පරිච්ඡේදය 37
බැබිලෝනියේ විනාශයේදී කොටසකට ශෝකය හා කොටසකට ප්‍රීතිය
1. “පොළොවේ රජවරු” මහා බැබිලෝනියේ හදිසි විනාශය දැක කරන්නේ කුමක්ද?
බැබිලෝනියේ විනාශය යෙහෝවා දෙවිගේ ජනයාට නම් ශුභාරංචියක්. නමුත් පොළොවේ ජාතීන්ට එය බලපාන්නේ කෙසේද? යොහන් අපට මෙසේ කියනවා. “ඇය සමඟ වේශ්‍යාකම් කළාවූද, ලජ්ජාවක් නැතිව සුඛෝපභෝගී ජීවිතයක් ගත කළාවූද පොළොවේ රජවරු, ඇයව දැවීමෙන් ඇති වන දුම දකිද්දී ඇය ගැන හඬා, ශෝකයෙන් පපුවට ගසාගන්නෝය. තවද, ඇය විඳින වධ වේදනාවලට භයෙන් ඔවුහු දුරින් සිටගෙන, ‘අහෝ, අහෝ, බැබිලෝනිය නමැති මහත් නුවර, බලවත් නුවර, ඔබේ විනිශ්චය එක පැයකින් පැමිණියේය!’ යි කියන්නෝය.”—එළිදරව් 18:9, 10.
2. (අ) මහා බැබිලෝනියේ විනාශය සිදු කරන්නේ රතු පාට වන මෘගයාගේ අං දසය නම් “පොළොවේ රජවරු” ඒ ගැන දුක් වෙන්නේ ඇයි? (ආ) ශෝකයෙන් සිටින රජවරුන් ඇගේ විනාශය දෙස දුරින් සිට බලා සිටින්නේ ඇයි?
2 අප දැනටමත් දන්නා දෙයක් නම් මහා බැබිලෝනියේ විනාශය සිදු කරන්නේ රතු පාට වන මෘගයාගේ අං දසය බවයි. එසේනම් “පොළොවේ රජවරුන්” එනම් ලෝකයේ ජාතීන් ඒ ගැන ශෝක වෙන්නේ ඇයි? (එළිදරව් 17:16) එයට හේතුව බැබිලෝනිය විනාශ වන විට “පොළොවේ රජවරු” මහා බැබිලෝනිය තමන්ට කොතරම් උපකාර කළාද යන්න තේරුම්ගන්නා නිසයි. ජනතාව තමන් යටතේ සන්සුන්ව තබාගන්න පාලකයන්ට හැකි වුණේ මහා බැබිලෝනියේ බලපෑම නිසයි. ඒ වගේම මහා බැබිලෝනියට අයත් ආගමික නායකයන් යුද්ධය ශුද්ධ දෙයක් හැටියට ප්‍රකාශ කළා. යුද්ධයට ගොස් තම රට වෙනුවෙන් සටන් කරන ලෙස යෞවනයන්ව පොලඹවමින් සෙබළුන් ලෙස ඔවුන්ව යුද්ධයට බඳවාගැනීමට ආණ්ඩුවලට උපකාර කළා. මීට අමතරව පාලකයන්ට තම දූෂිත ක්‍රියා කරමින් ජනතාව තම අණසක යටතේ තබාගන්න කඩතුරාවක් සපයා දුන්නෙත් මෙම ආගමික නායකයන් සහ ඔවුන්ගේ ආගම්. (යෙරෙමියා 5:30, 31ද, මතෙව් 23:27, 28ද බලන්න.) නමුත් ශෝකයෙන් සිටින මේ පාලකයන් විනාශ වූ මහා බැබිලෝනිය දෙස බලා සිටින්නේ දුර සිටයි. ඇයට ළං වී උපකාර කිරීමට ඔවුන් කැමති නැහැ. ඇගේ විනාශය ගැන ඔවුන් දුක් වුණත් ඇය වෙනුවෙන් යමක් කර අවදානමකට ලක් වෙන්න ඔවුන් කැමති නැහැ.
ශෝකයෙන් වැළපෙන වෙළෙන්දෝ
3. මහා බැබිලෝනියේ විනාශය ගැන ශෝක වෙන්නේ තවත් කවුද? එසේ ශෝකවීමට හේතු ගැන යොහන් සපයා දෙන තොරතුරු මොනවාද?
