පාඩම් ලිපිය 19
ඔයාට බලපාන එළිදරව්වක්!
‘මේ අනාවැකියේ සඳහන් දේවල් ශබ්ද නඟා කියවන අයට ලැබෙන්නේ ඉමහත් සන්තෝෂයකි.’—එළි. 1:3.
ගීතිකාව 15 දෙවිගේ කුලුඳුල් පුත්‍රයාට ප්‍රශංසාව දෙන්න!
මේ ලිපියෙන්a
1-2. එළිදරව් පොතේ තියෙන තොරතුරු ගැන අපි හොයලා බලන්න ඕනෙ ඇයි?
හිතන්න, ඔයා දැන් යාළුවෙක්ගේ ෆොටෝ ඇල්බම් එකක් බලනවා. ඔහොම ෆොටෝ බලාගෙන යද්දී අඳුරන්නේ නැති ගොඩක් මූණවල් ඔයා දකිනවා. හැබැයි ඔය අතරේ එකපාරටම එක ෆොටෝ එකකට ඔයාගේ ඇහැ යනවා. මොකද ඒ ෆොටෝ එකේ ඔයා ඉන්නවා. ඒක දැක්කාම ඔයා හිතනවා ‘කවදාද මේක ගත්තේ, කොහෙදිද ගත්තේ’ කියලා. ඒ ෆොටෝ එකේ ඉන්න අනිත් අය කවුද කියලත් ඔයා චුට්ටක් ළං වෙලා බලනවා. අනිත් හැම ෆොටෝ එකටම වඩා ඒක ඔයාට විශේෂයි. ඒ ඇයි? මොකද ඒකේ ඔයා ඉන්නවා!
2 එළිදරව් පොතත් හරියට ඒ ෆොටෝ එක වගේ. ඇයි අපි එහෙම කියන්නේ? ඒකට අඩුම ගානේ හේතු දෙකක්වත් තියෙනවා. පළවෙනි හේතුව තමයි ඒ පොත ලියලා තියෙන්නේ අපිට. එළිදරව් පොත පටන්ගද්දීම කියන මේ දෙයින් ඒක පැහැදිලි වෙනවා. “මෙය යේසුස් ක්‍රිස්තුස් විසින් කරන ලද එළිදරව්වකි. එම එළිදරව්ව ඔහුට දෙනු ලැබුවේ දෙවි විසිනි. දෙවි එය ලබා දුන්නේ තව කෙටි කලකින් සිදු වීමට නියමිත දේවල් තම දාසයන්ට පෙන්වීම සඳහාය.” (එළි. 1:1) ඒකෙන් පැහැදිලි වෙනවා එළිදරව් පොත ලියලා තියෙන්නේ හැමෝටම නෙවෙයි, දෙවියන්ගේ සේවකයන්ට කියලා. ඒ කියන්නේ ඒ පොතේ තියෙන අනාවැකිවල ඉටු වීමට අපිත් සම්බන්ධයි. වෙන විදිහකින් කියනවා නම් එළිදරව් පොත කියන ෆොටෝ එකේ අපිත් ඉන්නවා!
3-4. එළිදරව් පොතේ කියන විදිහට ඒකේ තියෙන අනාවැකි ඉටු වෙන්න පටන්ගන්නේ කවදා ඉඳන්ද? ඒක දැනගත්තාම අපි පෙලඹෙන්න ඕනෙ මොනවා කරන්නද?
