මහත් පීඩාවෙන් ගැළවී ජීවත්වීම
“මොව්හු මහත් පීඩා[ව] මැදින් එන්නෝය, ඔව්හු තමුන්ගේ සළු බැටළුපැටවාණන්ගේ ලෙයින් සෝදා සුදුකරගත්තෝය.”—එළිදරව් 7:14.
1. භූමික නැවත නැගිටීමේදී, නැවත නැගිටුවනු ලබන අයව පිළිගනු ඇත්තේ කවරහුද?
ගණන් කළ නොහැකි මිලියන ගණනක්, ‘ධර්මිෂ්ඨයන්ගේද අධර්මිෂ්ඨයන්ගේද නැවත නැගිටීමක්’ තුළ උත්ථාන කරනු ලැබූ විට, ඔවුන්ව නැවත ගෙනෙනු ලබන්නේ හිස් පොළොවක් මත ජීවිතයකට නොවේ. (ක්‍රියා 24:15) අලංකාරයෙන් ඔප්නැංවුණු වටපිටාවක් තුළ පිබිදෙනු ඇති ඔවුන්, තමන් සඳහා නවාතැන්, ඇඳුම් සහ බහුල ආහාර පිළියෙළ කරනු ලැබ ඇති බව දැකගන්නවා ඇත. මෙම සියලු සූදානම් කිරීම් කරනු ඇත්තේ කවුරුන්ද? භූමික නැවත නැගිටීම ආරම්භ වීමට පෙර, නව ලෝකය තුළ ජනයා ජීවත්ව සිටින්ට යන බව පැහැදිලිය. කවරහුද? ඒ වනාහි පැමිණෙන මහත් පීඩාවෙන් ගැළවී ජීවත්වන අය බව බයිබලය අඟවයි. සියලුම බයිබල් ඉගැන්වීම් අතුරින්, මේ වනාහි වඩාත් චමත්කාරජනක ඉගැන්වීම්වලින් එකකි—එනම්, ඇතැම් ඇදහිලිවන්තයන් මහත් පීඩාවෙන් ගැළවී ජීවත්වනු ඇති බවත්, එමෙන්ම ඔවුන් කිසිදා මිය නොයනු ඇති බවත්ය. මෙම බලාපොරොත්තුව ශුද්ධ ලියවිලි තුළ මැනවින් ස්ථාපිත කොට තිබේ.
නෝවාගේ දවස් මෙන්
2, 3. (අ) නෝවාගේ දවස් හා අපේ කාලය අතර, කිනම් සමානකම් දක්නට තිබේද? (ආ) නෝවා සහ ඔහුගේ පවුල ජලගැල්ම තුළින් බේරී ජීවත්වීම මගින් කුමක් ඇඟවේද?
2 මතෙව් 24:37-39හි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, නෝවාගේ දවස් හා අප දැන් ජීවත්වෙමින් සිටින අන්තිම දවස් අතර සන්සන්දනයක් කළසේක. උන්වහන්සේ මෙසේ පැවසූසේක: “නෝවාගේ දවස් මෙන් මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් [පැමිණ සිටීමත්, NW] වන්නේය. මක්නිසාද ජලගැලීමට පළමු දවස්වලදී, නෝවා නැවට ඇතුල්වූ දවස දක්වා, ඔව්හු කමින් බොමින්, සරණපාවාගනිමින්, සරණපාවාදෙමින් සිටියෝය. ජලගැල්ම පැමිණ සියල්ලන්ම ගසාගෙන යනතුරු ඔව්හු නොදැන සිටියෝය; මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් [පැමිණ සිටීමත්, NW] එලෙසම වන්නේය.”
