පරිච්ඡේදය 11
ජීවන පොතේ ඔබේ නම තිබෙනවාද?
සර්දිස්
1. සර්දිස් සභාවේ පැවති තත්වය විස්තර කරන්න. යේසුස් තම පණිවුඩය ආරම්භ කරන්නේ කෙසේද?
අද දින අකිසාර් (තියතීරා) නුවරට සැතපුම් 30ක් පමණ දකුණු දිගින් පිහිටා ඇත්තේ සර්දිස් සභාව පිහිටා තිබූ ප්රදේශයයි. යේසුස්ගේ ඊළඟ පණිවුඩය ලැබෙන්නේ ඒ සභාවටයි. ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ මෙම නගරය ඉපැරණි ලිදියානු අධිරාජ්‍යයේ අභිමානවත් අගනුවර වූ අතර, අතිශයින් ධනවත් රජෙකු වූ ක්රොසෙස්ගේ පාලන මධ්‍යස්ථානය වුණා. ඒ වකවානුවේ ජනයා ඉතා සමෘද්ධිමත් ජීවිත ගත කළා. නමුත් යොහන් විසූ කාලය වන විට සර්දිස් නගරයේ සෑහෙන පසුබෑමක් දකින්න ලැබුණා. එහි ජනයා බොහෝ අගහිඟකම්වලට මුහුණ දෙමිනුයි සිටියේ. මීට අමතරව එහි තිබූ ක්‍රිස්තියානි සභාවත් පැවතියේ ඇදහිල්ලෙන් දුර්වල තත්වයකයි. යේසුස් අනිකුත් සභාවට වෙනස්ව මේ සභාවට කිසිම ප්‍රශංසාවක් දෙන්නේ නැහැ. ඔහු එසේ කරන ප්‍රථම වතාව මෙයයි. ඔහු මෙසේ පවසනවා. “සර්දිස්හි පිහිටි සභාවේ දූතයාට මෙසේ ලියන්න: දෙවිගේ ආත්ම සත හා තාරකා සත ඇති තැනැත්තා මේ කාරණා කියන්නේය. ‘මම ඔබේ ක්‍රියා දනිමි. නමට ඔබ ජීවමානව සිටියත් ඔබ මළ බවද මම දනිමි.’”—එළිදරව් 3:1.
2. (අ) යේසුස්ට “ආත්ම සත” තිබෙනවා කීමෙන් සර්දිස්හි ක්‍රිස්තියානීන්ට ඇති වැදගත්කම කුමක්ද? (ආ) සර්දිස් සභාව නමක් ලබා තිබුණේ කුමක් සම්බන්ධයෙන්ද? නමුත් සැබෑ තත්වය කුමක්ද?
2 යේසුස් තමාවම ‘ආත්ම සත ඇති තැනැත්තා’ හැටියට හඳුන්වන්නේ ඇයි? මින් අදහස් කරන්නේ යෙහෝවා දෙවිගේ බලය කිසිම අඩුවක් නැතුව සම්පූර්ණයෙන්ම යේසුස් තුළ ක්‍රියාත්මක වන බවයි. පසුව යොහන් මෙම ආත්ම “ඇස් හතක්” ලෙසද හඳුන්වනවා. ඉන් අදහස් කරන්නේ දෙවිගේ බලය යේසුස්ට ලැබුණු නිසා ඉතා තියුණු ලෙස ඕනෑම දෙයක් විනිවිද දැකීමේ හැකියාව ඔහුට තිබෙන බවයි. (එළිදරව් 5:6) මේ අනුව ඕනෑම තත්වයක් හෙළි කරගෙන එය හැසිරවීමට යේසුස්ට හැකියාව තිබෙනවා. (මතෙව් 10:26; 1 කොරින්ති 4:5) සර්දිස් සභාව ක්‍රියාශීලීව සිටින බවට නමක් ලබා තිබුණත් යේසුස් දකින්නේ එම සභාව ඇදහිල්ලෙන් මිය ගොස් සිටින බවයි. මෙහි සාමාජිකයන් වැඩිදෙනෙක් තමන් ක්‍රිස්තියානීන් බවට පත්වීමට කලින් තිබූ තත්වයට ඇද වැටී උදාසීනව සිටි බවක් පෙනී යනවා.—එෆීස 2:1-3ද, හෙබ්‍රෙව් 5:11-14ද බලන්න.
