7වෙනි පරිච්ඡේදය
දෙවි මෙන් ජීවිතය අනර්ඝ දෙයක් ලෙස සලකමු
“ජීවිතයේ උල්පත ඔබය.”—ගීතාවලිය 36:9.
1, 2. දෙවි අපව නිර්මාණය කර තිබෙන්නේ කුමන හැකියාව ඇතුවද? මේ කාලයේදී එය භාවිත කිරීම අත්‍යවශ්‍ය ඇයි?
අපේ ජීවිතය දෙවිගෙන් ලැබී තිබෙන වටිනා තෑග්ගක්. අපට එසේ පැවසිය හැක්කේ සතුන්ට වඩා වෙනස්ව දෙවිගේ ගතිලක්ෂණ ඇතුව දෙවි අපව නිර්මාණය කර තිබෙන නිසයි. (උත්පත්ති 1:27) අපව එලෙස නිර්මාණය කර තිබෙන නිසා බයිබල් ප්‍රතිපත්ති අපේ ජීවිතයට අදාළ වන පැති ගැන සිතා බලා ඊට එකඟව තීරණ ගැනීමේ හැකියාව අපට තිබෙනවා. අප එසේ ක්‍රියා කරන විට යෙහෝවා දෙවි කෙරෙහි අපට තිබෙන ප්‍රේමය තව තවත් වැඩි වන අතර, “හරි වැරැද්ද නිවැරදිව හඳුනාගැනීමට” අප හොඳින් පුහුණු වෙනවා.—හෙබ්‍රෙව් 5:14.
2 අප සතු ඒ හැකියාව භාවිත කිරීම වෙන කවරදාකටත් වඩා මේ කාලයේදී අත්‍යවශ්‍යයි. අද මිනිසුන්ගේ ජීවිත ඉතා සංකීර්ණ නිසා අප එදිනෙදා කරන කියන සෑම දෙයක් සඳහාම නීති පැනවිය නොහැකියි. නමුත් විවිධ අවස්ථාවලදී අදාළ වන බයිබල් ප්‍රතිපත්ති අප හොඳින් තේරුම්ගෙන පුහුණු කරන ලද අපේ හෘදය සාක්ෂියට එකඟව ඥානවන්ත තීරණ ගත්තොත් දෙවිගේ ප්‍රේමය දිගටම ලැබීමට අපට හැකි වෙනවා. (හිතෝපදේශ 2:6-11) උදාහරණයකට අප සෞඛ්‍ය ගැටලුවකට මුහුණ දෙන විට රුධිරය සම්බන්ධයෙන් හා අප ලබාගන්නා ප්‍රතිකාර ක්‍රම ගැන විවිධ තීරණ ගැනීමට අපට සිදු වෙනවා. එවැනි අවස්ථාවකදී ඥානවන්ත තීරණ ගැනීමට අපට උපකාරවත් වන බයිබල් ප්‍රතිපත්ති දැන් අපි සලකා බලමු.
ජීවිතය හා රුධිරය පරිශුද්ධයි
3, 4. රුධිරය පරිශුද්ධයි යන කාරණය දෙවි මුලින්ම එළිදරව් කළේ කුමන අවස්ථාවේදීද? රුධිරය පරිශුද්ධ දෙයක් ලෙස සැලකිය යුත්තේ කුමන හේතු නිසාද?
3 ජීවිතය හා රුධිරය අතර කිට්ටු සම්බන්ධයක් තිබෙන බවත් ඒවා පරිශුද්ධ බවත් මිනිස් ඉතිහාසයේ මුල් කාලයේ සිටම දෙවි එළිදරව් කළා. කායින් ආබෙල්ව මරා දැමූ විට දෙවි කායින්ට මෙසේ පැවසුවා. “ඔබේ සහෝදරයාගේ ලේ භූමියේ සිට මට හඬගසන්නේය.” (උත්පත්ති 4:10) ‘ආබෙල්ගේ ලේ දෙවිට හඬගසනවා’ කීමෙන් අදහස් කළේ, නැති වූ ආබෙල්ගේ ජීවිතය වෙනුවෙන් යුක්තිය ඉටු විය යුතු බවයි. එහිදී දෙවි ආබෙල්ගේ ලේ ඔහුට අහිමි වූ ජීවිතයට සමාන කළා.—හෙබ්‍රෙව් 12:24.
4 ජලගැල්මෙන් පසුව දෙවි මිනිසුන්ට මස් කෑමට අවසර දුන් අවස්ථාවේදී, “ජීවය වන ලේ සමඟ ඔබ මස් නොකෑ යුතුයි” කියා පැවසුවා. එහිදී ජීවිතය හා රුධිරය අතර කිට්ටු සම්බන්ධයක් තිබෙන බව දෙවි නැවතත් තහවුරු කළ අතර නෝවා හා ඔහුගෙන් පැවතෙන සියලුදෙනාටම අදාළ කරගැනීමට ආඥාවක්ද ලබා දුන්නා. “ලේ සමඟ ඔබ මස් නොකෑ යුතුයි” යන ඒ ආඥාව දුන් අවස්ථාවේදී රුධිරය කොතරම් පරිශුද්ධ දෙයක් ලෙස තමන් සලකනවාද යන කාරණය පැහැදිලි කිරීම සඳහා, “ඔබේ ලේ වගුරුවන කවුරු නමුත් මට ගණන් දිය යුතුයි” කියාත් ඔහු පැවසුවා. (උත්පත්ති 9:4, 5) ඉන් අපට පැහැදිලි වන්නේ ජීවිතයට හෝ රුධිරයට අගෞරව කරන ඕනෑම කෙනෙකුට ජීවිතයේ උල්පත වන යෙහෝවා දෙවිට ගණන් දීමට සිදු වන බවයි.—ගීතාවලිය 36:9.
5, 6. ජීවිතය හා රුධිරය අතර තිබෙන සම්බන්ධය හා ඒවා දෙවිට පරිශුද්ධයි යන කාරණය මෝසෙස්ට දුන් නීතියෙන් පැහැදිලි වුණේ කෙසේද? (“සතුන්ගේ ජීවිතවලට ගරු කරමු” යන කොටුවද බලන්න.)
