පරිච්ඡේදය 41
දෙවිගේ විනිශ්චය දවස සහ ඉන් ලැබෙන ආශීර්වාද!
දර්ශනය 15—එළිදරව් 20:11–21:8
සිදු වන දේ: නැවත නැඟිටීම, විනිශ්චය දවස, අලුත් අහස සහ අලුත් පොළොව හා ඉන් ලැබෙන ආශීර්වාද
ඉටු වන කාලය: දහස් අවුරුදු පාලනය තුළදී
1. (අ) ආදම් සහ ඒව පව් කළ විට මිනිස් වර්ගයාට අහිමි වුණේ කුමක්ද? (ආ) වෙනස් වී නැත්තේ දෙවිගේ කුමන අරමුණද? අප ඒ බව දන්නේ කෙසේද?
මිනිසුන් වන අපව මැව්වේ සදාකල් ජීවත් වීමටයි! ආදම් සහ ඒව දෙවිගේ නීතිවලට කීකරු වුණා නම් ඔවුන් කවදාවත් මිය යන්නේ නැහැ. (උත්පත්ති 1:28; 2:8, 16, 17; දේශනාකාරයා 3:10, 11) නමුත් ඔවුන් පව් කළ විට පරිපූර්ණත්වය සහ සදාකල් ජීවිතය අහිමි වුණේ ඔවුන්ට විතරක් නොව ඔවුන්ගේ දරුවන්ටත් එය අහිමි වුණා. ප්‍රතිඵලයක් ලෙස මරණය නමැති කෲර සතුරා මිනිසාව පාලනය කරන්න පටන්ගත්තා. (රෝම 5:12, 14; 1 කොරින්ති 15:26) නමුත් පරිපූර්ණ මිනිසුන් පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීම කියන දෙවිගේ අරමුණ වෙනස් වුණේ නැහැ. දෙවි මිනිසාට දක්වන බලවත් ප්‍රේමය නිසා ඔහු තම ඒකජාතක පුත්‍රයා වන යේසුස්ව පොළොවට එවූ අතර, යේසුස් ආදම්ගෙන් පැවතෙන “බොහෝදෙනෙකු” උදෙසා තම පරිපූර්ණ මිනිස් ජීවිතය පූජා කළා. (මතෙව් 20:28; යොහන් 3:16) තමා කෙරෙහි අදහාගන්න මිනිසුන්ට පාරාදීස පොළොවක සදාකල් ජීවිතය ලබා දෙන්න දැන් යේසුස්ට පදනමක් තිබෙනවා. (1 පේතෘස් 3:18; 1 යොහන් 2:2) ඇත්තටම මෙය මිනිසාට ‘සතුටු වී ප්‍රීතිවීමට’ මොන තරම් ප්‍රබල හේතුවක්ද!—යෙසායා 25:8, 9.
2. එළිදරව් 20:11හි යොහන් සඳහන් කරන්නේ කුමක් ගැනද? “මහත් සුදු සිංහාසනය” කුමක්ද?
2 සාතන්ව අගාධයට දැමීමෙන් පසු යේසුස්ගේ තේජවත් දහස් අවුරුදු පාලනය ආරම්භ වෙනවා. එමනිසා දෙවි ‘තමන් පත් කළ මිනිසෙකු මාර්ගයෙන් මුළු ලෝකයම ධර්මිෂ්ඨකමින් විනිශ්චය කිරීමට නියම කළ දවස’ උදා වෙනවා. (ක්‍රියා 17:31; 2 පේතෘස් 3:8) යොහන් පවසන්නේ මෙසේයි. “මහත් සුදු සිංහාසනයක්ද ඒ මත ඉඳගෙන සිටි තැනැත්තාවද මම දුටිමි. ඔහු ඉදිරියෙන් අහසත් පොළොවත් පලා ගියේය. ඒවාට කිසි ස්ථානයක් සම්බ නොවීය.” (එළිදරව් 20:11) මේ “මහත් සුදු සිංහාසනය” කුමක්ද? ඒ තමයි ‘සියල්ලන්ගේ විනිශ්චයකරු වන දෙවිගේ’ විනිශ්චයාසනය. (හෙබ්‍රෙව් 12:23) යේසුස්ගේ ජීවිත පූජාව යොදාගන්නේ කා වෙනුවෙන්ද කියා තීරණය කරන්නේ මේ අවස්ථාවේදීයි.—මාක් 10:45.
3. (අ) දෙවිගේ සිංහාසනය “මහත්” සහ “සුදු” සිංහාසනයක් කියා පැවසීමෙන් අදහස් වෙන්නේ කුමක්ද? (ආ) විනිශ්චය දවසේදී විනිශ්චය සිදු කරන්නේ කවුද? ඒ විනිශ්චය සඳහා යොදාගන්නා පදනම කුමක්ද?
