පරිච්ඡේදය 9
යේසුස්ගේ නාමය තදින් අල්ලාගෙන සිටීම
පර්ගමම්
1. යේසුස් ඊළඟ පණිවුඩය යැව්වේ කිනම් සභාවටද? එම ක්‍රිස්තියානීන් ජීවත් වූයේ මොන වගේ නගරයකද?
ස්මර්ණාවේ සිට මුහුදුබඩ තීරයේ සැතපුම් 50ක් උතුරු දෙසට ගමන් කොට, කයිකස් ගංගා නිම්නය හරහා තවත් සැතපුම් 15ක් රට තුළට ගමන් කළ විට, අපට හමු වෙන්නේ පර්ගමම් නගරයයි. දැන් එය හැඳින්වෙන්නේ බර්ගමා ලෙසයි. සියුස් හෙවත් ජුපිටර් දෙවියාගේ දේවාලය නිසා මේ නගරය ප්‍රසිද්ධ වී තිබුණා. එක්දහස් අටසිය ගණන්වල පුරාවිද්‍යාඥයන් මේ දේවාලයේ පූජාසනය ජර්මනියට ගෙන ආවා. එය බර්ලින් නුවර පර්ගමොන් කෞතුකාගාරයේ තබා ඇති මිථ්‍යා දෙවිවරුන්ගේ ප්‍රතිමා සහ කැටයම් බොහොමයක් අතර අදත් දකින්න පුළුවන්. මහා පරිමාණයෙන් රූප වන්දනාවක් සිදු කළ නගරයක ජීවත් වූ ක්‍රිස්තියානීන්ට ස්වාමීන් වන යේසුස් යවන්නේ මොන වගේ පණිවුඩයක්ද?
2. යේසුස් තමාවම හඳුන්වා දෙන්නේ කෙසේද? තමාට ‘දෙමුවහත් කඩුවක්’ ඇති බව කීමෙන් යේසුස් අදහස් කරන්නේ කුමක්ද?
2 පළමුව යේසුස් තමා කවුද කියා හඳුන්වා දෙනවා. “පර්ගමම්හි පිහිටි සභාවේ දූතයාට මෙසේ ලියන්න. දෙමුවහත්, තියුණු දිග කඩුව ඇති තැනැත්තා මේ කාරණා කියන්නේය.” (එළිදරව් 2:12) යේසුස් මෙහිදී නැවතත් පවසන්නේ එළිදරව් 1:16හි තමා ගැන දුන් විස්තරයමයි. යේසුස් විනිශ්චයකරුවෙකු වගේම වැරදිකරුවන්ට හිමි දඬුවම ක්‍රියාත්මක කරන කෙනෙක්. ඒ නිසා ඔහු තම ගෝලයන්ට පීඩා කරන අයව විනාශ කරනවාමයි. මෙය මොන තරම් සැනසිලිදායක පණිවුඩයක්ද! ඒ වුණත් සභාව තුළ සිටින අයටත් මෙය අනතුරු ඇඟවීමක්. මන්ද යේසුස් ක්‍රිස්තුස් නම් “ගිවිසුමේ දූතයා” මාර්ගයෙන් යෙහෝවා දෙවි “ශීඝ්‍ර සාක්ෂිකාරයෙක්” ලෙස ඇවිත් ක්‍රිස්තියානියයි කියාගන්නා නමුත් රූප වන්දනාව, දුරාචාරය, බොරු කීම සහ වංචනික දේවල් කරන, අග හිඟකම්වලින් පෙළෙන අය ගැන කිසිම සැලකිල්ලක් නොදක්වන අයට එරෙහිව පියවර ගන්න යනවා. (මලාකි 3:1, 5; හෙබ්‍රෙව් 13:1-3) ඒ නිසා, දෙවි යේසුස් මාර්ගයෙන් දෙන අවවාද උපදෙස්වලට කෙනෙක් කීකරු විය යුතුමයි.
3. පර්ගමම් නගරයේ පැවති බොරු නමස්කාරය කුමක්ද? එහි “සාතන්ගේ සිංහාසනය” තිබූ බව කිව හැක්කේ කෙසේද?
3 යේසුස් දැන් සභාවට මෙසේ කියනවා. “ඔබ වාසය කරන්නේ කොතැනදැයි දනිමි. ඒ සාතන්ගේ සිංහාසනය තිබෙන තැනය.” (එළිදරව් 2:13අ) සාතන්ට කරන වන්දනාමානවලින් එම ක්‍රිස්තියානීන් වට වෙලයි හිටියේ. සියුස්ගේ දේවාලය තිබෙනවාට අමතරව, රෝග සුව කරන දෙවියෙකු කියා සැලකූ ඇස්ක්ලීපියස් දෙවියාගේ දේවාලයත් එහි තිබුණා. ඒ වගේම රෝම අධිරාජ්‍යයාට කළ නමස්කාරයේ මධ්‍යස්ථානයක් ලෙසද පර්ගමම් ප්‍රසිද්ධ වී තිබුණා. “සාතන්” යනුවෙන් පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් වචනයේ අදහස “විරුද්ධකාරයා” යන්නයි. ඔහුගේ “සිංහාසනය” කීමෙන් යම් කාලයකට දෙවි විසින් ඔහුට ලෝකය පාලනය කිරීමට ඉඩ දී තිබීම අදහස් කරනවා. පර්ගමම් නගරයේ රූප වන්දනාව බහුලව තිබුණා. ඉන් පෙනී යන්නේ සාතන්ගේ “සිංහාසනය” එම නගරයේ තදින් පිහිටා තිබූ බවයි. එහි විසූ ක්‍රිස්තියානීන් ජාතිවාදී නමස්කාරයට හවුල් නොවී ඔහුට නමස්කාර නොකර සිටීම ගැන සාතන් මොන තරම් කෝපයෙන් සිටින්න ඇද්ද!
4. (අ) පර්ගමම්හි සිටි ක්‍රිස්තියානීන්ට යේසුස් දුන් ප්‍රශංසාව කුමක්ද? (ආ) රෝම අධිරාජ්‍යයේ නියෝජිතයෙකු වූ ප්ලිනි, ට්රේජන් අධිරාජ්‍යයාට ක්‍රිස්තියානීන්ට තමන් කළ දේ ගැන ලිව්වේ කුමක්ද? (ඇ) මොන තරම් අවදානමක් තිබුණත් පර්ගමම්හි ක්‍රිස්තියානීන් ක්‍රියා කළේ කෙසේද?