3 දෙවෙනි හේතුව තමයි ඒ අනාවැකි ඉටු වෙන කාලය. යොහන් කිව්වා “දෙවිගේ බලයේ උපකාරයෙන් ස්වාමීන්ගේ දවසෙහි සිටීමට මට අවස්ථාව ලැබිණ” කියලා. (එළි. 1:10) යොහන් මේ වචන ලියන්නේ ක්‍රි.ව. 96දී විතර. එතකොට “ස්වාමීන්ගේ දවස” පටන් අරන් තිබුණේ නැහැ. (මතෙ. 25:14, 19; ලූක් 19:12) එතකොට කවදාද “ස්වාමීන්ගේ දවස” පටන්ගත්තේ? බයිබල් අනාවැකිවලට අනුව 1914දී යේසුස් ස්වර්ගයේ රජ වුණාම. ඒ අවුරුද්දේ ඉඳන් එළිදරව් පොතේ තියෙන අපේ ජීවිතවලට ප්‍රබල බලපෑමක් ඇති කරන අනාවැකි ඉටු වෙන්න පටන්ගත්තා. “ස්වාමීන්ගේ දවසේ” ජීවත් වෙන අපි දැන් ඒ අනාවැකි ඉටු වෙන විදිහ අපේ ඇස් දෙකෙන්ම දකිනවා.
4 අපි ජීවත් වෙන්නේ තීරණාත්මක කාලෙක. ඒ නිසා එළිදරව් 1:3 කියන මේ දේට අපි විශේෂ අවධානයක් දෙන්න ඕනේ. “මේ අනාවැකියේ සඳහන් දේවල් ශබ්ද නඟා කියවන, ඊට සවන් දෙන, එහි ලියා තිබෙන දේවල් පිළිපදින අයට ලැබෙන්නේ ඉමහත් සන්තෝෂයකි. මන්ද නියමිත කාලය ළඟය.” ඒ අනාවැකියේ තියෙන දේවල් “ශබ්ද නඟා කියවන” එක, ඒවාට “ඇහුම්කන් දෙන” එක, ඒවා “පිළිපදින” එක හරිම වැදගත්. ඒත් අපි පිළිපදින්න ඕනෙ ඒ අනාවැකියේ තියෙන මොන වගේ දේවල්ද?
ඔයාගේ නමස්කාරය දෙවියන් පිළිගනියිද?
5. අපේ නමස්කාරය දෙවියන් පිළිගන්නවාද කියලා අපි නිතරම සෝදිසි කරන්න ඕනේ. ඒ ගැන එළිදරව් පොතේ කාවද්දලා තියෙන්නේ කොහොමද?
5 ක්‍රිස්තියානි සභාවේ වෙන්නේ මොනවාද කියලා යේසුස් හොඳින්ම දන්නවා කියන දේ එළිදරව් පළවෙනි පරිච්ඡේදයේ තියෙන තොරතුරුවලින් පැහැදිලියි. (එළි. 1:12-16, 20; 2:1) කුඩා ආසියාවේ තිබුණ සභා හතට යේසුස් යවපු පණිවිඩවලින් ඒක අපිට තේරුම්ගන්න පුළුවන්. යේසුස් එයාලට දෙවියන් පිළිගන්න විදිහට නමස්කාර කරන්නේ කොහොමද කියලා නිශ්චිත මඟ පෙන්වීම් දුන්නා. ඒ දේවල් අද අපිටත් අදාළයි. සභාවේ නායකයා විදිහට යේසුස් හොඳටම දන්නවා අපිට යෙහෝවා එක්ක තියෙන්නේ මොන වගේ බැඳීමක්ද කියලා. අපිව බලාගන්න යේසුස්ට දීලා තියෙන වගකීම ඔහු පොඩ්ඩක්වත් සැහැල්ලුවට ගන්නේ නැහැ. ඒ නිසා ඔහුගෙන් කිසිම දෙයක් හංගන්න අපිට බැහැ. දෙවියන් පිළිගන්න විදිහට නමස්කාර කරන්න නම් අපේ පැත්තෙන් කරන්න ඕනෙ මොනවාද කියලත් ඔහු දන්නවා. ඒ නිසයි ඒ ගැන ඔහු අපිට මඟ පෙන්වීම් දීලා තියෙන්නේ. ඒ මොනවාද?
6. (අ) යේසුස් කියපු විදිහට එෆීස සභාවේ හිටපු අයට තිබුණේ මොන ප්‍රශ්නෙද? (එළිදරව් 2:3, 4) (ආ) ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?
