ලූක්
18 නිතරම යාච්ඤා කිරීමේ අවශ්‍යතාව ගැනත් අධෛර්යය නොවී සිටීමේ අවශ්‍යතාව+ ගැනත් යේසුස් ඔවුන්ට උපමාවකින් 2 මෙසේ විස්තර කළේය. “එක්තරා නුවරක විනිශ්චයකරුවෙක් සිටියා. දෙවිට ගරුබිය නොදැක්වූ ඔහු, මිනිසුන්ටවත් කිසි ගෞරවයක් දැක්වූයේ නැහැ. 3 මේ අතර ඒ නුවරේ සිටි වැන්දඹුවක් ඔහු ළඟට නිතර ගොස්,+ ‘මගේ නඩුවට සාධාරණය ඉටු කර දෙන්න’ කියා දිගින් දිගටම පැවසුවා. 4 යම් කාලයක් යන තුරු ඔහු ඒ ගැන කිසි පියවරක් ගන්න කැමති වුණේ නැහැ. නමුත් පසුව ඔහු මෙසේ සිතාගත්තා. ‘මම කිසි මිනිසෙකුට ගෞරවය නොදක්වන, දෙවිටවත් ගරුබිය නොදක්වන කෙනෙක්. 5 නමුත් මේ වැන්දඹුව ඇවිත් නිතර නිතර මට කරදර කරන නිසා+ මම ඇයට සාධාරණය ඉටු කර දිය යුතුයි. එහෙම නොකළොත් ඇය දිගින් දිගටම ඇවිත් මට එපා වන තරමට කරදර කරයි.’”+ 6 එවිට යේසුස් මෙසේ කීවේය. “ඒ විනිශ්චයකරු අධර්මිෂ්ඨ කෙනෙක් වුණත් ඔහු පැවසූ දේ අමතක කරන්න එපා! 7 දැන් බොහෝ ඉවසිලිවන්තව කටයුතු කරන දෙවි ගැන සිතන්න.+ දිවා රෑ දෙකේම ඔහු තෝරාගත් සේවකයන් ඔහුට කන්නලව් කරන විට දෙවි ඔවුන් වෙනුවෙන් සාධාරණය ඉටු කර දෙන්නේ නැද්ද?+ 8 ඔහු ඔවුන් වෙනුවෙන් ඉක්මනින්ම සාධාරණය ඉටු කර දෙන බව ස්ථිරයි.+ නමුත් මනුෂ්‍ය පුත්‍රයා පැමිණෙන විට එවැනි විශ්වාසයක් තිබෙන අයව ඔහුට මේ පොළොවේදී හමු වෙයිද?”
9 මේ අතර තමන් ඉතා ධර්මිෂ්ඨයි කියා සිතමින්+ අන් සියලුදෙනාව පහත් කර සැලකූ+ පිරිසක් සිටියෝය. යේසුස් ඔවුන්ට මේ උපමාව පැවසුවේය. 10 “මිනිසුන් දෙදෙනෙක් යාච්ඤා කිරීමට දේවමාලිගාවට ගියා. එක් කෙනෙක් පරිසිවරයෙක්. අනික් පුද්ගලයා බදු එකතු කරන්නෙක්. 11 පරිසිවරයා නැඟිට+ නිහඬව මෙසේ යාච්ඤා කරන්න පටන්ගත්තා.+ ‘දෙවියනි, මම ඔබට ස්තුති කරන්න කැමතියි. අන් අය වගේ මම පව්කාරයෙක් නොවෙයි. විශේෂයෙන්ම මෙතැනට ඇවිත් සිටින මේ බදු එකතු කරන්නාට වඩා මම කොයි තරම් වෙනස්ද! මම කවදාවත් අන් අයගේ දේවල් අයුතු ලෙස ගන්නේ නැහැ. මම අධර්මිෂ්ඨකම් කරන්නේ නැහැ. අනාචාරයේ* යෙදී නැහැ.+ 12 ඒ වගේම මම සතියට දෙවතාවක් නිරාහාරව සිටිනවා. උපයන හැම දෙයකින්ම මම දහයෙන් කොටසක් අනිවාර්යයෙන්ම දෙනවා.’+ 13 නමුත් ඔහුට තරමක් දුරින් සිටගෙන සිටි බදු එකතු කරන්නා අහස දෙස බලන්නවත් අකමැතිව තම පපුවට ගසාගනිමින්+ පැවසුවේ, ‘අනේ දෙවියනි, පව්කාරයෙක් වන මට අනුකම්පා කරන්න’+ කියායි. 14 මේ මිනිසා තමාගේ නිවසට හැරී ගියේ ඒ පරිසිවරයාට වඩා ධර්මිෂ්ඨ කෙනෙක් හැටියටයි+ යන කාරණය මතක තබාගන්න. උසස් වෙන්න උත්සාහ කරන කෙනෙකුව පහත් කරනු ලබයි. නමුත් නිහතමානීව සේවය කරන කෙනෙකුව උසස් කරනු ලබයි.”+