3 මහා බැබිලෝනියේ විනාශය ගැන දුක් වෙන්නේ පොළොවේ රජවරුන් පමණක්ම නෙවෙයි. “එමෙන්ම පොළොවේ සංචාරක වෙළෙන්දෝ ඇය ගැන හඬමින්ද වැලපෙමින්ද සිටිති. මන්ද, ඔවුන්ගේ භාණ්ඩ සියල්ල මිල දී ගැනීමට දැන් කිසිවෙකු නැත. ඒ භාණ්ඩ නම්, රන්ද රිදීද අනර්ඝ ගල්ද මුතුද අනර්ඝ හණ රෙදිද දම් පැහැති රෙදිද සේද රෙදිද තද රතු පැහැති රෙදිද, සුවඳ ලීයෙන් සෑදූ සියල්ලද ඇත් දළවලින් සෑදූ සියලු ආකාර දේද, ඉතා අනර්ඝ ලීවලින්ද තඹවලින්ද යකඩින්ද කිරිගරුඬෙන්ද සෑදූ සියලු ආකාර දේද, කුරුඳු හා ඉන්දියාවේ ඇති සුවඳැති පැළෑටිද සුවඳ ද්‍රව්‍යද සුවඳ තෙල්ද කට්ටකුමංජල්ද වයින්ද ඔලීව තෙල්ද අනර්ඝ පිටිද තිරිඟුද ගවයන්ද බැටළුවන්ද, අශ්වයන්ද අශ්ව රථද වහලුන්ද මිනිස් ජීවිතද යන ඒවාය. එසේය, ඔබ [මහා බැබිලෝනිය] ආශා කළ ඉදුණු පල ඔබ කෙරෙන් පහව ගියේය. ඉස්තරම් වූ, ශෝභන වූ සියල්ල ඔබ කෙරෙන් විනාශ වී ගියේය. මිනිසුන්ට ඒවා කවදාකවත් නැවත සම්බ වෙන්නේ නැත.”—එළිදරව් 18:11-14.
4. මහා බැබිලෝනියේ විනාශය දැක ‘සංචාරක වෙළෙන්දන්’ හඬා වැලපෙන්නේ ඇයි?
4 මහා බැබිලෝනිය මේ ධනවත් වෙළෙන්දන්ගේ ඉතා සමීප මිතුරියක් වගේම හොඳ පාරිභෝගිකයෙක්. නිදසුනක් වශයෙන් සියවස් ගණනාවක් පුරා ක්‍රිස්තියානියයි කියන රටවල පල්ලි, ආරාම සහ කන්‍යාරාමවල රත්තරන්, රිදී, මැණික් සහ වෙනත් වටිනා දැව වර්ග මෙන්ම මිල අධික වටිනා ද්‍රව්‍ය විශාල ප්‍රමාණවලින් ගොඩගසා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි යේසුස්ට අගෞරව කරන නත්තල් සමයේදීද පල්ලිවල නොයෙකුත් මංගල්‍යවලදීද සිදු වන දේ ගැන සිතන්න. බොහෝදෙනෙක් සාප්පු සවාරි ගොස් අත දිගහැර වියදම් කරන්නෙත් මත්පැන් සාදවල ගිලෙන්නෙත් ඉහත කී මංගල්‍ය දවස්වල නෙවෙයිද? පල්ලිවල මිෂනාරිවරුන් වෙනත් රටවලට ආගම ගෙන ගොස් කර ඇත්තේ මේ ලෝකයේ ‘සංචාරක වෙළෙන්දන්ට’ අලුත් වෙළඳ පොලවල් බිහි කිරීමයි. උදාහරණයකට 17වන සියවසේදී වෙළෙන්දන් සමඟ ජපානයට පැමිණි කතෝලික ආගම යුද්ධවලට පවා පැටලුණා. ඔසාකා බලකොටුවේ ප්‍රාකාර යට සිදු වූ එක් තීරණාත්මක යුද්ධයක් ගැන එක්තරා විශ්වකෝෂයක වාර්තා වුණේ මෙසේයි. “ටොකුගාවා හමුදාපතිවරයාගේ සෙබළුන් සටන් කළ සතුරන්ගේ කොඩිවල කුරුසය, යේසුස් ස්වාමි දරුවාගේ සහ ස්පාඤ්ඤයේ ආරක්ෂක සාන්තුවරයා වූ සාන්ත ජාකොබ්ගේ රූප ඇඳ තිබුණා.” (The Encyclopædia Britannica) මේ යුද්ධයෙන් ජයගත් ටොකුගාවා හමුදාව කතෝලික ධර්මය ඇදහූ අයට පීඩා කරමින් එය සිය රටෙන් සම්පූර්ණයෙන්ම වාගේ අතුගා දැම්මා. ඒ හා සමානව අදත් ලෝකයේ දේශපාලන කටයුතුවලට සම්බන්ධ වන පල්ලිවලට එයින් කිසිම පලක් අත් වෙන්නේ නැහැ.
5. (අ) ස්වර්ගයෙන් නික්මුණු හඬ ‘සංචාරක වෙළෙන්දන්’ හඬා වැලපෙන ආකාරය ගැන විස්තර කරන්නේ කෙසේද? (ආ) වෙළෙන්දනුත් “දුරින් සිටගෙන” සිටින්නේ ඇයි?
