පූර්ණ-කාලීන සේවයේදී ප්‍රීතිය පවත්වාගන්න අයුරු
බයිබල් අනාවැකිවල ඉටුවීමෙන් පැහැදිලිවම පෙන්නුම් කරන්නේ, අපි මේ අදේව පිළිවෙළේ අවසාන දවස්වල ජීවත් වන බවයි. මේ ගැන සාවධානව සිටින යෙහෝවා දෙවිගේ සේවකයන්, සාධාරණ ලෙස ඔවුන්ට හැකි තරම් කාලයක් ඔහුගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය පතළ කිරීමේ යෙදී සිටිනවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් 6,00,000කට වැඩි ගණනක් පූර්ණ-කාලීන සේවයේ සහභාගි වීමට හැකි වන පරිදි තම ජීවිත සකස් කරගෙන තිබෙනවා. ඔවුන්ගෙන් සමහරු පුරෝගාමීන් ලෙස හඳුන්වන පූර්ණ-කාලීන රාජ්‍ය ප්‍රචාරකයන්. වෙනත් අය වොච් ටවර් සමිතියේ මූලස්ථානවල හෝ එහි ශාඛා කාර්යාලවල බෙතෙල් ස්වේච්ඡා සේවකයන්. තවත් අය මිෂනාරිවරුන් සහ සංචාරක අවේක්ෂකයන්.
අන්තිම දවස්වලදී “කටයුතු කිරීමට අසීරු, අර්බුදකාරි කාලවල්” ඇති වෙයි කියා බයිබලය අඟවනවා. (2 තිමෝති 3:1-5) “බිහිසුණු නියම කරන ලද කාලවල්” ලෙස දැක්විය හැකි ප්‍රකාශයක් ග්‍රීක් බයිබල් පාඨයේ පාවිච්චි කරනවා. මෙබැවින්, අපේ දවසේදී කිසි කෙනෙක් කරදරවලින් නිදහස් කාලයක් අපේක්ෂා නොකළ යුතුයි. සමහර ක්‍රිස්තියානි දේවසේවකයන්ට ගැටලු ඒ තරම්ම බරපතළ බව පෙනෙන්ට තිබෙන බැවින් ඔවුන් ඔවුන්ගෙන්ම මෙසේ ඇසිය හැකියි, ‘මට දිගටම පූර්ණ-කාලීන සේවයේ යෙදිය හැකිද නැත්නම් මම නැවැත්විය යුතුද?’
පුරෝගාමියෙක්, බෙතෙල් ස්වේච්ඡා සේවකයෙක්, සංචාරක අවේක්ෂකයෙක් හෝ මිෂනාරිවරයෙක් වශයෙන් තම තත්වය යළි තක්සේරු කර බැලීමට කෙනෙකුට කුමන තත්වයන් හේතු කරවිය හැකිද? බරපතළ සෞඛ්‍ය ගැටලුවක් පවතිනවා වෙන්න පුළුවන්. සමහරවිට මහලු හෝ දුබල නෑයෙකුට නිරතුරු සැලකිල්ල අවශ්‍ය විය හැකියි. විවාහක යුවළක් පවුලක් ගොඩනඟන්න පටන්ගන්නවා වෙන්නත් පුළුවන්. එවැනි හේතු නිසාත්, ශුද්ධ ලියවිලිමය වගකීම් නිසාත් පූර්ණ-කාලීන සේවය නවත්වන ඕනෑම කෙනෙක්, එවැනි වෙනස්කමක් කිරීම ගැන චකිතයක් ඇති කර නොගත යුතුයි.
