පරිච්ඡේදය 42
අලුත් අහසක් සහ අලුත් පොළොවක්
1. යොහන් ඊළඟට විස්තර කරන්නේ කුමක් ගැනද?
දර්ශනයේ ඊළඟට දකින්න තිබෙන්නේ කුමක්ද? දේවදූතයා යොහන්ව නැවතත් දහස් අවුරුදු පාලනයේ මුලට ගෙනියනවා. යොහන් දකින දේ ඔහු විස්තර කරන්නේ මෙසේයි. “මම අලුත් අහසක්ද අලුත් පොළොවක්ද දුටිමි. මන්ද, පළමු අහසත් පළමු පොළොවත් පහව ගොස් තිබිණ. මුහුදද තවත් නැත.” (එළිදරව් 21:1) මෙය මොන තරම් අලංකාර දර්ශනයක්ද!
2. (අ) අලුත් අහස සහ අලුත් පොළොව පිළිබඳව යෙසායා පැවසූ අනාවැකිය ක්‍රි.පූ. 537දී ඉටු වුණේ කෙසේද? (ආ) යෙසායාගේ අනාවැකිය නැවතත් ඉටු වෙයි කියා අප දන්නේ කෙසේද? මෙම පොරොන්දු ඉටු වෙන්නේ කෙසේද?
2 යොහන්ට කලින් සියවස් ගණනාවකට පෙර යෙහෝවා දෙවි යෙසායාට මෙසේ පවසා තිබුණා. “මම අලුත් අහසක්ද අලුත් පොළොවක්ද මවමි. පසුගිය දේ මතක් කරන්නේවත්, සිහි කරනු ලබන්නේවත් නැත.” (යෙසායා 65:17, න.අ.; යෙසා 66:22) මෙම අනාවැකිය මුලින්ම ඉටු වුණේ ක්‍රි.පූ. 537දීයි. ඒ අවස්ථාවේදී බැබිලෝනියේ අවුරුදු 70ක් වහල්ව සිටීමෙන් පසු විශ්වාසවන්ත යුදෙව්වන් පිරිසක් නැවත යෙරුසලමට පැමිණියා. එහිදී ඔවුන් “අලුත් පොළොවක්” එනම් අලුත් පිරිසිදු සමාජයක් හා “අලුත් අහසක්” එනම් අලුත් ආණ්ඩු ක්‍රමයක් පටන්ගත්තා. මෙම අනාවැකියට තවත් ඉටුවීමක් ඇති බව පැහැදිලි කරමින් පේතෘස් පැවසුවේ මෙසේයි. “නමුත් ඔහුගේ පොරොන්දුවට අනුව, ධර්මිෂ්ඨකම වාසය කරන්නාවූ අලුත් අහසක් හා අලුත් පොළොවක් අපි බලා සිටින්නෙමු.” (2 පේතෘස් 3:13) මෙම පොරොන්දුව ස්වාමීන්ගේ දවසේදී ඉටු වන ආකාරය යොහන් දැන් අපට පෙන්නුම් කරනවා. “පළමු අහසත් පළමු පොළොවත්” ඒ කියන්නේ සාතන්ගේ දුෂ්ට ලෝකය එනම් සාතන් සහ ඔහුගේ භූතයන්ගේ පාලනය යටතේ තිබූ ආණ්ඩු ක්‍රම පහව යනවා. දුෂ්ට කැරලිකාර මිනිසුන්ගෙන් සමන්විත කැලඹුණු “මුහුද” තවදුරටත් පවතින්නේ නැහැ. ඒ වෙනුවට “අලුත් අහසක් සහ අලුත් පොළොවක්” ඒ කියන්නේ දෙවිගේ රාජ්‍යය නමැති අලුත් ආණ්ඩුව යටතේ අලුත් මිනිස් සමාජයක් පවතිනවා.—එළිදරව් 20:11ද බලන්න.
