පරිච්ඡේදය 4
දිරිගැන්වීම් ලබා දෙමින් යේසුස් පැමිණෙයි
1. යොහන් දැන් ලියන්නේ කාටද? අද දින මේ පණිවුඩය ගැන විශේෂයෙන්ම උනන්දු විය යුත්තේ කවුරුන්ද?
ඊළඟට යොහන් දකින දෙය අද දින දෙවිගේ ජනයාගේ සභාවල සිටින සෑම කෙනෙකුගේම මහත් උනන්දුවට හේතු විය යුතුමයි. යොහන්ට පණිවුඩ ගණනාවක් දැන් අසන්නට ලැබෙනවා. එම පණිවුඩවල කියාපාන දේවල් ඉටු වෙන්නේ “නියම කරන ලද කාලය” ළං වෙද්දියි. (එළිදරව් 1:3) මේ පණිවුඩවලින් කියවෙන දේට අපි කීකරු වුණොත් අපට සදාකාල ප්‍රයෝජන ලැබෙනවා. වාර්තාවේ සඳහන් වෙන්නේ මෙසේයි. “යොහන් වන මම, ආසියා ප්‍රදේශයේ පිහිටි සභා සත වෙත ලියමි: ‘සිටින්නාවූ, සිටියාවූ සහ මතු එන්නාවූ තැනැත්තාගෙන්’ ඔබට මහත් කරුණාවත් සමාදානයත් ලැබේවා! එමෙන්ම, ඔහුගේ සිංහාසනය ඉදිරියෙහි තිබෙන ආත්ම සතෙන්ද, . . . යේසුස් ක්‍රිස්තුස්ගෙන්ද මහත් කරුණාවත් සමාදානයත් ලැබේවා!”—එළිදරව් 1:4, 5අ.
2. (අ) “සත” නමැති ඉලක්කමෙන් අඟවන්නේ කුමක්ද? (ආ) ස්වාමීන්ගේ දවස අතරතුරේදී, “සභා සතට” ලියන ලද පණිවුඩය අදාළ වෙන්නේ කාටද?
2 මෙහි යොහන් අමතන “සභා සත” කුමක්ද කියා පසුවට සඳහන් වෙනවා. “සත” නමැති ඉලක්කම එළිදරව් පොතේ යළි යළිත් සඳහන් වෙන ඉලක්කමක්. මෙම ඉලක්කම විශේෂයෙන්ම භාවිත වෙන්නේ දෙවිට හා ඔහුගේ අභිෂේක ලත් සභාවට සම්බන්ධ කාරණාවලටයි. ඒ කාරණාවලදී සියලු පැතිවලින් කිසිම අඩුවක් නැති බව පෙන්වන්න එය භාවිත කරනවා. ස්වාමීන්ගේ දවසේදී, එනම් අප සිටින කාලයේදී ලොව වටා දෙවිගේ ජනයාගේ සභාවන් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් තිබෙන නිසා, අභිෂේක ලත් අයගේ “සභා සතට” ලියන ලද තොරතුරු අද සිටින දෙවිගේ සියලු සේවකයන්ටත් අදාළයි. (එළිදරව් 1:10) යොහන්ට කීමට තිබෙන මේ පණිවුඩයෙන් අද දින පොළොව පුරා තිබෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සියලු සභාවලට ප්‍රයෝජන ගත හැකියි.
3. (අ) යොහන් සඳහන් කරන “මහත් කරුණාව සහ සමාදානය” පැමිණෙන්නේ කොහෙන්ද? (ආ) යොහන්ට සමානව පාවුල් පැවසූ වචන මොනවාද?
