පාඩම් ලිපිය 28
දෙවියන්ට තියෙන ගරුබිය නැති කරගන්න එපා!
“ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන අයට යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇත.”—හිතෝ. 14:2.
ගීතිකාව 122 ස්ථිරව නොසැලී සිටිමු
මේ ලිපියෙන්a
1-2. ලොත් වගේ අද අපි මුහුණ දෙන්නේ මොන අභියෝගයටද?
ලොත් ජීවත් වුණ කාලේ සදාචාරය තිබුණේ පහත්ම අඩියට වැටිලා. ඒ නිසා ධර්මිෂ්ඨ මිනිසෙක් වුණ ලොත් “කිසි ප්‍රතිපත්තියක් නැති ජනයාගේ නින්දිත ක්‍රියා දැක බොහෝ සෙයින් දුක් වුණා.” (2 පේතෘ. 2:7, 8) මොකද එයා දැනන් හිටියා දෙවියන් ඒ දේවල් පිළිකුල් කරනවා කියලා. හැබැයි අවට හිටපු මිනිස්සුන්ගේ ජීවිත පිළිකුල් දේවල්වලින් පිරිලා තිබුණත් ලොත් ඒ බලපෑමට අහු වුණේ නැහැ. මොකද එයාගේ හිත යෙහෝවා දෙවියන්ට තියෙන ආදරෙන්, ගෞරවයෙන් පිරිලා තිබුණා. අද අපි ඉන්නෙත් මිනිස්සු යෙහෝවාගේ සදාචාර ප්‍රමිති සත පහකටවත් ගණන් ගන්නේ නැති කාලෙක. අපිත් අපේ හිත් යෙහෝවාට තියෙන ආදරෙන් පුරෝගෙන, ඔහු ගැන ගරුබියක් ඇති කරගන්නවා නම් අපිටත් පුළුවන් සදාචාරය අතින් පිරිසිදු ජීවිතයක් ගත කරන්න.—හිතෝ. 14:2.
2 ඒ දේ කරන්න යෙහෝවා දෙවියන් අපිට ගොඩක් විදිවලින් උදව් කරලා තියෙනවා. ඒකට එක උදාහරණයක් තමයි හිතෝපදේශ පොත. මොකද ඒකේ තියෙන ප්‍රඥාවන්ත මඟ පෙන්වීම්වලින් ස්ත්‍රී පුරුෂ, බාල මහලු හැම කෙනෙක්ටම ප්‍රයෝජන ගන්න පුළුවන්.
ගරුබිය අපිට ආරක්ෂාවක්
3. අපි අපේ හිත ආරක්ෂා කරගන්න ඕනෙ එක හේතුවක් මොකක්ද? (හිතෝපදේශ 17:3) (පින්තූරයත් බලන්න.)
3 යෙහෝවා බලන්නේ අනිත් අය බලනවා වගේ අපි පිටින් මොන වගේ අයද කියන එක විතරක් නෙවෙයි. ඔහු අපේ ඇතුළාන්තයත් සෝදිසි කරනවා. (හිතෝපදේශ 17:3 කියවන්න.) ඒක අපේ හිත ආරක්ෂා කරගන්න අපිට තියෙන ප්‍රධානම හේතුවක්. අපි අපේ හිත ඔහුගේ ප්‍රඥාවන්ත මඟ පෙන්වීම්වලින් පුරෝගෙන ඉන්නවා දකිද්දී ඔහුට අපි ගැන කොච්චර ආදරයක් ඇති වෙයිද! (යොහ. 4:14) ඒක අපේ හිත ආරක්ෂා කරගන්නත් අපිට උදව්වක්. මොකද එතකොට කාටවත්, කොටින්ම කිව්වොත් මේ ලෝකෙටවත් බැහැ සදාචාරය ගැන තියෙන විකෘති අදහස්, බොරු ඉගැන්වීම් අපේ හිත්වලට ඔබන්න. (1 යොහ. 5:18, 19) අපි දවසින් දවස ඔහුට ළං වෙද්දී අපේ හිතේ ඔහු ගැන තියෙන ආදරේ, ගෞරවේ දවසින් දවස වැඩි වෙනවා. එතකොට ඔහුගේ හිතට දුකක් දෙන දෙයක් කරනවා තියා ඒ ගැන හිතන්නවත් අපි කැමති නැහැ. ඒ නිසා වැරදි දෙයක් කරන්න පෙලඹීමක් එද්දී අපිට පුළුවන් අපෙන්ම මෙහෙම අහගන්න. “මේ දේ කරලා මං කොහොමද මට මෙච්චර ආදරේ කරන යෙහෝවාගේ හිත රිද්දන්නේ?”—1 යොහ. 4:9, 10.