කොහොම නමුත්, ප්‍රීතිය අඩුවීම හේතුවෙන් පූර්ණ-කාලීන සේවය නවත්වන්න යමෙක් කල්පනා කරනවා නම් කුමක් කිව හැකිද? සමහරවිට තම දේවසේවයේදී සුළු ප්‍රතිචාරයක් ලැබෙන බව දකින පුරෝගාමියෙක් ‘බොහොම ටිකදෙනෙක් සවන් දෙන කොට මං මගේ ආත්ම-පරිත්‍යාගී ජීවන-රටාව දිගටම පවත්වගන්නේ මොකටද’ කියලා අහන්න පුළුවන්. බෙතෙල් ස්වේච්ඡා සේවකයෙක් තම පැවරුම ගැන ඒ තරම් සතුටට පත් නොවෙනවා වෙන්න පුළුවන්. එසේත් නැතහොත් කරදරකාරි රෝගී සෞඛ්‍යය, පුරෝගාමී සේවය නවතා නොදැමුවත් අන්තිමේදී පුද්ගලයෙකුගේ සතුට නැති කර දමනවා වෙන්න පුළුවන්. එවැනි පුද්ගලයන්ට තම ප්‍රීතිය පවත්වාගන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඇතැම් පළපුරුදු දේවසේවකයන් පවසන දේ අපි සලකා බලමු.
අධෛර්යය වීම සමඟ සාර්ථකව කටයුතු කිරීම
ස්විට්සර්ලන්තයේ ආනි, 1950දී ගිලියද් මුරටැඹ බයිබල් පාසැලට සහභාගි වුණා. ඇය විදේශ රටක මිෂනාරි පැවරුමක් ලබාගැනීමට කැමැත්තෙන් සිටියා. යළිත් යුරෝපයේ බෙතෙල් වැඩයටම පැවරුම ලැබුණහම, ආනි අධෛර්යයට පත් වුණා. කෙසේනමුත්, පරිවර්තන අංශයේ තම පැවරුම පිළිගත් ඇය තවමත් එම වැඩයම කරමින් සිටිනවා. ඇය ඇගේ අධෛර්යය වීමෙන් ගොඩ ආවේ කොහොමද? “කරන්න වැඩ ගොඩක් තිබුණා; තවමත් තියෙනවා. මගේ හැඟීම්, මගේ මනාපයන්, වැඩ තරම්ම වැදගත් නෑ” කියා ආනි පැහැදිලි කරයි.
අපේ පැවරුම සම්බන්ධයෙන් අපි අධෛර්යයට පත්ව සිටිනවා නම්, සමහරවිට අපිට ආනිගේ ආකල්පය වර්ධනය කරගත හැකියි. අපේ පෞද්ගලික මනාපය හැම දේටම ප්‍රථමයෙන් වැදගත් දේ නෙවෙයි. වඩා වැදගත්ම කාරණය වන්නේ රාජ්‍ය පණිවිඩය ප්‍රචාරය කිරීම හා සම්බන්ධව තිබෙන සියලු විවිධ වගකීම් හොඳින්-පාලනය වෙනවාද යන්නයි. “සියලු වැඩවලින් ලාභ උපදියි” කියා හිතෝපදේශ 14:23 අපට පවසයි. අපට ලැබී තිබෙන පැවරුම කුමක් වුණත්, විශ්වාසවන්තව එය කරගෙන යෑම රාජ්‍ය වැඩය සම්පූර්ණ කිරීමට දායක වෙනවා. තවද දෙවි-දුන් එවන් වැඩයකින් විශාල තෘප්තියක්—ඔව්, ප්‍රීතියක් ලැබිය හැකියි.—1 කොරින්ති 12:18, 27, 28 සසඳන්න.
අන්‍යයන් සමඟ පෑහී සිටීම
පූර්ණ-කාලීන සේවයේදී—එනම් ක්ෂේත්‍ර දේවසේවයේදී, බෙතෙල්හිදී, මිෂනාරි නිවසකදී නැතහොත් සංචාරක අවේක්ෂකයෙකු වශයෙන් එක සභාවකින් තවත් එකකට බැහැදකින්න යන විට හැම වර්ගයකම ජනයා සමඟ කිට්ටු සබඳකම් පවත්වන්න සිදු වෙනවා. මේ හේතුවෙන්, සෑහෙන දුරකට ප්‍රීතිය රඳාපවතින්නේ අන්‍යයන් සමඟ හොඳින් පෑහී සිටීම මතයි. කෙසේනමුත්, මේ අන්තිම දවස් සඳහා පුරෝකථනය කරන ලද ‘බිහිසුණු කාලවල්’ මිනිස් සබඳතා පවත්වාගැනීම අසීරු කාර්යයක් කරවනවා. තමාව කවරෙකු හෝ සිත්තැවුලට පත් කර තිබෙන විටදී පවා දේවසේවකයෙකුට තම ප්‍රීතිය නැති වී යෑම වළක්වාගත හැක්කේ කෙසේද? සමහරවිට අපට විල්හෙල්ම්ගෙන් යමක් ඉගෙනගත හැකියි.