3 දෙවිගේ සිංහාසනය “මහත්” සිංහාසනයක් කියා පවසන්නේ විශ්වයේ මහෝත්තම දෙවි ලෙස යෙහෝවා සතු ශ්‍රේෂ්ඨත්වය අවධාරණය කිරීමටයි. එම සිංහාසනය “සුදු” කියා පැවසීමෙන් ඔහුගේ ධර්මිෂ්ඨකම කොතරම් ඉහළ මට්ටමක පවතිනවාද යන්න කාවද්දනු ලබනවා. ඇත්තටම මිනිස් වර්ගයාගේ ශ්‍රේෂ්ඨතම විනිශ්චයකරු ඔහුයි. (ගීතාවලිය 19:7-11; යෙසායා 33:22; 51:5, 8) නමුත් විනිශ්චය කිරීමේ කාර්යය දෙවි භාර දී තිබෙන්නේ යේසුස් ක්‍රිස්තුස්ටයි. “පියාණන් කිසිවෙකුව විනිශ්චය නොකරයි. නමුත්, ඔහු විනිශ්චය කිරීම සම්පූර්ණයෙන්ම පුත්‍රයාට පවරා තිබේ” කියා යේසුස් පැවසුවා. (යොහන් 5:22) යේසුස් සමඟ 1,44,000දෙනා සිටින අතර ඔවුන්ට ‘අවුරුදු දහසකට විනිශ්චය කිරීමට බලය දී’ තිබෙනවා. (එළිදරව් 20:4) නමුත් විනිශ්චය දවසේදී සෑම පුද්ගලයෙකුටම සිදු වන දේ තීරණය වෙන්නේ යෙහෝවා දෙවිගේ ප්‍රමිතිවලට අනුවයි.
4. “අහසත් පොළොවත් පලා ගියේය” කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
4 “අහසත් පොළොවත් පලා ගියේය” කීමෙන් අදහස් වෙන්නේ කුමක්ද? හයවන මුද්‍රාව කඩද්දී ලියවිල්ලක් අකුළන්නාක් මෙන් පහව ගියේ මේ අහසයි. එය නම් “ගින්නෙන් දවාලීම සඳහාත් විනිශ්චයේ හා අභක්තික මිනිසුන්ගේ විනාශයේ දවස සඳහාත් තබා” ඇති මිනිස් පාලනයි. (එළිදරව් 6:14; 2 පේතෘස් 3:7) පොළොව කියන්නේ මෙම පාලන යටතේ පිහිටා තිබෙන මිනිස් සමාජයටයි. (එළිදරව් 8:7) මෙම අහස සහ පොළොව පලා යන්නේ වන මෘගයාද, පොළොවේ රජවරුන්ද, ඔවුන්ගේ සේනාවන්ද, වන මෘගයාගේ ලකුණ ඇති අයද, එහි රූපයට නමස්කාර කරන අයද විනාශ කරන විටයි. (එළිදරව් 19:19-21) දෙවි සාතන්ගේ අහස සහ පොළොව පිට තම විනිශ්චය ඉටු කර ඇති නිසා ශ්‍රේෂ්ඨ විනිශ්චයකරු ලෙස ඔහු තවත් විනිශ්චය දවසක් නියෝග කරනවා.
දහස් අවුරුදු විනිශ්චය දවස
5. පරණ අහස සහ පරණ පොළොව පලා ගියායින් පසු විනිශ්චය කිරීමට ඉතිරි වෙන්නේ කවුරුන්ද?
5 පරණ අහස සහ පරණ පොළොව පලා ගියායින් පසු විනිශ්චය කිරීමට ඉතිරි වෙන්නේ කවුරුන්ද? අභිෂේක ලත් 1,44,000දෙනා නම් නෙවෙයි. ඔවුන්ව මේ වන විටත් විනිශ්චය කර මුද්‍රා කර අවසානයි. මෙම දුෂ්ට ලෝකයේ විනාශයෙන් පසු අභිෂේක ලත් අය අතරින් කිහිපදෙනෙක් පොළොවේ තවමත් සිටිනවා නම්, එම විනාශයෙන් අනතුරුව ඔවුන් මිය ගොස් ස්වර්ගයට නැවත නැඟිටුවිය යුතුයි. (1 පේතෘස් 4:17; එළිදරව් 7:2-4) නමුත් “සිංහාසනය ඉදිරියේ” තවත් පිරිසක් සිටිනවා. ඒ මහත් පීඩාවෙන් බේරුණු මහත් සමූහයට අයත් මිලියන ගණනයි. ඔවුන් යේසුස් වැගිරෙවූ රුධිරය කෙරෙහි ඇදහිල්ල දක්වා ඇති නිසා බේරී ජීවත් වන්න සුදුසු අය බව තීන්දු කර අවසානයි. නමුත් ඔවුන්ව අවුරුදු දහස පුරාත් විනිශ්චය කළ යුතුයි. ඒ කාලයේදී යේසුස් ඔවුන්ව “ජීවන වතුර ඇති උල්පත්වලට” නොකඩවා මඟ පෙන්වමින් විනිශ්චය කරනවා. ඉන් අනතුරුව ඔවුන් පරිපූර්ණත්වය ලබන විට හා පසුව අවසාන පරීක්ෂණයෙන් සමත් වන විට ඔවුන් දෙවි ඉදිරියේ පූර්ණ ආකාරයකින් ධර්මිෂ්ඨ අය බව ප්‍රකාශ කරනු ලබනවා. (එළිදරව් 7:9, 10, 14, 17) මහත් පීඩාවෙන් බේරෙන ළමුන්ව සහ දහස් අවුරුදු පාලන කාලයේදී මහත් සමූහයේ අයට උපදින දරුවන්වද ඒ හා සමානව දහස් අවුරුදු පාලනය තුළදී විනිශ්චය කරනු ලබනවා.—උත්පත්ති 1:28ද, උත් 9:7ද, 1 කොරින්ති 7:14ද බලන්න.