5 ජීවිතය හා රුධිරය අතර තිබෙන සම්බන්ධය හා ඒවා දෙවිට පරිශුද්ධයි යන කාරණය මෝසෙස්ට දුන් නීතිය මාර්ගයෙන් දෙවි නැවතත් කාවැද්දුවා. එහි සඳහන් වන්නේ මෙයයි. “මොනම ආකාරයකින් හෝ ලේ අනුභව කළොත් මම ඔහුව ප්‍රතික්ෂේප කරන්නෙමි. මම ඔහු සමඟ මහත් සේ උදහස් වී ඔහුව මරා දමන්නෙමි. මන්ද පණ ඇති සියල්ලන්ගේ ජීවය රැඳී තිබෙන්නේ ලේවලය. නමුත් මා සමඟ සාමකාමී සබඳතාවක් ඇති කරගැනීමට හැකි වන පිණිස පූජාසනය මත ලේ ඔප්පු කරන මෙන් මම ඔබට නියම කරන්නෙමි. මන්ද ලේවල ජීවය රැඳී තිබෙන බැවින් පව්වලට සමාව ලබාගත හැක්කේ ලේ මාර්ගයෙන් පමණි.”—ලෙවී කතාව 17:10, 11;a “පව්වලට සමාව” යන කොටුව බලන්න.
6 ඒ අනුව දෙවි රුධිරය භාවිත කිරීමට අවසර දුන්නේ පූජාසනය මත ඔප්පු කිරීමට පමණයි. නමුත් සතෙකුව මරන්නේ පූජාසනය මත ඔප්පු කිරීමේ අරමුණින් නොවෙයි නම් ඌගේ ලේ බිමට ගලා යෑමට සලස්වා ඌගේ ශරීරයෙන් ලේ ඉවත් කළ යුතුයි. එසේ කිරීමෙන් පෙන්වන්නේ ජීවිතය ලබා දුන් යෙහෝවා දෙවිට නැවත ඒ ජීවිතය භාර දෙන බවයි. (ද්විතීය කතාව 12:16; එසකියෙල් 18:4) ‘ලේ බිමට වත් කරන්න’ කීමෙන් දෙවි අදහස් කළේ අන්තයටම ගොස් සතාගේ ශරීරයෙන් සෑම ලේ බිඳක්ම ඉවත් කළ යුතු බව නොවෙයි. ඒ වෙනුවට නීතියේ සඳහන් ආකාරයට සතාව මරා ඌගේ ලේ නිසි අයුරින් ඉවත් කිරීම ප්‍රමාණවත් වුණා. රුධිරය සම්බන්ධයෙන් දෙවි දී තිබෙන ඒ මඟ පෙන්වීම් අනුගමනය කිරීමෙන් දෙවිට නිසි ගෞරවය පෙන්වීමට හැකි වන නිසා ඒ සතාගේ මස් නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව අනුභව කළ හැකියි.
7. රුධිරය පරිශුද්ධ දෙයක් ලෙස දාවිත් සැලකූ බව පැවසිය හැක්කේ ඇයි?
7 ‘දෙවිගේ සිත සතුටු කළ’ කෙනෙක් වූ දාවිත්, රුධිරය සම්බන්ධයෙන් දෙවි දුන් ආඥාව පමණක් නොව ඊට සම්බන්ධ ප්රතිපත්තිද හොඳින් තේරුම්ගෙන සිටියා. (ක්‍රියා 13:22) ඔහු එක් අවස්ථාවක මහත් පිපාසයෙන් සිටි නිසා ඔහුගේ සේවකයන් තුන්දෙනෙක් සතුරන්ගේ කඳවුරට කඩාවැද ඒ අසල තිබූ පොකුණෙන් වතුර ගෙනැවිත් ඔහුට දුන්නා. නමුත් ඔහු ඔවුන් ගෙනා වතුර, ‘දෙවි ඉදිරියේ බිමට වත් කළා.’ ඊට හේතුව ඔහු පැහැදිලි කළේ මෙසේයි. “මේ මිනිස්සු ඔවුන්ගේ ජීවිත පරදුවට තබලයි මේ වතුර ටික ගෙනාවේ. මම මේ වතුර බිව්වොත් ඒක හරියට ඔවුන්ගේ ලේ බොනවා වගෙයි.” (2 සාමුවෙල් 23:15-17) ජීවිත පරදුවට තබා ගෙනා වතුර පානය කිරීම දාවිත් සැලකුවේ ඔවුන්ගේ ජීවිතවලට කරන අගෞරවයක් ලෙසයි.
8, 9. රුධිරය සම්බන්ධයෙන් දෙවි කලින් දුන් නීතිය ක්‍රිස්තියානි සභාවටත් අදාළද? පැහැදිලි කරන්න.
8 රුධිරය සම්බන්ධයෙන් නෝවාට ආඥාව දී අවුරුදු 2,400කට පමණ පසු එනම්, මෝසෙස්ට නීතිය දී අවුරුදු 1,500කට පමණ පසු පිහිටෙවූ ක්‍රිස්තියානි සභාවටත් රුධිරය සම්බන්ධයෙන් දෙවි කලින් දුන් නීතිය අදාළ වන බව දෙවි එවකට සිටි පාලක මණ්ඩලය මාර්ගයෙන් දැනුම් දුන්නා. ඔවුන් ලිපි මාර්ගයෙන් සභාවන්ට මෙසේ දන්වා යැව්වා. “දෙවිගේ බලයේ උපකාරයෙන් අප තීරණය කළේ ඔබ මතට අනවශ්‍ය බරක් පැටවීම සුදුසු නොවන බවයි. ඔබ වැළකී සිටිය යුත්තේ මේ අත්‍යවශ්‍ය දේවලින් පමණි. ඒවා නම් දේවතා රූපවලට පූජා කළ දේවලින්, ලේවලින්, බෙල්ල මිරිකා මැරූ සතුන්ගේ මස් ආහාරයට ගැනීමෙන් සහ වේශ්‍යාකමින්ය.”—ක්‍රියා 15:28, 29.