3 ‘මහත් කරුණාව සහ සමාදානය,’ යන මේ ගුණාංග මොන තරම් ප්‍රියජනකද! ඒවා අප වෙත ලැබෙන්නේ සර්වබලධාරි ස්වාමීන් වන, “සදාකාල රජ වූ,” “සදාකාලයෙන් සදාකාලයට” ජීවත් වෙන්නාවූ යෙහෝවා දෙවිගෙන්. අපට ඒවා කොතරම් අගේද! (1 තිමෝති 1:17; ගීතාවලිය 90:2) ‘ආත්ම සතෙන් කරුණාව හා සමාදානය ලැබෙනවා’ කියා කියන්නේ ඇයි? ‘ආත්ම සතක්’ කීමෙන් අදහස් කරන්නේ දෙවිගේ බලය කිසිම අඩුවක් නැතුව පූර්ණ ආකාරයකින් ක්‍රියාත්මක වන බවයි. ඒ නිසා අනාවැකියට අවධානය දෙන සියල්ලන්ටම ඒ ගැන පූර්ණ අවබෝධයත් ආශීර්වාදත් ලැබෙනවා. මේ අනාවැකිය සම්බන්ධයෙන් ඉතා වැදගත් කාර්යයක් ඉටු කරන “යේසුස් ක්‍රිස්තුස්” ගැන යොහන් පසුව ලීවේ මෙසේයි. “ඔහු මහත් කරුණාවෙන් හා සත්‍යයෙන් පූර්ණව සිටියේය.” (යොහන් 1:14) යොහන් භාවිත කරන්නේ පාවුල් කොරින්ති සභාවට ලියූ දෙවන ලිපියේ අවසානයේදී යොදාගත් වචනවලට සමාන වචනයි. පාවුල් පැවසුවේ “ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ මහත් කරුණාවද, දෙවිගේ ප්‍රේමයද, ශුද්ධාත්මයේ පංගුකාරකමද ඔබ සියල්ලන් සමඟ වේවා!” කියායි. (2 කොරින්ති 13:14) අද දින සත්‍යයට ඇලුම් කරන අප සියලුදෙනාටමත් මේ මහත් කරුණාව හා සමාදානය ලැබේවා!—ගීතාවලිය 119:97.
“විශ්වාසවන්ත සාක්ෂිකරු”
4. යොහන් යේසුස් ක්‍රිස්තුස්ව විස්තර කරන්නේ කෙසේද? මෙම විස්තර ඉතා උචිත වෙන්නේ ඇයි?
4 යෙහෝවා දෙවිට පසුව මේ විශ්වයේ ඉතා ශ්‍රේෂ්ඨ තැනැත්තා හැටියට යේසුස්ව හඳුන්වන යොහන් ඒ ගැන විස්තර කරන්නේ, “‘විශ්වාසවන්ත සාක්ෂිකරු’ වූ, ‘මළවුන්ගෙන් නැඟිටි කුලුඳුලා’ වූ, ‘පොළොවේ රජුන්ගේ පාලකයා’” ලෙසටයි. (එළිදරව් 1:5ආ) අහසේ චන්ද්‍රයා මෙන් ඔහුද යෙහෝවා දෙවිගේ ශ්‍රේෂ්ඨත්වයට අතිමහත් සාක්ෂියක්. (ගීතාවලිය 89:37) මරණය දක්වාම දෙවිට විශ්වාසවන්තව සිටීමෙන් අනතුරුව යේසුස් අමරණීය ස්වර්ගික ජීවිතයකට මිනිස් වර්ගයා අතරින් නැවත නැඟිටවනු ලැබූ ප්‍රථමයා බවට පත් වුණා. (කොලොස්සි 1:18) දැන් යෙහෝවා දෙවි ඉදිරියේ සිටින ඔහුව පොළොවේ සියලු රජවරුන්ට වඩා උසස් කර තිබෙන අතර “ස්වර්ගයෙහිද පොළොවෙහිද සියලු බලය” ඔහුට දී තිබෙනවා. (මතෙව් 28:18; ගීතාවලිය 89:27; 1 තිමෝති 6:15) වර්ෂ 1914දී යේසුස්ව පොළොවේ ජාතීන්ව පාලනය කිරීමට රජු වශයෙන් සිංහාසනාරූඪ කරනු ලැබුවා.—ගීතාවලිය 2:6-9.
5. (අ) යොහන් ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ට තම අගය දිගටම ප්‍රකාශ කරන්නේ කෙසේද? (ආ) යේසුස්ගේ පව් රහිත ජීවිත පූජාව නමැති තෑග්ගෙන් ප්‍රයෝජන ලබන්නේ කවුරුන්ද? අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට ලැබෙන විශේෂ ආශීර්වාදය කුමක්ද?
