මුල් පිටුවෙන් | ලොවම වෙනස් කළ යුද්ධයක්
යුද්ධ හා දුක් වේදනාවලට වග කිව යුත්තේ කවුද?
1918 නොවැම්බර් 11වෙනිදා පළවෙනි ලෝක මහා යුද්ධය නිමා වුණා. මිනිසුන් වීදිවලට බැස නටමින් සතුට සැමරුවත් ඒ සතුට පෑල දොරෙන් පලා යන්න වැඩි කල් ගියේ නැහැ. මිනිස් ජීවිත බිලිගත් ගිනි අවිවලටත් වඩා මාරාන්තික වසංගතයක් ජීවිත එකින් එක බිලිගන්න පටන්ගෙන තිබුණා. ඒ ස්පාඤ්ඤ උණ වසංගතයයි.
1918 ජූනි මාසයේදි ප්‍රංශයේ යුධ වදිමින් සිටි සෙබළුන් ඊට ගොදුරු වුණා. යුද්ධයෙන් මිය ගිය ඇමරිකානු සෙබළුන්ට වඩා වැඩි ගණනක් මාස කිහිපයක් ඇතුළත ස්පාඤ්ඤ උණෙන් මිය යෑමත් සමඟ එය මොන තරම් මාරාන්තිකද කියා ඔප්පු වුණා. යුද්ධය අවසන් කර නැවත ගම්බිම් බලා ගිය සෙබළුන්ගෙන් ඒ රෝගය ලොව පුරා ව්‍යාප්ත වීමට වැඩි කල් ගත වුණේ නැහැ.
1918දී යුද්ධය නිමා වීමත් සමඟ යුරෝපීය රටවල් බොහොමයක ජනයා ආහාර හිඟකමෙන් බැට කෑවා. ආර්ථිකයත් බිඳ වැටුණා. අවුරුදු පහකට පසු ජර්මනියේ මුදල්වල අගය නොසිතූ විදිහට පහත වැටුණා. 1929දී මුළු ලෝකයම ආර්ථික පරිහානියකට ලක් වුණා. 1939දී දෙවෙනි ලෝක මහා යුද්ධයේ ගිනිදැල් ලොව පුරා ඇවිළුණා. එක පිට එක සිදු වූ මේ විපත්වලට හේතුව කුමක්ද?
අවසාන කාලයේ ආරම්භය
පළවෙනි ලෝක මහා යුද්ධය ඇතුළු සමහර ඓතිහාසික සිදුවීම්වලට හේතුව බයිබලයෙන් දැනගන්න පුළුවන්. අවසාන කාලයේදී ‘ජාතියක් ජාතියකට විරුද්ධව නැඟී සිටින’ බවත් ආහාර හිඟකම් හා වසංගත පොළොව පුරා පැතිරී යන බවත් යේසුස් මිහිපිට සිටි කාලයේදී පැවසුවා. (මතෙව් 24:3, 7; ලූක් 21:10, 11) එවැනි විපත්වලට හේතුව බයිබලයේ අවසන් පොත වන එළිදරව් පොතේ සඳහන් වෙනවා. එහි පෙන්නුම් කරන ආකාරයට පොළොවේ සිදු වෙන මේ හැම විපතකටම ස්වර්ගයේ සිදු වුණු යුද්ධයක් බලපා තිබෙනවා.—“ස්වර්ගයේ හා පොළොවේ යුද්ධයක්” යන කොටුව බලන්න.
එළිදරව් පොතේම අසරුවන් සතරදෙනෙක් ගැනත් සඳහන් වෙනවා. ඉන් අසරුවන් තුන්දෙනෙක්ගෙන් සංකේතවත් වන්නේ අද සිදු වෙන යුද්ධ, සාගත හා වසංගතයි. යේසුස් සඳහන් කළෙත් ඒ දේවල් ගැනමයි. (“අසරුවන් සතරදෙනා ගමන් අරඹා තිබෙනවාද?” යන කොටුව බලන්න.) පළවෙනි ලෝක මහා යුද්ධයත් සමඟම ඉතා දරුණු කාලයක් ආරම්භ වී තිබෙන බව අපට පැහැදිලියි. ඒ සෑම දෙයක් පිටුපසම සිටින්නේ යක්ෂයා බව බයිබලයේ සඳහන් වෙනවා. (1 යොහන් 5:19) යක්ෂයාගේ ඒ දුෂ්ට ක්‍රියා කවදා හෝ නිමා වෙයිද?
යක්ෂයාට “ඉතුරු වී ඇත්තේ ඉතා කෙටි කාල පරිච්ඡේදයක්” බව එළිදරව් පොතේ සඳහන් වෙනවා. (එළිදරව් 12:12) වියරු වැටී සිටින යක්ෂයා මේ තරම් දරුණු විපත් ඇති කරන්නේ ඒ නිසයි. එන්න එන්නම පොළොවේ තත්වය දරුණු වීමෙන් පැහැදිලි වෙන්නේ යක්ෂයාගේ අවසානය වැඩි ඈතක නොවන බවයි.
යක්ෂයාගේ ක්‍රියා සහමුලින්ම නැති කරයි
පළවෙනි ලෝක මහා යුද්ධය ලොව වෙනස්ම මඟකට හැරවූ ඓතිහාසික සිදුවීමක්. එතැන් සිට ලොව පුරා යුද්ධ ඇරඹුණා. විප්ලව පටන්ගත්තා. පාලකයන් ගැන තිබූ විශ්වාසය බිඳී ගියා. ඒ සියල්ලෙන් ඔප්පු වන්නේ යක්ෂයාව ස්වර්ගයෙන් පහතට හෙළා ඇති බවයි. (එළිදරව් 12:9) ඒත් අපි කාටවත් ඔහුව පෙනෙන්නේ නැහැ. තමාට ඉතුරු වී ඇත්තේ තව කෙටි කාලයක් බව දන්නා යක්ෂයා හිතක් පපුවක් නැති ඒකාධිපති පාලකයෙකු මෙන් පොළොව පාලනය කරනවා. ඒත් ඔහුගේ පාලනය ළඟදීම අවසන් වන නිසා පළවෙනි ලෝක මහා යුද්ධයත් සමඟ හටගත් සියලුම දුක් කරදර සදහටම නැති වෙනවා.
බයිබලයේ සඳහන් අනාවැකිවලින් පැහැදිලි වෙන්නේ ළඟදීම යේසුස් ක්‍රිස්තුස් එනම් දේවරාජ්‍යයේ රජු ‘යක්ෂයාගේ ක්‍රියා සහමුලින්ම නැති කර දමන’ බවයි. (1 යොහන් 3:8) අද දින බොහෝ අය දේවරාජ්‍යය පැමිණේවා කියා යාච්ඤා කරනවා. ඔබත් එසේ යාච්ඤා කරනවාද? දෙවියන්ගේ කැමැත්ත මේ පොළොවේ සිදු වෙන්නේ ඒ රාජ්‍යය මාර්ගයෙනුයි. (මතෙව් 6:9, 10) දේවරාජ්‍යය පොළොව පාලනය කරන කාලයේදී යළි කිසිදාක යුද්ධ ඇති වෙන්නේ නැහැ. (ගීතාවලිය 46:9) දේවරාජ්‍යය ගැන තවත් දැනගන්න. එවිට සාමය රජයන ලොවක සදහටම ජීවත් වෙන්න ඔබටත් හැකි වෙයි.—යෙසායා 9:6, 7.
a ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 8වෙනි පරිච්ඡේදය බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්රකාශනයක්.