4. වරදකට වැටෙන්නේ නැතුව ඉන්න දේවගරුබිය සහෝදරියකට උදව් වුණේ කොහොමද?
4 ක්‍රොඒෂියාවේ ඉන්න මාර්තාට අනාචාරයේ යෙදෙන්න ලොකු පෙලඹීමක් ආවා.b බලන්න එයා කියන දේ. “මං දැනං හිටියා ඒ සතුට හරිම තාවකාලිකයි කියලා. ඒත් ඒ ආසාව පාලනය කරගන්න මට ගොඩක් අමාරු වුණා. යෙහෝවාට තිබ්බ ගරුබිය තමයි මාව ආරක්ෂා කළේ.” ඒත් දේවගරුබිය කොහොමද ඒ වගේ දේකින් එයාව ආරක්ෂා කළේ? ඒ වරද කළොත් මුහුණ දෙන්න වෙන ප්‍රතිඵල ගැන මාර්තා හොඳට කල්පනා කළා. අපිටත් පුළුවන් ඒ දේම කරන්න. මොකද අපි ඒ වගේ වරදක් කළොත් අපි යෙහෝවාගේ හිතට ලොකු දුකක් දෙනවා. ඒ වගේම සදහටම ඔහුට නමස්කාර කරන්න තියෙන අවස්ථාවත් අපි නැති කරගන්නවා.—උත්. 6:5, 6.
5. ලියෝගෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?
5 යෙහෝවා ගැන ගරුබියක් තියෙනවා නම් ලෝකේ අය වැරදි කරද්දී වුණත් අපි ඒක සැහැල්ලුවට ගන්නේ නැහැ. ඒක තේරුම්ගන්න ලියෝගේ අද්දැකීම අපි බලමු. බව්තීස්ම වෙලා අවුරුදු හතරකට විතර පස්සේ ලියෝ නරක යාළුවන්ව කිට්ටුවෙන් ආශ්‍රය කරන්න පටන්ගත්තා. එයා හිතුවා ‘ඒගොල්ලෝ නරක වැඩ කළාට මං නං කවදාවත් යෙහෝවාගේ හිත රිද්දන්නේ නෑ’ කියලා. හැබැයි මොකද වුණේ? කාලයක් යද්දී ලියෝ මත්පැන්වලට ඇබ්බැහි වුණා. අනාචාරයටත් වැටුණා. හැබැයි පස්සේ එයාට තේරුණා එයා මේ යන්නේ වැරදි පාරක කියලා. ඒ වගේම අම්මලා එයාට දෙවියන් ගැන උගන්නපු දේවල්, එයාගේ ජීවිතේ කලින් තිබ්බ සතුට එයාට මතක් වුණා. ඉතින් ලියෝ මොකද කළේ? එයා ඉක්මනටම වැඩිමහල්ලන්ගේ උදව් අරන් ආයෙත් යෙහෝවාට ළං වෙන්න පියවර ගත්තා. දැන් එයා වැඩිමහල්ලෙක් සහ විශේෂ පුරෝගාමියෙක් විදිහට සතුටින් සේවේ කරනවා.
6. අපි දැන් බලන්න යන ස්ත්‍රීන් දෙන්නා කවුද?