5 ස්වර්ගයෙන් නික්මුණු හඬ තවදුරටත් මෙසේ පවසනවා. “ඇය නිසා ධනවත් වූ, මේ දේවල් විකුණන සංචාරක වෙළෙන්දෝ ඇය විඳින වධ වේදනාවලට භයෙන් දුරින් සිටගෙන, හඬා වැලපෙමින් මෙසේ කියන්නෝය: ‘අහෝ, අහෝ, අනර්ඝ හණ රෙදි වස්ත්‍රද දම් පැහැති වස්ත්‍රද තද රතු පැහැති වස්ත්‍රද පැළඳ, රන් ආභරණවලින්ද අනර්ඝ ගල්වලින්ද මුතුවලින්ද බොහෝ සෙයින් සැරසී සිටි මහත් නුවර, මෙතරම් මහත් ධන සම්භාරයක් එක පැයකින් විනාශ වී ගියේය!’” (එළිදරව් 18:15-17අ) මහා බැබිලෝනියේ විනාශය දකින මෙම ‘වෙළෙන්දන්ද’ තමාගේ ව්‍යාපාරවලට බොහෝ ලාභ ගෙන දුන් තැනැත්තියගේ විනාශය ගැන “අහෝ, අහෝ” කියමින් හඬා වැලපෙනවා. නමුත් ඔවුන් හඬා වැලපෙන්නේ රජවරුන් මෙන් “දුරින්” සිටයි. එසේනම් ඔවුන්ද වැලපෙන්නේ තමන්ටම පාඩු සිදු වූ නිසා මිස වෙන හේතුවකට නොවෙයි. මහා බැබිලෝනියට උපකාර කිරීම සඳහා ඇයට දැන් ළංවීමට ඔවුන්ද කැමති නැහැ.
6. ස්වර්ගයෙන් නික්මුණු හඬ නැව්පතීන්ගේ සහ නැවියන්ගේ වැලපීම ගැන විස්තර කරන්නේ කෙසේද? ඔවුන් හඬා වැලපෙන්නේ ඇයි?
6 ස්වර්ගයෙන් නික්මුණු ඒ හඬ දැන් මෙසේ පවසනවා. “සියලු නැව්පතියෝද, සැමතැන යන සියල්ලෝද, නැවියෝද, මුහුදු රැකියා කරන සියල්ලෝද දුරින් සිටගෙන, ඇයව දවා දැවීමෙන් ඇති වන දුම දෙස බලමින්, ‘මහත් නුවරට සමාන නුවරක් තවත් ඇද්ද’ යයි ශබ්ද නඟා කීවෝය. ඔවුහු තම හිස් මත දූවිලි විසි කරගෙන, හඬමින්ද වැලපෙමින්ද ශබ්ද නඟා මෙසේ කීවෝය: ‘අහෝ, අහෝ, මහත් නුවර, ඇගේ ධනවත්කම නිසා මුහුදේ නැව් ඇති සියල්ලෝ ධනවත් වූහ. එක පැයකින් ඇය විනාශ වී ගියාය!’” (එළිදරව් 18:17ආ-19) පුරාණ බැබිලෝනිය වෙළඳ මධ්‍යස්ථානයක් වූ නිසා එම නුවරේ යුප්‍රටීස් ගඟ ආශ්‍රිතව විශාල නැව් සමූහයක් තිබුණා. ඒ හා සමානව මහා බැබිලෝනියද බොහෝ ව්‍යාපාර කටයුතුවල යෙදෙනවා. එයට බොහෝ සෙයින් දායක වෙන්නේ “බොහෝ ජල ධාරා” හා සමාන ඇගේ අණසක යටතේ සිටින ජනතාවයි. මහා බැබිලෝනියට අයත් ආගම්වල සාමාජිකයන්ට බොහෝ රැකියා ප්‍රස්තා එතුළින් උදා වෙනවා. නමුත් මහා බැබිලෝනියේ විනාශය ඔවුන් සියල්ලන්ටම බලවත් පාඩුවක්. තම බඩ කට පුරවාගන්න එතරම් හොඳ ආදායම් මාර්ගයක් නම් ඔවුන්ට ආයේ ලැබෙන්නේ නැහැ.
ඇගේ විනාශය ගැන ප්‍රීති වන්නෝ
7, 8. ස්වර්ගයෙන් නික්මුණු හඬ මහා බැබිලෝනිය ගැන පවසන දේ අවසන් කරන්නේ කෙසේද? එම වචනවලට ප්‍රතිචාරය දක්වන්නේ කවුද?
7 පුරාණ බැබිලෝනිය නුවර මේද-පර්සියාව අතට පත් වන අවස්ථාව ගැන යෙරෙමියා පැවසුවේ මෙසේයි. “එකල අහසත් පොළොවත් එහි තිබෙන සියල්ලත් බැබිලෝනිය ගැන ප්‍රීතියෙන් ගී කියන්නෝය.” (යෙරෙමියා 51:48) ඒ හා සමානව මහා බැබිලෝනිය විනාශ වන විට සිදු වන දේ ගැන ස්වර්ගයෙන් නික්මුණු හඬ පවසන්නේ මෙයයි. “ස්වර්ගය සහ ශුද්ධ තැනැත්තෙනි, ප්‍රේරිතවරුනි, අනාගතවක්තෘවරුනි, ඇය ගැන ප්‍රීති වන්න. මන්ද දෙවි ඇයව විනිශ්චය කර, ඔබ වෙනුවෙන් ඇගෙන් පළිගත්තේය!” (එළිදරව් 18:20) මෙතරම් දිගු කලක් පුරා දෙවිට සතුරුකම් පෑ මහා බැබිලෝනියේ විනාශය ගැන යෙහෝවා දෙවිද ඔහුගේ දූතයන්ද ඉතා සතුටු වෙනවා. මීට අමතරව දැන් තම නැවත නැඟිටීමෙන් පසු ස්වර්ගයේ වැඩිමහල්ලන් 24දෙනා ලෙස පෙනී සිටින ප්‍රේරිතයන් සහ පළමු සියවසේ සිටි අභිෂේක ලත් අනාගතවක්තෘවරුන් මේ ගැන ප්‍රීති වෙනවා.—ගීතාවලිය 97:8-12 බලන්න.
