බයිබලයේ දෘෂ්ටි කෝණය
දෙවියන්වහන්සේ ද්වේෂ කරන්නේ කිනම් අයුරක දික්කසාදයද?
“මගේ දික්කසාදයත් සමඟම ගැටලු රාශියක් ඇති වුණා,” යයි තම ස්වාමිපුරුෂයා අවිශ්වාසවන්ත වූ ක්‍රිස්තියානි ස්ත්‍රියක් ලීවාය. “සකස්වීමේ කාල පරිච්ඡේදය එතරම් පහසු කාලයක් වූයේ නෑ. මට මානසිකව පමණක් නොව නමුත් මූල්‍යමය වශයෙන් හා ආත්මික වශයෙන්ද සකස්වීමට සිදු වුණා. යෙහෝවඃවහන්සේ දික්කසාදයට ද්වේෂ කරන බව ශුද්ධලියවිලිවල පවසන දේ දන්නා බැවින්, උන්වහන්සේ මගේ තීරණයට ආශීර්වාද කරනු ඇත්දැයි මා කල්පනා කරන්නට වුණා. මෙය නිරතුරු කරදරයක්ව තිබුණා.”
විවාහයක් අවසන් වන විට, ඇතිවන ආකූලතා අවසන් නොවේ. සම්පූර්ණයෙන්ම අලුත් ගැටලු රාශියක් හිටිහැටියේම පැන නඟියි. විෂාදය, තනිකම හා වරද සහිත බව යන හැඟීම් හිටිහැටියේම මතුවේ. භාරකාරත්වය සඳහා සටන් කරන්නට සිදුවේ. මව හෝ පියා වෙනුවෙන් හඬමින් සිටින දුවක් හෝ පුතෙක්. පීඩා කරවන මූල්‍යමය අසීරුතා. විවාහය තුළ පමණක් පැවැත්විය යුතු සමීපකම් සඳහා ආශාව මැඩපැවැත්වීමට වෑයමක යෙදෙන්නට සිදුවීම.
තවද දෙවියන්වහන්සේගේ දෘෂ්ටිය ගැනද සිතන්නට සිදුවේ. දෙවියන්වහන්සේ ‘දික්කසාද කිරීමට ද්වේෂ,’ කරන බව බයිබලය පවසයි. (මලාකී 2:16) දෙවියන්වහන්සේ සියලු දික්කසාද කිරීම්වලට ද්වේෂ කරන බව මෙම වචනවලින් අදහස් කරයිද? එබැවින්, සහකරුවෙකු අවිශ්වාසවන්ත වී ඇති විට දික්කසාද කිරීම වරද සහිත යයි ක්‍රිස්තියානියෙකුට හැඟිය යුතුද? පිළිතුරු සඳහා, මලාකීගේ දවස්වලදී දෙවියන්වහන්සේ දික්කසාදයට ද්වේෂ කරන බව පැවසීමට උන්වහන්සේව පෙලඹවූ තත්ත්වයන් ගැන අපි සලකා බලමු.
“ද්‍රෝහිකම් නොකර සිටපල්ලා”
යුදෙව් වහලුන් බබිලෝනියෙන් නැවත පැමිණ ශතවර්ෂයක් පමණ ගතවූ පසු, එනම් පො.යු.පෙ. 443න් පසුව මලාකී අනාගතවාක්‍ය කීවේය. යුදයේ, විශේෂයෙන් පූජකයන් අතරේ පිළිකුල්සහගත තත්ත්වයන් වර්ධනය වී තිබිණ. (මලාකී 2:7-9) බොරු කීම, කාමමිථ්‍යාචාරය, වංචාව සහ හිංසාපීඩා වැනි ක්‍රියාවන් පොදුවේ ඉශ්රායෙල්වරුන් අතර පැතිර පැවතිණ. (මලාකී 3:5) මේ තත්ත්වයන් නිසා සෑම දෙනෙකුම වාගේ දේවල් දෙස කොතරම් වපර ඇසින් බැලුවාද කිවහොත්, සමහරෙක් මෙසේ නිගමනය කළහ: “දෙවියන්වහන්සේට සේවයකිරීම නිෂ්ඵලය.”—මලාකී 3:14.
