2 සාමුවෙල්
15 ටික කලකට පසු අබ්සලොම් තමන්ට අශ්ව රථයක් සාදාගත්තේය. රථයට ඉදිරියෙන් දුවන්න මිනිසුන් පනස්දෙනෙකුවද අශ්වයන්ද ඔහු සූදානම් කරගත්තේය.+ 2 අබ්සලොම් පාන්දරින්ම නැඟිට+ නුවර දොරටුව අසලට ගොස්,+ නඩු විභාග සඳහා රජු ළඟට යන මිනිසුන්ව+ කතාවට අල්ලාගත්තේය. ඔහු ඔවුන්ගෙන්, “ඔබ කොයි නුවරේ ඉඳන්ද ආවේ” කියා මුලින්ම ඇසුවේය. එවිට ඔවුහු, “ඔබේ සේවකයන් වන අප ඊශ්‍රායෙල්හි අහවල් ගෝත්‍රයට අයිති අය” කියා පිළිතුරු දුන්නෝය. 3 අබ්සලොම් ඔවුන්ගෙන් කාරණා විමසූ පසු ඔවුන්ට මෙසේ කීවේය. “ඔබ කියන දේ සාධාරණයි. හැබැයි ඔබේ පැමිණිල්ලට ඇහුම්කන් දෙන්න රජ කිසි කෙනෙකුව පත් කරලා නැහැ.”+ 4 ඔහු ඔවුන්ට තවදුරටත් මෙසේ කීවේය. “මාව මේ දේශයේ විනිශ්චයකාරයා හැටියට පත් කළා නම්+ නඩු විසඳගන්න මා ළඟට එන හැමෝටම මම සාධාරණය ඉටු කර දෙනවා.”+
5 එමෙන්ම යමෙක් අබ්සලොම්ට ආචාර කිරීමට පැමිණෙද්දී ඔහු ඉක්මනින් ඉදිරියට ගොස්+ එම පුද්ගලයාව සිප වැලඳගත්තේය. 6 නඩු විභාගයක් සඳහා රජු ළඟට ගිය සෑම කෙනෙකුටම ඔහු සැලකුවේ එලෙසය. මෙසේ අබ්සලොම් සූක්ෂ්ම ලෙස ඊශ්‍රායෙල් ජනයාගේ සිත් දිනාගත්තේය.+
7 හතළිස් වන අවුරුද්දේ* අගභාගයේදී අබ්සලොම්, රජුගෙන් මෙසේ ඉල්ලුවේය. “මම යෙහෝවා දෙවිට භාරයක් වුණා.+ ඒක ඔප්පු කරන්න මට හෙබ්‍රොන් නුවරට+ යන්න අවසර දෙන්න. 8 මම සිරියාවේ ගෙෂූර් නුවරේ ජීවත් වුණු කාලයේදී,+ ‘යෙහෝවා දෙවි මට ආපහු යෙරුසලමට යන්න අවස්ථාව දුන්නොත් මම යෙහෝවා දෙවිට පූජා ඔප්පු කරනවා’+ කියලා දෙවිට පොරොන්දු වුණා.”+ 9 එවිට රජ, “පරෙස්සමෙන් ගිහින් එන්න”+ කියා ඔහුට කීවේය. අබ්සලොම්ද හෙබ්‍රොන් නුවරට ගියේය.