6 අපි දැන් හිතෝපදේශ 9වෙනි පරිච්ඡේදයට ටිකක් යමු. ඒකේ ප්‍රඥාව සහ මෝඩකම ස්ත්‍රීන් දෙන්නෙක් විදිහට විස්තර කරලා තියෙනවා.c ඒ තොරතුරු බලද්දී අපි මතක තියාගන්න ඕනෙ අද සාතන්ගේ ලෝකේ වැඩි හරියක්ම ඉන්නේ අනාචාරයෙන්, කාමුක දර්ශනවලින් මත් වුණ අය කියලා. (එෆී. 4:19) ඒ නිසා අපි දිගටම යෙහෝවා ගැන ගරුබියක් ඇති කරගෙන, වැරදි දේවල්වලින් ඈත් වෙලා ඉන්න ලොකු වෑයමක් දරන්න ඕනේ. (හිතෝ. 16:6) ගැහැනු කෙනෙක් වුණත් පිරිමි කෙනෙක් වුණත් අපි හැමෝටම මේ පරිච්ඡේදයේ තියෙන තොරතුරු ප්‍රයෝජනවත්. මේ ස්ත්‍රීන් දෙන්නාම අද්දැකීම් අඩු අයට ඒ කියන්නේ “අඥාන අයට” ආරාධනාවක් කරනවා. එයාලා කියන්නේ ‘එන්න, මගේ ගෙදරට ඇවිල්ලා මාත් එක්ක කෑම කන්න’ කියලා. (හිතෝ. 9:1, 5, 6, 13, 16, 17) එයාලා කරන ආරාධනය එකයි. හැබැයි ඒකෙන් ලැබෙන ප්‍රතිඵල නම් අහසට පොළොව වගේ.
මෝඩ ස්ත්‍රියට රැවටෙන්න එපා!
7. මෝඩ ස්ත්‍රිය දෙන ආරාධනය පිළිගත්තොත් මොනවා වෙයිද? (හිතෝපදේශ 9:13-18) (පින්තූරයත් බලන්න.)
7 මෝඩ ස්ත්‍රිය කිසිම ලැජ්ජාවක්, බයක් නැතුව අඥානයන්ට ආරාධනා කරනවා “මා ළඟට ඇවිත්” මාත් එක්ක කෑම කන්න කියලා. (හිතෝපදේශ 9:13-18 කියවන්න.) ඒත් ඒ ආරාධනාව පිළිගත්තොත් වෙන්නේ මොකක්ද? බයිබලේ කියනවා “ඇගේ නිවස මිය ගිය අයගෙන් පිරී ඇත” කියලා. මතකද හිතෝපදේශ පොතේම තව තැනක “දුරාචාරයේ යෙදෙන ස්ත්‍රියක්” ගැන කතා කරනවා? එතන කියන්නෙත් “ඇගේ නිවස බැස යන්නේ මිනී වළටයි” කියලා. (හිතෝ. 2:11-19) ඒ විතරක් නෙවෙයි හිතෝපදේශ 5:3-10ත් “දුරාචාරයේ යෙදෙන ස්ත්‍රියක්” ගැන කතා කරනවා. එයා ගැන කියන්නෙත් “ඇගේ දෙපා මරණයට පියමං කරයි” කියලා.
8. අපි හැමෝම ඉස්සරහා තියෙන තීරණය මොකක්ද?
8 මේ “මෝඩ ස්ත්‍රියගේ” ආරාධනය ඇහෙන හැමෝටම තීරණයක් ගන්න වෙනවා ඒක පිළිගන්නවාද නැද්ද කියලා. අපි ඉස්සරහත් ඒ වගේම තීරණයක් තියෙනවා. අද ටීවී එකේ, ඉන්ටර්නෙට් එකේ කාමුක දේවල් වැහි වැහැලා. හිතන්න, ඒ වගේ දේවල්වලින් ඔයාටත් ආරාධනයක් ලැබුණොත් ඔයා මොන වගේ තීරණයක් ගනියිද?
9-10. අනාචාරයට සම්බන්ධ දේවල්වලින් සම්පූර්ණයෙන්ම ඈත් වෙන්න අපිට තියෙන හේතු මොනවාද?