6. (අ) යොහන් දකින මහත් ජන සමූහය කවුරුන්ද? “ලොකු කුඩා සියල්ලන්” කියා පැවසීමෙන් අදහස් වෙන්නේ කුමක්ද? (ආ) දෙවිගේ මතකයේ සිටින කෝටි ගණනක් දෙනාව නැවත නැඟිටුවනු ලබන්නේ කෙසේද?
6 යොහන් ඊළඟට දකින්නේ මහත් පීඩාවෙන් බේරෙන මහත් සමූහයටත් වඩා විශාල ජන සමූහයක්. එම සමූහයට කෝටි ප්‍රකෝටි ගණනක් ඇතුළත් වෙනවා නිසැකයි. “මම, මිය ගිය ලොකු කුඩා සියල්ලන් සිංහාසනය ඉදිරිපිට සිටගෙන සිටිනවාත්, අකුළන ලියවිලි දිගහරිනු ලබනවාත් දුටිමි.” (එළිදරව් 20:12අ) මෙහිදී “ලොකු කුඩා” කියා භාවිත කර තිබෙන්නේ පසුගිය අවුරුදු 6,000 පුරා ජීවත් වී මිය ගිය සියලු ආකාර අයව විස්තර කිරීමටයි. එළිදරව් පොත ලිවීමෙන් පසු යොහන් ලියූ ශුභාරංචි පොතේ යේසුස් මෙසේ පැවසුවා. “ඔහු මනුෂ්‍ය පුත්‍රයා වන බැවින්, විනිශ්චය කිරීමට බලය පියාණන් ඔහුට [යේසුස්ට] දී තිබේ. මේ ගැන මවිත නොවන්න. මන්ද සොහොන් ගෙවල්වල සිටින සියල්ලන්ට ඔහුගේ හඬ ඇසෙන පැය පැමිණෙන්නේය. එවිට යහපත් දේ කළ අය ජීවනය සඳහා නැවත නැඟිටීමකටද, පිළිකුල් දේ කළ අය විනිශ්චය සඳහා නැවත නැඟිටීමකටද පිටතට එන්නෝය.” (යොහන් 5:27-29) මුළු මිනිස් ඉතිහාසය පුරාම මිය ගොස් සිටින අයව නැවත නැඟිටුවීම කියන්නේ මොන තරම් දැවැන්ත කාර්යයක්ද! බේරී සිටින මහත් සමූහයේ සංඛ්‍යාව නැවත නැඟිටින අයට වඩා කුඩා වන නිසා දෙවිගේ මතකයේ රැඳී සිටින මේ අයගේ නැවත නැඟිටීම ක්‍රමානුකූලව සිදු වෙනවාට සැකයක් නැහැ. එමගින් නැවත නැඟිටින අයගේ ගැටලු ප්‍රශ්න විසඳීමට මහත් සමූහයේ අයට වඩා පහසු වෙනවා. සමහරවිට ඒ අයගේ පරණ පුරුදු හා ආකල්ප නිසා යම් ප්‍රශ්න හටගත හැකියි.
නැවත නැඟිටුවන්නෙත් විනිශ්චය කරන්නෙත් කාවද?
7, 8. (අ) දිගහරිනු ලබන්නේ කුමන ලියවිල්ලද? ඉන්පසුව සිදු වෙන්නේ කුමක්ද? (ආ) නැවත නැඟිටීමක් නැත්තේ කාටද?
