පරිච්ඡේදය 15
‘ලියවිල්ල දිගහරින්න සුදුසු තැනැත්තා කවුද?’
1. යොහන් දකින දර්ශනයේ දැන් සිදු වෙන්නේ කුමක්ද?
දැල්වෙන පහන්, කෙරුබ්වරුන්, වැඩිමහල්ලන් 24දෙනා සහ වීදුරු මෙන් වූ මුහුද ඉදිරියේ ඇති යෙහෝවා දෙවිගේ සිංහාසනය පිළිබඳ දර්ශනය දකින යොහන්ට එය කොතරම් සුවිශේෂ අද්දැකීමක් වන්නට ඇද්ද! නමුත් යොහන් ඊළඟට දකින්නේ කුමක්ද? මේ දර්ශනයේ ප්‍රධානතම තැනැත්තා වෙතට සිය අවධානය යොමු කරමින් ඔහු අපට මෙසේ කියනවා. “ඇතුළත හා පිටත ලියන ලද අකුළන ලියවිල්ලක් සිංහාසනය මත ඉඳගෙන සිටින තැනැත්තාගේ දකුණතෙහි තිබෙනවා දුටිමි. මුද්‍රා හතකින් එය තදින් මුද්‍රා කර තිබිණ. එසේම ශක්තිමත් දේවදූතයෙකු මහත් හඬකින් මෙසේ ප්‍රකාශ කරනවා දුටිමි: ‘අකුළන ලියවිල්ලේ මුද්‍රා කඩන්නත්, එය දිගහරින්නත් සුදුසු තැනැත්තා කවුද?’ එහෙත්, අකුළන ලියවිල්ල දිගහරින්නවත් එය බලන්නවත් හැකි කිසිම කෙනෙක් ස්වර්ගයෙහිවත්, පොළොවෙහිවත්, පොළොව යටවත් නොසිටියේය. අකුළන ලියවිල්ල දිගහරින්නවත් එය බලන්නවත් සුදුසු කිසිවෙකු සම්බ නොවූ නිසා, මම බොහෝ සෙයින් හැඬුවෙමි.”—එළිදරව් 5:1-4.
2, 3. (අ) ලියවිල්ල දිගහරින්න පුළුවන් කෙනෙක් හමු වන තෙක් යොහන් ආශාවෙන් බලා සිටින්නේ ඇයි? ඔහුගේ ආශාව ඉටු වෙයිද? (ආ) අපේ කාලයේ දෙවිගේ අභිෂේක ලත් සේවකයන් ආශාවෙන් බලා සිට ඇත්තේ කුමක් ගැනද?
2 මේ ලියවිල්ල තබාගෙන සිටින්නේ මුළු විශ්වයේ අධිපති වූ යෙහෝවා දෙවියි. එහි ඇතුළත හා පිටත බොහෝ දේ ලියා තිබෙන නිසා එහි ඉතා වැදගත් තොරතුරු රාශියක් අඩංගු විය යුතුයි. එහි තොරතුරු දැනගන්න අපටත් ආශාවක් ඇති වෙන්නේ නැද්ද? ඇත්තටම මේ ලියවිල්ලේ මොනවාද තිබෙන්නේ? “මෙතැනට නැඟී එන්න, සිදු විය යුතු දේවල් මම ඔබට පෙන්වන්නෙමි” කියා යෙහෝවා දෙවි යොහන්ට ආරාධනා කළා ඔබට මතකද? (එළිදරව් 4:1) ඒ නිසා දැන් අපි බලමු ඒ දේවල් මොනවාද කියා. නමුත් කනගාටුවට හේතුව නම් ඒ ලියවිල්ල තදින් වසා තිබීමයි. එය මුද්‍රා හතකින් මුද්‍රා කරලා!
3 මෙම ලියවිල්ල යෙහෝවා දෙවිගේ “දකුණතෙහි” ඇති බව කීමෙන් අදහස් වෙන්නේ එය ඔහුගේ අල්ල මත තබාගෙන එය ලබා දීම සඳහා අත දිගු කරගෙන සිටින බවයි. නමුත් මේ ලියවිල්ල භාරගෙන එය දිගහැරීමට හැකි කිසිම කෙනෙක් ස්වර්ගයේ හෝ පොළොවේ නැති බව පෙනෙනවා. පොළොව යට සිටින කිසි කෙනෙක්, එනම් දෙවිට විශ්වාසවන්තව සේවය කර දැනට මිය ගොස් සිටින කෙනෙක් පවා ඒ ගෞරවය ලබන්න තරම් වටින්නේ නැහැ. යොහන් මේ ගැන මෙතරම් ශෝක වෙන්නේ ඒ නිසයි. ශක්ති සම්පන්න දේවදූතයාට මෙය විවෘත කිරීමට සුදුසු කෙනෙක්ව හමු වේවිද? එසේ නොවුණොත් “සිදු විය යුතු දේවල්” යොහන්ට කවදාවක්වත් දැනගන්න ලැබෙන්නේ නැහැ. අද සිටින දෙවිගේ අභිෂේක ලත් සේවකයනුත් යොහන් වගේමයි. යෙහෝවා දෙවි නියමිත කාලයේදී එළිදරව් පොතේ සත්‍යතා හෙළි කරන තුරු ඔවුන් බලා සිට ඇත්තේ හරිම ආශාවෙන්. නමුත් ඔහු එම තොරතුරු ක්‍රමානුකූලව හෙළි කරන්නේ එම අනාවැකියේ ඉටුවීමට නියමිත කාලය පැමිණෙන විටයි. එමගින් ඔහුගේ සේවකයන් වැටී සිටින තත්වයෙන් මිදෙන්න මඟ උදා වෙනවා.—ගීතාවලිය 43:3, 5.
සුදුසුකම් ඇති තැනැත්තා
4. (අ) අකුළන ලියවිල්ල දිගහැරීමට සුදුසු තැනැත්තා කවුද? (ආ) යොහන් පන්තියට සහ වෙනත් බැටළුවන්ට ලැබී තිබෙන ආශීර්වාදය හා වරප්‍රසාදය කුමක්ද?