3. (අ) “සර්දිස්හි පිහිටි සභාවේ දූතයා” යේසුස්ගේ අතේ “තාරකා සත” තිබෙන බව විශේෂයෙන් සැලකිල්ලට ගත යුත්තේ ඇයි? (ආ) යේසුස් සර්දිස් සභාවට දෙන ඍජු උපදෙස් මොනවාද?
3 “සර්දිස්හි පිහිටි සභාවේ දූතයාට” යේසුස් මතක් කරන්නේ “තාරකා සත” ඔහුගේ අතේ තිබෙන බවයි. එය හරියට එම සභාවේ වැඩිමහල්ලන් ඔහුගේ දකුණු අතේ තබාගෙන සිටිනවා හා සමානයි. එමනිසා සභාව රැකබලා ගැනීමේදී ඔවුන්ට අවශ්‍ය මඟ පෙන්වීම් දෙන්න බලය තිබෙන්නේ යේසුස්ටයි. ඔවුන් වැඩි අවධානයකින් සිට ‘තමන්ගේ බැටළු රැළවල අන්දම දැනගත’ යුතුයි. (හිතෝපදේශ 27:23) මේ නිසා ඔවුන් යේසුස් කියන මේ වචනවලට හොඳින් සවන් දිය යුතුයි. “සෝදිසියෙන් සිට, මිය යෑමට ආසන්නව තිබෙන ඉතිරි දේ ශක්තිමත් කරගන්න. මන්ද, මාගේ දෙවි ඉදිරියෙහි ඔබේ ක්‍රියා සම්පූර්ණ කර ඇති බවක් මට නොපෙනේ. එබැවින්, ඔබ ලැබුවේ කෙසේද ඇසුවේ කෙසේද කියා දිගටම සිහියේ තබාගෙන, එය නොකඩවා පිළිපදිමින්, පසුතැවිලි වන්න. ඔබ අවදිව නොසිටින්නෙහි නම් මම සොරෙකු මෙන් එන්නෙමි. මා ඔබ කරා එන්නේ කුමන පැයේදීදැයි ඔබ කිසිසේත් නොදැන සිටිනවා ඇත.”—එළිදරව් 3:2, 3.
4. පේතෘස්ගේ වචන සර්දිස් සභාවේ “ඉතිරි දේ ශක්තිමත් කිරීමට” උපකාරවත් වන්නේ කෙසේද?
4 ඉහත සඳහන් පදයට අනුව සර්දිස් සභාවේ වැඩිමහල්ලන් තමන්ට මුලින්ම සත්‍යය ලැබුණු කාලයේදී අද්දුටු ප්‍රීතිය ගැනත් ලැබූ ආශීර්වාද ගැනත් මතක් කරගත යුතුයි. නමුත් දැන් ඔවුන් දෙවිගේ නමස්කාරයට සම්බන්ධ ක්‍රියාකාරකම් අතින් මළ තත්වයකයි සිටින්නේ. ඇදහිල්ලේ ක්‍රියා නැතිකම නිසා ඔවුන්ගේ සභාවේ පහන නිවී යන්න ආසන්නයි. මීට වසර ගණනාවකට පෙර පේතෘස් ආසියාවේ සභාවන්ට ලියමින් ඉතා වටිනා දෙයක් ඔවුන්ට ලැබී තිබෙන බව සඳහන් කළා. ඒ, “ස්වර්ගයෙන් එවන ලද ශුද්ධාත්මය ඇතිව” දෙන ලද තේජාන්විත ශුභාරංචියයි. පේතෘස් මෙහිදී සඳහන් කරන ශුද්ධාත්මය හෙවත් දෙවිගේ බලය යොහන් දකින ආත්ම සතට සමානයි. පේතෘස් උත්සාහ කළේ මෙම කාරණය පිළිබඳව ක්‍රිස්තියානීන් තුළ ගැඹුරු අගයක් ඇති කිරීමටයි. මේ ලිපිය සර්දිස් සභාවටත් ලැබෙන්නට ඇති. පේතෘස් ඔවුන්ට තවත් කාරණයක් මතක් කළා. එය නම්, ‘අන්ධකාරයෙන් සිය විස්මයජනක ආලෝකයට ඔවුන්ව කැඳවාගත් තැනැත්තාගේ උතුම් ගතිගුණ ගැන සෑම තැනම ප්‍රකාශ කරන පිණිස, ඔවුන් තෝරාගත් ජනතාවක්ද, රාජකීය පූජක පන්තියක්ද, ශුද්ධ ජාතියක්ද දෙවිට අයත් විශේෂ වස්තුවක් ලෙස තෝරාගත් ජනතාවක්’ වන බවයි. (1 පේතෘස් 1:12, 25; 2:9) මේ සියලු කාරණා ගැන ඔවුන් මෙනෙහි කිරීමෙන් පසුතැවිලි වී ‘ඉතිරි දේ ශක්තිමත් කිරීමට’ සර්දිස් සභාවට හැකි වෙනවා.—2 පේතෘස් 3:9ද බලන්න.