9 ඒ කාලයේ සිටි පාලක මණ්ඩලය රුධිරය පරිශුද්ධ බවත් එය අනිසි ලෙස භාවිත කිරීම රූප නමස්කාරය හා දුරාචාරය තරම්ම බරපතළ පාපයක් බවත් හොඳින් තේරුම්ගෙන සිටියා. අද දින සැබෑ ක්‍රිස්තියානීන්ටත් රුධිරය සම්බන්ධයෙන් තිබෙන්නේ එවැනිම ආකල්පයක්. රුධිරය සම්බන්ධයෙන් යම් තීරණ ගැනීමට සිදු වන විට ඊට අදාළ වන බයිබල් ප්‍රතිපත්ති තේරුම්ගැනීමට අප උත්සාහ කරන්නේ ඒ නිසයි. එසේ කිරීමෙන් යෙහෝවා දෙවිව සතුටට පත් කරන ආකාරයේ තීරණ ගැනීමට අපට හැකි වෙනවා.
අපට ලබාගත හැකි ප්‍රතිකාර හඳුනාගනිමු
10, 11. (අ) රුධිරය හෝ රුධිරයේ ප්‍රධාන කොටස් ශරීරගත කිරීම ගැන සාක්ෂිකරුවන් දරන මතය කුමක්ද? (ආ) අප එක් එක්කෙනාගේ තීරණ වෙනස් විය හැක්කේ කුමන කාරණා සම්බන්ධයෙන්ද?
10 ‘ලේවලින් වැළකී සිටින්න’ යන ආඥාවට කීකරු වන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් රුධිරය හෝ රුධිරයේ ප්‍රධාන කොටස් හතරවන රතු රුධිරාණු, සුදු රුධිරාණු, රුධිර පට්ටිකා හා ප්ලාස්මාව කිසිම ආකාරයකින් ශරීරගත කරන්නේ නැහැ. වෙනත් කෙනෙකුගේ අවශ්‍යතාවක් සඳහා රුධිරය හෝ එහි ප්‍රධාන කොටස් පරිත්‍යාග කරන්නෙත් නැහැ. එමෙන්ම ශල්‍යකර්මයකදී භාවිත කිරීම සඳහා රුධිරය ගබඩා කර තබන්නෙත් නැහැ.
11 වෛද්‍යවරුන් අද විවිධ ක්‍රියාවලියන් තුළින් රුධිරයේ ප්‍රධාන කොටස් කුඩා කොටස්වලට වෙන් කරන අතර එම අනුකොටස් විවිධ ප්‍රතිකාර සඳහා භාවිත කරනවා. ‘එවැනි අනුකොටස් ප්‍රතිකාර ලෙස මම භාවිත කරනවාද? නැත්නම් එය රුධිරයේ අනුකොටසක් නිසා මම එය ප්‍රතික්ෂේප කරනවාද?’ එවැනි කාරණා සම්බන්ධයෙන් සෑම කෙනෙකුම තීරණයක් ගත යුත්තේ පෞද්ගලිකවයි. එමෙන්ම තමන්ගේම රුධිරය භාවිත කර හීමෝඩයැලිසිස්, හීමෝඩයිලූෂන් හා සෙල් සෙල්වෙජ් යන ඉංග්‍රීසි නම්වලින් හඳුන්වන ප්‍රතිකාර ක්‍රම තමන් පිළිගන්නවාද නැද්ද යන්නත් පෞද්ගලිකව ගත යුතු තීරණයක්. කෙසේවෙතත් කෙනෙකු ඒ ප්‍රතිකාර ක්‍රම භාවිත කිරීමට තීරණය කළොත් තම රුධිරය ගබඩා කර තැබීම වැරදි බව මතක තබාගත යුතුයි.—උපග්‍රන්ථයේ “රුධිරයේ අනුකොටස් හා ප්‍රතිකාර ක්‍රම” කියන ලිපිය බලන්න.
12. පෞද්ගලිකව ගන්නා තීරණ අප සැලකිය යුත්තේ කෙසේද?
12 එවැනි දේවල් සම්බන්ධයෙන් පෞද්ගලිකව තීරණ ගැනීමට සිදු වන නිසා ඒ තීරණ යෙහෝවා දෙවිට එතරම් වැදගත් නැහැයි කියා අදහස් වෙනවාද? කොහෙත්ම නැහැ. ඇත්තටම අප යම් තීරණයක් ගැනීමට කලින් අප කල්පනා කර බලන විවිධ පැති හා අපේ චේතනා දැනගැනීමට යෙහෝවා දෙවි ඉතා කැමැත්තෙන් සිටිනවා. (හිතෝපදේශ 17:3; 24:12 කියවන්න.) ඒ නිසා අප ගන්නා තීරණය පෞද්ගලික එකක් වුණත් එය ඉතා බැරෑරුම් දෙයක් ලෙස සැලකිය යුතුයි. ඒ සඳහා අප දෙවිගේ මඟ පෙන්වීම් ඉල්ලා යාච්ඤා කළ යුතු අතර අපට ඉදිරිපත් කර තිබෙන ඖෂධ හා ප්‍රතිකාර ක්‍රම ගැන හොඳින් සොයා බැලිය යුතුයි. හෘදය සාක්ෂියට එකඟව අප තීරණයක් ගත යුත්තේ ඉන්පසුවයි. (රෝම 14:2, 22, 23) කෙනෙකුට ඔහුගේ හෘදය සාක්ෂියට එකඟව තීරණයක් ගැනීමට සිදු වන විට ඒ තීරණයට අප බලපෑම් නොකළ යුතුයි. එමෙන්ම අපට යම් තීරණයක් ගැනීමට සිදු වන විට, ‘ඔයා මගේ තත්වයේ සිටියා නම් ඔයා ගන්නේ මොන වගේ තීරණයක්ද’ කියා අන් අයගෙන් ඇසීම සුදුසු වන්නේ නැහැ. මන්ද අප තීරණයක් ගත යුත්තේ අපේ හෘදය සාක්ෂියට එකඟව මිස අන් අයගේ හෘදය සාක්ෂියට එකඟව නොවෙයි. බයිබලයෙත් පවසන්නේ අප එක් එක් කෙනා, “තමාට පැවරී ඇති වගකීම ඉටු කළ යුතු” බවයි.b—ගලාති 6:5; රෝම 14:12; “මා රුධිරය පරිශුද්ධ දෙයක් ලෙස සලකනවාද?” යන කොටුව බලන්න.
