රෝම
10 සහෝදරයෙනි, මගේ එකම ආශාව ඊශ්‍රායෙල්වරුන්ට ගැලවීම ලැබෙනවා දැකීමයි.+ ඒ වෙනුවෙන් මම දෙවිට කන්නලව් කරන්නෙමි. 2 මන්ද දෙවිට සේවය කරන්න ඔවුන්ට මහත් උද්යෝගයක් තිබෙන බව+ මට ස්ථිරව කිව හැකිය. නමුත් එම උද්යෝගය නිවැරදි දැනුම මත පදනම් වූ එකක් නොවේ.+ 3 ඔවුන්ට දෙවිගේ ධර්මිෂ්ඨකම+ ගැන දැනුමක් නැත. එහෙයින් ඔවුන් උත්සාහ කරන්නේ තමන්ගේ ධර්මිෂ්ඨකම ඔප්පු කර පෙන්වීමටය.+ ප්‍රතිඵලයක් ලෙස ඔවුහු දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතියට එකඟව ක්‍රියා කරන්නේ නැත.+ 4 මන්ද ක්‍රිස්තුස්ගේ මරණය තුළින් නීතිය අවලංගු විය.+ එහෙයින් දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ විය හැක්කේ විශ්වාසයක් ඇතුව සිටීමෙන් පමණි.+
5 නීතියේ ධර්මිෂ්ඨ ප්‍රමිති පිළිපදින තැනැත්තා ඔහුගේ ජීවිතය රැකගන්නා බව මෝසෙස් තම ලියවිලිවල පැහැදිලි කළේය.+ 6 එසේවුවත් ධර්මිෂ්ඨ කෙනෙකු වීමට විශ්වාසයත් අවශ්‍ය බව එහි සඳහන්ය. ඒ ගැන ලියා තිබෙන්නේ මෙයයි. “ක්‍රිස්තුස්ව පොළොවට ගෙන ඒම සඳහා,+ ‘ස්වර්ගයට නඟින්නේ කවුද’+ කියා ඔබේ සිතින් කියා නොගන්න.+ 7 එසේ නැතහොත් ක්‍රිස්තුස්ව මරණයෙන් නැඟිටුවීමට,+ ‘අගාධයට බැස යන්නේ කවුද’+ කියාත් සිතින් කියා නොගන්න.” 8 එහි තවදුරටත් සඳහන් වන්නේ කුමක්ද? “සියලුම වචන ඔබ ළඟම තිබේ. ඒ වචන ඔබේ සිත තුළත් දිව අගත් තිබේ”+ කියාය. ඒ වචන නම් අප දේශනා කරන+ ‘පණිවිඩයයි.’+ එය පිළිගැනීමට විශ්වාසයක් තිබිය යුතුයි. 9 ‘ඔබේම දිව අග තිබෙන ඒ වචන’+ එනම්, යේසුස් ස්වාමීන් බව+ ඔබ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ යුතුයි. එලෙසම දෙවි ඔහුව මරණයෙන් නැඟිටෙවූ බව+ ඔබ ඔබේ මුළු හදවතින්ම පිළිගෙන ඒ කෙරෙහි විශ්වාසය තැබිය යුතුයි. ඔබ එසේ කළොත් ඔබව ගලවනු ලැබේ.+ 10 කෙනෙකු විශ්වාසය ඇති කරගන්නේ ඔහුගේ හදවතින්ය.+ ඒ විශ්වාසය නිසා ඔහු ධර්මිෂ්ඨයෙක් වෙයි. නමුත් ඔහු ගැලවීම ලබන්නේ ඒ විශ්වාසය ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙනි.+
