පරිච්ඡේදය 13
ගින්නෙන් පවිත්‍ර කළ රන් මිල දී ගන්න
ලවොදිසීය
1, 2. තේජසට පත් යේසුස්ගෙන් පණිවුඩයක් ලැබූ අවසාන සහ හත්වන සභාව පිහිටා තිබුණේ කොහේද? මේ නගරයේ සමහර ලක්ෂණ මොනවාද?
ලවොදිසීය යනු නැවත නැඟිටුවන ලද යේසුස්ගෙන් පණිවුඩ ලබන සභා සතෙන් අවසාන සභාවයි. මේ පණිවුඩයේ බොහෝ ප්‍රයෝජනවත් මෙන්ම පැහැදිලි තොරතුරු අඩංගුයි.
2 අද දින ලවොදිසීය නගරයේ නටබුන් පිහිටා තිබෙන්නේ තුර්කියේ අලාසෙහිර් නගරයට ගිනිකොනින් සැතපුම් 55ක් පමණ එපිටින් පිහිටි ඩෙනිස්ලි නම් නගරයට නුදුරිනුයි. පළමු සියවසේදී ලවොදිසීය සමෘද්ධිමත් නගරයක්. ප්‍රධාන මංසන්ධියක පිහිටා තිබූ මේ නගරය ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක්ව තිබුණා. ඉතා ජනප්‍රිය නේත්‍රාලේප වර්ගයක් විකිණීමෙන් මෙම නගරය මහත් ධනස්කන්ධයක් රැස් කරගෙනයි තිබුණේ. එහි නිපදවූ සිහින් කලු ලොම් වර්ගයකින් මසන ලද උසස් වර්ගයේ ඇඳුම්වලට හොඳ ඉල්ලුමක් තිබුණා. නමුත් මේ නගරයේ තිබූ ප්‍රධාන ගැටලුවක් තමයි ජලය හිඟකම. ඒ නිසා තරමක් දුරින් පිහිටා තිබූ උණු දිය උල්පත්වලින් මේ නගරයට වතුර ලබාගැනීමට ජල මාර්ග තනා තිබුණා. නමුත් මෙම ජල මාර්ග ඔස්සේ ගලා ආ උණු වතුර නගරයට ළං වන විට ඇල්මැරුණු තත්වයකයි තිබුණේ.
3. යේසුස් ලවොදිසීය සභාවට යවන පණිවුඩය ආරම්භ කරන්නේ කෙසේද?
3 ලවොදිසීය පිහිටා තිබුණේ කොලොස්සියට යාබදවයි. කොලොස්සි සභාවට ලියන අවස්ථාවේදී තමන් ලවොදිසීයටද ලිපියක් යැවූ බව පාවුල් සඳහන් කරනවා. (කොලොස්සි 4:15, 16) පාවුල් එම ලිපියේ ලිව්වේ මොනවාදැයි අප දන්නේ නැහැ. නමුත් යේසුස් දැන් මෙම සභාවට යවන ලිපියෙන් පැහැදිලි වෙන්නේ ඔවුන් ඇදහිල්ල අතින් ඉතාමත් දුර්වල තත්වයක සිටින බවයි. නමුත් කලින් පණිවුඩවලදී මෙන් යේසුස් මෙහිදීත් තම පණිවුඩය ආරම්භ කරන්නේ තමා ගැන විස්තරයක් සපයමිනුයි. “ලවොදිසීයෙහි පිහිටි සභාවේ දූතයාට මෙසේ ලියන්න: විශ්වාසවන්ත, සැබෑ සාක්ෂිකරුවා වන, දෙවිගේ මැවිල්ලේ පටන්ගැන්ම වූ, ආමෙන් නමැති තැනැත්තා මේ කාරණා කියන්නේය.”—එළිදරව් 3:14.
4. යේසුස්ට “ආමෙන්” යන නම උචිත වෙන්නේ ඇයි?
4 යේසුස් “ආමෙන්” යන නම භාවිත කරමින් තමාවම හඳුන්වන්නේ ඇයි? “ආමෙන්” නමැති මේ පදවි නාමයෙන් කියාපාන්නේ තමා කියන දේ ස්ථිර වශයෙන්ම සිදු වෙන බවයි. “ආමෙන්” යනු හෙබ්‍රෙව් වචනයක්. ඉන් “සැබවින්ම” හෙවත් “එසේම වේවා!” යන අර්ථ දෙනවා. මෙම වචනය සාමාන්‍යයෙන් භාවිත කරන්නේ යාච්ඤාවක අවසානයේදීයි. ඒ යාච්ඤාවෙන් පැවසූ දේවල් තහවුරු කිරීමටයි. (1 කොරින්ති 14:16) යෙහෝවා දෙවිගේ අනර්ඝ පොරොන්දු සියල්ලම ඉටු වන බවට තහවුරු වුණේ යේසුස් පොළොව මත හැම අතින්ම විශ්වාසවන්තව සිටි නිසා සහ තම ජීවිතය කැමැත්තෙන්ම පූජා කළ නිසයි. යේසුස්ට “ආමෙන්” යන නම උචිත වෙන්නේ ඒ නිසයි. (2 කොරින්ති 1:20) එතැන් පටන් යෙහෝවා දෙවිට අප ඔප්පු කරන යාච්ඤා ඔහු පිළිගන්නේ ඒවා යේසුස්ගේ නාමයෙන් ඔප්පු කළොත් පමණයි.—යොහන් 15:16; 16:23, 24.
5. යේසුස් “විශ්වාසවන්ත, සැබෑ සාක්ෂිකරුවා” වන්නේ කිනම් අර්ථයකින්ද?
5 යේසුස් “විශ්වාසවන්ත, සැබෑ සාක්ෂිකරුවා” ලෙසත් හඳුන්වනවා. ඔහු යෙහෝවා දෙවිට හැම අතින්ම විශ්වාසවන්තව සිටින සේවකයෙකු වන නිසා අනාවැකිවල බොහෝවිට යේසුස් ගැන කතා කරන්නේ විශ්වාසවන්ත, සැබෑ වූ, ධර්මිෂ්ඨ වූ කෙනෙකු ලෙසටයි. (ගීතාවලිය 45:4; යෙසායා 11:4, 5; එළිදරව් 1:5; 19:11) යෙහෝවා දෙවිගේ ශ්‍රේෂ්ඨතම සාක්ෂිකරුවා ඔහුයි. ඇත්තවශයෙන්ම, “දෙවිගේ මැවිල්ලේ පටන්ගැන්ම” වශයෙන් යේසුස් ආරම්භයේ පටන්ම දෙවිගේ මහිමය ප්‍රකාශ කර තිබෙනවා. (හිතෝපදේශ 8:22-30) පොළොවේ ජීවත් වෙද්දී මිනිසෙකු ලෙස ඔහු සත්‍යය ගැන සාක්ෂි දැරුවා. (යොහන් 18:36, 37; 1 තිමෝති 6:13) නැවත නැඟිටුවීමට පසු තම ගෝලයන්ට දෙවිගේ බලය එවන බවට පොරොන්දු වෙමින් ඔහු කීවේ මෙසේයි. “ඔබ යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ ඈත කෙළවරෙහි ඇති ස්ථානය දක්වාද මා ගැන සාක්ෂිකරුවෝ වන්නහුය.” ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දිනයේ පටන් යේසුස් මෙම අභිෂේක ලත් අයට ශුභාරංචිය “අහසින් යට මුළු මැවිල්ලේ” දේශනා කරනු ලැබීමට මඟ පෙන්නුවා. (ක්‍රියා 1:6-8; කොලොස්සි 1:23) විශ්වාසවන්ත, සැබෑ සාක්ෂිකරු ලෙස යේසුස්ව හැඳින්වීම ඉතා යෝග්‍යයි. එමනිසා ලවොදිසීයේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ඔහුගේ වචනවලට සවන් දීමෙන් ඉමහත් ප්‍රයෝජන ලබනවාට කිසිම සැකයක් නැහැ.