යෙහෝවා දෙවි ප්‍රේමණීය පියෙකි
13. දෙවි දී තිබෙන ආඥාවෙන් ඔහු ගැන හෙළි වන්නේ මොනවාද? පැහැදිලි කරන්න.
13 ‘ලේවලින් වැළකී සිටින්න’ කියා දෙවි දී තිබෙන ආඥාව සෞඛ්‍ය හේතුවක් මත නොදුන්නත් එය පිළිපැදීම අපේ සෞඛ්‍යයට හිතකරයි. (ක්‍රියා 15:20) මන්ද රුධිරය ශරීරගත කිරීමෙන් ඇති වන බොහෝ සෞඛ්‍ය ගැටලුවලින් අපට වළකින්න පුළුවන්. අද බොහෝ වෛද්‍යවරුන් පවා පවසන්නේ රුධිරය නොමැතිව ශල්‍යකර්ම කිරීම රෝගියාට ලබා දිය හැකි ඉහළම සත්කාරය බවයි. ඇත්තෙන්ම දෙවි දී තිබෙන ඒ ආඥාවෙන් දෙවි කොතරම් ප්‍රඥාවන්ත, ප්‍රේමණීය දෙවි කෙනෙක්ද කියා පැහැදිලි වෙනවා. (ගීතාවලිය 19:7-11; යෙසායා 55:9 කියවන්න; යොහන් 14:21, 23) එමෙන්ම ඔහු ජීවිතය ඉතා අනර්ඝ දෙයක් ලෙස සලකන බවත් පැහැදිලි වෙනවා.
14, 15. (අ) දෙවිට තම සෙනඟ කෙරෙහි තිබෙන සැලකිල්ල පැහැදිලි වන අනිකුත් නීති මොනවාද? (ආ) එම නීතිවලට පදනම් වී තිබෙන ප්‍රතිපත්ති අපට අදාළ කරගත හැක්කේ කෙසේද?
14 දෙවි මෝසෙස් මාර්ගයෙන් ලබා දුන් අනිකුත් නීතිවලින්ද ඔහුට තම සෙනඟ කෙරෙහි තිබූ සැලකිල්ල හා ඔහු ජීවිතය කොතරම් අනර්ඝ දෙයක් ලෙස සලකනවාද යන්න පැහැදිලි වුණා. උදාහරණයකට ගෙවල් ඉදි කරන විට වහලක් නැති උඩුමහල වටා කුඩා තාප්පයක් බැඳිය යුතුයි කියා මෝසෙස්ට දුන් නීතියේ සඳහන් වී තිබුණා. සාමාන්‍යයෙන් ඒ කාලයේ සිටි අය අමුත්තන් සමඟ කාලය ගත කළෙත් අනිකුත් බොහෝ වැඩකටයුතු කළෙත් උඩුමහලෙයි. ඒ නිසා නීතියේ සඳහන් ආකාරයට එය වටා තාප්පයක් බැඳීම ඔවුන්ගේ ජීවිතවලට ආරක්ෂාවක් වුණා. (ද්විතීය කතාව 22:8; 1 සාමුවෙල් 9:25, 26; නෙහෙමියා 8:16; ක්‍රියා 10:9) අන් අයට ඇන අනතුරු කරන ගවයෙක් කෙනෙකුට සිටිනවා නම් ඌට නිදැල්ලේ හැසිරෙන්න ඉඩ නොදිය යුතුයි කියාත් නීතියේ සඳහන්ව තිබුණා. (නික්මයාම 21:28, 29) කෙනෙක් එවැනි ආඥා ගැන කිසි තැකීමක් නොකර කටයුතු කළා නම් ඉන් පෙනී යන්නේ ඔහු අන් අය කෙරෙහි කිසි සැලකිල්ලක් නැති පුද්ගලයෙකු බවයි. එමෙන්ම ඔහුගේ නොසැලකිලිමත්කම නිසා කෙනෙකුගේ ජීවිතයට යම් අනතුරක් සිදු වුණොත් නැති වූ ජීවිතය වෙනුවෙන් ඔහු දෙවිට ගණන් දිය යුතු වුණා.
15 අද දින අප මෝසෙස්ට දුන් නීතිය යටතේ නොසිටියත් එම ආඥා පදනම් වී තිබෙන ප්‍රතිපත්ති අපටත් අදාළයි. ඒ නිසා මෙවැනි කාරණා ගැන සිතා බැලීම ඉතා වැදගත්. ‘අපේ නිවෙස්, අපි රැකියා කරන ස්ථාන හා අපේ වාහන නිසි ප්‍රමිතියකට අනුව තිබෙනවාද? අප ඇති කරන සතුන් අන් අයට අනතුරක්ද? අප රිය පදවන්නේ ජීවිත ගැන කිසි සැලකිල්ලක් නැතුවද? එමෙන්ම විනෝදය සඳහා අප තෝරාගන්නා දේවල් අපෙත් අන් අයගෙත් ජීවිත අනතුරේ හෙළනවාද?’ අවදානම් සහිත දේවල් කිරීමට ගොස් මුහුණ දීමට සිදු වන අනතුරුවලින් තරුණයන් බොහෝදෙනෙකුගේ ජීවිත අහිමි වී තිබෙනවා. නමුත් ඔබ යෙහෝවා දෙවිගේ ප්‍රේමය දිගටම ලබන්න කැමති යෞවනයෙක් නම් ජීවිතය අනර්ඝ දෙයක් ලෙස ඔබ සලකන බව ක්‍රියාවලින් පෙන්වන්න. අවදානම් සහිත දේවල් කිරීමට යෑමෙන් ඔබේ ජීවිතයට කිසිම අනතුරක් සිදු නොවෙයි කියා කිසිවිටක නොසිතන්න. අනවශ්‍ය ලෙස අවදානම් නොගෙන ඔබේ යෞවන කාලය ප්‍රීතියෙන් ගත කරන්න.—දේශනාකාරයා 11:9, 10.