4 “සාතන්ගේ සිංහාසනය” තිබුණේ පර්ගමම් නගරයේ බව පැහැදිලියි. “එහෙත් ඔබ දිගටම මාගේ නාමය තදින් අල්ලාගෙන සිටින්නෙහිය. ඔබ ඉදිරියෙහි, එනම් සාතන් වාසය කරන ස්ථානයෙහි මරන ලද මාගේ විශ්වාසවන්ත තැනැත්තා වූද මාගේ සාක්ෂිකරු වූද අන්තිපස්ගේ දවස්වලදීවත් මා කෙරෙහි වූ ඔබේ ඇදහිල්ල ඔබ ප්‍රතික්ෂේප නොකළෙහිය” කියා යේසුස් පැවසුවා. (එළිදරව් 2:13) මොන තරම් දිරිගන්වනසුලු ප්‍රශංසාවක්ද! මෙහි යේසුස් සඳහන් කරන අන්තිපස් නමැති තැනැත්තාව මරා දැම්මේ භූත වන්දනාව හා රෝම අධිරාජ්‍යයාට නමස්කාර කිරීම ඔහු ප්‍රතික්ෂේප කළ නිසයි. යොහන්ට මෙම අනාවැකිය ලැබී වැඩි කල් යන්න පෙර, රෝමයේ ට්රේජන් අධිරාජ්‍යයාගේ පෞද්ගලික නියෝජිතයා වූ කනිෂ්ඨ ප්ලිනි, ක්‍රිස්තියානීන් කියා චෝදනා ලැබූ අයට කරන්න යන දේ ගැන විස්තර ඇතුළත් ලිපියක් ට්රේජන් අධිරාජ්‍යයාට යැව්වා. අධිරාජ්‍යයාද එය අනුමත කළා. තමන් ක්‍රිස්තියානීන් නොවේ කියා ප්‍රකාශ කළ අයව නිදහස් කළා. මෙවැන්නන් ගැන ප්ලිනි කීවේ මෙසේයි. “මා විසින් දෙවිවරුන්ට යදින යාතිකාවක් කළායින් පසුව, ඔවුනුත් එම යාතිකාවම කළා. ඉන් පසුව ඔවුන් ඔබගේ [ට්රේජන්ගේ] රූපයට සුවඳ දුම් හා වයින් ඔප්පු කළා. . . . මීට අමතරව, ඔවුන් ක්‍රිස්තුස්ට ශාප කළා.” එසේ කළ අයව නිදහස් කළා. එසේ නොකර තමන් ක්රිස්තියානීන්මයයි කියා සිටි අයව ඝාතනය කළා. එවන් අනතුරක සිටියත් පර්ගමම්හි සිටි ක්‍රිස්තියානීන් නම් තමන්ගේ ඇදහිල්ල අත්හැරියේ නැහැ. ඔවුන් ‘යේසුස්ගේ නාමය තදින් අල්ලාගෙන සිටියා.’ එයින් අදහස් වෙන්නේ ඔවුන් යේසුස්ව කොහොමටවත් ප්‍රතික්ෂේප නොකළ බවයි. ඔවුන් එසේ කළේ යෙහෝවා දෙවිට විරුද්ධව නඟා ඇති චෝදනා බොරු බව ඔප්පු කරන ප්‍රධාන තැනැත්තා යේසුස් බවත් ඔහු දෙවි විසින් පත් කරන ලද විනිශ්චයකරු බවත් තදින් විශ්වාස කළ නිසයි. මෙසේ ඔවුන් දේවරාජ්‍යය ගැන දේශනා කරන සාක්ෂිකරුවන් ලෙස යේසුස්ගේ අඩිපාරේ ගමන් කළා.
5. (අ) එදා තිබුණු අධිරාජ්‍ය වන්දනාවට සමානව අද දින ක්‍රිස්තියානීන්ට දරුණු පරීක්ෂාවක් වී ඇත්තේ කුමන දෙයද? (ආ) මුරටැඹ සඟරාව ක්‍රිස්තියානීන්ට උපකාරවත් වී ඇත්තේ කෙසේද?
5 අවස්ථා ගණනාවකදීම යේසුස් පැහැදිලිව පැවසුවේ මේ දුෂ්ට ලෝකය සාතන් විසින් පාලනය කරන බවයි. නමුත් දෙවිට විශ්වාසවන්තව සිටි යේසුස්ව හසු කරගන්නට නම් සාතන්ට හැකි වූයේ නැහැ. (මතෙව් 4:8-11; යොහන් 14:30) අපේ කාලයේ බලවත් ජාතීන්, විශේෂයෙන්ම “උතුරේ රජ” සහ “දකුණේ රජ” ලෝකයේ තම බලය තහවුරු කරගැනීමට එකිනෙකා සමඟ සටන් වැද තිබෙනවා. (දානියෙල් 11:40) මේ නිසා රට ජාතිය සඳහා ඇති ආලය උමතුවක් වගේ පොළොව පුරා පැතිරිලා. මෙම ජාත්‍යාලය එදා තිබූ අධිරාජ්‍ය වන්දනාවට සමානයි. ජාත්‍යාලයෙන් වැළකී සිටීම සඳහා මුරටැඹ ලිපිවලින් සැබෑ ක්‍රිස්තියානීන්ට මේ සම්බන්ධයෙන් බයිබලයේ උගන්වා ඇති දේ පැහැදිලිව මතක් කර දී තිබෙනවා. (1939 නොවැම්බර් 1 සහ 1979 නොවැම්බර් 1 ඉංග්‍රීසි කලාප; 1987 පෙබරවාරි 1 සිංහල කලාපය.) මෙම ලිපි තුළින් යෙහෝවා දෙවිගේ නමින් ගමන් කරන්නටත්, ලෝකය ජයගත් යේසුස්ගේ ආදර්ශය අනුගමනය කිරීමටත් අදිටන් කරගෙන සිටින ක්‍රිස්තියානීන්ට නිසි මඟ පෙන්වීම් ලැබී තිබෙනවා.—මීකා 4:1, 3, 5; යොහන් 16:33; 17:4, 6, 26; 18:36, 37; ක්‍රියා 5:29.