5 යොහන් මෙම වචනවලින් ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ට තම ගැඹුරු අගය ප්‍රකාශ කරනවා. “අපට ප්‍රේම කරන්නාවූ, තමාගේම රුධිරය මාර්ගයෙන් අපව අපේ පව්වලින් මිදුවාවූ තැනැත්තාට, එනම්, අපව රාජ්‍යයක්ද, තම දෙවි සහ පියාණන් වන තැනැත්තා උදෙසා පූජකයන්ද වීමට සැලැස්සූ තැනැත්තාට, එසේය, ඔහුට සදහටම මහිමයත් පරාක්‍රමයත් වේවා! ආමෙන්.” (එළිදරව් 1:5ඇ, 6) යේසුස් තම පව් රහිත මිනිස් ජීවිතය මිනිස් සංහතිය වෙනුවෙන් පුද කළා. මේ අතරින් ඔහු කෙරෙහි ඇදහිල්ල තබන ඕනෑම කෙනෙකුට සදාකාල ජීවිතය ලබාගන්න පුළුවන්. මෙය කියවන දයාබර පාඨක ඔබටත් මේ සදාකාල ජීවිතය ලබාගත හැකියි! (යොහන් 3:16) නමුත් යේසුස්ගේ ජීවිත පූජාවෙන් විශේෂ ආශීර්වාද ලැබීම සඳහා මං විවෘත වුණේ යොහන් ඇතුළු අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ටයි. යේසුස්ගේ ජීවිත පූජාවේ පදනම මත ඔවුන්ව ධර්මිෂ්ඨ බවට ප්‍රකාශ කර තිබෙනවා. දෙවිගේ බලයෙන් අභිෂේක කර සිටින මේ කුඩා රැළ යේසුස් කළාක් මෙන් පොළොවේ ජීවත් වීමේ අපේක්ෂාව සම්පූර්ණයෙන්ම අත්හැර සිටින අතර, ක්‍රිස්තුස්ගේ රාජ්‍යයේ රජවරුන් සහ පූජකයන් ලෙස සේවය කිරීමට බලා සිටිනවා. (ලූක් 12:32; රෝම 8:18; 1 පේතෘස් 2:5; එළිදරව් 20:6) යේසුස් නිසා ඔවුන්ට ලැබෙන්නේ මොන තරම් උතුම් වරප්‍රසාදයක්ද! යොහන් ඉතා පැහැදිලිව මහිමයත් ගෞරවයත් යේසුස්ට අයත් කියා පවසන්නේ ඒ නිසයි.
“වලාකුළුවල එන්නේය”
6. (අ) යේසුස් ‘වලාකුළුවල පැමිණීම’ ගැන යොහන් පවසන්නේ කුමක්ද? මේ සම්බන්ධව යොහන්ට මතක් වන්න ඇත්තේ යේසුස්ගේ කිනම් අනාවැකියද? (ආ) යේසුස් ‘පැමිණෙන්නේ’ කෙසේද? පොළොව මත මහත් ශෝකයක් අද්දකින්නේ කවුරුන්ද?
6 ඊළඟට, යොහන් ඉතා ප්‍රීතියෙන් මෙසේ කියනවා. “බලන්න! ඔහු වලාකුළුවල එන්නේය. සියලු ඇස්ද, ඔහුට ඇන්න අයද ඔහුව දකින්නෝය. පොළොවේ සියලු ගෝත්‍ර ඔහු නිසා ශෝකයෙන් පපුවට ගසාගන්නෝය. එසේය, ආමෙන්.” (එළිදරව් 1:7) මේ දුෂ්ට මිනිස් සමාජයේ අවසානය ගැන යේසුස් මීට කලින් දී තිබූ අනාවැකිය යොහන්ට මතක් වෙන්න ඇති. එම අනාවැකියේ යේසුස් මෙසේ පවසා තිබුණා. “එකල මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ අහසේ පෙනෙන්නේය. එවිට පොළොවේ සියලු ගෝත්‍ර ශෝකයෙන් පපුවට ගසාගන්නෝය. බලයෙන්ද මහත් තේජසින්ද යුක්තව අහසේ වලාකුළු පිට මනුෂ්‍ය පුත්‍රයා එනවා ඔවුහු දකින්නෝය.” (මතෙව් 24:3, 30) යේසුස්ගේ ‘පැමිණීම’ කීමෙන් අදහස් කරන්නේ ලෝකයේ ජාතීන්ට විරුද්ධව යෙහෝවා දෙවිගේ විනිශ්චය ක්‍රියාත්මක කිරීමට යේසුස් තම අවධානය යොමු කරමින් පියවර ගන්නා බවයි. මේ මගින් පොළොවේ මීට පෙර සිදු නොවූ දේවල් සිදු වෙනවා. “පොළොවේ සියලු ගෝත්‍ර” යේසුස් ඇත්තටම රජ වී සිටින බව නොසලකාහැර තිබෙන නිසා, ඔවුන් මත “සර්වපරාක්‍රම තැනැත්තා වන දෙවිගේ උදහසේ කෝපය” වැගිරෙනවා.—එළිදරව් 19:11-21; ගීතාවලිය 2:2, 3, 8, 9.