5. (අ) සර්දිස් සභාවේ ක්‍රිස්තියානීන්ට සත්‍යය සම්බන්ධයෙන් තිබූ අගයට කුමක් සිදු වී තිබුණාද? (ආ) ඔවුන් යේසුස්ගේ උපදෙසට කීකරු වන්නේ නැත්නම් කුමක් සිදු වේද?
5 මේ අවස්ථාව වන විට, සත්‍යය කෙරෙහි ඔවුන් තුළ තිබූ අගය සහ ප්‍රේමය හරියට නිවී යමින් තිබූ ගිනි දැල්ලක් මෙන් හීන වී ගොස් තිබුණා. එම ගිනි දැල්ලට පවන් ගසා, ගිනි අවුළවා, තමන්ගේ පාපවලට පසුතැවිලි වී නැවතත් ඇදහිල්ලේ ශක්තිමත් සභාවක් බවට පත් වෙන්න කියායි යේසුස් ඔවුන්ට දිරිගන්වන්නේ. (2 තිමෝති 1:6, 7ද බලන්න.) නැත්නම් යේසුස් විනිශ්චය කිරීමට “සොරෙක් මෙන්” හදිසියේ පැමිණෙන විට ඊට මුහුණ දීමට සර්දිස් සභාවට කිසිම හැකියාවක් ලැබෙන්නේ නැහැ.—මතෙව් 24:43, 44.
“සොරෙකු මෙන්” පැමිණීම
6. වර්ෂ 1918දී යේසුස් “සොරෙකු මෙන්” පැමිණියේ කෙසේද? තමාව අනුගමනය කරන බවට පැවසූ අය තුළ යේසුස් දුටුවේ කුමක්ද?
6 තමා “සොරෙකු මෙන්” පැමිණෙන බවට යේසුස් දෙන අනතුරු ඇඟවීම නවීන කාලයටත් අදාළයි. ස්වාමීන්ගේ දවසේ ජීවත් වන ක්‍රිස්තියානීන්ට එය විශේෂයෙන්ම අදාළ වුණා. වර්ෂ 1914 නිම වී වැඩි කල් යන්නට පෙර මලාකිගේ මෙම අනාවැකිය ඉටු වුණා. “ඔබ සොයන ස්වාමීන් තමන් මාලිගාවට හදිසියෙන් එන්නේය; බලව, ඔබ ප්‍රිය කරන ගිවිසුමේ දූතයා එන්නේයයි සේනාවන්ගේ යෙහෝවා කියන්නේය.” (මලාකි 3:1; එළිදරව් 1:10) මෙහි “ගිවිසුමේ දූතයා” වූයේ යේසුස්. ඔහු පැමිණියේ තමන්ව අනුගමනය කරනවායයි කියා සිටි අයව සෝදිසි කර විනිශ්චය කිරීමටයි. (1 පේතෘස් 4:17) ඒ කාලයේදී එනම් 1918දී ක්‍රිස්තියානියයි කියාගත් පල්ලි, මහා ලේ වැගිරීමක් සිදු කළ පළමු ලෝක මහා යුද්ධයට මුළුමනින්ම හවුල් වී සිටි අතර දෙවිගේ ප්‍රමිති ගැන කිසිම තැකීමක් කළේ නැහැ. ඔවුන් සංකේතවත් ආකාරයකින් මළ තත්වයකයි සිටියේ. පළමු ලෝක යුද්ධයට පෙර උද්යෝගයෙන් දේශනා කළ සමහර සැබෑ ක්‍රිස්තියානීන් පවා සිටියේ උදාසීන නිදිමත තත්වයකයි. ඔවුන් අතර සිටි පෙරමුණ ගත් වැඩිමහල්ලන් කිහිපදෙනෙකුව සිරගත කෙරුණා. දේශනා කිරීමේ කාර්යයත් සම්පූර්ණයෙන්ම වගේ නතර වී තිබුණා. නමුත් ඊළඟ අවුරුද්දේදී යෙහෝවා දෙවිගේ බලය ක්‍රියාත්මක වී මෙම ක්‍රිස්තියානීන්ව අවදි කළා. නමුත් ඉන්පසුව කිරීමට තිබෙන කාර්යය වූ යෙහෝවා දෙවිට සේවය කරන්න උදා වූ ප්‍රස්තාව භාරගැනීමට හැම කෙනෙක්ම සූදානමින් සිටියේ නැහැ. ඔවුන් හරියට යේසුස් දුන් උපමාවක සඳහන් වූ අඥාන කන්‍යාවන් වගේ. නමුත් එම උපමාවේ ඥානවන්ත කන්‍යාවන් මෙන් බොහෝදෙනෙක් ස්වාමියා එන විට සූදානමිනුයි සිටියේ. “සෝදිසියෙන් සිටින්න. මන්ද, ඔබ දවසවත් පැයවත් දන්නේ නැත” කියා යේසුස් දුන් අවවාදය ඔවුන් පිළිගැනීම සතුටට හේතුවක්.—මතෙව් 25:1-13.