6. (අ) ලවොදිසීයේ සභාව ගැන යේසුස් විස්තර කරන්නේ කෙසේද? (ආ) ලවොදිසීයේ ක්‍රිස්තියානීන්ට අනුගමනය කිරීමට තිබුණේ යේසුස්ගේ කිනම් කදිම ආදර්ශයද?
6 ලවොදිසීයේ ක්‍රිස්තියානීන්ට යේසුස් දෙන්නේ මොන වගේ පණිවුඩයක්ද? කිසිම දෙයක් ගැන ඔහු ප්‍රශංසා කරන්නේ නැහැ. ඔහු ඔවුන්ට මෙසේ ඍජුවම කියනවා. “මම ඔබේ ක්‍රියා දනිමි. ඔබ ශීතලව හෝ උණුසුම්ව හෝ නොසිටින බවද මම දනිමි. ඔබ ශීතලව නැත්නම් උණුසුම්ව සිටියා නම් මම කැමැත්තෙමි. ඔබ උණුසුම්ව හෝ ශීතලව නොසිට ඇල්මැරී සිටින නිසා, මම මාගේ කටින් ඔබව වමාරන්නෙමි.” (එළිදරව් 3:15, 16) ස්වාමියා වූ යේසුස් ක්‍රිස්තුස් මේ වචන ඔබට කිව්වා නම් ඔබ කොහොම ප්‍රතිචාරය දක්වයිද? ඔබ අවදි වී ආත්ම සෝදිසියක් කරගැනීමට පෙලඹෙන්නේ නැද්ද? ලවොදිසීය සභාවේ අය අනිවාර්යයෙන්ම අවදි විය යුතුයි. මන්ද ඔවුන් තම ඇදහිල්ල අතින් ඉතා උදාසීනව හා නිදිබරවයි සිටියේ. සමහරවිට ඔවුන් දේවල් ඉතා සැහැල්ලුවට ගත් බවක් පේනවා. (2 කොරින්ති 6:1ද බලන්න.) යේසුස්, යෙහෝවා දෙවි සහ දේවසේවය වෙනුවෙන් සෑමවිටම දැවෙන උද්යෝගයකින් ක්‍රියා කළා. නමුත් ඔවුන්ට යේසුස්ගේ මේ ආදර්ශය අමතක වී තිබුණා. (යොහන් 2:17) ඔහු ඉතා මෘදු, මොළොක් පුද්ගලයෙක් බව හැමෝම දැක්කා. හරියට අව් කාෂ්ටක දවසක සීතල වතුර වීදුරුවක් වගේ. (මතෙව් 11:28, 29) නමුත් ලවොදිසීයේ ක්‍රිස්තියානීන් උණුසුම්ව හෝ සීතලව සිටියේ නැහැ. තම නගරයට ලැබුණු වතුර මෙන් ඔවුන් සිටියේ ඇල්මැරුණු තත්වයකයි. ඇත්තෙන්ම ඔවුන් හිටියේ යේසුස්ගේ ‘කටින් වැමෑරීමට’ තරම් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනු ලැබිය යුතු තත්වයකයි. එමනිසා, අප ලවොදිසීයේ ක්‍රිස්තියානීන් මෙන් නොවී, යේසුස් මෙන් අන් අයගේ ඇදහිල්ලට ප්රබෝධයක් ගෙන දීමට සෑමවිටම උද්යෝගයෙන් ක්‍රියා කරමු.—මතෙව් 9:35-38.
‘මා ධනවත්යයි ඔබ කියන්නෙහිය’
7. (අ) ලවොදිසීයේ ක්‍රිස්තියානීන්ට තිබෙන ප්‍රධාන ගැටලුව හැටියට යේසුස් දක්වන්නේ කුමක්ද? (ආ) ඔවුන් “අන්ධව සහ නිර්වස්ත්‍රව” සිටින බව යේසුස් පවසන්නේ ඇයි?
7 ලවොදිසීය සභාවේ අයට තිබූ ප්‍රධාන ගැටලුව කුමක්ද? යේසුස් ඊළඟට පවසන දෙයින් එය වටහාගත හැකියි. “ඔබ මෙසේ කියන්නෙහිය: ‘මා ධනවත්ය; මට ධනය ඇත; මට කිසිම දෙයකින් හිඟයක් නැත.’ එහෙත් ඔබ කාලකණ්ණියෙකු බවද, අනුකම්පාව ලැබිය යුත්තෙකු බවද ඔබ නොදන්නෙහිය. එසේම ඔබ දිලිඳුව, අන්ධව සහ නිර්වස්ත්‍රව සිටින බවද ඔබ නොදන්නෙහිය.” (එළිදරව් 3:17; ලූක් 12:16-21ද බලන්න.) ධනවත් නගරයක ජීවත් වන ඔවුන් තම ධන සම්පත් නිසා තමන්ට හොඳින් වැජඹිය හැකියයි සිතා සිටිනවා. නගරයේ තිබූ ක්‍රීඩාංගණය, නාට්‍ය ශාලා, සහ සරඹ ශාලා ඔවුන්ගේ ජීවිත රටාවට බලපා තිබූ බව පෙනෙනවා.a ඒ නිසා ඔවුන් “දෙවිට ප්‍රේම කරනවාට වඩා සැප සෙල්ලමට ප්‍රේම කරන අය” වුණා. (2 තිමෝති 3:4) ධන සම්පත්වලින් පොහොසත්ව සිටියත් ලවොදිසීය සභාවේ අය ඇදහිල්ලෙන් නම් දිලිඳුයි. ඔවුන් අතරින් ‘ස්වර්ගයේ වස්තු රැස් කරගෙන’ සිටියේ ටිකදෙනෙක් පමණයි. (මතෙව් 6:19-21) ඔවුන් සරල ඇසක් තබාගනිමින් දේවරාජ්‍යයට මුල් තැන දුන්නේ නැහැ. ඔවුන් සිටියේ අන්ධකාරයේ. ඔවුන්ගේ ඇදහිල්ල නමැති ඇස් අන්ධ වෙලා. (මතෙව් 6:22, 23, 33) ලස්සන වටිනා ඇඳුම් ඇඳ සිටියත්, යේසුස් ඉදිරියේ ඔවුන් සිටියේ නිර්වස්ත්‍රවයි. තමන් ක්‍රිස්තියානීන් බවට හඳුන්වා දෙන වස්ත්‍ර ඔවුන්ට තිබුණේ නැහැ.—එළිදරව් 16:15ද බලන්න.
8. (අ) ලවොදිසීයේ මෙන් අද දිනත් පවතින්නේ මොන වගේ තත්වයක්ද? (ආ) මේ කෑදර ලෝකයේ බලපෑම නිසා ඇතැම් ක්‍රිස්තියානීන් තමන්වම රවටාගෙන සිටින්නේ කෙසේද?