6 එළිදරව් 2:3, 4 කියවන්න. මුලින් තිබුණ ආදරේ නැති වෙන්න දෙන්න එපා. එෆීසයේ හිටපු ක්‍රිස්තියානීන් ගොඩක් දේවල් විඳදරාගන්නවා කියලත් දුෂ්කරතා මැද එයාලා දිගටම දෙවියන්ට නමස්කාර කරනවා කියලත් යේසුස් කිව්වා. හැබැයි ඒ මොන දේ කළත් එක ප්‍රශ්නයක් තිබුණා. එයාලගේ හිතේ යෙහෝවා ගැන තිබුණ මුල් ආදරේ ඒ වෙද්දී නිවිලයි තිබුණේ. ඒ නිසා ඒ නිවුන ආදරේ ආයෙත් දල්වගන්න ඕනෙ වුණා. එහෙම කළේ නැත්නම් එයාලගේ නමස්කාරය දෙවියන් පිළිගන්නේ නැහැ. මොකක්ද අපි ඒකෙන් ඉගෙනගන්නේ? සමහරවිට අපිත් ගොඩක් දුෂ්කරතාවලට මුහුණ දීලා ඒ හැම දෙයක්ම විඳදරාගන්නවා ඇති. හැබැයි ඒක විතරක් මදි. ඒක කරන චේතනාව ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද කරන දේ විතරක් නෙවෙයි ඒක කරන්නේ ඇයි කියන දේ ගැනත් යෙහෝවා ගොඩක් සැලකිලිමත්. ඔහුට ඕනෙ අපේ හිතේ ඔහු ගැන තියෙන ආදරේ සහ අගය නිසා ඔහුට නමස්කාර කරනවා දකින්නයි.—හිතෝ. 16:2; මාක් 12:29, 30.
7. (අ) සාදිස් සභාවේ හිටපු අයට තිබුණේ මොන ප්‍රශ්නෙද? (එළිදරව් 3:1-3) (ආ) ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?
7 එළිදරව් 3:1-3 කියවන්න. දිගටම සෝදිසියෙන්, අවදිව ඉන්න. සාදිස් සභාවේ ක්‍රිස්තියානීන්ට තිබුණේ වෙනමම ප්‍රශ්නයක්. කලින් උපරිමයෙන් දෙවියන්ට සේවය කළත් කාලයක් යද්දී එයාලා දෙවියන්ට සේවය කරන එක ටිකෙන් ටික අඩු වුණා. ඒ නිසයි යේසුස් එයාලට කිව්වේ ‘අවදි වෙන්න’ කියලා. මොකක්ද පාඩම? ඇත්ත, අපි කලින් කරපු සේවය යෙහෝවා දෙවියන් කවදාවත් අමතක කරන්නේ නැහැ තමයි. (හෙබ්‍රෙ. 6:10) හැබැයි ‘මං ඉස්සර ඇති වෙන්න සේවේ කළානේ, දැන් පොඩ්ඩක් අඩු කළාට කමක් නැහැ’ කියලා හිතන්න අපිට බැහැ. සමහරවිට ඔයා මුහුණ දෙන ප්‍රශ්න නිසා ඇත්තටම කලින් තරම් සේවය කරගන්න ඔයාට බැරුව ඇති. හැබැයි ඔයා “ස්වාමීන් වෙනුවෙන් කරන සේවය” ඔයාගේ උපරිමයෙන් කරනවා නම් අවසානය එන කල් සෝදිසියෙන්, අවදිව ඉන්න ඔයාට පුළුවන්.—1 කොරි. 15:58; මතෙ. 24:13; මාක් 13:33.