3 දෙවියන්වහන්සේගේ අනතුරු ඇඟවීමේ පණිවුඩයට අවධානය යොමු නොකළ සියල්ලන්වම සමස්ත ලෝක ජලගැල්මෙන් ඉවතට ගසාගෙන යන ලදි. එහෙත්, එමගින් නෝවා සහ ඔහුගේ පවුලේ අයව ඉවතට ගසාගෙන ගියේ නැත. යේසුස්වහන්සේ පැවසුවාක් මෙන්, ඔවුහු “නැවට ඇතුල්වූ[හ].” ඔවුන්ගේ දේව භක්තිය නිසා, යෙහෝවඃවහන්සේ ඔවුන්ට බේරීම සඳහා මාර්ගයක් සැපයූසේක. දෙවන පේතෘස් 2:5, 9අ සහ 10ආ හි, නෝවා සහ ඔහුගේ පවුලේ අය බේරී ජීවත්වීම ගැන මෙසේ යොමු දැක්වේ: “උන්වහන්සේ [දෙවියන්වහන්සේ] අභක්තීන්ගේ ලෝකය පිට ජලගැලීමක් පැමිණෙවූ කල, පුරාණ ලෝකය ඉතිරි නොකොට ධර්මිෂ්ඨකමේ දේශනාකාරයෙක්වූ නෝවා තවත් සත්දෙනෙකුත් සමඟ ආරක්ෂාකළසේක් නම්, භක්තිවන්තයන් පරීක්ෂාවෙන් ගළවන්ටත් . . . ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] දන්නාසේක.” ජනයා සාමාන්‍යයෙන් දෙවියන්වහන්සේගේ අනතුරු ඇඟවීමට අවනත නොවනු ඇති බව පෙන්වීමට යේසුස්වහන්සේ නෝවාගේ දවස් සහ අන්තිම දවස් අතර සමාන්තරයක් කළසේක. කෙසේවෙතත්, එසේ කිරීමේදී, නෝවා සහ ඔහුගේ පවුලේ අය යෙහෝවඃ දෙවියන්වහන්සේට කීකරු වූ බවත්, නැවට ඇතුළු වී මහා ජලගැල්මෙන් බේරී ජීවත්වුණු බවත්, ඔහු සනාථ කළේය. නෝවා සහ ඔහුගේ පවුල බේරී ජීවත්වීම මෙම ලෝකයේ අවසානයේදී දෙවියන්වහන්සේගේ ඇදහිලිවන්ත සේවකයන්ගේ බේරී ජීවත්වීමට යොමුදක්වයි.
පළමු-සියවසේ රටාවක්
4. යේසුස්වහන්සේගේ වචන ඉටු කරමින්, පො.යු. 70දී යෙරුසලමේ විනාශයට තුඩු දුන්නේ කිනම් සිද්ධීන්ද?
4 යේසුස්වහන්සේ, මේ ලෝකයේ අවසානයේ සිදුවීමට නියමිත සිද්ධීන් ගැනද කථා කළසේක. මතෙව් 24:21, 22හි අපට මෙසේ කියවීමට තිබේ: “ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නූණාවූ, මතු කොයිකලෙකවත් නොවන්නාවූ මහත් පීඩාවක් ඒ කාලයෙහි වන්නේය. ඒ දවස් ලුහුඬු නොකරනලද්දේවීනම් කිසි කෙනෙක් නොගැළවෙන්නේය. නුමුත් තෝරාගනු ලැබූවන් උදෙසා ඒ දවස් ලුහුඬුකරනු ලබන්නේය.” මෙම වදන්වලට ප්‍රාථමික ඉටුවීමක් තිබුණේ අපගේ පොදු යුගයේ පළමුවන සියවසේදීය. පොදු යුගයේ 66දී, සෙස්ටියස් ගැලස් යටතේ රෝම හමුදා විසින් යෙරුසලම් නගරය වටලනු ලැබිණි. රෝම භට කණ්ඩායම් දේව මාළිගාවේ තාප්පය බිඳහෙළීමේ තත්ත්වයට පැමිණි අතර, බොහෝ යුදෙව්වෝ යටත්වීමට සූදානමින් සිටියහ. කෙසේවුවද, අනපේක්ෂිත ලෙස, පෙනෙන්ට නොතිබූ යම් හේතුවක් නිසා, සෙස්ටියස් ගැලස් ඔහුගේ භට කණ්ඩායම් නැවත ඉවත් කරගත්තේය. රෝම හමුදා ඉවත්වී යනවා දුටු ක්‍රිස්තියානීහු, මීට අවුරුදු ගණනාවකට පෙර යේසුස්වහන්සේ පැවසූ මෙම වචනවලට එකඟව ක්‍රියා කළහ: “එහෙත් යම් කලක සේනාවන් විසින් යෙරුසලම වටලා සිටිනවා නුඹලා දකින්නහුද, එකල එහි විනාශය ආසන්න බව දැනගනිල්ලා. එකල යුදයෙහි සිටින්නෝ කඳුවලට පලායත්වා; එහි තුළ සිටින්නෝ පිටතට යත්වා; ගම්බද සිටින්නෝ එහි ඇතුල් නොවෙත්වා.” (ලූක් 21:20, 21) ක්‍රිස්තියානීන් බවට පත්වූ යුදෙව්වෝ, එනම් තෝරාගත් අය, විනාශයට ගොදුරුවීමට නියම වූ යෙරුසලම් නගරය සැණකින් අත්හැර දමා ගිය අතර, වැඩිකල් යන්ට මත්තෙන් මෙමගින් පැමිණි භයානක විනාශයෙන් ගැළවුණෝය. පොදු යුගයේ 70දී, රෝම යුධ සේනාවෝ ජෙනරාල් ටයිටස් යටතේ නැවත පැමිණියෝය. ඔවුහු යෙරුසලම වටලා එය සහමුලින්ම විනාශ කර දැමූහ.