7. අකීකරු අය ඇතුළු “සියලු ඇස්” යේසුස්ව ‘දකින්නේ’ කෙසේද?
7 යේසුස් සිය ගෝලයන් සමඟ ගත කළ අවසාන රාත්රියේදී ඔවුන්ට මෙසේ කීවා. “තව කෙටි කලකින් පසු ලෝකය මාව තවත් නොදකියි.” (යොහන් 14:19) එසේනම්, ‘සියලු ඇස් ඔහුව දකින්නේ’ කෙසේද? යේසුස්ගේ සතුරන් යේසුස්ව තම පියවි ඇස්වලින් දකිනවා කියා අපි නොසිතිය යුතුයි. යේසුස් ස්වර්ගයට යෑමෙන් පසුව දැන් ඔහු ‘කිසිවෙකුට ළඟා විය නොහැකි ආලෝකයෙහි වසන’ බවත් ‘කිසි මිනිසෙකුට ඔහුව දකින්න බැරි’ බවත් පාවුල් පැවසුවා. (1 තිමෝති 6:16) යොහන් මෙහිදී “දකින්නෝය” කීමෙන් අදහස් කළේ යමක් වටහාගැනීමට ඇති හැකියාවයි. එය හරියට අප දෙවිගේ මැවිලි තුළින් ඔහුගේ නොපෙනෙන ගුණාංග වටහාගන්නවා වගෙයි. (රෝම 1:20) යේසුස් “වලාකුළුවල එන්නේය” කීමෙන් අදහස් කරන්නේ යේසුස්ගේ පැමිණීම මිනිස් ඇස්වලට නොපෙනෙන බවයි. දහවල් කාලයේ හිරු වලාකුළුවලින් වැසී තිබෙන විට පවා, හිරු පායා තිබෙන බව අපි දන්නවා. ඒ අවට හිරුගේ ආලෝකය අප දකින නිසයි. ඒ වගේම ස්වාමීන් වන යේසුස්ව නොපෙනුණත්, ඔහු ‘ශුභාරංචියට කීකරු නොවන අයගෙන් පළිගන්නා විට, ඔහු ගිනි ජාලාවක්’ මෙන් එළිදරව් වෙනවා. මේ අන්දමින් මේ අයටද ‘ඔහුව දැකීමට’ සිදු වෙනවා.—2 තෙසලෝනික 1:6-8; 2:8.
8. (අ) ක්‍රිස්තු වර්ෂ 33දී යේසුස්ට “ඇන්න අය” කවුරුන්ද? අද දින ඔවුන්ට සමාන වෙන්නේ කවුරුන්ද? (ආ) යේසුස් දැන් පොළොවේ නොසිටියත් ඇතමුන් ‘ඔහුට අනින්නේ’ කෙසේද?