7. අද දින ක්‍රිස්තියානීන් අවදිව සිටිය යුතු වෙන්නේ ඇයි?
7 ක්‍රිස්තියානීන් සුපරීක්ෂාවෙන් සිටීමේ අවශ්‍යතාව තිබුණේ ස්වාමීන්ගේ දවසේ ආරම්භයේදී පමණක් නෙවෙයි. “මේ සියල්ල අවසන් වීමට නියමිත කාලයට ලකුණ” ගැන යේසුස් දුන් මහත් අනාවැකියේදී ඉතා තදින්ම දුන් අනතුරු ඇඟවීම වූයේ මෙයයි. “ඒ දවස හා පැය කිසිවෙක් දන්නේ නැත. නියම කරන ලද කාලය කවදාදැයි ඔබ නොදන්නා හෙයින් පරෙස්සමින් සිටින්න. අවදිව සිටින්න. නමුත් මම ඔබට කියන දේ සියලුදෙනාටම කියමි. සෝදිසියෙන් සිටින්න.” (මාක් 13:4, 32, 33, 37) අප අභිෂේක ලත් අය වුණත්, මහත් සමූහයට අයත් අය වුණත්, අප සෑම කෙනෙක්ම අන්තිම පැය දක්වාම දෙවිගේ නමස්කාරයට හා සේවයට සම්බන්ධ ක්‍රියාකාරකම්වල උදාසීන නොවී අවදිව ඉතා උද්යෝගයෙන් ක්‍රියා කිරීම අවශ්‍යයි. එවිට යෙහෝවා දෙවිගේ දවස “රාත්‍රියෙහි පැමිණෙන සොරෙකු” මෙන් පැමිණෙන විට අපටත් ආශීර්වාද ලැබෙනවා නිසැකයි.—1 තෙසලෝනික 5:2, 3; ලූක් 21:34-36; එළිදරව් 7:9.
8. දෙවිගේ ජනයාට අවදියෙන් සිටීමට අවශ්‍ය දිරිගැන්වීම් අද දින යොහන් පන්තිය විසින් සපයා ඇත්තේ කෙසේද?
8 අද දින අවදිව සිටින යොහන් පන්තිය දෙවිගේ ජනයාට අවදිව සිටීමේ ඇති අවශ්‍යතාව ගැන කාවද්දමින් අවශ්‍ය දිරිගැන්වීම් ලබා දෙනවා. සෑම වසරකම කිහිප වතාවක්ම විශේෂ එක්රැස්වීම් සංවිධානය කරන්නේ මේ නිසයි. මෑත වසරකදී දිස්ත්‍රික් සමුළු 2,981කට 1,09,53,744දෙනෙක් පැමිණ සිටි අතර අලුතෙන් 1,22,701දෙනෙක් බව්තීස්ම වුණා. යෙහෝවා දෙවිගේ නාමය සහ අරමුණ ප්‍රසිද්ධ කිරීම සඳහා යොහන් පන්තිය වසර සියයකටත් වැඩි කාලයක් පුරා මුරටැඹ සඟරාව යොදාගෙන තිබෙනවා. ලෝක මහා යුද්ධ දෙක සිදු වූ කාලයේ දරුණු පීඩාවලට මුහුණ දෙන්නට සිදු වුවත්, මුරටැඹ සඟරාවේ පළ වූ සමහර ලිපිවලින් සාක්ෂිකරුවන්ව මහත් සේ උද්යෝගිමත් කළා. “නිර්භීත අය ආශීර්වාද ලද්දෝය” (1919), “සේවය සඳහා සැරසෙමු!” (1925) සහ “පීඩාවලින් ජයගැනීම” (1942) වැනි ලිපි ඒ අතර වෙනවා.