9 අනාචාරයට සම්බන්ධ හැම දේකින්ම ඈත් වෙන්න අපිට ඕන තරම් හේතු තියෙනවා. මතකද අර “මෝඩ ස්ත්‍රිය” කියනවා “හොර රහසේ ගත්ත වතුර මිහිරියි” කියලා? මොනවාද මේ “හොර රහසේ ගත්ත වතුර”? බයිබලේ විවාහ වුණ යුවළක් අතර ඇති වෙන ලිංගික සම්බන්ධකම් ප්රබෝධයක් ගෙන දෙන නැවුම් වතුරට සමාන කරලා තියෙනවා. (හිතෝ. 5:15-18) හැබැයි ඒ විදිහට ලිංගික සම්බන්ධකම් පවත්වන්න දෙවියන් අවසර දීලා තියෙන්නේ නීත්‍යානුකූලව විවාහ වෙලා ඉන්න යුවළකට විතරයි. ඒත් “හොර රහසේ ගත්ත වතුර” කියද්දී ගොඩක් වෙලාවට අදහස් වෙන්නේ විවාහයෙන් පිටත සිද්ධ වෙන ලිංගික ක්‍රියා. හුඟක් වෙලාවට මිනිස්සු ඒ දේවල් කරන්නේ හොරෙන්. හරියට හොරු වගේ. එයාලා හිතනවා ඒකෙන් එයාලට කිසිම හානියක් වෙන්නේ නැහැ, කවුරුත් ඒක දකින්නේ නැහැ කියලා. හැබැයි එහෙම හිතන එකෙන් රැවටෙන්නේ එයාලමයි. මොකද කවුරු දැක්කේ නැතත් යෙහෝවා ඒ හැම දෙයක්ම දකිනවා. ඒක මිහිරියි කියලා හිතන් හිටියත් දෙවියන්ගේ අනුමැතිය නැති වෙද්දී තමයි තේරෙන්නේ ඒක කොච්චර අමිහිරිද කියලා. (1 කොරි. 6:9, 10) ඒත් ප්‍රතිඵල එතනින් නතර වෙන්නේ නැහැ.
10 අනාචාරයේ යෙදෙන අයට එයාලා ගැනම ලැජ්ජාවක්, පිළිකුලක් දැනෙනවා. ඒ විතරක් නෙවෙයි අනවශ්‍ය ගැබ්ගැනීම්, පවුල් දෙකඩවීම් නිසා එයාලා නොසෑහෙන්න දුක් විඳිනවා. එහෙම බලද්දී මේ මෝඩ ස්ත්‍රියගේ කෑම කනවා තියා අපි ඒ ‘ගෙවල් පැත්තේ’ පස් පාගන්නවත් හොඳ නැහැ. මතකද 18වෙනි පදේ කිව්වා ඇගේ ආරාධනාව පිළිගත්ත අය “මිනී වළේ ගැඹුරුම ස්ථානවල ඉන්නවා” කියලා? කෙනෙක් අනාචාරයේ යෙදෙද්දී එයාට දෙවියන් එක්ක තියෙන බැඳීම නිකම්ම මැරිලා යනවා. ඒ විතරක් නෙවෙයි ලිංගිකව බෝ වෙන ලෙඩ හැදිලා එයා අකාලේ මැරිලා යන්නත් පුළුවන්. (හිතෝ. 7:23, 26) ඒත් මෙච්චර දෙයක් දැන දැනත් හුඟදෙනෙක් මේ ස්ත්‍රියට රැවටෙන්නේ ඇයි?—හිතෝ. 9:13-18.
11. අසභ්‍ය දර්ශන බලන එක භයානක ඇයි?
11 අසභ්‍ය දර්ශන අද හුඟදෙනෙක් අහු වෙන උගුලක්. සමහරු හිතන්නේ ඒවා බලන එකේ වරදක් නැහැ කියලා. ඒත් ඇත්ත ඒක නෙවෙයි. ඒකෙන් කෙනෙක්ගේ ආත්ම ගෞරවය නැති වෙනවා. ඒ වගේම ඒවා ඇබ්බැහි කරවන සුළුයි. අසභ්‍ය දර්ශනයක් අපේ ඇහැ ගැටුණොත් ඒක ගලේ කෙටුවා වගේ තමයි. ඒවා බලන එකෙන් වෙන්නේ වැරදි ආශාවන් කියන ගින්න නිවෙන එක නෙවෙයි තවත් ඇවිළෙන එක. (කොලො. 3:5; යාකො. 1:14, 15) හුඟක් වෙලාවට ඒවා බලන අය අන්තිමේදී අනාචාරය කියන ගැඹුරු වළට වැටිලා තමයි නතර වෙන්නේ.
12. ලිංගික හැඟීම් අවුස්සන දේවල්වලින් සම්පූර්ණයෙන්ම ඈත් වෙන්න අපි කරන්න ඕනෙ මොනවාද?