4 ඇත්තෙන්ම මෙම ලියවිල්ල දිගහැරීමට සුදුසු කෙනෙක් සිටිනවා! යොහන් මෙසේ ලියනවා. “එවිට වැඩිමහල්ලන්ගෙන් එක් කෙනෙක් මට මෙසේ කීවේය: ‘හැඬීම නතර කරන්න. බලන්න! අකුළන ලියවිල්ලේ මුද්‍රා හත කඩන්නත් එය දිගහරින්නත් දාවිත්ගේ මුල එනම් යූදා ගෝත්‍රයෙන් වූ සිංහයා ජයගත්තේය.’” (එළිදරව් 5:5) දැන් යොහන්ට තම කඳුළු පිස දා ගත හැකියි. මේ හා සමානව යොහන් පන්තිය සහ ඔවුන්ට ලැදි වෙනත් බැටළුවන් දශක ගණනාවක් පුරා නොයෙක් දරුණු පරීක්ෂා සහ පීඩා විඳදරාගනිමින් යෙහෝවා දෙවි තොරතුරු හෙළි කරන තෙක් ඉතා ඉවසීමෙන් බලා සිට තිබෙනවා. ඔවුන්ටත් යොහන් වගේ මෙම දර්ශනයේ තේරුම අනාවරණය වීම මහත් ආශීර්වාදයක්. එහි පණිවුඩය වෙනත් අයට ප්‍රකාශ කිරීමෙන් ඒ දර්ශනයේ ඉටුවීමට හවුල් වීමට ලැබීම මොන තරම් වරප්‍රසාදයක්ද!
5. (අ) යූදා ගෝත්‍රය සම්බන්ධයෙන් කියන ලද අනාවැකිය කුමක්ද? යූදා ගෝත්‍රයෙන් පැවතෙන පාලකයන් පාලනය කළේ කොහේ සිටද? (ආ) ෂීලෝ යනු කවුද?
5 “දාවිත්ගේ මුල එනම් යූදා ගෝත්‍රයෙන් වූ සිංහයා” කියා දර්ශනයේ සඳහන් වෙද්දී ඊශ්‍රායෙල් ජාතියේ මුතුන්මිත්තා වූ යාකොබ් තම සතරවන පුත් වූ යූදා ගැන පැවසූ අනාවැකිය යොහන්ට මතක් වෙන්න ඇති. එහි මෙසේ සඳහන් වෙනවා. “යූදා සිංහ පැටවෙකි. මාගේ පුත්‍රය, ඔබ ගොදුර කා නැඟිට යන්නෙහිය. ඔහු සිංහයෙකු මෙන් බිම දිගා විය. සිංහයෙකුව අවදි කරන්න තරම් ධෛර්යය ඇත්තේ කාටද? ෂීලෝ පැමිණෙන තෙක් යූදා වෙතින් රාජ යෂ්ටිය අහක් වන්නේවත් පාලකයාගේ සැරයටිය ඔහුගේ පාද අතරින් අහක් වන්නේවත් නැත. ජාතීහු ෂීලෝට කීකරු වන්නෝය.” (උත්පත්ති 49:9, 10, NW) දෙවිගේ ජනයාගේ රාජකීය පෙළපත පැමිණියේ යූදා ගෝත්‍රයෙන්. ඔවුන් පාලනය කළේ යෙරුසලමේ සිටයි. බැබිලෝනීය ජාතිකයන් යෙරුසලම විනාශ කරන තෙක්, දාවිත්ගේ පටන් එහි පාලනය කළාවූ සියලුම රජවරුන් යූදා ගෝත්‍රයෙන් පැවතෙන්නන් වුණා. නමුත් මේ එක් කෙනෙක්වත් යාකොබ් පුරෝකථනය කළ ෂීලෝ වූයේ නැහැ. ෂීලෝ යනු ‘නියම අයිතිවාසිකම් ඇති තැනැත්තා’ යන්නයි. අනාවැකිවලට අනුව මෙම නාමය භාවිත කරන්නේ යේසුස්ටයි. මින් අදහස් වෙන්නේ දාවිත්ගේ රාජ්‍යය ස්ථිරවම අයිති වෙන්නේ ඔහුට බවයි.—එසකියෙල් 21:25-27; ලූක් 1:32, 33; එළිදරව් 19:16.
6. යේසුස් යෙස්සේගේ “අංකුරයක්” හා “දාවිත්ගේ මුල” වන්නේ කෙසේද?
6 “දාවිත්ගේ මුල” කවුදැයි තේරුම්ගැනීමට යොහන්ට වැඩි වේලාවක් යන්නේ නැහැ. අනාවැකිවල පොරොන්දු වූ ගැලවුම්කරු ‘යෙස්සේගේ [එනම්, දාවිත් රජුගේ පියාගේ] පෙළපත නමැති කඳින් නික්මෙන අංකුරයක්’ හැටියට හා “සියලු ජනයාට කොඩියක් මෙන් වන යෙස්සේගේ පෙළපතින් පැමිණෙන මුල” හැටියට හඳුන්වනවා. (යෙසායා 11:1, 10, NW) යේසුස් යෙස්සේගේ අංකුරය වූයේ ඔහු යෙස්සේගේ පුත් දාවිත්ගේ රාජකීය පෙළපතෙන් බිහි වූ නිසයි. ඔහු දාවිත්ගේ මුල වෙන්නේ යෙස්සේගේ පෙළපතෙන් පැමිණෙන මුල හැටියට දාවිත්ගේ රාජකීය පෙළපතට ජීවයක් දී එය සදාකලයටම පවතින්න මඟ සලසන නිසයි.—2 සාමුවෙල් 7:16.
7. සිංහාසනයේ ඉඳගෙන සිටින තැනැත්තාගෙන් ලියවිල්ල භාරගැනීමට යේසුස් සුදුසු වෙන්නේ මොන හේතු නිසාද?
7 පව් රහිත පරිපූර්ණ කෙනෙක් ලෙස ඉතා දරුණු පරීක්ෂා මැද යෙහෝවා දෙවිට ඉතා විශ්වාසවන්තව සේවය කළ එකම තැනැත්තා යේසුස්. සාතන් එල්ල කළ චෝදනාවලට සම්පූර්ණ උත්තරයක් දුන්නෙත් ඔහුයි. (හිතෝපදේශ 27:11) තම ජීවිතය පූජා කරන්න කලින් රාත්‍රියේ “මම ලෝකයෙන් ජයගත්තෙමි” කියා ඔහු පැවසුවේ ඒ නිසයි. (යොහන් 16:33) යේසුස්ව නැවත නැඟිටුවා, “ස්වර්ගයෙහිද පොළොවෙහිද සියලු බලය” ඔහුට දෙන්න යෙහෝවා දෙවිට හොඳ පදනමක් තිබෙනවා. මේ අනුව දෙවිගේ සියලු සේවකයන් අතරින් අකුළන ලියවිල්ල ලබාගෙන එය දිගහැර එහි අතිවැදගත් පණිවුඩය දැනුම් දීමට සුදුසු එකම තැනැත්තා යේසුස් මිස වෙන කිසිවෙක් නෙවෙයි.—මතෙව් 28:18.
