පරිච්ඡේදය 21
“ක්‍රිස්තියානි” පල්ලිවලට දෙවි ගෙනෙන වසංගත
දර්ශනය 5—එළිදරව් 8:1–9:21
සිදු වන දේ: හොරණෑ හතෙන් හයක්ම පිඹීම
ඉටු වන කාලය: වර්ෂ 1914දී යේසුස් ක්‍රිස්තුස් රජ වූ කාලයේ සිට මහත් පීඩාව දක්වා
1. බැටළු පැටවා සත්වෙනි මුද්‍රාව කඩද්දී සිදු වෙන්නේ කුමක්ද?
දෙවිගේ ඊශ්රායෙලයට අයත් 1,44,000දෙනා මුද්‍රා කරන තෙක් සහ මහත් සමූහය බේරී ජීවත් වීමට සුදුසු බව තීරණය කරන තෙක් “සතරදිග සුළං” අල්ලාගෙන සිටින බව අපි මීට කලින් ඉගෙනගත්තා. (එළිදරව් 7:1-4, 9) නමුත් එම සුළං පොළොවට පහර දෙන්න පෙර සාතන්ගේ ලෝකයට එරෙහිව යෙහෝවා දෙවි ගෙනෙන විනිශ්චයන් ගැන දැනුම් දීමක් කළ යුතුයි! බැටළු පැටවා සත්වන සහ අවසාන මුද්‍රාව කඩන විට සිදු වන දේ ගැන යොහන් ඉතා උනන්දුවෙන් බලා සිටිනවා. දැන් ඔහු තමා දකින දේ ගැන අපට කියන්නේ මෙසේයි. “ඔහු [බැටළු පැටවා] හත්වන මුද්‍රාව කැඩූ විට, ස්වර්ගයෙහි පැය භාගයක පමණ නිශ්ශබ්දතාවක් විය. එවිට මම, දෙවි ඉදිරියෙහි සිටගෙන සිටින දේවදූතයන් සත්දෙනාව දුටිමි. හොරණෑ සතක් ඔවුන්ට දෙන ලදි.”—එළිදරව් 8:1, 2.
උනන්දුවෙන් යාච්ඤා කළ යුතු අවස්ථාවක්
2. ස්වර්ගයේ ඇති වන පැය භාගයක නිශ්ශබ්දතාව තුළ සිදු වෙන්නේ කුමක්ද?
2 පැය භාගයක් කියන්නේ කෙටි කාලයක්. නමුත් යම් දෙයක් සිදු වන තෙක් බලා සිටින විට එය දැනෙන්නේ දිගු කාලයක් ලෙසයි. දැන් ඇති වෙන්නේ දැඩි නිශ්ශබ්දතාවක්. කලින් ස්වර්ගය පුරා ඇසූ ප්‍රශංසා හඬ දැන් ඇසෙන්නේ නැහැ. (එළිදරව් 4:8) එයට හේතු දර්ශනය තුළින් යොහන්ට පැහැදිලි වෙනවා. “එවිට රන් සුවඳ ද්‍රව්‍ය භාජනයක් රැගෙන තවත් දේවදූතයෙක් ඇවිත්, පූජාසනය ළඟ සිටගත්තේය. සිංහාසනය ඉදිරියෙහි තිබුණු රන් පූජාසනය පිට සියලු ශුද්ධ තැනැත්තන්ගේ යාච්ඤා සමඟ ඔප්පු කරන පිණිස සුවඳ ද්‍රව්‍ය බොහොමයක්ද ඔහුට දෙන ලදි. සුවඳ ද්‍රව්‍යවල දුම දේවදූතයාගේ අතින් ශුද්ධ තැනැත්තන්ගේ යාච්ඤා සමඟ දෙවි ඉදිරියට නැංගේය.”—එළිදරව් 8:3, 4.
3. (අ) සුවඳ දුම් ඔප්පු වීමෙන් අපට සිහි වෙන්නේ කුමක්ද? (ආ) ස්වර්ගයේ පැය භාගයක නිශ්ශබ්දතාව පවතින්නේ ඇයි?
3 යුදෙව්වන් මුලදී මණ්ඩපයේත් පසුව යෙරුසලමේ පිහිටි දේවමාලිගාවේත් දෙවිට කළ නමස්කාරයේදී සුවඳ දුම් දිනපතා ඔප්පු කළ ආකාරය අපට මෙහිදී මතක් වෙනවා. (නික්මයාම 30:1-8) පූජකයන් දෙවිට සුවඳ දුම් ඔප්පු කළ අවස්ථාවලදී ශුද්ධ භූමියෙන් පිට සිටි පූජකයන් නොවූ ඊශ්‍රායෙල් ජාතිකයන් නිහඬව සිටියා. ඒ අවස්ථාවේදී ඔවුන් සිතින් දෙවිට යාච්ඤා කරමින් සිටින්න ඇති. (ලූක් 1:10) ස්වර්ගයේ ඒ හා සමාන දෙයක් සිදු වෙනවා යොහන් දකිනවා. දේවදූතයා විසින් ඔප්පු කරනු ලබන සුවඳ දුම් හා “ශුද්ධ තැනැත්තන්ගේ යාච්ඤා” අතර සම්බන්ධයක් තිබෙනවා. සුවඳ ද්‍රව්‍යවලින් එවැනි යාච්ඤා නියෝජනය වන බව අප කලින් දර්ශනයකදී දුටුවා. (එළිදරව් 5:8; ගීතාවලිය 141:1, 2) ස්වර්ගයේ සංකේතවත් නිශ්ශබ්දතාවක් ඇති වෙන්නේ පොළොව මත සිටින ශුද්ධ තැනැත්තන්ගේ යාච්ඤාවලට සවන් දීම සඳහා දෙවිට ඉඩ දීමටයි.
4, 5. මෙම නිශ්ශබ්දතාව ඇති වූ පැය භාගය පැවතියේ කුමන කාලයේදීද?
4 මෙම නිශ්ශබ්දතාව පැවතියේ මොන කාලයේදීද? ස්වාමීන්ගේ දවසේ මුල් කාලයේදී සිදු වූ දේවල් සෝදිසි කිරීමෙන් අපට එය දැනගන්න පුළුවන්. (එළිදරව් 1:10) එළිදරව් 8:1-4 දක්වා විස්තර කර ඇති සිද්ධීන් 1918 සහ 1919 අතර පොළොවේ සිදු වූ දේවලට බොහෝ සෙයින් ගැළපෙනවා. වර්ෂ 1914ට පෙර අවුරුදු 40ක් පුරා බයිබල් ශිෂ්‍යයන් (යෙහෝවාගේ සාක්ෂිකරුවන්) ජාතීන් සඳහා නියම කරන ලද කාලවල් 1914දී අවසන් වන බව නිර්භීතව ප්‍රකාශ කර තිබුණා. වර්ෂ 1914 සිට ඇති වූ විපත්තිවලින් ඔවුන් පැවසූ දේ නිවැරදි බව ඔප්පු වුණා. (ලූක් 21:24; මතෙව් 24:3, 7, 8) මේ කාලයේදී බොහෝදෙනෙක් විශ්වාස කළේ තමන්ව ස්වර්ගයට ගනු ලබන බවයි. නමුත් එවැනි දෙයක් සිදු වුණේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ට සිදු වුණේ පළමු ලෝක මහා යුද්ධ කාලයේදී දැඩි පීඩා අද්දකින්නයි. ඒ අතරතුරේදී 1916 ඔක්තෝබර් 31වනදා, වොච්ටවර් සමිතියේ පළමු සභාපති වූ චාල්ස් ටී. රසල් මිය ගියා. ඉන්පසුව නව සභාපති ලෙස පත් වූ ජෝසෆ් එෆ්. රදෆඩ් සහ සමිතියේ තවත් නියෝජිතයන් හත්දෙනෙකු 1918 ජූලි 4වනදා එක්සත් ජනපදයේ ජියෝජියා ප්‍රාන්තයේ අගනුවර වන ඇට්ලන්ටාහි පිහිටි බන්ධනාගාරය වෙතට ගෙන යනු ලැබුවා. ඔවුන්ට එහි බොරු චෝදනා මත දිගු සිරදඬුවම් නියම කළා.
5 මෙහි ප්‍රතිඵලයක් ලෙස යොහන් පන්තියට අයත්ව සිටි අවංක ක්‍රිස්තියානීන් සිටියේ සිදු වෙන්නේ කුමක්දැයි සිතාගන්නවත් බැරි තත්වයකයි. ඔවුන් ස්වර්ගයට යන්නේ කවදාද යන්න ඔවුන්ට ප්‍රශ්නයක් වුණා. මේ ගැන 1919 මැයි 1වනදා මුරටැඹ කලාපයේ “අස්වැන්න නෙළීම අවසානයි—ඊළඟට සිදු වෙන්නේ කුමක්ද?” යන මාතෘකාවෙන් යුත් ලිපියක් පළ වුණා. එයින් යම් අවිනිශ්චිත තත්වයක් ඇති වී ඇති බව පිළිගෙන තිබුණත්, දිගටම විඳදරාගන්න කියා සියලුදෙනාටම දිරිගන්වා තිබුණා. එහි මෙසේ සඳහන් වුණා. “ස්වර්ගයට යන අයව දැන් සම්පූර්ණයෙන්ම එකතු කර ඇති බවත්, ඔවුන්ව මුද්‍රා කර ඇති බවත් වෙන කාටවත් අවස්ථාවක් නැති බවත් අපි විශ්වාස කරනවා.” ඒ අවිනිශ්චිත කාලයේදී යොහන් පන්තියට අයත් අයගේ අවංක යාච්ඤා සුවඳ දුම් මෙන් ස්වර්ගයට නඟිමින් තිබුණා. ඇත්තෙන්ම ඒ යාච්ඤාවලට පිළිතුරු ලැබුණා.
පොළොවට හෙළන ගින්න
6. ස්වර්ගයේ නිශ්ශබ්දතාවෙන් පසු සිදු වෙන්නේ කුමක්ද? මෙය සිදු වෙන්නේ කුමක් නිසාද?
