පරිච්ඡේදය 25
සාක්ෂිකරුවන් දෙදෙනාව යළි ප්‍රාණවත් කරයි
1. ශක්තිමත් දේවදූතයා යොහන්ගෙන් ඉල්ලා සිටින්නේ කුමක් කරන්නද?
දෙවන දුක අවසන් වෙන්න පෙර ශක්තිමත් දේවදූතයා යොහන්ට කතා කර කියන්නේ තවත් දෙයකට සහභාගි වෙන්න කියායි. මෙයට දේවමාලිගාව සම්බන්ධයි. (එළිදරව් 9:12; 10:1) යොහන් පවසන්නේ මෙයයි. “තවද, සැරයටියක් වැනි වූ බට දණ්ඩක් මට දෙමින් ඔහු මෙසේ කීවේය: ‘නැඟිට, දෙවිගේ මාලිගාවද, පූජාසනයද, එහි නමස්කාර කරන අයවද මනින්න.’”—එළිදරව් 11:1.
දෙවිගේ මාලිගාව
2. (අ) අපගේ කාලය දක්වා පවතින්නේ මොන දේවමාලිගාවද? (ආ) මෙම දේවමාලිගාවේ උත්තම පූජකයා කවුද? එහි අතිශුද්ධ ස්ථානය කුමක්ද?
2 මෙහි සඳහන් කර තිබෙන දේවමාලිගාව යෙරුසලමේ තිබූ දේවමාලිගාව නම් නෙවෙයි. අවසන් වරට එය රෝමවරුන් අතින් ක්‍රි.ව. 70දී විනාශ වුණා. නමුත් එම දේවමාලිගාවේ විනාශයට පෙර පවා පාවුල් පෙන්වා දුන්නේ අපගේ කාලය දක්වා පවතින තවත් දේවමාලිගාවක් බිහි වී ඇති බවයි. මෙය යෙහෝවා දෙවිට කරන නමස්කාරය පිළිබිඹු කරන වඩාත් ශ්‍රේෂ්ඨ වූ සංකේතවත් දේවමාලිගාවක්. කලින් පැවති මණ්ඩපයේ හා පසුව යෙරුසලමේ ඉදි කළ දේවමාලිගාවේ තිබුණු නොයෙකුත් අංගවලින් එම ශ්‍රේෂ්ඨ වූ නමස්කාරයේ විවිධ පැති පිළිබිඹු කළා. පාවුල් එය විස්තර කළේ ‘මිනිසා විසින් නොව, යෙහෝවා දෙවි විසින් සාදන ලද සැබෑ කූඩාරම’ ලෙසයි. එහි උත්තම පූජකයා යේසුස්. පාවුල් යේසුස් ගැන කිව්වේ ‘ඔහු ස්වර්ගයෙහි මහෝත්තමයාණන්ගේ සිංහාසනයේ දකුණු පැත්තේ දැනටමත් අසුන්ගෙන’ සිටින බවයි. එහි අතිශුද්ධ ස්ථානය නම් ස්වර්ගයයි. එනම් යෙහෝවා දෙවි ඉදිරියේ සිටීමයි.—හෙබ්‍රෙව් 8:1, 2; 9:11, 24.
3. (අ) මණ්ඩපයේ අතිශුද්ධ ස්ථානයෙන් ශුද්ධස්ථානය වෙන් කළ තිරයෙන් පිළිබිඹු කළේ කුමක්ද? (ආ) සත්ව පූජාවන්ගෙන් පිළිබිඹු කළේ කුමක්ද? (ඇ) පූජාසනයෙන් පිළිබිඹු කළේ කුමක්ද?
3 මණ්ඩපයේ අතිශුද්ධ ස්ථානයෙන් ශුද්ධස්ථානය වෙන් කළ තිරයෙන් යේසුස්ගේ මිනිස් ජීවිතය පිළිබිඹු කළ බව පාවුල් පැහැදිලි කරනවා. යේසුස් තම ජීවිතය පූජා කළ අවස්ථාවේදී මෙම තිරය දෙකට ඉරුණා. මින් පැහැදිලි වුණේ ස්වර්ගයේ යෙහෝවා දෙවි ඉදිරියට යන්න මිනිසෙකු ලෙස යේසුස්ට තිබුණු බාධාව ඉවත් වී ඇති බවයි. අවසානය දක්වා විශ්වාසවන්තව සිට මිය යන යේසුස්ගේ අභිෂේක ලත් උපපූජකයන්ටත් යේසුස්ගේ ජීවිත පූජාව පදනම් කරගෙන ස්වර්ගයට ඇතුල් වෙන්න හැකියාව ලැබෙනවා. (මතෙව් 27:50, 51; හෙබ්‍රෙව් 9:3; 10:19, 20) මණ්ඩපයේ දිගටම කළ සත්ව පූජාවලින් පිළිබිඹු වුණේ යේසුස්ගේ පව් රහිත ජීවිත පූජාව බව පාවුල් පැවසුවා. මණ්ඩපයේ ඔප්පු කළ පූජාවක් දෙවි පිළිගත්තේ එය පූජාසනය මත ඔප්පු කළ විටයි. එමනිසා එම පූජාසනයෙන් පිළිබිඹු වුණේ යෙහෝවා දෙවි යේසුස්ගේ ජීවිත පූජාව පිළිගන්නා බවයි. දෙවි තම කැමැත්තට එකඟව මෙම පූජාව පිළිගත්තේ “බොහෝදෙනෙකු” උදෙසායි. එනම් ‘ගැලවීම සඳහා යේසුස් දෙස උනන්දුවෙන් බලා සිටින’ අභිෂේක ලත් අය සහ වෙනත් බැටළුවන් උදෙසයි.—හෙබ්‍රෙව් 9:28; 10:9, 10; යොහන් 10:16.
4. (අ) මණ්ඩපයේ ශුද්ධස්ථානයෙන් සංකේතවත් කරන්නේ කුමක්ද? (ආ) ඇතුල් මළුවෙන් සංකේතවත් කරන්නේ කුමක්ද?
4 මණ්ඩපයේ තිබුණු ශුද්ධස්ථානයෙන් සංකේතවත් කරන්නේ අභිෂේක ලත් 1,44,000දෙනා පොළොවේ සිටින විට භුක්ති විඳින ශුද්ධ තත්වයයි. මෙය මුලින්ම භුක්ති වින්දේ යේසුස්. ඉන් අනතුරුව යේසුස් “තිරය” තුළින් ඇතුල් වුණා හා සමානව ඔවුනුත් ඇතුල් වී ස්වර්ගයට යනවා. (හෙබ්‍රෙව් 6:19, 20; 1 පේතෘස් 2:9) ක්‍රිස්තු වර්ෂ 29දී යොර්දාන් ගඟේ යේසුස්ගේ බව්තීස්මයෙන් පසු දෙවි ඔහුව තම පුත්‍රයා ලෙස පිළිගත්තා හා සමානව අභිෂේක ලත් අයවත් දෙවිගේ පුත්‍රයන් ලෙස පිළිගන්නවා. ඔවුන් භුක්ති විඳින ශුද්ධ තත්වය එයයි. (ලූක් 3:22; රෝම 8:15) ඇතුල් මළුවෙන් සංකේතවත් කරන්නේ කුමක්ද? දේවමාලිගාවේ පූජකයන් නොවූ ඊශ්‍රායෙල් ජාතිකයන්ට පෙනෙන්න තිබුණේ මෙම ඇතුල් මළුවේ සිදු වන දේ පමණයි. පූජාවන් ඔප්පු කළෙත් මෙම භූමියේයි. එයින් මිනිසෙකු ලෙස යේසුස් ගත කළ පරිපූර්ණ ජීවිත ආදර්ශය සංකේතවත් කරනවා. මිනිසා වෙනුවෙන් තම ජීවිතය පුද කරන්න ඔහු සුදුසුකම් ලැබුවේ ඔහු ගත කළ ඒ ආදර්ශවත් ජීවිතය නිසයි. ඔහුගේ ජීවිත පූජාව නිසා අභිෂේක ලත් අයවත් ධර්මිෂ්ඨ අය ලෙස සලකනු ලබනවා. එමනිසා එම අභිෂේක ලත් අය පොළොවේ සිටිද්දී ගත කරන ධර්මිෂ්ඨ ජීවිතයද ඇතුල් මළුවෙන් සංකේතවත් කරනවා.a—රෝම 1:7; 5:1.
දෙවිගේ මාලිගාව මැනීම
5. (අ) හෙබ්‍රෙව් ලියවිල්ලේ අනාවැකිවල යෙරුසලම මැනීමෙන් අදහස් වෙන්නේ කුමක්ද? (ආ) එසකියෙල් දර්ශනයෙන් දුටු දේවමාලිගාව මැනීමෙන් අදහස් වෙන්නේ කුමක්ද?