9. (අ) සියලු ක්‍රිස්තියානීන් තමන්ගෙන්ම ඇසිය යුත්තේ කුමන ප්‍රශ්නද? (ආ) මුරටැඹ සඟරාවේ දී තිබෙන්නේ කිනම් දිරිගැන්වීමක්ද?
9 සර්දිස් සභාවේ සිටි අය මෙන්ම අද දිනත් සියලු ක්‍රිස්තියානීන් තමන්වම සෝදිසි කරගැනීම ඉතා වැදගත්. අපි සැමෝම අපෙන්ම මෙසේ අසාගනිමු. අපේ දෙවි ඉදිරියේ අපි ‘අපේ ක්‍රියා මුළුමනින්ම ඉටු කර’ තිබෙනවාද? වෙනත් අය කරන දේ විනිශ්චය කරන්න යන්නේ නැතිව, ආත්ම පරිත්‍යාගශීලී ස්වභාවයක් විදහා පෙන්වමින් අපේ දෙවිට මුළු හදින්ම සේවය කිරීමට අපි පෞද්ගලිකව මහන්සි ගන්නවාද? මේ කාරණය ගැන මුරටැඹ සඟරාවේ දිරිගැන්වෙන ලිපි පළ වී තිබෙනවා. “ඔබ කෙබඳු අයදැයි නොකඩවා සෝදිසි කර බලන්න” සහ “තවදුරටත් අප වෙනුවෙන්ම ජීවත් නොවීම” යන ලිපි ඒ අතර වෙනවා.a බයිබලය මත පදනම් එවන් උපදෙස් පිළිපදිමින් අපිත් අවංක ආත්ම සෝදිසියක් කරමු. යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටීම සදහා නිහතමානීව හා යාච්ඤාපූර්වකව අපි දරන උත්සාහය සාර්ථක වෙනවා නිසැකයි.—ගීතාවලිය 26:1-3; 139:23, 24.
“ස්වල්පදෙනෙක්”
10. යේසුස් සර්දිස් සභාව තුළ දුටු හොඳ ලක්ෂණය කුමක්ද? මෙය අපට වැදගත් වෙන්නේ ඇයි?
10 සර්දිස් සභාවට යේසුස් කියන ඊළඟ වචන ඉතාමත් දිරිගන්වනසුලුයි. “එහෙත්, තමුන්ගේ පිටත වස්ත්‍ර දූෂ්‍ය කර නොගත් ස්වල්පදෙනෙක් සර්දිස්හි ඔබට සිටිති. ඔවුහු සුදුස්සන් බැවින් සුදු පිටත වස්ත්‍ර පැළඳ මා සමඟ ඇවිදින්නෝය. ජයගන්නාට මෙසේ සුදු පිටත වස්ත්‍ර පළඳවනු ලබන්නේය. මම ඔහුගේ නම ජීවන පොතෙන් කිසිසේත්ම මකා නොහරින්නෙමි. මාගේ පියාණන් ඉදිරියෙහිත් ඔහුගේ දූතයන් ඉදිරියෙහිත් ඔහුගේ නාමය දන්නා බව පිළිගන්නෙමි.” (එළිදරව් 3:4, 5) දෙවිට විශ්වාසවන්තව සිටීමට අප තුළ තිබෙන අධිෂ්ඨානය මේ වචනවලින් තවත් ශක්තිමත් වෙන්නේ නැද්ද? යම් සභාවක වැඩිමහල්ලන්ගේ නොසැලකිල්ල නිසා ඒ සභාව උදාසීන, නිදිකිරා වැටෙන තත්වයකට පත් විය හැකියි. ඒ වුණත් එහි සිටින ඇතැම් අය ලෝකයෙන් කිලිටි නොවී ක්‍රිස්තියානීන් හැටියට තමන් දරන නාමය රැකගෙන පිරිසිදුව සිටින්න උත්සාහ දරනවා විය හැකියි. යෙහෝවා දෙවි සමඟ නොකඩවා හොඳ නාමයක් තබාගැනීමට එවැනි අයට හැකි වෙනවා.—හිතෝපදේශ 22:1.