8. යේසුස් ලවෝදිසියේ සභාවට කියපු දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද? (එළිදරව් 3:15-17)
8 එළිදරව් 3:15-17 කියවන්න. මුළු හදවතින්ම, උද්යෝගයෙන් නමස්කාර කරන්න. ලවෝදිසියේ සභාවේ හිටපු ක්‍රිස්තියානීන්ට තිබුණේ තවත් ප්‍රශ්නයක්. එයාලගේ නමස්කාරය “ඇල්මැරිලා” තිබුණා. එයාලා දේවල් කළේ ඔහේ කරන්නන් වාලේ. ඒ නිසයි යේසුස් කිව්වේ එයාලා “දුක්ඛිත, අනුකම්පාවක් ලැබිය යුතු තත්වයක” ඉන්නවා කියලා. යෙහෝවාට කරන නමස්කාරය උපරිමයෙන් කරන්න නම් ලවෝදිසියේ සභාවේ හිටපු අය එයාලගේ උද්යෝගය ආයෙත් අවුළගන්න ඕනෙ වුණා. (එළි. 3:19) මොකක්ද පාඩම? ඔයාගේ උද්යෝගයත් ටිකෙන් ටික අඩු වෙනවා කියලා දැනෙනවා නම් දෙවියන් සංවිධානය මාර්ගයෙන් දෙන සැපයුම් ගැන ඔයාගේ හිතේ තියෙන අගය තවත් වැඩි කරගන්න. (එළි. 3:18) සල්ලි නිසා, සැප සම්පත් නිසා දෙවියන්ට කරන නමස්කාරය කවදාවත් දෙවෙනි තැනට දාන්න එපා.
9. යේසුස් පර්ගමම් සහ තියතීරා සභාවලට දීපු උපදෙස්වලින් අපි ඉගෙනගන්නේ මොනවාද?
9 බොරු ඉගැන්වීම් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න. පර්ගමම් සභාවේ හිටපු සමහර අය නිකායන් සහ බෙදීම් ඇති කරගෙන තිබුණ නිසා යේසුස් එයාලට තදින් අවවාද කළා. (එළි. 2:14-16) හැබැයි “සාතන්ගේ ගැඹුරු දේවල්” ප්‍රතික්ෂේප කරපු අය තියතීරා සභාවේ හිටියා. යේසුස් එයාලව අගය කරලා දිගටම සත්‍යය “තදින් අල්ලාගෙන” ඉන්න කියලා එයාලව දිරිගැන්නුවා. (එළි. 2:24-26) ඒත් බොරු ඉගැන්වීම්වලට රැවටිලා, නොමඟ ගිහින් හිටපු ඒ සභාවල අය තමන් කරපු වැරදි ගැන පසුතැවිලි වෙන්න ඕනෙ වුණා. මොකද්ද පාඩම? යෙහෝවා උගන්නලා තියෙන දේවල්වලට එකඟ නැති බොරු ඉගැන්වීම් අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න ඕනේ. මොකද බොරු ඉගැන්වීම් පතුරුවන අය ‘දෙවියන්ට භක්තියක් තියෙනවා කියලා පෙන්නුවත්’ එයාලා වැඩ කරන්නේ “ඒ භක්තියට පටහැනිව.” (2 තිමෝ. 3:5) ඒ ගොඩට වැටෙන්නේ නැතුව ඉන්න අපිට උදව් වෙන්නේ මොකක්ද? ඒ තමයි බයිබලය ගැඹුරින් අධ්‍යයනය කරන එක. එතකොට බොරු ඉගැන්වීම් මොනවාද කියලා අඳුරගෙන ඒවා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න අපිටත් පුළුවන්.—2 තිමෝ. 3:14-17; යූද් 3, 4.
10. පර්ගමම් සහ තියතීරා සභාවලට යේසුස් කියපු දේවල්වලින් අපිට තව මොනවාද ඉගෙනගන්න පුළුවන්?