5 “දෙවිගේ මාලිගාවද, පූජාසනයද, එහි නමස්කාර කරන අයවද මනින්න” කියා යොහන්ට පවසනවා. මෙයින් අදහස් කරන්නේ කුමක්ද? හෙබ්‍රෙව් ලියවිල්ලේ අනාවැකිවල යමක් මැනීමෙන් අදහස් කළේ යෙහෝවා දෙවිගේ පරිපූර්ණ ප්‍රමිතිවලට අනුව යුක්තිය ඉටු කරන බවට සහතිකයක් දීමයි. උදාහරණයකට දුෂ්ට වූ මනස්සේ රජුගේ කාලයේදී යෙරුසලම මැනීමක් ගැන අනාවැකි පළ කළා. මින් අදහස් කළේ දෙවිගේ විනිශ්චයේ ප්‍රතිඵලයක් ලෙස එම නුවර අනිවාර්යයෙන්ම විනාශය අද්දකින බවයි. (2 රාජාවලිය 21:13; විලාප ගී 2:8) යෙරෙමියාත් යෙරුසලම මෙවැනි මැනීමකට ලක් වන ආකාරය ගැන කතා කළා. ඉන් අදහස් කළේ යුක්තිය ඉටු කිරීම සඳහා එම නුවර නැවත ගොඩනඟනු ලබන බවයි. (යෙරෙමියා 31:39; සෙකරියා 2:2-8ද බලන්න.) ඒ හා සමානව එසකියෙල් පවා දේවමාලිගාව මැනීම ගැන දර්ශනයක් දුටුවා. එයින් සැබෑ නමස්කාරය තම මව්බිමේ අනිවාර්යයෙන්ම නැවත පිහිටුවනු ලබන බවට බැබිලෝනියේ සිටි යුදෙව් වහලුන්ට සහතිකයක් දුන්නා. ඒ වගේම මෙයින් ඊශ්‍රායෙල් ජාතියට යම් සිහිගැන්වීමකුත් කළා. එනම් ඔවුන් තමන් අතීතයේ කළ වැරදි අත්හැර දෙවිගේ ශුද්ධ ප්‍රමිතිවලට අනුව ජීවත් වීමේ අවශ්‍යතාවයි.—එසකියෙල් 40:3, 4; 43:10.
6. දෙවිගේ මාලිගාව සහ එහි නමස්කාර කරන පූජකයන්ව මනින්න කියා යොහන්ට පැවසීමෙන් අදහස් කරන්නේ කුමක්ද? පැහැදිලි කරන්න.
6 එමනිසා දේවමාලිගාව හා එහි නමස්කාර කරන පූජකයන්ව මනින්න කියා යොහන්ටත් පැවසීමෙන් යමක් අදහස් විය යුතුයි. එනම් මෙම ශ්‍රේෂ්ඨ වූ දේවමාලිගාව හා එහි නමස්කාරයට සම්බන්ධ වී සිටින සියලුදෙනා සම්බන්ධයෙන් යෙහෝවා දෙවි අරමුණු කර ඇති දේ නතර කරන්න කිසිවකට බැරි බවයි. ඒ වගේම එම අරමුණුවල ඉටුවීම ළං වී ඇති බවත් අදහස් කරනවා. යෙහෝවා දෙවිගේ ශක්තිමත් දේවදූතයාගේ පාද යටතේ මේ වන විටත් සියලු දේවල් දමා තිබෙන නිසා “යෙහෝවා දෙවිගේ ගෘහය පිහිටි කන්ද අන් සියලුම කඳුවලට වඩා ඉහළින් ස්ථිරව පිහිටුවනු” ලැබීමට කාලය එළඹ තිබෙනවා. (යෙසායා 2:2-4, NW) සියවස් ගණනාවක් පුරා ක්‍රිස්තියානියයි කියාගත් පල්ලිවල සිදු කළ ව්‍යාජ නමස්කාරයෙන් පසුව දැන් යෙහෝවා දෙවිගේ පවිත්‍ර නමස්කාරය උසස් විය යුතුමයි. ඒත් සමඟම යේසුස්ගේ විශ්වාසවන්ත සහෝදරයන් අතරින් මිය ගොස් සිටින අයව ‘අතිශුද්ධ ස්ථානයට’ නැවත නැඟිටුවන්නත් කාලය පැමිණ තිබෙනවා. (දානියෙල් 9:24; 1 තෙසලෝනික 4:14-16; එළිදරව් 6:11; 14:4) මීට අමතරව ‘අපගේ දෙවිගේ දාසයන්’ ලෙස මුද්‍රා කර ඇති පොළොවේ තවමත් ඉතිරි වී සිටින අයත් දෙවිගේ ප්‍රමිතිවලට අනුව මනිනු ලැබිය යුතුයි. මෙම මැනීමෙන් ඔවුන්ට යමක් සිහිගන්වනු ලබනවා. එනම් දෙවිගේ බලයෙන් අභිෂේක කළ ඔහුගේ පුත්‍රයන් ලෙස ස්වර්ගයේ ඔවුන්ට ස්ථිර වාසස්ථානයක් හිමි වෙන්නේ ඔවුන් එම ප්‍රමිතිවලට අනුව සිටියොත් පමණයි යන කාරණයයි. අද දින තවමත් පොළොව මත සිටින යොහන් පන්තිය එම ශුද්ධ ප්‍රමිති ගැන පූර්ණ අවබෝධයකින් සිටින අතර, ඒවාට එකඟව ජීවත් වෙන්න අදිටන් කරගෙන සිටිනවා.—එළිදරව් 7:1-3; මතෙව් 13:41, 42; එෆීස 1:13, 14; රෝම 11:20ද බලන්න.
මළුව පාගා දමනු ලැබීම
7. (අ) මළුව මනින්න එපා කියා යොහන්ට කිව්වේ ඇයි? (ආ) ශුද්ධ නුවර මාස 42කට පාගා දමනු ලැබුවේ කොයි කාලයේදීද? (ඇ) ඒ මාස 42දී යෙහෝවා දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති පැවැත්වීමට පූජක පක්ෂය අපොහොසත් වුණේ කෙසේද?
7 යොහන්ට මළුව මනින්න එපා කියා කිව්වේ ඇයි? ඔහු පිළිතුරු දෙන්නේ මෙසේයි. “නමුත් දේවමාලිගාවේ ශුද්ධස්ථානයෙන් පිටත මළුව අන්‍යජාතීන්ට දී ඇති බැවින් එය නොමැන සම්පූර්ණයෙන්ම අත්හරින්න. ඔවුහු මාස සතළිස්දෙකක් ශුද්ධ නුවර පාගා දමන්නෝය.” (එළිදරව් 11:2) අප කලින් සලකා බැලූ ආකාරයට අභිෂේක ලත් අය පොළොවේ සිටිද්දී ගත කරන ධර්මිෂ්ඨ ජීවිතය ශුද්ධ නුවරේ ශුද්ධස්ථානයෙන් පිටත පිහිටි ඇතුල් මළුවෙන් සංකේතවත් කරනවා. ඔවුන්ව මාස 42ක් පුරා පාගා දමනු ලැබුවේ කෙසේද? මෙහි සඳහන් කරන මාස 42, 1914 දෙසැම්බර් සිට 1918 ජූනි දක්වා දිව යන කාලයක්. මේ කාලයේදී ක්‍රිස්තියානියයි කියාගන්නා සියලුදෙනාවම ඉතා දැඩි පරීක්ෂණයකට ලක් වුණා. එනම් යුද්ධය පැවති ඒ කාලයේදී මේ අය යෙහෝවා දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට ඇලී සිටිනවාද නැද්ද යන්නයි. වැඩිදෙනෙක් එසේ කළේ නැහැ. ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවල පූජකයන් මුල් තැන දුන්නේ දෙවිගේ නීතියට නොව ජාත්යාලයටයි. මෙම යුද්ධයට වැඩියෙන්ම හවුල් වුණේ “ක්‍රිස්තියානි” රටවල අයයි. ඔවුන්ගේ “ක්‍රිස්තියානි” පූජකයන් බොහෝ තරුණයන්ට දේශනා කළේ යුද්ධයට යෑමටයි. මේ යුද්ධය නිසා මිලියන ගණනක් මිය ගියා. දෙවිගේ ගෘහයෙන් යේසුස් තම විනිශ්චය කිරීම ආරම්භ කළ කාලයේදී එනම් 1918 වන විට එක්සත් ජනපදයත් යුද්ධයට හවුල් වෙන්න පටන්ගත්තා. ඒත් සමඟම මුළු ලොව පුරාම ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවල පූජකයන් මේ ලේ වරදට හසු වුණා. ඒ සඳහා දෙවිගේ යුක්තිය ඉටු විය යුතුමයි. (1 පේතෘස් 4:17) මේ අනුව ඔවුන්ව සම්පූර්ණයෙන්ම අත්හරිනු ලැබුවා.—යෙසායා 59:1-3, 7, 8; යෙරෙමියා 19:3, 4.
8. පළමු ලෝක මහා යුද්ධයේදී බයිබල් ශිෂ්‍යයන්ගෙන් බොහෝදෙනෙක් වටහාගත්තේ කුමක්ද? නමුත් සම්පූර්ණයෙන්ම තේරුම්ගන්න බැරි වුණේ කුමන කාරණයද?