3. (අ) යොහන් විස්තර කරන්නේ කුමක් ගැනද? නව යෙරුසලම කුමක්ද? (ආ) නව යෙරුසලම ‘ස්වර්ගයෙන් බැස එනවා’ කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
3 යොහන් ඊළඟට මෙසේ පවසනවා. “තවද, ශුද්ධ නුවර වන නව යෙරුසලම, තම ස්වාමිපුරුෂයා සඳහා අලංකාර කරනු ලැබූ මනාලියක් මෙන් සූදානම්ව, දෙවි වෙතින් ස්වර්ගයෙන් බැස එනවා දුටිමි.” (එළිදරව් 21:2) නව යෙරුසලම කියන්නේ යේසුස්ගේ මනාලියටයි. මෙම මනාලියට අයත් වෙන්නේ මරණය දක්වා විශ්වාසවන්තව සිටි සියලුම අභිෂේක ලත් ක්‍රිස්තියානීනුයි. ඔවුන්ව ස්වර්ගයට නැවත නැඟිටුවන්නේ තේජවත් යේසුස් සමඟ රජවරුන් හා පූජකයන් ලෙස කටයුතු කිරීමටයි. (එළිදරව් 3:12; 20:6) පුරාණ ඊශ්‍රායෙල් දේශයේ පාලනය සිදු වුණේ යෙරුසලම් නුවරේ සිටයි. ඒ හා සමානව ඉදිරියේදී මුළු ලෝකයම පාලනය කරන අලුත් අහස එනම් අලුත් ආණ්ඩු ක්‍රමය වෙන්නේ මෙම අලංකාරවත් නව යෙරුසලම සහ එහි මනාලයා වන යේසුස්. මෙහිදී ‘මනාලිය ස්වර්ගයෙන් බැස එනවා’ කීමෙන් අදහස් කරන්නේ මෙම ආණ්ඩුවේ අවධානය පොළොවට යොමු වී ඇති බවයි. බැටළු පැටවාගේ මනාලිය ඔහුගේ සහයට සිටිනවා. ඒ දෙපාර්ශ්වයම එකතු වී මිනිස් වර්ගයාට ලබා දෙන්නේ ධර්මිෂ්ඨ පාලනයක්. ඇත්තටම එය අලුත් පොළොව සඳහා මොන තරම් ආශීර්වාදයක් වේවිද!
4. අතීතයේදී පිහිටෙවූ ඊශ්‍රායෙල් ජාතියට දුන් පොරොන්දුවට සමානව දෙවි දෙන පොරොන්දු කුමක්ද?
4 යොහන් තවදුරටත් මෙසේ කියනවා. “ඒ සමඟම, සිංහාසනය කෙරෙන් නික්මුණු මහත් හඬක් මෙසේ කියනවා මට ඇසුණේය: ‘බලන්න! දෙවිගේ කූඩාරම මිනිසා සමඟය. ඔහු ඔවුන් සමඟ වාසය කරන්නේය. ඔවුහුද ඔහුගේ සෙනඟ වන්නෝය. දෙවිම ඔවුන් සමඟ සිටින්නේය.’” (එළිදරව් 21:3) යෙහෝවා දෙවි පුරාණයේ ඊශ්‍රායෙල් සෙනඟට තම නීතිය ලබා දුන් විට ඔහු පොරොන්දු වුණේ මෙසේයි. “මම සැබවින්ම මගේ කූඩාරම ඔබ අතරේ පිහිටුවන්නෙමි. මම ඔබට ද්වේෂ නොකරන්නෙමි. මම සැබවින්ම ඔබ අතරේ ගැවසෙමින් ඔබේ දෙවි වන්නෙමි. ඔබද මගේ සෙනඟ වන්නෝය.” (ලෙවී කතාව 26:11, 12, NW) පාරාදීස පොළොව උදා වෙද්දීත් යෙහෝවා දෙවි තමාට විශ්වාසවන්තව සිටි මිනිසුන්ට ඒ හා සමාන පොරොන්දුවක් දෙනවා. දහස් අවුරුදු විනිශ්චය දවස අතරතුරේදී ඔවුන් ඔහුට ඉතා විශේෂ වූ සෙනඟක් බවට පත් වෙනවා.
