තුන්වන සහස්‍රය ඇරඹෙන්නේ කවදාද?
තුන්වන සහස්‍රය ඇරඹෙන්නේ 2000දී නොව 2001දී කියා පවසනවා ඔබ අසා ඇද්ද? යම් දුරකට එම ප්‍රකාශය සත්‍යයක්. යම් කලෙක සමහරු සිතූ පරිදි, ක්‍රි.පූ. 1වනදා වශයෙන් දැන් සැලකෙන දිනයේදී යේසුස් ක්‍රිස්තුස් ඉපදුණා කියා අපි කල්පනා කරනවා නම්, දෙවන සහස්‍රයේ නිමාව ඇත්තෙන්ම 2000 (1999 නොවේ) දෙසැම්බර් 31වනදාට වැටෙන අතර, තුන්වැන්නේ ආරම්භය 2001 ජනවාරි 1වනදා වනු ඇත.a කෙසේනමුත්, යේසුස් ක්‍රිස්තුස් ඉපදුණේ ක්‍රි.පූ. 1වනදා නොවන බවට අදදින සෑම විශාරදයෙක්ම පාහේ එකඟ වෙනවා. එසේනම්, ඔහු ඉපදුණේ කවදාද?
යේසුස් ඉපදුණේ කවදාද?
යේසුස්ගේ උපත සම්බන්ධයෙන් බයිබලයේ නියමිත දිනයක් හෙළි කරන්නේ නැහැ. කෙසේවුවත්, ඔහු “හෙරොද් රජුගේ දවස්වල” ඉපදුණ බව නම් එහි පවසනවා. (මතෙව් 2:1) හෙරොද් ක්‍රි.පූ. 4වන වසරේ මියගිය අතර යේසුස් ඊට පෙර, සමහරවිට ක්‍රි.පූ. 5 හෝ 6 වැනි පෙර කාලෙක පවා උපත ලැබුවා විය හැකියි කියා බොහෝ බයිබල් විශාරදයන් විශ්වාස කරනවා. හෙරොද්ගේ මරණය සම්බන්ධයෙන් ඔවුන් තම නිගමනයන් පදනම් කරගන්නේ පළමු සියවසේ යුදෙව් ඉතිහාසඥ ෆ්ලේවියස් ජොසීෆස්ගේ ප්‍රකාශයන් මතයි.b
ජොසීෆස්ගේ ප්රකාශයන්ට අනුව, හෙරොද් රජ මියයන්න ටිකකට පෙර චන්ද්‍රග්‍රහණයක් සිදු වී තිබෙනවා. ක්‍රිස්තු පූර්ව 4 මාර්තු 11වනදා අර්ධ චන්ද්‍රග්‍රහණයක් සිදු වූ බවත්, හෙරොද් මියයන්න ඇත්තේ එම වසරේ බවට එය සාක්ෂියක්ය කියාත් බයිබල් විශාරදයන් පෙන්වනවා. කෙසේවුවත්, ක්‍රි.පූ. 1 ජනවාරි 8වනදා පූර්ණ චන්ද්‍රග්‍රහණයකුත්, දෙසැම්බර් 27වනදා අර්ධ චන්ද්‍රග්‍රහණයකුත් සිදු වී තිබෙනවා. ජොසීෆස් යොමු දක්වමින් සිටියේ ක්‍රි.පූ. 1 සිදු වූ එකටද එසේ නැතහොත් ක්‍රි.පූ. 4 සිදු වූ එකටද කියා කීමට කිසිවෙකුට නොහැකියි. ප්‍රතිඵලයක් වශයෙන්, හෙරොද්ගේ මරණයේ නියම වසරට යොමු දැක්වීමට අපට ජොසීෆස්ගේ වචන යොදාගත නොහැකියි. එසේ යොදාගත හැකි වුණත්, වැඩිමනත් තොරතුරු නොමැතිව අපට යේසුස්ගේ උපත තීරණය කළ නොහැකියි.