8 නමුත් අභිෂේක ලත් බයිබල් ශිෂ්‍යයන්ගේ කුඩා කණ්ඩායම ගැන කුමක් කිව හැකිද? ඔවුන් දෙවිගේ ප්‍රමිතිවලට ඇලී සිටිනවාද කියා ඔවුන්ව 1914දීම මනිනු ලැබුවාද? නැහැ. ක්‍රිස්තියානියයි කියාගත් අය මෙන් ඔවුනුත් දැඩි පරීක්ෂණවලට මුහුණ දීම අවශ්‍ය වුණා. මේ අනුව ඔවුන්ව ‘අන්‍යජාතීන්ට සම්පූර්ණයෙන් අත්හැරියේ’ ප්‍රබල පීඩාවලට මුහුණ දීම සඳහායි. ඒ පරීක්ෂාවලදී යුද්ධයට සහභාගි වී තමන් හා සමාන මිනිසුන්ව ඝාතනය නොකළ යුතු බව ඔවුන්ගෙන් බොහෝදෙනෙක් වටහාගත්තා. නමුත් ක්‍රිස්තියානීන් හැටියට මධ්‍යස්ථව සිටිය යුතු ආකාරය ඔවුන්ට සම්පූර්ණයෙන්ම තේරුම්ගන්න බැරි වුණා. (මීකා 4:3; යොහන් 17:14, 16; 1 යොහන් 3:15) අන්‍යජාතීන්ගේ දැඩි පීඩනයට හසු වූ මොවුන්ගෙන් සමහරදෙනෙක් තම ස්ථාවරය අත්හැරියා.
9. අන්‍යජාතීන් විසින් පාගා දමන ශුද්ධ නුවර කුමක්ද? මෙම නුවර නියෝජනය කරන පොළොවේ සිටින අය කවුද?
9 ශුද්ධ නුවර අන්‍යජාතීන් විසින් පාගා දමනු ලබනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? මෙහි කතා කරන්නේ එළිදරව් පොත ලිවීමට වසර 25කට පෙර විනාශ වූ යෙරුසලම ගැන නම් නෙවෙයි. නමුත් ශුද්ධ නුවර වන නව යෙරුසලම ගැනයි. (එළිදරව් 21:2, 9-21) මෙම ශුද්ධ නුවරට අයත් අයගෙන් කිහිපදෙනෙක් තවමත් පොළොවේ සිටිනවා. ඒ දේවමාලිගාවේ ඇතුල් මළුවේ සේවය කරන ඉතිරි වූ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්. ඔවුන් මෙම ශුද්ධ නුවරේ නියෝජිතයන්. කල් යත්ම ඔවුනුත් ස්වර්ගයට යන්න නියමිතයි. ඒ නිසා ඔවුන්ව පාගා දමනවා කියා කීම හරියට ශුද්ධ නුවර පාගා දමනවා හා සමානයි.
සාක්ෂිකරුවන් දෙදෙනා
10. පාගා දමන අතරතුරේදී යෙහෝවා දෙවිගේ මෙම විශ්වාසවන්ත සාක්ෂිකරුවන් කළ යුත්තේ කුමක්ද?
10 දෙවිට ළැදිව සිටින මේ අයව පාගා දමනු ලැබුවත් ඔවුන් දිගටම යෙහෝවා දෙවිගේ විශ්වාසවන්ත සාක්ෂිකරුවන් ලෙස සිටිය යුතුයි. ඔවුන් ගැන මෙසේ සඳහන් වෙනවා. “‘මම මාගේ සාක්ෂිකරුවන් දෙදෙනාට ගෝණි රෙදි ඇඳගෙන, දවස් එක්දාස් දෙසීය හැටක් අනාවැකි කීමට සලස්වන්නෙමි.’ ඔලීව ගස් දෙකෙන් හා පහන් රුක් දෙකෙන් ඔවුන්ව නියෝජනය වේ. ඔවුහු පොළොවේ ස්වාමීන් ඉදිරියෙහි සිටගෙන සිටිති.”—එළිදරව් 11:3, 4.
11. විශ්වාසවන්ත අභිෂේක ලත් ක්‍රිස්තියානීන් “ගෝණි රෙදි” ඇඳ අනාවැකි කියනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
11 මෙම විශ්වාසවන්ත අභිෂේක ලත් ක්‍රිස්තියානීන් අනාවැකි කියන්නේ “ගෝණි රෙදි” ඇඳගෙනයි. මෙයින් අදහස් කරන්නේ කුමක්ද? බයිබලය ලියූ කාලවලදී ගෝණි රෙදිවලින් ශෝකය සංකේතවත් කළා. කෙනෙක් දැඩි ශෝකයෙන් හා වැලපෙමින් සිටියා නම් ඔහු සාමාන්‍යයෙන් අඳින්නේ ගෝණි රෙදි. (උත්පත්ති 37:34; යෝබ් 16:15, 16; එසකියෙල් 27:31) ඒ වගේම දෙවිගේ අනාගතවක්තෲන් දෙවිගෙන් යම් විනිශ්චයක් හෝ විපතක් ගැන කතා කළ අවස්ථාවලත් ගෝණි රෙදි ගැන සඳහන් කළා. (යෙසායා 3:8, 24-26; යෙරෙමියා 48:37; 49:3) මීට අමතරව කෙනෙක් තම නිහතමානීකම පෙන්වන්නත් දෙවිගේ අනතුරු ඇඟවීම්වලට පසුතැවිලි වී ඇති බව පෙන්වන්නත් ගෝණි රෙදි අඳිනු ලැබුවා. (යෝනා 3:5) එසේනම් මෙම සාක්ෂිකරුවන් දෙදෙනා ගෝණි රෙදි ඇඳීමෙන් අදහස් කරන්නේ ඔවුන් බොහෝ පීඩා යටහත් පහත් ලෙස විඳදරාගනිමින් දෙවිගේ විනිශ්චයන් ප්‍රකාශ කරමින් සිටින බවයි. මීට අමතරව ඔවුන් දෙවිගේ පළිගැනීමේ දවස ගැන ප්‍රකාශ කරමින් සිටින නිසා ජාතීන් අද්දකින දැඩි ශෝකයත් එයට සම්බන්ධ වෙනවා.—ද්විතීය කතාව 32:41-43.
12. ශුද්ධ නුවර පාගා දමන කාලය සැබෑවටම දින 1,260ක් බව කීමට තිබෙන සාක්ෂි මොනවාද?
12 යොහන් පන්තියට ඇත්තටම මේ පණිවුඩය දවස් 1,260ක් දේශනා කිරීමට සිදු වුණා. එම දවස් 1,260 ශුද්ධ නුවර පාගා දමනු ලබන මාස 42ට සමානයි. දිනවලින් සහ මාසවලින් යන දෙවිදිහෙන්ම කියන්නේ එකම කාලයක් ගැන නිසා මෙය ඇත්තටම දවස් 1,260ක් හෝ මාස 42ක් පුරා දිව යන කාලයක් කියා පැවසිය හැකියි. ස්වාමීන්ගේ දවසේ ආරම්භයේදී දෙවිගේ සේවකයන් බොහෝ දුෂ්කරතා අද්දුටු අවුරුදු තුනහමාරක කාලයද මෙයට සමානයි. එය නම් 1914 දෙසැම්බර් මාසයේ සිට 1918 ජූනි මාසය දක්වා දිව ගිය කාලයයි. (එළිදරව් 1:10) ඒ කාලය පුරාම ඔවුන් “ගෝණි රෙදි” ඇඳගෙන ක්‍රිස්තියානියයි කියාගත් රටවල් ඇතුළු මුළු ලෝකයම දෙවිගේ විනිශ්චයන්ට ලක් වන ආකාරය ගැන ප්‍රකාශ කළා.
13. (අ) අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව සාක්ෂිකරුවන් දෙදෙනෙකුට සමාන කර තිබෙන්නේ ඇයි? (ආ) ‘ඔලීව ගස් දෙකකින් හා පහන් රුක් දෙකකින්’ මෙම සාක්ෂිකරුවන් දෙදෙනාව නියෝජනය වන බව කියද්දී අපට මතක් වෙන්නේ සෙකරියාගේ කුමන අනාවැකියද?
13 මේ පණිවුඩය ප්‍රකාශ කරන්නේ සාක්ෂිකරුවන් දෙදෙනෙක් බව කීමෙන් අදහස් කරන්නේ ඔවුන්ගේ පණිවුඩය ඉතා නිවැරදි මෙන්ම ස්ථිර සාක්ෂි මත පදනම් වූ පණිවුඩයක් බවයි. (ද්විතීය කතාව 17:6ද යොහන් 8:17, 18ද බලන්න.) ඔවුන්ව “ඔලීව ගස් දෙකෙන් හා පහන් රුක් දෙකෙන්” නියෝජනය වන බව පවසන යොහන් ඔවුන් ‘පොළොවේ ස්වාමීන් ඉදිරියෙහි සිටගෙන සිටින’ බවත් සඳහන් කරනවා. මෙයින් අපට මතක් වෙන්නේ පහන් සතකින් යුත් පහන් රුකක් හා ඔලීව ගස් දෙකක් දුටු සෙකරියාගේ අනාවැකියයි. මෙම ඔලීව ගස් දෙක “අභිෂේක ලත් තැනැත්තන් දෙදෙනාව” එනම් සෙරුබ්බාබෙල් නම් ආණ්ඩුකාරයා සහ උත්තම පූජක යෝෂුවාව නියෝජනය කරන බව සඳහන් වුණා. ඔවුන් දෙදෙනා “මුළු පොළොවටම ස්වාමීන් ළඟ හිටගෙන සිටින” බවත් සඳහන් වෙනවා.—සෙකරියා 4:1-3, 14.