12 හිතන්න, ඉන්ටර්නෙට් පාවිච්චි කරද්දී එකපාරටම අසභ්‍ය දර්ශනයක් එනවා. ඒ වගේ වෙලාවට මොනවාද කරන්න ඕනේ? ඉක්මනටම අපේ ඇස් ඒකෙන් ඉවතට ගන්න ඕනේ. ඒත් ඒකට උදව් වෙන්නේ මොකක්ද? ඒ අපිට තියෙන වටිනාම දේ ගැන ඒ කියන්නේ යෙහෝවා එක්ක තියෙන බැඳීම ගැන හිතන එක. ඉන්ටර්නෙට් එකේ, ටීවී එකේ පෙන්නන සමහර ඒවා අසභ්‍ය දර්ශනම නෙවෙයි. හැබැයි ඒ වගේ දෙයකින් වුණත් ලිංගික හැඟීම් ඇවිස්සෙන්න පුළුවන්. අපි කැමති නැහැ අනාචාරය කියන ගැඹුරු වළ දිහාවට එක අඩියකින්වත් ළං වෙන්න. අඩුම තරමේ හිතින්වත් ඒක කරන්න අපිට ඕනෙ නැහැ. (මතෙ. 5:28, 29) වැඩිමහල්ලෙක් වන ඩේවිඩ් කියන දේ බලන්න. “මං හැම තිස්සේම හිතනවා ‘අසභ්‍ය දෙයක් නොවුණාට මේක දිහා දිගින් දිගටම බලන් හිටියොත් මාව දකින යෙහෝවාට කොහොම දැනෙයිද’ කියලා. ඇත්තටම එහෙම හිතන එක තමයි මට උදව් වෙන්නේ හරි දේ කරන්න.”
13. හරි තීරණයක් ගන්න උදව් වෙන්නේ මොනවාද?
13 හරි තීරණයක් ගන්න යෙහෝවා ගැන ගරුබියක් තියෙන එක අපිට උදව් වෙනවා. බයිබලේ කියනවා “ප්‍රඥාව ලබාගැනීමට මුල්ම පියවර වන්නේ යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමයි” කියලා. (හිතෝ. 9:10) “සැබෑ ප්‍රඥාව” හිතෝපදේශ 9වෙනි පරිච්ඡේදයේ තවත් ස්ත්‍රියකට සමාන කරලා තියෙනවා.
“සැබෑ ප්‍රඥාව” කරන ආරාධනය පිළිගන්න
14. හිතෝපදේශ 9:1-6 කරන ආරාධනය මොකක්ද?
14 හිතෝපදේශ 9:1-6 කියවන්න. මේ ආරාධනාව නම් ලැබෙන්නේ සැබෑ ප්‍රඥාවේ උල්පත නැත්නම් අත්තිවාරම වන අපේ නිර්මාතෘගෙන්. (හිතෝ. 2:6; රෝම 16:27) එතන ප්‍රඥාව කුලුනු හතක් තියෙන විශාල නිවසකට සමාන කරලා තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ ත්‍යාගශීලී දෙවි කෙනෙක් වන යෙහෝවා ඔහුගේ ප්‍රඥාව ලබාගන්න ආසාවෙන් ඔහු ළඟට එන හැමෝවම ආදරෙන් පිළිගන්නවා කියන එක.
15. දෙවියන් අපිට කරන ආරාධනය මොකක්ද?