10 පසුව අබ්සලොම්, ඊශ්‍රායෙල්හි සියලු පළාත්වලට ඔත්තුකරුවන් පිටත් කර යැව්වේය.+ “හොරණෑවේ ශබ්දය ඇසුණු වහාම, ‘දැන් හෙබ්‍රොන්හි+ රජ අබ්සලොම්’+ කියලා හැමෝටම දන්වන්න” කියා ඔහු ඔවුන්ට උපදෙස් දුන්නේය. 11 අබ්සලොම් සමඟ මිනිස්සු දෙසියයක් යෙරුසලමේ සිට හෙබ්‍රොන් වෙත ගියෝය. ඔවුන්ගෙන් කිසිවෙක්වත් අබ්සලොම්ගේ කූට උපාය ගැන දැන සිටියේ නැත.+ 12 අබ්සලොම් පූජා ඔප්පු කළ පසු දාවිත් රජුගේ උපදේශකයා+ වන අහිතොෆෙල්ව+ තමා ළඟට කැඳවාගත්තේය. ඒ අවස්ථාවේ අහිතොෆෙල් තම නුවර වන ගීලොහි+ සිටියේය. රජුට විරුද්ධව අබ්සලොම් කළ කුමන්ත්‍රණයට+ හවුල් වූ පිරිස තව තවත් වැඩි විය.+
13 ටික දවසකට පසු පණිවිඩකරුවෙක් පැමිණ දාවිත් රජුට මෙසේ දැන්වූවේය. “ඊශ්‍රායෙල්වරු අබ්සලොම්ගේ පැත්තට ගිහින්.”+ 14 එය ඇසූ විගස දාවිත් රජ තමා සමඟ යෙරුසලමේ සිටි සියලු සේවකයන්ට මෙසේ කීවේය. “ඉක්මනට අපි මෙහෙන් යමු.+ අබ්සලොම් මෙහෙට ආවොත් අපිට බේරෙන්න ලැබෙන එකක් නැහැ. ඔහු අපිව අල්ලගෙන අපි හැමෝවම විනාශ කරලා දායි. මේ නුවරත් විනාශ කරලා දායි.”+ 15 එවිට රජුගේ සේවකයෝ, “ස්වාමීනි, ඔබ කියන ඕනෑම දෙයක් කරන්න අපි සූදානම්”+ කියා ඔහුට කීවෝය. 16 රජද තම ගෙයි වැසියන් සියලුදෙනා සමඟ පිටත්ව ගියේය.+ රජ තම මාලිගාව බලාගැනීමට උපභාර්යාවන්+ දසදෙනෙකුව නතර කර ගියේය. 17 ඔහු තම සියලු සෙනඟ සමඟ නුවරින් පිටත්ව ගොස් බෙත්-මෙර්හාක්* දක්වා ගමන් කර එහි නතර විය.
18 පසුව රජුගේ සේවකයෝ සියලුදෙනාද කෙරෙතිවරුද පෙලෙතිවරුද+ ඔහු* සමඟ පැමිණි ගාත්හි වැසියන්+ හයසියදෙනාද නිම්නයෙන් අනික් පැත්තට ගියෝය. ඔවුහු සියලුදෙනාම දාවිත් රජුව පසු කරගෙන ගියෝය. 19 එවිට දාවිත් රජ ගාත් සිට පැමිණි ඉත්තයිට+ මෙසේ කීවේය. “ඔබ ආපහු හැරිලා යන්න.+ අප සමඟ එන්න අවශ්‍ය නැහැ. ඔබ විදේශිකයෙක් නිසා ඔබට රජු සමඟ ජීවත් වෙන්න පුළුවන්. අනික ඔබ ඔබේ දේශය අත්හැරලයි මෙහෙට ඇවිත් ඉන්නේ. 20 ඔබ මේ දේශයට ආවේ ළඟදී. ඒ නිසා මම යන යන තැනට ඔබව රැගෙන යන එක හොඳ නැහැ.+ ඔබේ සහෝදරයන් සමඟ ඔබ ආපහු යන්න. යෙහෝවා දෙවි ඔබට ප්‍රේමය*+ පෙන්වා ඔබ සමඟ විශ්වාසවන්තව+ කටයුතු කරයි කියලා මට විශ්වාසයි.” 21 එහෙත් ඉත්තයි, රජුට මෙසේ කීවේය. “මගේ ස්වාමීනි, ඔබ යන ඕනෑම තැනකට මාත් ඔබ සමඟ එනවා කියලා ජීවමාන දෙවි වන යෙහෝවා ඉදිරියෙත් ඔබ ඉදිරියෙත් මම දිවුරලා පොරොන්දු වෙනවා.+ ඔබ සමඟ මැරෙන්න වුණත් මම ලෑස්තියි!”+ 22 දාවිත් රජ එය අසා, “එහෙමනම් ඔබත් අපි සමඟ එන්න” කියා ඉත්තයිට+ කීවේය. එවිට ගාත් සිට පැමිණි ඉත්තයිද ඔහුගේ සෙනඟද ඔවුන්ගේ දරුදැරියෝද නිම්නයෙන් අනික් පැත්තට ගියෝය.
