ගණන් කතාව
10 යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. 2 “රිදී තළා හොරණෑ+ දෙකක් සාදන්න. සෙනඟ එකට එක් රැස් කිරීම සඳහාද+ කඳවුර වෙනත් තැනකට ගෙන යෑමට සූදානම් කිරීම සඳහාද එම හොරණෑ පිඹින්න. 3 ඔවුන් හොරණෑ දෙකම පිඹින විට කලින් දැනුම් දී තිබෙන ආකාරයට මුළු සෙනඟ සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන ස්ථානයේ ඔබ ඉදිරියට පැමිණිය යුතුයි.+ 4 ඔවුන් එක හොරණෑවක් පිඹින විට ඊශ්රායෙල්හි දහස් ගණන් කෙරෙහි පත් කර ඇති අධිපතීන් කලින් දැනුම් දී තිබෙන ආකාරයට ඔබ වෙතට පැමිණිය යුතුයි.+
5 “උස් හඬක්ද පහත් හඬක්ද නික්මෙන ආකාරයෙන් හොරණෑ පිඹින විට නැඟෙනහිර පැත්තේ+ කඳවුරු බැඳගෙන සිටින අය පිටත්ව යා යුතුයි. 6 උස් හඬක්ද පහත් හඬක්ද නික්මෙන ආකාරයෙන් දෙවෙනි වරට හොරණෑ පිඹින විට දකුණු පැත්තේ+ කඳවුරු බැඳගෙන සිටින අය පිටත්ව යා යුතුයි. එක් එක් දිශාවල කඳවුරු බැඳගෙන සිටින කණ්ඩායම් පිටත් කර යැවීම සඳහා එලෙස හොරණෑ පිඹිය යුතුයි.
7 “එහෙත් මුළු සෙනඟ එකට එක් රැස් කරන විට පැහැදිලි එක හඬකින් හොරණෑ පිඹිය යුතුයි.+ 8 හොරණෑ පිඹිය යුත්තේ පූජකයන් වන ආරොන්ගේ පුත්රයන්ය.+ ඔබ බොහෝ කාලයක් පුරා ඔබේ පරම්පරාවලදී හොරණෑ එලෙස භාවිත කළ යුතුයි.
9 “ඔබට හිංසා කරන ඔබේ සතුරන්ට+ විරුද්ධව යුද්ධයකට යන අවස්ථාවලදී හමුදාව කැඳවන පිණිසත් හොරණෑ පිඹින්න.+ එවිට ඔබේ දෙවි වන යෙහෝවා ඔබව සිහි කර සතුරන්ගේ අතින් ඔබව ගලවාගනු ඇත.+
10 “ඔබ ප්රීතියෙන් සිටින අවස්ථාවලදීද+ උත්සවයන් පවත්වන කාලයේදීද+ සෑම මාසයකම ආරම්භයේදීද+ හොරණෑ පිඹින්න. ඔබ හොරණෑ පිඹිය යුත්තේ දවන පූජා+ හා හවුල් පූජා+ ඔප්පු කරන ස්ථානය අසල සිටයි. ඔබේ දෙවි ඔබව සිහි කරන පිණිස ඔබ එලෙස හොරණෑ පිඹින්න. මම ඔබේ දෙවි වන යෙහෝවාය.”+
11 දෙවෙනි අවුරුද්දේ දෙවෙනි මාසයේ විසිවන දින+ ගිවිසුම් පෙට්ටිය තබා තිබූ කූඩාරමට ඉහළින් වලා ටැඹ නැඟී ගියේය.+ 12 එවිට සීනයි පාළුකරයේ කඳවුරු බැඳගෙන සිටි ඊශ්රායෙල් සෙනඟද තමන්ට නියම කර තිබූ ආකාරයට එතැනින් පිටත්ව ගියෝය.+ වලා ටැඹ පාරාන් පාළුකරය+ දක්වා ගොස් නතර විය. 13 යෙහෝවා දෙවි මෝසෙස් මාර්ගයෙන් දුන් මඟ පෙන්වීමට අනුව+ ඊශ්රායෙල් සෙනඟ පිටත්ව ගිය පළමු අවස්ථාව එයයි.