7 යොහන් මෙසේ කියනවා. “තවත් අකුළන ලද ලියවිල්ලක් දිගහරින ලදි; ඒ ජීවන ලියවිල්ලය. ඒ ලියවිලිවල ලියා තිබුණු දේවල්වලට අනුව, මළාහු තමුන්ගේ ක්‍රියා ලෙස විනිශ්චය කරනු ලැබුවෝය. මුහුද එහි සිටි මළවුන්ව භාර දුන්නේය. මරණය සහ මිනී වළ එහි සිටි මළවුන්ව භාර දුන්නේය. ඔවුහු එකිනෙකා තම තමාගේ ක්‍රියාවලට අනුව විනිශ්චය කරනු ලැබුවෝය.” (එළිදරව් 20:12ආ, 13) මෙය ඇත්තටම පුදුමාකාර දර්ශනයක්! මෙහිදී ‘මුහුද, මරණය සහ මිනී වළ’ සඳහන් කර තිබෙනවා. එසේ සඳහන් කර තිබෙන්නේ මේවා වෙනම දේවල් තුනක් කියා දැක්වීමට නෙවෙයි.a ඇත්තටම ඒවා අතර යම් සම්බන්ධයක් තිබෙනවා. උදාහරණයකට මුහුද මැද මත්ස්‍යයාගේ බඩේ සිටි යෝනා පැවසුවේ තමන් මිනී වළේ ඉඳන් උපකාර ඉල්ලා සිටි බවයි. (යෝනා 2:2, NW) එමනිසා මුහුද, මරණය සහ මිනී වළ යන යෙදුම් තුනම භාවිත කර තිබෙන්නේ මෙම නැවත නැඟිටීමේදී කිසිම කෙනෙක්වත් අතපසු නොවන බව අවධාරණය කිරීමටයි. උදාහරණයකට ආදම්ගේ පාපය නිසා කෙනෙක් මරණය අද්දකින විට ඔහු යන්නේ මිනී වළටයි.
8 මෙහිදී නැවත නැඟිටීමක් නොලබන අසංඛ්‍යාත පිරිසක් ගැනත් සඳහන් කළ යුතුයි. ඒ අය අතර යේසුස් සහ ඔහුගේ ගෝලයන්ව ප්‍රතික්ෂේප කළ පසුතැවිලි නොවූ ලියන්නනන් සහ පරිසිවරුන්, “නීතිය නොතකන මනුෂ්‍යයා,” සහ “වැටී ගිය” අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ද සිටිනවා. (2 තෙසලෝනික 2:3; හෙබ්‍රෙව් 6:4-6; මතෙව් 23:29-33) ඒ වගේම මෙම දුෂ්ට ලෝකය විනාශ වෙද්දී “යක්ෂයාටත් ඔහුගේ දූතයන්ටත් සූදානම් කර තිබෙන සදාකාල ගින්නට” යන එළුවන් හා සමාන මිනිසුන්ව ‘සදහටම කපාහරිනු’ ලබන නිසා ඔවුන්ටත් නැවත නැඟිටීමක් ලැබෙන්නේ නැහැ.—මතෙව් 25:41, 46.
9. නැවත නැඟිටීමේදී සමහරුන්ට විශේෂ අනුග්‍රහයක් ලැබෙන බව පාවුල් පෙන්නුම් කළේ කෙසේද? මේ අයට ඇතුළත් වෙන්නේ කවුරුන්ද?
9 නැවත නැඟිටීමේදී සමහරුන්ට විශේෂ අනුග්‍රහයක් ලැබෙනවා. පාවුල් ඒ බව පෙන්නුම් කළේ මෙසේයි. “ධර්මිෂ්ඨ සහ අධර්මිෂ්ඨ යන දෙපිරිසගේම නැවත නැඟිටීමක් තිබෙන්න යන බව . . . මමත් දෙවි කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටිමි.” (ක්‍රියා 24:15) මේ පොළොවේ නැවත නැඟිටින ‘ධර්මිෂ්ඨයන්’ අතර දෙවිගේ මිත්‍රයන් ලෙස ධර්මිෂ්ඨ බව ප්‍රකාශ කරනු ලැබූ ආබ්‍රහම්, රාහබ් සහ තවත් ඇදහිලිවන්ත පුරුෂයන් සහ ස්ත්‍රීන් බොහෝදෙනෙක් සිටින්න යනවා. (යාකොබ් 2:21, 23, 25) මීට අමතරව නවීන කාලවලදී යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිට මිය ගිය ධර්මිෂ්ඨ වෙනත් බැටළුවන්ද මේ කණ්ඩායමට ඇතුළත් වෙනවා. මේ සියලුදෙනාම යේසුස්ගේ දහස් අවුරුදු පාලනයේ මුල් කාලයේ නැවත නැඟිටුවයි කියා අපට විශ්වාස කරන්න පුළුවන්. (යෝබ් 14:13-15; 27:5; දානියෙල් 12:13; හෙබ්‍රෙව් 11:35, 39, 40) මෙසේ නැවත නැඟිටුවනු ලබන ධර්මිෂ්ඨ අය අතරින් බොහෝදෙනෙක් මේ පොළොව පාරාදීසයක් කිරීමේ දැවැන්ත කාර්යය අධීක්ෂණය කිරීමට හවුල් වෙනවාට සැකයක් නැහැ.—ගීතාවලිය 45:16; යෙසායා 32:1, 16-18ද, යෙසා 61:5ද, යෙසා 65:21-23ද බලන්න.
10. නැවත නැඟිටුවනු ලබන “අධර්මිෂ්ඨයන්” කියන්නේ කාටද?