8 ඇත්තටම මෙය මොන තරම් කම්පා කරවන තත්වයක්ද! නමුත් අදත් ඒ හා සමාන තත්වයක් අප දකින්නේ නැද්ද? මීට මූලික හේතුව කුමක්ද? සැප සම්පත් කෙරෙහිද දේපළ වස්තුව ආදි දේවල් කෙරෙහිද විශ්වාසය තැබීම ඊට හේතුවයි. ක්‍රිස්තියානියයි කියාගන්නා ආගම් අදහන්නන් මෙන්, යෙහෝවා දෙවිට සේවය කරන ඇතැම් අය පවා තමන්වම රවටාගෙනයි සිටින්නේ. ඔවුන් සිතන්නේ ඉඳ හිට සභාවේ රැස්වීම්වලට යෑමෙන් ඔවුන්ට දෙවිව සතුටු කළ හැකි බවයි. ඔවුන් උත්සාහ කරන්නේ යන්තම් මොනවා හරි කරමින් ‘වචනය පිළිපදින්නයි.’ (යාකොබ් 1:22) යොහන් පන්තිය කොතරම් අවවාද අනතුරු ඇඟවීම් දුන්නත්, ඔවුන්ගේ සිත් තිබෙන්නේ අලුත්ම ඇඳුම් විලාසිතා, යාන වාහන, ඉඩ කඩම් හා නිවාස කෙරෙහියි. ඔවුන් නිතරම විනෝදයට බර ජීවිතයක් ගත කරන්නයි උත්සාහ කරන්නේ. (1 තිමෝති 6:9, 10; 1 යොහන් 2:15-17) මේ සියල්ලේම ප්‍රතිඵලය වෙන්නේ ඇදහිල්ල නමැති ඇස්වලින් දේවල් දෙස බැලීමේ හැකියාව බොඳ වී යෑමයි. (හෙබ්‍රෙව් 5:11, 12) ඇල්මැරුණු අය ලෙස සිටිනවා වෙනුවට දෙවිගේ බලය නමැති “ගින්න” ඔවුන් තුළ යළි දල්වා, “වචනය දේශනා කිරීමට” දැවෙන උද්යෝගයක් වහාම ඇති කරගත යුතුයි.—1 තෙසලෝනික 5:19; 2 තිමෝති 4:2, 5.
9. (අ) ඇල්මැරී සිටින ක්‍රිස්තියානීන් අවදි විය යුත්තේ යේසුස්ගේ කිනම් වචනවලටද? ඒ ඇයි? (ආ) අයාලේ ගිය ‘බැටළුවන්ට’ උපකාර කරන්න සභාවට හැක්කේ කෙසේද?
9 ඇල්මැරී සිටින ක්‍රිස්තියානීන්ව යේසුස් සලකන්නේ කෙසේද? ඔහු ඍජුව පවසන මේ වචන ඔවුන්ව අවදි කළ යුතුයි. “ඔබ කාලකණ්ණියෙකු බවද, අනුකම්පාව ලැබිය යුත්තෙකු බවද ඔබ නොදන්නෙහිය. එසේම ඔබ දිලිඳුව, අන්ධව සහ නිර්වස්ත්‍රව සිටින බවද ඔබ නොදන්නෙහිය.” ඔවුන්ගේ සිත් කොතරම් දැඩි වී තිබෙනවාද කියනවා නම් තමන් ඇද වැටී සිටින තත්වයවත් ඔවුන්ට වැටහෙන්නේ නැහැ. (හිතෝපදේශ 16:2; 21:2ද බලන්න.) සභාවේ තිබෙන මේ බරපතළ තත්වය ගැන කොහොමටවත් සැහැල්ලුවට ගන්න බැහැ. වැඩිමහල්ලන්ට සහ ඔවුන් යටතේ සේවය කරන වෙනත් අයට, අයාලේ ගිය මේ ‘බැටළුවන්ව’ නැවත අවදි කළ හැක්කේ හොඳ උද්යෝගිමත් ආදර්ශයක් තැබීමෙන් හා ඔවුන්ට ප්‍රේමණීයව උපකාර සැපයීමෙනුයි. එවිට මේ අයට නැවතත් ප්‍රීතියෙන් දෙවිට මුළු හදින් සේවය කරන්න හැකි වෙනවා.—ලූක් 15:3-7.
සැබෑ ‘ධනය’ ලබාගැනීමට උපදෙස්
10. යේසුස් ලවොදිසීයේ ක්‍රිස්තියානීන්ගෙන් ඉල්ලා සිටින්නේ තමාගෙන් කුමන ආකාරයේ “රන්” මිල දී ගන්න කියාද?
10 ලවොදිසීයේ පැවති ඒ කනගාටුදායක තත්වයට යම් විසඳුමක් තිබෙනවාද? ඔව්. ඒ යේසුස් ඔවුන්ට දුන් මේ අවවාදය අනුගමනය කළොත් පමණයි. “ඔබ ධනවත් වන පිණිස ගින්නෙන් පවිත්‍ර කළ රන් . . . මාගෙන් මිල දී ගන්නා ලෙස මම ඔබට උපදෙස් දෙමි.” (එළිදරව් 3:18) ගින්නෙන් පවිත්‍ර කර, සම්පූර්ණයෙන්ම බොර ඉවත් කරන ලද, සැබෑ “රන්” නිසා ඔවුන්ට “දෙවි ඉදිරියෙහි පොහොසත්” විය හැකියි. (ලූක් 12:21) ඔවුන්ට ඒ රන් මිල දී ගත හැකි වුණේ නගරයේ රත්තරන් සාප්පුවලින් නොව යේසුස්ගෙන්! පාවුල් එම රන් කුමක්දැයි කියා ධනවත් ක්‍රිස්තියානීන් ගැන තිමෝතිට ලියද්දී පැහැදිලි කළා. ඔවුන් “යහපත් ක්‍රියාවලින් පොහොසත්ව සිටීමත්, ත්‍යාගශීලී වීමත්, බෙදාගැනීමට සූදානම්ව සිටීමත්, අනාගතය සඳහා හොඳ අත්තිවාරමක් දමාගැනීමත්” යේසුස් දෙන ඒ නියම “රන්” ලෙස සැලකිය හැකියි. එසේ කිරීමෙන් පමණයි ඔවුන්ට ‘සැබෑ ජීවිතය තදින් අල්ලාගැනීමට හැකි වෙන්නේ.’ (1 තිමෝති 6:17-19) ලවොදිසීය සභාවේ අය ලෞකික ධන සම්පත්වලින් පොහොසත්ව සිටියත් පාවුල්ගේ අවවාදය සිතට ගත්තා නම් ඇදහිල්ලෙන් පොහොසත්ව සිටින්නත් ඔවුන්ට හැකිකම තිබුණා.—හිතෝපදේශ 3:13-18ද බලන්න.
11. නවීන කාලයේ “ගින්නෙන් පවිත්‍ර වූ රන්” මිල දී ගත් අය කවුරුන්ද?