යේසුස්ගේ උපත පිළිබඳ ප්‍රබලම සාක්ෂිය අපට තිබෙන්නේ බයිබලයෙයි. යේසුස්ගේ ඥාති සහෝදර යොහන් බව්තීස්ත, රෝමානු අධිරාජ්‍යයා වූ තිබේරියස් කායිසර්ගේ 15වන වසරේදී ප්‍රොපේතවරයෙක් වශයෙන් තම වෘත්තිය පටන්ගත් බවට ආනුභාව ලත් වාර්තාව පවසනවා. (ලූක් 3:1, 2) තිබේරියස්ව අධිරාජ්‍යයා හැටියට නම් කරනු ලැබුවේ ක්‍රි.ව. 14 සැප්තැම්බර් 15වනදා බවට ලෞකික ඉතිහාසය ස්ථිර කරනවා; එමනිසා ඔහුගේ 15වන වසර ක්‍රි.ව. 28 අගභාගයේ සිට ක්‍රි.ව. 29 අගභාගය දක්වා දිවයයි. යොහන් ඒ කාලයේදී තම දේවසේවය පටන්ගත් අතර, යේසුස් ඊට මාස හයකට පසුව තම දේවසේවය පටන්ගත් බව පැහැදිලියි. (ලූක් 1:24-31) මෙය ඇතුළු අනික් සාක්ෂි, යේසුස්ගේ දේවසේවයේ ආරම්භය ක්‍රි.ව. 29 සරත් සමයේ බව පෙන්වනවා.c බයිබලයේ ප්‍රකාශ කරන්නේ, යේසුස් ඔහුගේ දේවසේවය ආරම්භ කරද්දී “අවුරුදු තිහක් පමණ වයස්ව” සිටි බවයි. (ලූක් 3:23) ක්‍රිස්තු වර්ෂ 29 සරත් සමයේදී ඔහු වයස අවුරුදු 30ක්ව සිටියා නම්, ඔහු ඉපදෙන්න ඇත්තේ ක්‍රි.පූ. 2 සරත් සමයේදීයි. දැන්, අපි ක්‍රි.පූ. 2 සරත් සමයේ සිට ඉදිරියට වසර දෙදාහක් ගණන් කරනවා නම් (බිංදු වසරක් නැති නිසා ක්‍රි.පූ. 2 සිට ක්‍රි.ව. 1ට වසර දෙකක් බව මතක තබාගනිමින්), දෙවන සහස්‍රය නිම වී, තුන්වන සහස්‍රය පටන්ගත්තේ 1999 සරත් සමයේදී බව අපට වැටහෙනවා!
එය වැදගත්ද? උදාහරණයක් හැටියට, තුන්වන සහස්‍රයේ ආරම්භය, එළිදරව් පොතේ සඳහන් පරිදි යේසුස් ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනයේ පටන්ගැන්ම වේවිද? නැහැ. තුන්වන සහස්‍රය හා ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනය අතර යම් සම්බන්ධකමක් තිබෙන බව බයිබලයේ කොතැනකවත් අඟවන්නේ නැහැ.
දිනවල් ගැන අනුමාන කිරීම සම්බන්ධයෙන් යේසුස් තම ගෝලයන්ට අවවාද කළා. ඔහු තම ගෝලයන්ට මෙසේ පැවසුවා: “[පියා] තමන්ගේම බලය යටතේ තබාගත් කාලයන්ද ප්‍රස්තාවන්ද දැනගැනීම නුඹලාට අයිති නැත.” (ක්‍රියා 1:7) ක්‍රිස්තුස්ගේ සහස්ර පාලනයට මාර්ගය පිළියෙළ කරමින් මෙම දුෂ්ට පිළිවෙළ මත දෙවි විනිශ්චය ගෙනෙනු ඇත්තේ කවදාද කියා තමාවත් දැන නොසිටි බව පෙර දිනක යේසුස් හෙළි කළා. ඔහු මෙසේ පැවසුවා: “ඒ දවස හා පැය මාගේ [පියා] මිස දන්නා කෙනෙක් නැත; ස්වර්ගයෙහි දේවදූතයන්වත් පුත්‍රයාවත් දන්නේ නැත.”—මතෙව් 24:36.