8. (අ) දේවරාජ්‍යයේ රජු වීමට යේසුස් සුදුසුකම් ලබන්නේ මොන හේතු නිසාද? (ආ) ලියවිල්ල දිගහැරීමට සුදුසු තැනැත්තා කවුද කියා වැඩිමහල්ලන් 24දෙනාගෙන් කෙනෙක් යොහන්ට හෙළි කිරීම උචිත දෙයක් වන්නේ ඇයි?
8 යේසුස් 1914 පටන් දේවරාජ්‍යයේ රජ හැටියට සිංහාසනයේ ඉඳගෙන සිටිනවා. ඔහු දිගහරින මේ ලියවිල්ලේ ඒ රාජ්‍යය ගැනත් ඒ මගින් ඉටු කරන්නට යන දේ ගැනත් බොහෝ දේවල් හෙළි කර තිබෙනවා. යේසුස් පොළොවේ සිටිද්දී සාක්ෂි දැරුවේ මේ රාජ්‍යය ගැන හා එයට සම්බන්ධ බොහෝ සත්‍යතා ගැනයි. (යොහන් 18:36, 37) ඒ රාජ්‍යය පැමිණෙන ලෙසට යාච්ඤා කරන්න කියා තම අනුගාමිකයන්ටත් ඔහු ඉගැන්වුවා. (මතෙව් 6:9, 10) දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය ඔහු ජීවත් වූ කාලයේදීම ආරම්භ කළා. ඒ කාර්යය අවසාන කාලයේදී නිම වන බවත් කලින්ම පැවසුවා. (මතෙව් 4:23; මාක් 13:10) යොහන්ට කතා කර ලියවිල්ලේ මුද්‍රා විවෘත කිරීමට සුදුසුම තැනැත්තා යේසුස් බව කියන්නේ වැඩිමහල්ලන් 24දෙනාගෙන් කෙනෙක්. මෙය ඉතා උචිත දෙයක් වුණා. ඒ ඇයි? ඔටුනු පැළඳ සිංහාසනවල ඉඳගෙන සිටින මෙම වැඩිමහල්ලන් යේසුස් ක්‍රිස්තුස් සමඟ දේවරාජ්‍යයේ හවුල් පාලකයන් වන නිසයි.—රෝම 8:17; එළිදරව් 4:4.
‘මරනු ලැබූ බැටළු පැටවා’
9. සිංහයෙකු වෙනුවට යොහන් දැන් ‘සිංහාසනය මධ්‍යයෙහි’ සිටිනවා දකින්නේ කාවද? දකින දේ ඔහු විස්තර කරන්නේ කෙසේද?
9 යොහන් මෙම ‘යූදා ගෝත්‍රයෙන් වූ සිංහයාව’ සොයනවා. නමුත් සිංහයෙක් වෙනුවට ඔහු දකින්නේ ඊට සම්පූර්ණයෙන්ම වෙනස් කෙනෙක්. “එවිට මරනු ලැබුවාක් මෙන් පෙනුණු බැටළු පැටවෙකු සිංහාසනය හා ජීවීන් සතරදෙනා අසලද, වැඩිමහල්ලන් මධ්‍යයෙහිද සිටගෙන සිටිනවා දුටිමි. ඒ බැටළු පැටවාට අං සතක්ද ඇස් සතක්ද තිබුණේය. ඒ ඇස්වලින් නියෝජනය වන්නේ මුළු පොළොව පුරා යවනු ලැබූ දෙවිගේ ආත්ම සතය.”—එළිදරව් 5:6.
10. යොහන් දුටු “බැටළු පැටවා” කවුද? ඔහුව එසේ හැඳින්වීම සුදුසු වෙන්නේ මන්ද?
10 යොහන් දකින්නේ හරියටම සිංහාසනය අසලින්ම සිටින බැටළු පැටවෙක්. ඒ බැටළු පැටවා වටේට ජීවීන් හතරදෙනා සහ වැඩිමහල්ලන් 24දෙනා සිටිනවා. මේ බැටළු පැටවා “යූදා ගෝත්‍රයෙන් වූ සිංහයා” බවත් “දාවිත්ගේ මුල” බවත් ඔහු විගස හඳුනාගත් බවට සැකයක් නැහැ. ඒ යේසුස්! මීට වසර 60කට පෙර යොහන් බව්තීස්ත යේසුස්ව “ලෝකයේ පාපය නැති කර දමන, දෙවිගේ බැටළු පැටවා” ලෙස යුදෙව්වන්ට හඳුන්වා දුන් බවත් යොහන් දැනගෙන සිටියා. (යොහන් 1:29) යේසුස් සිය ජීවිත කාලය පුරාම මේ ලෝකයෙන් දූෂ්‍ය වූයේ නැහැ. ඔහු ජීවත් වුණේ හරියට නිකැළැල් බැටළු පැටවෙක් වගේ. ඒ නිසාම මිනිස් සංහතිය වෙනුවෙන් තම නිකැළැල් ජීවිතය පූජාවක් ලෙස ඔප්පු කිරීමට ඔහුට හැකි වුණා.—1 කොරින්ති 5:7; හෙබ්‍රෙව් 7:26.
11. තේජසට පත් යේසුස්ව “මරනු ලැබුවාක් මෙන් පෙනුණු බැටළු පැටවෙකු” ලෙස දැක්වීම ඔහුට කරන අගෞරවයක් නොවන්නේ මන්ද?