11 “ගින්නෙන් පවිත්‍ර වූ රන්” මිල දී ගත් අය නවීන කාලයේත් සිටිනවාද? සිටිනවා! ස්වාමීන්ගේ දවස ආසන්න වන කාලයේදී, බයිබලය අධ්‍යයනය කරමින් සිටි කුඩා කණ්ඩායමක්, ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවල තිබූ බැබිලෝනීය බොරු ඉගැන්වීම් බොහොමයක් හොඳින් හඳුනාගත්තා. ත්‍රිත්වය, මරණින් පසු නොමියෙන යමක් ඇති බවට වූ ඉගැන්වීම, නිරාගින්න, ළදරුවන්ව බව්තීස්ම කිරීම සහ (කුරුසය සහ මරියාගේ රූප ඇතුළු) රූපවලට වන්දනාමාන කිරීම එම බොරු ඉගැන්වීම්වලට ඇතුළත් බව ඔවුන් තේරුම්ගත්තා. දේවවචනයේ අඩංගු සත්‍යයන්ට පක්ෂපාත අය ලෙස මොවුන් මිනිසාගේ එකම බලාපොරොත්තුව යෙහෝවා දෙවිගේ රාජ්‍යය බවත් ගැලවීම සඳහා තිබෙන එකම පදනම යේසුස්ගේ ජීවිත පූජාව බවත් ලොවට හඬ නඟා ප්‍රකාශ කළා. මීට අමතරව 1914 නම් වසර බයිබල් අනාවැකිවලට අනුව සුවිශේෂී වසරක් බවත්, එයින් අන්‍යජාතීන්ගේ කාලවල් අවසන් වන බවත්, ඒ කාලයේදී මිනිස් සමාජය දෙදරුම් කන බවත් ඔවුන් ප්‍රකාශ කළේ ඊට අවුරුදු 40කට පමණ කලිනුයි.—එළිදරව් 1:10.
12. අවදි වූ ක්‍රිස්තියානීන් අතර පෙරමුණේ සිටි එක් තැනැත්තෙක් වුණේ කවුද? ස්වර්ගයේ වස්තු රැස් කිරීම ගැන ඔහු කදිම ආදර්ශයක් තැබුවේ කෙසේද?
12 අවදි වෙමින් සිටි මේ ක්‍රිස්තියානීන් අතර පෙරමුණේ සිටි කෙනෙක් වුණේ චාල්ස් ටේස් රසල්. ඔහු 1870 මුල්භාගයේ අමෙරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ඇලගේනි නම් නුවරේ (දැන් පිට්ස්බර්ග් නගරය) බයිබල් පාඩම් පන්තියක් ආරම්භ කළා. ඔහු සත්‍යය සොයන්න පටන්ගත් කාලයේදී තම පියා සමඟ වෙළඳ සැල් සමූහ ව්‍යාපාරයක හවුල් වෙමින් කෝටිපතියෙකු වීමට ආසන්නවයි සිටියේ. නමුත් ඔහු එම ව්‍යාපාරයේ තමා සතු කොටස විකුණා, මුළු පොළොව පුරා දෙවිගේ රාජ්‍යය ගැන ප්‍රචාරයක් කිරීමට ඒ ධනය වැය කළා. වර්ෂ 1884දී වොච් ටවර් සමිතියේ පළමු සභාපති බවට රසල් පත් වුණා. (Watch Tower Bible and Tract Society of Pennsylvania.) වර්ෂ 1916දී එක්සත් ජනපදයේ බටහිර ප්‍රදේශය පුරා දේශනා සංචාරයක් නිම කිරීමෙන් පසු ඔහු දැඩි වෙහෙසට පත්ව සිටියා. ඒ නිසාම ටෙක්සාස් ප්‍රාන්තයේ පැම්පා නගරයේ සිට නිව් යෝක් බලා දිවෙන දුම්රියක ගමන් කරමින් සිටියදී ඔහු මිය ගියා. ස්වර්ගයේ වස්තු රැස් කළ කෙනෙකු ලෙස සහෝදර රසල් තැබුවේ ඉතා කදිම ආදර්ශයක්. ඔහූගේ ආදර්ශය මේ දක්වාම අද දින පුරෝගාමි සේවයේ යෙදෙන ලක්ෂ ගණනක් විසින් අනුගමනය කර තිබෙනවා.—හෙබ්‍රෙව් 13:7; ලූක් 12:33, 34; 1 කොරින්ති 9:16ද, 1 කොරි 11:1ද බලන්න.
“නේත්‍රාලේප” ගැල්වීම
13. (අ) යේසුස් සපයන නේත්‍රාලේප ගැල්වීමෙන් ලවොදිසීය සභාවේ අයට සුවයක් ලැබෙන්නේ කෙසේද? (ආ) යේසුස් නිර්දේශ කරන්නේ කිනම් ආකාරයේ ඇඳුම් මිල දී ගන්න කියාද? ඒ ඇයි?
13 යේසුස් ලවොදිසීයේ සභාවේ අයට මෙසේ තදින් අවවාද කරනවා. “ඔබේ නිර්වස්ත්රකමෙහි ලජ්ජාව ප්‍රකාශ නොවන පිණිස ඇඳගැනීමට සුදු පිටත වස්ත්‍රද, ඔබට ඔබේ ඇස් පෙනෙන පිණිස ඇස්වල ආලේප කිරීමට නේත්රාලේපයද මාගෙන් මිල දී ගන්නා ලෙස මම ඔබට උපදෙස් දෙමි.” (එළිදරව් 3:18ආ) ඔවුන් තම ඇදහිල්ලේ අන්ධභාවයට සුවය ලැබීම පිණිස නේත්‍රාලේප මිලට ගත යුතුයි. ඒ යේසුස් සපයන ආකාරයේ නේත්‍රාලේප මිස, නගරයේ වෙද්දුන්ගෙන් මිලට ගන්නා නේත්‍රාලේප නෙවෙයි. මෙසේ කිරීමෙන් ඔවුන්ට දෙවි බලාපොරොත්තු වන දේ වටහාගන්නට පුළුවන් වගේම ‘ධර්මිෂ්ඨයන්ගේ මාවතේ’ ගමන් කරන්නටත් දේවකැමැත්ත කිරීමට එම දෑස් යොමු කර තබාගැනීමටත් හැකි වේවි. (හිතෝපදේශ 4:18, 25-27) එවිට ඔවුන්ට පැළඳගැනීමට හැකි වෙන්නේ ලවොදිසීයේ නිපදවෙන කලු ලොම්වලින් නිමවූ මිල අධික ඇඳුම් නොව, කදිම “සුදු පිටත වස්ත්‍රයි.” එනම් තමන් යේසුස් ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් ලෙසට හඳුන්වා දෙන සංකේත වස්ත්‍රයි.—1 තිමෝති 2:9, 10; 1 පේතෘස් 3:3-5ද බලන්න.
14. (අ) වර්ෂ 1879 සිට ලබාගත හැකි වුණේ කුමනාකාරයේ නේත්රාලේපද? (ආ) යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩ කටයුතුවලට මුදල් ලැබෙන්නේ කුමන ප්‍රධාන හේතුව නිසාද? (ඇ) සම්මාදම් භාවිත කරද්දී යෙහෝවාගේ සාක්ෂිකරුවන් වෙනත් අයට වඩා වෙනස් වෙන්නේ කෙසේද?