5. පොදු යුගයේ 70දී යෙරුසලම මත පීඩාව ලුහුඬු කරන ලද්දේ කිනම් අර්ථයෙන්ද?
5 එහිදී යුදෙව්වන් 11,00,000ක් පමණ මියගිය බවත්, 97,000ක් පමණ බේරුණු නමුත් වහල්භාවයට රැගෙන යනු ලැබූ බවත්, යුදෙව් ඉතිහාසඥ ජොසීෆස් සඳහන් කරයි. එලෙස බේරුණු ක්‍රිස්තියානි නොවන යුදෙව්වන් වනාහි සහතික ලෙසම, යේසුස්වහන්සේගේ අනාවැකියේ “තෝරාගනු ලැබූවන්” වූයේ නැත. කැරලිකාර යුදෙව් ජාතියට කථා කරමින්, යේසුස්වහන්සේ පවසා තිබුණේ මෙයයි: “බලව, නුඹලාගේ ගෘහය නුඹලාට පාළුකොට අත්හරිනු ලැබේ. මක්නිසාද නුඹලාට කියමි: ස්වාමීන්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තා ආශීර්වාදලද්දේයයි නුඹලා කියන තෙක් මෙතැන් පටන් නුඹලා මා දකින්නේ නැත.” (මතෙව් 23:38, 39) යෙරුසලමේ හිරවී සිටි යුදෙව්වන්, අන්තිම මොහොතේදී යේසුස්වහන්සේව මෙසියස් ලෙස පිළිගෙන, ක්‍රිස්තියානීන් බවට පත්වී, යෙහෝවඃවහන්සේගේ අනුමැතිය දිනාගත් බවට කිසිදු වාර්තාවක් නැත. කෙසේවුවද, පො.යු. 70දී යෙරුසලම මතට පැමිණි විනාශය ලුහුඬු කරන ලදි. රෝම හමුදාව විසින් අවසානවරට කළ වැටලීම දිගුකලක් පුරා නොතිබිණි. මින් සමහර යුදෙව්වන්ට බේරීමට ඉඩක් ලැබුණි, කෙසේවෙතත් ඒ වහලුන් ලෙස රෝම අධිරාජ්‍යයේ විවිධ ප්‍රදේශවලට විසිර යෑමට පමණි.
බේරී ජීවත්වන්නන්ගේ මහත් සමූහයක්
6, 7. (අ) තවමත් විනාශ වීමට ඇත්තේ කිනම් මහත් ආගමික නගරයද, තවද කිනම් සමාන්තර නොවන මහත් පීඩාවේ කොටසක් ලෙසද? (ආ) මේ ලෝකය මතට පැමිණෙමින් තිබෙන මහත් පීඩාව පිළිබඳව, යොහන් පුරෝකථනය කළේ කුමක්ද?
6 පොදු යුගයේ 70දී සිදුවූ යෙරුසලමේ පීඩාව ඇත්තවශයෙන්ම, එම ආගමික නුවර මත “මහත් පීඩාවක්” ගෙන ආ අතර, යේසුස්වහන්සේගේ වචනවල ප්‍රධාන ඉටුවීම තවමත් ඉදිරියට තිබේ. බලවත් ආගමික නුවරක් වන, මහා බබිලෝනිය හෙවත් බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය, මරණීය මහත් පීඩාවක් අද්දැකීමට නියමිතව තිබෙන අතර, ඉන්පසුව සාතන්ගේ දේවල පිළිවෙළේ ඉතිරි කොටස මත සමාන්තර නොවන පීඩාවක් ඇතිවේ. (මතෙව් 24:29, 30; එළිදරව් 18:21) යෙරුසලමේ විනාශයෙන් වසර 26කට පමණ පසුව ප්‍රේරිත යොහන්, ලෝකයට මුහුණ දීමට සිදුවන මෙම මහත් පීඩාව ගැන එළිදරව් 7:9-14හි ලීවේය. ජනයාගේ “මහත් සමූහයක්” බේරී ජීවත්වන්ට යන බව ඔහු පෙන්වූයේය.