11 මන්ද ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් ආකාරයට, “ඔහු කෙරෙහි විශ්වාසය තබන+ කිසි කෙනෙකුගේ බලාපොරොත්තු කිසිදාක කඩ වන්නේ නැත.”+ 12 යුදෙව්වන් හා ග්‍රීකයන්* අතර කිසි වෙනසක් නැත.+ සියල්ලන්ගේ ස්වාමීන් එක් කෙනෙක්මය. ඔහු තමන්ට අයැදින සියලුදෙනාටම එක හා සමානව බොහෝ ආශීර්වාද ලබා දෙන්නේය.+ 13 මන්ද, “යෙහෝවා යන දෙවිගේ නාමය කියා අයැදින සියලුදෙනාවම ගලවනු ලබන්නේය.”+ 14 නමුත් ඔවුන්ට ඔහු ගැන විශ්වාසයක් නැත්නම් ඔවුන් ඔහුට අයැදින්නේ කෙසේද?+ ඔවුන් ඔහු ගැන අසා නැත්නම් ඔහු කෙරෙහි විශ්වාසය තබන්නේ කෙසේද? දේශනා කරන්න කෙනෙක් නැත්නම් ඔවුන් ඔහු ගැන අසා දැනගන්නේ කෙසේද?+ 15 ඔවුන්ව යවා නැත්නම් ඔවුන් දේශනා කරන්නේ කෙසේද?+ ලියවිලිවල සඳහන් ආකාරයට, “යහපත් දේවල් ගැන ශුභාරංචි ප්‍රකාශ කරන අයගේ පාද කොතරම් අලංකාරද!”+
16 නමුත් සියලුදෙනාම ඒ ශුභාරංචියට කීකරු වුණේ නැත.+ මන්ද යෙසායා මෙසේ කියන්නේය. “යෙහෝවා දෙවියනි, අප පැවසූ දේවල් කෙරෙහි විශ්වාසය තැබුවේ කවුද?”+ 17 විශ්වාසයක් ඇති වන්නේ පණිවිඩයට සවන් දුන්නොත් පමණක් බව ඉන් පැහැදිලි වේ.+ ඒ පණිවිඩයට සවන් දිය හැක්කේ යමෙකු ක්‍රිස්තුස් ගැන කතා කරන විටය.+ 18 නමුත් මේ සම්බන්ධයෙන් මට ප්‍රශ්නයක් මතු වේ. එනම් සවන් දෙන්න ඔවුන්ට ප්‍රස්තාවක් ලැබුණේ නැද්ද යන්නයි. ඇත්තෙන්ම ඔවුන්ට ලැබිණ. මන්ද, “ඔවුන්ගේ හඬ පොළෝතලය පුරාම පැතිර ගියේය.+ පොළොවේ කෙළවර දක්වා ඔවුන් පැවසූ දේ අසන්න ලැබුණේය”+ කියා සඳහන් වී ඇත. 19 නමුත් මා නැවතත් අසන්නේ ඒ දේවල් ගැන ඊශ්‍රායෙල්වරුන් දැනගෙන සිටියේ නැද්ද යන්නයි.+ ඇත්තටම ඔවුහු දැනගෙන සිටියෝය. මන්ද මෝසෙස් මෙසේ පැවසුවේය. “ඔබ වෙනුවට ජාතියක් ලෙස නොසැලකිය යුතු ජාතියකට මම කරුණාව පෙන්වන්නෙමි. එයින් ඔබ තුළ ඊර්ෂ්‍යාවක් ඇති වේ. මම ඔබ වෙනුවට අනුවණයයි සැලකෙන ජාතියක් තෝරාගන්නෙමි. එයින් ඔබ තුළ මහත් කෝපයක් ඇති වේ.”+ 20 එසේම යෙසායාද ඉතා නිර්භීතව මෙසේ කියන්නේය. “මාව හඳුනාගැනීමට නොවෙහෙසුණු අය මාව හඳුනාගත්තෝය.+ මාගෙන් මඟ පෙන්වීම් නොපැතූ අය මට ළං වූහ.”+ 21 එසේවුවත් දෙවි ඊශ්‍රායෙල්වරුන් ගැන මෙසේ පවසයි. “එකට එක කියන+ අකීකරු ජනතාවක්+ වන ඔබ දෙසට මාගේ අත් විහිදුවාගෙන දවස පුරා බලා සිටියෙමි.”