6. මෑත කාලවලදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් අන්තිපස් මෙන් ස්ථිරව සිට ඇත්තේ කෙසේද?
6 ජාත්‍යාලය නමැති උමතුව හමුවේ ඇදහිල්ලේ ස්ථිරව සිටීමට අභිෂේක ලත් අයට වගේම වෙනත් බැටළුවන්ටත් එවන් මඟ පෙන්වීම් බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වුණා. එක්සත් ජනපදයේ සිසුන් සහ ගුරුවරුන් සිය ගණනක් ජාතික කොඩියට ආචාර නොකළ නිසා ඔවුන්ව පාසැල්වලින් අස් කළා. ඒ වගේම ජර්මනියේ හිට්ලර්ගේ නාට්සි ලාංඡනය වූ ස්වස්තික කොඩියට ආචාර නොකළ නිසා එහි සාක්ෂිකරුවන්ට දරුණු ලෙස වධ හිංසා පමුණුවනු ලැබුවා. යෙහෝවා දෙවිගේ පක්ෂපාත සේවකයන් දහස් ගණනක්ව හිට්ලර්ගේ නාට්සිවාදීන් විසින් ඝාතනය කරනු ලැබුවේ මේ නිසයි. දෙවිට පූර්ණ කාලීනව සේවය කළ දෙදෙනෙක් 1930 ගණන්වලදී ජපානයේ පාලනය යටතේ පැවති තායිවානයේ දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය කඩිසරව පතුරුවමින් සිටියා. එවකට ජපානයේ ෂින්ටෝ අධිරාජ්‍යයාව සැලකුවේ දෙවි කෙනෙකුට සමානවයි. තායිවානයේ සිටි ජපන් හමුදා පාලකයන් මේ දෙදෙනාව සිරගත කළ අතර, දරුණු වධ හිංසා නිසා එක් කෙනෙක් මිය ගියා. අනෙක් තැනැත්තාව නිදහස් කළත් පිටුපසින් ගොස් ඔහුට වෙඩි තැබුවා. ඇත්තෙන්ම ඔහු නවීන දින අන්තිපස් කෙනෙක්. අද දක්වාම බොහෝ රටවල්වල තමන්ගේ ජාතික ලාංඡනවලට නමස්කාර කරන්න කියා සැබෑ ක්‍රිස්තියානීන්ට කරන බල කිරීම නැවතී නැහැ. සාක්ෂිකාර යෞවනයන් බොහෝදෙනෙක් ඉතා නිර්භීතව තම ක්‍රිස්තියානි ස්ථාවරය රැකගැනීම නිසා සිරගත කර තිබෙනවා. මේ නිසා ඝාතනය කර ඇති ක්‍රිස්තියානීන්ගේ සංඛ්‍යාවද සුළු පටු නැහැ. ඔබත් මේ කාරණා නිසා පරීක්ෂාවලට මුහුණ දෙන යෞවනයෙක් නම්, දිනපතා දෙවිගේ වචනය අධ්‍යයනය කරන්න. එවිට “ජීවිතය රැකෙන ලෙස ඇදහිල්ල ඇති” කෙනෙක් ලෙස සදාකාල ජීවිතය ගැන බලා සිටින්නට ඔබටත් හැකියි.—හෙබ්‍රෙව් 10:39–11:1; මතෙව් 10:28-31.
7. ඉන්දියාවේ යෞවනයන් කිහිපදෙනෙක් ජාත්‍යාලයට මුහුණ දුන්නේ කෙසේද? ප්‍රතිඵලය කුමක්ද?
7 පාසැල් සිසුන්ද ඒ හා සමානව ප්‍රශ්නවලට මුහුණ පා තිබෙනවා. වර්ෂ 1985දී ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ යෞවන සාක්ෂිකරුවන් තිදෙනෙක් තම ඇදහිල්ල නිසා ජාතික ගීය ගායනා කිරීම ප්‍රතික්ෂේප කළා. අනෙක් ළමුන් එය ගායනා කරන අතරතුර ඔවුන් ගෞරවණීයව සිටගෙන සිටියා. නමුත් ඔවුන්ව පාසැලෙන් නෙරපා දමනු ලැබුවා. නීතියේ පිහිට පැතූ මෙම දරුවන්ගේ පියා අන්තිමේදී මේ ගැන ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළා. එම නඩුවට පෙනී සිටි විනිසුරුවන් දෙදෙනා දරුවන්ට හිතකර වූ තීන්දුවක් දුන්නේ නිර්භීතව මෙසේ ප්‍රකාශ කරමිනුයි. “අපේ සම්ප්රදායන්ගෙන් උගන්වන්නේ අනුන්ගේ මත හා විශ්වාසයන්වලට ගරු කරන්න කියායි. අපේ ආගමික ඉගැන්වීම්වල කියා තිබෙන්නෙත් එයයි. අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ද ඊට නිදහස දී තිබෙනවා. එසේනම් අපි එය දියාරු නොකරමු.” මේ නඩු තීන්දුව ගැන මාධ්‍යය මගින් ඉමහත් ප්‍රසිද්ධියක් ලැබුණා. එනිසා එවකට ලෝක ජනගහනයෙන් පහෙන් එකකට ආසන්න සංඛ්‍යාවක් ජීවත් වූ මෙම රටේ ජනතාවට පැහැදිලි වුණේ සැබෑ දෙවි වන යෙහෝවාට නමස්කාර කරන බයිබල් ප්‍රතිපත්තිවලට පක්ෂාපතව ඇලී සිටින ක්‍රිස්තියානීන් තම රටේ සිටින බවයි.
දූෂිත බලපෑම්
8. යේසුස්ට පර්ගමම්හි ක්‍රිස්තියානීන්ට විරුද්ධව කීමට ඇති කාරණා මොනවාද?