14. (අ) සෙකරියා දර්ශනයෙන් දුටු ඔලීව ගස් දෙකෙන් සහ පහන් රුකෙන් අදහස් කරන්නේ කුමක්ද? (ආ) පළමු ලෝක මහා යුද්ධය පැවති කාලයේදී අභිෂේක ලත් ක්‍රිස්තියානීන් මුහුණ දුන්නේ කුමකටද?
14 සෙකරියා ජීවත් වූයේ දේවමාලිගාව නැවත ගොඩනැඟූ කාලයේදීයි. ඔහු දර්ශනයෙන් දුටු ඔලීව ගස් දෙකෙන් අදහස් කළේ යෙහෝවා දෙවි සෙරුබ්බාබෙල් සහ යෝෂුවාට තම බලය ලබා දී ආශීර්වාද කරන බවයි. ප්‍රතිඵලයක් ලෙස ජනයාව ඉදි කිරීම් කටයුතු සඳහා දිරිගන්වන්න ඔවුන්ට හැකි වුණා. පහන් රුක දැකීමෙන් සෙකරියාට කාවැද්දුවේ ‘සුළුවෙන් පටන්ගත් දේ හෙළා නොදකින්නටයි.’ ඒ කියන්නේ යෙහෝවා දෙවි අරමුණු කරන දේ ‘හමුදා බලයෙන්වත්, මිනිසාගේ ශක්තියෙන්වත් නොව, දෙවිගේ බලයෙන්’ අනිවාර්යයෙන්ම සිදු වන බවයි. (සෙකරියා 4:6, 10; 8:9, NW) පළමු ලෝක මහා යුද්ධය පැවති කාලයේදී මිනිස් වර්ගයාට සත්‍යාලෝකය නොකඩවා බෙදාහරිමින් සිටි අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ කුඩා කණ්ඩායමට ඒ හා සමාන ‘ඉදි කිරීමේ කටයුත්තක්’ භාර දුන්නා. සෙරුබ්බාබෙල් සහ යෝෂුවා මෙන් ඔවුනුත් මහත් දිරිගැන්වීමක් ලබා දුන් අතර, ඔවුන් කුඩා කණ්ඩායමක් වුණත් සුළුවෙන් පටන්ගත් දේ හෙළා නොදකිමින් යෙහෝවා දෙවිගේ බලය මත රඳා සිටින්න ඔවුන් ඉගෙනගත්තා.
15. (අ) අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව සාක්ෂිකරුවන් දෙදෙනෙකුට සමාන කිරීමෙන් අපගේ මතකයට නැඟෙන්නේ කුමක්ද? පැහැදිලි කරන්න. (ආ) මෙම සාක්ෂිකරුවන් දෙදෙනාට බලය ලැබෙන්නේ කුමක් සිදු කිරීමටද?
15 අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව සාක්ෂිකරුවන් දෙදෙනෙකුට සමාන කිරීමෙන් අපට මතක් වෙන්නේ යේසුස් පොළොවේ සිටිද්දී අන් ස්වරූපයකට පත් වූ අවස්ථාවයි. එම දර්ශනයේදී යේසුස් තේජසට පත් වී ඇති ආකාරයත් ඔහු සමඟ මෝසෙස් සහ එලියා සිටින ආකාරයත් ඔහුගේ ගෝලයන් තිදෙනෙක් දුටුවා. මෙයින් දැක්වූයේ යේසුස් 1914දී දේවරාජ්‍යයේ රජකම ලබාගන්නා විට එම අනාගතවක්තෲන් දෙදෙනා කළා හා සමාන කාර්යයක් යේසුස් කරන බවයි. (මතෙව් 17:1-3) නමුත් මෙම සාක්ෂිකරුවන් දෙදෙනාත් මෝසෙස් හා එලියාට සමානව ලකුණු සිදු කරන බවක් අපි දකිනවා. යොහන් ඒ ගැන මෙසේ විස්තර කරනවා. “යමෙක් ඔවුන්ට අනතුරු කිරීමට කැමති වන්නේ නම්, ඔවුන්ගේ කටවල්වලින් ගින්දර නික්ම ඇවිත් ඔවුන්ගේ සතුරන්ව නාස්ති කර දමන්නේය. යමෙක් ඔවුන්ට අනතුරු කිරීමට කැමති වන්නේ නම්, ඔහුව මෙලෙස මරනු ලැබිය යුතුය. ඔවුන් අනාවැකි කියන දවස්වලදී වැසි නොවසින පිණිස, අහස වසා තැබීමට ඔවුන්ට බලය තිබේ.”—එළිදරව් 11:5, 6අ.
16. (අ) ඔවුන්ගෙන් ගින්නක් නික්මෙන බව කියද්දී ඊශ්‍රායෙල් ජාතිකයන් මෝසෙස්ගේ අධිකාරයට විරුද්ධව කැරලි ගැසූ අවස්ථාව ගැන අපට සිහිවෙන්නේ ඇයි? (ආ) පළමු ලෝක මහා යුද්ධයේදී පූජක පක්ෂය බයිබල් ශිෂ්‍යයන්ට බොහෝ පීඩා ඇති කළේ කෙසේද? ඔවුන් එයට ප්‍රතිප්‍රහාර එල්ල කළේ කෙසේද?
16 මෙයින් අපට මතක් වෙන්නේ ඊශ්‍රායෙල් ජාතිකයන් මෝසෙස්ගේ අධිකාරයට විරුද්ධව කැරලි ගැසූ අවස්ථාවයි. ප්‍රතිඵලයක් ලෙස මෝසෙස් දෙවිගේ විනිශ්චය ඔවුන්ට අනිවාර්යයෙන්ම අත් වන බව ප්‍රකාශ කළා. ඒ අනුව යෙහෝවා දෙවි මෙම කැරලිකරුවන්ව විනාශ කළා. ඔවුන්ගෙන් 250ක්ම විනාශ වුණේ ස්වර්ගයෙන් පැමිණි ගින්නකිනුයි. (ගණන් කතාව 16:1-7, 8-35) ‘ක්‍රිස්තියානි’ පල්ලි නායකයනුත් බයිබල් ශිෂ්‍යයන්ට ඒ හා සමානව විරුද්ධවාදිකම් පෑවා. ඔවුන් කිව්වේ මොවුන් ආගමික සරසවිවල අධ්‍යාපනයක් ලබා නැති නිසා ඔවුන්ට දේවසේවය සඳහා කිසිම සුදුසුකමක් නැති බවයි. නමුත් ඔවුන්ට සුදුසුකම් ඇති බව තහවුරු වුණේ ශුද්ධ ලියවිල්ලෙන් ඔවුන් ඉදිරිපත් කළ පණිවුඩයට ප්‍රතිචාරය දැක්වූ මෘදු ගුණැති මිනිසුන්ගේ සංඛ්‍යාව දෙස බලද්දීයි. (2 කොරින්ති 3:2, 3) වර්ෂ 1917දී මෙම බයිබල් ශිෂ්‍යයන් එසකියෙල් සහ එළිදරව් පොත් පිළිබඳ ප්‍රබල විස්තර සපයන පොතකුත් නිකුත් කළා. (පොතේ නම, The Finished Mystery) ඊට පසු ඔවුන් පිටු හතරකින් යුත් පත්‍රිකාවක පිටපත් 1,00,00,000ක් බෙදාහැරියා. ඒ පත්‍රිකාවේ එක් ලිපියක මාතෘකාව වුණේ “බැබිලෝනියේ වැටීම—ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලි දැන් දුක් විඳින හේතු—එහි අවසාන ප්‍රතිඵලය” යන්නයි. (The Bible Students Monthly) මෙයින් මහත් සේ කුපිත වූ එක්සත් ජනපයේ පූජක පක්ෂය යුදමය වාතාවරණය අතකොළුවක් කරගෙන ඉහත සඳහන් පොත තහනම් කළා. වෙනත් රටවලත් මෙම පොතේ බොහෝ කොටස් කපාහරිනු ලැබුවා. නමුත් දෙවිගේ සේවකයන් නැවත නැවතත් ප්‍රතිප්‍රහාර එල්ල කරමින් පිටු සතරකින් යුත් පත්‍රිකා කිහිපයක්ම නිකුත් කළා. ස්වාමීන්ගේ දවස ගෙවී යද්දී ඔවුන් තවත් පොත් පත් යොදාගෙන ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවල මළ තත්වය අනාවරණය කළා.—යෙරෙමියා 5:14 බලන්න.
17. (අ) එලියාගේ කාලයේදී ඇති වූ නියඟයට හා ගින්නට සම්බන්ධ සිදුවීම් මොනවාද? (ආ) සාක්ෂිකරුවන් දෙදෙනාගේ කටවල්වලින් ගින්දර නික්මුණේ කෙසේද? නියඟයක් ඇති වුණේ කෙසේද?