මලාකීගේ දවස්වල ආගමික හා සදාචාර පිරිහීම විවාහය සඳහා ගෞරවයේ පහත වැටීමේදීත් පිළිබිඹු විය. සමහරවිට වඩා බාල මිථ්‍යා දෘෂ්ටික ස්ත්‍රීන්ව විවාහ කරගැනීම සඳහා බොහෝ ඉශ්රායෙල් පුරුෂයෝ තම යෞවන වියේදී විවාහ කරගත් භාර්යාවන්ව දික්කසාද කරමින් සිටියහ. දෙවියන්වහන්සේ ඉදිරියේ හඬා වැළපීමට හා සුසුම්ලෑමට ශුද්ධස්ථානයට පැමිණි ප්‍රතික්ෂේප වූ භාර්යාවන්ගේ කඳුළුවලින් යෙහෝවඃවහන්සේගේ පූජාසනය වැසී ගියේය.—මලාකී 2:13-15.
එවන් දික්කසාදයක් ගැන යෙහෝවඃ දෙවියන්වහන්සේට හැඟුණේ කෙසේද? මලාකී මාර්ගයෙන් උන්වහන්සේ මෙසේ අනතුරු ඇඟවූ සේක: “එබැවින් නුඹලාගේ ආත්මය ගැන ප්‍රවේසම්වෙයල්ලා, කිසිවෙක් තමාගේ තරුණ වයසේ භාර්යාවට විරුද්ධව ද්‍රෝහිලෙස ක්‍රියා නොකෙරේවා. මක්නිසාද [භාර්යාවන්] අත්හැරදැමීමට [දික්කසාද කිරීමට, NW ] මම ද්වේෂකරමියි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW ] කියනසේක; . . . එබැවින් නුඹලාගේ ආත්ම ගැන ප්‍රවේසම්වී, ද්‍රෝහිකම් නොකර සිටපල්ලා.” (මලාකී 2:15, 16) තියලොජිකල් වර්ඩ්බුක් ඔෆ් දි ඕල්ඩ් ටෙස්ටමන්ට් නමැති ග්රන්ථයට අනුව, ‘ද්‍රෝහිකම් කිරීම’ යනුවෙන් දක්වා ඇති හෙබ්‍රෙව් වචනවලින් අදහස් කරන්නේ “රැවටිලිකාර ලෙස ක්‍රියා කිරීම, අවිශ්වාසවන්ත ලෙස (ක්‍රියා කිරීම)” යන්නය. ගීතාවලිය 59:5, මෙම ක්‍රියා පදයේ කෘදන්ත ආකාරය ගෙනහැර දක්වන්නේ ‘ද්‍රෝහිකම්කරන්නන්’ කියාය.
එවන් පසුබිමක් ආධාරයෙන්, මලාකී 2:16හි වචන අපට වඩා හොඳින් තේරුම් ගත හැකියි: ‘උන්වහන්සේ දික්කසාදයට ද්වේෂ කළ සේක.’ වෙනත් කෙනෙකුව ගැනීම සඳහා වගකීමක් නොමැතිව එක් කලත්‍රයෙකු අත්හැර දමන ආකාරයේ දික්කසාදයකට යෙහෝවඃවහන්සේ ද්වේෂ කරන සේක. උදාහරණයක් වශයෙන්, මිනිසෙකු කාමමිථ්‍යාචාරයේ යෙදී, පසුව වෙනත් කෙනෙකු හා විවාහ වීම සඳහා නිර්දෝෂ කලත්‍රයාව, ඇගේ කැමැත්තට විරුද්ධව දික්කසාද කරන හෝ ඔහුව දික්කසාද කරන්න යයි බල කරන තැනැත්තා ඇත්තෙන්ම සිය භාර්යාව සමඟ ද්‍රෝහි ලෙස ක්‍රියා කරන්නේය. නිර්දෝෂ කලත්‍රයාට කරන මෙම රැවටිලිකාර, අවිශ්වාසවන්ත සැලකිල්ල දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ අති දරුණු පාපයකි. ස්ත්‍රියකගේ ජීවිතයේ හොඳම කාලයෙන් ප්‍රයෝජන ගෙන, සමහරවිට වඩා බාල ස්ත්‍රියකට කැමැත්ත දක්වමින් ඇයව අත්හැර දමන මිනිසා, ඇත්තෙන්ම ද්‍රෝහියෙකි.a
එහෙත්, කාමමිථ්‍යාචාරයේ යෙදී ඇති කලත්‍රයෙකු දික්කසාද කිරීමට තීරණය කරන නිර්දෝෂ කලත්‍රයා ගැන කුමක් කිව හැකිද? දෙවියන්වහන්සේ එවැනි දික්කසාදයන්ටත් ද්වේෂ කරන සේක්ද?