5. (අ) දහස් අවුරුදු පාලනයේදී දෙවි මිනිසා සමඟ වාසය කරන්නේ කෙසේද? (ආ) දහස් අවුරුදු පාලනයෙන් පසු දෙවි මිනිස් වර්ගයා අතර වාසය කරන්නේ කෙසේද?
5 දෙවි මිනිසා සමඟ වාසය කරනවා කියන්නේ ඔහු ඔවුන් සමඟ කටයුතු කරන බවයි. දහස් අවුරුදු පාලනයේදී යෙහෝවා දෙවි මිනිසා සමඟ ‘වාසය කරන්නේ’ ඔහුගේ පුත් යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙනුයි. නමුත් දහස් අවුරුදු පාලනය අවසානයේදී යේසුස් රාජ්‍යය තම පියාණන්ට භාර දෙන නිසා දෙවිව නියෝජනය කිරීමට කිසිම පාලකයෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. එමනිසා යෙහෝවා දෙවි තම “සෙනඟ” සමඟ කෙළින්ම හා සදහටම කටයුතු කරනවා. (යොහන් 4:23, 24ද බලන්න.) පරිපූර්ණ මිනිසුන්ට මෙයින් උදා වෙන්නේ මොන තරම් උතුම් වරප්‍රසාදයක්ද!
6, 7. (අ) යොහන් දැන් කතා කරන්නේ මොන උතුම් ආශීර්වාද ගැනද? මෙම ආශීර්වාද භුක්ති විඳින්නේ කවුරුන්ද? (ආ) යෙසායා මෙම පාරාදීසය ගැන හා මිනිසුන් භුක්ති විඳින ආශීර්වාද ගැන විස්තර කරන්නේ කෙසේද?
6 යොහන් ඊළඟට පවසන්නේ මෙසේයි. “තවද, ඔහු ඔවුන්ගේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන්නේය; මරණයද තවත් නොවන්නේය; වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. පළමු දේවල් පහව ගියේය.” (එළිදරව් 21:4) නැවතත් අපේ සිහියට නැඟෙන්නේ දෙවි කලින් දී ඇති පොරොන්දුයි. යෙසායාත් මරණය, වැලපීම නැති, ශෝකය වෙනුවට ප්‍රීතිය පවතින කාලයක් පැමිණෙන බව පැවසුවා. (යෙසායා 25:8; 35:10; 51:11; 65:19) යොහන් දැන් අපට තහවුරු කරන්නේ මෙම පොරොන්දු දහස් අවුරුදු විනිශ්චය දවසේදී ඉටු වන බවයි. මුලින්ම ආශීර්වාද භුක්ති විඳින්නේ මහත් සමූහයයි. “සිංහාසනය අසල සිටින බැටළු පැටවා” ඔවුන්ව රැකබලා ගනිමින් “ඔවුන්ව ජීවන වතුර ඇති උල්පත්වලට මඟ පෙන්වන්නේය. දෙවිද ඔවුන්ගේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන්නේය.” (එළිදරව් 7:9, 17) නමුත් අන්තිමේදී නැවත නැඟිටුවන අයත් යෙහෝවා දෙවි සපයන සෑම දීමනාවක් කෙරෙහි ඇදහිල්ල දක්වනවා නම් ඔවුන්ට මහත් සමූහය සමඟ හැම අතින්ම පාරාදීසයේ ප්‍රීතිය භුක්ති විඳිය හැකියි. මීට අමතරව සියලුදෙනාම පූර්ණ ආකාරයකින් දෙවිට නමස්කාර කරන නිසාද එකිනෙකා සමඟ සමඟියෙන් සිටින නිසාද බොහෝ ආශීර්වාද භුක්ති විඳිනවා. යෙසයා ඒ කාලය ගැන අලංකාර විස්තරයක් සපයනවා.