8 ඇත්තටම සියලුම “ශුද්ධ තැනැත්තන්” එනම් ස්වර්ගයට ගොස් සිටින අය හා පොළොව මත තවමත් සිටින අය ප්‍රීතියෙන් සිටිනවා. ඔවුන් සමඟ සේවය කරන වෙනත් බැටළුවන්ට අයත් මහත් සමූහයටත් දැනෙන්නේ මහත් ප්‍රීතියක්. මෙම ප්‍රීතිමත් හඬට ඉදිරියේ එකතු වන තවත් පිරිසක් නම් අතීතයේදී දෙවිට විශ්වාසවන්තව සේවය කළ අයයි. එය සිදු වෙන්නේ ඔවුන් නැවත නැඟිටුණායින් පසුවයි. මහා බැබිලෝනියට අයත් ආගම් ඔවුන්ට නොයෙකුත් ආකාරවලින් පීඩා කළත් ඔවුන්ගෙන් පළිගැනීමට දෙවිගේ සේවකයන් කිසිම විටෙක උත්සාහ කර නැහැ. යෙහෝවා දෙවි කියන්නේ ‘පළිගැනීම මාගේය. මම විපාක දෙන්නෙමි’ කියායි. මේ කාරණය ඔවුන් හැමවිටම මතකයේ තබාගෙන සිටිනවා. (රෝම 12:19; ද්විතීය කතාව 32:35, 41-43) දැන් යෙහෝවා දෙවි ඔවුන්ට විපාක දෙන ඒ කාලය පැමිණ තිබෙනවා. ඔහු මහා බැබිලෝනිය විසින් කර ඇති සියලුම ලේ වැගිරීම්වලට පළිගන්නවා නිසැකයි.
මහත් ඇඹරුම් ගලක් හෙළනු ලබයි
9, 10. (අ) බලවත් දේවදූතයෙක් දැන් කරන්නේ සහ කියන්නේ කුමක්ද? (ආ) එළිදරව් 18:21හි සඳහන් බලවත් දේවදූතයා කළ ක්‍රියාවට සමාන ක්‍රියාවක් යෙරෙමියාගේ කාලයේ සිදු වුණේ කෙසේද? එයින් තහවුරු වුණේ කුමක්ද? (ඇ) යොහන් දකින බලවත් දේවදූතයා කරන දෙයින් තහවුරු වෙන්නේ කුමක්ද?
9 යොහන් ඊළඟට දකින දෙයින් තහවුරු වෙන්නේ මහා බැබිලෝනිය මතට යෙහෝවා දෙවි ගෙනෙන විනිශ්චය ස්ථිර බවයි. “එවිට බලවත් දේවදූතයෙක්, මහත් ඇඹරුම් ගලක් වැනි වූ ගලක් ගෙන එය මුහුදට හෙළමින් මෙසේ කීවේය: ‘මෙය වේගයෙන් පහතට හෙළුවාක් මෙන් මහත් නුවර වන බැබිලෝනිය හෙළනු ලබන්නීය. නැවත කිසිදාක ඇය සම්බ නොවන්නීය.’” (එළිදරව් 18:21) යෙරෙමියාගේ කාලයේදී ඒ හා සමාන දෙයක් සිදු කරනු ලැබුවා. “බැබිලෝනියට පැමිණෙන සියලු නපුර” ගැන පොතක් ලිවීමට දෙවි යෙරෙමියාට බලය දුන්නා. එම පොත ලියූ යෙරෙමියා සෙරායා නම් තැනැත්තෙකුට පැවසුවේ එය රැගෙන බැබිලෝනියට යන ලෙසයි. යෙරෙමියාගේ උපදෙස් පිළිපැද්ද සෙරායා එම නගරයට එරෙහිව කළ ප්‍රකාශය මෙයයි. “අහෝ, යෙහෝවා, මේ ඉඩමේ කිසිවෙකු, එනම් මනුෂ්යයෙකුවත් මෘගයෙකුවත් නොවසන තරම් මේක නිතරම පාළු වන ලෙස මෙය සිඳ දමන්ට මීට විරුද්ධව ඔබ කතා කළේය.” ඉන්පසුව සෙරායා එම පොත ගලක බැඳ යුප්‍රටීස් ගඟට විසි කළේ මෙසේ කියමින්. “බැබිලෝනිය මෙසේ ගිලී මා විසින් ඇයට පමුණුවන නපුරෙන් ගොඩ නොඑන්නීය.”—යෙරෙමියා 51:59-64.