දෙවියන්වහන්සේගේම ආදර්ශය
කාමමිථ්යාචාරි කලත්‍රයෙකු දික්කසාද කරනවාද නැද්ද යන තීරණයකට මුහුණ පා සිටින විට ඇතිවන හැඟීම් දෙවියන්වහන්සේට සැබවින්ම දැනගත හැකිද? සංකේතාත්මකව පවසනවා නම්, යෙහෝවඃවහන්සේ ස්වකීය ව්‍යවස්ථාව මගින් පැරණි ඉශ්රායෙල් ජාතිය සමඟ තමන්වහන්සේ විවාහයකට බැඳී සිටින බව සැලකූ සේක. (යෙසායා 54:1, 5, 6; 62:1-6; යෙරෙමියා 31:31, 32) ස්වාමිපුරුෂයෙකු වශයෙන්, යෙහෝවඃවහන්සේ කිසිවිටකත් ස්වකීය ස්නේහයන් වෙනත් ජාතීන් වෙත යොමු නොකර, සැමදා විශ්වාසවන්තව සිටි සේක. (ගීතාවලිය 147:19, 20; ආමොස් 3:1, 2) එහෙත් ඉශ්රායෙල්වරුන් ගැන කුමක් කිව හැකිද? ජාතිය ඔප්පු කළේ කිනම් අයුරක භාර්යාවක කියාද?
සමස්තයක් වශයෙන් ජාතිය යළි යළිත් ව්‍යවස්ථාවට අවිශ්වාසවන්ත බව ඔප්පු කළ අතර, අවසානයේදී දානියෙල් 9:5, 6හි වාර්තා වී ඇති යාච්ඤාවේ විස්තර කර ඇති තත්ත්වයට පැමිණියේය: “අපි පව්කොට, අයුතුකම්කොට, දුෂ්ටකම්කොට, කැරලිගසා, ඔබගේ ශික්ෂාවලින්ද ඔබගේ විනිශ්චයවලින්ද ඉවත්ව ගියෙමුව. ඔබවහන්සේගේ නාමයෙන් අපේ රජවරුන්ටත් අපේ අධිපතීන්ටත් අපේ පියවරුන්ටත් දේශයේ වැසියන්වූ සියල්ලන්ටත් කථාකළ අනාගතවක්තෲන්වූ ඔබගේ මෙහෙකරුවන්ට අපි ඇහුම්කන් නුදුන්නෙමුව.” යෙහෝවඃවහන්සේගේ නෙත් හමුවේ, එවැනි අවිශ්වාසවන්තකම සමාන වූයේ භාර්යාවක කාමමිථ්‍යාචාරයේ යෙදීමටය.—යෙරෙමියා 3:1.