7 මෙම බේරී ජීවත්වන්නන්ව, ඔවුන් ගන්නා තීරණාත්මක ක්‍රියා මාර්ගයක් මගින් “මහත් සමූහය” ලෙස හඳුනාගත හැක. එළිදරව් 7:14ට අනුව, ස්වර්ගයෙහි සිටින වැඩිමහල්ලන් 24දෙනාගෙන් එක්කෙනෙක් යොහන්ට මෙසේ පැවසුවේය: “මොව්හු මහත් පීඩා[ව] මැදින් එන්නෝය, ඔව්හු තමුන්ගේ සළු බැටළුපැටවාණන්ගේ ලෙයින් සෝදා සුදුකරගත්තෝය.” එසේය, මහත් සමූහය, ඔවුන්ගේ ගැළවීමේ ප්රභවය ලෙස යෙහෝවඃවහන්සේව වර්ණනා කරති. ඔවුහු යේසුස්වහන්සේගේ වැගිරෙවූ රුධිරය කෙරෙහි ඇදහිල්ල තබන අතර, තම මැවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ පත් කරන ලද රජු වන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨ ස්ථාවරයක් ඇතුව සිටිති.
8. “මහත් සමූහය” සහ යේසුස්වහන්සේගේ අභිෂේක ලත් සහෝදරයන්ගේ ඉතිරි කොටස අතරේ පවතින කදිම සබඳතාව කුමක්ද?
8 අදදින, මහත් සමූහයේ මිලියන පහකට ආසන්න සංඛ්‍යාවකින් යුත් සාමාජිකයන් ජීවත්වෙමින් සිටින්නේ ස්වර්ගික රජු වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ක්‍රියාශීලී නායකත්වය යටතේය. ක්‍රිස්තුස්වහන්සේට යටත්ව සිටින ඔවුහු, තවමත් පොළොව මත සිටින උන්වහන්සේගේ අභිෂේක ලත් සහෝදරයන් සමඟ කිට්ටුවෙන් ඇසුරු කරති. මෙම අභිෂේක ලත් අයට මහත් සමූහය විසින් කරන ලද සැලකිලි සම්බන්ධව යේසුස්වහන්සේ මෙසේ පවසනසේක: “සැබෑවක් නුඹලාට කියමි—මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා කුඩා කෙනෙකුට නුමුත් නුඹලා ඒක කළහුද ඒක කළේ මටය.” (මතෙව් 25:40) ඔවුන් ක්‍රිස්තුස්වහන්සේගේ අභිෂේක ලත් සහෝදරයන්ට පරාර්ථකාමීව ආධාර කරන හෙයින්, මහත් සමූහයේ එම අය යේසුස්වහන්සේටම යහපත්කම් කර ඇතැයි විනිශ්චය කෙරේ. මෙය ඔවුන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ හා යෙහෝවඃ දෙවියන්වහන්සේ සමඟ සුරක්ෂිත සබඳතාවක් ඇතිව සිටීමට ඉවහල් වේ. දෙවියන්වහන්සේගේ සාක්ෂිකරුවන් බවට පත් කිරීමෙහිලා අභිෂේක ලත් ඉතිරි අය සමඟ හවුල්වීමට සහ උන්වහන්සේගේ නාමය දැරීමට ඔවුහු වරප්‍රසාද ලැබ සිටිති.—යෙසායා 43:10, 11; යෝවෙල් 2:31, 32.
අවදියෙන් සිටීම
9, 10. (අ) මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියේ අපගේ ධර්මිෂ්ඨ ස්ථාවරය පවත්වාගැනීමට අප කුමක් කළ යුතුද? (ආ) “අවදියෙන් සිටීම” පිණිස අප ක්‍රියා කළ යුත්තේ කෙසේද?
9 මහත් සමූහය, මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියේ තමන්ගේ ධර්මිෂ්ඨ ස්ථාවරය අත්නෑර පවත්වාගත යුතු අතර, අවසානය දක්වාම සුපරීක්ෂාවෙන් කල් ගෙවීම මීට අවශ්‍ය කරවයි. යේසුස්වහන්සේ මෙසේ පැවසූ විට, මෙය පැහැදිලිව ප්‍රකාශ කළසේක: “ඒ දවස මලපතක් මෙන් හදිසියෙන් නුඹලා කෙරේ නොපැමිණෙන පිණිස, අධික කෑමෙන්ද බීමත් කමින්ද මේ ජීවිතයේ වෙහෙසින්ද නුඹලාගේ සිත් බර නොවන හැටියට බලාගනිල්ලා. මක්නිසාද ඒක මුළු පොළෝතලය පිට වසන්නාවූ සියල්ලන් කෙරෙහි එසේ පැමිණෙන්නේය. එබැවින් ඒ සිදුවන සියල්ලෙන් ජයගෙන ගැළවෙන පිණිසද මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියෙහි සිටින පිණිසද කන්නලව්කරමින්, සැම කාලයේදීම අවදිව හිඳිල්ලා.”—ලූක් 21:34-36.