10 එම පොත ගලක බැඳ ගඟට විසි කිරීමෙන් අදහස් කළේ කුමක්ද? එනම් බැබිලෝනිය නැවත කිසිදාක ගොඩගන්න බැරි වන ලෙස විනාශ වන බවයි. ඒ සිද්ධියට නුදුරු අනාගතයේදීත් ප්‍රබල ඉටුවීමක් තිබෙනවා. මන්ද සෙරායා කළා හා සමාන දෙයක් බලවත් දේවදූතයෙක් කරනවා යොහන් දකින නිසයි. මෙයින් තහවුරු වෙන්නේ මහා බැබිලෝනිය සම්බන්ධයෙන් යෙහෝවා දෙවි අරමුණු කර ඇති දේ සහතිකවම ඉටු වෙන බවයි. අදත් පුරාණ බැබිලෝනියේ නටබුන් ගැන සිතද්දී අපට තහවුරු වෙන්නේ මහා බැබිලෝනියට අයත් ආගම්වල විනාශය නුදුරු අනාගතයේදී අනිවාර්යයෙන්ම සිදු වන බවයි.
11, 12. (අ) දැන් බලවත් දේවදූතයා මහා බැබිලෝනියට පවසන්නේ කුමක්ද? (ආ) යෙරෙමියා දෙවිගෙන් ඉවත්ව ගිය යෙරුසලම ගැන පැවසුවේ කුමක්ද? එය අද දිනට අදාළ වෙන්නේ කෙසේද?
11 බලවත් දේවදූතයා දැන් මහා බැබිලෝනියට මෙසේ පවසනවා. “කුඩා වීණා වයන ගායනාකරුවන්ගේවත්, සංගීතඥයන්ගේවත්, නළාකාරයන්ගේවත්, හොරණෑකාරයන්ගේවත් හඬ ඔබ තුළ නැවත කිසිදා අසන්න ලැබෙන්නේ නැත. කිසිම කර්මාන්තකරුවෙකු ඔබ තුළ නැවත කිසිදා සම්බ වෙන්නේද නැත. ඇඹරුම් ගලක ශබ්දය ඔබ තුළ නැවත කිසිදා ඇසෙන්නේද නැත. පහනක එළියක් ඔබ තුළ නැවත කිසිදා බැබළෙන්නේද නැත. මනාලයෙකුගේවත් මනාලියකගේවත් කිසි හඬක් ඔබ තුළ නැවත කිසිදා ඇසෙන්නේද නැත. මන්ද ඔබේ සංචාරක වෙළෙන්දෝ පොළොවේ උසස් නිලධාරියෝව සිටියහ. ඔබේ භූතවාදී ක්‍රියා නිසා සියලු ජාතීහු නොමඟ ගියහ.”—එළිදරව් 18:22, 23.
12 යෙරෙමියාද ඒ හා සමාන වචන භාවිත කරමින් දෙවිගෙන් ඉවත්ව ගිය යෙරුසලමට පැවසුවේ මෙසේයි. “මම ප්‍රීති හඬ සහ සතුටු වීමේ හඬත් මනමාලයාගේ හඬ සහ මනමාලීගේ හඬත් අඹරන ගල්වල ශබ්දය සහ පහන් එළියත් ඔවුන් කෙරෙන් පහ කර දමන්නෙමි. මේ මුළු දේශය පාළුවක්ද විස්මයක්ද වෙන්නේය.” (යෙරෙමියා 25:10, 11) ක්‍රිස්තු පූර්ව 607දී යෙරුසලම විනාශ වී පාළු වූ ආකාරයටම මහා බැබිලෝනියේ ප්‍රධාන කොටස වන ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලි සමූහය විනාශ වී පාළු වෙනවා. ඇය වරක් නොනිමි නගරයක් සේ සිටියත් ඇයට දැන් අත් වෙන්නේ පාළුව හා විනාශය පමණයි.
13. මහා බැබිලෝනියට හදිස්සියේ සිදු වෙන්නේ කුමක්ද? මෙය ඇගේ ‘සංචාරක වෙළෙන්දන්ට’ බලපාන්නේ කෙසේද?
13 ඇත්තටම මෙම දේවදූතයා යොහන්ට පවසන්නේ මහා බැබිලෝනියට අයත් සියලුම ආගම්, මුළු රටවල් පාලනය කළ ජාත්‍යන්තර අධිරාජ්‍යයක්ව සිට දැන් පාළු, වියළි කාන්තාරයක් බවට පත් වෙන බවයි. ඇයව අතකොළුවක් කරගත් කෝටිපතීන් ඇතුළු ‘සංචාරක වෙළෙඳුන්’ ආගම පාවිච්චි කළේ පෞද්ගලික වාසි සඳහායි. එසේ නැත්නම් තමන් කරන ජාවාරාම් සඟවාගැනීමටයි. ආගමික නායකයනුත් මොවුන් සමඟ සම්බන්ධතා පැවැත්වීමෙන් වාසි ප්‍රයෝජන නොලැබුවාම නෙවෙයි. නමුත් මෙම වෙළෙඳුන්ගේ සහයට ආයේ මහා බැබිලෝනිය සිටින්න යන්නේ නැහැ. ඇගේ අද්භූත ආගමික වතාවත්වලින් ලෝකයේ ජාතීන්ව නොමඟ යවන්න නම් ඇයට නැවතත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.