8 පර්ගමම්හි විසූ ක්‍රිස්තියානීන් දෙවිට පක්ෂපාතව සිටියා.“එහෙත් ඔබට විරුද්ධව කාරණා ස්වල්පයක් මට ඇත” කියා යේසුස් පවසනවා. ඒ මොනවාද? “එනම්, දේවතා රූපවලට පූජා කළ දේවල් කන පිණිසද, වේශ්‍යාකම් කරන පිණිසද, ඊශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙහි බාධාවට හේතු වන දෙයක් තබන්නැයි බාලාක්ට ඉගැන්වූ බාලාම්ගේ ඉගැන්වීම අල්ලාගෙන සිටින සමහරු ඔබ අතරෙහි සිටිති.”—එළිදරව් 2:14.
9. බාලාම් යනු කවුද? ඔහු ඊශ්‍රායෙල් පුත්‍රයන් “ඉදිරියේ බාධාවට හේතු වන දෙයක්” තැබුවේ කෙලෙසද?
9 මෝසෙස්ගේ කාලයේදී මෝවබ් දේශයේ බාලාක් රජ ඊශ්‍රායෙල් ජනයාට ශාප කිරීමට බාලාම් නම් වූ ඊශ්‍රායෙල් ජාතිකයෙකු නොවන පුද්ගලයෙක්ව කුලියට ගත්තා. මේ බාලාම් යෙහෝවා දෙවි ගැන යමක් දැන සිටි පුද්ගලයෙක්. නමුත් යෙහෝවා දෙවි බාලාම්ට එරෙහිව සිට ඊශ්‍රායෙල් සෙනඟට ආශීර්වාද ප්‍රකාශ කරන්නත් ඔවුන්ගේ සතුරන්ට ශාප කරන්නත් ඔහුව පෙලඹුවා. කෙසේවෙතත් මේ ගැන අමනාපයෙන් සිටි බාලාක්ව සතුටු කිරීම සඳහා පසුව බාලාම් කපටි උපායක් යෝජනා කළා. ඒ තමයි මෝවබ් දේශයේ ස්ත්‍රීන් ලවා ඊශ්‍රායෙල් පුරුෂයන්ව ලිංගික දුරාචාරයට හසු කර, පෙයෝර්හි බාල් නම් බොරු දෙවියාගේ රූපයට නමස්කාර කිරීමට ඔවුන්ව පෙලඹවීම. මේ උපාය සාර්ථක වුණා. මේ නිසා යෙහෝවා දෙවි වේශ්‍යාකම් කළ ඊශ්‍රායෙලිතයන්ට වසංගතයකින් පහර දුන් නිසා 24,000දෙනෙක් මිය ගියා. මේ වසංගතය නැවතුණේ පිනෙහාස් නම් පූජකයා විසින් ඊශ්‍රායෙල්වරුන්ගෙන් මේ නපුර පහ කිරීමට ඉක්මන් පියවර ගත් නිසයි.—ගණන් කතාව 24:10, 11; 25:1-3, 6-9; 31:16.
10. පර්ගමම් සභාවේ බාධාවට හේතු වූයේ කුමක්ද? දෙවි තමන් කළ වැරදිවලට සමාව දෙයි කියා ඇතැම් අය හිතන්නට ඇත්තේ ඇයි?
10 පර්ගමම් සභාවේත් බාධාවට හේතු වන එවැනි දේවල් තිබුණාද? තිබුණා! දුරාචාරය හා රූප වන්දනාව සභාවට ක්‍රමක්‍රමයෙන් ඇතුල් වෙමිනුයි තිබුණේ. දෙවි පාවුල් මාර්ගයෙන් දී තිබූ අනතුරු ඇඟවීම ඔවුන් ගණන් ගෙන තිබුණේ නැහැ. (1 කොරින්ති 10:6-11) බොහෝ පීඩා විඳදරාගෙන සිටි නිසා, ඔවුන් කළ ලිංගික දුරාචාරයට යෙහෝවා දෙවි සමාව දෙයි කියා සමහරවිට ඔවුන් සිතන්න ඇති. නමුත් යේසුස් පැහැදිලිව ප්‍රකාශ කළේ එවැනි දුෂ්ටකම් ඔවුන් එකහෙළාම ප්‍රතික්ෂේප කළ යුතු බවයි.
11. (අ) ක්‍රිස්තියානීන් පරෙස්සම් විය යුත්තේ කුමකින්ද? ඔවුන් කිසිවිටෙකත් නොසිතිය යුත්තේ කුමක්ද? (ආ) පසුගිය වසර ගණනාව පුරා ක්‍රිස්තියානි සභා සාමාජිකත්වයෙන් කොපමණ ගණනක්ව ඉවත් කර තිබෙනවාද? ඉන් වැඩිදෙනෙක්ව ඉවත් කර තිබෙන්නේ මොන හේතුව නිසාද?
11 ඒ හා සමානව, අදත් ක්‍රිස්තියානීන් “අපගේ දෙවිගේ මහත් කරුණාව, නින්දිත හැසිරීමේ නියැලීමට මඟක්” කර නොගත යුතුයි. (යූද් 4) අපි නපුරු දේට වෛර කළ යුතුයි. ක්‍රිස්තියානි සදාචාර ප්‍රමිති රැකගැනීම සඳහා අපි පෞද්ගලිකව “දැඩි” පියවර ගත යුතුයි. (1 කොරින්ති 9:27; ගීතාවලිය 97:10; රෝම 8:6) අපි ඉතා උද්යෝගයෙන් දෙවිට සේවය කළ පළියට හෝ දරුණු පීඩා විඳදරාගත් පළියට, එය ලිංගික දුරාචාරයේ යෙදීමට ‘බලපත්‍රයක්’ කියා නොසිතිය යුතුයි. පසුගිය වසර ගණනාව පුරා සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ දසදහස් ගණන අතරින් වැඩිදෙනෙක්ව ඉවත් කරනු ලැබුවේ ලිංගික දුරාචාරය නිසයි. සමහර අවුරුදුවල මේ නිසා සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ සංඛ්‍යාව පෙයෝර්හි බාල් නිසා වැටුණු පැරණි ඊශ්‍රායෙලිතයන්ගේ සංඛ්‍යාවටත් වඩා වැඩියි. අපි කිසිවිටෙකත් එවැනි කෙනෙක් නොවීමට වගබලා ගනිමු.—රෝම 11:20; 1 කොරින්ති 10:12.