8 යේසුස්ව ‘ඔහුට ඇන්න අය’ විසින්ද ‘දකිනු’ ලබනවා. මේ අය කවුරුන්ද? ක්‍රිස්තු වර්ෂ 33දී යේසුස්ව ඝාතනය කළ අවස්ථාවේදී, රෝම සොල්දාදුවන් ඔහුගේ සිරුරට ආයුධවලින් ඇන්නා. මේ අපරාධයට එදා සිටි යුදෙව්වන්ද සම්බන්ධයි. පේතෘස් මේ යුදෙව්වන්ගෙන් සමහරෙකුට පෙන්තකොස්ත දවසේදී කීවේ ‘ඔබ කණුවක ඇණ ගැසූ මේ යේසුස්ව, දෙවි විසින් ස්වාමීන් බවටත් ක්‍රිස්තුස් බවටත් පත් කර ඇත’ කියායි. (ක්‍රියා 2:5-11, 36; සෙකරියා 12:10ද, යොහන් 19:37ද බලන්න.) මේ රෝමවරුන් සහ යුදෙව්වන් මිය ගොස් දැනට වසර 2,000ක් පමණ වෙනවා. එසේනම් මේ ‘ඇන්න අයගෙන්’ අද නියෝජනය වෙන්නේ කවුරුන්වද? ඒ එදා යේසුස්ව ඇණ ගසනු ලැබූ අවස්ථාවේදී ජනයා පෙන්වූ මිනීමරු ආකල්පයම අදත් පෙන්වන මිනිසුන් හා ජාතීන්වයි. යේසුස් දැන් පොළොවේ ජීවත් වෙන්නේ නැහැ. නමුත් යේසුස්ට සාක්ෂි දරන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට විරුද්ධ වෙන හෝ එළිපිට පීඩා කරන හෝ එවන් පීඩාවලට උල්පන්දම් දෙන අය කරන්නේ යේසුස්ට ‘අනිනවා’ හා සමාන දෙයක්.—මතෙව් 25:33, 41-46.
“අල්ෆා සහ ඔමේගා”
9. (අ) දැන් කතා කරන්නේ කවුද? එළිදරව් පොතේ ඔහු එසේ කතා කරන්නේ කී වරක්ද? (ආ) යෙහෝවා දෙවි තමන්වම “අල්ෆා සහ ඔමේගා” සහ “සර්වබලධාරි” දෙවි කියා හඳුන්වද්දී එයින් අදහස් කරන්නේ කුමක්ද?
9 දැන් විශ්වයේ ශ්‍රේෂ්ඨ පාලක යෙහෝවා දෙවි කතා කරයි! යෙහෝවා දෙවි අපගේ ශ්‍රේෂ්ඨ උපදේශකයාණන් වන නිසාත් එළිදරව් පොතේ තොරතුරුවල උල්පත වන නිසාත් දර්ශන පිළිබඳ තොරතුරු සැපයීමට පෙර ඔහු කතා කිරීම මොන තරම් යෝග්‍ය දෙයක්ද! (යෙසායා 30:20) “‘මම ඇල්ෆා සහ ඔමේගා වෙමි’යි ‘සිටින්නාවූ, සිටියාවූ සහ මතු එන්නාවූ, සර්වපරාක්‍රම තැනැත්තා’” වන අපගේ දෙවි පවසනවා. (එළිදරව් 1:8) යෙහෝවා දෙවි ස්වර්ගයේ සිට කතා කරන අවස්ථා තුනක් ගැන එළිදරව් පොතේ සඳහන් වෙනවා. මේ පළමු අවස්ථාවයි. (එළිදරව් 21:5-8ද; 22:12-15ද බලන්න.) ග්‍රීක හෝඩියේ පළමු සහ අන්තිම අකුරු පිළිවෙළින් අල්ෆා සහ ඔමේගා බව පළමු සියවසේ විසූ ක්‍රිස්තියානීන් හොඳින් දැන සිටියා. යෙහෝවා දෙවි මෙම අකුරු දෙකෙන් තමාව හැඳින්වීමෙන් අවධාරණය කරන්නේ ඔහුට පෙර සර්වබලධාරි දෙවි කෙනෙක් නොසිටි බව සහ ඔහුට පසුව කිසිවෙක් සිටින්නේද නැති බවයි. සැබෑ දෙවි කවුද යන්න පිළිබඳ ප්රශ්නය දෙවි විසින්ම සදාකාලයටම විසඳන්න යනවා. යෙහෝවා එකම සර්වබලධාරී දෙවි බවත්, මුළු විශ්වයේ ශ්‍රේෂ්ඨ අධිපති බවත් සදාකාලයටම තහවුරු වෙනවා නියතයි.—යෙසායා 46:10ද, යෙසා 55:10, 11ද බලන්න.