10 වේශ්‍යාකමට ඔයාගේ ජීවිතේ කිසිම ඉඩක් දෙන්න එපා. අනිත් අය වේශ්‍යාකම් කරද්දී ඒක සැහැල්ලුවට ගන්නත් එපා. පර්ගමම් සහ තියතීරා සභාවල තවත් ප්‍රශ්නයක් තිබුණා. සමහරු වේශ්‍යාකම් කරනවා කියලා දැන දැනත් ඒ සභාවල හිටපු අනිත් අය ඇස් කන් පියාගෙන හිටියා. (එළි. 2:14, 20) මොකක්ද පාඩම? සමහරවිට අපි අවුරුදු ගාණක් තිස්සේ යෙහෝවාට සේවය කරනවා ඇති. සභාවේ ගොඩක් වගකීම් දරනවාත් ඇති. හැබැයි එහෙමයි කියලා අනාචාරයට සම්බන්ධ පිළිකුල් දෙයක් කරකර ‘යෙහෝවා ඒක එච්චර ගණන් ගන්න එකක් නෑ’ කියලා හිතන්න අපිට බැහැ. (1 සාමු. 15:22; 1 පේතෘ. 2:16) මේ ලෝකේ සදාචාර ප්‍රමිති පහතටම කඩාගෙන වැටුණත් අපි උසස් සදාචාර ප්‍රමිතිවලට අනුව ජීවත් වෙයි කියලා යෙහෝවා බලාපොරොත්තු වෙනවා.—එෆී. 6:11-13.
11. මේ වෙන කල් අපි ඉගෙනගත්තේ මොනවාද? (“සභා හතෙන් පාඩම්!” කියන කොටුවත් බලන්න.)
11 මේ වෙන කල් අපි ඉගෙනගත්තේ මොනවාද? අපේ නමස්කාරය යෙහෝවා පිළිගන්නවාද කියලා අපි නිතරම සෝදිසි කරන්න ඕනේ. අපිට තේරුණොත් අපි කරන පුංචිම හරි දෙයක් නිසා දෙවියන් අපේ නමස්කාරය පිළිගන්නේ නැහැ කියලා ඉක්මනින්ම ඒක හදාගන්න පියවර ගන්න ඕනේ. (එළි. 2:5, 16; 3:3, 16) දැන් අපි යේසුස් ඒ සභාවලට මතක් කරපු තව දෙයක් ගැන කතා කරමු.
පීඩාවලට ලෑස්ති වෙන්න
12. ස්මර්ණාව සහ ෆිලදෙල්ෆියා සභාවලට යේසුස් කියපු දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (එළිදරව් 2:10)
12 දැන් අපි ස්මරණාවේ සහ ෆිලදෙල්ෆියාවේ හිටපු සහෝදරයන්ට යේසුස් කියපු දේවල් ටිකක් බලමු. යේසුස් එයාලට කිව්වා පීඩා එද්දී භය වෙන්න එපා කියලා. මොකද දිගටම විඳදරාගන්නවා නම් දෙවියන් එයාලට ආශීර්වාද කරනවා කියලා ඔහු මතක් කළා. (එළිදරව් 2:10 කියවන්න; 3:10) මොකක්ද පාඩම? ඉස්සරහට පීඩාවලට මුහුණ දෙන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්න ඕනේ. ඒ වගේම ඒවා විඳදරාගන්න ලෑස්ති පිට ඉන්නත් ඕනේ. (මතෙ. 24:9, 13; 2 කොරි. 12:10) යේසුස් ඒ සභා දෙකට කියපු දේ අපිට වටින්නේ ඇයි?
13-14. එළිදරව් 12වෙනි පරිච්ඡේදයේ තියෙන සිද්ධීන් දෙවියන්ගේ සෙනඟට බලපාලා තියෙන්නේ කොහොමද?