10 මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියෙහි සිටීමෙහිලා සාර්ථක වීම සඳහා, අපට උන්වහන්සේගේ අනුමැතිය තිබිය යුතු අතර, අප මේ ලෝකයේ සිතිවිලිවල බලපෑමට හසුවීමට ඉඩහැරියහොත් එය අපට නොතිබෙනු ඇත. ලෞකික සිතිවිලි රැවටිලිකාර වන අතර, යම් පුද්ගලයෙකුව මාංසික ආශාවන්හි ඇලී ගැලී සිටීමට පොලඹවාලිය හැකිය, නැතහොත් ඔහු විසින් තවදුරටත් රාජ්‍යයේ කාරණා මුල් තැනට නොතබන පරිදි, ඔහුව ජීවිතයේ ගැටලුවලින් වඩාත් බර කර දැමිය හැකිය. (මතෙව් 6:33) එවන් ක්‍රියා මාර්ගයක්, පුද්ගලයෙකුව ආත්මිකව දුර්වල කරවිය හැකි අතර, දෙවියන්වහන්සේ සහ අන්‍යයන් සම්බන්ධව ඇති ඔහුගේ වගකීම් උදාසීන කළ හැකිය. බරපතළ වරදක් කිරීම මගින් හෝ සමහරවිට පසුතැවිලි නොවන ආකල්පයක් විදහාපෑම මගින් පවා, ඔහු අක්‍රියාශීලී විය හැක, නැතහොත් සභාවේ ඔහුගේ තත්ත්වයේ නමට කැලැල් ඇති කරගන්නා තත්ත්වයට පත්විය හැකිය. මහත් සමූහයට අයත් සෑම පුද්ගලයෙකුම තමන් ගැනම අවධානය යොමු කරගත යුතුය. මෙම අදේවවාදී ලෝකයෙන් හා එහි පුරුදුවලින් හේ තමන්වම වෙන් කොට තබාගත යුතුය.—යොහන් 17:16.
11. අර්මගෙදොන්හි බේරී ජීවත්වීමට අපට උපකාර කරන්නේ කිනම් ශුද්ධ ලියවිලිමය ප්‍රතිපත්ති අදාළ කිරීමද?
11 එම අරමුණු ඉටු කරගැනීම පිණිස, යෙහෝවඃවහන්සේ, ස්වකීය වචනය, ස්වකීය ශුද්ධාත්මය සහ ස්වකීය දෘශ්‍යමාන සංවිධානය තුළින් අපට අවශ්‍ය දේ සපයා තිබෙනසේක. අප මේ සියල්ලෙන්ම පූර්ණ වාසි ගත යුතුය. තවදුරටත්, අපි උන්වහන්සේගේ අනුමැතිය අපේක්ෂා කරන්නෙමු නම්, අප යාච්ඤාපූර්වක වී උන්වහන්සේට කීකරු විය යුතුය. එක් දෙයක් නම්, අප නරක දේට දැඩි වෛරයක් වර්ධනය කරගත යුතුය. ගීතිකාකරු මෙසේ පැවසුවේය: “මම බොරුකාර මිනිසුන් සමඟ හිඳ නොගතිමි; රැවටිලිකාරයන් සමඟද නොයමි. නපුරුකම් කරන්නන්ගේ සමාගමට වෛරවෙමි, දුෂ්ටයන් සමඟ හිඳ නොගන්නෙමි. පව්කාරයන් සමඟ මාගේ ආත්මයත් මිනීමරන්නන් සමඟ මාගේ ජීවිතයත් එක් නොකළ මැනව.” (ගීතාවලිය 26:4, 5, 9) ක්‍රිස්තියානි සභාව තුළ සිටින බාල මහලු සෑම කෙනෙකුම, යෙහෝවඃවහන්සේට කැප නොවූ අය සමඟ ඇසුර සීමා කළ යුතුය. දෙවියන්වහන්සේගේ අනුමැතිය ලබාගැනීම පිණිස, නිර්දෝෂීව සිටීමටත් මේ ලෝකයෙන් කිලිටි නොවී සිටීමටත්, අප දැඩි ප්රයත්න දැරිය යුතුය. (ගීතාවලිය 26:1-5; යාකොබ් 1:27; 4:4) මෙසේ, අර්මගෙදොන්හි අභක්තිකයන් සමඟ යෙහෝවඃවහන්සේ අපව මරණයෙන් පහ නොකරනු ඇති බවට සහතික විය හැකිය.
ඇතමුන් “කිසිදා කොහෙත්ම මිය නොයනු ඇත”
12, 13. (අ) ලාසරුස්ව නැවත නැගිටුවීමට පෙර, මාර්තාට සම්පූර්ණයෙන් තේරුම්ගැනීමට අපහසුවූ, එමෙන්ම යේසුස්වහන්සේ පැවසුවාවූ, වචන මොනවාද? (ආ) ඇතැම් අය ‘කිසිදා කොහෙත්ම මිය නොයනු ඇත’ යනුවෙන් යේසුස්වහන්සේගේ වචනවලින් අදහස් නොකළේ කුමක්ද?