12. අතීතයේ සිටි දෙවිගේ සේවකයන් මෙන් අදත් ක්‍රිස්තියානීන් අදාළ කරගත යුත්තේ කිනම් ප්රතිපත්තිද?
12 ‘රූපවලට පූජා කළ දේවල් කෑම’ ගැනත් යේසුස් පර්ගමම් ක්‍රිස්තියානීන්ට අවවාද කරනවා. මීට ඇතුළත් වෙන්නේ මොනවාද? කොරින්තිවරුන්ට පාවුල් ලියූ දෙයින් මෙය පැහැදිලි වෙනවා. රූපවලට පූජා කළ දේ කෑම සම්බන්ධයෙන් ඇතැම් අය ක්‍රිස්තියානීන් ලෙස තමන්ට ඇති නිදහස අයුතු ලෙස යොදාගෙන හිතාමතා අන් අයව බාධාවට පත් කරන්නට ඇති. පෙනෙන විදිහට සමහරුන් රූප වන්දනාවක් සිදු වන උත්සවවලට පවා යම් ආකාරයකින් සහභාගි වුණා. (1 කොරින්ති 8:4-13; 10:25-30) මේ අනුව අද දින සිටින ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන් තමන්ගේ නිදහස පාවිච්චි කළ යුත්තේ අනුන් ගැනද කල්පනාවේ තබාගෙනයි. සැබෑ ක්‍රිස්තියානීන් අනුන්ව බාධාවට පත් කිරීමෙන් වැළකී සිටිය යුත්තේ ඔවුන්ට ඇති අව්‍යාජ ප්‍රේමය නිසයි. අද දිනත් රූප වන්දනාව විවිධ ආකාරයෙන් සිදු වෙනවා. ඉන් එකක් නම් රූපවාහිනියේ හා චිත්‍රපටවල රඟන නළු නිළියන්වද, ක්‍රීඩකයන්වද දේවත්වයෙන් සැලකීමයි. ඒ වගේම මුදලට හෝ කෑමට බීමට පවා අධික ගිජුකමක් දැක්වීමත් රූප වන්දනාවක්. මේ සියලු ආකාර රූප වන්දනාවලින් ක්‍රිස්තියානීන් වැළකිය යුතුයි.—මතෙව් 6:24; ෆිලිප්පි 1:9, 10; 3:17-19.
නිකායවලට බෙදීමේ උගුලට හසු වෙන්න එපා!
13. යේසුස් පර්ගමම්හි ක්‍රිස්තියානීන්ට ඊළඟට දෙන අවවාදය කුමක්ද? එම සභාවට ඒ අවවාද අවශ්‍ය වුණේ මන්ද?
13 යේසුස් පර්ගමම් ක්‍රිස්තියානීන්ට තවදුරටත් අවවාද කරන්නේ මෙසේ කියමිනුයි. “තවද, නිකලායස්ගේ නිකායේ ඉගැන්වීම අල්ලාගෙන සිටින අයද ඔබ අතරෙහි සිටිති.” (එළිදරව් 2:15) මීට පෙර මෙම නිකායට අයත් පුද්ගලයන්ගේ ක්‍රියා පිළිකුල් කළ එෆීස සභාවට යේසුස් ප්‍රශංසා කර තිබුණා. නමුත් පර්ගමම් සභාවට මෙම ප්රශ්නය තිබූ බව යේසුස්ගේ වචනවලින් පැහැදිලියි. එයින් සභාව ආරක්ෂා කරගැනීම සඳහා එහි ක්‍රිස්තියානීන්ට උපදෙස් අවශ්‍ය වුණා. යොහන් 17:20-23හි යේසුස්ගේ යාච්ඤාවේ සඳහන් වුණු එකමුතුකම ඔවුන්ට රැකගත හැකි වෙන්නේ ක්‍රිස්තියානි ප්‍රමිති රැකගැනීමට වඩාත් ස්ථිර පියවර ගැනීම මගින් පමණයි. ඒ නිසා “සුවදායී වූ ඉගැන්වීමෙන් උනන්දු කිරීමටත්, ඊට විරුද්ධව කතා කරන අයට අවවාද කිරීමටත්” අවශ්‍ය වුණා.—තීතස් 1:9.
14. (අ) ක්‍රිස්තියානි සභාවේ මුල් අවදියේ පටන් ක්‍රිස්තියානීන්ට මුහුණ දීමට සිදුව ඇත්තේ කාගේ තර්ජනයටද? පාවුල් මේ අය ගැන විස්තර කළේ කෙසේද? (ආ) නිකායවලට බෙදී යන්න හදන ඕනෑම කෙනෙක් තදින් සිතට ගත යුත්තේ යේසුස්ගේ කිනම් වචනද?
14 ක්‍රිස්තියානි සභාවට විරුද්ධව ක්‍රියා කළ උඩඟු කැරලිකාර පුද්ගලයන් එහි මුල් අවදියේ පටන් සිටියා. මිහිරි චාටු බස් යොදාගනිමින් මොවුන් කළේ යෙහෝවා දෙවි තම පණිවුඩ ලබා දීමට පාවිච්චි කළ අය දෙන “ඉගැන්වීමට පටහැනිව භේද උපදවා, බාධාවට හේතු වන දේවල් ඇති” කිරීමයි. (රෝම 16:17, 18) මේ අනතුර ගැන පාවුල් තම සෑම ලිපියකම වගේ සඳහන් කළා.a යේසුස් තම සත්‍යය සභාව පිරිසිදු කර, එක්සත් කර තිබෙන මේ කාලයේ පවා තවමත් නිකායවලට බෙදී යෑමේ අන්තරාය පවතිනවා. මේ නිසා සත්‍යය නමස්කාරයෙන් ඉවතට කඩාගෙන ගොස් සිටින වෙනත් නිකායකට සම්බන්ධ වෙන්න හදන ඕනෑම කෙනෙකුට යේසුස්ගේ ඊළඟ වචන හොදින් අදාළයි. “එබැවින්, පසුතැවිලි වෙන්න. ඔබ එසේ නොකළොත්, මම ඉක්මනින් ඔබ වෙත ඇවිත්, මගේ මුඛයෙහි ඇති දිග කඩුවෙන් ඔවුන්ට විරුද්ධව යුද්ධ කරන්නෙමි.”—එළිදරව් 2:16.