10 ක්‍රියා 24:15හි සඳහන් “අධර්මිෂ්ඨයන්” කවුරුන්ද? මේ අයට මිනිස් ඉතිහාසය පුරාම, විශේෂයෙන්ම “නොදන්නාකමින්” මිය ගිය අය ඇතුළත් වෙනවා. (ක්‍රියා 17:30) මේ අය ඉපදුණු හෝ ජීවත් වුණු ප්‍රදේශය නිසා යෙහෝවා දෙවිගේ කැමැත්තට කීකරු වෙන්න අවස්ථාවක් ඔවුන්ට ලැබුණේ නැහැ. මීට අමතරව සමහරුන්ට ශුභාරංචියට සවන් දෙන්න අවස්ථාව ලැබුණත් නිසි ප්‍රතිචාරයක් දක්වන්න ඔවුන්ට අවස්ථාව ලැබුණේ නැහැ. එසේ නැතහොත් කැප වී බව්තීස්ම වෙන්න කලින් ඔවුන් මිය ගියා විය හැකියි. මේ අයව නැවත නැඟිටුවන විට තමන්ගේ ආකල්ප සහ ජීවිත දෙවිගේ කැමැත්තට අනුව තවදුරටත් හදාගන්න සිදු වෙනවා. ඔවුන්ට සදාකල් ජීවත් වීමේ ප්‍රස්තාව හිමි කරගත හැක්කේ එවිට පමණයි.
ජීවන ලියවිල්ල
11. (අ) “ජීවන ලියවිල්ල” කුමක්ද? මෙම ලියවිල්ලේ ලියා ඇත්තේ කාගේ නම්ද? (ආ) ජීවන ලියවිල්ල දහස් අවුරුදු පාලනයේදී විවෘත කරන්නේ මන්ද?
11 මෙහිදී යොහන් “ජීවන ලියවිල්ල” ගැන සඳහන් කරනවා. මෙය යෙහෝවා දෙවිගෙන් සදාකල් ජීවිතය ලබාගැනීමට සුදුසුව සිටින අය ඇතුළත් වාර්තාවක්. මෙම ලියවිල්ලට යේසුස්ගේ අභිෂේක ලත් සහෝදරයන්, මහත් සමූහය, මෝසෙස් වැනි පුරාණයේ සිටි ඇදහිලිවන්තයන් ආදිය ඇතුළත් කර තිබෙනවා. (නික්මයාම 32:32, 33; දානියෙල් 12:1; එළිදරව් 3:5) නැවත නැඟිටුවන ‘අධර්මිෂ්ඨ අයගේ’ නම් ජීවන ලියවිල්ලට ඇතුළත් කර නැහැ. නමුත් ඔවුන් සුදුසුකම් ලබනවා නම් ඔවුන්ව ඇතුළත් කළ හැකියි. දහස් අවුරුදු පාලනයේදී ජීවන ලියවිල්ල විවෘත කරන්නේ ඒ සඳහායි. ජීවන ලියවිල්ලට ඇතුළත් නොවන අයව ‘ගිනිවිලට හෙළනු’ ලබනවා.—එළිදරව් 20:15; හෙබ්‍රෙව් 3:19ද බලන්න.
12. විවෘත කළ ජීවන ලියවිල්ලට කෙනෙකුගේ නම ඇතුළත් කරනවාද නැද්ද යන්න තීරණය වෙන්නේ කෙසේද? දෙවි පත් කළ විනිශ්චයකරු වන යේසුස් මේ සම්බන්ධයෙන් හොඳ ආදර්ශයක් තැබුවේ කෙසේද?
12 විවෘත කළ ජීවන ලියවිල්ලට කෙනෙකුගේ නම ඇතුළත් කරනවාද නැද්ද යන්න තීරණය වෙන්නේ කෙසේද? ප්‍රධානම අවශ්‍යතාව වෙන්නේ යෙහෝවා දෙවිට කීකරු වී සිටීමයි. දෙවි ආදම් සහ ඒවගෙන් බලාපොරොත්තු වුණෙත් ඒ දෙයයි. යොහන් තමාගේ ආදරණීය සෙසු ක්‍රිස්තියානීන්ට ඒ අවශ්‍යතාව පැහැදිලි කළේ මෙසේයි. “ලෝකයත් එහි ආශාවත් පහව යන්නේය. නමුත් දෙවිගේ කැමැත්ත කරන්නා සදහටම පවතින්නේය.” (1 යොහන් 2:4-7, 17) දෙවිට කීකරු විය යුතු ආකාරය ගැන හොඳම ආදර්ශය තැබුවේ දෙවි පත් කළ විනිශ්චයකරු වන යේසුස්මයි. “ඔහු පුත්‍රයෙකුව සිටියත්, තමන් වින්ද දේවල්වලින් ඔහු කීකරුකම ඉගෙනගත්තේය. ඔහුව පරිපූර්ණ තත්වයකට ගෙනෙනු ලැබූ පසු, ඔහුට කීකරු වන සියල්ලන්ට සදාකාල ගැලවීම ලැබීමට මාර්ගය වූයේ ඔහුය.”—හෙබ්‍රෙව් 5:8, 9.
වෙනත් ලියවිලි විවෘත කිරීම
13. නැවත නැඟිටුවන අය තම කීකරුකම පෙන්විය යුත්තේ කෙසේද? ඔවුන් පිළිපැදිය යුත්තේ කුමන ප්රතිපත්තිද?