15 මේ අතර මිනිසුන් කිහිපදෙනෙක් තම කුඩා දරුවන්ව* යේසුස් ළඟට රැගෙන ආවෝය. ඔවුන් එසේ කළේ යේසුස් ඔවුන් පිට අත් තබා ඔවුන්ට ආශීර්වාද කරයි යන බලාපොරොත්තුවෙනි. එය දුටු ගෝලයෝ ඔවුන්ට තදින් කතා කළෝය.+ 16 නමුත් යේසුස් එම දරුවන්ව තමන් ළඟට ගෙන තම ගෝලයන්ට මෙසේ කීවේය. “එහෙම කරන්න එපා. මේ කුඩා දරුවන්ට මා ළඟට එන්න ඉඩහරින්න. මන්ද දෙවිගේ රාජ්‍යය අයිති වන්නේ මේ දරුවන් වගේ සිටින අයටයි.+ 17 ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, කෙනෙක් කුඩා දරුවෙක් මෙන් වී දෙවිගේ රාජ්‍යය පිළිගත යුතු බවයි. එසේ නොකළොත් ඊට ඇතුල් වෙන්න ඔහුට බැරි වෙයි.”+
18 එවිට එක්තරා පාලකයෙක්, “යහපත් ගුරුතුමනි, සදාකාල ජීවනය උරුම කරගන්න නම් මම මොනවාද කරන්න ඕනේ”+ කියා ඔහුගෙන් ඇසුවේය. 19 යේසුස් ඔහුට පිළිතුරු දුන්නේ මෙසේයි. “ඔබ මට යහපත් කියා පවසන්නේ ඇයි? යහපත් කියා හැඳින්විය හැක්කේ එක් කෙනෙකුව පමණයි. ඒ දෙවියි.+ 20 ‘අනාචාරයේ* නොහැසිරෙන්න,+ මිනී නොමරන්න,+ සොරකම් නොකරන්න,+ බොරු සාක්ෂි නොදෙන්න,+ ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න’+ යන ආඥා ගැන ඔබ හොඳින් දන්නවා ඇති.”+ 21 එවිට ඔහු, “මම ඒ සෑම දෙයක්ම කුඩා කාලයේ පටන්ම පිළිපදිනවා”+ කියා පැවසුවේය. 22 එය ඇසූ යේසුස් ඔහුට මෙසේ පැවසුවේය. “ඔබ තව එක දෙයක් කළ යුතුයි. ඔබට අයිති හැම දෙයක්ම විකුණා එයින් ලැබෙන මුදල දිලිඳුන් අතර බෙදා දෙන්න. එසේ කළොත් ඔබට ස්වර්ගයෙහි වස්තු රැස් කරන්න පුළුවන් වෙයි. ඉන්පසු ඇවිත් මගේ අනුගාමිකයෙක් වෙන්න.”+ 23 ඔහු ඉතා ධනවත් කෙනෙකු වූ නිසා යේසුස් පැවසූ දේවලට සවන් දුන් පසු ඔහු තුළ මහත් දුකක් ඇති විය.+
24 යේසුස් ඔහු දෙස බලා මෙසේ කීවේය. “මුදල් ඇති අයට දෙවිගේ රාජ්‍යයට ඇතුල් වීම මොන තරම් අමාරු දෙයක්ද!+ 25 ධනවතෙකුට දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙනවාට වඩා ඔටුවෙකුට ඉඳිකටුවක සිදුරෙන් ඇතුල් වීම පහසුයි.”