විල්හෙල්ම් 1947දී යුරෝපයේ බෙතෙල් පවුලක සාමාජිකයෙක් බවට පත් වුණා. ඉන්පසු, ඔහු පුරෝගාමී වැඩයෙහි සහ සංචාරක අවේක්ෂකයෙකු වශයෙන් වූ සේවයෙහි කාලය ගත කළා. “යම් දේවල් අපි හිතන විදිහට හරි නැහැයි කියලා මගේ භාර්යාවටයි මටයි පෙනෙන කොට, නැත්නම් ඒක අපිව පෞද්ගලිකව කනස්සල්ලට පත් කරන කොට, අපිට හැඟෙන විදිහ ගැන අපි යෙහෝවාට කියනවා; ඊට පස්සේ ඒවා විසඳන්න අපි ඔහුට භාර දෙනවා” කියා විල්හෙල්ම් පැහැදිලි කරනවා.—ගීතාවලිය 37:5.
අගෞරවනීය ලෙස හෝ කල්පනා නොකර ඔබට කතා කළ සෙසු ක්‍රිස්තියානියෙකුගේ හැසිරීමෙන් සමහරවිට ඔබම කරදරයට පත් වී සිටිනවා වෙන්න පුළුවන්. අපේ කතාවේදී අපි සියලුදෙනාම බොහෝ වර පැකිලෙන බව මතක තබාගන්න. (යාකොබ් 3:2) එබැවින් “යාච්ඤා අසන [තැනැත්තාට]” ළංවීමට මේ තත්වය යොදා නොගන්නේ ඇයි? (ගීතාවලිය 65:2) කාරණය ගැන යෙහෝවාට කතා කර, ඉන්පසු එය ඔහුගේ හස්තයට භාර කරන්න. දෙවි වෙනස්කම් සිදු කිරීමට කැමති නම්, ඔහු එසේ කරාවි. මිෂනාරි නිවසක ජීවත් වන්නන්ට එවැනි ආකාරයේ දැඩි පීඩනයක් වර්ධනය වී තිබෙනවා නම් මෙය මතක තබාගැනීම අවශ්‍ය විය හැකියි; යෙහෝවාගේ සේවයෙහි තම ප්‍රීතිය පවත්වාගැනීමට මෙය ඔවුන්ට උපකාරවත් වෙනවා.
දුර්වල සෞඛ්‍යයක් තිබෙන විට
නිරතුරුවම හොඳ සෞඛ්‍යයක් භුක්ති විඳින්නේ ස්වල්පදෙනායි. එවැනි සෞඛ්‍යසම්පන්න ජීවිතයක් තිබෙන අය පවා කනස්සල්ලෙන් හෝ රෝගවලින් පීඩා විඳිය හැකියි. රෝගී සෞඛ්‍යය සමහරුන්ට පූර්ණ-කාලීන සේවය අත්හැර දමන්න සලස්වන නමුත්, රාජ්‍ය ප්‍රචාරකයන් වශයෙන් ඔවුන් ඉන්පසු විශිෂ්ට වැඩක් කරනවා. කෙසේවුවත්, දුර්වල සෞඛ්‍යය තිබුණත් පූර්ණ-කාලීන සේවය දිගටම කරගෙන යන්න වෙනත් අයට හැකියි. උදාහරණයක් වශයෙන්, හාට්මූට් සහ ගිස්ලින්ඩ් ගැන සලකා බලන්න.
