෙන් සේවය කිරීම
16, 17. (අ) එලිෂා තම ජීවිතාන්තය දක්වාම ජ්වලිතව සිටි බව අපි දන්නේ කොහොමද? (ආ) සත්‍යය නමැති ඊගස්වලින් අපි කුමක් කළ යුතුද?
16 ‘යෙහෝවාගේ දවස’ සාතන්ගේ මුළුමහත් දුෂ්ට දේවල පිළිවෙළම අවසානයකට ගෙනෙන තෙක්, දෙවිගේ සේවකයන් එලිෂා මෙන් නිර්භීතව සහ ජ්වලිතව සිටින්න යනවා. එලියාගේ වැඩකාරයා වශයෙන් කළ වැඩයට අමතරව, එලිෂා යෙහෝවාගේ ප්‍රොපේතවරයා වශයෙන් තනිවම අවුරුදු 50කටත් වැඩිය සේවය කළා! එමෙන්ම තම දිගු ජීවිතයේ අන්තිමය දක්වාම එලිෂා ජ්වලිතව සිටියා. එලිෂාගේ මරණයට මදක් කලින් යේහුගේ මුනුපුරා වූ යෝවාෂ් රජු ඔහුව බැහැදකින්න පැමිණියා. කවුළුවෙන් පිටතට ඊගසක් විදින්න කියා එලිෂා ඔහුට කිව්වා. ඊගස එහි ඉලක්කය කරා වේගයෙන් ඇදී ගිය අතර, එලිෂා මෙසේ මොරගැසුවා: “[යෙහෝවාගේ] ජය ඊගසය; එනම් සිරියවරුන්ගෙන් ජයගැනීමේ ඊගසය. නුඹ සිරියවරුන් නැතිකරන තුරු අපෙක්හිදී ඔවුන්ට පහර දෙන්නෙහිය.” ඊළඟට එලිෂාගේ ඉල්ලීම පරිදි යෝවාෂ් තම ඊගස්වලින් බිමට ගැසුවා. එනමුත් බිමට ගැසුවේ තුන් වරක් පමණක් නිසා ඔහු එය කළේ ජ්වලිතයේ ඌනතාවකින්. ඊළඟට එලිෂා කිව්වේ, එහි ප්‍රතිඵලයක් වශයෙන් යෝවාෂ්ට සිරියාවට එරෙහිව ලැබෙන්නේ ජයග්රහණයන් තුනක් පමණක් බවයි; සිදු වුණෙත් ඒ ටිකමයි. (2 රාජාවලිය 13:14-19, 25) යෝවාෂ් රජ, සම්පූර්ණයෙන්ම “විනාශවන තුරු” සිරියවරුන්ට පහර දුන්නේ නැහැ.
17 කොහොම නමුත්, එලිෂාට සමාන ජ්වලිතයකින් ආලේප ලත් ඉතිරි කොටස බොරු නමස්කාරයට එරෙහිව අත්හරින්නේ නැතුව පහර එල්ල කරනවා. භූමික බලාපොරොත්තුව ඇති ඔවුන්ගේ සහයකයන් ඒ දේම කරමින් සිටිනවා. එපමණක්ද නොව ‘යෙහෝවාගේ දවසින්’ බේරී ජීවත් වීමට බලාපොරොත්තු වන සියලුදෙනාම, බිමට ගැසීම ගැන ජ්වලිත එලිෂා පැවසූ වදන් මනසෙහි තබාගත්තොත් හොඳයි. අපි සත්‍යතාවේ ඊගස් ගෙන, ඒවාවලින් නැවත නැවතත් පහර ගසමු. ඔව් ඒවා යොදාගනිමින් කරන වැඩය නිම වී තිබෙනවා කියා යෙහෝවා කියන තාක් කල් එසේ කරමු.
18. දෙවන පේතෘස් 3:11, 12හි [NW] වදන්වලට අපි ප්‍රතිචාරය දැක්විය යුත්තේ කොහොමද?