12 මෙම දේවල පිළිවෙළේ අවසානයෙන් බේරී ජීවත්වීම සහ කිසිවිටෙකත් මිය නොයෑම ගැන කල්පනා කිරීම ඉතාමත් චමත්කාරජනකය. මෙය වනාහි, යේසුස්වහන්සේ අප වෙත ඉදිරිපත් කරන අපේක්ෂාවකි. තම මිත්‍ර ලාසරුස්ව නැවත නැගිටුවීමට මොහොතකට පෙර, යේසුස්වහන්සේ ලාසරුස්ගේ සහෝදරිය වූ මාර්තාට මෙසේ කීසේක: “නැවත-නැගිටීමද ජීවනයද මමය. මා කෙරෙහි අදහාගන්නා මළ නුමුත් ජීවත්වන්නේය. ජීවත්ව සිටින කවුරු නුමුත් මා කෙරෙහි අදහන්නේද, ඔහු කිසිකලකත් නොනසින්නේය. මේක විශ්වාසකරනවාද?” මාර්තා නැවත නැගිටීම කෙරෙහි විශ්වාස කළාය, නමුත් යේසුස්වහන්සේ කිවූ සෑම දෙයක්ම ඇයට තේරුණේ නැත.—යොහන් 11:25, 26.
13 තම විශ්වාසවන්ත ප්‍රේරිතයන් මාංසයෙන් යුතුව දිගටම ජීවත්වනු ඇති බවත්, කිසිදා මිය නොයනු ඇති බවත්, යේසුස්වහන්සේ අදහස් කළේ නැත. මීට වෙනස්ව, උන්වහන්සේ පසුව ඇඟවූයේ සිය ගෝලයන් මියයනු ඇති බවය. (යොහන් 21:16-23) ඇත්තවශයෙන්ම, පො.යු. 33 පෙන්තකොස්තයේදී ශුද්ධාත්මයෙන් අභිෂේක ලැබීමෙන් අදහස් වූයේ, රජවරුන් හා පූජකයන් වශයෙන් තම ස්වර්ගික උරුමය ලැබීම පිණිස ඔවුන්ට මියයෑමට සිදුවනු ඇති බවය. (එළිදරව් 20:4, 6) මෙසේ, කාලයාගේ ඇවෑමෙන්, පළමු සියවසේ ක්‍රිස්තියානීහු මියගියෝය. කෙසේවුවද, යේසුස්වහන්සේ එසේ පැවසුවේ යම් අරමුණක් උදෙසාය. කිසිදා මිය නොයෑම පිළිබඳ උන්වහන්සේගේ වදන් ඉටු වෙනවා ඇත.
14, 15. (අ) සමහරෙක් ‘කිසිදා කොහෙත්ම මිය නොයනු ඇත’ යන යේසුස්වහන්සේගේ වචන ඉටුවීමට යන්නේ කෙසේද? (ආ) මේ ලෝකයේ තත්ත්වය කුමක්ද, නමුත් ධර්මිෂ්ඨයන්ට තිබෙන බලාපොරොත්තුව කුමක්ද?
14 එක් දෙයක් නම්, ඇදහිලිවන්ත අභිෂේක ලත් ක්‍රිස්තියානීන් කිසිවිටෙකත් සදාකාලික මරණය අත් නොදකිනු ඇත. (එළිදරව් 20:6) තවද, යේසුස්වහන්සේගේ වචන යොමු දක්වමින් සිටින්නේ, නෝවාගේ දවස්වලදී දෙවියන්වහන්සේ කළ අන්දමටම, පොළොව මත දුෂ්ටකම මුලිනුපුටා දමා උන්වහන්සේ මිනිස් කටයුතුවලට මැදිහත් වන්නාවූ අනාගතයේදී යම් කාලයක් සම්බන්ධවය. එම කාලයේදී දේව කැමැත්ත කරමින් සිටින පුද්ගලයන්ට දෙවියන්වහන්සේගේ විනිශ්චමය ක්‍රියා කරණකොටගෙන කිසිදා මියයෑමට සිදුවන්නේ නැත. ඒ වෙනුවට, නෝවා සහ ඔහුගේ පවුල මෙන්, ලෝකයක විනාශයෙන් බේරීමේ ප්‍රස්තාව ඔවුන්ට තිබෙනවා ඇත. එවන් බලාපොරොත්තුවක් ස්ථිරය, තවද එය පදනම් වී ඇත්තේ බයිබල් ඉගැන්වීම් මත වන අතර, උදාහරණ මගින් උපහැරණය කර තිබේ. (සසඳන්න හෙබ්‍රෙව් 6:19; 2 පේතෘස් 2:4-9අ, 10) බයිබල් අනාවැකිවල ඉටුවීමෙන් පෙන්වන්නේ, අධර්මිෂ්ඨ මිනිස් සමාජයෙන් සමන්විත මෙම වත්මන් ලෝකය, ඉතා ඉක්මනින් නිමාවට පත්වන්ට යන බවයි. වර්තමාන තත්ත්වය අනික් පැත්තට හැරවිය නොහැකිය, මන්ද මේ ලෝකය හික්මවිය නොහැකි තරමට දුෂ්ටය. නෝවාගේ දවස්වල ලෝකය ගැන දෙවියන්වහන්සේ පැවසූ දෙය, අදදින ලෝකය සම්බන්ධයෙන්ද සැබෑය. මිනිස්වර්ගයාගෙන් විශාල බහුතරයකගේ හදවත් දුෂ්ටකමින් පිරී තිබෙන අතර, ඔවුන්ගේ සිතිවිලි සෑමවිටම නරක ඒවා පමණි.—උත්පත්ති 6:5.