11 තේජසට පත් යේසුස්ව “මරනු ලැබුවාක් මෙන් පෙනුණු බැටළු පැටවෙකු” ලෙස දැක්වීම ඔහුට කරන අගෞරවයක්ද? කොහෙත්ම නැහැ! යේසුස් මරණය දක්වාම විශ්වාසවන්තව සිටීම නිසා සාතන්ට අන්ත පරාජයක් අත් වුණා. ඒ වගේම යෙහෝවා දෙවිට එය මහත් ජයග්‍රහණයක් වුණා. යේසුස්ව මේ ආකාරයට දක්වා තිබෙන්නේ මේ නිසයි. යේසුස් සාතන්ගේ ලෝකය ජයගත් බවත් යෙහෝවා දෙවි සහ යේසුස් මිනිස් වර්ගයා කෙරෙහි ඉතා ගැඹුරු ප්‍රේමයක් පෙන්වා ඇති බවත් එයින් අපට මතක් කර දෙනවා. (යොහන් 3:16; 15:13; කොලොස්සි 2:15ද බලන්න.) මේ අනුව පොරොන්දු වූ වංශයෙන් බිහි වන ප්‍රධාන තැනැත්තා වන යේසුස් අකුළන ලියවිල්ල විවෘත කිරීමට එකම සුදුස්සා බව ඉතා පැහැදිලිව පෙනී යනවා.—උත්පත්ති 3:15.
12. බැටළු පැටවාගේ අං සතෙන් නියෝජනය වන්නේ කුමක්ද?
12 මෙම “බැටළු පැටවා” ගැන අප තවත් දකින්නේ කුමක්ද? මෙම බැටළු පැටවාට අං සතක් තිබෙනවා. බයිබලයේ අංවලින් බොහෝවිට සංකේතවත් කරන්නේ බලය හෝ අධිකාරයයි. අං සතක් තිබීමෙන් පෙන්වන්නේ යමෙකුට පූර්ණ බලයක් ඇති බවයි. (1 සාමුවෙල් 2:1, 10ද, ගීතාවලිය 112:9ද, ගීතා 148:14ද බලන්න.) මේ නිසා, බැටළු පැටවාගේ අං සතෙන් නියෝජනය කරන්නේ යෙහෝවා දෙවි විසින් යේසුස්ට පූර්ණ බලතල දී ඇති බවයි. දෙවි “මේ සමාජ ක්‍රමයේදී පමණක් නොව පැමිණෙන්න තිබෙන කාලයේදීද, සෑම ආණ්ඩුවකටත්, අධිකාරයකටත්, බලයකටත්, ස්වාමිකමකටත්, නම් කරනු ලබන සියලු නාමවලටත් වඩා බොහෝ සෙයින් ඉහළින්” යේසුස්ව තබා තිබෙනවා. (එෆීස 1:20-23; 1 පේතෘස් 3:22) යේසුස් සතු බලතල අප විශේෂයෙන් දකින්නේ 1914 සිටයි. මන්ද දෙවි ඔහුව දේවරාජ්‍යයේ රජු බවට පත් කළේ ඒ වසරේදීයි.—ගීතාවලිය 2:6.
13. (අ) බැටළු පැටවාගේ ඇස් හතෙන් නියෝජනය කරන්නේ කුමක්ද? (ආ) බැටළු පැටවා කරන්නේ කුමක්ද?
13 බැටළු පැටවාට ඇස් සතක්, එනම් “දෙවිගේ ආත්ම සත”ඇති බව සඳහන් වෙනවා. බැටළු පැටවාට “දෙවිගේ ආත්ම සත” තිබෙනවා කීමෙන් අදහස් කරන්නේ දෙවිගේ බලයෙන් කිසිම අඩුවක් නැතිව යේසුස් පූර්ණ වී සිටින බවයි. යෙහෝවා දෙවි පූර්ණ ලෙස ක්‍රියාත්මක වන තම බලය පොළොව මත සිටින තම සේවකයන්ට ලබා දෙන එක් මාධ්‍යයක් වෙන්නේ යේසුස්. (තීතස් 3:6) යේසුස් පොළොවේ සිදු වන දේවල් දකින්නේ මේ බලය මාර්ගයෙනුයි. යේසුස් තම පියාණන් මෙන් හැම දෙයක් ගැනම පූර්ණ අවබෝධයක් ලබා සිටිනවා. කිසිම දෙයක් ඔහුගේ ඇස්වලින් සැඟවී නැහැ. (ගීතාවලිය 11:4ද, සෙකරියා 4:10ද බලන්න.) සාරාංශයක් ලෙස ලෝකයෙන් ජයගෙන ඇත්තේ යේසුස්. යූදා ගෝත්‍රයෙන් වූ සිංහයා හා දාවිත්ගේ මුල ඔහුයි. යේසුස් තමයි තම ජීවිතය මුළු මිනිස් වර්ගයා උදෙසා පූජා කළේ. සියලු බලයද ඔහුට දී තිබෙනවා. දෙවිගේ බලයෙන් පිරී සිටින ඔහුට සෑම දෙයක් ගැන පූර්ණ අවබෝධයක් දෙවිගෙන් ලැබී තිබෙනවා. එසේනම් යෙහෝවා දෙවිගේ අතින් මෙම ලියවිල්ල ලබාගැනීමට සුදුසුම තැනැත්තා ඔහුගේ පුත්‍ර යේසුස් බව ඉතා පැහැදිලියි. යෙහෝවා දෙවිගේ ශ්‍රේෂ්ඨ සංවිධානය ඉදිරියේ මෙම උතුම් වරප්‍රසාදය භාරගැනීමට ඔහු පසුබට වෙනවාද? නැහැ. ඒ වෙනුවට “බැටළු පැටවා ගොස්, සිංහාසනය මත ඉඳගෙන සිටින තැනැත්තාගේ දකුණතෙන් එය පමා නොවී ගත්තේය.” (එළිදරව් 5:7) ඔහු කැමැත්තෙන්ම එය භාරගන්නවා. මොන තරම් කදිම ආදර්ශයක්ද!
ප්‍රශංසා ගීතිකා
14. (අ) යේසුස් ලියවිල්ල අතට ගනිද්දී ජීවීන් හතරදෙනා සහ වැඩිමහල්ලන් 24දෙනා ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? (ආ) වැඩිමහල්ලන් 24දෙනා කවුද කියා හඳුනාගන්නත් ඔවුන් සතු බලතල තේරුම්ගන්නත් යොහන්ට උපකාර කරන්නේ කුමන තොරතුරුද?