මනුෂ්‍යයෙකු වශයෙන් යේසුස් උපත ලැබූ දිනයේ සිට හරියටම වසර 2,000ක් ගෙවී ගිය ගමන්ම ක්‍රිස්තුස් යළි පැමිණෙන බව අපේක්ෂා කිරීම සාධාරණද? නැහැ. එය සාධාරණ නැහැ. යේසුස් ඔහුගේ උපන් දිනය දැනගෙන ඉන්න ඇති. එමෙන්ම ඒ දිනයේ සිට වසර 2,000ක් ගණන් කරන ආකාරය ඇත්තෙන්ම ඔහු දැනගෙන සිටියා. එහෙත්, ඔහුගේ පැමිණීමේ දවස හා පැය ඔහු දැනගෙන සිටියේ නැහැ. ඔහුගේ පැමිණීමේ දවස හරියටම කියන එක හිතන තරම් පහසු නැති බව අමුතුවෙන් කිව යුතු නැහැ! ‘කාලවල් හා ප්‍රස්තාවන්,’ පියාගේ අධිකාරියේ පවතින්නක්; කාල සටහන දැනගැනීමේ අයිතිය තිබෙන්නේ ඔහුට පමණයි.
එපමණක්ද නොව, විශේෂ භූගෝලීය ස්ථානයකට වී බලා සිටින්න කියා යේසුස් පැවසුවෙත් නැහැ. ඔහු ඔවුන්ට පැවසුවේ එකට එක්රැස් වී බලා සිටීමට නොව නමුත් “පොළොවේ සීමාව දක්වා” විසිර ගොස් සියලු ජාතීන්ව ගෝලයන් කිරීමටයි. ඔහු කවදාවත් එම ආඥාව අවලංගු කළේ නැහැ.—ක්‍රියා 1:8; මතෙව් 28:19, 20.
සහස්‍රය පිළිබඳ ඔවුන්ගේ බලාපොරොත්තු සුන් වේවිද?
කෙසේනමුත්, ඇතැම් ආගමික මූලධර්මවාදීන්ට වසර 2000 සම්බන්ධයෙන් ඉමහත් අපේක්ෂාවන් තිබෙනවා. ඊළඟ මාස කීපය තුළදී, එළිදරව් පොතේ තිබෙන ආකාරයටම සමහර දේවල් ඉටු වෙයි කියා ඔවුන් විශ්වාස කරනවා. ඇත්තෙන්ම, ඔවුන් කල්පනා කරන්නේ එම ඉටුවීම සඳහා ඔවුන්ද පෞද්ගලිකව හවුල් වන බවයි. උදාහරණයක් වශයෙන්, “සොදොම සහ මිසරයත්යයි ආත්මික අර්ථයෙන් කියනු ලබන, ඔවුන්ගේ [ස්වාමීන්] කුරුසියෙහි [වධකණුවෙහි, NW] ඇණගසනලද මහත් නුවර වීථියේ” සාක්ෂිකරුවන් දෙන්නෙක් පිළිබඳව පවසන එළිදරව් 11:3, 7, 8හි වාර්තා වී ඇති අනාවැකියට ඔවුන් යොමු දක්වනවා. සාක්ෂිකරුවන් දෙදෙනා තම සාක්ෂිදැරීම අවසන් කරන විට, පාතාලයෙන් නැඟී එන රෞද්‍ර වන මෘගයෙක් ඔවුන් දෙදෙනාව මරා දමනවා.
