යොෂුවා
1 යෙහෝවා දෙවිගේ සේවකයා වූ මෝසෙස් මිය යෑමෙන් පසු ඔහුගේ සේවකයා වූ+ නූන්ගේ පුත් යොෂුවාට+ යෙහෝවා දෙවි මෙසේ කීවේය. 2 “මාගේ සේවකයා වූ මෝසෙස් මිය ගියේය.+ දැන් ඔබත් මේ මුළු සෙනඟත් යොර්දාන් ගඟෙන් එගොඩ වී මා ඊශ්‍රායෙල්වරුන්ට දෙන දේශයට ඇතුල් වන්න.+ 3 මම මෝසෙස්ට පොරොන්දු වූ ලෙසම ඔබ පා තබන සෑම ප්රදේශයක්ම මම ඔබට උරුමයක් ලෙස දෙන්නෙමි.+ 4 පාළුකරයේ සිට ඔබට පෙනෙන ලෙබනොන් දේශය දක්වාත් යුප්‍රටීස් නම් මහ ගඟ දක්වාත් ඇති හිත්තීවරුන්ට+ අයිති මුළු ප්‍රදේශයම ඔබට අයිති වන්නේය. බස්නාහිර දෙසින් පිහිටි මහ මුහුද* දක්වා විහිදී යන ප්‍රදේශයද ඔබට දෙන්නෙමි.+ 5 ඔබ ජීවත් වන තාක් කල් ඔබට විරුද්ධව නැඟී සිටින කිසිවෙක්වත් සාර්ථක වන්නේ නැත.+ මම මෝසෙස් සමඟ සිටියාක් මෙන් ඔබ සමඟත් සිටින්නෙමි.+ මම ඔබව කිසි දවසක තනි කරන්නේවත් අත්හැර යන්නේවත් නැත.+ 6 එහෙයින් දැන් ධෛර්යවත් වන්න. එඩිතරව සිටින්න.+ මා මේ සෙනඟගේ මුතුන්මිත්තන්ට ලබා දීමට පොරොන්දු වූ දේශයට+ මේ සෙනඟව රැගෙන යන්නේ ඔබයි.+
7 “මාගේ සේවකයා වූ මෝසෙස් ඔබට කියා දුන් නීතියට ඇතුළත් සෑම දෙයක්ම ඉටු කරන පිණිස ධෛර්යවත්ව, එඩිතරව සිටීමට වගබලා ගන්න.+ මා දුන් නීතියෙන් දකුණටවත් වමටවත් නොහැරී+ එය පිළිපදින්න. එවිට සැමවිටම ප්‍රඥාවන්තව ක්‍රියා කිරීමට ඔබට හැකි වනු ඇත.+ 8 මේ නීතියේ සඳහන් සියල්ල එලෙසම පිළිපදින පිණිස දිවා රෑ දෙකේම එය කියවා ඒ ගැන හොඳින් කල්පනා කර බලන්න.+ එහි සඳහන් දේවල් ගැන නිතරම අන් අය සමඟ කතා කරන්න.+ එවිට ඥානවන්තව තීරණ ගෙන ජීවිතය සාර්ථක කරගැනීමට ඔබට හැකි වන්නේය.+ 9 ධෛර්යවත්ව, එඩිතරව සිටින්න කියා මා ඔබට අණ කළ බව සිහි කරන්න.+ ඔබ කොතැනකට ගියත් ඔබේ දෙවි යෙහෝවා වන මම ඔබ සමඟ සිටින්නෙමි.+ එහෙයින් භය නොවන්න. තැති නොගෙන එඩිතරව සිටින්න.”+
10 සෙනඟව බලාගැනීමට පත් කළ නායකයන්ට යොෂුවා මෙසේ අණ කළේය. 11 “කඳවුරේ සෑම තැනකටම ගොස් සෙනඟට මෙසේ කියන්න. ‘තව දවස් තුනකින් ඔබ යොර්දාන් ගඟෙන් එගොඩ වී ඔබේ දෙවි වන යෙහෝවා ඔබට උරුමයක් ලෙස දෙන දේශය ඔබ යටත් කරගන්නවා.+ ඒ සඳහා අවශ්‍ය කෑම බීම දැන් සූදානම් කරගන්න.’”
12 ඉන්පසු යොෂුවා, රූබෙන් ගෝත්‍රයට, ගාද් ගෝත්‍රයට හා මනස්සේ ගෝත්‍රයෙන් එක් කොටසකට අයත් සෙනඟට මෙසේ කීවේය. 13 “යෙහෝවා දෙවිගේ සේවකයා වූ මෝසෙස් ඔබට කී ලෙස කරන්න.+ ‘ඔබේ දෙවි වන යෙහෝවා ඔබට කරදරයක් නැතුව සැනසිල්ලේ ජීවත් වීමට මේ දේශය දී තිබෙනවා. 14 මෝසෙස් යොර්දාන් ගඟෙන් නැඟෙනහිර පැත්තේ ඔබට දී තිබෙන මේ දේශයේ ඔබේ භාර්යාවන්වද දරුවන්වද සත්ව රැළවල්ද පදිංචි කරන්න.+ ඉන්පසු ඔබ අතර සිටින යුද්ධයට දක්ෂ සියලු පුරුෂයන්+ ඔබේ සහෝදරයන්ට උදව් කළ යුතුයි. ඒ නිසා ඔබ යුද්ධයට සැරසී ඔබේ සහෝදරයන් සමඟ ගඟෙන් එගොඩ වෙන්න.+ 15 යෙහෝවා දෙවි ඔබට මෙන් ඔබේ සහෝදරයන්ටත් කරදරයක් නැතුව සැනසිල්ලේ ජීවත් වීමට අවස්ථාව ලබා දෙන තෙක් ඔබ ඔවුන්ට උදව් කළ යුතුයි. යෙහෝවා දෙවි ඔවුන්ට දේශය උරුම කර දෙන තෙක් ඔබ ඔවුන්ට අතහිත දිය යුතුයි.+ ඉන්පසු යෙහෝවා දෙවිගේ සේවකයා වූ මෝසෙස් ඔබට දුන් මේ දේශයට එනම්, යොර්දාන් ගඟෙන් නැඟෙනහිර පැත්තේ පිහිටි මේ දේශයට+ ආපසු ඇවිත් පදිංචි වෙන්න ඔබට පුළුවන්.’”+
16 එවිට ඔවුහු යොෂුවාට මෙසේ කීවෝය. “ඔබ අපට අණ කළ සෑම දෙයක්ම අපි කරනවා. ඔබ අපව යවන ඕනෑම තැනකට අපි යනවා.+ 17 අපි සෑම කාරණයකදීම මෝසෙස්ට කීකරු වුණාක් මෙන් ඔබටත් කීකරු වෙනවා. ඔබේ දෙවි යෙහෝවා, මෝසෙස් සමඟ සිටි ලෙසම+ ඔබ සමඟත් සිටීවා!+ 18 යම් කෙනෙක් ඔබේ අණට කීකරු නොවී ඔබට විරුද්ධව කැරලිගැසුවොත්+ ඔහුව මරා දැමිය යුතුයි.+ ඒ නිසා ඔබ ධෛර්යවත්ව සිටින්න. එඩිතරව සිටින්න.”+