13 නැවත නැඟිටුවනු ලබන මේ අය තම කීකරුකම පෙන්විය යුත්තේ කෙසේද? එයට අදාළ උතුම් ආඥා දෙක ගැන යේසුස් පැවසුවේ මෙසේයි. “පළමුවැන්න නම් මේය, ‘ඊශ්‍රායෙලය, සවන් දෙන්න. අපේ දෙවි වන යෙහෝවා, එකම යෙහෝවාය. ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ද ඔබේ මුළු ජීවිතයෙන්ද ඔබේ මුළු මනසින්ද ඔබේ මුළු ශක්තියෙන්ද ප්‍රේම කරන්න.’ දෙවැන්න නම් මේය, ‘ඔබට මෙන් ඔබේ අසල්වාසියාට ප්‍රේම කරන්න.’ මේවාට වඩා උතුම් ආඥාවක් නැත.” (මාක් 12:29-31) ඒ වගේම ඔවුන් පිළිපැදිය යුතු දෙවිගේ තවත් ස්ථිර ප්රතිපත්තිද තිබෙනවා. ඒවාට සොරකම් කිරීම, බොරු කීම, මිනී මැරීම සහ දුරාචාරය යනාදිය ප්‍රතික්ෂේප කිරීම ඇතුළත්.—1 තිමෝති 1:8-11; එළිදරව් 21:8.
14. විවෘත කරනු ලබන වෙනත් ලියවිලි මොනවාද? ඒවායේ අඩංගු වෙන්නේ කුමක්ද?
14 දහස් අවුරුදු පාලනයේදී තවත් ලියවිලි විවෘත කරන බවත් යොහන් සඳහන් කරනවා. (එළිදරව් 20:12) මේවා මොනවාද? ඇතැම් අවස්ථාවලදී යම් විශේෂ අරමුණකට යෙහෝවා දෙවි යම් මඟ පෙන්වීම් සපයා තිබෙනවා. උදාහරණයකට මෝසෙස්ගේ කාලයේදී දෙවි ඊශ්‍රායෙල් ජාතියට නීති මාලාවක් දුන්නා. ඔවුන් එම නීතිවලට කීකරුව සිටියා නම් ඔවුන්ට ජීවිතය ලබාගන්න පුළුවන් බවත් දෙවි පොරොන්දු වුණා. (ද්විතීය කතාව 4:40; 32:45-47) ක්‍රිස්තු වර්ෂ මුල් සියවසේදී ක්‍රිස්තියානි සභාවේ බිහිවීමත් සමඟම ඇදහිලිවන්තයන්ට දෙවිගෙන් ප්‍රතිපත්ති මාලාවක් ලැබුණා. (මතෙව් 28:19, 20; යොහන් 13:34; 15:9, 10) ඒ හා සමානවම දහස් අවුරුදු පාලනයේදීත් යෙහෝවා දෙවි මිනිසාගෙන් බලාපොරොත්තු වන දේ පිළිබඳ බොහෝ තොරතුරු ඔහු වෙනත් ලියවිලි මගින් ලබා දෙනවා. එයට හේතුව “ඒ ලියවිලිවල ලියා තිබුණු දේවල්වලට අනුව, මළාහු තමුන්ගේ ක්‍රියා ලෙස විනිශ්චය කරනු ලැබුවෝය” කියා යොහන් සඳහන් කරන නිසයි. මේ ලියවිලිවල අඩංගු මඟ පෙන්වීම් සහ ආඥාවලට කීකරු වී තම ජීවිතවලට ඒවා අදාළ කරගැනීමෙන් ඔවුන්ටම යහපතක් සිදු වන අතර අවසානයේදී සදාකාල ජීවිතය ලබාගැනීමට ඔවුන්ට හැකියාව ලැබෙනවා.
15. නැවත නැඟිටීම සිදු වන කාලයේදී මොන වගේ ඉගැන්වීමක් කළ යුතුද? බොහෝවිට නැවත නැඟිටීම සිදු වෙන්නේ මොන පිළිවෙළට අනුවද?