6 යොහන් මෙසේ කියනවා. “නමුත් එකෙණෙහිම, දේවදූතයා ඒ සුවඳ ද්‍රව්‍ය භාජනය රැගෙන එය පූජාසනයෙන් ගත් ගින්නෙන් පුරවා එම ගින්න පොළොවට හෙළුවේය. එවිට ගිගුරුම්ද කටහඬවල්ද විදුලි කෙටීම්ද භූමිකම්පාවක්ද ඇති විය.” (එළිදරව් 8:5) මෙම නිශ්ශබ්දතාවෙන් පසු සුවඳ දුම් පූජාසනයෙන් ගත් ගින්න පොළොවට හෙළනවා. එහි ප්‍රතිඵලයක් ලෙස එක වරම බොහෝ දේවල් සිදු වෙනවා. ඒ ගින්න සුවඳ දුම් පූජාසනයෙන් ගැනීමෙන් පැහැදිලි වෙන්නේ මෙවැනි දේවල් සිදු වෙන්නේ ශුද්ධ තැනැත්තන්ගේ යාච්ඤාවලට පිළිතුරක් හැටියට බවයි. අතීතයේදී එනම් ක්‍රි.පූ. 1513දී යෙහෝවා දෙවි සීනයි කන්දේදී තම අවධානය ඊශ්‍රායෙල් සෙනඟ වෙතට යොමු කළ විට ගිගුරුම් හඬ, විදුලි කෙටීම්, මහත් ශබ්ද, ගින්නක් සහ කන්ද දෙදරා යෑම වැනි දේවල් සිදු වුණා. (නික්මයාම 19:16-20) යොහන් දකින දර්ශනයේ ඒ සමාන දේවල් සිදුවීමෙන් පෙනී යන්නේ යෙහෝවා දෙවි පොළොව මත සිටින තම සේවකයන්ට අවධානය දෙන බවයි. නමුත් යොහන් දකින දේ ඉදිරිපත් කර තිබෙන්නේ සංකේත ලෙසයි. (එළිදරව් 1:1) මෙම සංකේතවත් ගින්න, ගිගුරුම්, කටහඬවල්, විදුලි කෙටීම් හා භූමිකම්පාවලින් අදහස් කරන්නේ කුමක්ද?
7. (අ) යේසුස් පොළොවේදී ඇවිළෙවූ සංකේතවත් ගින්න කුමක්ද? (ආ) යේසුස්ගේ අභිෂේක ලත් සහෝදරයන්ද ක්‍රිස්තියානියයි කියාගත් පල්ලිවලට එරෙහිව ගින්නක් ඇවිළෙව්වේ කෙසේද?
7 යේසුස් එක් අවස්ථාවකදී තම ගෝලයන්ට කීවේ “මා ආවේ පොළොවේදී ගින්නක් අවුළන්න” කියායි. (ලූක් 12:49) ඇත්තෙන්ම ඔහු ගින්නක් ඇවිළෙව්වා. ඒ දේවරාජ්‍යය ගැන ඉතා උද්යෝගයෙන් දේශනා කිරීමෙන්. යේසුස් දේවරාජ්‍යය ඉතා ප්රබලව කාවැද්දවූ නිසා යුදෙව් ජනතාව අතර එය දැඩි මතභේදයට කරුණක් වුණා. (මතෙව් 4:17, 25; 10:5-7, 17, 18) ඒ හා සමානව 1919දී යේසුස්ගේ සහෝදරයන්, එනම් පළමු ලෝක මහා යුද්ධ කාලයේ ඉතා දරුණු පීඩා විඳදරාගෙන සිටි අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ කුඩා කණ්ඩායමද ක්‍රිස්තියානියයි කියාගත් පල්ලිවලට එරෙහිව සංකේතවත් ගින්නක් ඇවිළෙව්වා. ඒ වසරේ සැප්තැම්බර් මාසයේදී යෙහෝවා දෙවිගේ බලය ඉතා ප්රබලව මේ අය මත ක්‍රියාත්මක වුණු බව අපට පේනවා. එයට සාක්ෂි එක්සත් ජනපදයේ ඔහයෝ ප්‍රාන්තයේ සීඩා පොයින්ට් නුවරේ පැවති සමුළුවක දකින්න ලැබුණා. එහිදී හිරෙන් නිදහස් වූ (පසුව සියලු චෝදනාවලිනුත් නිදහස් කළා.) සහෝදර ජෝසෆ් එෆ්. රදෆඩ් පැමිණි අයට ඉතා නිර්භීත ප්‍රකාශයක් කළා. ඔහු පැවසුවේ මෙසේයි. “අපේ යුතුකම අපගේ ස්වාමීන්ට කීකරු වීමයි. බොරු ඉගැන්වීම් පතළ කරන අයට විරුද්ධව යම් ආකාරයක යුද්ධයක් කරන්න අපට සිදු වන බවත් එය අපට දෙවි ඉදිරියේ තිබෙන වරප්‍රසාදයක් බවත් අප පිළිගත යුතුයි. ඒ නිසා ක්‍රිස්තුස් රජකම් කරන දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීම අපට පැවරී ඇති වැදගත් කාර්යයක්.” මෙයින් අප දකින්නේ එදා දේවරාජ්‍යය කොතරම් ප්රබලව කාවැද්දුවාද යන්නයි.
8, 9. (අ) යුද්ධය පැවති කාලයේදී බොහෝ දුෂ්කරතා අද්දුටු දෙවිගේ සෙනඟ තුළ තිබූ ආකල්පය හා ආශාව ගැන සහෝදර රදෆඩ් පැවසුවේ කුමක්ද? (ආ) පොළොවට ගින්නක් හෙළීමෙන් අදහස් වුණේ කුමක්ද? (ඇ) ගිගුරුම්, කටහඬවල්, විදුලි කෙටීම් සහ භූමිකම්පාවක් සිදු වුණේ කෙසේද?
8 ඒ සමයේදී දෙවිගේ ජනයා මුහුණ දුන් ඉතා අසීරු අද්දැකීම් ගැන කතා කරමින් සහෝදර රදෆඩ් මෙසේ පැවසුවා. “සතුරා එල්ල කළ ප්‍රහාර කොතරම් ප්‍රබල එකක් වුණාද කියනවා නම් ස්වාමීන්ගේ බැටළු රැළේ බොහෝදෙනෙක් ඉතා පුදුමයෙන් හා වියවුලෙන් බලා සිටියා. ඔවුන් ස්වාමීන්ට යාච්ඤා කළේ ඔහුගේ කැමත්ත කුමක්ද කියා හෙළි කරන්න කියායි. . . . තාවකාලිකව යම් පසුබෑමක් තිබුණත් දේවරාජ්‍යය ගැන පණිවුඩය ප්‍රකාශ කරන්න සියල්ලන් තුළ දැවෙන ආශාවක් තිබුණා.”—1919 සැප්තැම්බර් 15 මුරටැඹ, 280වන පිටුව.
9 වර්ෂ 1919දී ඒ ආශාව ඉටු කරගන්න ඔවුන් පියවර ගත්තා. ඒ කුඩා නමුත් ක්‍රියාශීලී ක්‍රිස්තියානීන් කණ්ඩායම ලොව පුරා ගින්නක් ඇවිළෙව්වා. ඒ දේවරාජ්‍යය ගැන දේශනා කිරීමෙන්. (1 තෙසලෝනික 5:19ද බලන්න.) එසේනම් පොළොවට ගින්නක් හෙළීමෙන් අදහස් වෙන්නේ දේවරාජ්‍යය පිළිබඳ පණිවුඩය ලොව පුරා සැමගේ කතා බහට ලක් වූ දැවෙන විෂයක් බවට පත් වූවා යන්නයි. අදත් ඒ සමාන දෙයක් සිදු වෙනවා. දැන් නිහඬතාවක් නැහැ. ඒ වෙනුවට අසන්න ලැබෙන්නේ දේවරාජ්‍යය පිළිබඳ පණිවුඩය ප්‍රකාශ කරන කටහඬවල්වල මහත් ශබ්දයයි. බයිබලයේ අනතුරු ඇඟවීම්වල හඬ ගිගුරුම් හඬක් මෙන්ද දෙවිගේ වචනයේ අනාවැකිවල ඉටුවීම් විදුලි කෙටීම් මෙන්ද නිවැරදිව එළිදරව් වෙනවා. ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ සියලුම ආගම් මහත් භූමිකම්පාවකට හසු වූවාක් මෙන් දෙදරුම් කා තිබෙනවා. මෙතෙක් අවිනිශ්චිතව සිටි යොහන් පන්තිය කුමන කාර්යයක් කළ යුතුද කියා වටහාගත්තේ ඒ කාලයේදීයි. මේ දක්වා ඒ කාර්යය නොකඩවා මුළු ලොව පුරා ඉතා සාර්ථකව සිදු වෙනවා.—රෝම 10:18.
හොරණෑ පිඹීමට සූදානම්
10. දේවදූතයන් සත්දෙනා සූදානම් වෙන්නේ කුමක් කිරීමටද? ඒ ඇයි?
10 යොහන් මෙසේද කියනවා. “හොරණෑ සත ඇතිව සිටි දේවදූතයෝ සත්දෙනාද ඒවා පිඹීමට සූදානම් වූහ.” (එළිදරව් 8:6) හොරණෑ පිඹීමෙන් අදහස් කරන්නේ කුමක්ද? පුරාණ ඊශ්‍රායෙලයේ හොරණෑ පිඹිනු ලැබුවේ වැදගත් දවස් සහ විශේෂ සිද්ධීන් ගැන දැනුම් දීමටයි. (ලෙවී කතාව 23:24; 2 රාජාවලිය 11:14) ඒ හා සමානව යොහන්ට ඇසෙන හොරණෑ නදවලින් අපේ ජීවිතයට බලපාන ඉතා බැරෑරුම් කාරණා කාවද්දනු ලබනවා.
11. වර්ෂ 1919 සිට 1922 දක්වා කාලය තුළ යොහන් පන්තිය සූදානම් වෙමින් සිටියේ කිනම් කාර්යයටද?
11 එම දේවදූතයන් තම හොරණෑ පිඹින්න සූදානම් වූ විට පොළොවේ කරන්න සූදානම් වූ කාර්යයටත් ඔවුන්ගෙන් යම් මඟ පෙන්වීම් ලැබෙන්න ඇති. වර්ෂ 1919 සිට 1922 දක්වා කාලයේදී යළිත් ප්‍රාණවත් වූ යොහන් පන්තිය ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය නැවත සංවිධානය කරන්න පටන්ගත්තා. ඒ අතර ඔවුන්ගේ මුද්‍රණ කටයුතු තවත් ව්‍යාප්ත කරන්නත් පියවර ගත්තා. වර්ෂ 1919දී ඔවුන් අලුත් සඟරාවකුත් හඳුන්වා දුන්නා. (ඉංග්‍රීසියෙන් The Golden Age) අද මෙම සඟරාව හඳුන්වන්නේ පිබිදෙව්! ලෙසයි. එම සඟරාව හඳුන්වා දුන්නේ “ජනතාවට සත්‍ය කරුණු හෙළි කරන්නත්, ඔවුන්ට බලාපොරොත්තුවක් දෙන්නත්, ඔවුන් තුළ විශ්වාසයක් ඇති කරන්නත්” කියා එහි සඳහන් වුණා. මෙම සඟරාව හොරණෑවකට සමානව අසත්‍යය උගන්වන ආගම් දේශපාලනයට ඇඟිලි ගැසූ අන්දම ප්රබලව හෙළි කළා.