ඇගේ ලේ වරද මොන තරම්ද!
14. මහා බැබිලෝනියට යෙහෝවා දෙවිගෙන් මෙතරම් දරුණු විනිශ්චයක් ලැබීමට හේතුව ගැන බලවත් දේවදූතයා පවසන්නේ කුමක්ද? යේසුස් පොළොවේ සිටියදී ඒ හා සමානව පැවසුවේ කුමක්ද?
14 මහා බැබිලෝනියට යෙහෝවා දෙවිගෙන් මෙතරම් දරුණු විනිශ්චයක් ලැබීමට හේතුව ගැන අවසන් වශයෙන් බලවත් දේවදූතයා පවසන්නේ මෙසේයි. “එසේය, අනාගතවක්තෘවරුන්ගේත්, ශුද්ධ තැනැත්තන්ගේත්, පොළොවේදී මරනු ලැබූ සියල්ලන්ගේත් ලේ ඇය තුළ සම්බ වුණේය.” (එළිදරව් 18:24) යේසුස් පොළොවේ සිටියදී ඔහු යෙරුසලමේ සිටි ආගමික නායකයන්ට පැවසුවේ, ඔවුන් ‘ධර්මිෂ්ඨ වූ ආබෙල්ගේ පටන් . . . පොළොවේදී වගුරුවන සියලු ධර්මිෂ්ඨයන්ගේ ලේවලට’ වග කිව යුතු බවයි. මේ අනුව ඒ වංක පරම්පරාව ක්‍රි.ව. 70දී විනාශ වුණා. (මතෙව් 23:35-38) අදත් තවත් පරම්පරාවක් පිට මහත් ලේ වරදක් ගොඩගැසී තිබෙනවා. ඒ දෙවිගේ සේවකයන්ට පීඩා ගෙනෙන ආගමික නායකයන් ඇතුළුව ඔවුන්ගේ ගෝලයනුයි.
15. හිට්ලර්ගේ කාලයේදී කතෝලික සභාව ලේ වරදට හසු වුණේ කෙසේද?
15 ගුන්ටර් ලුවී නමැති ලේඛකයා තම පොතේ මෙසේ ලියනවා. “වර්ෂ 1933 අප්‍රියෙල් 13වනදා ජර්මනියේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කළ විට අධ්‍යාපන හා ආගමික කටයුතු අමාත්‍යාංශය කතෝලික සභාවට පැවසුවේ එහි ක්‍රියාශීලී සාමාජිකයන්ව හඳුනාගෙන තමන්ට භාර දෙන්න කියායි. පල්ලිය එම පැවරුම භාරගත්තේ මහත් උනන්දුවකිනුයි.” (The Catholic Church and Nazi Germany) මේ අනුව සාක්ෂිකරුවන් දහස් ගණනක් ගාල් කඳවුරුවලට යැවීම ගැන කතෝලික සභාවත් වග කිව යුතුයි. ඒ වගේම ඒ ගාල් කඳවුරුවල මරා දැමූ සාක්ෂිකරුවන් සිය ගණනකගේ ලේවලටත් ඔවුන් වග කිව යුතුයි. විල්හෙල්ම් කුසරෝ වැනි තරුණ සාක්ෂිකරුවන්ව වෙඩි තබා මරා දමනු ලැබුවේ ඔවුන් යුද්ධයට බැඳීම ප්‍රතික්ෂේප කළ නිසයි. ඔවුන් මරණයට මුහුණ දුන්නේ ඉතා එඩිතරවයි. එයින් නොසෑහීමට පත් වූ හිට්ලර් තීරණය කළේ මෙවැනි අයව වෙඩි තබා මරා දැමීමට වඩා කුරිරු දෙයක් කළ යුතු බවයි. එමනිසා විල්හෙල්ම්ගේ සහෝදරයා වූ වුල්ෆ්ගැංව මරා දැමුවේ ඔහුගේ හිස ගසා දැමීමෙනුයි. කතෝලික සභාව තම මව්බිම වෙනුවෙන් සටනට ගොස් දිවි පුදන්න කියා කතෝලික ජර්මානු තරුණයන්ට උනන්දු කළේ ඒ කාලයේදීයි. මොන තරම් ලේ වරදක්ද!
16, 17. (අ) මහා බැබිලෝනිය වග කිව යුත්තේ කාගේ ලේවලටද? නාට්සිවරුන් අතින් මිය ගිය යුදෙව්වන්ගේ ලේවලට වතිකානුව වග කිව යුත්තේ ඇයි? (ආ) වර්තමානයේ යුද්ධවලින් මිය යන මිලියන ගණනකගේ ජීවිතවලට මහා බැබිලෝනිය වග කිව යුතු බව පැවසීමට එක් හේතුවක් නම් කරන්න.