13 එළිදරව් පොතේ තියෙන තොරතුරුවලින් පැහැදිලි වෙනවා “ස්වාමීන්ගේ දවසේදී” දෙවියන්ගේ සෙනඟට ගොඩක් විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න වෙනවා කියලා. එළිදරව් 12වෙනි පරිච්ඡේදයේ කියනවා දේවරාජ්‍යය පිහිටුවනවාත් එක්කම ස්වර්ගයේ යුද්ධයක් ඇති වුණා කියලා. මිකායෙල් ඒ කියන්නේ යේසුස් සාතන්ටයි, භූතයන්ටයි විරුද්ධව යුද්ධ කළා. (එළි. 12:7, 8) ඒ යුද්ධයෙන් අන්ත පරාජයට පත් වුණ සාතන්වයි, භූතයන්වයි යේසුස් මේ පොළොවට හෙළුවා. එදා ඉඳන් මේ පොළොවේ ජීවත් වෙන අයට උහුලන්න බැරි තරම් දුක් කන්දරාවක් විඳින්න සිද්ධ වෙලා තියෙනවා. (එළි. 12:9, 12) ඒක යෙහෝවාගේ සෙනඟට බලපෑවේ කොහොමද?
14 එළිදරව් පොතේ ඊළඟට විස්තර කරන්නේ පොළොවට හෙලපු සාතන් වැඩ කරන විදිහ ගැන. එදා ඉඳන් සාතන්ට ස්වර්ගයට යන්න බැහැ. ඒ නිසා සාතන් දේවරාජ්‍යයේ නියෝජිතයන්ට ඒ කියන්නේ පොළොවේ ඉතුරු වෙලා ඉන්න “යේසුස් ගැන සාක්ෂි දැරීමේ කාර්යය සතු” අභිෂේක ලත් අයට පීඩා කරනවා කියලා එළිදරව් පොතේ කියනවා. (එළි. 12:17; 2 කොරි. 5:20; එෆී. 6:19, 20) ඒ අනාවැකිය ඉටු වෙලා තියෙන්නේ කොහොමද?
15. එළිදරව් 11වෙනි පරිච්ඡේදයේ කියන “සාක්ෂිකරුවන් දෙන්නාගෙන්” නියෝජනය වුණේ කාවද? එයාලට සිද්ධ වුණේ මොකක්ද?
15 දෙවියන්ගේ සෙනඟට විරුද්ධව ඉන්න අයව අතකොළුවක් කරගත්ත සාතන් දේශනා සේවයේ පෙරමුණ අරන් වැඩ කරපු අභිෂේක ලත් අයට විරුද්ධව ප්‍රහාරයක් දියත් කළා. එළිදරව් පොතේ කියන “සාක්ෂිකරුවන් දෙන්නාගෙන්” නියෝජනය වුණේ දේශනා සේවයේ පෙරමුණ ගත්ත ඒ සහෝදරයන්ව. ඒකේ කියනවා ඒ “සාක්ෂිකරුවන් දෙන්නාව” මරා දානවා කියලා.b (එළි. 11:3, 7-11) ඒක වුණේ කොහොමද? 1918දී ඒ වගේ සහෝදරයන් 8දෙනෙක්ට විරුද්ධව බොරු චෝදනා එල්ල කරලා අවුරුදු ගාණකට හිර දඬුවම් නියම කළා. ඒ නිසා ගොඩක් අය හිතුවේ අභිෂේක ලත් අයගේ වැඩ සම්පූර්ණයෙන්ම නතර වුණා කියලා. ඒ විදිහට බලද්දී සාක්ෂිකරුවන් දෙන්නාව “මරා දැමුවා” කියලා කියන්න පුළුවන්.
16. හිතපු නැති විදිහට 1919දී සිද්ධ වුණේ මොකක්ද? මේ වෙන කල්ම සාතන් කරලා තියෙන්නේ මොනවාද?