18 ‘යෙහෝවාගේ දවස’ ළඟදීම වර්තමාන දුෂ්ට දේවල පිළිවෙළ අවසන් කරන්න යනවා. එමනිසා ප්‍රේරිත පේතෘස්ගේ දිරිගන්වන වදන්වලින් ලැබෙන පෙලඹීමට අවනත වෙමු. පේතෘස් මෙසේ උනන්දුවෙන් ප්‍රකාශ කළා: “මේ සියලු දේවල් මෙසේ අහෝසි කරනු ලැබීමට යන බැවින්, යෙහෝවාගේ දවසේ පැමිණතිබීම බලාසිටිමින්, එය මනසෙහි ප්රමුඛව තබාගනිමින්, ශුද්ධ වූ හැසිරීමේ කටයුතුවල සහ දේවභක්තියේ ක්‍රියා ඇතුව ඔබ කවර ආකාරයේ පුද්ගලයන් විය යුතුද!” (2 පේතෘස් 3:11, 12, NW) යේසුස් ක්‍රිස්තුස් තුළින් ප්‍රකාශ වන දෙවිගේ කෝපය නමැති ගින්නෙන් මෙම පිළිවෙළේ සෑම අංගයක්ම අහෝසි වන විට, ගැළවෙන්නේ අවංක හැසිරීමේ සහ දේවභක්තියේ වාර්තාවක් තිබෙන අය පමණයි. සදාචාර සහ ආත්මික නිර්මලකම අත්‍යවශ්‍යයි. සෙසු මනුෂ්‍යයන් සඳහා ප්‍රේමය පෙන්වීමත් අවශ්‍යයි; විශේෂයෙන්ම අපේ ක්‍රිස්තියානි දේවසේවය තුළින් ආත්මික ආකාරයකින් ඔවුන්ගේ අවශ්‍යතාවලට ප්‍රතිචාරය දැක්වීමෙන් එය පෙන්නුම් කරනු ලබනවා.
19. ‘යෙහෝවාගේ දවසින්’ බේරී ජීවත් වීමට නම් අපි කුමක් කළ යුතුද?
19 ඔබේ වචන සහ ක්‍රියා ඔබව දෙවිගේ විශ්වාසවන්ත ජ්වලිත සේවකයෙකු බවට හඳුන්වා දෙනවාද? එය සැබෑවක් නම්, දෙවිගේ පොරොන්දු වූ නව ලොව තුළට ‘යෙහෝවාගේ දවසින්’ බේරී ජීවත් වීමේ බලාපොරොත්තුව තබාගන්න ඔබට පුළුවන්. ඔව්, ෂුනෙම්මිය යුවළ එලිෂාට ආගන්තුක සත්කාරශීලී වුණාක් මෙන්, ක්‍රිස්තුස්ගේ ආත්මික සහෝදරයන් ඔහුගේ අනුගාමිකයන් වන නිසා, ඔවුන්ට යහපත කළොත් බේරී ජීවත් වීම ඔබේ අද්දැකීම විය හැකියි. බේරී ජීවත් වීමට නම්, ඔබ දිව්‍යමය උපදෙස් නිහතමානීව පිළිගෙන යෙහෝවාගේ නමස්කාරකයෙකු වුණ නාමන්ටත් සමාන විය යුතුයි. භූමික පාරාදීසයක සදාකල් ජීවත් වීම ඔබේ දැඩි ආශාව නම්, යෙහෝනාදාබ් කළාක් මෙන් සැබෑ නමස්කාරය උදෙසා හෘදයාංගම අනුබල දීමක් ඔබ නිරූපණය කළ යුතුයි. එවිට: “මාගේ [පියාගෙන්] ආශීර්වාදලත්තෙනි, එන්න, ලෝකය පටන්ගැන්මේ සිට නුඹලාට සූදානම්කර තිබෙන රාජ්‍යය උරුම කරගන්න” කියන යේසුගේ වදන්වල ඉටුවීම ළඟදීම අද්දැකීමට යන යෙහෝවාගේ විශ්වාසවන්ත සේවකයන් අතර සිටින්න ඔබටත් වරම් ලැබිය හැකියි.—මතෙව් 25:34.
[පාදසටහන්වල]
a Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත “ඔබේ නාමය විශුද්ධ කරනු ලැබේවා” යන පොතෙහි (ඉංග්‍රීසියෙන්) 18 සහ 19 පරිච්ඡේද බලන්න.
b Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත එළිදරව්ව එහි උදාර උච්චාවස්ථාව අත ළඟ ය! පිටු 254-6 බලන්න.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
◻ ‘යෙහෝවාගේ දවසින්’ බේරී ජීවත් වීමට අවශ්‍ය වන ගුණාංග සමහරක් මොනවාද?
◻ එලිෂාගේ දවසේ විසූ ෂුනෙම්මිය යුවළ තැබුවේ මොන වගේ ආදර්ශයක්ද?
◻ නාමන්ගෙන් කවර පාඩමක් ඉගෙනගත හැකිද?
◻ යෙහෝනාදාබ්ගේ ආදර්ශය අනුගමනය කරන්න අපිට පුළුවන් වෙන්නේ කොහොමද?
◻ දෙවන පේතෘස් 3:11, 12 [NW] අපිට බලපෑ යුත්තේ කොහොමද?