15 දිව්‍ය මැදිහත්වීමක් නොමැතිව සියවස් ගණනාවක් පුරා පොළොව ආණ්ඩු කිරීමට යෙහෝවඃවහන්සේ මිනිසාට ඉඩහැර තිබෙනසේක, නමුත්, ඔවුන්ගේ කාලය දැන් අවසාන වීමට ඉතා ආසන්නය. බයිබලය පවසන්නාක් මෙන්, යෙහෝවඃවහන්සේ ඉතා ඉක්මනින් පොළොව මත දුෂ්ටයන්ව මුලිනුපුටා දමනවා ඇත. (ගීතාවලිය 145:20; හිතෝපදේශ 2:21, 22) කෙසේවෙතත්, උන්වහන්සේ දුෂ්ටයන් සමඟ ධර්මිෂ්ඨයන්ව විනාශ කරන්ට යන්නේ නැත. දෙවියන්වහන්සේ කිසිවිටෙකත් එවැනි දෙයක් කර නැත! (සසඳන්න උත්පත්ති 18:22, 23, 26.) උන්වහන්සේ තමන්ට දේව භයෙන් යුතුව ඇදහිලිවන්තව සේවය කිරීමට උත්සාහ කරන අයව විනාශ කරනු ඇත්තේ මන්ද? මහත් පීඩාව ආරම්භ වන විට, ජීවත්වෙමින් සිටින, යෙහෝවඃවහන්සේගේ ඇදහිලිවන්ත නමස්කාරකයන්, උන්වහන්සේගේ ඇස් හමුවේ අනුමැතිය ලැබ විනාශ නොවනු ඇති බව සිතීම සාධාරණය. එය හරියට නෝවාගේ දවස්වලදී එම දුෂ්ට ලෝකය ව්‍යසනකාරි නිමාවකට පැමිණි විට, නෝවා සහ ඔහුගේ පවුල විනාශ නොවූවාක් මෙන්ය. (උත්පත්ති 7:23) ඔවුන්ට දිව්‍ය ආරක්ෂාව තිබෙනු ඇති අතර, මේ ලෝකයේ අවසානයෙන් බේරී ජීවත්වෙනවා ඇත.
16. නව ලෝකයේදී කුමන පුදුමාකාර දේවල් ඉටුවනු ඇත්ද, බේරී ජීවත්වන්නන්හට මින් අදහස් කරන්නේ කුමක්ද?
16 ඊළඟට කුමක් සිදුවනු ඇත්ද? නව ලෝකයේදී, යේසුස්වහන්සේගේ මිදීමේ මිල පූජාවේ ප්‍රයෝජන පූර්ණ ලෙස අදාළ කිරීමත් සමඟම, මිනිස්වර්ගයාහට සුවකිරීමේ ආශීර්වාද ගලා එනු ඇත. “දෙවියන්වහන්සේගේද බැටළුපැටවාණන්ගේද සිංහාසනයෙන් නික්ම එන්නාවූ පළිඟු මෙන් දීප්තිමත්වූ ජීවනදායක වතුර ඇති [සංකේතාත්මක] ගංගාවක්,” ගැන බයිබලය කථා කරයි. “ගඟේ මේ පැත්තේද ඒ පැත්තේද දොළොස් ආකාරයක ඵල දරන, මාස්පතා ඵල දෙන, ජීවන-වෘක්ෂය [වෘක්ෂ, NW] තිබුණේය. ඒ වෘක්ෂයේ කොළ ජාතීන්ගේ සුවවීම පිණිසය.” (එළිදරව් 22:1, 2) එම ‘සුවවීමට’ ආදම්ගෙන් පැවති මරණය පරාජය කිරීමද ඇතුළත් බව පැවසීම මවිතයට කරුණකි! “උන්වහන්සේ මරණය සදාකාලයටම ගිලද[මන]සේක; ස්වාමිවූ දෙවියන්වහන්සේ සියලු මුහුණුවලින් කඳුළු පිසදමනසේක.” (යෙසායා 25:8) මෙසේ, මහත් පීඩාව තුළින් නව ලෝකයට බේරී ජීවත්වන අය කිසිවිටෙකත් මරණයට මුහුණ නොදෙනවා ඇත!