හාට්මූට් සහ ගිස්ලින්ඩ් පුරෝගාමීන්, මිෂනාරිවරුන් වශයෙන් මෙන්ම සංචාරක වැඩෙහි අවුරුදු 30ක් ගත කර තිබෙන විවාහක යුවළක්. මේ දෙදෙනාම ශාරීරිකව හා චිත්තවේගීයව පහත් අඩියකට වට්ටවන්න සැලැස්සූ බරපතළ රෝග ගණනාවක් විඳ තිබෙනවා. කෙසේනමුත්, ඔවුන් විශිෂ්ට වැඩක් කර තිබෙන අතර, එවැනිම පීඩා අද්දකින අනිත් අයව දිරිගන්වන්න හැකි වී තිබෙනවා. ඔවුන් ඉදිරිපත් කරන්නේ මොන උපදෙසද? “අතීතය දිහා නෙවෙයි අනාගතය දිහා බලා ඉන්න. හැම තත්වයකින්ම හොඳම දෙය නෙළාගන්න. යෙහෝවාට ප්‍රශංසා කිරීමට එක ප්‍රස්තාවක් හරි උදා කරන්න හැම දවසකටම පුළුවන්. ඒ ප්‍රස්තාව ප්‍රයෝජනයට අරගෙන, ඒක ප්‍රීතියෙන් භුක්ති විඳින්න.”
හානලෝරගේ සිද්ධිය සලකා බලන්න. පුරෝගාමියක, මිෂනාරිවරියක වශයෙන් හා ස්වාමිපුරුෂයා සමඟ සංචාරක වැඩයේ මෙන්ම බෙතෙල් සේවයේ යෙදුණු අවුරුදු 30ක කාලය තුළදී ඇය යළි යළිත් ඇති වුණු රෝගී තත්වයකින් කරදර වින්දා. හානලෝර මෙහෙම පවසනවා: “මිනිස්සු යෙහෝවාට සේවය කරන්නේ, ඔවුන්ට එහෙම කරන්න පහසු වෙලාවේදී පමණයි කියා සාතන් නැඟූ ප්රශ්නය ගැන මම නිතර කල්පනා කරනවා. පීඩා විඳදරාගැනීම මගින් සාතන් වැරදි බව ඔප්පු කිරීමේ පංගුකාරයෙක් වෙන්න මට පුළුවන්.” මෙය බලවත් පෙලඹීමක් විය හැකියි. පරීක්ෂා යටතේදී යෙහෝවාට ඔබේ පෞද්ගලික පක්ෂපාතකම වැදගත් බව මතක තබාගන්න.—යෝබ් 1:8-12; හිතෝපදේශ 27:11.
ඔබේ සෞඛ්‍යය සම්බන්ධයෙන් සමබර තීරණයක් ගන්න වෑයම් කරද්දී, දේවල පිළිවෙළේ නිමාව පිළිබඳ යේසුස් ක්‍රිස්තුස්ගේ අනාවැකියේ අංග ලක්ෂණ දෙකක් සලකා බලන්න. නොයෙක් තැන්වල වසංගත සිදු වන බව යේසු පුරෝකථනය කළා. ඔහු මෙසේද පැවසුවා: “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ජනාවාස පොළොව මුළුල්ලෙහි දේශනා කරනු ලබන්නේය.” (මතෙව් 24:3, 14, NW; ලූක් 21:11) අන්තිම දවස්වලදී තම අනුගාමිකයන් අසනීපයෙන් කරදර විඳියි කියා යේසු දැනගෙන හිටියා. නමුත් හොඳ සෞඛ්‍යයක් භුක්ති විඳින ජනයා පමණක් නොව, බරපතළ අසනීප අද්දකින පුද්ගලයන් පවා දේශනා වැඩය කරගෙන යා යුතු බව ඔහු වටහාගත්තා. රෝගී සෞඛ්‍ය තත්වයක් තිබියදීත් අපිට පූර්ණ-කාලීන සේවයේ දිගටම නිරත වෙන්න පුළුවන් නම්, යෙහෝවාගේ නාමය වෙනුවෙන් අපි දක්වන ප්‍රේමය ඔහු අමතක කරන්නේ නෑ.—හෙබ්‍රෙව් 6:10.