16 එළිදරව් 11වෙනි පරිච්ඡේදයේ කියනවා “සාක්ෂිකරුවන් දෙන්නාට” ටික කාලෙකින් ආයෙත් ජීවිතේ ලැබෙනවා කියලා. කොහොමද ඒක ඉටු වුණේ? හිරේ දාලා අවුරුද්දක්වත් යන්න කලින්, ඒ කියන්නේ 1919 මාර්තු වෙද්දී හිතපු නැති දෙයක් වුණා. බලධාරීන් අපේ සහෝදරයන් නිර්දෝෂයි කියලා තීරණය කරලා එයාලව නිදහස් කළා. නිදහස ලැබුණ ගමන්ම එයාලා ආයෙත් සේවය පටන්ගත්තා. හැබැයි එහෙමයි කියලා සාතන් නිකන් හිටියාද? නැහැ. සාතන් දිගටම දෙවියන්ගේ සෙනඟට විරුද්ධව පීඩා “ගංගාවක්” ගෙනාවා. (එළි. 12:15) සාතන් පීඩා ගේන එක අදටත් නවත්තලා නැහැ. අන්න ඒ නිසයි අපි දිගටම ‘විඳදරාගෙන ස්ථිර විශ්වාසයකින් ඉන්න ඕනේ.’—එළි. 13:10.
යෙහෝවා ඔයාට භාර දීලා තියෙන වැඩේ උපරිමයෙන් කරන්න
17. සාතන් මොන තරම් පීඩා ගෙනාවත් දෙවියන්ගේ සෙනඟට උදව් වෙලා තියෙන්නේ මොන දේද?
17 එළිදරව් 12වෙනි පරිච්ඡේදයේ කියනවා පීඩා, විරුද්ධවාදිකම්වලට මුහුණ දෙද්දී දෙවියන්ගේ සෙනඟට හිතපු නැති විදිහකින් උදව් ලැබෙනවා කියලා. ඒ අනාවැකියේ කියනවා “පොළොව” කට ඇරලා පීඩා කියන “ගංගාව” ගිලලා දානවා කියලා. (එළි. 12:16) ඒක වෙන්නේ කොහොමද? දෙවියන්ගේ සෙනඟට විරුද්ධව තියෙන නඩු ජය ගන්න සාතන්ගේ ලෝකෙම තියෙන අධිකරණ වගේ සමහර නීතික ආයතනවලින් සාක්ෂිකරුවන්ට උදව් ලැබිලා තියෙනවා. ඒ නිසා එයාලට පුළුවන් වෙලා තියෙනවා කලින්ට වඩා නිදහසේ දේවල් කරගෙන යන්න. ඒ නිදහස එයාලා පාවිච්චි කරන්නේ කොහොමද? ලැබෙන හැම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන අරන් එයාලා යෙහෝවා භාර දීලා තියෙන වැඩේ උපරිමයෙන්ම කරනවා. (1 කොරි. 16:9) ඒ වැඩේට අයිති වෙන්නේ මොනවාද?
18. මේ අන්තිම කාලේදී අපිට කරන්න තියෙන වැදගත්ම වැඩේ මොකක්ද?
18 යේසුස් එක අනාවැකියක කිව්වා තමන්ගේ අනුගාමිකයන් විනාශය එන්න කලින් ‘රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය’ මුළු පොළොව පුරාම දේශනා කරනවා කියලා. (මතෙ. 24:14) එයාලා ඒක කරන්නේ තනියම නෙවෙයි. “සියලු ජාතීන්ටත් ගෝත්‍රවලටත් භාෂාවලටත් ජනයාටත් ප්‍රීතිමත් පණිවිඩයක් ලෙස ප්‍රකාශ කිරීම සඳහා සදාකාල ශුභාරංචියක්” ගෙනියන දේවදූතයන් එයාලගේ උදව්වට ඉන්නවා.—එළි. 14:6.
19. දෙවියන්ගේ සෙනඟ දැනුම් දෙන්න ඕනෙ අනිත් පණිවිඩය මොකක්ද?