14 යෙහෝවා දෙවිගේ සිංහාසනය ඉදිරියේ සිටින අනෙක් අය ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? “බැටළු පැටවා අකුළන ලියවිල්ල ගත් විට ජීවීන් සතරදෙනාද වැඩිමහල්ලෝ විසිහතරදෙනාද බැටළු පැටවා ඉදිරියෙහි වැඳ වැටුණෝය. එකිනෙකාට කුඩා වීණාවක් බැගින්ද සුවඳ ද්‍රව්‍යයෙන් පිරුණු රන් බඳුන්ද තිබිණ. ඒ සුවඳ ද්‍රව්‍යයෙන් නියෝජනය වන්නේ ශුද්ධ තැනැත්තන්ගේ යාච්ඤාය.” (එළිදරව් 5:8) දෙවිගේ සිංහාසනය ඉදිරියේ සිටින ජීවමාන කෙරුබ්වරුන් සතරදෙනා වගේම වැඩිමහල්ලන් 24දෙනාත් යේසුස් ඉදිරියේ දණ නමන්නේ ඔහු සතු බලතල පිළිගනිමින්. නමුත් වීණා සහ සුවඳ දුම් භාජන තිබෙන්නේ මෙම වැඩිමහල්ලන් අත පමණයි.a අලුත් ගීතිකාවක් ගායනා කරන්නේත් ඔවුන් පමණයි. (එළිදරව් 5:9) ‘දෙවිගේ ඊශ්‍රායෙල්’ වන 1,44,000දෙනාත් වීණා රැගෙන අලුත් ගීතිකාවක් ගායනා කරන බව සඳහන් වෙනවා. ඒ නිසා වැඩිමහල්ලන් 24දෙනා කවුද කියා හඳුනාගන්න මෙය උපකාරවත් වෙනවා. (ගලාති 6:16; කොලොස්සි 1:12; එළිදරව් 7:3-8; 14:1-4) පැරණි ඊශ්‍රායෙලයේ සුවඳ දුම් ඔප්පු කළේ මණ්ඩපයේ සේවය කළ පූජකයන්. දෙවි මෝසෙස්ගේ නීතිය යේසුස්ගේ මරණයත් සමඟ අහෝසි කළ විට පොළොව මත ඒ පූජකයන්ගේ සේවාව අවලංගු වුණා. (කොලොස්සි 2:14) වැඩිමහල්ලන් 24දෙනා ඒ හා සමානව සුවඳ දුම් ඔප්පු කරනවා. එයින් අපට පැහැදිලි වෙන්නේ දෙවිගේ අභිෂේක ලත් අය පූර්ණ බලතල ලබා ‘දෙවිගෙත් ක්‍රිස්තුස්ගෙත් පූජකයෝ වී අවුරුදු දහස පුරා යේසුස් සමඟ රජකම් කරන’ බවයි.—එළිදරව් 20:6.
15. (අ) ඊශ්‍රායෙලයේ තිබූ මණ්ඩපයේ අතිශුද්ධ ස්ථානයට ඇතුල් වීමේ වරප්‍රසාදය තිබුණේ කාට පමණක්ද? (ආ) උත්තම පූජකයා අතිශුද්ධ ස්ථානයට ඇතුල් වීමට පෙර සුවඳ ද්‍රව්‍ය දැවීම අනිවාර්යය දෙයක් වුණේ ඇයි?
15 ඉපැරණි ඊශ්‍රායෙලයේ මණ්ඩපයේ අතිශුද්ධ ස්ථානයට යෑමෙන් අදහස් කළේ යෙහෝවා දෙවි ඉදිරියට යෑමයි. එසේ යෑමට හැකි වුණේ උත්තම පූජකයාට පමණයි. එසේ යද්දී සුවඳ ද්‍රව්‍ය රැගෙන යෑම අනිවාර්ය දෙයක් වුණා. දෙවි දුන් නීතියේ මෙසේ පවසා තිබුණා. “[ආරොන්] යෙහෝවා දෙවි ඉදිරියේ පූජාසනයේ ඇවිළෙමින් තිබුණු ගිනි අඟුරුවලින් තම දුම් අල්ලන භාජනය පුරවා සුවඳ ද්‍රව්‍යවලින් තම අත් පුරවාගත යුතුයි. ඉන්පසු ඔහු දුම් අල්ලන භාජනයද සුවඳ ද්‍රව්‍යද රැගෙන තිරය පිටුපසට යා යුතුයි. ඔහු සුවඳ ද්‍රව්‍ය ගිනි අඟුරු මත දමා යෙහෝවා දෙවි ඉදිරියේ දැවෙන්න සැලැස්විය යුතුයි. එවිට එයින් නැඟෙන දුමෙන් ගිවිසුම් පෙට්ටියේ ආවරණය වැසී යන්නේය. ඔහු මිය නොයන පිණිස එසේ කළ යුතුයි.” (ලෙවී කතාව 16:12, 13, NW) උත්තම පූජකයා සුවඳ ද්‍රව්‍ය දවන්නේ නැත්නම් ඔහුට අතිශුද්ධ ස්ථානයට ඇතුල් වෙන්න බැහැ.
16. (අ) දෙවිට දැන් කරන නමස්කාරයේ සැබෑ අතිශුද්ධ ස්ථානය වන ස්වර්ගයට ඇතුල් වෙන්නේ කවුරුන්ද? (ආ) අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ‘සුවඳ ද්‍රව්‍ය දැවිය’ යුත්තේ ඇයි?
16 එදා මණ්ඩපයෙන් නියෝජනය කළේ අද දින දෙවිට කරන නමස්කාරයයි. උත්තම පූජක ලෙස කටයුතු කරන්නේ යේසුස් ක්‍රිස්තුස්. සැබෑ අතිශුද්ධ ස්ථානය වන ස්වර්ගයට ගොස් යෙහෝවා දෙවි ඉදිරියේ පෙනී සිටීමට හැකි වෙන්නේ ඔහුටයි. නමුත් අභිෂේක ලත් උපපූජකයන් 1,44,000දෙනාටත් ඒ වරප්‍රසාදය ලැබෙනවා. (හෙබ්‍රෙව් 10:19-23) වැඩිමහල්ලන් 24දෙනාගෙන් නියෝජනය වන මේ පූජකයන් ‘සුවඳ ද්‍රව්‍ය දවන්නේ’ නැත්නම්, එනම් යෙහෝවා දෙවිට නොකඩවා යාච්ඤා සහ කන්නලව් ඔප්පු කරන්නේ නැත්නම් ඔවුන්ට සැබෑ අතිශුද්ධ ස්ථානයට ඇතුල් විය නොහැකියි.—හෙබ්‍රෙව් 5:7; යූද් 20, 21; ගීතාවලිය 141:2ද බලන්න.