14 යූදා ගෝත්රය හා ඔවුන් සමඟ කඳවුරු බැඳගෙන සිටි අනික් ගෝත්ර දෙක තම තමන්ගේ කණ්ඩායම්වලට අනුව මුලින්ම පිටත්ව ගියෝය.+ අමිනදාබ්ගේ පුත්රයා වන නාෂොන්,+ යූදා ගෝත්රයට අයත් කණ්ඩායමේ අධිපතියා විය. 15 ෂුවර්ගේ පුත්රයා වන නෙතනෙල්,+ ඉසකාර් ගෝත්රයට අයත් කණ්ඩායමේ අධිපතියා විය. 16 හේලොන්ගේ පුත්රයා වන එලියාබ්, සෙබ්යූලන් ගෝත්රයට අයත් කණ්ඩායමේ අධිපතියා විය.+
17 පසුව සම්මුඛ වීමේ කූඩාරමේ කොටස් වෙන් වෙන් වශයෙන් ගලවන ලදි.+ ඉන් අනතුරුව ගේර්ෂොන්ගේ+ පුත්රයෝ හා මෙරාරීගේ+ පුත්රයෝ කූඩාරමේ එම කොටස් උසුලාගෙන පිටත්ව ගියෝය.
18 ඉන්පසු රූබෙන් ගෝත්රය හා ඔවුන් සමඟ කඳවුරු බැඳගෙන සිටි අනික් ගෝත්ර දෙක තම තමන්ගේ කණ්ඩායම්වලට අනුව පිටත්ව ගියෝය. ෂෙදෙවුර්ගේ පුත්රයා වන එලිෂූර්,+ රූබෙන්+ ගෝත්රයට අයත් කණ්ඩායමේ අධිපතියා විය. 19 ෂුරිෂද්දයිගේ පුත්රයා වන ෂෙලුමියෙල්,+ සිමියොන්+ ගෝත්රයට අයත් කණ්ඩායමේ අධිපතියා විය. 20 දුවෙල්ගේ පුත්රයා වන එලියාසාෆ්,+ ගාද් ගෝත්රයට අයත් කණ්ඩායමේ අධිපතියා විය.
21 ඉන්පසු කෝහාත්වරු ශුද්ධස්ථානයට අයත් දේවල් රැගෙන පිටත්ව ගියෝය.+ කෝහාත්වරුන් කඳවුරු බැඳගන්නා ස්ථානයට පැමිණීමට පෙර සම්මුඛ වීමේ කූඩාරම එම ස්ථානයේ සකස් කරන ලදි.
22 ඉන්පසු එෆ්රායිම්+ ගෝත්රය හා ඔවුන් සමඟ කඳවුරු බැඳගෙන සිටි අනික් ගෝත්ර දෙක තම තමන්ගේ කණ්ඩායම්වලට අනුව පිටත්ව ගියෝය. අමිහුද්ගේ පුත්රයා වන එලිෂාමා,+ එෆ්රායිම් ගෝත්රයට අයත් කණ්ඩායමේ අධිපතියා විය. 23 පෙදාෂුර්ගේ පුත්රයා වන ගමාලියෙල්,+ මනස්සේ+ ගෝත්රයට අයත් කණ්ඩායමේ අධිපතියා විය. 24 ගිඩියොනිගේ පුත්රයා වන අබිදාන්,+ බෙන්ජමින්+ ගෝත්රයට අයත් කණ්ඩායමේ අධිපතියා විය.