17 එලියා ගැන කුමක් කිව හැකිද? එලියාගේ කාලයේ ඊශ්‍රායෙල් රාජධානියේ බාල් නමස්කාරය පැවති නිසා දෙවිගේ උදහසේ ප්‍රතිඵලයක් ලෙස නියඟයක් ඇති වන බව එලියා ප්‍රකාශ කළා. එය වසර තුනහමාරක් පුරා පැවතුණා. (1 රාජාවලිය 17:1; 18:41-45; ලූක් 4:25; යාකොබ් 5:17) ඉන්පසුව දුෂ්ට අහසියා රජු එලියාව බලෙන් ගෙන්වා ගැනීම සඳහා හේවායන් යැවූ විට එලියාගේ ඉල්ලීම පරිදි ස්වර්ගයෙන් ගින්දර ඇවිත් ඔවුන්ව දවා දැමුවා. එලියා රජුව හමු වෙන්න එකඟ වුණේ පසුව පැමිණි හමුදාපතියෙක් එලියා අනාගතවක්තෘ කෙනෙක් බව ගෞරවණීයව පිළිගත් විටයි. (2 රාජාවලිය 1:5-16) ඒ හා සමානව 1914 සිට 1918 දක්වා කාලයේදී අභිෂේක ලත් ඉතිරි අය ඉතා නිර්භීතව ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලි දෙවිගෙන් කොතරම් ඈත් වී තිබෙනවාද කියා පෙන්වා දුන්නා. ඒ වගේම ‘යෙහෝවා දෙවිගේ උතුම් වූ භයානක වූ දවසේදී’ ඔවුන්ට ඉතා දරුණු විනිශ්චයකට මුහුණ දෙන්න සිදු වෙයි කියාත් අනතුරු ඇඟෙව්වා.—මලාකි 4:1, 5; ආමොස් 8:11.
18. (අ) සාක්ෂිකරුවන් දෙදෙනාට ලබා දුන්නේ කුමන අධිකාරයක්ද? මෙය මෝසෙස්ට දී තිබූ අධිකාරයට සමාන වුණේ කෙසේද? (ආ) සාක්ෂිකරුවන් දෙදෙනා ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවල සැබෑ තත්වය හෙළි කළේ කෙසේද?
18 සාක්ෂිකරුවන් දෙදෙනා ගැන යොහන් දැන් මෙසේ පවසනවා.“තවද, තමුන් කැමති ඕනෑම විටක ලේ කිරීමට වතුර කෙරෙහිත්, සියලු ආකාර පීඩාවලින් පොළොවට පහර දෙන්නත් ඔවුන්ට බලය තිබේ.” (එළිදරව් 11:6ආ) ඊශ්‍රායෙල්වරුන්ව වහල්භාවයෙන් මුදාහැරීමට පාරාවෝව කැමති කරගැනීම සඳහා යෙහෝවා දෙවි මෝසෙස් මාර්ගයෙන් ඊජිප්තු වැසියන්ට දරුණු පීඩා එව්වා. එයට වතුර ලේ බවට හැරවීමත් ඇතුළත් වුණා. සියවස් ගණනාවකට පසුව ඊශ්‍රායෙල් ජාතිකයන්ගේ සතුරන් වූ පිලිස්තිවරුන් ඊජිප්තුවට එරෙහිව යෙහෝවා දෙවිගේ බලවත් ක්‍රියා සිහියට නඟමින් මෙසේ කෑගැසුවා. “මේ බලවත් දෙවියන්ගේ අතින් අපිව ගලවාගන්නේ කවුද? පාළුකරයේදී පීඩාවලින් පහර දී ඊජිප්තුවරුන්ව විනාශ කළේ මේ දෙවියන් නොවෙයිද?” (1 සාමුවෙල් 4:8, NW; ගීතාවලිය 105:29) යේසුස් මෝසෙස්ට සමාන වුණා. ඔහු මිහිපිට සිටි කාලයේදී ආගමික නායකයන්ට විරුද්ධව දෙවිගේ විනිශ්චයන් ප්‍රකාශ කරන්න ඔහුට අධිකාරයක් දී තිබුණා. (මතෙව් 23:13; 28:18; ක්‍රියා 3:22) ඒ හා සමානව පළමු ලෝක මහා යුද්ධ කාලයේදී සාක්ෂිකරුවන් දෙදෙනා වන යේසුස්ගේ අභිෂේක ලත් සහෝදරයන් ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවල පූජකයන් තම සාමාජිකයන්ට ලබා දුන් “වතුර” මාරාන්තික බව නිර්භීතව ප්‍රකාශ කළා.
සාක්ෂිකරුවන් දෙදෙනාව මරා දමයි
19. එළිදරව් පොතට අනුව සාක්ෂිකරුවන් දෙදෙනා සාක්ෂි දැරීම අවසන් කරද්දී සිදු වෙන්නේ කුමක්ද?
19 ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලි මතට එල්ල වූ පීඩා කොතරම් දරුණු වුණාද කියනවා නම් සාක්ෂිකරුවන් දෙදෙනා ගෝණි රෙදි ඇඳ මාස 42ක් අනාවැකි කීමෙන් පසුව ඔවුන් තම බලපුළුවන්කාරකම් යොදාගෙන ඔවුන්ව ‘මරා දමනවා.’ යොහන් මෙසේ ලියනවා. “ඔවුන් තම සාක්ෂි දැරීම අවසන් කළ විට, අගාධයෙන් නැඟී එන වන මෘගයා ඔවුන්ට විරුද්ධව යුද්ධ කර ඔවුන්ගෙන් ජයගෙන ඔවුන්ව මරා දමන්නේය. ඔවුන්ගේ මෘත දේහ මහත් නුවර ප්‍රධාන වීදියේ තිබෙනවා ඇත. ඒ නුවර නම්, ආත්මික අර්ථයකින් සොදොම් සහ ඊජිප්තුව යනුවෙන් හඳුන්වනු ලබන, ඔවුන්ගේ ස්වාමීන්ව ඇණ ගැසූ ස්ථානයයි. ජනයන්ගෙන්ද, ගෝත්‍රවලින්ද, භාෂාවලින්ද, ජාතීන්ගෙන්ද වූ මනුෂ්‍යයෝ ඔවුන්ගේ මෘත දේහ දෙස දවස් තුනහමාරක් බලා සිටින්නෝය. ඔවුන්ගේ මෘත දේහ සොහොන් ගෙයක තැන්පත් කිරීමට ඔවුහු ඉඩ නොදෙන්නෝය. ඒ අනාගතවක්තෘවරුන් දෙදෙනා පොළොවේ වාසය කරන අයට වධ දුන් නිසා, පොළොවේ වාසය කරන අය ඔවුන් ගැන ප්‍රීති සන්තෝෂ වෙමින් එකිනෙකාට තෑගි යවන්නෝය.”—එළිදරව් 11:7-10.
20. ‘අගාධයෙන් නැඟී එන වන මෘගයාගෙන්’ නියෝජනය වෙන්නේ කුමක්ද?
20 වන මෘගයෙක් ගැන එළිදරව් පොතේ සඳහන් වන වතා 37න් මෙය පළමුවැන්නයි. මෙම වන මෘගයා හා වෙනත් මෘගයන් පිළිබඳ විස්තර පසුවට සාකච්ඡා කෙරෙනවා. නමුත් “අගාධයෙන් නැඟී එන වන මෘගයා” සාතන්ගේ බලපෑම යටතේ පවතින සියලුම දේශපාලන ක්‍රම නියෝජනය කරන බව දැනට මතක තබාගනිමු.b—එළිදරව් 13:1ද දානියෙල් 7:2, 3, 17ද බලන්න.
21. (අ) සාක්ෂිකරුවන් දෙදෙනාගේ සතුරන් යුදමය වාතාවරණය තම වාසියට හරවාගත්තේ කෙසේද? (ආ) සාක්ෂිකරුවන් දෙදෙනාගේ මළ සිරුරු භූමදාන නොකිරීමෙන් පැහැදිලි වෙන්නේ කුමක්ද? (ඇ) දවස් තුනහමාරේ කාලය සැලකිය යුත්තේ කෙසේද? (පාදසටහන බලන්න.)