19 දෙවියන්ගේ සෙනඟ දේශනා කරන්නේ දේවරාජ්‍යය ගැන විතරක් නෙවෙයි. එළිදරව් 8-10 දක්වා පරිච්ඡේදවල විස්තර කරලා තියෙන දේවදූතයන් කරන වැඩේටත් එයාලා සහයෝගය දෙන්න ඕනේ. එතන කියනවා ඒ දේවදූතයන් දේවරාජ්‍යයට විරුද්ධ වෙන අය මුහුණ දෙන දරුණු විපත්ති ගැන කියනවා කියලා. ඒ ගැන කියන්න දෙවියන්ගේ සෙනඟත් කාලයක් තිස්සේ එයාලත් එක්ක හවුල් වෙනවා. ඒක විනිශ්චය පණිවිඩයක්. බයිබලේ ඒක සමාන කරලා තියෙන්නේ ‘හිම කැට සහ ගිනි වර්ෂාවකට.’ සාතන්ගේ පාලනය යටතේ තියෙන හැම දෙයක්ම විනාශ වෙනවා කියලා දෙවියන්ගේ සෙනඟ ඒ පණිවිඩයෙන් දැනුම් දෙනවා. (එළි. 8:7, 13) ඒ විනාශය ළඟයි කියලා මිනිස්සු දැනගන්නම ඕනේ. මොකද එතකොට තමයි වෙනස්කම් කරගෙන දෙවියන්ගේ උදහස් දවසින් බේරෙන්න එයාලට පුළුවන් වෙන්නේ. (ශෙප. 2:2, 3) හැබැයි හැමෝම ඒ පණිවිඩයට කැමති වෙන්නේ නැහැ. ඒ නිසා ඒ පණිවිඩය දැනුම් දෙන්න අපිට ලොකු නිර්භීතකමක් ඕනේ. ඉස්සරහට මීටත් වඩා බරපතළ විනිශ්චය පණිවිඩයක් කියන්න අපිට සිද්ධ වෙනවා. ඒ තමයි මහත් පීඩාව අතරතුරේදී දැනුම් දෙන අවසාන විනිශ්චය පණිවිඩය. ඒ පණිවිඩය දරාගන්න නම් හුඟක් මිනිසුන්ට බැරි වෙයි.—එළි. 16:21.
අනාවැකියේ සඳහන් දේ පිළිපදින්න
20. අපි ඊළඟ ලිපි දෙකෙන් බලන්නේ මොනවා ගැනද?
20 අපි “අනාවැකියේ සඳහන්” දේවල්වලට කීකරු වෙන එක හරිම වැදගත්. මොකද එළිදරව් පොතේ තියෙන ඒ අනාවැකිවල ඉටු වීමට අපිත් සම්බන්ධයි. (එළි. 1:3) ඒත් දිගටම පීඩා විඳදරාගන්නත් නිර්භීතව සේවේ කරන්නත් අපිට පුළුවන් කොහොමද? ඒකට අපිට උදව් වෙන දේවල් දෙකක් තියෙනවා. (1) දෙවියන්ගේ සතුරන් ගැන එළිදරව් පොතේ හෙළි කරලා තියෙන දේ. (2) දිගටම දෙවියන්ට විශ්වාසවන්තව හිටියොත් අනාගතයේදී අපිට ලැබෙන දේ. ඒ ගැන අපි ඊළඟ ලිපිවලින් බලනවා.
ගීතිකාව 32 යෙහෝවා දෙවිගේ පැත්ත ගන්න
a එළිදරව් පොතේ තියෙන අනාවැකි අද අපේ ඇස් පනාපිටම ඉටු වෙනවා. අපි ඉන්නේ තීරණයක් ගන්න ඕනෙ කාලෙක. ඒ අනාවැකි අපේ ජීවිතේට බලපාන්නේ කොහොමද? යෙහෝවා පිළිගන්න විදිහට ඔහුට නමස්කාර කරන්න අපිට පුළුවන් කොහොමද? ඔහුගේ සෙනඟ විදිහට එළිදරව් පොතේ කියලා තියෙන දේවල්වලට කීකරු වෙන්න පුළුවන් කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි මේ ලිපියෙන් සහ ඊළඟ ලිපි දෙකෙන් බලනවා.
b 2014 නොවැම්බර් 15 ‘මුරටැඹ’ සඟරාවේ 30වෙනි පිටුවේ තියෙන “පාඨකයන්ගෙන් ප්‍රශ්න” කියන ලිපිය බලන්න.