මහජන උදාසීනකම මැද ප්‍රීතිය පවත්වාගැනීම
ජනයා රාජ්‍ය-දේශනා වැඩයට ප්‍රතික්‍රියා කරන ආකාරය මගින් අපේ ආකල්පයට බලපෑමක් ඇති විය හැකියි. “පුරෝගාමීන්ට පවා ගෙවැසියෙක් එක්ක සංවාදයක් පටන්ගන්න අමාරුයි” කියා අද්දැකීම් ලත් දේවසේවකයෙක් ප්‍රකාශ කළා. “අපේ ප්‍රීතිය පවත්වාගන්න අපි හැමෝටම පරිශ්‍රමයක් දරන්න සිද්ධ වෙනවා.” ඔව්, මහජන උදාසීනකම ක්ෂේත්‍ර සේවයේදී අපේ ප්‍රීතිය නැති කර දැමිය හැකියි. නිතිපතා උදාසීනත්වයට මුහුණ දෙන පුරෝගාමියෙකුට තම ප්‍රීතිය පවත්වාගත හැකි වන්නේ කෙසේද? පළපුරුදු දේවසේවකයන්, අත්හදාබලා සාර්ථක ප්‍රතිඵල නෙළාගෙන තිබෙන මතු යෝජනා ඉදිරිපත් කරයි.
උදාසීනකම අභියෝගයක් ඉදිරිපත් කරන නමුත් ඉන් පරාජයක් අදහස් වන්නේ නෑ. පූර්ණ-කාලීන සේවය නවතා දමන්න පැතිර පවතින උදාසීනකම පමණක්ම හේතුවක් නොවේ. ශුද්ධ ලියවිලි උද්යෝගයෙන් පාඩම් කිරීමට ප්‍රමාණවත් කාලයක් වෙන් කරනවා නම්, උදාසීනකම හමුවේ අපේ ප්‍රීතිය පවත්වාගන්න අපිට පුළුවන්. ‘සෑම යහපත් වැඩක් සඳහාම අපිව සන්නද්ධ කරන්න’ ඒවාට හැකි අතර, ශුභාරංචියට කන් වසාගන්නන්ට කතා කිරීමත් ඊට ඇතුළත් වෙනවා. (2 තිමෝති 3:16) යෙරෙමියාට සවන් දෙන්න ජනයාට වුවමනාවක් නොතිබුණත්, එය ඔහුව නැවැත්තුවේ නෑ. (යෙරෙමියා 7:27) ක්‍රිස්තියානි ප්රකාශනවල උපකාරයෙන් බයිබලය පාඩම් කරන කොට, අපේ ඇදහිල්ල ශක්තිමත් කරන මෙන්ම උදාසීනකම සමඟ කටයුතු කිරීමට අපට උපකාර කරන සිතුවිලි ගැන සැලකිලිමත් වෙනවා නම් අපිට ඉමහත් ආශීර්වාද ලබාගත හැකියි.
උදාසීනකම කියන එක අභියෝගයක්ය යන සත්‍යය පිළිගනිමින් අපි දේශනා කරන අය කෙරෙහි තිබෙන අපේ ආකල්පය ගැන විමසා බලමු. ඔවුන් උදාසීනත්වයක් දක්වන්නේ ඇයි? නිදසුනකට, යුරෝපයේ සමහර ප්‍රදේශවල පැතිර පවතින උදාසීනකම සඳහා එක හේතුවක් වන්නේ, බොරු ආගම පිළිබඳ නින්දිත වාර්තාවයි. ආගමට තම ජීවිතයේ තැනක් තිබෙන බව ජනයාට තවදුරට හැඟෙන්නේවත්, ඒ ආගම සම්බන්ධයෙන් යමක් කරන්න ඔවුන්ට උවමනාවක්වත් නෑ. ජනයාට බලපාන විරැකියාව, සෞඛ්‍යය, අපරාධ, නුරුස්සනගතිය, පරිසරය සහ යුධ තර්ජනය වැනි දේවල් ගැන ඔවුන් සමඟ කතා කිරීමට අපි නම්‍යසුලු වෙන්න අවශ්‍යයි.