25 ඉන්පසු දාන්+ ගෝත්රය හා ඔවුන් සමඟ කඳවුරු බැඳගෙන සිටි අනික් ගෝත්ර දෙක තම තමන්ගේ කණ්ඩායම්වලට අනුව පිටත්ව ගියෝය. ඔවුහු අනික් සියලු කණ්ඩායම් පිටුපසින් ආරක්ෂක සේනාවක් සේ ගියෝය.+ අමිෂද්දයිගේ පුත්රයා වන අහියේසෙර්,+ දාන් ගෝත්රයට අයත් කණ්ඩායමේ අධිපතියා විය. 26 ඔක්රාන්ගේ පුත්රයා වන පගියෙල්,+ ආෂෙර්+ ගෝත්රයට අයත් කණ්ඩායමේ අධිපතියා විය. 27 ඒනාන්ගේ පුත්රයා වන අහිරා,+ නෆ්තලී+ ගෝත්රයට අයත් කණ්ඩායමේ අධිපතියා විය. 28 ඊශ්රායෙල් සෙනඟ පිටත්ව ගිය සෑම අවස්ථාවකදීම ඔවුන් ගමන් කළේ ඒ පිළිවෙළට අනුවය.+
29 පසුව මෝසෙස් තම මාමා වන රුවෙල්ගේ+ පුත්රයා වූ මිදියන් ජාතික හොබාබ්ට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි අපට දෙන්න පොරොන්දු වුණු දේශයට+ අපි යනවා. යෙහෝවා දෙවි ඊශ්රායෙල් සෙනඟට බොහෝ සෙයින් ආශීර්වාද කරන්න පොරොන්දු වී තිබෙනවා.+ ඒ නිසා ඔබත් අප සමඟ එන්න. අපි ඔබට හොඳින් සලකන්නම්.”+ 30 නමුත් හොබාබ්, “මට මගේ රටට යන්න ඕනේ.+ මම කැමති මගේ නෑයොත් එක්ක ජීවත් වෙන්න. ඒ නිසා ඔබ සමඟ මේ ගමන යන්න මට බැහැ” කියා මෝසෙස්ට කීවේය. 31 එවිට මෝසෙස් ඔහුට මෙසේ කීවේය. “අපිව අත්හැර යන්න එපා. පාළුකරයේ කඳවුරු බැඳගන්න සුදුසු තැන් ගැන ඔබට හොඳ අවබෝධයක් තිබෙනවා. ඒ නිසා මේ ගමනේදී අපට මඟ පෙන්වන්න ඔබ අපත් සමඟ එන්න. 32 ඔබ අප සමඟ ආවොත්+ යෙහෝවා දෙවි අපට දෙන හැම හොඳ දෙයක්ම ඔබ සමඟ බෙදාගන්න පොරොන්දු වෙනවා.”
33 කඳවුරු බැඳගැනීමට සුදුසු තැනක් සොයමින් ඔවුහු යෙහෝවා දෙවිගේ කන්දේ+ සිට පිටත්ව ගියෝය. ඔවුහු යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටියද+ ඔවුන්ට ඉදිරියෙන් රැගෙන ගියෝය. මෙසේ ඔවුහු දවස් තුනක් ගමන් කළෝය.+ 34 ඒ දවස් තුනේම දවල් කාලයේදී යෙහෝවා දෙවි වලා ටැඹ+ මාර්ගයෙන් ඔවුන්ට මඟ පෙන්වූවේය.
35 ගිවිසුම් පෙට්ටිය රැගෙන ගිය සෑම අවස්ථාවකදීම මෝසෙස් මෙසේ කීවේය. “යෙහෝවා දෙවියනි, නැඟී සිටින්න. ඔබේ සතුරන්ව පන්නා දමන්න.+ ඔබට වෛර කරන අය ඔබ ඉදිරියෙන් පලා දුවත්වා!”+ 36 ඔවුන් යම් තැනක නතර වී ගිවිසුම් පෙට්ටිය එහි තැබූ විට මෝසෙස් මෙසේ කීවේය. “යෙහෝවා දෙවියනි, මේ අතිවිශාල සෙනඟ+ අතරට පැමිණෙන්න.”