11, 12. (අ) යේසුස්ගේ ගෝලයන්ගේ අභාවයෙන් පසු මුළු සභාවම ඇදහිල්ලට විරුද්ධව කැරලි ගැසුවත් ඇතැම් අය සර්දිස්හි සිටි ‘ස්වල්පදෙනා’ මෙන් විශ්වාසවන්තව ක්‍රියා කර ඇත්තේ කෙසේද? (ආ) ස්වාමීන්ගේ දවස තුළදී තිරිඟුවලට සමාන ක්‍රිස්තියානීන් ලැබූ ආශීර්වාදය කුමක්ද?
11 ක්‍රිස්තියානියෙකු හැටියට ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන බව දැක්වීමට “පිටත වස්ත්‍ර” සංකේතයක් හැටියට භාවිත කර තිබෙනවා. (එළිදරව් 16:15ද; එළි 19:8ද බලන්න.) සර්දිස් සභාවේ වැඩිදෙනා දෙවිගේ නමස්කාරය සම්බන්ධයෙන් උදාසීනව සිටියත් අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ස්වල්පදෙනෙක්වත් ක්‍රිස්තියානීන් හැටියට තමන් දරන නාමය රැකගෙන සිටිනවා දැකීමෙන් යේසුස් මහත් සේ සතුටු වන්නට ඇති. යේසුස්ගේ ගෝලයන්ගේ අභාවයෙන් පසුවත් මුළු සභාව ඇදහිල්ලට විරුද්ධව කැරලි ගසා මහ බැබිලෝනියට එනම් අධිරාජ්‍යයක් වගේ ක්‍රියා කරන අසත්‍යය උගන්වන සියලුම ආගම්වලට එකතු වුණා. නමුත් ඒ අතර සිටි ස්වල්පදෙනෙක් කොතරම් බාධක තිබුණත් යෙහෝවා දෙවිගේ කැමැත්ත කිරීමට නිතරම වෑයම් කර තිබෙනවා. ඒ අය කිරිඳි ගොන්නක සැඟවී තිබූ තිරිඟු වගේ. ධර්මිෂ්ඨකම නමැති “පිටත වස්ත්‍ර” තිබුණේ ඒ ස්වල්පදෙනාටයි.—එළිදරව් 17:3-6; මතෙව් 13:24-29.
12 තිරිඟුවලට සමාන කළ මෙම ක්‍රිස්තියානීන් සමඟ තමන් “සමාජ ක්රමයේ අවසාන කාල පරිච්ඡේදය දක්වා” සිටින බව යේසුස් පොරොන්දු වුණා. ඔවුන් කවුද කියාත් ඔවුන් ඇති කරගෙන තිබෙන හොඳ නාමය කුමක්ද කියාත් යේසුස් දන්නවා. (මතෙව් 28:20; දේශනාකාරයා 7:1) ඒ නිසා ස්වාමීන්ගේ දවස ආරම්භයේදී ජීවත්ව සිටි ඒ විශ්වාසවන්ත ‘ස්වල්පදෙනාව’ ක්‍රිස්තියානියයි කියා සිටි පල්ලිවලින් වෙන් කර ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට ඇලී සිටි ස්මර්ණාවේ සභාවට සමාන සභාවකට එක් රැස් කරනු ලැබුවා. ඔවුන්ට ලැබුණු ඒ ආශීර්වාදය ගැන ඔවුන් කොතරම් සතුටු වෙන්නට ඇද්ද කියා සිතා බලන්න!—මතෙව් 13:40-43.
13. “තමුන්ගේ පිටත වස්ත්‍ර දූෂ්‍ය” කර නොගන්නා අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට ලැබීමට නියමිත ආශීර්වාද මොනවාද?