15 නමුත් යෙහෝවා දෙවි මිනිසුන්ගෙන් බලාපොරොත්තු වන මේ දේවල් ගැන ඉතා පුළුල් ඉගැන්වීමක් කරන්න සිදු වෙනවා. උදාහරණයකට 2005දී යෙහෝවාගේ සාක්ෂිකරුවන් ලොව පුරා සාමාන්‍යයක් හැටියට බයිබල් පාඩම් 60,61,534ක් පැවැත්වුවා. නමුත් නැවත නැඟිටීම සිදු වන කාලයේදී බයිබලය සහ අලුත් ලියවිලි යොදාගෙන පාඩම් කෝටි ගණනක් පවත්වයි කියා අපට විශ්වාස කරන්න පුළුවන්. ඒ කාලයේදී දෙවිගේ සියලුම සේවකයන් ගුරුවරුන් ලෙස වෙහෙසෙන්න අවශ්‍ය වෙනවා. නැවත නැඟිටින අයත් දැනුවත් වුණායින් පසු ඔවුනුත් ගුරුවරුන් ලෙස කටයුතු කරයි කියා අපට සිතාගත හැකියි. බොහෝවිට නැවත නැඟිටීම සිදු වන පිළිවෙළ මෙවැනි දෙයකට දායක වෙනවා. ඉන් අදහස් කරන්නේ ජීවත්ව සිටින අය නැවත නැඟිටින තමාගේ පවුලේ සාමාජිකයන් හා හිත මිතුරන් ආදිය පිළිගෙන ඔවුන්ට ඉගැන්වීමට අවස්ථාව උදා කරගන්නා බවයි. පසුව එසේ නැවත නැඟිටෙවූ අය දැනුවත් වුණායින් පසු ඔවුනුත් ඊළඟට නැඟිටින තමන්ගේ පවුලේ සාමාජිකයන් හා හිත මිතුරන් ආදිය පිළිගෙන ඔවුන්ට ඉගැන්වීමේ අවස්ථාව උදා කරගන්නවා. (1 කොරින්ති 15:19-28, 58ද බලන්න.) අනාගතයේදී සිදු වන මෙම දැවැන්ත කාර්යය කිරීමට සත්‍යය ලොව පුරා ක්‍රියාශීලීව බෙදාහරින සාක්ෂිකරුවන් මිලියන හයකටත් වඩා වැඩි පිරිසක් දැන් සිටම හොඳ පුහුණුවක් ලබමින් සිටිනවා.—යෙසායා 50:4; 54:13.
16. (අ) ජීවන ලියවිල්ලට ඇතුල් නොකරන්නේ කාගේ නම්ද? (ආ) “ජීවනය” සඳහා නැවත නැඟිටීමක් ලබන්නේ කවුරුන්ද?
16 පොළොවේ සිදු වන නැවත නැඟිටීම ගැන යේසුස් පැවසුවේ ‘යහපත් දේ කළ අය ජීවනය සඳහා නැවත නැඟිටීමකටද, පිළිකුල් දේ කළ අය විනිශ්චය සඳහාද නැවත නැඟිටීමකටද පිටතට එන’ බවයි. මෙයින් පැහැදිලි වෙන්නේ එක් පිරිසකට ‘විනිශ්චයක්’ සහ තවත් පිරිසකට ‘ජීවනය’ ලැබෙන බවයි. එනම් ශුද්ධ ලියවිල්ල සහ වෙනත් ලියවිලි මාර්ගයෙන් දැනුවත් වුණායින් පසුවත් ‘පිළිකුල් දේ කළ අය’ ජීවනය සඳහා සුදුසු නැහැයි කියන විනිශ්චය ලබනවා. ඔවුන්ගේ නම් ජීවන ලියවිල්ලට ඇතුළත් වෙන්නේ නැහැ. (යොහන් 5:29) මීට අමතරව කලින් විශ්වාසවන්ත වී සිටියත් යම් හේතුවකට දහස් අවුරුදු පාලනයේදී දෙවිට අකීකරු වන අයටත් මෙවැනිම ‘විනිශ්චයක්’ ලැබෙනවා. ඔවුන්ගේ නම්ද ජීවන ලියවිල්ලෙන් මකා දමන්න සිදු වෙනවා. (නික්මයාම 32:32, 33) නමුත් ලියවිලිවල සඳහන් දේවලට කීකරු වී සිටින අයගේ නම් ජීවන ලියවිල්ලෙන් ඉවත් කරන්නේ නැහැ. ඔවුන්ට හිමි වෙන්නේ ජීවනයයි. එනිසා ඔවුන්ගේ නැවත නැඟිටීම ‘ජීවනය සඳහා නැවත නැඟිටීමක්’ ලෙස හැඳින්වීම සුදුසුයි.
මරණයේ සහ මිනී වළේ අවසානය
17. (අ) යොහන් විස්තර කරන්නේ කිනම් පුදුම සහගත ක්‍රියාවද? (ආ) මිනී වළ හිස් වෙන්නේ කවදාද? (ඇ) ආදම්ගෙන් පැවතෙන මරණය ‘ගිනිවිලට හෙළනු ලබන්නේ’ කවදාද?