12. සෑම හොරණෑවක්ම පිඹින විට පිළිවෙළින් හෙළි වෙන්නේ කුමක්ද? මෙයින් මෝසෙස්ගේ කාලයේ සිදු වූ කුමන සිද්ධීන් අපේ මතකයට නැඟෙනවාද?
12 සෑම හොරණෑවක් එකිනෙක පිඹිද්දී පොළොවේ විවිධ අංගවලට බලපාන භයානක වසංගත ඇති වන ආකාරය අපට හෙළි වෙනවා. මින් සමහරක් මෝසෙස්ගේ කාලයේ ඊජිප්තුවරුන්ට දඬුවම් කරන්න දෙවි ඇති කළ වසංගතවලට සමානයි. (නික්මයාම 7:19–12:32) එහි ප්‍රතිඵලයක් ලෙස දෙවිගේ සෙනඟට වහල්භාවයෙන් නිදහස් වෙන්න මඟ විවෘත වුණා. යොහන් දකින වසංගතවලින් ඒ සමාන දෙයක් සිදු වෙනවා. නමුත් මේවා ඇත්ත වසංගත නම් නෙවෙයි. ඒවායින් සංකේතවත් කරන්නේ දෙවි කරන විනිශ්චයන්.—එළිදරව් 1:1.
‘තුනෙන් කොටස’ හඳුනාගැනීම
13. පළමු හොරණෑ සතර පිඹින විට සිදු වෙන්නේ කුමක්ද? මෙයින් ඉස්මතු වන ප්රශ්නය කුමක්ද?
13 පළමු හොරණෑ සතර පිඹිද්දී පොළොවේ, මුහුදේ, ගංගාවල, දිය උල්පත්වල හා ඉර, හඳ තාරකාවල ‘තුනෙන් කොටසකට’ ප්‍රහාර එල්ල වෙනවා. (එළිදරව් 8:7-12) තුනෙන් කොටසක් කියන්නේ යම් දෙයක සැලකිය යුතු ප්රමාණයකටයි. (යෙසායා 19:24ද, එසකියෙල් 5:2ද, සෙකරියා 13:8, 9ද බලන්න.) එසේනම් මෙම ප්‍රහාර ලැබීමට විශේෂයෙන්ම වටින්නේ කුමන ‘තුනෙන් කොටසටද?’ සාතන් සහ ඔහුගේ වංශයෙන් බිහි වී ඇති අය මුළු මිනස් සංහතියම වාගේ අන්ධ කර දූෂණය කර තිබෙන බව අප දන්නා කරුණක්. (උත්පත්ති 3:15; 2 කොරින්ති 4:4) දාවිත් ඒ තත්වය විස්තර කළේ “සියල්ලෝම මුළාව ගොස් සිටියෝය. එක ලෙස කිලුටුව සිටියෝය. යහපත කරන්නෙක් නැත. එක් කෙනෙක්වත් නැත” කියායි. (ගීතාවලිය 14:3) මින් පැහැදිලි වෙන්නේ මුළු මිනිස් සංහතියම දෙවිගේ උදහස ලබන්න වටින බවයි. නමුත් දෙවිගේ උදහස විශේෂයෙන්ම ලබන්න වටින කොටසක් සිටිනවා. ඔවුන්ගේ නිදහසට කිසිම කරුණක් ඒ කොටසට ඉදිරිපත් කරන්න බැහැ. ඒ “තුනෙන් කොටස” කවුද?
14. වසංගත හා සමාන දෙවිගේ පණිවුඩ ලබන ‘තුනෙන් කොටස’ කුමක්ද?
14 ඒ තමයි ක්‍රිස්තියානියයි කියාගත් පල්ලිවලින් සැදුම් ලත් සංවිධානය. එක්දහස් නවසිය විසි ගණන්වල ලෝක ජනගහනයෙන් තුනෙන් එකක්ම ක්‍රිස්තියානියයි කියාගත් පල්ලිවලට අයත් වුණා. මෙම ලෝක ව්‍යාප්ත සංවිධානයට අයත් පල්ලි හා නිකායන් බිහි වුණේ යේසුස් සහ ඔහුගේ ගෝලයන් පැවසූ ඇදහිල්ලට විරුද්ධව සිදු වූ මහා කැරැල්ලේ ප්‍රතිඵලයක් ලෙසයි. (මතෙව් 13:24-30; ක්‍රියා 20:29, 30; 2 තෙසලෝනික 2:3; 2 පේතෘස් 2:1-3) මෙම පල්ලිවල පූජක පන්තිය තමන් දෙවිගේ නියෝජිතයන් බව කියා සිටිනවා. ඔවුන් කියා සිටින්නේ සැබෑ ක්‍රිස්තියානි ඉගැන්වීම් තමන් වෙතින් පැමිණෙන බවයි. නමුත් ඔවුන්ගේ ඉගැන්වීම් බයිබලයේ සත්යතාවලින් බොහෝ සෙයින් බැහැරව තිබෙනවා. ඔවුන් නිරතුරුවම දෙවිගේ නාමය අපහසයට ලක් කරනවා. පොළොවේ තුනෙන් කොටසක් වූ මොවුන් දෙවිගේ විනිශ්චයේ පණිවුඩ නමැති වසංගත ලබන්න විශේෂයෙන්ම වටිනවා. දෙවිගෙන් කිසිම කරුණාවක් ලබන්න තරම් ඔවුන් වටින්නේ නැහැ.
15. (අ) පිළිවෙළින් පිඹින හොරණෑ එක්තරා වර්ෂයකට සීමා වී තිබෙනවාද? පැහැදිලි කරන්න. (ආ) දෙවිගේ විනිශ්චයන් ප්‍රකාශ කරන යොහන් පන්තියේ හඬට එකතු වී තිබෙන්නේ කාගේ හඬද?
15 පිළිවෙළින් පිඹිනු ලබන මෙම හොරණෑ සත හා 1922 සිට 1928 දක්වා පැවැත්වූ සමුළු හතක ඉදිරිපත් කළ විශේෂ සම්මුති සත අතර සමානකමක් තිබෙන බව පෙනෙනවා. නමුත් ඒ හොරණෑ හඬ ඒ සමුළු පැවැත්වූ වසර සතට පමණක් සීමා වුණේ නැහැ. ස්වාමීන්ගේ දවස ඉදිරියට ඇදෙද්දී ක්‍රිස්තියානියයි කියාගත් පල්ලිවල දුෂ්ටකම් දිගින් දිගටම හෙළි කරනු ලබනවා. දෙවිගේ සේවකයන් ලෝකයෙන් නොයෙකුත් පීඩාවලට හා වෛරයට මුහුණ දෙන්න සිදු වුණත් දෙවිගේ විනිශ්චයන් පොළොව පුරාම ප්‍රකාශ කළ යුතුයි. සාතන්ගේ දුෂ්ට ලෝකය අවසන් වෙන්නේ ඉන්පසුවයි. (මාක් 13:10, 13) මුළු ලොවටම වැදගත් මෙම ප්‍රබල ප්‍රකාශයන් කරන යොහන් පන්තියේ හඬට දැන් මහත් සමූහයද තම හඬ එකතු කර තිබීම සතුටට හේතුවක්.
පොළොවෙන් තුනෙන් කොටසක් දැවී යයි
16. පළමු දේවදූතයා තම හොරණෑව පිඹින විට සිදු වෙන්නේ කුමක්ද?
16 දේවදූතයන් ගැන යොහන් මෙසේ ලියනවා. “පළමුවැන්නා තම හොරණෑව පිම්බේය. එවිට, ලේ සමඟ මිශ්‍ර වූ හිම කැට සහ ගිනි වර්ෂාවක් ඇති වූ අතර, ඒවා පොළොවට හෙළන ලදි. පොළොවෙන් තුනෙන් කොටසක් දැවී ගියේය. ගස්වලින් තුනෙන් කොටසක්ද දැවී ගියේය. සියලු පැළෑටිද දැවී ගියේය.” (එළිදරව් 8:7) මෙය හරියට පුරාණ ඊජිප්තුවට පහර දුන් හත්වෙනි වසංගතයට සමානයි. මෙය අපේ කාලයට අදාළ වෙන්නේ කෙසේද?—නික්මයාම 9:24.
17. (අ) එළිදරව් 8:7හි සඳහන් “පොළොව” යන වචනයෙන් අදහස් වෙන්නේ කුමක්ද? (ආ) ක්‍රිස්තියානියයි කියාගන්නා පොළොවේ තුනෙන් කොටස දැවී ගියේ කෙසේද?
17 පළමු වසංගතය එල්ල කරන්නේ පොළොවටයි. බයිබලයේ “පොළොව” යන වචනය බොහෝවිට භාවිත කරන්නේ මිනිස් වර්ගයාව හැඳින්වීමටයි. (උත්පත්ති 11:1; ගීතාවලිය 96:1) එයින් සාතන් විසින් ගොඩනඟා ඇති, බැලූ බැල්මට යම් ස්ථාවරත්වයක් ඇති බව පෙනෙන නමුත් ළඟදීම විනාශ වන මිනිස් සමාජය අදහස් වෙනවා. (2 පේතෘස් 3:7; එළිදරව් 21:1) මෙයාකාරයට පොළොවෙන් තුනෙන් එකක් වන මුළු මිනිස් සමාජය අතර සිටින ක්‍රිස්තියානියයි කියාගත් මිනිස් සමාජය දෙවිගේ උදහසින් දැවී යනවා. මේ අය අතර සිටින ගස් හා සමාන වූ ඔවුන්ගේ නායකයනුත් දැවී යනවා. ක්‍රිස්තියානියයි කියාගත් පල්ලිවල සාමාජිකයන් බිලියන ගණන තම ආගම්වලට දිගටම සහයෝගය දක්වනවා නම් ඔවුනුත් තණකොළ මෙන් දැවී යනවා. ඔවුන් දැවී යනවා කීමෙන් අදහස් වෙන්නේ දෙවිගේ විනිශ්චයන් ඔවුන්ට විරුද්ධව ප්‍රකාශ කරනු ලබන නිසා ඔවුන් අද්දකින දැඩි පීඩා හා වේදනාවයි.—ගීතාවලිය 37:1, 2ද බලන්න.a
18. වර්ෂ 1922දී පැවති සමුළුවේදී යෙහෝවා දෙවිගේ විනිශ්චය ප්‍රකාශ කරනු ලැබුවේ කෙසේද?