ස්ථිර බලාපොරොත්තුවක්
17. ඇතැම් අය අර්මගෙදොනින් බේරී ජීවත්වනු ඇති බවටවූද, ‘කිසිදා කොහෙත්ම මිය නොයනු ඇති’ බවටවූද බලාපොරොත්තුව කොතරම් ස්ථිරද?
17 බේරී ජීවත්වීම පිළිබඳ මෙම මවිතකර බලාපොරොත්තුව කෙරෙහි පූර්ණ නිසැකකමක් තබන්ට අපට හැකිද? නිසැකවම එසේය! මිනිසුන් කිසිවිටෙකත් මිය නොයා ජීවත්වනු ඇති කාලයක් තිබෙනු ඇතැයි යේසුස්වහන්සේ මාර්තාට ඇඟවූසේක. (යොහන් 11:26) එපමණක්ද නොව, යේසුස්වහන්සේ යොහන්ට දුන් එළිදරව්වේ 7වන පරිච්ඡේදයේ, මහත් සමූහයක් මහත් පීඩාවෙන් බේරී ජීවත්වී ඉන් පිටතට පැමිණෙනු ඇතැයි හෙළිදරව් කරන ලදි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ නෝවාගේ කාලයේ සිදුවූ ජලගැල්ම පිළිබඳ ඓතිහාසික වාර්තාව විශ්වාස කිරීමට අපට හැකිද? ඒ ගැන කිසිදු ප්‍රශ්නයක් නැත! එපමණක්ද නොව, දෙවියන්වහන්සේ ස්වකීය සේවකයන්ව, විනිශ්චමය කාලපරිච්ඡේද තුළින් සහ ජාතීන් විනාශ වූ අවස්ථා තුළින් ආරක්ෂා කොට තිබෙන අවස්ථා ගැනද බයිබලයේ වාර්තා වේ. මේ අන්තිම කාලයේදී උන්වහන්සේගෙන් ඊට වඩා අඩු දෙයක් අපේක්ෂා කළ යුතුද? මැවුම්කරුවාණන්ට යම් දෙයක් කළ නොහැකි වේද?—මතෙව් 19:26 සසඳන්න.
18. යෙහෝවඃවහන්සේගේ ධර්මිෂ්ඨ නව ලෝකයේ ජීවිතය ගැන අපට සහතික විය හැක්කේ මන්ද?
18 දැන් යෙහෝවඃවහන්සේට විශ්වාසවන්තව සේවය කිරීමෙන්, උන්වහන්සේගේ නව ලෝකයේ සදාකාල ජීවනයේ සහතිකය අපට තිබේ. අසංඛ්‍යාත මිලියන ගණනකට, එම නව ලෝකයේ ජීවනය නැවත නැගිටීමක් මගින් ලැබෙනවා ඇත. එහෙත්, අපගේ දවසේ, යෙහෝවඃවහන්සේගේ ජනයාගේ මිලියන ගණනකට—ඔව්, කිසිවෙකුටත් ගණන් කිරීමට හෝ සීමාවක් දැමීමට නොහැකි මහත් සමූහයකට—මහත් පීඩාවෙන් බේරී ජීවත්වීමේ අද්විතීය වරප්‍රසාදය ලැබෙනවා ඇත. තවද ඔවුන්ට කිසිවිටෙකත් මියයෑමට සිදු නොවනු ඇත.
කරුණාකර පැහැදිලි කරන්න
◻ අර්මගෙදොනින් බේරී ජීවත්වීම නෝවාගේ දවසින් පෙරඡායා කොට දක්වන ලද්දේ කෙසේද?
◻ යේසුස්වහන්සේ යෙහෝවඃවහන්සේගේ විනිශ්චයන් ඉටු කිරීමට පැමිණෙන විට, අවදියෙන් සිටීම සඳහා අප කුමක් කළ යුතුද?
◻ අර්මගෙදොන්හි බේරී ජීවත්වන්ට ‘කිසිදා කොහෙත්ම මිය යෑමට’ අවශ්‍ය නැති බව අපට කිව හැක්කේ මන්ද?
[15වන පිටුවේ පින්තූරය]
ක්‍රිස්තියානීහු යෙරුසලමේ පීඩාවෙන් ගැළවුණාහ