16. ගබ්සාව සම්බන්ධයෙන් දෙවිට හැඟෙන ආකාරය පැහැදිලි වන බයිබල් ප්‍රතිපත්තිය කුමක්ද? (පාදසටහනද බලන්න.)
16 දෙවි ඊශ්‍රායෙල් සෙනඟට දුන් තවත් ආඥාවක් සලකා බලන්න. යම් කෙනෙකුගේ නොසැලකිලිමත් ක්‍රියාවක් නිසා ගැබිනි ස්ත්‍රියක් හෝ ඇගේ නූපන් දරුවා මිය ගියොත් ඔහුව මිනී මරුවෙකු ලෙස සලකා ඔහුව මරණයට පත් කළ යුතුයි කියා එහි සඳහන් වුණා. මන්ද, “ජීවිතයකට ජීවිතයක්” දිය යුතුයි.c (නික්මයාම 21:22, 23 කියවන්න.) එම නීතියෙන් පැහැදිලි වන්නේ යෙහෝවා දෙවිට නූපන් දරුවෙකුගේ ජීවිතය පවා ඉතා අනර්ඝ බවයි. එසේනම් තම වාසිය හා පහසුව ගැන සිතා ගබ්සා කර දමන අසංඛ්‍යාත නූපන් දරුවන්ගේ ජීවිත ගැන දෙවිට කෙසේ හැඟෙනවා ඇද්ද!
17. දෙවිව දැන හඳුනා ගැනීමට කලින් ගබ්සාවක් කළ ස්ත්‍රියකව සැනසිය හැක්කේ කෙසේද?
17 නමුත් යම් ස්ත්‍රියක් යෙහෝවා දෙවිව දැන හඳුනා ගැනීමට කලින් ගබ්සාවක් කර තිබෙනවා නම් තත්වය කුමක්ද? ඇයට කවදාවත් දෙවිගෙන් සමාව ලබාගත නොහැකිද? ඇත්තෙන්ම ඇයට සමාව ලබාගත හැකියි. මන්ද යෙහෝවා දෙවි ඉතාමත් දයාවන්ත දෙවි කෙනෙක්. ඇය තමන් කළ වරද ගැන අවංකවම පසුතැවිලි වෙනවා නම් යේසුස්ගේ ජීවිත පූජාව පදනම් කරගෙන දෙවි ඇයට සමාව දෙනවා. (ගීතාවලිය 103:8-14; එෆීස 1:7) “මා ආවේ පව්කාරයන්ට පසුතැවිලි වෙන්න උපකාර කරන්න මිස ධර්මිෂ්ඨයන්ට උපකාර කරන්න නොවෙයි” කියා යේසුස් පැවසුවේ ඒ නිසයි.—ලූක් 5:32.
අපේ හැඟීම් හා සිතුවිලි පාලනය කරමු
18. බයිබලයේ පවසන්නේ ලේ වැගිරීම්වලට මුල් වී තිබෙන්නේ කුමක් කියාද? අප එම කාරණය කොතරම් බැරෑරුම්ව සැලකිය යුතුද?
18 ජීවිත අනතුරේ දමන ක්‍රියාවලින් වැළකී සිටීමෙන් පමණක් අප ජීවිතය අනර්ඝ දෙයක් ලෙස සලකනවා කියා පැවසිය නොහැකියි. තවත් කෙනෙකුට අනතුරක් කිරීමට මුල් වන ඊර්ෂ්‍යාව, වෛරය වැනි හැඟීම් පවා අප අපේ සිත්වලින් උදුරා දැමිය යුතුයි. ඊර්ෂ්‍යාව හා වෛරය නිසා අද ලෝකයේ කොතරම් ලේ වැගිරීම් සිදු වී තිබෙනවාද! යොහන් පැවසුවේ, “තම සහෝදරයාට වෛර කරන සෑම කෙනෙක්ම මිනී මරන්නෙකි” කියායි. (1 යොහන් 3:15) වෛරය යනු ඉතා ප්‍රබල හැඟීමක්. කෙනෙකු තවත් කෙනෙකුට වෛර කරන විට ඔහුට තිබෙන්නේ එම තැනැත්තා කෙරෙහි නිකම්ම නිකම් අකමැත්තක් නොවෙයි. ඒ පුද්ගලයාව දකින්නවත් ඔහු තුළ කැමැත්තක් නැහැ. ඔහු මිය ගියා නම් හොඳයි කියා සිතන්න පවා ඔහු පෙලඹෙනවා. එමෙන්ම කෙනෙකු කෙරෙහි දැඩි වෛරයක් තිබෙන විට විවිධ දේවල් පවසමින් ඒ පුද්ගලයාගේ චරිතය ඝාතනය කිරීමට හෝ ඔහු බරපතළ වරදක් කර ඇති බවට බොරු චෝදනා කිරීමට පවා පෙලඹෙන්න පුළුවන්. (ලෙවී කතාව 19:16; ද්විතීය කතාව 19:18-21; මතෙව් 5:22) ඒ නිසා යම් කෙනෙකු කෙරෙහි අපට වෛරයක් හෝ ඊර්ෂ්‍යාවක් තිබෙනවාද කියා අපවම සෝදිසි කර බලා එවැනි හැඟීම් අපේ සිත්වලින් සම්පූර්ණයෙන්ම ඉවත් කර දැමීමට පියවර ගැනීම කොතරම් වැදගත්ද!—යාකොබ් 1:14, 15; 4:1-3.