ශතවර්ෂ ගණනාවක් පුරා ඉවසීමෙන් සහ බොහෝ ඉවසිලිවන්තකම දැරීමෙන් පසු, යෙහෝවඃවහන්සේ කුමක් කළ සේක්ද? බලවත් විනිශ්චයමය ක්‍රියාවක් ගැනීමෙන්, පළමුව ඔවුන්ගේ රටෙන් උතුරු ගෝත්‍රද, ඉන්පසු දකුණු ගෝත්‍රද වහල්භාවයට ඇද දැමීමෙන් යෙහෝවඃවහන්සේ අනතුරුව තමන්වහන්සේවම ජාතියෙන් දික්කසාද කරගත් සේක. (යෙරෙමියා 3:8; දානියෙල් 9:11, 12) එබැවින් උන්වහන්සේගේම ආදර්ශය සලකා බැලීමේදී, නිර්දෝෂ කලත්‍රයෙකු, විවාහ පොරොන්දුවට අවිශ්වාසවන්තව ක්‍රියා කර ඇති කලත්‍රයෙකු දික්කසාද කිරීමට තෝරන විට එයට ද්වේෂ කිරීමට යෙහෝවඃ දෙවියන්වහන්සේට හැක්කේ කෙසේද?
දෙවියන්වහන්සේගේ නෙත් හමුවේ විවාහය පරිශුද්ධ වන අතර, එයට ඇතුළත් වන අය තමන් කර තිබෙන පොරොන්දුව සැහැල්ලු ලෙස නොසැලකිය යුතුය. (හෙබ්‍රෙව් 13:4) එහෙත් කෙනෙකුගේ කලත්‍රයා “වේශ්‍යාකමෙහි” යෙදීමෙන් පොරොන්දුවට අවිශ්වාසවන්ත වන්නෙහි නම්, සමාව දෙනවාද නැතහොත් දික්කසාද වෙනවාද කියා තීරණය කිරීමට දෙවියන්වහන්සේ නිර්දෝෂ තැනැත්තාට අයිතිය පවරන සේක. (මතෙව් 19:9) එය නිර්දෝෂ කලත්රයාම ගත යුතු දුෂ්කර තීරණයකි. නිර්දෝෂ තැනැත්තා විවාහය අවසන් කිරීමට තීරණය කළ විට, ඔහු හෝ ඇය දික්කසාද වීමට තීරණය කිරීම ගැන වරද සහිත බවක් හැඟීමට අවශ්‍ය නොවේ. යෙහෝවඃවහන්සේ ද්වේෂ කරන්නේ සියලු දික්කසාදයන්ට නොව, නමුත් වෙනත් කෙනෙකු ගැනීම සඳහා කලත්‍රයෙකු අත්හැර දැමීමෙන් ශුද්ධලියවිලිවලට පටහැනිව කරන දික්දසාදයටය.b
[පාදසටහන්වල]
a පාපතර ආකල්පයන් හා එවන් හැසිරීමට ද්වේෂ කරන බව යෙහෝවඃ දෙවියන්වහන්සේ ශුද්ධලියවිලි පුරා තමන්වහන්සේ ගැනම පවසන සේක. (ද්විතීය කථාව 16:22; හිතෝපදේශ 6:16-19; 8:13; යෙසායා 1:14; 61:8) මෙම තොරතුරු සලකා බලන කල, මලාකී 2:16හි සඳහන් දික්කසාදයද උන්වහන්සේගේ ඇස් හමුවේ පාපතර ක්‍රියාවකි.
b කාමමිථ්‍යාචාරික කලත්‍රයෙකු දික්කසාද කිරීම පෞද්ගලික තීරණයකි. ශුද්ධලියවිලිවලට එකඟව දික්කසාද කරනවාද නැද්දැයි තීරණය කිරීමේදී නිර්දෝෂ කලත්‍රයාට වාසි අවාසි කිරා බැලිය හැකි විවිධ කාරණ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා කරුණාකර මුරටැඹ, 1993 අගෝස්තු 15, 5වන පිටුව හා 1988 ජූනි 1, පිටු 5-8 බලන්න. g94 2/8
[හිමිකම් වඟන්තිය]
Historic Costume in Pictures/ Dover Publications, Inc., New York