ගෙවැසියෙකුට අපේ ආරම්භක වචන වශයෙන් ප්‍රදේශයට අනුව උනන්දුව ඇති කරවන දෙයක් සඳහන් කළ හැකියි. සුළු සාර්ථකත්වයක් ලබාගත් ගමක දේශනා කරමින් සිටියදී ඩිට්මා වෑයම් කළේ ඒක කරන්නයි. ඊට දවසකට පෙර ගමේ ඛේදවාචකයක් ඇති වුණ බව එක නිවැසියෙක් සඳහන් කළා. ඉන්පසු හැම නිවසකදීම ඩිට්මා ඛේදවාචකය ගැන අවංක පසුතැවිල්ලක් ප්‍රකාශ කළා. “හදිසියේම, ජනයා කතා කරන්න පටන්ගත්තා” කියා ඔහු පැවසුවා. “ඛේදවාචකය හැමෝගෙම මනසේ රැඳිලා තිබුණා. මම ඔවුන්ගේ ජීවිත කෙරෙහි උනන්දුවක් දැක්වුව නිසා මට කදිම සාකච්ඡාවන් ගොඩක් ඇති කරගන්න පුළුවන් වුණා.”
අපිට ජනයා මුණගැහෙන ඕනෑම තැනකදී ඔවුන්ට රාජ්‍ය සාක්ෂියක් දිය යුතුයි. අවිධිමත් සාක්ෂිදැරීම ඵලදායී විය හැකි අතර, බයිබලය මත පදනම් ප්රකාශනවල ඉදිරිපත් කර ඇති යෝජනා යොදාගනිමින් මේ ක්‍රියාකාරකමේදී අපට අපවම පුහුණු කළ හැකියි. මිත්‍රශීලී වචන කීපයකින් හෝ ගෙවැසියා වෙත මුරටැඹ හා පිබිදෙව්! පිටපත් තැබීමෙන් ප්‍රීතිය ඇති විය හැකියි. නැවත බැලීම් කර, උනන්දුමත් පුද්ගලයෙකු සමඟ අපි බයිබල් පාඩමක් පටන්ගෙන තිබෙනවා නම්, මෙසේ ඇසීමෙන් මෙවැනි යොමු දැක්වීමක් කරන්න අපිට පුළුවන්: “බයිබලය පාඩම් කරන්න කැමති, ඔයා දන්න වෙන කවුරුහරි ඉන්නවද?” මෙය තවත් බයිබල් පාඩමක් පටන්ගැනීමට මඟ පෑදිය හැකියි. කොහොම වුණත්, අපව අධෛර්යයට පත් කරන්න උදාසීනකමට ඉඩ නොදී යෙහෝවා මත යාච්ඤාපූර්වකව රඳාපැවතෙමින් අපි ඒකාන්තව සිටිමු.
අන්‍යයන්ගෙන් දිරිගැන්වීමක්
ජූර්ගන් සහ ක්‍රිස්ටියා අවුරුදු 30කට වැඩි කාලයක් පුරා පුරෝගාමී සේවයේ හා සංචාරක වැඩයේ යෙදී තිබෙනවා. වැඩිදෙනෙක් උදාසීනකම හා මුරණ්ඩුකම දක්වන ප්‍රදේශයක දේශනා කරන්න ඔවුන්ට වතාවක් පැවරුමක් ලැබී තිබුණා. ජූර්ගන් සහ ඔහුගේ භාර්යාව යම් දිරිගැන්වීමක් සඳහා කොයිතරම් ආශාවෙන් සිටියාද! එහෙත් මොකක් හරි හේතුවක් නිසා, සභාවේ සිටි අනිත් අය ඔවුන්ගේ අවශ්‍යතාවට ප්‍රතිචාරය දැක්වූවේ නෑ.
එබැවින් අද්දැකීමෙන් ජූර්ගන් දන්නවා “සමහර පුරෝගාමීන්ට දුෂ්කර කාලයක් තිබෙන බව. ඔවුන්ට වැඩිමහල්ලන්ගෙන් සහ වෙනත් ප්‍රචාරකයන්ගෙන් වැඩි දිරිගැන්වීමක් අවශ්‍යයි.” යෝෂුවාව දිරිගන්වන්න හා ශක්තිමත් කරන්න කියා මෝසෙස්ට දෙවි කිව්වා. (ද්විතීය කථාව 3:26-28) තවද ක්‍රිස්තියානීන්, එකිනෙකාට දිරිගැන්වීමේ මූලාශ්රයන් විය යුතුයි. (රෝම 1:11, 12) ගොඩනංවනසුලු වචනවලින් සහ කලින් කලට ඔවුන් සමඟ දේවසේවයේ යෙදීමෙන් රාජ්‍ය ප්‍රචාරකයන්ට පූර්ණ-කාලීන සේවයේ යෙදෙන්නන්ව දිරිගැන්විය හැකියි.