වර්ෂ 1998 දෙසැම්බර් 27 ද නියූ යෝක් ටයිම්ස් සඟරාවේ වාර්තාවකට අනුව, එක් ආගමික කණ්ඩායමක නායකයෙක් “තම අනුගාමිකයන්ට පවසා තිබුණේ, ලෝක විනාශය හා ස්වාමීන්ගේ පැමිණීම නිවේදනය කිරීමටත්, ඉන්පසු යෙරුසලමේ වීදිවල සාතන් අතින් මැරුම්කෑමටත් නියමිතව සිටින සාක්ෂිකරුවන් දෙදෙනාගෙන් තමා එක්කෙනෙක් බවයි.” ඊශ්‍රායෙලයේ අධිකාරීන් මේ සම්බන්ධයෙන් කලබල වුණා කියන එක තේරුම්ගන්න පුළුවන්. සමහර අන්තවාදීන් මේ අනාවැකිය තමන් විසින්ම “ඉටු කිරීමට” උත්සාහ කරයි කියාත්, එය යම් අවි ගැටුමක් ඇරඹීමට පවා මඟ පාදයි කියාත් ඔවුන් භය වෙනවා! කෙසේවුවද, තම අරමුණ ඉටු කිරීමට දෙවිට මිනිසාගේ “උපකාරය” අවශ්‍ය වන්නේ නැහැ. බයිබල් අනාවැකි සියල්ලක්ම දෙවිගේ නියමිත කාලයේදී, දෙවිට වුවමනා ආකාරයට සිදු වෙයි.
එළිදරව් පොත ලියවී තිබෙන්නේ “ලකුණුවලින්, [NW].” එළිදරව් 1:1ට අනුව, කෙටි කාලයකින් සිදුවීමට යන දේ “තමන්ගේ දාසයන්ට” (පොදුවේ ලෝකයට නොව) හෙළි කිරීමට යේසුස්ට වුවමනා වුණා. එළිදරව් පොත තේරුම්ගැනීමට, ක්‍රිස්තුස්ගේ සේවකයන්ට හෝ අනුගාමිකයන්ට දෙවිගේ ශුද්ධාත්මය අවශ්‍ය වේවි. එමෙන්ම, තමන්ව සතුටු කරන අයට දෙවි එය දෙනවා. එළිදරව් පොතේ ඇති දේ ඇති සැටියෙන්ම තේරුම්ගත යුත්තක් නම්, ඇදහිල්ලක් නැති අයට පවා එය කියවා තේරුම්ගත හැකියි. එසේනම් එය තේරුම්ගැනීමට ශුද්ධාත්මයේ උපකාරය පතා යාච්ඤා කිරීමට ක්‍රිස්තියානීන්ට අවශ්‍යතාවක් නැහැ.—මතෙව් 13:10-15.
බයිබල් සාක්ෂිවලට අනුව, යේසුස්ගේ උපතෙන් පසුව තුන්වන සහස්‍රය පටන්ගන්නේ 1999 ආරම්භයේදී වන අතර, එම දිනයේවත්, 2000 ජනවාරි 1වනදාවත්, 2001 ජනවාරි 1වනදාවත් විශේෂ වැදගත්කමක් නැති බව අප දුටුවා. එහෙත්, ක්‍රිස්තියානීන් ගැඹුරු උනන්දුවක් දක්වන සහස්රයක් තිබෙනවා. තුන්වන සහස්‍රය නොවේ නම් එය කුමන එකද? මේ ලිපි මාලාවේ අවසාන ලිපිය මේ ප්‍රශ්නයට උත්තර සපයයි.
[පාදසටහන්වල]
a 5වන පිටුවේ “2000ද, 2001ද?” යන කොටුව බලන්න.
b මෙම විශාරදයන්ගේ කාල නිර්ණයට අනුව, තුන්වන සහස්‍රය උදා වෙන්න ඇත්තේ 1995 හෝ 1996දීයි.
c වැඩි විස්තර සඳහා කරුණාකර Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය (ඉංග්‍රීසියෙන්), 1 වෙළුම, 1094-5 පිටු බලන්න.