17 යොහන් ඊළඟට විස්තර කරන දේ ඇත්තටම ප්‍රීතියට හේතුවක්.“මරණය සහ මිනී වළ ගිනිවිලට හෙළනු ලැබුවේය. මේ ගිනිවිලෙන් දෙවන මරණය අදහස් වන්නේය. තවද, ජීවන පොතෙහි ලියවී නැති සියලුදෙනාව ගිනිවිලට හෙළනු ලැබුවෝය.” (එළිදරව් 20:14, 15) දහස් අවුරුදු විනිශ්චය දවස අවසන් වන විට “මරණය සහ මිනී වළ” සම්පූර්ණයෙන්ම නැති වෙනවා. මිනී වළ භාවිත කරන්නේ ආදම්ගේ පාපය නිසා කෙනෙක් මිය ගිය විට ඔහු මරණය නමැති නින්දෙහි සැතපී සිටින බව දැක්වීමටයි. මෙම මිනී වළ හිස් වෙන්නේ දෙවිගේ මතකයේ සිටින අවසාන කෙනා නැවත නැඟිටුණු පසුවයි. නමුත් මිනිසුන් එක වරම පරිපූර්ණ වෙන්නේ නැහැ. ආදම්ගෙන් උරුම වූ ඔවුන්ගේ පව්කාර තත්වය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට නම් යේසුස්ගේ ජීවිත පූජාව මිනිසුන් තුළ අවුරුදු දහස පුරාම ක්‍රියාත්මක විය යුතුයි. මේ සඳහා නැවත නැඟිටුවන සියලුදෙනාම සහ මෙම දුෂ්ට ලෝකයේ විනාශයෙන් බේරෙන මහත් සමූහය ලියවිලිවල දී තිබෙන මඟ පෙන්වීම්වලට කීකරු වීම අවශ්‍යයි. මිනිසුන් සියලුදෙනාම ආදම්ගෙන් උරුම වූ මරණයෙන් නිදහස් කියා පැවසිය හැක්කේ ඔවුන් පරිපූර්ණත්වය ලැබුවායින් පසුවයි. මරණය සහ මිනී වළ ‘ගිනිවිලට හෙළා’ ඇති බව කිව හැක්කේ එවිටයි. ඒ කියන්නේ ආදම්ගෙන් උරුම වූ පාපය නිසා නැවතත් කිසිදාක මරණයක් සිදු නොවන බවයි.
18. (අ) යේසුස් කරන පාලනයේ ප්‍රතිඵලය පාවුල් විස්තර කරන්නේ කෙසේද? (ආ) පරිපූර්ණත්වය ලබා ඇති මිනිස් වර්ගයා සම්බන්ධයෙන් යේසුස් ගන්නේ මොන පියවරද? (ඇ) දහස් අවුරුදු පාලනය අවසානයේදී තවත් සිදු විය යුත්තේ කුමක්ද?
18 ප්‍රතිඵලයක් හැටියට පාවුල් කොරින්තිවරුන්ට ලියූ ලිපියේ විස්තර කළ සියලු දේවල් ඉටු වෙනවා. ඔහු පැවසුවේ “දෙවි සියලු සතුරන් ඔහුගේ පාද යට දමන තුරු ඔහු [යේසුස්] රජකම් කළ යුතුය. ඉන්පසු අන්තිම සතුරා වන [ආදම්ගෙන් උරුම වූ] මරණය නැති කර දමන්නේය” කියායි. ඊළඟට සිදු වෙන්නේ කුමක්ද? “සියල්ල ඔහුට යටත් කළ පසු පුත්‍රයාද, තමන්ට සියල්ල යටත් කර දුන් තැනැත්තාට යටත් වන්නේය.” වෙනත් වචනවලින් කියනවා නම් යේසුස් “තම දෙවිද පියාණන්ද වන තැනැත්තාට රාජ්‍යය භාර දෙන්නේය.” (1 කොරින්ති 15:24-28) යේසුස් ආදම්ගෙන් උරුම වූ පාපය තම ජීවිත පූජාව තුළින් ඉවත් කර ඇති නිසා ඔහු පරිපූර්ණත්වයට පත් වූ මිනිස් වර්ගයාව තම පියාණන් වන යෙහෝවා දෙවිට භාර දෙනවා. පෙනෙන විදිහට සාතන්ව මුදාහැර අවසාන පරීක්ෂණය සිදු වෙන්නේ මේ අවස්ථාවේදීයි. ජීවන ලියවිල්ලේ නොමැකෙන සේ ලියවී ඇති අයගේ නම් තීරණය වෙන්නේ ඉන්පසුවයි. ඔබේ නමත් ඇතුල් කරගන්න නම් “පටු දොරටුවෙන් ඇතුල් වීමට දැඩි උත්සාහයක් දරන්න.”—ලූක් 13:24; එළිදරව් 20:5.
[පාදසටහන]
a මුහුදෙන් නැවත නැඟිටින අයට නෝවාගේ කාලයේ සිදු වූ ජලගැල්මෙන් මිය ගිය දුෂ්ට අය ඇතුළත් වෙන්නේ නැහැ. මහත් පීඩාවේදී දෙවි සිදු කරන විනිශ්චයට සමානව ඔවුන්ට දෙවිගෙන් ලැබුණේ අවසාන විනිශ්චයක්.—මතෙව් 25:41, 46; 2 පේතෘස් 3:5-7.
[298වන පිටුවේ පින්තූරය]
දහස් අවුරුදු පාලනයේදී නැවත නැඟිටුවන ‘අධර්මිෂ්ඨයන්’ විවෘත කරන ලියවිලිවලට කීකරු වෙනවා නම් ඔවුන්ගේ නම් ජීවන ලියවිල්ලට ඇතුල් වෙනවා