යෙහෝවා පිළිබඳ ප්‍රීතිය—අපේ බලකොටුවයි
පුරෝගාමීන් හෝ මිෂනාරිවරුන් වශයෙන් මෙන්ම බෙතෙල්හි සේවය කරමින් හෝ සංචාරක වැඩයේ යෙදී සභාවලට යමින් තම ජීවිතවලින් වැඩි හරියක් ගත කර තිබෙන ක්‍රිස්තියානීන්, ගැටලුවලින් වැඩි හරියක් කෙටි කාලීන නමුත් සමහර ඒවා දීර්ඝ කාලයක් පවතින බව සොයාගෙන තිබෙනවා. කවදාවත් නැති වී නොයයි කියා පෙනෙන ගැටලු ස්වල්පය පවා අපේ ප්‍රීතිය අපෙන් සොරාගත යුතු නෑ. ගැටලු අපිව දුකට පත් කර තිබෙන ඕනෑම වෙලාවක “අපිට තිබෙන බොහෝ ආශීර්වාද ගැනත්, ඊටත් වඩා වැඩි අමාරුකම් විඳලා තියෙන දහස් ගණන් වෙනත් අය ගැනත් හිතලා බැලිය” යුතුයි කියා අවුරුදු 45කට වැඩි කාලයක් පුරා විදේශ පැවරුමක සේවය කර තිබෙන රේමන් අදහසක් ඉදිරිපත් කරනවා. ඇත්තෙන්ම, ලොව පුරා අපේ සෙසු ඇදහිලිවන්තයන් දුක් වේදනා අද්දැක තිබෙන අතර යෙහෝවා ඇත්තෙන්ම අප සියල්ලන් ගැනම සැලකිලිමත් වෙනවා.—1 පේතෘස් 5:6-9.
එහෙමනම්, පූර්ණ-කාලීන සේවයේ යෙදෙමින්, එහි රැඳී ඉන්න අපේ පෞද්ගලික තත්වයන් අපට අවසර දෙනවා නම්, අපේ ස්වර්ගික පියා මත රඳා සිටිමින් අපේ ප්‍රීතිය අපි පවත්වාගනිමු. ඔහු ඔහුගේ සේවකයන්ව ශක්තිමත් කරද්දී, ‘යෙහෝවාගේ ප්‍රීතිය අපේ බලකොටුව’ බව අප හැමදෙනාම මතක තබාගත යුතුයි.—නෙහෙමියා 8:10.
[21වන පිටුවේ පින්තූරය]
“මගේ හැඟීම්, මගේ මනාපයන්, වැඩ තරම්ම වැදගත් නෑ”
[22වන පිටුවේ පින්තූරය]
“අපිට හැඟෙන විදිහ ගැන අපි යෙහෝවාට කියනවා; ඊට පස්සේ ඒවා විසඳන්න අපි ඔහුට භාර දෙනවා”
[23වන පිටුවේ පින්තූර]
“හැම තත්වයකින්ම හොඳම දෙය නෙළාගන්න. යෙහෝවාට ප්‍රශංසා කිරීමට එක ප්‍රස්තාවක් හරි උදා කරන්න හැම දවසකටම පුළුවන්”
[23වන පිටුවේ පින්තූරය]
“පීඩා විඳදරාගැනීම මගින් සාතන් වැරදි බව ඔප්පු කිරීමේ පංගුකාරයෙක් වෙන්න මට පුළුවන්”
[24වන පිටුවේ පින්තූර]
‘සමහර පුරෝගාමීන්ට දුෂ්කර කාලයක් තිබෙනවා. ඔවුන්ට වැඩිමහල්ලන්ගෙන් සහ වෙනත් ප්‍රචාරකයන්ගෙන් වැඩි දිරිගැන්වීමක් අවශ්‍යයි’
[24වන පිටුවේ පින්තූරය]
‘අපිට තිබෙන බොහෝ ආශීර්වාද ගැන අපි හිතලා බැලිය යුතුයි’