19. බයිබල් ප්‍රතිපත්තිවලට අනුව සිතන කෙනෙක් ගීතාවලිය 11:5 හා ෆිලිප්පි 4:8, 9 වැනි පදවල සඳහන් දේවලින් ඉගෙනගන්නේ මොනවාද?
19 දෙවිගේ ප්‍රේමය දිගටම ලැබීමට කැමති අය හැටියටත් ජීවිතය අනර්ඝ දෙයක් ලෙස සලකන අය හැටියටත් අප සැලකිලිමත් විය යුතු තවත් කාරණයක් තිබෙනවා. එනම් සැහැසික ක්‍රියා ගැන අපට තිබෙන ආකල්පයයි. අප ජීවත් වන ලෝකය සැහැසික දේවලින් පිරී තිබෙන අතර බොහෝදෙනෙක් ඒ දේවල් නරඹා වින්දනයක් ලබනවා. නමුත් ගීතාවලිය 11:5හි පවසන්නේ, “සැහැසියාවට කැමැත්තක් දක්වන අයට ඔහු [දෙවි] ද්වේෂ කරන්නේය” කියායි. ඒ පදයෙන් යෙහෝවා දෙවිට සැහැසික දේවල් ගැන හැඟෙන ආකාරය පමණක් නොව විනෝදය සඳහා අප තෝරාගන්නා දේවල් සම්බන්ධයෙන් සිතා බැලීමට හොඳ ප්රතිපත්තියක්ද ඉගෙනගත හැකියි. ඒ නිසා සැහැසික ක්‍රියාවලට අප තුළ ආශාවක් ඇති කළ හැකි දේවල් අප විනෝදය සඳහා තෝරාගන්නේ නැහැ. යෙහෝවා දෙවි, “සමාදානයේ දෙවි” වන නිසා ඔහුගේ සේවකයන් වන අප, ඔහුව ආදර්ශයට ගනිමින් අපේ මනස් ප්‍රේමයට දායක වන නිර්මල හා ප්‍රශංසනීය දේවලින් පුරවාගැනීමට උත්සාහ කරනවා.—ෆිලිප්පි 4:8, 9 කියවන්න.
ලේ වගුරුවා ඇති සංවිධානවලින් ඈත්ව සිටිමු
20-22. සැබෑ ක්‍රිස්තියානීන් වන අපේ ස්ථාවරය කුමක්ද?
20 ඝාතනය කර ඇති අසංඛ්‍යාත මිනිස් ජීවිත වෙනුවෙන් සාතන්ගේ පාලනය යටතේ තිබෙන මුළු මිනිස් සමාජයම වරදකරුවන්. මේ ලෝකයේ තිබෙන සියලු ආණ්ඩු වරදකරුවන් වී තිබෙන මිනිස් සමාජයේ ප්‍රධාන කොටසක්. යෙහෝවා දෙවිගේ සේවකයන් ඇතුළු කෝටි ප්‍රකෝටි ගණනක අහිංසක මිනිසුන්ගේ ලේ ඔවුන් වගුරුවා තිබෙනවා. ඔවුන්ව නියෝජනය කිරීම සඳහා ලේ පිපාසිත මෘගයන්ව බයිබලයේ යොදාගැනීම මොන තරම් උචිතද! (දානියෙල් 8:3, 4, 20-22; එළිදරව් 13:1, 2, 7, 8) එමෙන්ම ලේ පිපාසිත මෘගයාට අනුබල දෙන විද්‍යාව හා ව්‍යාපාර සංවිධානද ලේ වැගිරීම්වලට වරදකරුවන් වී තිබෙනවා. මන්ද තාක්ෂණය තව තවත් දියුණු කරමින් විද්‍යාව බොහෝ අවිආයුධ නිපදවා තිබෙන අතර ඒවා විකිණීමෙන් ව්‍යාපාර සංවිධාන බොහෝ ලාභ උපයා තිබෙනවා. ඒ සෑම දෙයකින්ම පැහැදිලි වන්නේ, “මේ මුළු ලෝකයම දුෂ්ටයාගේ බලපෑමට යටත්ව තිබෙන” බවයි.—1 යොහන් 5:19.
21 යේසුස්ගේ අනුගාමිකයන් වන අප, ‘මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවී’ සිටීමට උත්සාහ දරන නිසා කෙළින්ම හෝ වක්‍රාකාරව දේශපාලනයට හෝ යුද්ධවලට සම්බන්ධ වන්නේ නැහැ.d (යොහන් 15:19; 17:16) ඒ නිසා අසංඛ්‍යාත මිනිස් ජීවිත අහිමි කිරීම හේතුවෙන් මිනිස් සමාජය මත පැටවී තිබෙන වරදින් අප නිදහස්. අන් අය අපට දරුණු ලෙස හිංසා පීඩා කළත් යේසුස්ව ආදර්ශයට ගන්නා අය හැටියට අපි ඔවුන්ගෙන් පළිගන්නේ නැහැ. අප අපේ සතුරන්ට පවා ප්‍රේමය පෙන්වන අතර ඔවුන් වෙනුවෙන් යාච්ඤාද කරනවා.—මතෙව් 5:44; රෝම 12:17-21.
22 ඉහත සලකා බැලූ සියලුම සංවිධාන ලේ වැගිරවීමේ වරදකරුවන් වී තිබුණත් දෙවිගෙන් ඈත්ව අසත්‍යය උගන්වන සියලුම ආගම් නියෝජනය කරන, “මහ බැබිලෝනිය” තරම් වෙන කිසිම සංවිධානයක් අහිංසක මිනිසුන්ගේ ලේ වගුරුවා නැහැ. බයිබලයේ පවසා තිබෙන්නේ, ‘අනාගතවක්තෘවරුන්ගේද ශුද්ධ තැනැත්තන්ගේද පොළොව මත මරනු ලැබූ සියල්ලන්ගේද ලේවලට ඔවුන් වග කිව යුතු’ බවයි. ඒ නිසා සැබෑ ක්‍රිස්තියානීන් මහ බැබිලෝනිය සමඟ කිසිම ආකාරයකින් සම්බන්ධ නොවීමට වගබලා ගෙන තිබෙනවා. දෙවි තම සෙනඟට අනතුරු අඟවා තිබෙන්නෙත්, “මාගේ සෙනඟෙනි, ඇයව අත්හැර පිටතට එන්න” කියායි.—එළිදරව් 17:6; 18:2, 4, 24.