7 ඔහු පැවසුවේ මෙසේයි. “එකල අන්ධයන්ගේ ඇස් පැහැදෙන්නේය. බිහිරන්ගේ කන් ඇරෙන්නේය. එකල කොරා මුවෙකු මෙන් පැන යන්නේය. ගොළුවාගේ දිව ගී කියන්නේය.” (යෙසායා 35:5, 6) ඒ කාලයේදී “ඔවුහු ගෙවල් ගොඩනඟා එහි වසන්නෝය. මිදි වතු වවා එහි පල කන්නෝය. අනිකෙකු වාසය කරන්ට ඔවුහු ගොඩ නොනඟන්නෝය. අනිකෙකු විසින් කන්ට ඔවුහු නොවවන්නෝය. මක්නිසාද මාගේ සෙනඟගේ දවස් ගසක දවස් මෙන් වන්නේය. මාගේ තෝරාගත්තෝ බොහෝ කල් තමන් අත්වල වැඩ භුක්ති විඳින්නෝය.” (යෙසායා 65:21, 22) මෙයින් පැහැදිලි වෙන්නේ ඔවුන් පොළොවෙහි සදාකල් ජීවත් වන බවයි.
8. මෙම පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටු වන බව තහවුරු කිරීමට යෙහෝවා දෙවි පවසන්නේ කුමක්ද?
8 ඇත්තටම මේ පොරොන්දු ගැන අප මෙනෙහි කරද්දී අපට මොන තරම් ප්‍රීතියක්, සතුටක් දැනෙනවාද! ස්වර්ගයේ පිහිටා තිබෙන මේ ප්‍රේමණීය ආණ්ඩුව යටතේ විශ්වාසවන්ත මිනිස් වර්ගයාට පුදුමාකාර ආශීර්වාද සැලසුම් කර තිබෙනවා. ඇත්තටම මේ පොරොන්දු ඔබට විශ්වාස කරන්න බැහැයි කියා සිතෙනවාද? ඒවා නිකම්ම පැට්මොස් දූපතේ වහල්ව සිටි මහලු මිනිසෙක් මැවූ සිහිනද? එම ප්‍රශ්නයට යෙහෝවා දෙවිගේ පිළිතුර මෙයයි. “සිංහාසනය මත ඉඳගෙන සිටින තැනැත්තා මෙසේ කීවේය: ‘බලන්න! මම සියල්ල අලුතෙන් සාදන්නෙමි.’ තවදුරටත් ඔහු කතා කොට, ‘ලියන්න. මන්ද මේ වචන විශ්වසනීයය, සැබෑය’ කියාද කීවේය. ඔහු මට මෙසේද කීවේය: ‘ඒවා ඉටු වී තිබේ! මම ඇල්ෆා සහ ඔමේගාය; පටන්ගැන්ම සහ අවසානයය.’”—එළිදරව් 21:5, 6අ.
9. අනාගතයේදී පොරොන්දු වී ඇති මෙම ආශීර්වාද අනිවාර්යයෙන්ම අද්දකින්න ලැබෙයි කියා විශ්වාස කළ හැක්කේ ඇයි?