13 අවසානය දක්වාම විශ්වාසවන්තව සිට, ක්‍රිස්තියානීන් හැටියට තමන් දරන නාමයට කිසිදු කැළලක් ඇති කර නොගත් සර්දිස් සභාවේ සිටි ඒ ස්වල්පදෙනාගේ ප්‍රීතිමත් බලාපොරොත්තුව ඉෂ්ට වෙනවා. යේසුස් පාලනය කරන දේවරාජ්‍යය 1914දී පිහිටුවීමෙන් පසුව ඔවුන්ව ජයග්‍රාහකයන් ලෙස ස්වර්ගික ජීවිතයකට නැවත නැඟිටුවනු ලබනවා. ඔවුන් නිකැළැල්, ධර්මිෂ්ඨ ජීවිතයක් අඛණ්ඩව ගත කළ බව දැක්වෙන්නේ ඔවුන් පැළඳ සිටින සුදු වස්ත්රවලිනුයි. ජීවනයට යන පටු පාරේ ගමන් කළ ඔවුන් සදාකාලික ආශීර්වාද භුක්ති විඳිනවා නියතයි.—මතෙව් 7:14; එළිදරව් 6:9-11ද බලන්න.
ජීවන පොතෙහි සදහටම!
14. “ජීවන පොත” යනු කුමක්ද? එහි ලියා ඇත්තේ කාගේ නම්ද?
14 “ජීවන පොත” යනු කුමක්ද? එහි නොමැකී තිබෙන්නේ කාගේ නම්ද? මෙම පොත හෙවත් ලියවිලිවලින් අදහස් කරන්නේ සදාකාල ජීවනය ලැබීමට නියමිතව සිටින යෙහෝවා දෙවිගේ සේවකයන් පිළිබඳ වාර්තාවයි. (මලාකි 3:16) එළිදරව් පොතේ විශේෂයෙන් සඳහන් වී ඇත්තේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ නම් මේ ජීවන පොතේ සඳහන් වී ඇති බවයි. නමුත් පොළොවේ සදාකාල ජීවනය ලැබීමට සිටින අයගේ නම්ද එහි අඩංගුයි. නමුත් එම පොතෙන් නම් ‘මකා දැමීමටත්’ පුළුවන්. (නික්මයාම 32:32, 33) කොහොමනමුත් යොහන් පන්තියට අයත් අය තමන්ගේ මරණය දක්වාම ජීවන පොතේ ඇති තම නම් රැකගෙන සිටිනවා නම් ඔවුන්ට ස්වර්ගයේ අමරණීය ජීවිතයක් ලැබෙනවා. (එළිදරව් 2:10) යේසුස් සිය පියාණන් හා දේවදූතයන් ඉදිරියේ විශේෂයෙන් පිළිගන්නේ මේ අයවයි. ඔවුන්ට ලැබෙන්නේ මොන තරම් උතුම් ආශීර්වාදයක්ද!
15. මහත් සමූහයට අයත් අයගේ නම් ජීවන පොතේ නොමැකෙන ලෙස ලියනු ලබන්නේ කොහොමද?
15 මහත් සමූහයට අයිති අයගේ නම් ජීවන පොතේ ලියා ඇති නිසා ඔවුන් මහත් පීඩාවෙන් බේරෙනවා. යේසුස්ගේ දහස් අවුරුදු පාලනය තුළ ඔවුන් ඇදහිල්ලෙන් ක්‍රියා කර, ඉන්පසුව තිබෙන අවසාන පරීක්ෂණයෙන් ජයගත්තොත් ඔවුන්ට පාරාදීසයක් වන මේ පොළොවේ සදාකාල ජීවනය ලැබෙනවා. (දානියෙල් 12:1; එළිදරව් 7:9, 14; 20:15; 21:4) ඔවුන්ගේ නම් ජීවන පොතේ නොමැකෙන ලෙස ලියනු ලබන්නේ එවිටයි. මෙහි සඳහන් සියලු අවවාද ඉදිරිපත් කරනු ලබන්නේ දෙවිගේ මඟ පෙන්වීමට එකඟවයි. එමනිසා යේසුස් නැවතත් “ආත්මය සභාවලට පවසන දේ කන් ඇත්තා අසාවා” කියා පවසද්දී අපි උද්යෝගයෙන් ඊට කීකරු වෙමු.—එළිදරව් 3:6.
[පාදසටහන]
a වර්ෂ 2005 ජූලි 15 සහ 2005 මාර්තු 15 මුරටැඹ කලාප බලන්න.
[57වන පිටුවේ පින්තූරය]
ඔබේ නම ජීවන පොතේ තිබේවා!