14 අදත් එවැනි නේත්‍රාලේප මිල දී ගන්න තිබෙනවාද? ඇත්තෙන්ම ඔව්! වර්ෂ 1879දී සහෝදර රසල් සත්‍යය ගැන හඬ නඟා ලොවට කීමට මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි ලෙස දැනට ලොව පුරා ප්‍රසිද්ධ වී ඇති සඟරාව ප්‍රකාශයට පත් කරන්න පටන්ගත්තා. මෙහි දෙවෙනි කලාපයේ ඔහු මෙසේ ප්‍රකාශ කළා. “අප විශ්වාස කරන විදිහට [මේ සඟරාවට] අනුග්‍රහය දක්වන්නේ යෙහෝවා දෙවියි. ඒ නිසා එය පළ කිරීමට කවදාවත් මිනිසුන්ගෙන් හිඟමන් ඉල්ලන්නේ නැහැ. ‘සියලු රන්ද රිදීද කඳුද මාගේය’ කියා පවසන දෙවි මේ සඳහා අවශ්‍ය මුදල් සපයන්නේ නැත්නම්, අප තේරුම්ගන්නේ මේ සඟරාව නතර කිරීමට කාලය පැමිණ තිබෙන බවයි.” රූපවාහිනිය ඔස්සේ ආගම දේශනා කළ ඇතැම් පුද්ගලයන් මහා මුදල් සම්භාරයක් උපයාගෙන කිසිම ලැජ්ජාවක් නැතිව සුඛෝපභෝගී (සහ ඇතැම්විට අනාචාර) ජීවිත ගත කර තිබෙනවා. (එළිදරව් 18:3) නමුත් බයිබල් ශිෂ්‍යයන් (එනම්, යෙහෝවාගේ සාක්ෂිකරුවන්) තමන්ට ලැබුණු සියලු සම්මාදම් වැය කර තිබෙන්නේ, ළඟදීම පැමිණෙන යෙහෝවා දෙවිගේ රාජ්‍යය ගැන ලොව පුරා දේශනා කිරීමේ කටයුත්ත සංවිධානය කිරීමට හා පතළ කිරීමටයි. යොහන් පන්තියේ අධීක්ෂණය යටතේ මේ දක්වාම මුරටැඹ සහ පිබිදෙව්! සඟරා ප්‍රකාශයට පත් කරන තිබෙනවා. වර්ෂ 2006දී සෑම මුරටැඹ කලාපයකම පිටපත් මිලියන 54කුත් සෑම පිබිදෙව්! කලාපයකම පිටපත් මිලියන 32කුත් මාසිකව බෙදාහරිනු ලැබුවා. මුරටැඹ සඟරාව භාෂා 150කට වැඩියෙන් බෙදාහරිනවා. එය ලොව පුරා සිටින සාක්ෂිකරුවන් මිලියන හයකට වඩා වැඩි ගණනකට තොරතුරු සපයන ප්‍රධාන සඟරාවයි. එමනිසා මෙම සඟරාවෙන් ලැබෙන තොරතුරු සංකේතවත් නේත්‍රාලේප ලෙසට සැලකිය හැකියි. ඒවා භාවිත කිරීම නිසා පොදුවේ ආගම්වල ඇති බොරුව සම්බන්ධයෙන් ඔවුන්ගේ ඇස් විවෘත වී තිබෙනවා. ඒ වගේම ලොව පුරා ශුභාරංචිය දේශනා කිරීමේ හදිසිතාවද ඔවුන් වටහාගෙන තිබෙනවා.—මාක් 13:10.
අවවාද හා හික්මවීම්වලින් ප්‍රයෝජන ලැබීම
15. ලවොදිසීයේ ක්‍රිස්තියානීන්ට යේසුස් දැඩි උපදෙස් දෙන්නේ ඇයි? එම සභාව ඊට ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේද?
15 නැවතත් අපි ලවොදිසීය සභාවට අවධානය දෙමු. යේසුස් දෙන දැඩි උපදෙස්වලට ඔවුන් කෙසේ ප්‍රතිචාරය දක්වයිද? යේසුස්ට තවදුරටත් ‘අපෙන් වැඩක් නැහැ’ කියා සිතා ඔවුන් අධෛර්යය විය යුතුද? නැහැ. යේසුස් එහෙම සිතන්නේ නැහැ. ඔහු මෙසේ පවසනවා. “මම ආදරය කරන සියල්ලන්ට අවවාද කර හික්මවන්නෙමි. එබැවින් උද්යෝගයෙන් සිටින්න. පසුතැවිලි වන්න.” (එළිදරව් 3:19) යෙහෝවා දෙවි වගේ යේසුස් අපට හික්මවීම් ලබා දෙන්නේ අපට ප්‍රේම කරන නිසයි. (හෙබ්‍රෙව් 12:4-7) එයින් ප්‍රයෝජන ගෙන එම උපදෙස් අදාළ කරගැනීම ලවොදිසීය සභාවේ වගකීමක්. තමන් ඇල්මැරී සිටීම පාපයක් බව තේරුම්ගෙන ඔවුන් පසුතැවිලි විය යුතුයි. (හෙබ්‍රෙව් 3:12, 13; යාකොබ් 4:17) ඔවුන්ගේ වැඩිමහල්ලන් වස්තුව දේපළ රැස් කිරීම පසෙක තබා, දෙවි විසින් ඔවුන්ට දී තිබෙන දීමනාව “ගින්නක් යළි දල්වන්නාක් මෙන්” පාවිච්චි කළ යුතුයි. සීතල දිය උල්පතකින් ගත් දිය දෝතකින් මහත් ප්රබෝධයක් ලබන්නා සේ, යේසුස්ගෙන් ලැබෙන නේත්‍රාලේප ගල්වා සිටින සභාවේ සියලුදෙනාටම මහත් ප්රබෝධයක් ලැබිය හැකියි.—2 තිමෝති 1:6; හිතෝපදේශ 3:5-8; ලූක් 21:34.
16. (අ) අදත් යේසුස් තම ප්‍රේමය පෙන්වන්නේ කෙසේද? (ආ) අපටත් ඍජු උපදෙස් ලැබෙනවා නම් අප ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේද?
16 අද දින සිටින අපි ගැන කුමක් කිව හැකිද? “සමාජ ක්රමයේ අවසාන කාල පරිච්ඡේදය දක්වා” යේසුස් ‘ලෝකයේ සිටින තමාගේම අයට ප්‍රේම’ කරනවා. (මතෙව් 28:20; යොහන් 13:1) ඔහු එය අද දින පෙන්වන්නේ යොහන් පන්තිය මාර්ගයෙන් හා ක්‍රිස්තියානි සභාවේ තාරකා හෙවත් වැඩිමහල්ලන් මාර්ගයෙනුයි. (එළිදරව් 1:20) පීඩා බහුල වූ මේ කාලයේදී වැඩිමහල්ලන් බොහෝ සෙයින් උනන්දු වෙන්නේ සභාවේ බාල මහලු හැමෝවම දෙවිගේ රැකවරණය යටතේ තබාගැනීමටයි. ස්වාධීන ආකල්පවලින් වැළකීමටත්, දේපළ වස්තුවට කෑදර නොවීමටත් මේ ලෝකයේ අශික්ෂිතකම්වලට පිළිකුල් කිරීමටත් ඔවුන් හැමෝටම උපකාර කරන්න වෑයම් කරනවා. අපටත් යම් යම් අවස්ථාවල ඍජු උපදෙස් හෝ හික්මවීම් ලැබෙනවා නම් ‘හික්මවීම ගෙන දෙන අවවාදය ජීවනයට මාර්ගය’ කියා සලකමු. (හිතෝපදේශ 6:23) අපි හැමෝම වැරදි කරන මිනිසුන් නිසා සකස් වී දෙවිගේ ප්‍රේමයේ පැවතීම සඳහා පසුතැවිලි වීමට උද්යෝගයෙන් ක්‍රියා යුතුයි.—2 කොරින්ති 13:11.