10. (අ) යොහන් ඊළඟට තමාවම විස්තර කරන්නේ කෙසේද? ඔහුව සිර කර තිබුණේ කොහේද? (ආ) යොහන් විසින් ලියනු ලැබූ ලියවිලි සභාවන් කරා යැවීමට උපකාර කරන්න ඇත්තේ කවුරුන්ද? (ඇ) වර්තමානයෙත් බොහෝවිට ඇදහිල්ල පෝෂණය කරන ආහාර සපයන්නේ කෙසේද?
10 හැම දෙයක්ම යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම ඇතුව සිදු වන බවට විශ්වාසයකින් යොහන් සෙසු දාසයන්ට මෙසේ කියනවා. “ඔබේ සහෝදරයා මෙන්ම, ක්‍රිස්තුස් තුළ පීඩාවලද, රාජ්‍යයෙහි හා විඳදරාගැනීමෙහිද ඔබ සමඟ පංගුකාරයෙකුද වන යොහන් නම් මට, පැට්මොස් නම් දූපතේ සිටින්නට සිදු වූයේ දෙවි ගැන කතා කළ නිසාත්, යේසුස් ගැන සාක්ෂි දැරූ නිසාත්ය.” (එළිදරව් 1:9) ශුභාරංචිය වෙනුවෙන් පැට්මොස් නම් දූපතේ සිරකරුවෙකු වන, තම සහෝදරයන් සමඟ පීඩා විඳදරාගත්, පැමිණෙන රාජ්‍යයට පංගුකාරයෙකු වීමට ස්ථිර බලාපොරොත්තුවක් ඇති මහලු යොහන් දැන් දකින්නේ එළිදරව්වේ පළමු දර්ශනයයි. මේ දර්ශනවලින් නිසැකවම ඔහු මහත් දිරිගැන්වීමක් ලබන්න ඇති. ඒ හා සමානව අද දින යොහන් පන්තියද මේ අනාවැකි ඉෂ්ට වෙනවා දැකීමෙන් මහත් දිරිගැන්වීමක් ලබනවා. යොහන් ඒ කාලයේ සිටියේ සිරභාරයේ. එමනිසා සභාවන්වලට එළිදරව් ලියවිල්ල යැව්වේ මොන ආකාරයටද කියා අප දන්නේ නැහැ. (එළිදරව් 1:11; 22:18, 19) මේ සඳහා යෙහෝවා දෙවිගේ දූතයන් යොහන්ට උපකාර කරන්න ඇති. දැන් පවා සීමා තහංචි මැද සේවය කරන යෙහෝවා දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ට දේවදූතයනගේ ආරක්ෂාව බොහෝදුරට ලැබෙනවා. ඒ නිසාම සත්‍යයට පිපාසයෙන් සිටින තම සහෝදරයන් වෙතට නියමිත වේලාවට ඔවුන්ගේ ඇදහිල්ල පෝෂණය කරන පොත් පත් ආදිය ගෙන යෑමට හැකි වී තිබෙනවා.—ගීතාවලිය 34:6, 7.
11. යොහන් මෙන් වර්තමාන යොහන් පන්තිය බෙහෙවින් අගය කරන වරප්‍රසාදය කුමක්ද?
11 යෙහෝවා දෙවි විසින් සභාවන්ට යම් තොරතුරු දැනුම් දීමට පාවිච්චි කළේ යොහන්වයි. ඇත්තටම ඒ වරප්‍රසාදය ඔහු කොතරම් අගය කරන්න ඇද්ද! ඒ හා සමානව අදත් යොහන් පන්තියද, දෙවිගේ ගෘහයේ සාමාජිකයන්ට “නියම වේලාවට ආහාර” සැපයීමට තමන්ට තිබෙන වරප්‍රසාදය ගැන මහත් සේ සතුටු වෙනවා. (මතෙව් 24:45) මෙලෙස ලැබෙන පෝෂණයෙන් ශක්තිමත් වී සදාකාල ජීවිතය නමැති අනගි ත්‍යාගය ලබාගැනීමට ඔබටත් හැකි වේවා!—හිතෝපදේශ 3:13-18; යොහන් 17:3.