18 දෙවිගේ මෙම විනිශ්චයන් ප්‍රකාශ කරනු ලබන්නේ කෙසේද? මේ ලෝකයේ කොටසක් වන එහි ජනමාධ්‍යය යොදාගෙන නම් නෙවෙයි. ජනමාධ්‍යය නිතරම පාහේ දෙවිගේ ‘දාසයාට’ බොහෝ නිග්‍රහ එල්ල කර තිබෙනවා. (මතෙව් 24:45) දෙවිගේ මෙම ප්‍රකාශ කරනු ලැබුවේ 1922 සැප්තැම්බර් 10වන දින ඔහයෝ ප්‍රාන්තයේ සීඩා පොයින්ට් නුවරේ පැවති ඓතිහාසික වැදගත්කමකින් යුත් දෙවන සමුළුවේදීයි. එහි රැස්ව සිටි දෙවිගේ සේවකයන් ඒකමතිකව හා උද්යෝගයෙන් “ලෝක නායකයන්ට අභියෝගයක්” යන මැයින් යුත් සම්මුතියක් ස්ථිර කරගත්තා. ඉතා නිර්භීතව ඔවුන් ‘පොළොවට’ විරුද්ධව පැවසුවේ මෙසේයි. “පොළොවේ සියලු ජාතීන්, ඔවුන්ගේ පාලකයන්, ඔවුන්ගේ නායකයන්, ඔවුන්ට අත හිත දෙන්නන්, පොළොවේ සියලුම පල්ලිවල නායකයන්, ඔවුන්ගේ අනුගාමිකයන් හා ඔවුන්ට අත හිත දෙන්නන්, සියලුම ව්‍යාපාරිකයන් හා දේශපාලන බලධාරීන්ට අපි අභියෝග කරනවා. ඔවුන් කියන්නේ මිනිසාට සතුටින් පිරි ජීවිතයක් ලබා දෙමින් පොළොව පුරා සාමය උදා කර දිය හැකි බවයි. තමන්ට එය කළ හැකි නම් ඒ සඳහා සාක්ෂි ඉදිරිපත් කරන්න කියා අපි ඔවුන්ට අභියෝග කරනවා. එසේ කළ නොහැකි නම් දෙවිගේ සාක්ෂිකරුවන් ලෙස අප ඉදිරිපත් කරන සාක්ෂිවලට කන් දෙන්න කියා අපි ඉල්ලා සිටිනවා. ඉන්පසු අපගේ සාක්ෂි සැබෑද නැද්ද කියාත් ඔවුන් පැවසිය යුතුයි.”
19. දේවරාජ්‍යය ගැන දෙවිගේ සේවකයන් ඉදිරිපත් කළ සාක්ෂි මොනවාද?
19 මෙම ක්‍රිස්තියානීන් ඉදිරිපත් කළ සාක්ෂි මොනවාද? ඔවුන් පැවසුවේ මෙසේයි. “මිනිස් සංහතියේ සියලුම ගැටලුවලට එකම විසඳුම දේවරාජ්‍යයි. සියලුම ජනයාගේ පැතුම ඉටු කරමින් මිනිසාට සාමය උදා කර දෙන්නේ එයයි. දැන් රජකම් කරන යේසුස්ගේ පාලනයට කැමැත්තෙන් යටත් වන සියලුදෙනාටම කල් පවතින සාමයත්, නිදහසත්, නිමක් නැති සතුටින් පිරි ජීවිතයකුත් භුක්ති විඳින්න හැකි වෙනවා.” දැන් දැන් මිනිස් ආණ්ඩුවල අසාර්ථකකම විශේෂයෙන් ක්‍රිස්තියානියයි කියාගත් රටවල ඇති ආණ්ඩුවල අසාර්ථකකම එන්න එන්නම තහවුරු වෙනවා. එමනිසා 1922 සිට නාද වූ ඒ හොරණෑවේ ශබ්දය තව තවත් ප්‍රබල වී තිබෙනවා. ජයග්‍රාහී යේසුස්ගේ නායකත්වයෙන් යුත් දේවරාජ්‍යය මිනිස් වර්ගයාගේ ගැටලුවලට ඇති එකම විසඳුමයි. මිනිසුන්ට ඇති එකම බලාපොරොත්තුවත් එයයි.
20. (අ) වර්ෂ 1922දී සහ ඉන්පසුව අභිෂේක ලත් ක්‍රිස්තියානීන් මෙම විනිශ්චයේ පණිවුඩයන් පතළ කළේ කෙසේද? (ආ) පළමු හොරණෑව පිඹීමෙන් පසු ක්‍රිස්තියානියයි කියාගත් ලෝකයට සිදු වුණේ කුමක්ද?
20 මෙම පණිවුඩයත් පසුව පළ වූ පණිවුඩත් හොරණෑ ශබ්ද මෙන් පැතිර ගියේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන් විසින් පළ කරනු ලැබූ සම්මුති, පත්‍රිකා, පොත් පිංච, පොත්, සඟරා සහ කතා මාර්ගයෙනුයි. පළමු හොරණෑව පිඹීමත් සමඟම ක්‍රිස්තියානියයි කියාගත් ලෝකය දැඩි සේ පීඩාවට ලක් වුණා. ඔවුන් පහර කෑවේ ප්‍රබල හිම කැට වර්ෂාවකින් පහර කනවා හා සමානවයි. ඔවුන් 20වන සියවසේදී සිදු වූ යුද්ධවලට හවුල් වූ නිසා වැගිරෙවූ ලේවලට ඔවුනුත් වග කිව යුතු බව ප්රබලව හෙළි කරනු ලැබුවා. යෙහෝවා දෙවිගේ උදහස ඔවුන්ට ඉතා තදින් බලපාන්න යන බවත් පැහැදිලි කරනු ලැබුවා. ක්‍රිස්තියානියයි කියාගත් ලෝකය විනාශයට සුදුසු බව දෙවි තීන්දු කර හමාරයි. යොහන් පන්තියත් ඔවුන්ට පසුව එකතු වූ මහත් සමූහයත් මෙම පළමු හොරණෑ ශබ්දය දිගටම ප්රතිනාද කරමින් සිටිනවා.—එළිදරව් 7:9, 15.
ගින්නෙන් දැවෙන කන්දක් මෙන්
21. දෙවෙනි දූතයා තම හොරණෑව පිඹින විට සිදු වෙන්නේ කුමක්ද?
21 “දෙවන දේවදූතයාද තම හොරණෑව පිම්බේය. එවිට, ගින්නෙන් ඇවිළෙන මහා කන්දක් වැනි දෙයක් මුහුදට හෙළන ලදි. මුහුදෙන් තුනෙන් කොටසක් ලේ විය. පණ ඇති, මුහුදේ සිටින සතුන්ගෙන් තුනෙන් කොටසක් මළෝය; නැව්වලින් තුනෙන් කොටසක් මුහුදුබත් විය.” (එළිදරව් 8:8, 9) මෙම බියකරු දර්ශනයේ තේරුම කුමක්ද?
22, 23. (අ) දෙවෙනි හොරණෑව පිඹීමත් සමඟ ඇති කරගත් සම්මුතිය කුමක්ද? (ආ) ‘මුහුදේ තුනෙන් කොටසට’ අයත් වෙන්නේ කුමක්ද?
22 මෙහි තේරුම වඩාත් හොඳින් අවබෝධ කරගැනීමට නම්, අපි 1923 අගෝස්තු 18 සිට 26 දක්වා, එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් නුවර දෙවිගේ ජනයා පැවැත්වූ සමුළුවේ සිදු වූ දේ අප තේරුම්ගත යුතුයි. සහෝදර රදෆඩ් සෙනසුරාදා සවස ඉදිරිපත් කළ කතාවේ තේමාව වූයේ “බැටළුවන් සහ එළුවන්” යන්නයි. මෙහි “බැටළුවන්” දෙවිගේ රාජ්‍යය යටතේ පොළොව උරුම කරගන්නා ධර්මිෂ්ඨකමට නැඹුරුවාවක් ඇති පුද්ගලයන් වන බව පැහැදිලි කරනු ලැබුවා. ඉන්පසුව ඇති කරගත් සම්මුතියේ “සත්‍යය අත්හැර ඇති පූජකයන්ගේත් ව්‍යාපාර ක්ෂේත්රයේ හා දේශපාලනයේ සිටින ඔවුන්ගේ ප්‍රධාන සාමාජිකයන්ගේත් කුහකකම්වලට” අවධානයක් දෙනු ලැබුවා. මෙම පල්ලිවල තවමත් රැඳී සිටින සාමයට ප්‍රිය කරන අයට ආරාධනා කළේ “‘බැබිලෝනිය’ ලෙස ස්වාමීන් විසින් හඳුන්වා ඇති මෙම අධර්මිෂ්ඨ ආගමික සංවිධානවලින් ඉවත් වෙන්න” කියායි. ඒ වගේම “දේවරාජ්‍යයේ ආශීර්වාද භුක්ති විඳීමට” සූදානම් වෙන්න කියායි.
23 මෙම සම්මුතිය දෙවෙනි හොරණෑව පිඹීමට සම්බන්ධ බව නිසැකව කියන්න පුළුවන්. එම පණිවුඩයට සවන් දුන් අය එළුවන් හා සමාන දුෂ්ටයන්ගෙන් ඉවත් වුණාට කිසිම සැකයක් නැහැ. මෙම දුෂ්ටයන්ව යෙසායා විස්තර කළේ මෙසේයි. “දුෂ්ටයෝ කැලඹුණු මුහුදට සමාන වෙති. ඊට නිශ්චල වන්ට නුපුළුවන. එහි ජලය මඩ සහ කුණු මතු කරයි.” (යෙසායා 57:20; 17:12, 13) එම “මුහුද” විප්ලවයට හා කැරලි කෝලහලවලට නැඹුරු කැලඹුණු, නොසන්සුන් මිනිස් සමාජය වන බව පැහැදිලියි. (එළිදරව් 13:1ද බලන්න.) මෙම ‘මුහුදේ’ අර්ථය කලින් සඳහන් කළ ‘පොළොවේ’ අර්ථයට වඩා වෙනස් වෙන්නේ එනිසයි. එම “මුහුද” නැති කාලයක් ඉදිරියේ පැමිණෙනවා. (එළිදරව් 21:1) දැන් දෙවන හොරණෑව පිඹින විට යෙහෝවා දෙවි ක්‍රිස්තියානියයි කියාගත් ලෝකයේ මෙම නොහික්මුණු සමාජ කොටස් පිටත් තම විනිශ්චය ප්‍රකාශ කරනවා.
24. ගින්නෙන් ඇවිළෙන මහා කන්දක් වැනි දෙයක් මුහුදට හෙළීමෙන් අදහස් වෙන්නේ කුමක්ද?