17. ධනය අපට උගුලක් විය හැක්කේ කෙසේද?
17 දේපළ වස්තුව, මිල මුදල් වැනි දේ තිබීම හෝ නොතිබීම යන හේතුව නිසා අප තුළ ඇල්මැරුණු ස්වභාවයක් ඇතිවීමේ අවදානමක් තිබෙනවා. නමුත් එයට හසු වෙන්න හොඳ නැහැ. අප සතු ධන සම්පත් නිසා විවිධ පැතිවලින් දෙවිට සේවය කරන්න පුළුවන් බව ඇත්තයි. නමුත් ධනය උගුලක් වෙන්නටත් පුළුවන්. (මතෙව් 19:24) හොඳට මුදල් හදල් තිබෙන නිසා කලින් කලට සෑහෙන මුදලක් සභාවට සම්මාදම් කරනවා නම්, අනෙක් අය මෙන් දේවසේවයේ උද්යෝගයෙන් යෙදීම අවශ්‍ය නැහැයි කියා කෙනෙකුට සිතෙන්න පුළුවන්. නැත්නම් යම් යම් අයගෙන් යම් වරප්‍රසාද ලබාගැනීමට හැකියි කියාත් සිතෙන්න පුළුවන්. කෙනෙකුට තමන්ට තිබෙන මුදල් නිසා වෙනත් අයට ගත කරන්න බැරි නිවාඩු හා විනෝදාංශවල යෙදීමේ හැකියාවත් තිබෙන්න පුළුවන්. නමුත් ඒවාට වැය වන කාලය ගැන කුමක් කිව හැකිද? දේවසේවයට ගත කළ හැකි කාලය ඉන් සොරාගත්තොත් කුමක් වේවිද? ඥානවන්තව ක්‍රියා නොකරන එවැනි පුද්ගලයෙක් තුළ ඇල්මැරුණු ස්වභාවයක් ඇති වෙනවා නොවේද? අපි එවැනි උගුල්වලින් වැළකී සිටිමු. සදාකාල ජීවිතය මනසේ තබාගෙන අපි මුළු හදින්ම “වෙහෙස වී වැඩ කරමින් වෙර දරමින් සිටින්නෙමු.”—1 තිමෝති 4:8-10; 6:9-12.
‘සන්ධ්‍යා භෝජනයට’ හවුල් වීම
18. යේසුස් ලවොදිසීයේ ක්‍රිස්තියානීන් ඉදිරියේ තබන්නේ කිනම් ප්‍රස්තාවද?
18 යේසුස් මෙසේද කියනවා. “බලන්න! මම දොර ළඟ සිටගෙන තට්ටු කරමි. යමෙක් මගේ කටහඬ අසා දොර අරින්නේ නම්, මම ඔහුගේ ගෙට ඇවිත් ඔහු සමඟ සන්ධ්‍යා භෝජනය කන්නෙමි. ඔහුද මා සමඟ කන්නේය.” (එළිදරව් 3:20) ලවොදිසීයේ ක්‍රිස්තියානීන් යේසුස්ව තම සභාවට පිළිගන්නවා නම් ඔවුන්ට තිබෙන ඇල්මැරුණු ගතියෙන් ගොඩ ඒමට යේසුස් ඔවුන්ට නිසැකවම උපකාර කරයි.—මතෙව් 18:20.
19. ලවොදිසීය සභාව සමඟ සන්ධ්‍යා භෝජනයකට හවුල් වෙන්න පොරොන්දු වීමෙන් යේසුස් අදහස් කරන්නේ කුමක්ද?
19 යේසුස් මෙහිදී සන්ධ්‍යා භෝජනය ගැන කතා කරද්දී ඔහු තම ගෝලයන් සමඟ ආහාර ගත් අවස්ථා ගැන ලවොදිසීය සභාවේ අයගේ මතකයට නැඟෙන්න ඇති. (යොහන් 12:1-8) ඒ සෑම අවස්ථාවකදීම එහි සිටි අයගේ ඇදහිල්ල ශක්තිමත් වුණා. දිරිගැන්වීම් ලැබුණා. යම් යම් පාඩම් ඉගෙනගත්තා. යේසුස් නැවත නැඟිටුණු පසුව පවා ඔහු සිය ගෝලයන් සමඟ කෑම කෑ අවස්ථාවේද ඔවුන්ට මහත් ශක්තියක් ලැබුණා. (ලූක් 24:28-32; යොහන් 21:9-19) මේ නිසා තමන් සන්ධ්‍යා භෝජනයකට හවුල් වීම සඳහා ලවොදිසීය සභාවට පැමිණෙනවා කියා පොරොන්දු වීමෙන් යේසුස් පෙන්නුවේ ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත් කිරීම සඳහා උපකාර කරන බවයි. නමුත් ඒ උපකාරය ලැබෙන්නේ යේසුස්ව ඔවුන් අතරට පිළිගත්තොත් පමණයි.
20. (අ) ස්වාමීන්ගේ දවස ආරම්භයේදී ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවල තිබූ ඇල්මැරුණු ස්වභාවයේ ප්‍රතිඵලයක් ලෙස සිදු වුණේ කුමක්ද? (ආ) යේසුස් මේ පල්ලි විනිශ්චය කිරීම නිසා ඒවාට කුමක් සිදු වී ඇද්ද?
20 යේසුස් ඉතා ප්‍රේමයෙන් ලවොදිසීය සභාවට දුන් අවවාද අද දින ඉතිරි වී සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ටත් වැදගත් වෙනවා. ස්වාමීන්ගේ දවස ආරම්භයේදී ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලි බොහොමයක් ඉතා ඇල්මැරුණු තත්වයක සිටි බව මේ අයගෙන් සමහරෙකුට තවමත් මතකයි. වර්ෂ 1914දී යේසුස්ගේ පැමිණීම සාදරයෙන් පිළිගන්නවා වෙනුවට එම පල්ලිවල පූජකයන් පළමු ලෝක මහා යුද්ධයේ ඝාතනවලට හවුල් වුණා. එම යුද්ධයට හවුල් වූ රටවල් 28න් 24ක්ම ක්‍රිස්තියානියයි කියාගත් රටවල්. මොන තරම් මහත් ලේ වැගිරීමකට ඔවුන් වග කිව යුතුද! දෙවන ලෝක මහා යුද්ධයේදීත් වැඩියෙන් යුද්ධ කළේ ක්‍රිස්තියානියයි කියාගත් රටවල්. ඇත්තටම මේ ආගම්වල පාප “ස්වර්ගය දක්වාම ගොඩ ගැසී” තිබෙනවා. (එළිදරව් 18:5) ඒ වගේම යෙහෝවා දෙවිගේ රාජ්‍යයට පක්ෂව සිටිනවා වෙනුවට පූජකයන් කළේ ජාතීන්ගේ සංගමයට, එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ වෙනත් ජාතිවාදී හා විප්ලවවාදී ව්‍යාපාරවලට උල්පන්දම් දීමයි. මේ කිසිවකටත් මිනිස් වර්ගයාගේ ප්‍රශ්න විසඳන්නට බැහැ. ධීවරයෙක් තම මාළු දැළෙන් නුසුදුසු මාළු ඉවත් කරනවා සේ යේසුස් මෙම ආගමික නායකයන්ව පැහැදිලිවම ඉවතට දමා තිබෙනවා. අද ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවල තිබෙන පිළිකුල්සහගත තත්වය දෙස බලද්දී මේ පල්ලි විනිශ්චයට ලක් විය යුතුමයි කියන එක හොඳින්ම තහවුරු වෙනවා. ඒවාට අවසානයේදී සිදු වන දෙය අප සියලුදෙනාටත් අනතුරු ඇඟවීමක් වේවා!—මතෙව් 13:47-50.