+ 26 මේ දේවලට සවන් දෙමින් සිටි අය, “එසේනම් ගැලවීම ලැබිය හැක්කේ කාටද” කියා ඔහුගෙන් ඇසූහ. 27 ඔහුද, “මිනිසුන්ට කරන්න බැරි දේවල් දෙවිට කරන්න පුළුවන්”+ කියා පිළිතුරු දුන්නේය. 28 එවිට පේතෘස් මෙසේ පැවසුවේය. “බලන්න! අපේ හැම දෙයක්ම අත්හැර අපි ඔබ අනුව ආවා.”+ 29 ඔහු එයට මෙසේ පිළිතුරු දුන්නේය. “ඇත්තෙන්ම මා ඔබට කියන මේ දේ මතක තබාගන්න. දෙවිගේ රාජ්‍යය වෙනුවෙන් කෙනෙක් තමාගේ ගෙවල් දොරවල් හෝ භාර්යාව හෝ සහෝදරයන් හෝ දෙමාපියන් හෝ දරුදැරියන් හෝ අත්හැර ඇත්නම්+ 30 ඔහුට මේ කාලයේදී ඊට වඩා බොහෝ වැඩියෙනුත් මතු පැමිණෙන කාලයේදී* සදාකාල ජීවනයත් ලැබෙයි.”+
31 ඉන්පසු ඔහු ගෝලයන් දොළොස්දෙනාව පැත්තකට අඬගසා මෙසේ කීවේය. “අපි දැන් මේ යන්නේ යෙරුසලමටයි. එවිට මනුෂ්‍ය පුත්‍රයා ගැන අනාගතවක්තෘවරුන් ලියූ හැම දෙයක්ම+ ඉටු වෙයි.+ 32 ඔහුව වෙනත් ජාතීන්ගේ අතට භාර දෙයි. ඔහුට කවටකම් කරයි.+ ඔහුට නින්දා කරමින්+ කෙළ ගසයි.+ 33 ඉන්පසු ඔවුන් ඔහුට කසයෙන් තළා+ අන්තිමේදී මරණයට පත් කරයි.+ ඒ වුණත් තුන්වෙනි දවසේදී ඔහු නැවත නැඟිටිනවා.”+ 34 නමුත් ඔහු පැවසූ දේවල් තේරුම්ගන්න ගෝලයන්ට නොහැකි විය. එයට හේතුව වූයේ ඒ අවස්ථාවේදී ඒ වචන අවබෝධ කරගැනීමට තරම් හැකියාවක් ඔවුන්ට නොතිබීමයි.+
35 යේසුස් යෙරිකෝවට ළඟා වෙද්දී, එක්තරා අන්ධ මිනිසෙක් පාර අයිනේ ඉඳගෙන සිඟමන් ඉල්ලමින් සිටියේය.+ 36 සමූහයක් තමා අසලින් යන බව තේරුම්ගත් ඒ අන්ධ මිනිසා ඔවුන්ගෙන් තොරතුරු විමසුවේය. 37 ඔවුහුද, “දැන් ඔබ අසලින් යන්නේ නාසරෙත් නුවරින් පැමිණි යේසුස්” කියා ඔහුට දැන්වූහ.+ 38 එවිට ඔහු, “දාවිත්ගේ පුත් යේසුස්, මට අනුකම්පා කරන්න”+ කියා මහත් හඬින් කෑගැසුවේය. 39 යේසුස්ට ඉදිරියෙන් ගමන් කළ සමූහයා ඔහුට නිශ්ශබ්ද වෙන්න කියා තදින් අවවාද කළත් ඔහු, “දාවිත්ගේ පුත්‍රය, මට අනුකම්පා කරන්න”+ කියා තවත් වැඩියෙන් කෑගැසුවේය. 40 එවිට යේසුස් නැවතී, ඒ මිනිසාව තමන් ළඟට රැගෙන එන්න කියා ඉල්ලා සිටියේය.+ ඒ මිනිසා යේසුස් ළඟට පැමිණි විට යේසුස් ඔහුගෙන් මෙසේ ඇසුවේය. 41 “ඔබ කැමති මා ඔබ වෙනුවෙන් කුමක් කරනවාටද?”+ ඔහුද, “ස්වාමීනි, මගේ ඇස් පාදන්න”+ කියා ඔහුට කීවේය. 42 එවිට යේසුස්, “ඔබේ ඇස්වලට දැන් පෙනීම ලැබෙයි. ඒ ඔබේ විශ්වාසය නිසයි”+ කියා ඔහුට පැවසුවේය. 43 ඒ මොහොතේදීම ඔහුට පෙනීම ලැබිණ.+ පසුව ඔහු දෙවිට ප්‍රශංසා කරමින්+ යේසුස් පසුපස යන්න පටන්ගත්තේය. මෙම සිද්ධිය දුටු සමූහයාත් දෙවිට ප්‍රශංසා කළෝය.