[5වන පිටුවේ කොටුව]
2000ද, 2001ද?
යේසුස්ගේ උපතෙන් පසු තුන්වන සහස්‍රය උදා වන්නේ 2001 ජනවාරි 1වනදා කියා සමහරු පැවසීමට හේතුව තේරුම්ගැනීම සඳහා මේ නිදසුන සලකා බලන්න. ඔබ පිටු 200ක පොතක් කියවනවායයි සිතන්න. ඔබ 200වන පිටුවේ මුල් හරිය කියවීමට පටන්ගන්නා විට පිටු 199ක් කියවා අවසානයි; තව එක පිටුවක් තියෙනවා කියවන්න. ඔබ 200 පිටුවේ අවසානයට එන තුරු පොත කියවා අවසන් කර නැහැ. එලෙසම, 1999 දෙසැම්බර් 31වනදා වන විට, පොදුවේ පිළිගෙන තිබෙන ආකාරයට වත්මන් සහස්‍රයේ වසර 999ක් ගෙවී ගොස් තිබෙනු ඇති අතර, සහස්‍රය නිමවීමට තව වසරක් ගත විය යුතුව තිබෙනවා. එසේ ගණන්ගන්නා විට, තුන්වන සහස්‍රය පටන්ගන්නේ 2001 ජනවාරි 1වනදායි. කෙසේවෙතත්, මේ ලිපියේ පෙන්වන ආකාරයට යේසුස්ගේ උපන් දිනයේ සිට හරියටම වසර 2000ක් ගත වී ඇති බවක් ඉන් අදහස් වන්නේ නැහැ.
[6වන පිටුවේ කොටුව]
ක්‍රි.පූ.-ක්‍රි.ව. වශයෙන් දින ගණන් කිරීමේ ක්‍රමය ගොඩනැඟුණ ආකාරය
ක්‍රිස්තු වර්ෂ හයවන සියවසේ මුල්භාගයේදී, පාස්කුව සඳහා නිල වශයෙන් දිනයක් නියම කිරීමට පල්ලිවලට ඉඩ සලසන ක්‍රමයක් වර්ධනය කිරීමට Iවන ජුවාම් පාප් විසින් දියොනිසියස් එක්සිගූස් නම් පූජකයෙකුට අණ කළා.
දියොනිසියස් වැඩය පටන්ගත්තා. ඔහු යේසුස්ගේ මරණය පසු කරමින්, යේසුස්ගේ උපන් දිනය කියා ඔහු සිතූ කාලය දක්වා ගණතන් කරගෙන ගොස්, ඉන්පසු එතැන් පටන් වසරෙන් වසර ඉදිරියට ගණන් කළා. දියොනිසියස් යේසුස්ගේ උපතේ සිට කාලපරිච්ඡේදය “ක්‍රි.ව.” (ක්‍රිස්තු වර්ෂය—“අපේ ස්වාමීන්ගේ වර්ෂය”) ලෙස නම් කළා. සෑම වසරකම පාස්කුව ගණන් කිරීමට විශ්වසනීය ක්‍රමයක් පමණක් යොදාගැනීමේ බලාපොරොත්තුවෙන්, දියොනිසියස් නොදැනුවත්වම ක්‍රිස්තුස්ගේ උපතේ සිට ඉදිරියට ගණන් කිරීමේ සංකල්පය හඳුන්වා දුන්නා.
දියොනිසියස් තම ගණන් කිරීම් සඳහා පදනමක් වශයෙන් යොදාගත් වර්ෂයේදී යේසුස් ඉපදුණේ නැති බවට ප්‍රවීණයන් බොහෝදෙනෙක් එකඟ වුණත්, ඔහුගේ ගණන් කිරීමේ ක්‍රමය කාල ප්‍රවාහය තුළ සිදු වූ සිද්ධීන් දැනගැනීමට හා ඒවා එකිනෙකට සම්බන්ධව තිබෙන ආකාරය දැකීමට අපට ඉඩ සලසනවා.