21 වර්ෂ 1914 සිට 1918 දක්වා ජාතීන් පළමු ලෝක මහා යුද්ධයට හවුල් වී සිටියා. ජාතිවාදී හැඟීම් ඉතා උත්සන්න වුණා. වර්ෂ 1918 වසන්ත කාලයේදී සාක්ෂිකරුවන් දෙදෙනාට විරුද්ධ වූ ආගමික නායකයන් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තා. ඔවුන් රටේ නීතිය අතකොළුවක් කරගෙන බයිබල් ශිෂ්‍යයන් අතර සිටි වග කිව යුතු අයට විරුද්ධව බොරු චෝදනා එල්ල කර ඔවුන්ව සිරගත කළා. මෙය බයිබල් ශිෂ්‍යයන්ට දැඩි පහරක් වුණා. ඔවුන්ගේ සේවා කටයුතු සම්පූර්ණයෙන්ම වගේ නතර වුණා. ඔවුන් කළ දේශනා සේවය “මිය ගියා” කියා පැවසුවොත් නිවැරදියි. අතීතයේ කෙනෙකුව සොහොන් ගෙයක තැන්පත් කරන්නේ නැත්නම් එය ලොකු නින්දාවක් වුණා. (ගීතාවලිය 79:1-3; 1 රාජාවලිය 13:21, 22) සාක්ෂිකරුවන් දෙදෙනාවත් තැන්පත් නොකළේ ඔවුන්ට මහත් නින්දාවක් ඇති කරන්නයි. උණුසුම් දේශගුණයක මළ සිරුරක් එළිමහනේ තැබුවොත් දවස් තුනහමාරකට පසු එයින් ප්‍රබල දුගඳක් හමනවා.c යන එන අයට එය පිළිකුලක් වෙනවාට සැකයක් නැහැ. (යොහන් 11:39 බලන්න.) මේ සියල්ලෙන් පෙනී යන්නේ සාක්ෂිකරුවන් දෙදෙනාට මොන තරම් නින්දා අපහාස විඳින්න සිදු වුණාද කියායි. සිරගත කළ වග කිව යුතු අයට ඇප දුන්නේවත් නැහැ. ‘මහත් නුවරේ’ සියලුදෙනා ඉදිරියේ සෑහෙන කාලයකට ඔවුන් දුගඳක් මෙන් නින්දාවට ලක් වුණා. මෙම ‘මහත් නුවරෙන්’ අදහස් කරන්නේ කුමක්ද?
22. (අ) මහත් නුවරෙන් අදහස් කරන්නේ කුමක්ද? (ආ) සාක්ෂිකරුවන් දෙදෙනාව නිහඬ කිරීම ගැන පූජක පක්ෂය සමඟ එකතු වූ මාධ්‍යයත් සතුට පළ කළේ කෙසේද? (කොටුව බලන්න.)
22 මෙය තේරුම්ගන්න යොහන් අපට තවත් විස්තර සපයනවා. ඔහු කියන්නේ යේසුස්ව ඇණ ගසනු ලැබුවේ එහිදී බවයි. එසේ පවසද්දී අපේ මනසට එන්නේ යෙරුසලම් නුවරයි. නමුත් ඒ මහත් නුවරට සොදොම සහ ඊජිප්තුව කියාත් කියන බව ඔහු පවසනවා. යෙරුසලමේ අපවිත්‍රකම් නිසා එම නුවරත් සොදොම කියා හැඳින්වූවා. (යෙසායා 1:8-10; එසකියෙල් 16:49, 53-58ද බලන්න.) සාමාන්‍යයෙන් බයිබලයේ පළමු ලෝක අධිරාජ්‍යය වූ ඊජිප්තුව භාවිත කරන්නේ දැන් පවතින මුළු දුෂ්ට ලෝකයම නියෝජනය කිරීමටයි. (යෙසායා 19:1, 19; යෝවෙල් 3:19) මේ අනුව මෙම මහත් නුවර දූෂිත වූ සංකේතවත් “යෙරුසලම්” නුවරක් නියෝජනය කරනවා. එහි වැසියන් දෙවිට නමස්කාර කරනවා කියා පැවසුවත් සොදොම් හා සමානව ඔවුන් අපවිත්‍ර පව්කාර තත්වයක සිටිනවා. ඊජිප්තුවට සමානව ඔවුන් සාතන්ගේ මේ දුෂ්ට ලෝකයේ කොටසක් බවට පත් වී තිබෙනවා. එමනිසා නොඇදහිලිකාර යෙරුසලමට සමාන වන ක්‍රිස්තියානියයි කියාගන්නා ආගම්වලින් සැදුම් ලත් ලෝක සංවිධානය එම නුවරෙන් නියෝජනය වෙනවා. සාක්ෂිකරුවන් දෙදෙනාගේ දේශනා සේවය නිහඬ කිරීම ගැන වැඩියෙන්ම සතුටු වුණේ ඔවුන්.
ඔවුන් නැඟිට සිටියි!
23. (අ) දවස් තුනහාමාරකට පසු සාක්ෂිකරුවන් දෙදෙනාට සිදු වෙන්නේ කුමක්ද? මෙය ඔවුන්ගේ සතුරන්ට බලපාන්නේ කෙසේද? (ආ) එළිදරව් 11:11, 12 සහ එසකියෙල්ගේ අනාවැකියේ සඳහන් විස්තර නවීන කාලවලදී ඉටු වුණේ කෙසේද?
23 දෙවිගේ ජනයාට නින්දා කරන්න මේ ආගමික පූජකයන් හා එක් වුණු තවත් කණ්ඩායමක් තමයි මාධ්‍යය. එක් පුවත්පතක සඳහන් වුණේ බයිබල් ශිෂ්‍යයන් නිකුත් කර තිබූ පොතකට ප්‍රබල පහරක් එල්ල කරමින් කිව්වේ ඔවුන්ගේ වැඩ කටයුතු “හමාර” වී ඇති බවයි. (පොතේ නම, The Finished Mystery) නමුත් වැරදුණේ ඔවුන්ටයි. සාක්ෂිකරුවන් දෙදෙනා දිගටම මිය ගොස් සිටියේ නැහැ. “ඒ දවස් තුනහමාරට පසුව, දෙවි කෙරෙන් පැමිණි ජීව බලය ඔවුන් තුළට ඇතුල් වී, ඔවුහු නැඟිට සිටියෝය. ඔවුන්ව දුටු අය බොහෝ සේ බියට පත් වූහ. එවිට, ‘මෙතැනට නැඟ එන්න’ යයි කියන ස්වර්ගයෙන් වූ මහත් හඬක් ඔවුන්ට ඇසුණේය. ඔවුන් වලාකුළෙන් ස්වර්ගයට නැඟී ගිය අතර ඔවුන්ගේ සතුරෝද ඔවුන්ව දුටුවෝය.” (එළිදරව් 11:11, 12) එසකියෙල් දුටු දර්ශනයේ මිටියාවතක තිබූ ඇටකටුවලට සිදු වූ දේ හා සමාන දෙයක් මෙම සාක්ෂිකරුවන් දෙදෙනාට සිදු වුණා. ඒ වියළි ඇටකටුවලට යෙහෝවා දෙවි ජීවය දුන්නා. මෙයින් බැබිලෝනියේ අවුරුදු 70ක් පුරා වහල්ව සිටි ඊශ්‍රායෙල් ජාතිය නැවතත් නැඟී සිටි ආකාරය අලංකාරවත් ලෙස චිත්‍රයට නැඟුවා. (එසකියෙල් 37:1-14) එසකියෙල් පොතේ හා එළිදරව් පොතේ ඇති මෙම අනාවැකි දෙකම නූතන කාලවලදී ඉටු වුණේ 1919දීයි. යෙහෝවා දෙවි “මිය ගොස්” සිටි තම සාක්ෂිකරුවන්ව ප්‍රාණවත් කළේ ඒ කාලයේදීයි.
24. සාක්ෂිකරුවන් දෙදෙනාට නැවත ජීවයක් ලැබුණු විට ඔවුන්ට පීඩා කළ අයට එය බලපෑවේ කෙසේද?
24 නිහඬව සිටි ඒ සාක්ෂිකරුවන්ට නැවතත් ජීවය ලැබුණු නිසා ඔවුන්ට පීඩා කළ අය දැඩි කම්පනයකට පත් වුණා. බයිබල් ශිෂ්‍යයන්ගේ වග කිව යුතු අයව සිර කර තබන්න උත්සාහ කළ අයගේ කුමන්ත්‍රණය සාර්ථක වුණේ නැහැ. ඔවුන්ව සිරභාරයෙන් නිදහස් කළා පමණක් නොව සියලුම චෝදනාවලිනුත් පසුව නිදහස් කළා. ඒ බයිබල් ශිෂ්‍යයන් 1919 සැප්තැම්බර් මාසයේ එක්සත් ජනපදයේ ඔහයෝ ප්‍රාන්තයේ සීඩා පොයින්ට් නුවරේ පැවති සමුළුවත් සමඟ ඒ කම්පනය තවත් වැඩි වුණා. එහිදී සිරෙන් නිදහස් වූ සහෝදර ජේ. එෆ්. රදෆඩ් සමුළුවට පැමිණි සියලුදෙනාව දිරිගැන්වූයේ “රාජ්‍යය ප්‍රකාශ කරන්න” යන තේමාවෙන් යුත් කතාවක් දීම මගිනුයි. එය පදනම් වී තිබුණේ එළිදරව් 15:2 සහ යෙසායා 52:7 මතයි. යොහන් පන්තියේ සාමාජිකයන් නැවතත් “අනාවැකි” කීමට එනම් ප්‍රසිද්ධියේ දේශනා කිරීමට පටන්ගත්තා. ඔවුන් දිනෙන් දින වඩාත් නිර්භීතව “ක්‍රිස්තියානි” පල්ලිවල කුහකකම් හෙළි කළා.
25. (අ) “මෙතැනට නැඟී එන්න” කියා සාක්ෂිකරුවන් දෙදෙනාට කියනු ලැබුවේ කවදාද? එයින් අදහස් කළේ කුමක්ද? (ආ) සාක්ෂිකරුවන් දෙදෙනාව නැවත ජීවත් කරවීම මහත් නුවරට ප්රබලව බලපෑවේ කෙසේද?