9 යෙහෝවා දෙවි තමාට විශ්වාසවන්තව සිටින මිනිස් වර්ගයා වෙනුවෙන් දුන් පොරොන්දු ඉටු කරන බවට ඔහුම තහවුරු කරන්නේ කෙසේද? යෙහෝවා දෙවිම කතා කරමින් ඒ සහතිකය දෙනවා. එය හරියටම යම් ඔප්පුවකට යෙහෝවා දෙවිම අත්සන් කරනවා වගෙයි. එසේනම් යෙහෝවා දෙවිගේ පොරොන්දු ගැන කිසිම කෙනෙකුට සැක කරන්න අවශ්‍ය නැහැ. ඇත්තටම ඉදිරියේ ඉටු කිරීමට පොරොන්දු වී ඇති ආශීර්වාද ගැන දෙවි කතා කරන්නේ ඒවා දැනටමත් ‘ඉටු වී තිබෙන’ ආකාරයටයි. යෙහෝවා දෙවි ‘ඇල්ෆා සහ ඔමේගා වගේම සිටින්නාවූ, සිටියාවූ සහ මතු එන්නාවූ, සර්වපරාක්‍රම තැනැත්තා’ නොවේද? (එළිදරව් 1:8) දෙවිම පවසන්නේ “මම පළමුවෙනියාය. මම අන්තිමයාය, මා මිස දෙවි කෙනෙක් නැත” කියායි. (යෙසායා 44:6) දෙවි එවන් කෙනෙක් නිසා ඔහු පවසන අනාවැකි අකුරටම, තිතටම ඉටු කරන්න ඔහුට හැකියි. මේ ගැන කල්පනා කරද්දී අපේ ඇදහිල්ල කොතරම් ශක්තිමත් වෙනවාද! ඔහුගේ පොරොන්දු නම් “බලව මම සියල්ල අලුත් කරමි” යන්නයි. ඒ පොරොන්දුව ගැන සැක කරනවාට වඩා ‘මේ ආශීර්වාද අද්දකින්න නම් මම කළ යුත්තේ කුමක්ද’ කියන ප්රශ්නය අපි අපගෙන්ම අසාගත යුතුයි.
පිපාසය ඇති අයට “වතුර”
10. යෙහෝවා දෙවි දෙන “වතුර” කුමක්ද? එයින් සංකේතවත් කරන්නේ මොනවාද?
10 යෙහෝවා දෙවි මෙසේ ප්‍රකාශ කරනවා. “පිපාසය ඇති තැනැත්තාට මම ජීවන වතුර ඇති උල්පතෙන් නොමිලේ දෙන්නෙමි.” (එළිදරව් 21:6ආ) එම පිපාසය සන්සිඳුවාගන්න නම් කෙනෙක් දෙවිගේ මඟ පෙන්වීම ලබාගැනීමේ අවශ්‍යතාව පිළිගෙන යෙහෝවා දෙවි සපයන “වතුර” පානය කිරීමට කැමති විය යුතුයි. (යෙසායා 55:1; මතෙව් 5:3) මේ “වතුර” කුමක්ද? සමාරිය දේශයේ ළිඳක් ළඟ සිටි ස්ත්‍රියකට කතා කරද්දී යේසුස් ඒ ප්‍රශ්නයට පිළිතුරු දුන්නා. ඔහු ඇයට පැවසුවේ මෙසේයි. “මා දෙන වතුරෙන් බොන කිසිවෙකුට කිසි කලක පිපාසය ඇති නොවන්නේය. නමුත් මා ඔහුට දෙන වතුර සදාකාල ජීවනය දෙන පිණිස ඔහු තුළ වතුර උනන දිය උල්පතක් වන්නේය.” ඒ ‘ජීවන වතුර’ නම් යේසුස් තුළින් මිනිසාට පරිපූර්ණ ජීවිතයක් ලබා දීමට දෙවි සපයා ඇති දේයි. ඒ සමරිතානු ස්ත්‍රිය මෙන් අපත් එම උල්පතෙන් වතුර බීමට කොතරම් ආශාවෙන් සිටිය යුතුද! ඒ වගේම ඇයගේ ආදර්ශය අනුගමනය කරමින් අපේ දෛනික ජීවිතයේ කටයුතු පසෙක දමා ශුභාරංචිය අනුන්ට දේශනා කිරීම කොතරම් වැදගත්ද!—යොහන් 4:14, 15, 28, 29.
ජයගන්නා අය
11. යෙහෝවා දෙවි දෙන පොරොන්දුව කුමක්ද? මෙම වචන මුලින්ම අදාළ වෙන්නේ කාටද?