16 නමුත් “පොළොවේදී මරනු ලැබූ සියල්ලන්ගේත් ලේ” සඳහා මහා බැබිලෝනිය වග කිව යුතු බව මේ අනාවැකියේ සඳහන් වෙනවා. වර්තමාන කාලවලදී සිදු වී ඇති දෙයින් මෙය මනාව පැහැදිලි වෙනවා. නිදසුනක් ලෙස හිට්ලර් ජර්මනියේ බලය තහවුරු කරගත්තේ කතෝලික සභාවේ සහයෝගයෙන් බව අපි කලින් සලකා බැලුවා. ඒ නිසා නාට්සිවරුන් අතින් මිය ගිය යුදෙව්වන් මිලියන හයදෙනාගේ ලේවලට වතිකානුවත් වග කිව යුතුයි. මීට අමතරව අපගේ කාලයේදී සිය ගණනක් යුද්ධවලින් මිනිසුන් මිලියන සිය ගණනක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මහා බැබිලෝනියට අයත් ආගම් මේවාටත් වග කිව යුතුද? හේතු දෙකක් නිසා ඒවාටත් වග කිව යුතුයි.
17 බොහෝ යුද්ධ හටගැනීමට මුල්ම හේතුව වෙන්නේ ආගම් අතර ඇති වන ගැටුම්කාරී ස්වභාවයයි. නිදසුනකට 1946-1948 දක්වා කාලයේදී ඉන්දියාවේ මුස්ලිම් සහ හින්දු භක්තියකයන් අතර ඇති වූ කෝලහල මතු වුණේ ආගමික හේතු නිසයි. මෙහිදී ජීවිත ලක්ෂ ගණනක් අහිමි වුණා. ඒ වගේම ඉරාකය සහ ඉරානය අතර 1980 ගණන්වල පැවති යුද්ධයට හේතුව වුණේ මුස්ලිම් නිකායන් දෙකක් අතර ඇති වූ ගැටුම්කාරී තත්වයයි. මෙහිදීද ලක්ෂ ගණනක් මරු දුටුවා. මීට අමතරව උතුරු අයර්ලන්තයේ කතෝලිකයන් සහ රෙපරමාදු භක්තිකයන් අතර ඇති වූ ගැටුම් නිසාත් ජීවිත දහස් ගණනක් නැති වී තිබෙනවා. යුද්ධ පිළිබඳව සමීක්ෂණයක් පැවැත්වූ සී.එල්. සුල්ස්බර්ගර් නම් ලේඛකයා 1976දී පැවසුවේ මෙසේයි. “ලෝකයේ දැනට පවතින යුද්ධවලින් අඩක් හෝ ඊට වැඩි ගණනක් හටගෙන තිබෙන්නේ කෙළින්ම හෝ වක්‍රාකාරව යම් ආගමික ප්‍රශ්නයක් ඇති වී තිබෙන නිසයි. මෙය කනගාටුවෙන් වුණත් පැවසිය යුතු සත්‍යයක්.” ඇත්තෙන්ම මහා බැබිලෝනියේ මුළු ඉතිහාසය පුරා මෙය සැබෑවක් වී තිබෙනවා.
18. ලෝකයේ ආගම් ලේ වරදට හසු වී සිටින දෙවන හේතුව කුමක්ද?
18 දෙවන හේතුව කුමක්ද? ලෝකයේ ආගම් ඔවුන්ගේ අනුගාමිකයන්ට යෙහෝවා දෙවි තම සේවකයන්ගෙන් බලාපොරොත්තු වන දේ පැහැදිලිව උගන්වා නැහැ. ඒ නිසා දෙවි ඔවුන්ව සලකන්නේ ලේ වරදට හසු වී සිටින පිරිසක් ලෙසයි. දෙවිගේ සැබෑ නමස්කාරකයන් කෙනෙකුගේ ජාතිය නොබලා යේසුස් වගේ සියලුදෙනාටම එක හා සමානව ප්‍රේම කළ යුතු බව ඔවුන් ජනතාවට උගන්වා නැහැ. (මීකා 4:3, 5; යොහන් 13:34, 35; ක්‍රියා 10:34, 35; 1 යොහන් 3:10-12) මහා බැබිලෝනියට අයත් ආගම් මේ කිසිවක් ජනතාවට උගන්වා නැති නිසා ඔවුන්ගේ සාමාජිකයන් ජාත්‍යන්තරව පවතින යුද්ධවලට පැටලී සිටිනවා. පසුගිය 20වන සියවසේදී ක්‍රිස්තියානියයි කියාගන්නා රටවල ආරම්භ වූ ලෝක යුද්ධ දෙකෙන්ම මෙය ප්රබලව පැහැදිලි වුණා. දෙපැත්තේම සිටි ක්‍රිස්තියානියයි කියාගන්නා අයම එකිනෙකාව ඝාතනය කරන්න පටන්ගත්තා. තමන් ක්‍රිස්තියානීන් බව කියාගත් අය බයිබල් ප්‍රමිතිවලට ඇලී සිටියා නම් මේ යුද්ධ ඇති වෙන්නේ නැහැ.