අලුත් ගීතිකාවක්
17. (අ) වැඩිමහල්ලන් 24දෙනා ගායනා කරන අලුත් ගීතිකාව කුමක්ද? (ආ) බයිබලයේ “අලුත් ගීතිකාව” කියා සඳහන් වෙද්දී ඉන් සාමාන්‍යයෙන් අදහස් වෙන්නේ කුමක්ද?
17 දැන් මියුරු ගීතිකාවක් අසන්න ලැබෙනවා. බැටළු පැටවාණන්ට ගායනා කරන ඒ ගීතිකාව ගයන්නේ ඔහුගේ උපපූජකයන් හෙවත් වැඩිමහල්ලන් 24දෙනායි. “ඔවුහු අලුත් ගීතිකාවක් ගයමින් මෙසේ කීවෝය: ‘අකුළන ලියවිල්ල ගන්නත් එහි මුද්‍රා කඩන්නත් සුදුසු තැනැත්තා ඔබය. මන්ද, ඔබ මරනු ලැබ, සියලු ගෝත්‍රවලින්ද භාෂාවලින්ද ජනයාගෙන්ද ජාතීන්ගෙන්ද වූ මිනිසුන්ව ඔබේ රුධිරයෙන් දෙවි උදෙසා මිල දී ගත්තේය.’” (එළිදරව් 5:9) “අලුත් ගීතිකාව” කියා බයිබලයේ කිහිප වතාවක්ම සඳහන් වෙනවා. සාමාන්‍යයෙන් එම යෙදුම භාවිත කරන්නේ යෙහෝවා දෙවි තම මහත් බලය යොදාගෙන තම ජනයාව විපතින් ගලවාගත් අවස්ථාවලදී දෙවිට කරන ප්‍රශංසා විස්තර කිරීමටයි. (ගීතාවලිය 96:1; 98:1; 144:9) දෙවිගේ අලුත් පුදුම ක්‍රියා ගැන ප්‍රකාශ කරමින් දෙවිගේ ශ්‍රේෂ්ඨ නාමය කෙරෙහි තිබෙන අගය තව තවත් වැඩි කිරීමට ගායකයාට හැකි නිසා එය අලුත් ගීතිකාවක් වෙනවා.
18. වැඩිමහල්ලන් 24දෙනා තම අලුත් ගීතිකාව මගින් යේසුස්ට ප්‍රශංසා කරන්නේ ඇයි?
18 එහෙත්, මෙහි සිටින වැඩිමහල්ලන් 24දෙනා මෙම අලුත් ගීතිකාව ගායනා කරන්නේ යෙහෝවා දෙවි ඉදිරියේ නොව යේසුස් ඉදිරියේයි. නමුත් සිදු වෙන්නේ එකම දෙයයි. ඔවුන් යේසුස්ට ප්‍රශංසා කරන්නේ යේසුස් දෙවිගේ පුත්‍රයා හැටියට ඔවුන් වෙනුවෙන් කර ඇති අලුත් දේවල් සම්බන්ධයෙනුයි. යේසුස් සිය රුධිරය මාර්ගයෙන් අලුත් ගිවිසුමට මැදිහත්කරු වූ අතර, එමගින් යෙහෝවා දෙවිගේ විශේෂ වස්තුවක් ලෙස අලුත් ජාතියක් බිහි කිරීමට ඉන් හැකි වුණා. (රෝම 2:28, 29; 1 කොරින්ති 11:25; හෙබ්‍රෙව් 7:18-25) මෙම අලුත් ජාතියේ සාමාජිකයන්ට ලෝකයේ විවිධ ජාතීන්වලට අයත් අය ඇතුළත්. නමුත් යේසුස් ඔවුන් සියල්ලන්වම ක්‍රිස්තියානි සභාව තුළට එකම ජාතියක් ලෙස එක්සත් කළා.—යෙසායා 26:2; 1 පේතෘස් 2:9, 10.
19. (අ) ඊශ්‍රායෙල් ජාතිය දෙවිට අවිශ්වාසවන්ත වීම නිසා ඔවුන්ට අහිමි වුණේ කිනම් ආශීර්වාදයද? (ආ) යෙහෝවා දෙවිගේ අලුත් ජාතිය භුක්ති විඳින්නේ කුමන ආශීර්වාදයද?
19 යෙහෝවා දෙවි මෝසෙස් විසූ කාලයේදී ඊශ්‍රායෙල් ජාතිය සමඟ ගිවිසුමක් ඇති කරමින් ඔවුන්ට පොරොන්දු වුණේ ඔවුන් ඒ ගිවිසුමට අනුකූලව විශ්වාසවන්තව සිටියා නම් දෙවි ඉදිරියේ ඔවුන් පූජකයන්ගෙන් යුත් රාජ්‍යයක් බවට පත් වන බවයි. (නික්මයාම 19:5, 6) නමුත් ඊශ්‍රායෙල් ජාතිය දෙවිට විශ්වාසවන්තව සිටියේ නැහැ. ඒ නිසා දෙවි පොරොන්දු වූ දේ ඔවුන් සම්බන්ධයෙන් ඉටු වුණේ නැහැ. නමුත් මැදිහත්කරු වන යේසුස් තුළින් ක්‍රියාත්මක වන අලුත් ගිවිසුමෙන් බිහි වන අලුත් ජාතිය දෙවිට විශ්වාසවන්තව සිටියා. පොළොව පාලනය කරන රජවරුන් ලෙසත් අවංක සිත් ඇති මිනිසුන්ට දෙවි හා සමඟි වෙන්න උපකාර කරන පූජකයන් ලෙසත් කටයුතු කිරීමේ වරප්‍රසාදය ඔවුන්ට ලැබෙන්නේ ඒ නිසයි. (කොලොස්සි 1:20) මෙම වරප්‍රසාදය මේ අලුත් ගීතිකාවේ විස්තර කර ඇත්තේ මෙලෙසයි. “ඔබ ඔවුන්ව රාජ්‍යයක්ද, අපේ දෙවි සඳහා පූජකයන්ද වීමට සැලැස්සුවේය. ඔවුන් පොළොව කෙරෙහි රජකම් කිරීමට නියමිතය.” (එළිදරව් 5:10) තේජසට පත් යේසුස්ට ප්‍රශංසා කරමින් මෙම අලුත් ගීතිකාව ගායනා කරන වැඩිමහල්ලන් 24දෙනා ලබන්නේ කොතරම් ප්‍රීතියක්ද!