15. නිකායවලට බෙදීම සිදු වෙන්නේ කෙසේද?
15 නිකායවලට බෙදීම සිදු වෙන්නේ කෙසේද? සමහරවිට තමාට ඕන ඕන දේ උගන්වන පුද්ගලයෙක් අනුන් තුළ යම් බයිබල් සත්‍යයන් ගැන සැක ඇති කරන්න උත්සාහ කරනවා. උදාහරණයකට අප ජීවත් වෙන්නේ අන්තිම දවස්වලයි යන කාරණය හා සමාන දේවල් ගැන ඔහු වාද කරනවා විය හැකියි. එවිට යම් පිරිසක් සත්‍ය ඉගැන්වීම්වලින් මුළාව ගොස් ඔහු පසුපස යන්න පටන්ගන්නවා. (2 තිමෝති 3:1; 2 පේතෘස් 3:3, 4) එසේ නැත්නම් යෙහෝවා දෙවිගේ සංවිධාන සැලැස්ම ගැන කෙනෙක් විවේචනය කරන්න පුළුවන්. එවැනි අය කණ්ඩායම් හැටියට වෙනම රැස් වී ඉඳහිට බයිබලය කියවනවා පමණයි. ගෙයින් ගෙට ගොස් දේවරාජ්‍යය ගැන දේශනා කිරීම ශුද්ධ ලියවිල්ලට එකඟ නැතැයි කියා හෝ එය අවශ්‍ය නැතැයි කියා ඔවුන් කියනවා. ඇත්තටම යේසුස්ගේ සහ ඔහුගේ ගෝලයන්ගේ ආදර්ශය මතක් කරගෙන සේවයේ යෙදුණොත් ඔවුන්ට සැබෑ නිහතමානිකමක් ඉගෙනගත හැකියි. (මතෙව් 10:7, 11-13; ක්‍රියා 5:42; 20:20, 21) නමුත් මෙවැනි අය යේසුස්ගේ මරණය සිහි කිරීම, රුධිරයෙන් වැළකී සිටින ලෙස ශුද්ධ ලියවිල්ලේ දී ඇති ආඥාව, ආගමික උත්සව පැවැත්වීම සහ දුම්කොළ භාවිතය වැනි දේවල් ගැන තමන්ගේම මත ඉදිරිපත් කරනවා. වැඩි කල් නොගොස් ඔවුන් යෙහෝවා දෙවිගේ නාමයට අපහාස කරමින් අවසානයේදී මහා බැබිලෝනියේ දූෂිත දේවලට නැවතත් හැරී යනවා. මීටත් වඩා භයානක දේ වෙන්නේ සාතන්ගේ පෙලඹීම මත ඔවුන් ‘සෙසු දාසයන්’ හෙවත් මීට කලින් තම සහෝදරයන්ව සිටි අයට තළන්න පටන්ගැනීමයි.—මතෙව් 24:49; ක්‍රියා 15:29; එළිදරව් 17:5.
16. (අ) ඇදහිල්ලට එරෙහිව කැරලිගසන අයගේ බලපෑමට හසු වී ඇති අය පසුතැවිලි විය යුත්තේ ඇයි? (ආ) පසුතැවිලි වීම ප්‍රතික්ෂේප කරන අයට කුමක් සිදු වේද?
16 මෙවන් කැරලිකාර අදහස්වලට හසු වී සිටින අය වහාම යේසුස්ගේ අවවාදය සිතට ගෙන පසුතැවිලි විය යුතුයි! ඇදහිල්ලට එරෙහිව කැරලි ගසන අයගේ තොරතුරු විෂකුරුයි. මාරාන්තිකයි. ඒ නිසා ඒවා වහාම ප්‍රතික්ෂේප කළ යුතුයි. එවැනි තොරතුරු පතුරුවන්නේ ඊර්ෂ්‍යාව හා වෛරය නිසයි. යේසුස් තම සභාව පෝෂණය කිරීමට ලබා දෙන ධර්මිෂ්ඨ, පිරිසිදු සත්‍යයන්වලට වඩා මේවා කොතරම් වෙනස්ද! (ලූක් 12:42; ෆිලිප්පි 1:15, 16; 4:8, 9) පසුතැවිලි නොවන අයට එරෙහිව යේසුස් “[ඔහුගේ] මුඛයේ ඇති දිග කඩුවෙන් යුද්ධ කරනවා.” යේසුස් මෙවැනි අයව ඉවත් කර තම සභාව පවිත්‍ර කරනවා. තම ගෝලයන් සමඟ ගත කළ අන්තිම රාත්‍රියේ කළ යාච්ඤාවේදී යේසුස් සඳහන් කළ එකමුතුකම ඔවුන්ට පවත්වාගන්න හැකි වෙන්නේ එවිටයි. (යොහන් 17:20-23, 26) යේසුස්ගේ දකුණු අතේ සිටින තාරකා හෙවත් වැඩිමහල්ලන් විසින් දෙන ප්‍රේමණීය අවවාද පිළිගැනීමට ඇදහිල්ලට විරුද්ධව කැරලි ගසන අය අකමැති නිසා යේසුස් ඔවුන්ව විනිශ්චය කර, “ඉතා තදින් දඬුවම් කර” “පිටත අන්ධකාරයට” දමනවා. එනම් ඔවුන්ව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරනු ලබනවා. එවිට මුහුන් මෙන් දෙවිගේ ජනයාව අපවිත්‍ර කිරීමට ඔවුන්ට හැකි වෙන්නේ නැහැ.—මතෙව් 24:48-51; 25:30; 1 කොරින්ති 5:6, 9, 13; එළිදරව් 1:16.
‘සඟවා තිබෙන මන්නා සහ සුදු ගල් කැටයක්’
17. ‘ජයගන්නා’ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට ලැබෙන ආශීර්වාදය කුමක්ද? පර්ගමම්හි සිටින ක්‍රිස්තියානීන් ජයගත යුත්තේ කුමකින්ද?