24 ගින්නෙන් ඇවිළෙන මහා කන්දක් වැනි දෙයක් මුහුදට හෙළනු ලබනවා. බයිබලයේ කඳුවලින් බොහෝවිට සංකේතවත් කරන්නේ ආණ්ඩුයි. නිදසුනක් හැටියට දෙවිගේ රාජ්‍යය කන්දකට සමාන කර තිබෙනවා. (දානියෙල් 2:35, 44) විනාශකාරී බැබිලෝනිය අධිරාජ්‍යයේ පසුබෑමෙන් පසු එය සමාන කළේ ‘දවන ලද කන්දකටයි.’ (යෙරෙමියා 51:25) යොහන් දකින කන්දක් හා සමාන දෙය තවමත් ගිනි ගනිමින් තිබෙනවා. මින් අදහස් වෙන්නේ කුමක්ද? පළමු ලෝක මහා යුද්ධ කාලය සහ ඉන්පසු පැමිණි කාලය දෙස බලද්දී අප දකින්නේ බොහෝ රටවල විශේෂයෙන්ම ක්‍රිස්තියානියයි කියාගත් රටවල සිදු වන පාලනය පිළිබඳව මහත් අර්බුදයක් හටගත් ආකාරයයි. ඒ ගිනි ගන්නා කන්ද මුහුදට හෙළුවා හා සමානව ඒ රටවල සිටි මිනිස් සමාජයට එය දැවෙන ප්‍රශ්නයක් හා සමාන වුණා. උදාහරණයකට ඉතාලියේ මුසොලීනි ෆැසිස්ට්වාදය හඳුන්වා දුන්නා. ජර්මනිය හිට්ලර්ගේ නාට්සිවාදයට යටත් වුණා. මේ අතර වෙනත් රටවල් උත්සාහ කළේ එකිනෙකට වෙනස් ආකාරයේ සමාජවාදී ආණ්ඩු පිහිටුවන්නයි. රුසියාවේදී පුදුම පෙරළියක් සිදු වුණා. එහි හටගත් විප්ලවය නිසා මුල්ම කොමියුනිස්ට් පාලනය ආරම්භ වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස කිතු දහමේ බලකොටුවක් ලෙස සැලකූ එම රටේ ආගමික නායකයන්ට තිබූ බලතල බොහෝ සෙයින් අඩපණ වී ගියා.
25. රටවල සිදු වන පාලනය දෙවන ලෝක මහා යුද්ධයෙන් පසුවත් දැවෙන ප්‍රශ්නයක් වුණේ කෙසේද?
25 දෙවන ලෝක මහා යුද්ධය මගින් ෆැසිස්ට්වාදී සහ නාට්සිවාදී පාලනය නැති කර දැම්මත් රටවල සිදු වන පාලනය තවමත් මිනිස් සමාජයට දැවෙන ප්‍රශ්නයක් වුණා. නොසන්සුන්කාරී මුහුදට සමාන වූ ඒ මිනිස් සමාජය බොහෝ අලුත් විප්ලවකාරී ආණ්ඩු ලොවට හඳුන්වා දුන්නා. උදාහරණයකට 1945 පටන් චීනයේ, වියට්නාමයේ, කියුබාවේ සහ නිකරාග්වා වැනි බොහෝ රටවල එවැනි ආණ්ඩු පිහිටුවනු ලැබුවා. ග්‍රීසියේ හමුදා පාලනයක් කළත් එය අසාර්ථක වුණා. කාම්බෝජයේ මූලධර්මවාදී කොමියුනිස්ට්වාදී පාලනයක් අත්හදා බැලීමට යෑම නිසා මිලියන දෙකකට වඩා වැඩිදෙනෙක් මිය ගිය බව වාර්තා වෙනවා.
26. ‘ගින්නෙන් ඇවිළෙන කන්ද’ මිනිස් සමාජය නමැති මුහුදට තවමත් බලපෑම් කරන්නේ කෙසේද?
26 ‘ගින්නෙන් ඇවිළෙන එම කන්ද’ මිනිස් සමාජය නමැති මුහුදට දිගටම බලපෑම් කරමින් තිබෙනවා. රටේ පාලනය පිළිබඳ අර්බුද අප්‍රිකාවේ, උතුරු හා දකුණු අමෙරිකාවේ, ආසියාවේ සහ පැසිෆික් දූපත්වල දකින්න ලැබෙනවා. මේ රටවලින් බොහොමයක් ක්‍රිස්තියානියයි කියාගන්නා ඒවායි. එසේ නැත්නම් ‘ක්‍රිස්තියානි’ මිෂනාරිවරුන් දේශපාලනයට යොමු වී ඇති ඒවායි. ඇතැම් රෝමානු කතෝලික පූජකයන් කොමියුනිස්ට්වාදී ගරිල්ලා කණ්ඩායම්වලට බැඳී ආණ්ඩුවට විරුද්ධව සටන් කර තිබෙනවා. ඒ අතරම මධ්‍යම අමෙරිකාවේ ඇතැම් රෙපරමාදු කණ්ඩායම් කොමියුනිස්ට්වාදීන්ගේ “කුරිරු බලකාමී සටනට” විරුද්ධව ක්‍රියා කර තිබෙනවා. මිනිස් සමාජයේ මෙතරම් කැලඹීමක් ඇති වී තිබුණත් එයින් සාමය හා සුරක්ෂිතභාවය නම් උදා වී නැහැ.—යෙසායා 25:10-12ද, 1 තෙසලෝනික 5:3ද බලන්න.
27. (අ) “මුහුදෙන් තුනෙන් කොටසක්” ලේ බවට පත් වී ඇත්තේ කෙසේද? (ආ) ‘මුහුදේ ජීවීන්ගෙන් තුනෙන් එකක්’ මිය ගොස් සිටින්නේ කෙසේද? ‘නැව්වලින් තුනෙන් කොටසකට’ සිදු වෙන්නේ කුමක්ද?
27 දෙවන හොරණෑව පිඹීමෙන් තවත් දෙයක් පැහැදිලි වෙනවා. එනම් දේවරාජ්‍යයට යටත් නොවී විවිධ විප්ලවකාරී ව්‍යාපාරවලට සම්බන්ධ වන අය මෙතෙක් වගුරුවා ඇති ලේවලට වග කිව යුතු බවයි. එයට විශේෂයෙන්ම වග කිව යුතු වෙන්නේ ‘මුහුදෙන් තුනෙන් එකක්’ වන ක්‍රිස්තියානියයි කියාගන්නා රටවල සිටින මිනිස් සමාජයයි. ඔවුන් ලේ බවට පත් වී තිබෙන්නේ එයාකාරයටයි. එතුළ සිටින සියලුම සතුන් මිය ගියා හා සමානව ඔවුන් සිටින්නේ දෙවි ඉදිරියේ මළ තත්වයකයි. මෙම මුහුදේ නැව් මෙන් පාවෙන විප්ලවකාරී සංවිධානත් අන්තිමේදී මුහුදුබත් වෙනවා නියතයි. දෙවන හොරණෑවේ ශබ්දයට ප්‍රතිචාරයක් ලෙස එම මුහුදෙන් ඉවත් වෙන්න, එනම් පටු ජාතිවාදී ආකල්ප ඇති හා ලේ වරදට හසු වී සිටින මිනිස් සමාජයෙන් ඉවත් වෙන්න බැටළු ගුණැති මිලියන ගණනකට හැකි වී තිබීම ගැන අපි කොතරම් සතුටු වෙනවාද!
අහසින් වැටුණු තාරකාවක්
28. තුන්වන දේවදූතයා තම හොරණෑව පිඹින විට සිදු වෙන්නේ කුමක්ද?
28 “තුන්වන දේවදූතයාද තම හොරණෑව පිම්බේය. එවිට, මහත් තාරකාවක් ගිනි පන්දමක් මෙන් ඇවිළෙමින් අහසෙන් වැටුණේය. එය ගංගාවලින් තුනෙන් කොටසක් පිටද, දිය උල්පත් පිටද වැටුණේය. ඒ තාරකාව තිත්ත ලී යන නමින් හැඳින්වේ. වතුරෙන් තුනෙන් කොටසක්ද තිත්ත ලී බවට හැරුණේය. ඒ වතුර තිත්ත කරනු ලැබූ නිසා, මිනිසුන්ගෙන් බොහෝදෙනෙක් එයින් මළෝය.” (එළිදරව් 8:10, 11) මෙම බයිබල් පද ස්වාමීන්ගේ දවසට අදාළ වන ආකාරය තේරුම්ගැනීමට බයිබලයේ වෙනත් පද උපකාරවත් වෙනවා.
29. ‘ගිනි පන්දමක් මෙන් ඇවිළෙමින් වැටුණු මහත් තාරකාව’ කුමක්ද? එසේ කියන්නේ ඇයි?
29 යේසුස් සභා සතට යැවූ පණිවුඩවල තාරකාවලින් සංකේත කරන්නේ සභාවල වැඩිමහල්ලන් බව අප දැනටමත් ඉගෙනගෙන තිබෙනවා.b (එළිදරව් 1:20) මෙම තාරකා තිබුණේ අහසෙයි. එනම් අභිෂේක ලත් “තාරකා” ඇතුළුව සියලුම අභිෂේක ලත් අයට ස්වර්ගික ජීවිතයක් උරුම වන බව දෙවිගේ බලයෙන් සාක්ෂි ලබන දා පටන් ඔවුන් හරියට ස්වර්ගීය ස්ථානවල සිටිනවා හා සමාන වුණා. (එෆීස 2:6, 7) නමුත් තාරකා හා සමාන වූ එවැනි අය අතරින් සමහරදෙනෙක් ඇදහිල්ලට විරුද්ධව කැරලි ගසා, විවිධ නිකායන් ඇති කර රැළ නොමඟ යවන්න උත්සාහ කරන බව පාවුල් අනතුරු ඇඟෙව්වා. (ක්‍රියා 20:29, 30) මොවුන්ගේ මෙම ක්‍රියාකලාපය නිසා බොහෝදෙනෙකු සත්‍ය නමස්කාරයට විරුද්ධව කැරලි ගැසුවා. ඇදහිල්ලට විරුද්ධව කැරලි ගසන වැඩිමහල්ලන් නීතිය නොතකන මනුෂ්‍යයා බවට පත් වෙනවා. මොවුන් මිනිස් වර්ගයා ඉදිරියේ දෙවි කෙනෙක් ලෙස තමාව උසස් කරගන්නවා. (2 තෙසලෝනික 2:3, 4) පාවුල් දුන් මේ අනතුරු ඇඟවීම ඉටු වුණේ ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවල පූජක පක්ෂයක් බිහිවීමත් සමඟයි. මෙම පූජක පක්ෂය ‘ගිනි පන්දමක් මෙන් ඇවිළෙමින් වැටුණු මහත් තාරකාවට’ සමාන බව පැහැදිලිවම කිව හැකියි.
30. (අ) බැබිලෝනියේ රජු ස්වර්ගයෙන් වැටුණු කෙනෙක් හැටියට විස්තර කිරීමෙන් අදහස් වුණේ කුමක්ද? (ආ) ස්වර්ගයෙන් වැටෙනවා කීමෙන් කුමක් අදහස් විය හැකිද?