25 ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලි 1918දී ලැබූ ජයග්‍රහණය නැවත ලබන්න ඔවුන් නැවත නැවතත් උත්සාහ කළා. ඔවුන් මැර පිරිස් යොදාගත්තා. නීතියෙන් ප්‍රශ්න ඇති කරන්න උත්සාහ කළා. ඔවුන් සමහරුන්ව මරන්න පවා කටයුතු කළා. නමුත් ඒ කිසිවක් සාර්ථක වුණේ නැහැ. වර්ෂ 1919න් පසුව නම් මෙම සාක්ෂිකරුන් දෙදෙනාට අත තියන්න පල්ලිවලට කිසිම හැකියාවක් ලැබුණේ නැහැ. ඒ අවුරුද්දේදී තමයි යෙහෝවා දෙවි මෙම සාක්ෂිකරුවන් දෙදෙනාට “මෙතැනට නැඟ එන්න” කියා පැවසුවේ. මෙයින් අදහස් කළේ යෙහෝවා දෙවි තම බලයෙන් ඔවුන්ව ශක්තිමත් කර ස්ථිර කළ බවයි. ප්‍රතිඵලයක් ලෙස ඔවුන් සිටියේ මිනිසුන්ගේ බලපෑම්වලට පරාජය නොවන ශක්තිමත් ආකල්පයක් ඇතුවයි. ඔවුන්ගේ සතුරන්ට ඔවුන්ව පෙනුණත් ඔවුන්ට කිසිවක් කරන්න ඒ සතුරන්ට බැරි වුණා. මහත් නුවරේ අයට මෙය ප්රබලව බලපෑ ආකාරය ගැන යොහන් මෙසේ පවසනවා. “ඒ පැයේදී මහත් භූමිකම්පාවක් ඇති වී, නුවරින් දසයෙන් කොටසක් කඩා වැටුණේය; ඒ භූමිකම්පාවෙන් සත්දහස්දෙනෙක්ද මැරුණෝය. ඉතිරි අය භය වී, ස්වර්ගයේ දෙවිව මහිමයට පත් කළෝය.” (එළිදරව් 11:13) ක්‍රිස්තියානියයි කියාගන්නා රටවල් ඇත්තටම දෙදරුම් කෑවා. නැවතත් ප්‍රාණවත් වූ මෙම අභිෂේක ලත් ක්‍රිස්තියානීන් තම සේවය ආරම්භ කළ විට ඔවුන්ගේ ආගමික නායකයන් අසරණ වුණා. ඒ නුවරේ වැසියන්ගෙන් සියයට දහයක් ඒ කියන්නේ සංකේතවත් 7,000කට එය කොතරම් ප්රබලව බලපෑවාද කියනවා නම් ඔවුන් මිය ගිය බවට සඳහන් වෙනවා.
26. එළිදරව් 11:13හි සඳහන් “නුවරින් දසයෙන් කොටසක්” හා ‘සත්දහස්දෙනා’ කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
26 “නුවරින් දසයෙන් කොටසක්” කියා පවසද්දී අපට මතක් වෙන්නේ පුරාණ යෙරුලසම ගැන යෙසායා කී අනාවැකියයි. ඔහු පැවසුවේ ශුද්ධ වංශයක් ලෙස ඒ නුවරේ දසයෙන් කොටසක් ඉතිරි වන බවයි. (යෙසායා 6:13) අපට 7,000 නමැති සංඛ්‍යාව ගැන කියද්දී මතක් වෙන්නේ ඊශ්‍රායෙල් දේශයේ එලියා සිටි කාලයේදී සිදු වූ දෙයක්. ඒ කාලයේදී ඔහු හිතුවේ දෙවිට විශ්වාසවන්ත සිටින්නේ තමන් පමණක් බවයි. නමුත් යෙහෝවා දෙවි ඔහුට පැවසුවේ බාල්ට දණ නොනැමූ තවත් 7,000දෙනෙක් ඉතිරි වී සිටින බවයි. (1 රාජාවලිය 19:14, 18) මෙම 7,000දෙනාගෙන් අදහස් වන දේ ක්‍රි.ව. පළමුවන සියවසේදී පාවුල් පැහැදිලි කළා. ඔහු කිව්වේ යේසුස් පිළිබඳ ශුභාරංචියට සවන් දුන් විශ්වාසවන්ත යුදෙව්වන් ස්වල්පය එම සංඛ්‍යාවෙන් නියෝජනය වන බවයි. (රෝම 11:1-5) මේ අනුව එළිදරව් 11:13හි සඳහන් ‘සත්දහස්දෙනාගෙන්’ සහ ‘නුවරින් දසයෙන් කොටසෙන්’ අදහස් වෙන්නේ නැවත ප්‍රාණවත් කරනු ලැබූ සාක්ෂිකරුවන් දෙදෙනාට සවන් දී පව්කාර මහත් නුවරින් ඉවත් වන අය බව අපට පැහැදිලියි. ඔවුන් මිය යනවා කීමෙන් අදහස් වෙන්නේ ඔවුන් ක්‍රිස්තියානියයි කියාගන්න පල්ලි අත්හැරීමයි. ඔවුන් තවදුරටත් ඒ පල්ලිවල සාමාජිකයන් නෙවෙයි. ඒ අර්ථයෙන් ගත් කල ඒ පල්ලිවලට ඔවුන් මිය ගියා හා සමානයි.d
27, 28. (අ) ‘ඉතිරි අය ස්වර්ගයේ දෙවිව මහිමයට පත් කළා’ කීමෙන් අදහස් වෙන්නේ කුමක්ද? (ආ) පල්ලිවල පූජකයන්ට පිළිගන්න සිදු වුණේ කුමක්ද?
27 නමුත් ‘[පල්ලිවල] ඉතිරි අය ස්වර්ගයේ දෙවිව මහිමයට පත් කළේ’ කෙසේද? ඔවුන් තමන්ගේ ව්‍යාජ ආගම් අත්හැර දෙවිගේ සේවකයන් බවට නම් පත් වුණේ නැහැ. “ස්වර්ගයේ දෙවිව මහිමයට පත් කළෝය” යන වාක්‍යයේ අදහස පැහැදිලි කරමින් එක් බයිබල් විශ්වකෝෂයක මෙසේ සඳහන් වෙනවා. “මෙයින් අදහස් කරන්නේ පසුතැවිලි වීමක්වත්, ස්තුති දීමක්වත්, ආගම වෙනස් කිරීමක්වත් නෙවෙයි. එය නිකම්ම පිළිගැනීමක් පමණයි. යෝෂුවා 7:19 (සෙප්ටූඅජින්ට් පරිවර්තනය)ද, යොහන් 9:24ද, ක්‍රියා 12:23ද, රෝම 4:20ද, බලන්න.” (Vincent’s Word Studies in the New Testament) බයිබල් ශිෂ්‍යයන් අදහන දෙවි ඔවුන්ව නැවතත් සේවය සඳහා ප්‍රාණවත් කිරීමෙන් මහත් ආශ්චර්යයක් සිදු කර ඇති බව ක්‍රිස්තියානි ලෝකයේ පල්ලිවලට අකමැත්තෙන් වුණත් පිළිගන්න සිදු වුණා. ඔවුන් දෙවිව මහිමවත් කරන්නේ මේ අදහසිනුයි.
28 පල්ලිවල පූජකයන් ප්‍රසිද්ධියේ නොව නමුත් පෞද්ගලිකව මේ කාරණාව පිළිගත් බව පැවසිය හැකියි. ඔවුන්ගෙන් කිසිවෙක් මෙම සාක්ෂිකරුවන් දෙදෙනාගේ දෙවිව ප්‍රසිද්ධියේ පිළිගත් බවට කිසිම වාර්තාවක් නැහැ. නමුත් යොහන්ට යෙහෝවා දෙවි දුන් අනාවැකියෙන් අපට පෙනෙන්නේ ඔවුන්ගේ සිත්වල තිබුණු දේ කුමක්ද කියායි. ඔවුන්ට 1919දී ඇති වූ නින්දාව තේරුම්ගන්නත් අපට ඉන් හැකි වෙනවා. ඒ වසරේ පටන් ක්‍රිස්තියානියයි කියාගන්නා මේ පල්ලිවලින් “සත්දහසක්” පිට වී යන්න පටන්ගත්තා. තමන්ගෙන් මෙසේ ඈත් වන අය රඳවාගන්න ඔවුන් කොතරම් උත්සාහ කළත් එය සාර්ථක වුණේ නැහැ. යොහන් පන්තිය නමස්කාර කරන දෙවි තමන්ගේ දෙවියන්ට වඩා බොහෝ බලවත් බව මේ පූජක පක්ෂයට පිළිගන්න සිදු වුණා. කාලයත් සමඟ පල්ලිවලින් තව තවත් අය ඉවත් වෙද්දී ඔවුන්ට මෙම කාරණය තවත් පැහැදිලි වුණා නිසැකයි. ඒ පුරාණයේදී එලියා කර්මෙල් කන්දේදී බාල් වන්දනාකරුවන් පරාජය කරද්දී සෙනඟ එය දැක “යෙහෝවා දෙවිමය, යෙහෝවා දෙවිමය” කියා කෑ ගැසුවා හා සමානවයි.—1 රාජාවලිය 18:39.