23. මහ බැබිලෝනිය අත්හැර පිටතට එන්න කියා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
23 දෙවි දී තිබෙන අනතුරු ඇඟවීමට එකඟව ක්‍රියා කිරීමට නම් අසත්‍යය උගන්වන ආගම්වල සාමාජිකත්වයෙන් ඉවත් වීම පමණක් ප්‍රමාණවත් නොවෙයි. එම ආගම් එහි සාමාජිකයන්ට කිරීමට දිරිගන්වන හෝ ඉඩහැර තිබෙන සෑම ක්‍රියාවක්ම අප සම්පූර්ණයෙන්ම පිළිකුල් කළ යුතුයි. උදාහරණයකට එවැනි ආගම් තුළ දක්නට තිබෙන පහත් සදාචාර ප්‍රමිති, ධන සම්පත් රැස් කිරීමේ කෑදරකම හා දේශපාලන කටයුතුවලට ඇඟිලි ගැසීම වැනි දේවලින් අප සම්පූර්ණයෙන්ම ඈත් විය යුතුයි. (ගීතාවලිය 97:10 කියවන්න; එළිදරව් 18:7, 9, 11-17) ඇත්තෙන්ම අහිංසක මිනිසුන්ගේ ජීවිත රැසක් අහිමි වී තිබෙන්නේ එවැනි ක්‍රියා නිසයි.
24, 25. (අ) දයාව පෙන්වීමට දෙවි ඇති කර තිබෙන සැලැස්මට ඇතුළත් වන්නේ මොනවාද? (ආ) ඊට සමාන වන්නේ පුරාණයේ තිබූ කුමන සැලැස්මද?
24 යෙහෝවා දෙවිව දැනගැනීමට කලින් අප සියලුදෙනාත් ඉහත සඳහන් කළ සාතන්ගේ බලපෑම යටතේ තිබෙන සංවිධානවලට යම් ආකාරයකින් හෝ සහයෝගය දුන්නා. ඒ නිසා අහිංසක මිනිසුන්ගේ ලේ වැගිරවීමේ වරද යම් ප්‍රමාණයකට අප පිටත් පැටවී තිබුණා. නමුත් අප දෙවි කැමති ආකාරයට අපේ ජීවිත වෙනස් කර, යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි දැඩි විශ්වාසයක් තබා අපේ ජීවිත දෙවිට කැප කළ නිසා අපට දෙවිගෙන් දයාව ලැබී තිබෙනවා. ඉන් අදහස් කරන්නේ ලේ වැගිරීමේ වරදින් නිදහස් වී දෙවි සමඟ කිට්ටු බැඳීමක් දිගටම පවත්වාගෙන යෑමේ අවස්ථාව අපට ලැබී තිබෙන බවයි. එය මොන තරම් සහනයක්ද! (ක්‍රියා 3:19) දයාව පෙන්වීමට දෙවි ඇති කර තිබෙන එම සැලැස්ම පුරාණයේ ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවෙන් දෙවි පිහිටුවා තිබූ සැලැස්මට සමානයි.—ගණන් කතාව 35:11-15; ද්විතීය කතාව 21:1-9.
25 ඒ කාලයේ යම් කෙනෙකු අතින් අත්වැරදීමක් නිසා ජීවිතයක් නැති වුණොත් එම තැනැත්තාට තම ජීවිතය බේරාගැනීම සඳහා පලා යෑමට ආරක්ෂිත නුවරවල් පිහිටුවා තිබුණා. ආරක්ෂිත නුවරට පලා ගිය තැනැත්තා අතින් සිදු වූ දෙය අත්වැරදීමක් කියා විනිශ්චයකරුවන් තීරණය කළ පසු උත්තම පූජකයා මිය යන තුරු ඔහු එම නුවරේ රැඳී සිටිය යුතු වුණා. එසේ රැඳී සිටීමෙන් ඔහුට තම ජීවිතය ආරක්ෂා කරගැනීමට හැකි වෙනවා. නමුත් උත්තම පූජකයා මිය ගිය පසු ඔහුට කැමති තැනකට ගොස් ජීවත් වීමට අවසර තිබුණා. එම සැලැස්ම දෙවි කොතරම් දයාවන්ත දෙවි කෙනෙක්ද කියා ඔප්පු කිරීමට ප්‍රබල සාක්ෂියක්. එමෙන්ම දෙවි ජීවිත කොතරම් අනර්ඝ දෙයක් ලෙස සලකනවාද යන්න ගැනත් එම සැලැස්මෙන් මනාව පැහැදිලි වෙනවා. පුරාණයේ දෙවි ඇති කළ ඒ සැලැස්ම හා සමානව අද දින අපටත් දයාව පෙන්වීමට යේසුස්ගේ ජීවිත පූජාව පදනම් කරගෙන දෙවි සැලැස්මක් ඇති කර තිබෙනවා. ජීවිතය හා රුධිරය සම්බන්ධයෙන් දෙවි දී තිබෙන නීති අප අතින් නොදැනුවත්වම කඩ වී තිබෙන නිසා අප දෙවි ඉදිරියේ වරදකරුවන්ව සිටියා. නමුත් යේසුස්ගේ ජීවිත පූජාව නිසා අපට සමාව ලබාගැනීමට අවස්ථාව ලැබුණා. ඇත්තෙන්ම දෙවි ඇති කළ ඒ සැලැස්ම අප අගය කළ යුතුයි. අපට එය කළ හැක්කේ කෙසේද? දෙවිගේ එම සැලැස්මෙන් ප්‍රයෝජන ගැනීමට අන් අයටත් උපකාර කිරීම අපට එය කළ හැකි එක් ක්‍රමයක්. සෑම දිනකම අප ‘මහත් පීඩාවට’ තව තවත් ළං වන නිසා අපට තිබෙන එම වගකීම හදිසිතාවකින් යුතුව ඉටු කිරීම මොන තරම් වැදගත්ද!—මතෙව් 24:21; 2 කොරින්ති 6:1, 2.