30 යොහන් දකින මෙම තාරකාව ස්වර්ගයෙන් වැටෙනවා කියද්දී අදහස් වෙන්නේ කුමක්ද? පුරාණ රජෙකුට සිදු වුණු දේ ගැන දැනගැනීමෙන් මෙය අපට තේරුම්ගන්න පුළුවන්. බැබිලෝනියේ රජුට කතා කරමින් යෙසායා මෙසේ පැවසුවා. “අහෝ, අලුයමේ පුත්‍ර වූ දවල් තාරකාව, ඔබ ස්වර්ගයෙන් වැටුණු හැටි! ජාතීන් පහත් කර දැමූ ඔබ බිමට හෙළනු ලැබූ හැටි!” (යෙසායා 14:12) මෙම අනාවැකිය වුණේ පර්සියාවේ සයිරස් රජුගේ හමුදාවන් විසින් බැබිලෝනිය යටත් කරගෙන, බැබිලෝනියේ අධිරාජ්‍යයාව අන්ත පරාජයකට ලක් කළ විටයි. මේ අනුව තාරකාවක් ස්වර්ගයෙන් වැටෙනවා කීමෙන් අදහස් කරන්නේ යමෙක් ඉතා උසස් තත්වයක සිට ඉතාමත් පහත් නින්දාසහගත තත්වයකට ඇද වැටීමයි.
31. (අ) ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවල පූජකයන් “ස්වර්ගීය” තත්වයෙන් වැටුණේ කවදාද? (ආ) පූජක පන්තිය ජනයාට ඉගැන්වූ දේවල් “තිත්ත” දෙයක් වුණේ කෙසේද? මේ නිසා බොහෝ අයට සිදු වුණේ කුමක්ද?
31 ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවල පූජකයන් සැබෑ ක්‍රිස්තියානි ඉගැන්වීම්වලින් ඉවත්ව ගිය අවස්ථාවේදී, එෆීස 2:6, 7හි පාවුල් විස්තර කළ ‘ස්වර්ගීය’ තත්වයෙන් ඔවුන් පහළට වැටුණා. සත්‍යය නමැති නැවුම් ජලය ජනයාට ලබා දෙනවා වෙනුවට ඔවුන්, නිරාගින්න, ශුද්ධගිනිස්ථානය, ත්‍රිත්වය සහ ‘දෙවිගේ කැමැත්තට අනුවයි සියල්ල සිද්ධ වෙන්නේ’ වැනි බොරු ඉගැන්වීම් ජනයාට ඉගැන්නුවා. ඒවා හරියට “තිත්ත” දේ කන්ට දුන්නා වගෙයි. මීට අමතරව මෙම පූජකයන් ජනයාව යුද්ධවලට තල්ලු කළ අතර, දෙවිගේ ප්‍රමිතිවලට ළැදිකමක් ඔවුන් තුළ ඇති කළේ නැහැ. ප්‍රතිඵලයක් ලෙස මේ ආගමික බොරු විශ්වාස කළ අයගේ මනස්වලට විස ඇතුල් වුණා. ඔවුන්ට සිදු වුණේ යෙරෙමියාගේ කාලයේ විසූ අභක්තික ඊශ්‍රායෙල්වරුන්ට සිදු වූ දේමයි. ඔවුන් ගැන යෙහෝවා දෙවි මෙසේ කියා තිබුණා. “යෙරුසලමේ සිටින අනාගතවක්තෘවරුන් දෙවිට විරුද්ධව කරන කැරලි ගැසීම දේශය පුරා පැතිරී ගිහින්. එමනිසා මම අනාගතවක්තෘවරුන්ට තිත්ත දේ කන්න දෙනවා. විස මිශ්‍ර වතුර බොන්න දෙනවා.”—යෙරෙමියා 9:15; 23:15, NW.
32. ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලි වැටී ඇති බව පැහැදිලි වුණේ කවදා සිටද? එම වැටීම සියලුදෙනාගේ අවධානයට ලක් කළේ කෙසේද?
32 වර්ෂ 1919දී දේවරාජ්‍යයේ වැඩකටයුතු අධීක්ෂණය කිරීම සඳහා පත් කරනු ලැබුවේ ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවල පූජක පක්ෂය නොව අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ කුඩා කණ්ඩායමයි. (මතෙව් 24:45-47) ස්වර්ගීය ස්ථානවලින් ඔවුන් වැටුණේ මෙයාකාරයටයි. එම වැටීම සියලුදෙනාගේ අවධානයට යොමු වුණේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ කණ්ඩායම 1922 සිට නැවතත් පූජක පක්ෂයේ වැරදි ඍජුවම හෙළි කිරීමට දැරූ ප්රයත්නය තුළිනුයි.
33. වර්ෂ 1924දී පැවති සමුළුවේදී ක්‍රිස්තියානියයි කියාගත් පූජක පක්ෂයේ වැරදි හෙළි කළේ කෙසේද?
33 මේ සම්බන්ධයෙන් ඉතා කැපීපෙනෙන සමුළුවක් 1924 ජූලි 20 සිට 27 දක්වා ඔහයෝ ප්‍රාන්තයේ කොලොම්බස් නුවරේ පැවැත්වුවා. ඒ සමුළුව විස්තර කර තිබුණේ “බයිබල් ශිෂ්‍යයන් මෙතෙක් පැවැත්වූ සුවිශේෂම සමුළුව” ලෙසයි. (The Golden Age සඟරාව) මෙම සමුළුවේදී ස්ථිර කරගත් සම්මුතිය තුන්වන හොරණෑව පිම්බ දේවදූතයාගේ මඟ පෙන්වීමට එකඟව සිදු වුණාට සැකයක් නැහැ. තුන්වන හොරණෑවේ පිඹීම සිදු වුණේ මේ අවස්ථාවේදීයි. පසුව මෙම සම්මුතිය පත්‍රිකාවක් ලෙස පිටපත් මිලියන 50කට වඩා බෙදාහරිනු ලැබුවා. (තේමාව, Ecclesiastics Indicted; පූජකයන්ගේ වැරදි හෙළි වෙයි) එම පත්‍රිකාවේ එක උපමාතෘකාවක් යටතේ “පොරොන්දු වංශයට එරෙහිව සර්පයාගේ වංශය” යන විෂය සාකච්ඡා කෙරුණා. මෙහිදී හෙළි කරනු ලැබුවේ මේ අයගේ කුමන වැරදිද? ගෞරවණීය ආගමික නම්බුනාම ලබාගැනීමට ඔවුන් දක්වන ආශාව, ඔවුන්ගේ ප්‍රධාන සාමාජිකයන් ලෙස දැවැන්ත ව්‍යාපාරිකයන්ට හා දේශපාලනඥයන්ට ඇල්මක් දැක්වීම, මිනිසුන් ඉදිරියේ කැපීපෙනෙන්න ඔවුන් දක්වන ආශාව, දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ජනයාට දේශනා කිරීමට කැමැත්තක් නොදැක්වීම යනාදිය ඍජුවම හෙළි කරනු ලැබුවා. මීට අමතරව “අපේ දෙවිගේ පළිගැනීමේ දවස ප්‍රකාශ” කිරීම දෙවිට කැප වී ඇති සෑම ක්රිස්තියානියෙකුගේම වගකීම බවත් එහිදී කාවද්දනු ලැබුවා.—යෙසායා 61:2.
34, 35. (අ) තුන්වන දේවදූතයා තම හොරණෑව පිඹින්න පටන්ගත් කාලයේ සිට පූජක පක්ෂයට සිදු වී තිබෙන්නේ කුමක්ද? (ආ) පූජක පක්ෂයට ඉදිරියේදී බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද?
34 තුන්වන දේවදූතයා තම හොරණෑව පිඹින්න පටන්ගත් කාලයේ සිට පූජක පක්ෂය සතු මහත් බලය ටිකෙන් ටික හීන වෙන්න පටන්ගෙන තිබෙනවා. කලින් සියවස්වල දේවත්වයේ ලා සැලකූ මෙම පූජකයන්ව වර්තමානයේ ගණන් ගන්නේවත් නැති තරම්. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දේශනා සේවය නිසා දැන් බොහෝදෙනෙක් වටහාගෙන තිබෙන්නේ පූජක පන්තිය විසින් උගන්වනු ලබන මූලධර්ම බොහොමයක් “තිත්ත” හෙවත් විෂකර දේවල් බවයි. උතුරු යුරෝපයේ රටවල පූජක පක්ෂයට බලයක් නැති තරම්. වෙනත් රටවල ආණ්ඩු මගින් ඔවුන්ට යම් සීමා තහංචි පනවා තිබෙනවා. යුරෝපයේත් උතුරු හා දකුණු අමෙරිකාවට අයත් කතෝලික රටවලත් සිටින පූජකයන් ඔවුන්ගේ නම කැත කරගෙන තිබෙනවා. ඒ ඔවුන් කර ඇති දේශපාලන ඇඟිලි ගැසීම්, වංචනික ව්‍යාපාර හා අනාචාර ක්‍රියා නිසයි. තවත් ඉදිරියට තත්වය හොඳ වෙයි කියා බලාපොරොත්තු වෙන්න බැහැ. දුෂ්ට දේවල් සිදු කරන වෙනත් සියලුම ආගම් සමඟ ඔවුනුත් විනාශ වෙන්න නියමිතයි.—එළිදරව් 18:21; 19:2.
35 නමුත් ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවලට දෙවි කරන පීඩා එතනින් නතර වෙන්නේ නැහැ. සතරවන හොරණෑව පිඹීමෙන් පසු සිදු වන දෙයින් එය පැහැදිලි වෙනවා.
අන්ධකාරය!
36. සතරවන දේවදූතයා සිය හොරණෑව පිඹින විට සිදු වෙන්නේ කුමක්ද?
36 “සතරවන දේවදූතයාද තම හොරණෑව පිම්බේය. එවිට, ඉරෙන් තුනෙන් කොටසක්ද, හඳෙන් තුනෙන් කොටසක්ද, තාරකාවලින් තුනෙන් කොටසක්ද පහර ලැබීය. මෙසේ වූයේ, ඒවායෙන් තුනෙන් කොටසක් අඳුරු වන පිණිසත්, දවාලෙන් තුනෙන් කොටසකට හා රාත්‍රියෙන් තුනෙන් කොටසකට ආලෝකය නොතිබෙන පිණිසත්ය.” (එළිදරව් 8:12) ඉපැරණි ඊජිප්තුවට දෙවි නවවෙනි පීඩාව ගෙනා විට ඔවුන් ඇත්තටම අන්ධකාරයෙන් පීඩා ලැබුවා. (නික්මයාම 10:21-29) නමුත් මිනිසුන්ට පීඩා කරන මෙම සංකේතවත් අන්ධකාරයෙන් අදහස් වෙන්නේ කුමක්ද?
37. පේතෘස් සහ පාවුල් යන දෙදෙනාම ක්‍රිස්තියානි සභාවෙන් පිටත සිටින අයගේ තත්වය ගැන විස්තර කළේ කෙසේද?