21. එදා ලවොදිසීයේ ක්‍රිස්තියානීන්ට යේසුස් දුන් පණිවුඩයට සැබෑ ක්‍රිස්තියානීන් 1919 සිට ප්‍රතිචාරය දක්වා ඇත්තේ කෙසේද?
21 සභාව තුළම සිටි සමහර පුද්ගලයන් පවා උණුසුම් හෝ සීතල පානයක් වගේ නොවී ඇල්මැරී සිටියා. නමුත් යේසුස් තම සභාවට දිගටම ප්‍රේම කරනවා. සන්ධ්‍යා හෝජනයකට පැමිණෙන කෙනෙකුව පිළිගන්නවා සේ තමන්ව සාදරයෙන් පිළිගන්නා ක්‍රිස්තියානීන්ට උපකාර කිරීමට ඔහු කැමතියි. වර්ෂ 1919 පටන් බොහෝදෙනෙක් එසේ කර තිබෙනවා. ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට බයිබලයේ ඇති අනාවැකිවල අර්ථය වටහාගැනීමට හැකි වී ඇති අතර ඔවුන්ට බොහෝ දේවල් අවබෝධ වී තිබෙනවා.—ගීතාවලිය 97:11; 2 පේතෘස් 1:19.
22. සමහරවිට යේසුස් කතා කරන්න ඇත්තේ කුමන අනාගත සන්ධ්‍යා භෝජනය ගැනද? එයට සහභාගි වන්නේ කවුරුන්ද?
22 ලවොදිසීය සභාවේ ක්‍රිස්තියානීන්ව අමතන යේසුස්ට තවත් අනාගත සන්ධ්‍යා භෝජනයක් ගැන මනසේ තිබුණා විය හැකියි. එය එළිදරව් පොතේ අපට පසුව කියවන්න ලැබෙන්නේ මෙසේයි. “බැටළු පැටවාගේ විවාහ මංගල්‍යයේ සන්ධ්‍යා භෝජනයට ආරාධනා කරනු ලැබූ අය සන්තෝෂවත්ය.” මෙය, යෙහෝවා දෙවි විසින් අසත්‍ය උගන්වන ආගම් මතට සිය විනිශ්චය ගෙන ආ පසු දෙවිට ප්‍රශංසා කරන පිණිස පවත්වන ජයග්‍රාහී භෝජන සංග්‍රහයක්. මීට සහභාගි වන්නේ යේසුස් ක්‍රිස්තුස් සහ ස්වර්ගයේ සිටින ඔහුගේ මනාලියට අයත් සම්පූර්ණ සංඛ්‍යාව වන 1,44,000දෙනායි. (එළිදරව් 19:1-9) එදා ලවොදිසීය සභාවේ සිටි ඇදහිලිවන්තයන් සහ යේසුස්ගේ විශ්වාසවන්ත සහෝදරයන් හැටියට අද දින පිරිසිදු වස්ත්‍ර ඇඳ සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන් සියලුදෙනාම එකට එකතු වී, ඒ සන්ධ්‍යා භෝජනයේදී තම මනාලයා සමඟ මංගල්‍යයට සහභාගි වෙනවා. (මතෙව් 22:2-13) ඇත්තටම කෙනෙකුට පසුතැවිලි වී උද්යෝගයෙන් ක්‍රියා කිරීමට මෙය මොන තරම් ප්‍රබල පෙලඹවීමක්ද!
ජයග්‍රාහකයන් සඳහා සිංහාසනයක්
23, 24. (අ) යේසුස් තවදුරටත් කතා කරන්නේ කුමක් ගැනද? (ආ) යේසුස් ක්‍රිස්තුස් සිය සිංහාසනයේ ඉඳගත්තේ කවදාද? තමන් ක්‍රිස්තියානියයි කියා සිටි අයව විනිශ්චය කිරීමට යේසුස් පටන්ගත්තේ කවදාද? (ඇ) සිය මරණය සිහි කිරීම ආරම්භ කළ අවස්ථාවේදී යේසුස් සිය ගෝලයන්ට දුන් අනගි පොරොන්දුව කුමක්ද?
23 ඔවුන්ට ලැබෙන තවත් ත්‍යාගයක් ගැන යේසුස් මෙසේ පවසනවා. “මා ජයගෙන, මාගේ පියාණන් සමඟ ඔහුගේ සිංහාසනයෙහි ඉඳගත්තාක් මෙන්, ජයගන්නාට මා සමඟ මාගේ සිංහාසනයෙහි ඉඳගැනීමට දෙන්නෙමි.” (එළිදරව් 3:21) ලෝකය ජයගත් යේසුස්, ගීතාවලිය 110:1, 2හි දාවිත්ගේ වචන ඉටු කරමින් ක්‍රි.ව. 33දී නැවත නැඟිටුවනු ලැබුවායින් පසු සිය පියාණන් සමඟ සිංහාසනයේ ඉඳගත්තා. (ක්‍රියා 2:32, 33) තවත් විශේෂ වසරක් වූ 1914දී යේසුස් රජ සහ විනිශ්චයකරු ලෙස ක්‍රියා කිරීමට තමා සඳහා පිළියෙල කළ සිංහාසනයේ ඉඳගත්තා. මුලින්ම විනිශ්චය කරනු ලැබුවේ ක්‍රිස්තියානීන් කියාගත් අයවයි. ඒ 1918දීයි. ඉන් අනතුරුව ඒ කාලයට පෙර මිය ගිය ජයග්‍රාහී අභිෂේක ලත් අයව නැවත නැඟිටුවනු ලැබූ අතර යේසුස් සමඟ ඔහුගේ රාජ්‍යයේ හවුල් වීමට හැකිකම ඔවුන්ට ලැබුණා. (1 පේතෘස් 4:17) මෙයින් යේසුස් තම මරණය සිහි කිරීම ආරම්භ කළ අවස්ථාවේදී පැවසූ මෙම පොරොන්දුව ඉටු වුණා. “මාගේ පියාණන් මා සමඟ ගිවිසුමක් කර තිබෙන්නාක් මෙන්, මම ඔබ සමඟ රාජ්‍යයක් සඳහා ගිවිසුමක් ඇති කරමි. එසේ කරන්නේ ඔබ මාගේ රාජ්‍යයෙහි මාගේ මේසයෙහිදී කන බොන පිණිසත්, සිංහාසන පිට ඉඳ ඊශ්‍රායෙල්හි ගෝත්‍ර දොළොස විනිශ්චය කරන පිණිසත්ය.”—ලූක් 22:28-30.