[21වන පිටුවේ කොටුව]
දුෂ්කර වුණත් සහෝදරයන්ට අවශ්‍ය පෝෂණය ලබා දීම
මෙම අන්තිම දවස්වල යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට අනන්ත අප්‍රමාණ පීඩා දුෂ්කරතා විඳදරාගන්න සිදු වී තිබෙන නිසා ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත්ව තබාගැනීම අනිවාර්ය දෙයක් වෙනවා. ඒ සඳහා අවශ්‍ය පෝෂණය බොහෝ අවස්ථාවලදී ඔවුන්ට ලැබුණේ යෙහෝවා දෙවි පුදුමාකාර අන්දමකින් තම බලය පාවිච්චි කළ නිසයි.
උදාහරණයක් වශයෙන් ජර්මනිය හිට්ලර්ගේ පාලනය යටතේ පැවති සමයේදී කුරිරු නාට්සි බලධාරීන් විසින් මුරටැඹ සඟරාව තහනම් කර තිබුණා. නමුත් සාක්ෂිකරුවන් මෙම සඟරාවේ රෝනියෝ පිටපත් සාදා බෙදාහැරියා. මේ පිටපත් සාදනු ලැබුවේ හැම්බර්ග් නුවර පිහිටි එක්තරා නිවසකයි. මේ නිවසට කඩා වැදුණු රහස් පොලිසිය නිවසේ සිටි අයව අත්අඩංගුවට ගන්න පුළුවන් හේතුවක් සොයමින් නිවස පරීක්ෂා කළා. නිවස කුඩා නිසා කිසිම දෙයක් සඟවන්නට තැනක් තිබුණේ නැහැ. යතුරු ලියනය සඟවා තිබුණේ කුඩා අල්මාරියකයි. රෝනියෝ යන්ත්‍රය, එම නිවසේ යට තට්ටුවේ තිබූ අර්තාපල් බහාලන භාජනයක තබා තිබුණා. ඒ විතරක් නෙවෙයි, ඒ භාජනය පිටුපස සඟරාවලින් පිරි ගමන් මල්ලකුත් තිබුණා! පෙනෙන විදිහට අහු වෙන්න හොඳටම ඉඩ තිබුණා. ඒත් කුමක්ද වුණේ? නිලධාරියා අල්මාරිය විවෘත කළ ආකාරය නිසා ඔහුට යතුරු ලියනය පෙනුණේ නැහැ. යට තට්ටුව ගැන ඒ නිවසේ සිටි කෙනෙක් පැවසුවේ මෙසේයි. “නිලධාරීන් තිදෙනා සිටියේ කාමරයේ මැද සිටගෙන. ඔවුන් සිටියේ අර්තාපල් භාජනයත් ඊට පිටුපස මුරටැඹ සඟරා පුරවන ලද ගමන් මල්ලත් ඉදිරියෙන්ම වගෙයි. ඒත් කිසිම කෙනෙක් ඒවා දැකපු බවක් නම් පේන්න තිබුණේ නැහැ. හරියට කවුදෝ ඔවුන්ගේ ඇස් අන්ධ කළා වගේ.” මේ විදිහට මේ අන්තරා සහිත අසීරු කාලවල අපේ සහෝදරයන්ගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමට අවශ්‍ය පෝෂණය ලැබුණා. මෙය දෙවි දුන් විශේෂ ආරක්ෂාවක් නෙවෙයිද!