15 හිතෝපදේශ 9වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙන “සැබෑ ප්‍රඥාව” කියන ස්ත්‍රිය වැඩ කරන විදිහෙන් දෙවියන් කොච්චර ත්‍යාගශීලීද කියලා පැහැදිලි වෙනවා. මොකද ඒකේ කියනවා ඒ ස්ත්‍රිය රසවත් මස්, ඉස්තරම්ම වයින් ඇතුළු ලොකු භෝජන සංග්‍රහයක් ලෑස්ති කරලා තියෙනවා කියලා. (හිතෝ. 9:2) ඊටපස්සේ වෙන දේ 4වෙනි සහ 5වෙනි පදවල මෙහෙම කියනවා. “අඥාන වූ සියල්ලන්ට ප්‍රඥාව මෙසේ කියන්නීය. ‘එන්න, මගේ රොටිවලින් පෝෂණය වෙන්න.’” යෙහෝවා දෙවියන් කැමති ඔහුගේ දරුවන් විදිහට අපි ඒ ආරාධනාව පිළි අරන් ප්‍රඥාවන්ත වෙනවා දකින්න. මොකද ඒක අපිට ආරක්ෂාවක් කියලා ඔහු දන්නවා. ඔහු පොඩ්ඩක්වත් ආස නැහැ අපි අමිහිරි දේවල්වලට මුහුණ දීලා ජීවිතේ නාස්ති කරගෙන පාඩම් ඉගෙනගන්නවාට. ඒ නිසයි “ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන අයට දෙන පිණිස දෙවි තම වස්තු ගබඩාවේ ප්‍රඥාව සුරැකිව තබාගන්නේ.” (හිතෝ. 2:7) ඉතින් අපිට දෙවියන් ගැන ගරුබියක් තියෙනවා නම් ඔහු දෙන ප්‍රඥාවන්ත උපදෙස්වලට ඇහුම්කන් දීලා හැම වෙලාවෙම ඔහුව සතුටු කරන්නයි අපි උත්සාහ කරන්නේ.—යාකො. 1:25.
16. ඇලන්ට හරි තීරණයක් ගන්න දේවගරුබිය උදව් වුණේ කොහොමද? අන්තිමේදී වුණේ මොකක්ද?
16 ඇලන් කියන්නේ වැඩිමහල්ලෙක්. ඒ වගේම ඉස්කෝලෙක උගන්වන ගුරුවරයෙක්. එයා මෙහෙම කියනවා. “අපේ ඉස්කෝලේ ගොඩක් ගුරුවරු කාමුක දර්ශන සැලකුවේ ලිංගික අධ්‍යාපනය ලබන්න පුළුවන් ක්‍රමයක් විදිහට.” හැබැයි ඇලන් ඒ උගුලට අහු වුණේ නැහැ. බලන්න එයා කියන දේ. “මං යෙහෝවාට ගොඩක් ආදරෙයි. ඔහුගේ හිත රිද්දන්න මං පොඩ්ඩක්වත් ආස නෑ. ඒ නිසා මං කෙළින්ම එයාලට කිව්වා ඒක වැරදියි කියලා. ඒ වගේම ඒකට හේතුවත් මං එයාලට පැහැදිලි කළා.” ඇත්තටම ඇලන් කළේ “සැබෑ ප්‍රඥාවට” ඇහුම්කන් දීලා “තේරුම්ගැනීම කියන මාවතේ ඉදිරියටම ගමන් කරන” එක. (හිතෝ. 9:6) ඇලන්ගේ මේ වෙනස දැකලා සමහර ගුරුවරු බයිබලේ ඉගෙනගන්නත් පටන්ගත්තා. අපේ රැස්වීම්වලටත් ආවා.
17-18. “සැබෑ ප්‍රඥාව” පිළිගන්න අයට දැන් ලැබෙන ප්‍රයෝජන මොනවාද? එයාලට අනාගතයේදී ලැබෙන්නේ මොන ආශීර්වාදද? (පින්තූරයත් බලන්න.)
17 අපි ගන්න තීරණවලට අනුව අපි ඉස්සරහා තියෙන්නේ මොන වගේ අනාගතයක්ද කියලා දෙවියන් ස්ත්‍රීන් දෙන්නෙක්ගෙන් අපිට පෙන්නලා දුන්නා. අපි මුලින් කටකාර “මෝඩ ස්ත්‍රියක්” ගැන බැලුවා. එයාට ඇහුම්කන් දෙන අයගේ ඔළුවල නිතරම දුවන්නේ හොර රහසේ වැරදි දේවල් කරලා “මිහිරක්” ලබන එක ගැන. ඇත්තටම එයාලා ජීවත් වෙන්නේ ඒ මොහොතට විතරයි. අන්තිමේදී එයාලාගේ ජීවිත කෙළවර වෙන්නේ “මිනී වළේ ගැඹුරුම ස්ථානවලින්.”—හිතෝ. 9:13, 17, 18.