37 පේතෘස් තම සහෝදරයන්ට පැවසුවේ ඔවුන් ක්‍රිස්තියානීන් වීමට පෙර අන්ධකාර තත්වයක සිටි බවයි. (1 පේතෘස් 2:9) ක්‍රිස්තියානි සභාවෙන් පිටත සිටින අයගේ තත්වය ගැන විස්තර කිරීමට පාවුල්ද “අන්ධකාරය” යන වචනය යොදාගත්තා. (එෆීස 5:8; 6:12; කොලොස්සි 1:13; 1 තෙසලෝනික 5:4, 5) නමුත් ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවල සාමාජිකයන් කියන්නේ තමන් දෙවිව විශ්වාස කරන බව හා යේසුස් තමන්ගේ ගැලවුම්කරු ලෙස පිළිගන්නා බවයි. එසේනම් ඔවුන්ට මේ අන්ධකාරය බලපාන්නේ කෙසේද?
38. සතරවන දේවදූතයා තම හොරණෑව පිඹින විට, ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවල “ආලෝකය” ගැන හෙළි වෙන්නේ කුමක්ද?
38 සැබෑ ක්‍රිස්තියානීන්ව ඔවුන්ගේ පලවලින් හඳුනාගත හැකි බව යේසුස් පැවසුවා. මීට අමතරව ඔහු පැවසුවේ තමාගේ අනුගාමිකයන් බව කියා සිටින බොහෝදෙනෙක් ‘නීති විරෝධී ක්‍රියා කරන’ අය වන බවයි. (මතෙව් 7:15-23) මේ ලෝකයේ තුනෙන් එකක් වන ක්‍රිස්තියානියයි කියාගන්නා රටවල “පල” දෙස බලද්දී පැහැදිලි වෙන්නේ ඔවුන් ඝනාන්ධකාරයේ අත පත ගාමින් සිටින බවයි. (2 කොරින්ති 4:4) දෙවි ඉදිරියේ වැඩිම වැරදි කර ඇත්තේ ඔවුන්. මන්ද ඒ සියල්ල කර තිබෙන්නේ “ක්‍රිස්තියානි” කියන නාමයෙන්. එසේනම් සතරවන දේවදූතයා තම හොරණෑව පිඹීමෙන් හෙළි වෙන්නේ ක්‍රිස්තියානියයි කියාගන්නා ආගම්වල “ආලෝකය” ඇත්තටම මහා අන්ධකාරයක් බවයි. එය අන්ධකාරයක් වෙන්නේ ඔවුන්ගේ සියලුම ඉගැන්වීම්වලට බැබිලෝනියේ එනම් ක්‍රිස්තියානි විරෝධී ආභාෂයක් ඇති නිසයි.—මාක් 13:22, 23; 2 තිමෝති 4:3, 4.
39. (අ) වර්ෂ 1925දී පැවැත්වූ සමුළුවකදී ස්ථිර කරගත් සම්මුතියක් මගින් ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවලින් නිකුත් වන ව්‍යාජ ආලෝකය ගැන පැවසුවේ කුමක්ද? (ආ) වර්ෂ 1955දී තවත් හෙළි කරනු ලැබුවේ මොනවාද?
39 සතරවන දේවදූතයාගේ හොරණෑ ශබ්දයට අනුකූලව 1925දී අගෝස්තු 29වනදා එක්සත් ජනපදයේ ඉන්ඩියානා ප්‍රාන්තයේ ඉන්ඩියානාපොලිස් නුවරේ පැවති සමුළුවට දෙවිගේ සේවකයන් විශාල පිරිසක් එක් රොක් වී සිටියා. ඔවුන් “බලාපොරොත්තුවේ පණිවුඩයක්” නමින් ඉතා ඍජු සම්මුතියක් ස්ථිර කරගත්තා. නැවතත් භාෂා ගණනාවකින් මෙහි පිටපත් මිලියන 50ක් පමණ මහජනයා අතර බෙදාහරිනු ලැබුවා. දැවැන්ත ව්‍යාපාරිකයන්, දේශපාලන නායකයන් සහ ආගමික නායකයන්ගේ බලපෑමෙන් පැතිර ඇති ව්‍යාජ ආලෝකය නිසා “ජනතාව මහත් අන්ධකාරයක වැටී ඇති” බව එහි පැහැදිලි කර තිබුණා. මිනිසාට තිබෙන එකම විසඳුම දේවරාජ්‍යය බවත්, එමගින් පමණක් “සාමය, සෞභාග්‍යය, සදාකාල සතුටින් පිරි නිරෝගී ජීවිතයක්” උදා වන බවත් එහි සඳහන් වුණා. ක්‍රිස්තියානියයි කියාගත් පල්ලිවලින් සැදුම් ලත් මෙම දැවැන්ත සංවිධානයට විරුද්ධව මෙතරම් ප්‍රබල පණිවුඩයක් ඉදිරිපත් කිරීමට මෙම කුඩා අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ කණ්ඩායමට මහත් නිර්භීතකමක් අවශ්‍ය වුණා. නමුත් 1920 පටන් මේ දක්වා ඔවුන් දිගින් දිගටම එසේ කර තිබෙනවා. පූජක පක්ෂයේ වැරදි හෙළි කරමින් 1955දී භාෂා ගණනාවකින් තවත් පොත් පිංචයක් නිකුත් කළා. එහි තේමාව “ලෝකයේ ආලෝකය”ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිද? නැත්නම් සැබෑ ක්‍රිස්තියානි ආගමද? යන්නයි. අදත් මේ පල්ලිවල සිදු වන කුහකකම් ලෝකයේ බොහෝදෙනෙකුට රහසක් නෙවෙයි. නමුත් මේ පල්ලිවල සිදු වන දුෂ්ටකම් ගැන යෙහෝවා දෙවිගේ ජනයා දිගින් දිගටම ජනයාට හෙළි කරනවා. ඇත්තෙන්ම ඔවුන් අන්ධකාරයේ රාජධානියක්!
පියාසර කරන රාජාලියෙක්
40. සතරවෙනි හොරණෑව පිඹීමෙන් ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලි ගැන හෙළි වී තිබෙන්නේ කුමක්ද?
40 මෙම සතරවෙනි හොරණෑව පිඹීම නිසා මේ පල්ලි කොතරම් පාළු හා මාරාන්තික තත්වයක සිටිනවාද කියා හෙළි වුණා. ‘පොළොවෙන්’ තුනෙන් එකක් වූ එයට අයත් කොටස යෙහෝවා දෙවිගේ විනිශ්චය ලැබීමට සුදුසුයි. එම දේශවල නිතරම දකින්න ලැබෙන්නේ විප්ලවකාරී ව්‍යාපාරයි. පූජක පක්ෂය කොතරම් පිරිහී ඇද්ද කියා ඉතා පැහැදිලියි. පල්ලිවල සාමාජිකයන් ඝනාන්ධකාරය තුළ වෙළී සිටිනවා. සාතන්ගේ මේ දුෂ්ට සමාජයේ වඩාත්ම දූෂිත කොටස ක්‍රිස්තියානියයි කියාගත් පල්ලිවලින් සැදුම් ලත් සංවිධාන බව මින් පැහැදිලි වෙනවා.
41. හොරණෑ පිඹින අතරතුර ඇති වන කෙටි විරාමයකදී යොහන් දකින්නේ සහ අසන්නේ කුමක්ද?
41 හෙළි කිරීමට තවත් තිබෙන්නේ මොනවාද? අප මෙම ප්‍රශ්නයට පිළිතුරු දීමට පෙර, හොරණෑ පිඹීම අතරතුර ඇති වන කෙටි විරාමයේදී යොහන් දකින දේ ඔහු විස්තර කරන්නේ මෙසේයි. “තවද මා බැලූ විට, අහස මැද පියාසර කරන රාජාලියෙකු මහත් හඬකින් මෙසේ කියනවා මට ඇසුණේය: “හොරණෑ පිඹීමට සූදානමින් සිටින දේවදූතයන් තුන්දෙනාගේ ඉතිරි හොරණෑ ශබ්ද නිසා, පොළොවේ වාසය කරන අයට දුක් වේ, දුක් වේ, දුක් වේ!”—එළිදරව් 8:13.
42. පියාසර කරන රාජාලියාගෙන් නියෝජනය වෙන්නේ කාවද? මෙම රාජාලියා ඉදිරිපත් කරන පණිවුඩය කුමක්ද?
42 රාජාලියෙක් අහස මැද පියාසර කරද්දී පොළොවේ විශාල පිරිසකට එය දැකගත හැකියි. තියුණු ඇස් දෙකක් ඇති රාජාලියෙකුට ඈත දුරක් දකින්න පුළුවන්. (යෝබ් 39:29) දෙවිගේ සිංහාසනය ආසන්නව සිටි කෙරුබ්වරු සතරදෙනාගෙන් එක් කෙනෙක්ව විස්තර කළේ පියාසර කරන රාජාලියෙකු ලෙසයි. (එළිදරව් 4:6, 7) මෙහි සඳහන් රාජාලියා මෙම කෙරුබ්වරයාද නැත්නම් දුරදක්නා නුවණක් ඇති දෙවිගේ වෙනත් දූතයෙක්ද කියා පැහැදිලිව කිව නොහැකි වුණත්, ඔහු පවසන පණිවුඩය නම් ඉතා පැහැදිලියි. එනම් “දුක් වේ, දුක් වේ, දුක්වේ!” කියා ඔහු මහත් හඬකින් පැවසීමයි. පිඹීමට තිබෙන්නේ තව හොරණෑ තුනයි. ඒ නිසා පොළොවේ වෙසෙන සියලුදෙනා එම හොරණෑ ශබ්දවලට දැඩි අවධානයක් දිය යුතුයි. එයට හේතුව ඒ ඉතිරි හොරණෑ ශබ්ද දුක්වලට සම්බන්ධ වන නිසයි.
[පාදසටහන්වල]
a මීට වෙනස්ව දෙවිගේ උදහස නමැති දැවෙන රස්නයෙන් මහත් සමූහය පීඩා විඳින්නේ නැති බව එළිදරව් 7:16හි පෙන්වනවා.
b යේසුස්ගේ දකුණු අතේ සිටින තාරකා සතෙන් ක්‍රිස්තියානි සභාවේ අභිෂේක ලත් අවේක්ෂකයන්ව නියෝජනය කළත් අද දින ලොව පුරා දළ වශයෙන් සභා 1,00,000ක පමණ සිටින වැඩිමහල්ලන්ගෙන් වැඩිදෙනෙක් මහත් සමූහයට අයත් අයයි. (එළිදරව් 1:16; 7:9) ඔවුන් ගැන කුමක් කිව හැකිද? ඔවුන්වත් පත් කරන්නේ දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය තුළිනුයි. ඒ පත්වීම කරන්නේ අභිෂේක ලත් විශ්වාසවන්ත නුවණ ඇති දාස පන්තියේ අධීක්ෂණය යටතේයි. ඒ නිසා ඔවුනුත් යේසුස්ගේ දකුණතේ සිටින ඔහුගේ උපඑඬේරුන් බව පැවසිය හැකියි. (යෙසායා 61:5, 6; ක්‍රියා 20:28) වැඩිමහල්ලන් ලෙස සේවය කළ හැකි අභිෂේක ලත් සහෝදරයන් නැති සභාවල ඔවුන් වගකීම් දරමින් ‘තාරකා සතට’ සහයෝගය දෙනවා.