19. මහා බැබිලෝනිය වග කිව යුත්තේ කුමන අතිමහත් ලේ වරදටද?
19 මේ මහත් ලේ වරදට වග කිව යුත්තේ මහා බැබිලෝනිය බව යෙහෝවා දෙවි තීන්දු කර තිබෙනවා. ආගමික නායකයන්, විශේෂයෙන් ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවල නායකයන් ජනතාවට බයිබලයේ තිබෙන සත්‍යයන් නිවැරදිව උගන්වා තිබුණා නම් මෙතරම් මහත් ලේ වැගිරීමක් සිදු වෙන්නේ නැහැ. එමනිසා මේ ලෝකයේ අධිරාජ්‍යයක් හා සමානව පැතිර ඇති අසත්‍යය උගන්වන සියලුම ආගම් වන මහා බැබිලෝනිය, ඇය පිඩා කළ මරා දැමූ ‘අනාගතවක්තෘවරුන්ගේ හා ශුද්ධ තැනැත්තන්ගේ ලේවලට’ පමණක් නොව ‘පොළොවේදී මරනු ලැබූ සියල්ලන්ගේ ලේවලට’ වග කිව යුතුමයි. එය මොන තරම් අතිමහත් ලේ වරදක්ද! ඒ සම්බන්ධයෙන් යෙහෝවා දෙවිට ගණන් දෙන්න ඇයට සිදු වී තිබෙනවා. ඇගේ විනාශය සිදු වන විට මොන තරම් සාධාරණයක් ඉටු වෙයිද!
[270වන පිටුවේ කොටුව]
කතෝලික සභාව හිට්ලර්ට එරෙහිව සිටියා නම්
ගුන්ටර් ලුවී තම පොතේ මෙසේ පවසනවා. “ජර්මනියේ පිහිටි කතෝලික සභාව හිට්ලර්ගේ නාට්සි පාලනයට එරෙහිව සිටියා නම් ලෝක ඉතිහාසය බොහෝ දුරට වෙන මඟක් ඔස්සේ යනවා. ඔවුන්ගේ එවැනි විරෝධයක් දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස හිට්ලර්ව පරාජය කරන්න බැරි වුණත්, ඔහුගේ අපරාධ රාශිය වළක්වන්න බැරි වුණත් කතෝලික සභාවට අඩුම තරමින් හොඳ නමක්වත් දිනාගන්නා තිබුණා. එසේ විරෝධය දැක්වීමෙන් ඔවුන්ට සමහරවිට නොයෙකුත් අපහසුතා විඳින්න සිදු වෙනවා. නමුත් ඒ අපහසුතා විඳින්නේ වඩාත් උතුම් අරමුණක් ඉටු කරගැනීමටයි. සමහරවිට ඔවුන් එලෙස එරෙහිව සිටියා නම් හිට්ලර්ට තමාගේ රටවැසියන්ගේ සහයෝගය නැති නිසා යුද්ධයට යන්න වුණත් ඔහු පසුබට වෙනවා. එයින් මිනිසුන්ගේ ජීවිත කොතරම් මිලියන ගණනක් බේරාගන්න තිබුණාද! නමුත් සිදු වුණේ එය නෙවෙයි. නාට්සිවාදයට විරුද්ධ වූ ජර්මානුවන් දහස් ගණනකට හිට්ලර්ගේ ගාල් කඳවුරුවල දහසකුත් වධ දුන්නා. පෝලන්තයේ උගතුන්ව ඝාතනය කළා. රුසියන්වරුන් පහත් ජාතියක් ලෙස සැලකූ නිසා ඔවුන්ගෙන් ලක්ෂ ගණනක් මිය ගියා. යුදෙව්වන් මිලියන හයදෙනෙක් ආර්ය ජාතිකයන් නොවූ නිසා ඝාතනය කළා. මේ බිහිසුණු දේවල් සිදු වෙද්දී ජර්මනියේ කතෝලික සභාවේ නායකයන් කළේ කුරිරු නාට්සි පාලනයට අත හිත දීම හා ඒ අපරාධවලට සහයෝගය දැක්වීමයි. මේ සියල්ල සිදු වෙද්දී රෝමානු කතෝලික සභාවේ ශ්‍රේෂ්ඨ නායකයාණන් සහ ගුරුවරයාණන් වූ රෝමයේ පාප්තුමාද මුනිවත රකිමිනුයි සිටියේ.”—The Catholic Church and Nazi Germany, 320, 341 පිටු.
[268වන පිටුවේ පින්තූර]
“අහෝ! අහෝ” යයි විලාප දෙන පාලකයෝ
[268වන පිටුවේ පින්තූර]
“අහෝ! අහෝ!” කියමින් වැලපෙන වෙළෙන්දෝ