23 රජු සමඟ ගිය සෙනඟ නිම්නය හරහා යන විට ඒ අවට ජීවත් වූ ජනයා මහත් හඬින් හඬන්න පටන්ගත්තෝය.+ රජු බලා සිටියදී සෙනඟ කිද්‍රොන් නිම්නය+ හරහා ගමන් කර පාළුකරය දෙසට ගියෝය. 24 සාදොක්ද+ සියලු ලෙවීවරුද+ සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය+ රැගෙන+ රජු සිටි ස්ථානයට ආවෝය. රජු සමඟ ගිය මුළු සෙනඟ නිම්නයෙන් අනික් පැත්තට යන තෙක් ඔවුහු සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය අබියාතර්+ සිටගෙන සිටි ස්ථානයේ තැබුවෝය. 25 රජ සාදොක්ට මෙසේ කීවේය. “සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය ආපහු නුවරට+ රැගෙන යන්න.+ මට යෙහෝවා දෙවිගෙන් කරුණාව ලැබුණොත් ඔහු මට ආපහු මෙහෙට එන්න ඉඩ සලසයි. එවිට ගිවිසුම් පෙට්ටියත් එහි කූඩාරමත් මට ආපහු දැකගන්න පුළුවන් වෙයි.+ 26 නමුත් දෙවිට මාව ප්‍රසන්න නැත්නම් ඔහු ඉඩහරින ඕනෑම තත්වයකට මුහුණ දෙන්න මම සතුටුයි.”+ 27 රජ, පූජක සාදොක්ට තවදුරටත් මෙසේ කීවේය. “ඔබ දිවැසිවරයෙක්.+ ඒ නිසා ඔබ ඔබේ පුත් අහිමයාෂ් හා අබියාතර්ගේ පුත් යොනාතාන් සමඟ+ ආපහු නුවරට යන්න. ඔබ දෙදෙනාට ඔබේ පුත්‍රයන් සමඟ කිසි කරදරයක් නැතුව නුවරට යන්න ලැබේවා! 28 මම ඔබෙන් පණිවිඩයක් ලැබෙන තුරු පාළුකරයට වී බලාගෙන ඉන්නවා.+ මම ගඟෙන් එගොඩ වෙන්න පුළුවන් තැනකට වෙලා ඉන්නම්.” 29 එබැවින් සාදොක් හා අබියාතර් සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය නැවත යෙරුසලමට ගෙන ගොස් එහි වාසය කළෝය.
30 දාවිත් රජ තම හිස වසාගෙන+ පාවහන් නොමැතිව හඬමින් ඔලීව කන්දට+ නැග්ගේය. ඔහු සමඟ සිටි සෙනඟද තම තමන්ගේ හිස් වසාගෙන හඬමින් කන්දට නැග්ගෝය.+ 31 පසුව දාවිත් රජුට මෙසේ ආරංචි විය. “ඔබට විරුද්ධව අබ්සලොම්+ කරන කුමන්ත්‍රණයට අහිතොෆෙලුත් සම්බන්ධයි.”+ එය අසා දාවිත් රජ, “අනේ යෙහෝවා දෙවියනි,+ අහිතොෆෙල් දෙන උපදෙස් මෝඩයෙකුගේ උපදෙස් මෙන් වේවා”+ කියා දෙවිගෙන් ඉල්ලුවේය.+
32 පසුව දාවිත් රජ කන්ද මුදුනට පැමිණියේය. සාමාන්‍යයෙන් දෙවිට නමස්කාර කරන පිණිස මිනිස්සු ඒ ස්ථානයේ නතර වූහ. දාවිත් රජු එතැන සිටියදී අර්කීවරයෙක්+ වන හූෂයි+ තම සළුව ඉරාගෙන හිස මත දූවිලි දමාගෙන+ ඔහු ළඟට ආවේය. 33 එවිට දාවිත් රජ ඔහුට මෙසේ කීවේය. “ඔබ මා සමඟ ආවොත් ඒක මට බරක් වෙයි.+ 34 හැබැයි ඔබට මං වෙනුවෙන් එක දෙයක් කරන්න පුළුවන්. නුවරට නැවත යන්න. අබ්සලොම් ළඟට ගිහින් ඔහුට මෙහෙම කියන්න. ‘රජ්ජුරුවනි, මම ඔබට සේවය කරන්න කැමතියි. මම ඔබේ පියාටත් සේවය කළා. නමුත් දැන් මම ඔබට සේවය කරන්න කැමතියි.’+ ඊටපස්සේ ඔබ ඔහු ළඟට වෙලා අහිතොෆෙල් දෙන උපදෙස් අසාර්ථක වෙන්න සලස්වන්න.+ 35 පූජක සාදොක් හා අබියාතරුත් නුවරේ ඉන්නවා.+ රජමාලිගාවේදී ඔබට අහන්න ලැබෙන හැම තොරතුරක්ම ඒ දෙන්නාට කියන්න.+ 36 ඒ දෙන්නාගේ පුත්‍රයන් වන අහිමයාෂ්+ හා යොනාතානුත්+ ඔවුන් සමඟ ඉන්නවා. ඔබට අහන්න ලැබෙන හැම තොරතුරක්ම ඒ දෙන්නා මාර්ගයෙන් මට දන්වන්න.” 37 එබැවින් දාවිත් රජුගේ මිත්‍රයා+ වන හූෂයි, නුවරට ගියේය. අබ්සලොම්ද+ යෙරුසලමට පැමිණියේය.