17 යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම තුළින් යේසුස් දෙන උපදෙසට කීකරු වන සියලුදෙනාටම මහත් ආශීර්වාද ලැබෙනවා නියතයි.“ආත්මය සභාවලට පවසන දේ කන් ඇත්තා අසාවා: මම ජයගන්නාට, සඟවා තිබෙන මන්නාවලින් සමහරක් දෙන්නෙමි. ඔහුට සුදු ගල් කැටයක්ද දෙන්නෙමි. ඒ ගල් කැටය ලබන තැනැත්තා මිස වෙන කිසිවෙකු නොදන්නා අලුත් නමක් එහි ලියා ඇත.” (එළිදරව් 2:17) මෙසේ ස්මර්ණාවෙහි ක්‍රිස්තියානීන්ට වගේම පර්ගමම්හි සිටින ක්‍රිස්තියානීන්ටද ‘ජයගැනීමට’ දිරිගන්වා තිබෙනවා. සාතන්ගේ සිංහාසනය තිබෙන පර්ගමම් නගරයේ සිටින ක්‍රිස්තියානීන් ලෝකයෙන් ජයගන්න නම්, ඔවුන් රූප වන්දනාව පිළිකුල් කළ යුතුයි. බාලාක්, බාලාම් මෙන්ම නිකොලායස්ගේ නිකාය තුළින් පතළ වූ ඇදහිල්ලට විරුද්ධ දූෂිත අදහස්, දුරාචාරය සහ නිකායවලට බෙදීම යනාදිය ඔවුන් සම්පූර්ණයෙන්ම එපා කළ යුතුයි. එසේ කළොත් ඒ අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ‘සඟවා තිබෙන මන්නා’ කෑමට ඇරයුම් ලබනවා. මින් අදහස් කරන්නේ කුමක්ද?
18, 19. (අ) යෙහෝවා දෙවි ඊශ්‍රායෙලිතයන් සඳහා සැපයූ මන්නා මොනවාද? (ආ) සඟවා තබනු ලැබුවේ කුමන මන්නාද? (ඇ) සඟවා තබන ලද මන්නා කෑමෙන් සංකේතවත් වුණේ කුමක්ද?
18 මෝසෙස්ගේ කාලයේදී ඊශ්‍රායෙල් සෙනඟ කාන්තාරයේ ගමන් කරද්දී යෙහෝවා දෙවි මන්නාවලින් ඔවුන්ව පෝෂණය කළා. මන්නා සඟවා තිබූ දෙයක් නෙවෙයි. හිමවලට සමාන වූ ඉතා කුඩා ඇට වර්ගයක් වූ මෙම මන්නා සබත් දින හැර සෑම උදෑසනකම බිමින් අහුළාගත හැකි වුණා. මෙය ඊශ්‍රායෙලිතයන්ගේ කුසගින්න නිවීමට යෙහෝවා දෙවි ස්වර්ගයෙන් දුන් කෑමක්. යෙහෝවා දෙවි මෝසෙස්ට අණ කරමින් කියා සිටියේ මෙම “කෑම” ස්වල්පයක් රන් භාජනයක දමා ගිවිසුම් පෙට්ටිය ඇතුලේ තබා “[ඊශ්‍රායෙල්ගේ] පරම්පරාවන් උදෙසා” සිහිවීමක් හැටියට තබන්න කියායි.—නික්මයාම 16:14, 15, 23, 26, 33; හෙබ්‍රෙව් 9:3, 4.
19 මෙම මන්නා සඟවා තිබුණේ මණ්ඩපයේ අතිශුද්ධ ස්ථානය තුළයි. මෙහි ගිවිසුම් පෙට්ටියට උඩින් දෙවි ඇති කළ ආලෝකයක් දිස් වුණා. මෙම ආලෝකයෙන් සංකේතවත් කළේ යෙහෝවා දෙවි එහි සිටි බවයි. (නික්මයාම 26:34) එම ශුද්ධ ස්ථානය ඇතුළට ගොස් එහි සඟවා තිබෙන මන්නා කෑමට කිසිවෙකුට අවසර තිබුණේ නැහැ. නමුත් යේසුස් පැවසුවේ ලෝකය ජයගන්නා තම අභිෂේක ලත් අනුගාමිකයන්ට එම “සඟවා තිබෙන මන්නා” කෑමට හැකි වන බවයි. මේ අනුව යේසුස් මෙන් “අතින් සෑදූ ඇතුල් ශුද්ධ ස්ථානයකට නොව, . . . ස්වර්ගයට” ඇතුල් වෙන්න ඔවුන්ටද හැකි වෙනවා. (හෙබ්‍රෙව් 9:12, 24) මෙය සිදු වෙන්නේ ඔවුන්ගේ නැවත නැඟිටීමේදීයි. එවිට ඔවුන්ට ලැබෙන්නේ නොදිරනසුලු, අමරණීය ජීවිතයක්. පහව නොයන ‘සඟවා තිබෙන මන්නා’ කෑමෙන් අදහස් කරන්නේ එයයි. එය යෙහෝවා දෙවිගෙන් ඔවුන්ට ලැබෙන ශ්‍රේෂ්ඨ ත්‍යාගයක්. ලෝකය ජයගන්නන් හැටියට ඒ කුඩා කණ්ඩායමට හිමි වෙන්නේ මොන තරම් උතුම් වරප්‍රසාදයක්ද!—1 කොරින්ති 15:53-57.
20, 21. (අ) අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට සුදු ගල් කැටයක් ලැබීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (ආ) සුදු ගල් කැට 1,44,000ක් පමණක් ඇති නිසා මහත් සමූහයට තිබෙන බලාපොරොත්තුව කුමක්ද?