18 හැබැයි “සැබෑ ප්‍රඥාව” කියන ස්ත්‍රියගේ ආරාධනය පිළිගන්න අයගේ ජීවිත ඊට වඩා කොච්චර වෙනස්ද! එයාලට යෙහෝවා එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න ඕනෙ කරන රස ගුණ පිරි, ඉස්තරම්ම පෝෂණය අඩුවක් නැතුව ලැබෙනවා. (යෙසා. 65:13) ඒ ගැන දෙවියන් යෙසායා මාර්ගයෙන් මෙහෙම කිව්වා. “මට සවන් දී, හොඳ දේ කන්න. දිව පිනවන රසවත්ම කෑම කා තෘප්තිමත් වන්න.” (යෙසා. 55:1, 2) අපි “සැබෑ ප්‍රඥාවේ” හඬට සවන් දෙන නිසා යෙහෝවා ආදරේ කරන දේවල්වලට ආදරේ කරන්නත් ඔහු පිළිකුල් කරන දේවල් පිළිකුල් කරන්නත් අපි ඉගෙනගන්නවා. (ගීතා. 97:10) ඒ විතරක් නෙවෙයි “සැබෑ ප්‍රඥාව” ලබාගන්න අනිත් අයට ආරාධනා කරන එකෙනුත් අපි ලොකු සතුටක් ලබනවා. ඒක හරියට ‘නුවරෙහි උස් තැන්වල ඉඳන් “අද්දැකීම් අඩු සියල්ලෙනි, මා වෙතට එන්න”’ කියලා අනිත් අයට ආරාධනා කරනවා වගේ. ඒ ආරාධනය පිළිගන්න අයට ප්‍රයෝජන ලැබෙන්නේ දවසකට දෙකකට නෙවෙයි. ඒ වෙනුවට එයාලා සැබෑ ප්‍රඥාවට ඇහුම්කන් දීලා “තේරුම්ගැනීම නමැති මාවතේ දිගටම ගමන් කරනවා” නම් එයාලට සදාකාල ජීවනය අත් කරගන්න පුළුවන්.—හිතෝ. 9:3, 4, 6.
19. අපේ අධිෂ්ඨානය වෙන්න ඕනෙ මොකක්ද? (දේශනාකාරයා 12:13, 14) (“දේවගරුබියෙන් ප්‍රයෝජන ලැබෙන්නේ අපිටමයි” කියන කොටුවත් බලන්න.)
19 දේශනාකාරයා 12:13, 14 කියවන්න. අන්තිම කාලේ ජීවත් වෙන අපිට දේවගරුබිය ලොකු ආරක්ෂාවක්. ඒ වගේම සදාචාරය අතින් පිරිසිදුව ඉන්න, දිගටම දෙවියන්ට ළං වෙලා ඉන්න ඒක ලොකු උදව්වක්. “සැබෑ ප්‍රඥාවේ” හඬට ඇහුම්කන් දීලා ඒකෙන් ප්‍රයෝජන ගන්න එන්න කියලා අනිත් අයට ආරාධනා කරන්න අපිව පොලඹවන්නෙත් යෙහෝවාට තියෙන ඒ ගරුබියයි.
ගීතිකාව 127 දෙවියනි, මා ඔබට ප්‍රිය කෙනෙක්ද?
a ක්‍රිස්තියානීන් විදිහට අපි හැමෝගෙම හිතේ දෙවියන් ගැන ගරුබියක් තියෙන්න ඕනේ. ඒ ගරුබිය අපේ හිත ආරක්ෂා කරනවා. ඒ වගේම අනාචාරයෙන්, කාමුක දර්ශනවලින් අපිව ඈත් කරනවා. හිතෝපදේශ 9වෙනි පරිච්ඡේදයේ ප්‍රඥාව සහ මෝඩකම ස්ත්‍රීන් දෙන්නෙක් විදිහට විස්තර කරලා තියෙනවා. අපි බලමු ඒ පරිච්ඡේදයේ තියෙන තොරතුරුවලින් අපිට මොනවාද ඉගෙනගන්න පුළුවන් කියලා.
b සමහර නම් වෙනස් කර ඇත.
c සමහර දේවල් බයිබලේ පුද්ගලයන් විදිහට විස්තර කරලා තියෙනවා. උදාහරණෙකට රෝම 5:14 සහ ගලාති 4:24 බලන්න.