11 එම නැවුම් “වතුර” පානය කරන අය ජයගැනීමත් අවශ්‍යයි. යෙහෝවා දෙවි මෙසේ කියනවා. “ජයගන්නාට මේ දේවල් උරුම වන්නේය. මම ඔහුගේ දෙවි වන්නෙමි. ඔහු මාගේ පුත්‍රයා වන්නේය.” (එළිදරව් 21:7) මේ පොරොන්දුව සභා සතට යැවූ පණිවුඩවල සඳහන් පොරොන්දුවට සමානයි. මේ නිසා මෙම වචන මුලින්ම අදාළ වෙන්නේ අභිෂේක ලත් අයටයි. (එළිදරව් 2:7, 11, 17, 26-28; 3:5, 12, 21) මුල් සියවසේ සිට මේ දක්වා යේසුස්ගේ අභිෂේක ලත් සහෝදරයන් නව යෙරුසලමේ සාමාජිකයන් වීමේ ප්‍රස්තාව ගැන මහත් උනන්දුවකින් සිට තිබෙනවා. යේසුස් ජයගත්තාක් මෙන් ඔවුන් ජයගන්නවා නම් ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු වෙනවා නිසැකයි.—යොහන් 16:33.
12. එළිදරව් 21:7හි සඳහන් යෙහෝවා දෙවිගේ පොරොන්දුව මහත් සමූහය සම්බන්ධයෙන් ඉටු වෙන්නේ කෙසේද?
12 සියලු ජාතීන්ට අයත් මහත් සමූහයටත් මේ පොරොන්දුව වැදගත්. ඔවුනුත් ජයගත යුතුයි. ඒ මහත් පීඩාවෙන් බේරී ජීවත් වන තෙක් දෙවිට පක්ෂපාතව සේවය කිරීමෙනුයි. එවිට ‘ලෝකය පිහිටුවීමේ සිට ඔවුන්ට සූදානම් කර තිබෙන රාජ්‍යයේ’ උරුමය මේ පොළොවෙහිම භුක්ති විඳින්න ඔවුන්ට හැකියාව ලැබෙනවා. (මතෙව් 25:34) මේ අයව සහ දහස් අවුරුදු පාලනය අවසානයේදී පරීක්ෂණයෙන් සමත් වන ස්වාමීන්ගේ වෙනත් බැටළුවන්ට අයත් අයව හඳුන්වන්නේ “ශුද්ධ තැනැත්තන්” හැටියටයි. (එළිදරව් 20:9) ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ මැවුම්කරු වන යෙහෝවා දෙවිගේ විශ්වනීය සංවිධානයේ සාමාජිකයන් හැටියට දෙවි සමඟ ඉතා පරිශුද්ධ වූ, කිට්ටු වූ බැඳීමක් භුක්ති විඳීමේ ප්‍රස්තාව ඔවුන් උදා කරගන්නවා.—යෙසායා 66:22; යොහන් 20:31; රෝම 8:21.
13, 14. දෙවිගේ පොරොන්දුවල ඉටුවීම අද්දකින්න නම් අප ස්ථිරව වැළකී සිටිය යුත්තේ කුමන දේවලින්ද? ඒ ඇයි?