අනුන්ගේ ජීවිතත් අපට වටින බව පෙන්වමු
26-28. එසකියෙල් කළ කාර්යයට සමාන කාර්යයක් අද අපට ඉටු කිරීමට තිබෙන බව පැවසිය හැක්කේ ඇයි? දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට නම් අප කළ යුත්තේ මොනවාද?
26 අද දින දෙවිගේ සේවකයන් වන අපට පවරා තිබෙන එම කාර්යය පුරාණයේ සිටි එසකියෙල්ට දෙවි පැවරූ කාර්යයට සමානයි. දෙවි ඔහුට පැවසුවේ මෙසේයි. “මා කියන දේ අසා මා දෙන අනතුරු ඇඟවීම ඔවුන්ට [ඊශ්‍රායෙල් සෙනඟට] දැන්විය යුතුයි.” ඔහුට දෙවි දුන් ඒ පැවරුම ඔහු නොසලකාහැරියා නම් යෙරුසලම මත දෙවිගේ විනිශ්චය ක්‍රියාත්මක වන විට මිය ගිය අයගේ ජීවිතවලට ඔහු වග කිව යුතු වුණා. (එසකියෙල් 33:7-9) නමුත් ඔහු තම පැවරුම විශ්වාසවන්තව ඉටු කළ නිසා මිය ගිය අයගේ ජීවිත වෙනුවෙන් දෙවිට ගණන් දීමට ඔහුට සිදු වුණේ නැහැ.
27 අද අප ජීවත් වන්නේ සාතන්ගේ පාලනයේ අවසාන අදියරයේ නිසා දෙවි “තම සතුරන්ට දඬුවම් කිරීමට නියම කර ඇති දවස” ගැන අනතුරු ඇඟවීම අපත් සලකන්නේ බැරෑරුම් වගකීමක් ලෙසයි. එමෙන්ම දේවරාජ්‍යය ගැන ශුභාරංචිය මිනිසුන්ට පැවසීම අපට ලැබී තිබෙන උතුම් වරප්‍රසාදයක් ලෙස අප සලකනවා. (යෙසායා 61:2; මතෙව් 24:14) ඒ සම්බන්ධයෙන් පාවුල්ද අපට කදිම ආදර්ශයක්. ඔහුත් ශුභාරංචිය දේශනා කිරීමේ පැවරුම සැලකුවේ ඉතා බැරෑරුම් දෙයක් ලෙසයි. “මම සියලුදෙනාගේ ලෙයින් නිදහස්. . . . දෙවිගේ කැමැත්ත ගැන මම ඔබට කිසිම දෙයක් නොසඟවා හැම දෙයක්ම හොඳින් අවබෝධ කර දුන්නා” කියා පැවසීමට ඔහුට හැකි වුණේ ඒ නිසයි. (ක්‍රියා 20:26, 27) එසේනම් අප එක් එක් කෙනාත් එම කාර්යයේ හැකි උපරිමයෙන් හවුල් වෙනවාද කියා අපවම සෝදිසි කර බැලීම නැණවත් දෙයක් නොවේද!
28 මෙම පරිච්ඡේදය පුරා අප සලකා බැලූ කරුණුවලින් පැහැදිලි වන්නේ අපේ පියාණන් වන යෙහෝවා දෙවිගේ ප්‍රේමය දිගටම ලබාගැනීම සඳහා ඔහු මෙන් අපත් ජීවිතය හා රුධිරය අනර්ඝ දෙයක් ලෙස සැලකිය යුතු බවයි. ඊළඟ පරිච්ඡේදයේ අප සලකා බලන්නේ දෙවිගේ ප්‍රේමය දිගටම ලබාගැනීමට නම් අප සැලකිලිමත් විය යුතු තවත් පැත්තක් ගැනයි. එනම් දෙවිගේ ප්‍රමිතිවලට අනුව පවිත්‍ර ජීවිතයක් ගත කිරීමේ වැදගත්කමයි.
a “පණ ඇති සියල්ලන්ගේ ජීවය රැඳී තිබෙන්නේ ලේවලය” කියා දෙවි පැවසූ වදන් වචනාර්ථයෙන්ම සත්‍යයක් බව එක් වෛද්‍ය සඟරාවක සඳහන් වුණා. ඊට හේතුව ලෙස එහි සඳහන් කළේ, “රුධිරයේ අඩංගු සෑම කොටසක්ම ජීවිතයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය” බවයි.
b වැඩි විස්තර සඳහා 2006 අගෝස්තු පිබිදෙව්! කලාපයේ 3-12 දක්වා පිටුවල සඳහන් තොරතුරු බලන්න.
c එම බයිබල් පදයේ දරුවා කියා පවසා තිබෙන්නේ පිළිසිඳගෙන දවස් කිහිපයක් ගත වූ කලලයකටද නැත්නම් ඉපදීමට ආසන්නව සිටින දරුවෙකුටද කියා නිශ්චිතව පවසා නැහැ. ඉන් පැහැදිලි වන්නේ දරුවා කුමන අවදියක සිටියත් දෙවි එය ජීවිතයක් ලෙස සලකන අතර එම ජීවිතය දෙවිට අනර්ඝ බවයි. එය විනාශ කර දැමීම දෙවි ඉදිරියේ බරපතළ වරදක්.
e උපග්‍රන්ථයේ “රුධිරයේ අනුකොටස් හා ප්‍රතිකාර ක්‍රම” කියන ලිපිය බලන්න.