ස්වර්ගික සමූහ ගායනයක්
20. දැන් බැටළු පැටවාණන්ට ගයන්නේ කුමන ප්‍රශංසා ගීයද?
20 යෙහෝවා දෙවිගේ අතිමහත් ස්වර්ගික සංවිධානයට අයත් අනිකුත් දේවදූතයන් මෙම අලුත් ගීතයට ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? ඔවුන් එකා මෙන් ගයන ගීතය යොහන් සතුටින් විස්තර කරන්නේ මෙසේයි. “තවද මා බැලූ විට, සිංහාසනයද ජීවීන්ද වැඩිමහල්ලන්ද වටා සිටි දේවදූතයන් බොහෝදෙනෙකුගේ හඬක් මට ඇසුණේය. ඔවුන්ගේ ගණන දසදහස් වර දසදහසක්ද, දහස් වර දහසක්ද විය. ඔවුහු මහත් හඬින් මෙසේ කීවෝය: ‘මරා දැමූ බැටළු පැටවා පරාක්‍රමයද ධනයද ප්‍රඥාවද ශක්තියද ගෞරවයද මහිමයද ආශීර්වාදයද ලබන්න වටින්නේය.’” (එළිදරව් 5:11, 12) ඇත්තටම එය මොන තරම් සිත්ගන්නා ප්‍රශංසා ගීයක්ද!
21. බැටළු පැටවාණන්ට කරන ප්‍රශංසාවෙන් යෙහෝවා දෙවිව සැහැල්ලුවට ලක් වෙනවාද? පැහැදිලි කරන්න.
21 යේසුස් දැන් යෙහෝවා දෙවිගේ තැන ගෙන තිබෙන බවත්, සියලු මැවිලි දෙවි වෙනුවට යේසුස්ට ප්‍රශංසා කරන බවත් මින් අදහස් කරනවාද? කොහෙත්ම නැහැ! ඇත්තෙන්ම මෙම ප්‍රශංසා ගීතිකාවේ අරමුණ පාවුල් ලියූ දේට සමානයි. “දෙවි [යේසුස්ව] වඩා උසස් තත්වයකට පත් කළ අතර, අන් සියලු නාමවලට වඩා උසස් නාමය ඔහුට කරුණාවන්තව දුන්නේය. ඔහු එසේ කළේ, ස්වර්ගයෙහිද, පොළොවෙහිද, පොළොව යටද සිටින සියල්ලන් යේසුස්ගේ නාමයෙන් දණ නමන පිණිසත්, පියාණන් වන දෙවිගේ තේජස සඳහා යේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් බව සියලු දිව්වලින් ප්‍රසිද්ධියේ පිළිගන්නා පිණිසත්ය.” (ෆිලිප්පි 2:9-11) යේසුස්ට මෙහිදී ප්‍රශංසා ලැබෙන්නේ මුළු මැවිල්ල ඉදිරියේ යෙහෝවා දෙවිගේ ශ්‍රේෂ්ඨ පාලනයට විරුද්ධව එල්ල කළ චෝදනා බොරු බව ඔප්පු කිරීමට ඔහු ක්‍රියා කළ නිසයි. ඇත්තෙන්ම මෙහිදී තේජසට පත් වෙන්නේ ඔහුගේ පියාණන්වයි.
මහ හඬින් ගයන ප්‍රශංසා ගීයක්
22. පොළොවේ සිටින අය හවුල් වෙන්නේ කුමන ප්‍රශංසා ගීයටද?
22 යොහන් විස්තර කරන මෙම දර්ශනය තුළ ස්වර්ගික සේනාවන් යේසුස්ගේ විශ්වාසවන්තකම සහ ස්වර්ගයේ ඔහු සතු බලතල පිළිගනිමින් මහත් ප්‍රශංසා ගීයක් ගායනා කරනවා. ඒ වගේම පියාණන්ට සහ ඔහුගේ පුත්‍රයාණන් ගයන මේ ප්‍රශංසා ගීයට පොළොවේ සිටින අයත් හවුල් වෙනවා. සාමාන්‍යයෙන් පුතෙක් ලබන ජයග්‍රහණයක් නිසා ඔහුගේ දෙමාපියන්ට යම් කීර්තියක් ලැබෙන්නා සේ, යේසුස් දැක්වූ පක්ෂපාතකම නිසා මුළු මැවිල්ලම ‘පියාණන්ව තේජසට පත් කරනවා.’ යොහන් තවත් විස්තර සපයමින් කියන්නේ මෙසේයි. “තවද, ස්වර්ගයෙහිත්, පොළොවෙහිත්, පොළොවෙන් යට හා මුහුදෙහිත් සිටින සියලු ජීවීන්ද ඒවායේ තිබෙන සියල්ලද, ‘සිංහාසනය මත ඉඳගෙන සිටින තැනැත්තාටත් බැටළු පැටවාටත් සදාකාලයෙන් සදාකාලයට ආශීර්වාදයද ගෞරවයද මහිමයද පරාක්‍රමයද වේවා’ යයි කියනවා මට ඇසුණේය.”—එළිදරව් 5:13.
23, 24. (අ) මෙම ජයග්‍රාහී ගීය ස්වර්ගයේ හා පොළොවේ ගයන්න පටන්ගත්තේ කවදා සිටද? (ආ) කල් ගත වෙද්දී මෙම ගීයේ හඬ වැඩි වෙන්නේ කෙසේද?
23 මෙම මියුරු ජයග්‍රාහී ගීය ගයන්න පටන්ගත්තේ කවදා සිටද? එය ආරම්භ වුණේ ස්වාමීන්ගේ දවසේ මුල් කාලයේදීයි. සාතන් සහ ඔහුගේ භූතයන් ස්වර්ගයෙන් නෙරපනු ලැබුවායින් පසුව ‘ස්වර්ගයේ සිටින සියලු මැවිලිවලට’ මෙම ප්‍රශංසා ගීයට හවුල් වෙන්න හැකිකම ලැබුණා. ඒ වගේම පෙනෙන විදිහට 1919 පටන් පොළොව මත ගණනින් වැඩි වන පිරිසක් යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න පටන්ගත්තා. මුලදී එම ගායනයට හවුල් වුණේ දහස් ගණනක් වුණත් 2005 වසර පමණ වන විට එම සංඛ්‍යාව මිලියන හයකට වඩා වැඩි වී තිබෙනවා.b සාතන්ගේ දුෂ්ට සමාජය විනාශ වූවායින් පසුව ඉතිරි වන ‘පොළොවේ සියලු ජීවීන්’ යෙහෝවා දෙවිටත් ඔහුගේ පුත්‍රයාටත් ප්‍රශංසා ගී ගායනා කරයි. ‘පොළොවෙන් යට සියලු ජීවීන්’ එම ගායනයට හවුල් වෙන්නේ කවදාද? දෙවි නියම කරන කාලයේදී ඔහුගේ මතකයේ සිටින මිලියන ගණන් නැවත නැඟිටුවනු ලබන විට මෙය ආරම්භ වෙයි.