29. යොහන් පවසන ආකාරයට ඉක්මනින් පැමිණෙන්නේ කුමක්ද? ‘ක්‍රිස්තියානි’ පල්ලිවලට තවත් බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද?
29 නමුත් යොහන් මෙසේ පවසනවා. “දෙවන දුක පසු වී තිබේ. බලන්න! තුන්වන දුක ඉක්මනින් පැමිණෙන්නේය.” (එළිදරව් 11:14) මෙතෙක් සිදු වූ දේ ගැන ‘ක්‍රිස්තියානි’ පල්ලි සමූහය කම්පනයට පත් වී ඇත්නම්, තුන්වන දුක ප්‍රකාශ වන විටත්, සත්වන දේවදූතයා තම හොරණෑව පිඹින විටත්, දෙවිගේ පරිශුද්ධ රහස ඉටු කරනු ලබන විටත් මේ පල්ලි කුමක් කරාවිද?—එළිදරව් 10:7.
[පාදසටහන්වල]
a මෙම ශ්‍රේෂ්ඨ දේවමාලිගාව ගැන සම්පූර්ණ සාකච්ඡාවක් සඳහා 1996 ජූලි 1 මුරටැඹ කලාපයේ “යෙහෝවාගේ ශ්‍රේෂ්ඨ ආත්මික දේවමාලිගාව” යන ලිපිය සහ 1972 දෙසැම්බර් 1 ඉංග්‍රීසි මුරටැඹ කලාපයේ “නමස්කාර කිරීමට තිබෙන එකම සැබෑ දේවමාලිගාව” යන ලිපිය බලන්න.
b “අගාධය” (ග්‍රීක, ඇබිසොස්; හෙබ්‍රෙව්, ටෙහෝම්) යන්න භාවිත කර තිබෙන්නේ කිසිම දෙයක් සිදු නොවන සංකේතවත් ස්ථානයක් විස්තර කිරීමටයි. (එළිදරව් 9:2 බලන්න.) එය වචනානුසාරයෙන් ගත්තොත් මහා මුහුද විස්තර කිරීමට භාවිත කළ හැකියි. හෙබ්‍රෙව් වචනය බොහෝදුරට භාවිත කරන්නේ මෙවැනි අර්ථයක් ලබා දීමටයි. (ගීතාවලිය 71:20; 106:9; යෝනා 2:5) මේ අනුව “අගාධයෙන් නැඟී එන වන මෘගයා” ‘මුහුදෙන් මතු වෙන වන මෘගයා’ ලෙසද හැඳින්විය හැකියි.—එළිදරව් 11:7; 13:1.
c දෙවිගේ සේවකයන්ගේ අද්දැකීම් සෝදිසි කරන විට අපට පෙනී යන්නේ මාස 42න් ඇත්තටම අවුරුදු තුනහමාරක කාලයක් නියෝජනය වන බවයි. නමුත් දවස් තුනහමාරෙන් පැය 84ක කාලයක් නියෝජනය වෙන්නේ නැහැ. මෙම දවස් තුනහමාර ගැන වතා දෙකකදී (9 සහ 11වන පදවල) සඳහන් කරන්නේ ඊට කලින් පිහිටි අවුරුදු තුනහමාරක කාලයට වඩා එය ඉතා කෙටි කාලයක් බව අවධාරණය කිරීමටයි.
d ‘මිය යෑම’ හා ‘ජීවත් වීම’ යන අදහස ඇති වචන රෝම 6:2, 10, 11; 7:4, 6, 9; ගලාති 2:19; කොලොස්සි 2:20; 3:3 යන පදවල භාවිත කර ඇති ආකාරය බලන්න.
[168වන පිටුවේ කොටුව]
එළිදරව් 11:10 ඉටු වූ ආකාරය
රේ එච්. ඒබ්‍රම්ස් 1933දී පළ කළ පොතක පූජක පක්ෂය බයිබල් ශිෂ්‍යයන් නිකුත් කළ පොතකට (The Finished Mystery) දැඩි විරෝධය දැක්වූ ආකාරය ගැන සඳහන් කළා. (ඔහුගේ පොතේ නම, Preachers Present Arms) පූජකයන් බයිබල් ශිෂ්‍යයන්ව අතුගා දමන්න හා “වසංගතයකට” සමාන ඔවුන්ගේ දේශනා සේවය නතර කර දමන්න දැඩි වෑයමක් දැරූ බව ඔහු එහි සඳහන් කර තිබුණා. ප්‍රතිඵලයක් ලෙස සහෝදර රදෆඩ්ට සහ ඔහු සමඟ සේවය කළ සත්දෙනෙකුට දිගු සිර දඬුවමක් ලැබුණා. ආචාර්ය ඒබ්‍රම්ස් මෙසේද පවසනවා. “මෙම සිර දඬුවමට සම්බන්ධ සියලුම සිද්ධීන් හොඳින් පරීක්ෂා කර බැලුවොත් පෙනී යන්නේ රසල්ගේ බයිබල් ශිෂ්‍යයන්ව සහමුලින්ම නැති කර දමන්න මුල් වුණේ පල්ලි සහ පූජකයන් බවයි. වර්ෂ 1918 පෙබරවාරි මාසයේ කැනඩාවේ සිටි දේවගැතිවරුන් ඔවුන්ටත් ඔවුන්ගේ පොත් පත්වලටත් විරුද්ධව දැඩි පියවර ගත්තා. කැනඩාවේ එක් පුවත්පතකට අනුව “ඔවුන්ගේ එක් පොතක් (The Finished Mystery) තහනම් කරන්න ඍජුවම හේතු වුණේ ‘පූජකයන්ගේ බලපෑමයි.’”
ආචාර්ය ඒබ්‍රම්ස් මෙසේද පවසනවා. “බයිබල් ශිෂ්‍යයන්ගේ ප්‍රධාන නිලධාරීන්ට වසර 20ක සිර දඬුවම් ලැබෙන බව ආරංචි වූ විට ආගමික පුවත්පත් සෑම එකකම පාහේ මෙම පුවත ඉතාමත් ප්‍රීතියෙන් වාර්තා කරනු ලැබුවා. ඒ කාලයේ එකම ආගමික පුවත්පතකවත් ඒ බයිබල් ශිෂ්‍යයන්ට පක්ෂව කතා කර තිබුණේ නැහැ. අප්ටන් සින්ක්ලෙයාර් මහතා පැවසුවේ ‘මොවුන්ට විඳින්න සිදු වුණු පීඩා රැල්ල “සම්මත” ආගම්වල වෛරයේ ප්‍රතිඵලයක් බව අපට හොඳටම පැහැදිලියි’ කියායි. සියලුම පල්ලි එකතු වී කරගන්න බැරි වූ දේ රජය මගින් ඉටු කරගත් බවක් පෙනී ගියා.” ඊළඟට ඔහු බොහෝ ආගමික පුවත්පත්වල බයිබල් ශිෂ්‍යයන්ට විරුද්ධව පළ කළ නිග්‍රහ සහ අවලාද කිහිපයක් ගැන සඳහන් කළා. අභියාචනා අධිකරණය කලින් ගත් තීන්දුව වෙනස් කරමින් බයිබල් ශිෂ්‍යයන්ව නිදහස් කළ විට ඒ ආගමික නායකයන්ගේ ප්‍රතිචාරය ගැන ආචාර්ය ඒබ්‍රම්ස් පවසන්නේ මෙයයි. “ඔවුන්ව නිදහස් කිරීම සඳහා දුන් තීන්දුව ගැන පල්ලි නායකයන් වචනයක්වත් කතා කළේ නැහැ.”
[163වන පිටුවේ පින්තූරය]
යොහන් දේවමාලිගාව මනිනවා—අභිෂේක ලත් පූජක පන්තිය යම් ප්‍රමිතියකට අනුව ජීවත් විය යුතුයි
[165වන පිටුවේ පින්තූර]
සෙරුබ්බාබෙල් සහ යෝෂුවාගේ ප්‍රධානත්වයෙන් පටන්ගත් ඉදි කිරීමෙන් පැහැදිලි වුණේ ස්වාමීන්ගේ දවසේ සිට සුළුවෙන් පටන්ගත් දේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට විශාල වර්ධනයක් ගෙන දෙන බවයි. අපගේ අවශ්‍යතා පිරිමසාගැනීමට නිව් යෝක් නුවරේ බෘක්ලින්වල පිහිටි ගොඩනැඟිලි සංකීර්ණය වැනි ගොඩනැඟිලි සංකීර්ණ තව තවත් විශාල කරන්න සිදු වී තිබෙනවා
[166වන පිටුවේ පින්තූර]
සාක්ෂිකරුවන් දෙදෙනා ප්‍රකාශ කළ ප්‍රබල පණිවුඩ මෝසෙස් හා එලියා කළ කාර්යයට සමානයි
[169වන පිටුවේ පින්තූර]
එසකියෙල් 37වන පරිච්ඡේදයේ සඳහන් වියළි ඇටකටුවලට සිදු වුණාක් මෙන් ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය සඳහා සාක්ෂිකරුවන් දෙදෙනාට නැවත ජීවය දෙනවා