13 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට මෙතරම් අනර්ඝ බලාපොරොත්තුවක් තිබෙන නිසා සාතන්ගේ ලෝකයේ තිබෙන සියලු දූෂ්‍ය කරවන දේවලින් පවිත්‍ර වී සිටීම කොතරම් වැදගත් දෙයක්ද! මේ දූෂිත ලෝකයට අපව යොමු කරන්න යක්ෂයා දරන වෑයමට අප කිසිවිටකත් හසු නොවිය යුතුයි. ලෝකයේ සිටින අය ගැන යෙහෝවා දෙවිම මෙසේ පවසනවා.“නමුත් බියගුල්ලන්ටත්, ඇදහිල්ල නැත්තන්ටත්, කිලුටුකම නිසා පිළිකුලක්ව සිටින්නන්ටත්, මිනී මරුවන්ටත්, වේශ්‍යාකම් කරන්නන්ටත්, භූතවාදයේ නියැලී සිටින්නන්ටත්, රූප වඳින්නන්ටත්, සියලු බොරුකාරයන්ටත් අයිති කොටස තිබෙන්නේ ගින්නෙන්ද ගෙන්දගමින්ද දැවෙන විලෙහිය. මෙයින් දෙවන මරණය අදහස් වන්නේය.” (එළිදරව් 21:8) පාරාදීස පොළොව උරුම කරගැනීමේ අපේක්ෂාවෙන් සිටින කෙනෙක් මෙම දූෂිත ලෝකයේ දකින මෙවැනි පිළිකුල්සහගත දේවලින් වැළකී සිටිය යුතුයි. ඔහුගේ අධිෂ්ඨානය නම් මොන පීඩාවක් හෝ පරීක්ෂණයක් පැමිණියත් අවසානය දක්වා විශ්වාසවන්තව සිට ජයගැනීමයි.—රෝම 8:35-39.
14 ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලි සමූහය කියන්නේ ඔවුන් යේසුස්ගේ මනාලිය කියායි. නමුත් ඔවුන් ප්‍රසිද්ධ වී සිටින්නේ යොහන් විස්තර කළ ඒ දූෂිත ක්‍රියා කරන්නන් ලෙසයි. එමනිසා මහා බැබිලෝනියට අයත් අනිකුත් ආගම් සමඟ ඇයට හිමි වෙන්නේ සදාකාල විනාශයයි. (එළිදරව් 18:8, 21) අභිෂේක ලත් කෙනෙක් හෝ මහත් සමූහයට අයත් කෙනෙක් එවැනි නපුරු දේවල නිරත වෙනවා නම් හෝ අන් අයව ඒ සඳහා පොලඹවනවා නම් ඔවුන්ටත් සදාකාල විනාශයක් ලැබෙනවා. ඔවුන් මෙම දූෂිත ක්‍රියාවල දිගටම යෙදෙනවා නම් දෙවි පොරොන්දු වී ඇති දේ අද්දකින්න ඔවුන්ට බැරි වෙනවා. යමෙක් පාරාදීස පොළොවෙත් එවැනි දේවල් කරන්න පටන්ගත්තොත් ඒ පුද්ගලයාව වහාම විනාශ කරනවා. ඔහුට හිමි වෙන්නේ දෙවන මරණයයි. ඔහුටත් ආයේ නැවත නැඟිටීමක් නම් නැහැ.—යෙසායා 65:20.
15. ජයගන්නන් හැටියට කැපී පෙනෙන්නේ කවුරුන්ද? එළිදරව් පොත අවසන් වෙන්නේ කුමන දර්ශනයෙන්ද?
15 ජයගන්නන් හැටියට කැපී පෙනෙන්නේ බැටළු පැටවා වන යේසුස් ක්‍රිස්තුස් සහ ඔහුගේ මනාලිය වන 1,44,000දෙනාගෙන් යුත් නව යෙරුසලමයි. එළිදරව් පොතේ විස්තරය අවසන් වෙන්නේ ස්වර්ගයේ පිහිටි නව යෙරුසලම පිළිබඳ ඉතා තේජවත් මෙන්ම අලංකාරවත් දර්ශනයකිනුයි. එය එළිදරව් පොතට මොන තරම් උචිත අවසානයක්ද! යොහන් ඊළඟට විස්තර කරන්නේ ඒ දර්ශනයයි.
[302වන පිටුවේ පින්තූර]
පාරාදීස පොළොවේදී සියලුදෙනාම ප්‍රීතියෙන් හා සමඟියෙන් එකට බැඳී වැඩ කරනවා