20 ඒ වගේම ඔවුන් ‘සුදු ගල් කැටයක්ද’ ලබනවා. රෝම අධිකරණවල ගත් තීන්දුවක් ප්‍රකාශ කිරීමට ගල් කැට යොදාගත්තා. සුදු ගල් කැටයක් යොදාගැනුණේ නිදහස් වූ බව පෙන්වීමටයි. කලු ගල් කැටයෙන් අදහස් වුණේ දඬුවමක් ලැබෙන බවයි. බොහෝවිට ඒ මරණ දඬුවමයි. යේසුස් පර්ගමම්හි ක්‍රිස්තියානීන්ට “සුදු ගල් කැටයක්” දීමෙන් අදහස් කළේ යේසුස්ගේ විනිශ්චයේදී ඔවුන්ව නිර්දෝෂ, ශුද්ධ සහ පවිත්‍ර අය ලෙස සලකන බවයි. නමුත් යේසුස්ගේ වචනවලට තවත් අර්ථයක්ද තිබිය හැකියි. රෝම යුගයේදී යම් වැදගත් සිදුවීමක් නැරඹීමට යම් ස්ථානයකට ඇතුල් වීමේදී දෙන ප්‍රවේශ පත්‍රයක් ලෙසත් ගල් කැට යොදාගැනුණා. එසේනම් ජයගන්නාවූ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට සුදු ගල් කැටයක් ලැබීමෙන් පෙන්වන්නේ ඔවුන්ට ස්වර්ගයේ පැවැත්වෙන බැටළු පැටවාණන්ගේ සරණ මංගල්‍යයට ඇතුල් වීමේ ගෞරවණීය වරප්‍රසාදය ලැබෙන බවයි. ඒ ගල් කැට ලැබෙන්නේ 1,44,000දෙනෙකුට පමණයි.—එළිදරව් 14:1; 19:7-9.
21 මින් අදහස් කරන්නේ ඔබ මහත් සමූහයට අයිති කෙනෙක් නම් ඔබව නොසලකාහරිනු ලබන බවක්ද? කොහෙත්ම නැහැ! ඔබට ස්වර්ගයට ඇතුල් වීම සඳහා සුදු ගල් කැටයක් නොලැබුණත්, ඔබ විඳදරාගත්තොත් මහත් පීඩාවෙන් බේරී, නැවත පොළොව පාරාදීසයක් බවට පත් කිරීමේ ප්‍රීතිදායක වැඩකටයුත්තට සහභාගි වෙන්න ඔබට පුළුවන්. මේ කටයුත්තට නැවත නැඟිටින ක්‍රිස්තියානි යුගයට පෙර විසූ ඇදහිලිවන්තයනුත්, මෑත කාලවලදී මිය ගොස් සිටින වෙනත් බැටළුවන්ට අයිති අයත් ඔබ සමඟ හවුල් වෙන්න යනවා. මිය ගොස් සිටින අනිකුත් අයගෙන් දෙවි නැවත නැඟිටුවන්න තීරණය කරන සියලුදෙනාවත් අවසානයේදී පාරාදීස පොළොවකට නැවත නැඟිටුවනවා.—ගීතාවලිය 45:16; යොහන් 10:16; එළිදරව් 7:9, 14.
22, 23. අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට දී තිබෙන ගල් කැටය මත ලියා තිබෙන නාමයේ ඇති විශේෂත්වය කුමක්ද? මේ තුළින් ලැබිය යුත්තේ මොන තරම් ප්‍රබල දිරිගැන්වීමක්ද?
22 ගල් කැටයේ ලියා තිබෙන අලුත් නාමය කුමක්ද? නාමයක් යනු කෙනෙකුව තවත් අයගෙන් වෙන් කොට හඳුනාගන්නා දෙයක්. මෙම අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට ගල් කැට ලැබෙන්නේ ඔවුන් ලෝකය ජයගත් අය ලෙස පොළොව මත තම ජීවිතය අවසන් කළායින් පසුවයි. එසේනම් ගල් කැටයේ නාමය ලියා තිබීමෙන් අදහස් කරන්නේ ස්වර්ගයේදී ඔවුන්ට යේසුස් සමඟ එකමුතු වීමේ වරප්‍රසාදය ලැබෙන බවයි. මෙතුළින් යේසුස් සමඟ ඉතා සමීප ඇසුරක් භුක්ති විඳිමින් දේවරාජ්‍යයේ පාලකයන් ලෙස වටිනා සේවයක් කරන්න ඔවුන්ට හැකි වෙනවා. මෙම වරප්‍රසාද භුක්ති විඳිමින් එහි සැබෑ අගය තේරුම්ගන්නේ ඒ ස්වර්ගික රාජ්‍යයට හිමිකම් කියන අය පමණයි. එය “ලබන තැනැත්තා මිස වෙන කිසිවෙකු නොදන්නා” අතිවිශේෂ නාමයක්, හෙවත් පදවියක් වෙන්නේ එමනිසයි.—එළිදරව් 3:12ද බලන්න.
23 ‘දෙවිගේ බලය මගින් සභාවලට පවසන දේ ඇසීමට’ කැමති හා අසන දේ අදාළ කරගන්නා යොහන් පන්තියට මින් ලැබෙන්නේ මොන තරම් දිරිගැන්වීමක්ද! ඒ වගේම මේ අය සමඟ ඇසුරු කරමින් යෙහෝවා දෙවිගේ රාජ්‍යය ගැන දැනුම් දෙමින් විශ්වාසවන්තව සේවය කරන මහත් සමූහයටත් මෙය දිරිගැන්වීමක් බව නම් කිසිම සැකයක් නැහැ!
[පාදසටහන]
a 1 කොරින්ති 3:3, 4, 18, 19; 2 කොරින්ති 11:13; ගලාති 4:9; එෆීස 4:14, 15; ෆිලිප්පි 3:18, 19; කොලොස්සි 2:8; 1 තෙසලෝනික 3:5; 2 තෙසලෝනික 2:1-3; 1 තිමෝති 6:3-5; 2 තිමෝති 2:17; 4:3, 4; තීතස් 1:13, 14; 3:10; හෙබ්‍රෙව් 10:26, 27 යනාදිය බලන්න.
[43වන පිටුවේ පින්තූර]
මිථ්‍යා වන්දනාව සැම තැන පැතිරී තිබූ බවට සාක්ෂි බර්ලින් නුවර පර්ගමොන් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කර තිබෙනවා
[45වන පිටුවේ පින්තූරය]
මන්නාවලින් ස්වල්පයක් ගිවිසුම් පෙට්ටියේ සඟවා තිබුණා. සඟවා තිබූ මන්නා දීමෙන් අදහස් කරන්නේ ජයගන්නාවූ අභිෂේක ලත් අයට ස්වර්ගයේ අමරණීය ජීවිතයක් ලැබෙන බවයි
[45වන පිටුවේ පින්තූරය]
සුදු ගල් කැටය ලැබෙන්නේ බැටළු පැටවාණන්ගේ සරණ මංගල්‍යයට කැඳවනු ලැබූවන්ටයි