24 ස්වර්ගයේ පාලනය කරන යේසුස් සමඟ ඉඳගැනීමේ ප්‍රස්තාව මෙම අභිෂේක ලත් අයට “නැවත මැවීමේදී” එනම් මතු පැමිණෙන කාලයේදී උදා වෙනවා. ඒ කාලයේදී මෙලොවේ ඉතිරි වී සිටින කීකරු මිනිසුන්ට ආදම් සහ ඒව පව් කරන්න කලින් භුක්ති විඳි ජීවිතය ලබා දීමට ඔවුන් හවුල් වෙනවා. අභිෂේක ලත් අයට ලැබෙන්නේ මොන තරම් උතුම් වරප්‍රසාදයක්ද! (මතෙව් 19:28; 20:28) යොහන් පවසන ආකාරයට යේසුස් මෙසේ ජයගන්නා අයව “රාජ්‍යයක්ද තම දෙවි සහ පියාණන් වන තැනැත්තා උදෙසා පූජකයන්ද වීමට” සලස්වනවා. ඉන් අදහස් වෙන්නේ මේ අයට යෙහෝවා දෙවිගේ තේජවත් සිංහසානය වටා සිංහාසන හිමි වන බවයි. (එළිදරව් 1:6; 4:4) “එසේනම්, අපි අභිෂේක ලත් අය හෝ වේවා පාරාදීස පොළොවේ ජීවත් වීමට බලාපොරොත්තුවෙන් සිටින අය හෝ වේවා, අපි සියලුදෙනාම යේසුස් විසින් ලවොදිසීය සභාවට දෙන ලද වචන තදින් සිතට ගනිමු!—2 පේතෘස් 3:13; ක්‍රියා 3:19-21.
25. (අ) මීට පෙර කළාක් මෙන් යේසුස් ලවොදිසීයේ සභාවට දෙන පණිවුඩයත් අවසන් කරන්නේ කෙසේද? (ආ) ලවොදිසීයේ සභාවට යේසුස් කී වචන සියලුම ක්‍රිස්තියානීන් අදාළ කරගත යුත්තේ කෙසේද?
25 මීට කලින් දුන් පණිවුඩ අවසන් කළ ආකාරයටමයි යේසුස් මේ පණිවුඩයද අවසන් කරන්නේ. “ආත්මය සභාවලට පවසන දේ කන් ඇත්තා අසාවා.” (එළිදරව් 3:22) අප ජීවත් වෙමින් සිටින්නේ අන්තිම කාලයේ අවසාන අදියරෙයි. අප අවට තිබෙන සාක්ෂිවලින් පැහැදිලිව පෙනෙන්නේ නමට පමණක් ක්‍රිස්තියානීන් ලෙස සිටින අය තුළ ප්‍රේමය හීන වී ගොස් තිබෙන බවයි. නමුත්, යේසුස් ලවොදිසීය සභාවට පමණක් නොව මුළු සභා සතටම දුන් පණිවුඩවලට ඉතා උනන්දුවෙන් සැබෑ ක්‍රිස්තියානීන් වන අපි කීකරු වෙමු. අපට මෙසේ කළ හැක්කේ අපගේ කාලය සම්බන්ධයෙන් යේසුස් පළ කළ මෙම ශ්‍රේෂ්ඨ අනාවැකියේ ඉටුවීමට හවුල් වීමෙනුයි. “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස මුළු ජනාවාස පොළොව පුරාම දේශනා කරනු ලබන්නේය. එවිට අවසානය පැමිණෙන්නේය.”—මතෙව් 24:12-14.
26. යේසුස් යොහන්ට නැවත කෙළින්ම කතා කරන්නේ කොයි අවස්ථාවේදීද? නමුත් ඔහුව දැකගන්න ලැබෙන්නේ කුමන අවස්ථාවලදීද?
26 යේසුස් සභා සතට දුන් උපදෙස් මින් අවසන් වෙනවා. ඊළඟට යේසුස් යොහන්ට කෙළින්ම කතා කරන්නේ අවසාන පරිච්ඡේදයේයි. නමුත් යේසුස්ව දර්ශන බොහොමයක දැකගන්න ලැබෙනවා. නිදසුනක් හැටියට යෙහෝවා දෙවිගේ විනිශ්චය ක්‍රියාත්මක කිරීම පිළිබඳ දර්ශනවලදී ඔහුව දකින්න ලැබෙනවා. අපි දැන් යොහන් පන්තිය සමඟ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් ඉදිරිපත් කරන දෙවන දර්ශනය සෝදිසි කර බලමු.
[පාදසටහන]
a ලවොදිසීය ප්‍රදේශයේ කළ කැණීම්වලින් මෙම ස්ථාන හමු වී තිබෙනවා.
[73වන පිටුවේ කොටුව]
ධන සම්පත්වලට වඩා ප්‍රඥාවේ වටිනාකම
වර්ෂ 1956දී පළ වූ එක්තරා පුවත්පතක මෙසේ සඳහන් වුණා. “මීට සියවසකට පෙර සාමාන්‍ය පුද්ගලයෙකුට යම් යම් දේවල් 72ක් වුවමනා කළ අතර ඒවායින් 16ක් ඔහුට අවශ්‍යම දේවල් බවට සලකනු ලැබුවා. අද සාමාන්‍ය පුද්ගලයෙකුට යම් යම් දේවල් 474ක් වුවමනා වන අතර, ඒවායින් 94ක් ඔහුට අවශ්‍යම දේවල් ලෙස සැලකීමට පුළුවන්. මීට සියවසකට පෙර, වෙළෙන්දන් විසින් සාමාන්‍ය පුද්ගලයෙකුට මිල දී ගැනීමට බල කරනු ලැබූ භාණ්ඩ සංඛ්‍යාව 200ක්. නමුත් අද භාණ්ඩ 32,000ක් මිල දී ගන්න අපට බලපෑම් කරනවා. මිනිසාට අවශ්‍ය කරන්නේ දේවල් ස්වල්පයයි. නමුත් ඔහු ආශා කරන දේවල් අසීමිතයි.” අද බොහෝදෙනෙක් සිතන්නේ ජීවිතයේ එකම පරමාර්ථය විය යුත්තේ මුදල්, ධනය හම්බ කරගැනීම හා සැප සම්පත් ලබා ගැනීම බවයි. ඇත්තටම දේශනාකාරයා 7:12හි සඳහන් ඥානවන්ත උපදෙස ඔවුන් කොතරම් අමතක කරලාද! “මුදල ආරක්ෂාවක් වන්නා සේම ප්‍රඥාවද ආරක්ෂාවකි. නමුත් දැනුමෙහි ප්‍රයෝජනය මෙයයි. දැනුමත් ප්‍රඥාවත් ඇති අයගේ ජීවිත රැකෙනු ඇත.”—නව ලොව පරිවර්තනය.
[67වන පිටුවේ පින්තූරය]
ලවොදිසීය නගරයට ගලා ආ ජලය අප්‍රසන්න ඇල්මැරුණු තත්වයක තිබුණා. ලවොදිසීය සභාවේ ක්‍රිස්තියානීන් සිටියේ ඒ හා සමාන තත්වයකයි