[139වන පිටුවේ වගුව]
“ක්‍රිස්තියානි” පල්ලිවල තිත්ත ඉගැන්වීම්
පල්ලිවල ඉගැන්වීම් බයිබලයේ උගන්වා
හා ඇදහිලි ඇති දේ
දෙවිගේ පෞද්ගලික නාමය යේසුස් යාච්ඤා කළේ දෙවිගේ නාමය
වැදගත් නැහැ: “ක්‍රිස්තියානි සභාවේ විශුද්ධ විය යුතු බවයි. පේතෘස් පැවසුවේ
ඇදහිලිවන්තයන්ව ශක්තිමත්ව ‘යෙහෝවාගේ නාමයට අයැදින
තබාගැනීමට එකම සැබෑ සියලුදෙනාවම ගලවාගනු ලබන’ බවයි.
දෙවි සඳහා නාමයක් භාවිත කිරීම (ක්‍රියා 2:21; යෝවෙල් 2:32;
සුදුසු දෙයක් නෙවෙයි.” මතෙව් 6:9; නික්මයාම 6:3;
(Revised Standard Version එළිදරව් 4:11; 15:3; 19:6)
නම් බයිබලයේ පෙරවදන)
දෙවි ත්‍රිත්වයක්. “පියා කියන්නෙත් බයිබලයේ පවසන්නේ යෙහෝවා
දෙවිටයි. පුත්‍රයා කියන්නෙත් දෙවි යේසුස්ට වඩා උතුම් බව
දෙවිටයි. ශුද්ධාත්මය කියන්නෙත් සහ ක්‍රිස්තුස්ගේ හිස දෙවි
දෙවිටයි. එසේ වුණත් සිටින්නේ එක බවයි. (යොහන් 14:28; 20:17;
දෙවි කෙනෙක් විතරයි.” (The 1 කොරින්ති 11:3) ශුද්ධාත්මය
Catholic Encyclopedia දෙවිගේ බලයයි. (මතෙව් 3:11;
1912 සංස්කරණය) ලූක් 1:41; ක්‍රියා 2:4)
මනුෂ්‍ය ආත්මය අමරණීයයි: මිනිසා මරණයේදී දූවිල්ලට
“මිනිසා මිය යන විට ඔහුගේ හැරී යයි. ඔහුගේ සියලු සිතුවිලි
ආත්මය ශරීරයෙන් වෙන් වෙනවා. හා කල්පනා නැති වෙනවා.
ශරීරය දිරාපත් වුණත් ආත්මය (උත්පත්ති 2:7; 3:19;
මිය යන්නේ නැහැ.” (රෝමානු ගීතාවලිය 146:3, 4;
කතෝලික ප්රකාශනයක් වන දේශනාකාරයා 3:19, 20; 9:5, 10)
What Happens After Death)
මරණයෙන් පසු දුෂ්ටයන්ට පාපය සඳහා ගෙවන කුලිය
නිරයෙහි වධ හිංසා වධ වේදනා නොව මරණයයි.
හිමි වෙනවා: “කතෝලික (රෝම 6:23) කෙනෙක් මිය යන විට
සම්ප්‍රදායට අනුව නිරය කියන්නේ ඔහු මරණය නමැති නින්දෙහි
නිමක් නැති දුක් හා වේදනා පවතින සැතපී සිටිනවා. (ගීතාවලිය 89:48;
ස්ථානයක්.” (The World Book යොහන් 5:28, 29; 11:24, 25;
Encyclopedia, 1987 සංස්කරණය) එළිදරව් 20:13, 14)
“මරියතුමී අපගේ මැදිහත්කාරියයි.” දෙවි හා මිනිසා අතර ඇති
(New Catholic Encyclopedia, එකම මැදිහත්කරු යේසුස්.
1967 සංස්කරණය) (යොහන් 14:6; 1 තිමෝති 2:5;
ළදරුවන්ව බව්තීස්ම කළ යුතුයි: බව්තීස්ම කළ යුත්තේ යේසුස්ගේ
“සභාව පිහිටෙවූ දා සිට ළදරුවන්ට ගෝලයන් බවට පත් වී ඔහුගේ
බව්තීස්මය ලබා දුන්නා. මෙය ආඥා ඉගෙනගෙන ඇති අයව
අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් පමණයි. බව්තීස්මය සඳහා සුදුස්සෙක්
වූ අතර ගැලවීම සඳහා අත්‍යවශ්‍ය වෙන්න නම් කෙනෙක් දේවවචනය
දෙයක් හැටියට සලකනු ලැබුවා.” තේරුම්ගෙන ඇදහිල්ල දැක්විය
(New Catholic Encyclopedia, යුතුයි. (මතෙව් 28:19, 20;
1967 සංස්කරණය) ලූක් 3:21-23; ක්‍රියා 8:35, 36)
බොහෝ පල්ලිවල සාමාජිකයන් ගිහි පළමු සියවසේ සියලුම ක්‍රිස්තියානීන්
පැවිදි ලෙස කොටස් දෙකකට බෙදා දේවසේවකයන් ලෙස ශුභාරංචිය
තිබෙනවා. පූජක පක්ෂයට බොහෝදුරට දේශනා කිරීමට හවුල් වුණා.
වේතනයක් ගෙවනු ලබනවා. (ක්‍රියා 2:17, 18; රෝම 10:10-13; 16:1)
ගිහියන්ට වඩා ඔවුන්ව උසස් ක්‍රිස්තියානියෙක් සේවය කරන්නේ
කර දැක්වීමට “පියතුමා,” වැටුපකට නොව ‘නොමිලේ.’
“ඔබ වහන්සේ,” “උතුමාණෙනි” (මතෙව් 10:7, 8) ගෞරව නාම
වැනි ගෞරව නාමවලින් භාවිත නොකළ යුතු බව යේසුස්
ඔවුන්ව අමතනවා. පැහැදිලිවම පැවසුවා.
රූප, ප්‍රතිමා සහ කුරුස ක්‍රිස්තියානීන් සියලු ආකාර
නමස්කාරය සඳහා භාවිත රූප වන්දනාවෙන් පලා
වෙනවා: ක්‍රිස්තුස් වහන්සේගේ, යා යුතුයි. (නික්මයාම 20:4, 5;
දේවමෑණියන්ගේ සහ වෙනත් 1 කොරින්ති 10:14; 1 යොහන් 5:21)
ශුද්ධවන්තයන්ගේ රූප පල්ලිවල ඔවුන් දෙවිට නමස්කාර කරන්නේ
තිබිය යුතු අතර ඒවාට නිසි දෘශ්‍යමාන ආධාරකවලින්
ගරුබුහුමන් දැක්විය යුතුයි.” නොව නමුත් ඔවුන්ගේ මුළු
(ට්‍රෙන්ට් මන්ත්‍රණ සභාවේ සිතින් හා සත්‍යයට එකඟවයි.
ප්‍රකාශය [1545-1563]) (යොහන් 4:23, 24; 2 කොරින්ති 5:7)
දෙවි අරමුණු කර ඇති දේ මිනිස් වර්ගයාට තිබෙන
දේශපාලනය තුළින් ඉටු වන බලාපොරොත්තුව ලෙස යේසුස්
බව පල්ලි සාමාජිකයන්ට උගන්වා දේශනා කළේ දේශපාලනයක්
තිබෙනවා. නැසී ගිය කාදිනල්වරයෙක් ගැන නොව දේවරාජ්‍යය ගැනයි.
වූ ස්පෙල්මන් පැවසුවේ මෙසේයි. (මතෙව් 4:23; 6:9, 10) ඔහු දේශපාලනයට
“සාමයට ඇත්තේ එකම මඟක් කොහොමටවත් හවුල් වුණේ නැහැ.
පමණයි. එය නම් ප්රජාතන්ත්රවාදය (යොහන් 6:14, 15) ඔහුගේ රාජ්‍යය මේ
නමැති මඟයි.” ආගම් දේශපාලනයට ලෝකයේ කොටසක් වූයේ නැහැ.
සම්බන්ධ වන ආකාරය, ඇතැම්විට ඔහුගේ අනුගාමිකයනුත් මේ ලෝකයේ
කැරලිගැසීම්වලට පවා සම්බන්ධ කොටසක් නෙවෙයි. (යොහන් 18:36; 17:16)
වන ආකාරය හා “සාමය හා ලෝකය සමඟ මිත්‍ර නොවන්න කියා
සුරක්ෂිතභාවය උදා කර දීමට යාකොබ් අනතුරු ඇඟෙව්වා.
තිබෙන එකම බලාපොරොත්තුව” (යාකොබ් 4:4)
ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයට
සහයෝගය දෙන ආකාරය ජන
මාධ්‍යයන් තුළ වාර්තා වී තිබෙනවා.
[132වන පිටුවේ පින්තූරය]
මුද්‍රා සත කැඩීමේ ප්‍රතිඵලයක් ලෙස හොරණෑ සතක් පිඹිනු ලබනවා
[140වන පිටුවේ පින්තූර]
“ලෝක නායකයන්ට අභියෝගයක්” (1922)
දෙවි ‘පොළොවට’ විරුද්ධව ගෙනා පීඩා ප්‍රකාශ කරන්න මෙම සම්මුතිය උපකාරවත් වුණා
[140වන පිටුවේ පින්තූර]
“සියලු ක්‍රිස්තියානීන්ට අනතුරු ඇඟවීමක්” (1923)
“මුහුදෙන් තුනෙන් කොටසකට” එරෙහිව යෙහෝවා දෙවිගේ විනිශ්චය ගැන මෙම සම්මුතියෙන් ප්‍රකාශ වුණා
[141වන පිටුවේ පින්තූර]
“පූජකයන්ගේ වැරදි හෙළි වෙයි” (1924)
ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවල පූජකයන් නමැති “තාරකා” වැටී තිබෙන බව ජනයාට දැනුම් දීමට පුළුල් ලෙස බෙදා දුන් මේ පත්‍රිකාව හේතු වුණා
[141වන පිටුවේ පින්තූර]
“බලාපොරොත්තුවේ පණිවුඩය” (1925)
ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවල ආලෝකය ඇත්තටම අන්ධකාරයක් බව ජනයාට දැනුම් දීමට මෙම නිර්භීත සම්මුතිය ඉවහල් වුණා