එක්දහස් නවසිය හැට ගණන්වලදී, නයිජීරියාව හා ඉන් කැඩී ගිය ප්‍රාන්තයක් වන බියාෆ්‍රා අතරෙහි සිවිල් යුද්ධයක් පැවතුණා. බියාෆ්‍රා මුළුමනින්ම නයිජීරියානු රටෙන් වට වී තිබූ බැවින්, එයට ලෝකයේ අනිකුත් රටවල් සමඟ සම්බන්ධකම් පවත්වන්නට හැකි වූයේ ගුවනින් පමණයි. මේ නිසා බියාෆ්‍රා ප්‍රදේශයේ විසූ සහෝදරයන්ට ලැබිය යුතු සඟරා පොත් පත් ආදිය නොලැබී යෑමේ අවදානමක් තිබුණා. නමුත්, 1968 මුල් භාගයේදී බියාෆ්‍රා බලධාරීන් විසින් රජයේ සේවයේ නියුතු එක් නිලධාරියෙකුව යුරෝපයේ වැදගත් නිලයක් දැරීමට පත් කළ අතර, තවත් නිලධාරියෙකු බියාෆ්‍රා ගුවන් තීරුවේ සේවය කිරීමට පත් කෙරුණා. මේ දෙදෙනාම යෙහෝවාගේ සාක්ෂිකරුවන්. බියාෆ්රාව සහ අනිකුත් රටවල් සම්බන්ධ වන එකම මාර්ගයේ කොන් දෙකේ සිටියේ මේ දෙදෙනායි. මෙය නම් යෙහෝවා දෙවිගේම සැලැස්මක් විය යුතුයි කියා දෙදෙනාම වටහාගත්තා. මේ නිසා, බියාෆ්රාහි සහෝදරයන්ට අවශ්‍ය පොත් පත් සැපයීමේ අවදානම් සහිත කාර්යය ඔවුන් කැමැත්තෙන්ම භාරගත්තා. යුද්ධය පැවති මුළු කාලයේදීම ඔවුන් මෙසේ කළා. ඔවුන්ගෙන් කෙනෙක් මෙසේ කීවා. “මෙය මිනිසුන් සැලසුම් කළ දෙයක් නම් වෙන්නට බැහැ.”
[19වන පිටුවේ වගුව]
එළිදරව්වෙහි ඉලක්කම්වලින් සංකේතවත් කරන දේ
ඉලක්කම සංකේතවත් කරන දේ
2 යම් කාරණයක් ස්ථිර කිරීම. (එළිදරව් 11:3, 4;
ද්විතීය කතාව 17:6ද බලන්න.)
3 අවධාරණය කිරීම සඳහා භාවිත කරයි. යමක් ප්රබලව කාවැද්දවීමත්
අදහස් වෙයි. (එළිදරව් 4:8; 8:13; 16:13, 19)
4 යම් දෙයක් සර්ව සම්පූර්ණයි කියා දැක්වීමට භාවිත කරයි.
6 යම් දෙයක් අසම්පූර්ණයි, අස්වාභාවිකයි හා අද්භූතයි කියා
අඟවනවා. (එළිදරව් 13:18; 2 සාමුවෙල් 21:20ද බලන්න.)
7 දෙවිගේ මිම්මට අනුව සියලුම පැතිවලින් කිසිම අඩුවක් නැතිව සෑම දෙයක්ම
ඇතුළත් බව හෝ පූර්ණකමක් අඟවනවා. මෙය දෙවි අරමුණු කරන දේට හා
සාතන් සැලසුම් යොදන දේට එක සේම අදාළයි. (එළිදරව් 1:4, 12, 16; 4:5; 5:1, 6; 10:3, 4; 12:3)
10 පොළොවේ තිබෙන හෝ සිදු වන දේ සම්බන්ධයෙන් කිසිම
අඩුවක් නැතිව සෑම දෙයක් ඇතුළත් බවක් හෝ පූර්ණකමක් අදහස් වෙනවා.
12 ස්වර්ගයේ හෝ පොළොවේ හෝ දෙවි විසින් පිහිටුවන ලද
සංවිධානාත්මක සැලැස්මක් දැක්වීමට භාවිත වෙනවා.
24 යෙහෝවා දෙවිගේ සංවිධානාත්මක සැලැස්මේ ශක්තිය වඩාත් තියුණු ලෙස
(දෙගුණ කර) අවධාරණය කිරීමට දක්වයි. (එළිදරව් 4:4)
එළිදරව් පොතේ සඳහන් ඇතැම් ඉලක්කම්වලට සංකේතවත් අර්ථයක් නැහැ. මෙය තීරණය කිරීමට අවට පාඨ සම්බන්ධය උපකාරවත් වෙනවා. (එළිදරව් 7:4, 9; 11:2, 3; 12:6, 14; 17:3, 9-11; 20:3-5 බලන්න.)