24 මේ වන විටත් ‘පොළෝ සීමාවේද මුහුදේද දිවයින්වලද’ සිටින මිලියන ගණනක් ජනයා යෙහෝවා දෙවිගේ ලෝක ව්‍යාප්ත සංවිධානය සමඟ එකතු වී අලුත් ගීතිකාවක් ගායනා කරමින් සිටිනවා. (යෙසායා 42:10; ගීතාවලිය 150:1-6) මෙම ප්‍රීතිමත් ප්රශංසාවේ ගී හඬ උපරිම ලෙස ගායනා කරන්නේ දහස් අවුරුදු පාලනය අවසානයේදීයි. එදාට මුළු මිනිස් වර්ගයාම සිටින්නේ පාපයෙන් තොර පරිපූර්ණ තත්වයකයි. ඉන් අනතුරුව උත්පත්ති 3:15හි වදන් සම්පූර්ණයෙන්ම ඉටු කරමින් මුළු ලෝකයම නොමඟ යැවූ ඒදන් උයනේ සිටි පුරාණ සර්පයා වන සාතන්ව විනාශ කරනු ලබනවා. ඒ උත්කර්ෂවත් අවස්ථාවේදී ස්වර්ගයේ සහ පොළොවේ සියලුමදෙනා එක්සත්ව මෙසේ ගායනා කරයි. “සිංහාසනය මත ඉඳගෙන සිටින තැනැත්තාටත් බැටළු පැටවාටත් සදාකාලයෙන් සදාකාලයට ආශීර්වාදයද ගෞරවයද මහිමයද පරාක්‍රමයද වේවා.” ඉන්පසු මුළු විශ්වයේ කිසිම තැනක යෙහෝවා දෙවිට විරුද්ධව නැඟෙන හඬක් නැවත කිසිදා අසන්න ලැබෙන්නේ නැහැ.
25. (අ) මුළු මැවිල්ලම එක්ව ගයන ජයග්‍රාහී ගීය ගැන යොහන් කරන විස්තරය අපව පොලඹවන්නේ කුමක් කිරීමටද? (ආ) දර්ශනය අවසන් වෙද්දී ජීවීන් හතරදෙනා සහ වැඩිමහල්ලන් 24දෙනා අප වෙනුවෙන් තබන්නේ මොන කදිම ආදර්ශයද?
25 ඇත්තටම එය මොන තරම් ප්‍රීතිමත් කාලයක් වේවිද! යොහන් සපයන මෙම විස්තරය නිසා අපේ හදවත් සතුටින් උතුරා යන්නේ නැද්ද? ස්වර්ගයේ සියලු මැවිලි සමඟ එක්ව හද පත්ලෙන්ම යෙහෝවා දෙවිටත් යේසුස් ක්‍රිස්තුස්ටත් ප්‍රශංසා ගී ගයන්න අප පෙලඹෙන්නේ නැද්ද? එසේනම් යහපත් ක්‍රියා කරමින් විඳදරාගැනීමට අපි තව තවත් අධිෂ්ඨාන කරගනිමු. අප එසේ කරනවා නම්, මුළු විශ්වයම දෙවිට ප්‍රශංසා ගායනා කරන ඒ උත්කර්ෂවත් අවස්ථාවටත් සහභාගි වෙන්න දෙවිගේ උපකාරය ඇතුව අපටත් හැකි වේවි. ජීවීන් සතරදෙනා සහ නැවත නැඟිටුවනු ලබන අභිෂේක ලත් ක්‍රිස්තියානීන් එක්සත්ව සිටින ආකාරය විස්තර කරමින් දර්ශනය මෙසේ නිමා වෙයි. “ජීවීන් සතර දෙනාද, ‘ආමෙන්!’ යයි කීවෝය. වැඩිමහල්ලෝද වැඳ වැටී නමස්කාර කළෝය.”—එළිදරව් 5:14.
26. අප ඇදහිල්ල තැබිය යුත්තේ කුමක් කෙරෙහිද? බැටළු පැටවා දැන් සූදානම්ව සිටින්නේ කුමක් කිරීමටද?
26 ලියවිල්ල දිගහැරීමට සුදුසු තැනැත්තා වන බැටළු පැටවාගේ ජීවිත පූජාව කෙරෙහි ඇදහිල්ල තැබීම කොතරම් වැදගත්ද! එසේ කර ‘සිංහාසනයේ ඉඳගෙන සිටින තැනැත්තා’ වන යෙහෝවා දෙවිට නමස්කාර කරන්නත් සේවය කරන්නත් නිහතමානීව උත්සාහ දරනවා නම් මෙය කියවන දයාබර ඔබත් ආශීර්වාද ලබනවා නොඅනුමානයි. (ලූක් 12:42) නමුත් දැන් බැටළු පැටවා මුද්‍රා සත කඩන්න සූදානම්! අපට කුමන සිත්ගන්නා තොරතුරු අනාවරණය වෙයිද?
[පාදසටහන්වල]
a වාක්‍ය සැකැස්මට අනුව පෙනෙන්නේ “කුඩා වීණාවක් බැගින්ද සුවඳ ද්‍රව්‍යයෙන් පිරුණු රන් බඳුන්ද” යන දේවල් වැඩිමහල්ලන් අත මෙන්ම ජීවීන් හතරදෙනා අත තිබෙන බවයි. නමුත් මෙහි අවට පාඨ සම්බන්ධයෙන් පැහැදිලි වෙන්නේ මේ දේවල් වැඩිමහල්ලන් 24දෙනා අත පමණක් තිබූ බවයි.
b 64වන පිටුවේ තිබෙන වගුව බලන්න.
[86වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]