1 රාජාවලිය
16 යෙහෝවා දෙවි, බාෂා රජුට දීමට යන විනිශ්චය ගැන හනානිගේ+ පුත් යේහුට+ මෙසේ දැන්වූවේය. 2 “ඉතා පහත් තත්වයක සිටි ඔබව ඉන් ගොඩ ගෙන+ මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ගේ පාලකයා ලෙස මම පත් කළෙමි.+ නමුත් ඔබ යෙරොබොවම් ක්‍රියා කළ ආකාරයට ක්‍රියා කරමින්+ මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව පාපයට පෙලඹුවේය.+ ඔවුහු මාව උදහසට පත් කළෝය. 3 එබැවින් මම බාෂා රජුව සහ ඔහුගේ ගෙයි වැසියන්ව සහමුලින්ම විනාශ කර දමන්නෙමි. නෙබාත්ගේ පුත් යෙරොබොවම්ගේ පවුලට සිදු වූ දේම මම ඔහුගේ පවුලටත් සිදු කරන්නෙමි.+ 4 බාෂා රජුගේ පවුලට අයත් කෙනෙකු නුවර තුළ මිය ගියොත් ඔහුගේ මළ සිරුර බල්ලෝ කා දමන්නෝය. නුවරෙන් පිටත මිය ගියොත් ඔහුගේ මළ සිරුර පක්ෂීහු කා දමන්නෝය.”+
5 බාෂා රජුගේ ජීවිතයේ අනිකුත් සිදුවීම්ද ඔහු කළ දේවල්ද ඔහුගේ බලවත් ක්‍රියාද ඊශ්‍රායෙල්හි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+ 6 කල් යත්ම බාෂා රජ මිය ගියේය. ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කරන ලදි. ඔහුව තිර්ෂාහි+ තැන්පත් කරන ලදි. ඔහුගෙන් පසුව ඔහුගේ පුත් ඒලාහ් රජකමට පත් විය. 7 බාෂා රජ යෙහෝවා දෙවි ඉදිරියේ නපුරු දේ+ කර ඔහුව උදහස් කළා+ පමණක් නොව නාදාබ් රජුවද ඝාතනය කළේය.+ එබැවින් යෙරොබොවම් රජුගේ පවුලට සිදු වූ දේම බාෂා සහ ඔහුගේ පවුලට සිදු වීමට යන බව යෙහෝවා දෙවි, හනානිගේ පුත් යේහු නම් අනාගතවක්තෘවරයා මාර්ගයෙන් පැවසුවේය.+
8 යූදාහි රජු වූ ආසාගේ විසිහයවන අවුරුද්දේදී බාෂා රජුගේ පුත් ඒලාහ් ඊශ්‍රායෙල්හි රජකමට පත් විය. ඔහු අවුරුදු දෙකක් තිර්ෂාහි සිට පාලනය කළේය. 9 ඔහුගේ අශ්ව රථ සේනාවේ දෙකෙන් කොටසක් භාරව සිටි සිම්රී+ නම් ඔහුගේ සේවකයා ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයක් දියත් කළේය. ඒ අවස්ථාවේදී ඒලාහ්, තිර්ෂාහි පිහිටි තම මාලිගාවේ වැඩකටයුතු බලාගැනීමට පත් කර තිබූ+ ආර්ෂාගේ නිවසේ අධික ලෙස මත්පැන් බොමින් සිටියේය.+ 10 සිම්රී ඒ නිවසට පැමිණ ඒලාහ්ට පහර දී+ ඔහුව මරා රජකම පැහැරගත්තේය. මෙය සිදු වූයේ ආසා යූදාහි රජකම් කළ විසිහත්වන අවුරුද්දේදීය. 11 ඔහු රජකමට පත් වූ වහාම බාෂා රජුගේ පවුලට අයත් සියලුදෙනාවම ඝාතනය කළේය. බාෂා රජුගේ නෑදෑයන් අතරින් කිසි පුරුෂයෙකුටවත්+ ඔහුගේ මිතුරන්ගෙන් කිසිවෙකුටවත් බේරීමට නොහැකි විය. බාෂා රජුගේ පවුලට ඔහු කළ දේ නිසා ඔහුව මරා දැමීමට අයිතිය ඇති කිසිවෙකුව+ ඔහු ඉතුරු කළේ නැත. 12 මෙසේ සිම්රී, බාෂා රජුගේ මුළු පවුලම විනාශ කර දැමුවේය.+ යෙහෝවා දෙවි අනාගතවක්තෘ යේහු+ මාර්ගයෙන් බාෂා රජුට විරුද්ධව තීන්දු කළ දේ එලෙස ඉටු විය.+ 13 බාෂා රජුද ඔහුගේ පුත් ඒලාහ්ද+ කළ සියලු පාප නිසාත් කිසි වැදගැම්මකට නැති දේවතා රූපවලට+ නමස්කාර කර, ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාව උදහස් කරවීමට ඔවුන් ඊශ්‍රායෙල්වරුන්ව පෙලඹවූ නිසාත් ඒ සියල්ල සිදු විය. 14 ඒලාහ් රජුගේ ජීවිතයේ අනිකුත් සිදුවීම්ද ඔහු කළ සියල්ලද ඊශ්‍රායෙල්හි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+
15 යූදාහි රජකම් කළ ආසාගේ පාලනයේ විසිහත්වන අවුරුද්දේදී සිම්රී රජකමට පත් විය. ඔහු තිර්ෂාහි සිට දවස් හතක් පාලනය කළේය.+ ඒ කාලයේ ඊශ්‍රායෙල් හමුදාව පිලිස්තිවරුන් යටත් කරගෙන තිබූ ගිබ්බෙතොන් නගරයට+ විරුද්ධව කඳවුරු බැඳගෙන සිටියෝය. 16 “සිම්රී කුමන්ත්‍රණය කර රජුව මරා දාලා” කියා කඳවුරු බැඳගෙන සිටි සෙනඟට ආරංචි වූ විට, කඳවුරේ සිටි සියලු ඊශ්‍රායෙල්වරු එක් වී හමුදාවේ ප්‍රධානියා වූ ඔම්රීව+ ඊශ්‍රායෙල්හි රජු ලෙස පත් කළෝය. 17 ඉන්පසු ඔම්රී සහ සියලු ඊශ්‍රායෙල්වරු ගිබ්බෙතොන් සිට පැමිණ තිර්ෂා නගරය වැටලුවෝය.+ 18 නගරය අල්ලාගත් බව දැක සිම්රී රජමාලිගාවේ බලකොටුවට ගොස් රජමාලිගාවට ගිනි තැබුවේය. ඔහුද ඒ ගින්නෙන්ම මිය ගියේය.+ 19 ඔහු එලෙස මිය ගියේ යෙරොබොවම්ගේ අඩිපාරේ ගමන් කරමින් යෙහෝවා දෙවි පිළිකුල් කොට සැලකූ දේවල් කළ නිසාය.+ ඒ විතරක් නොව යෙරොබොවම් ඊශ්‍රායෙල්වරුන්ව පෙලඹවූ සියලු පාපවලට ඔහුත් හවුල් වී තිබිණ.+ 20 සිම්රී රජුගේ ජීවිතයේ අනිකුත් සිදුවීම් ගැනද ඔහු දියත් කළ කුමන්ත්‍රණය ගැනද ඊශ්‍රායෙල්හි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+
21 ඊශ්‍රායෙල්හි විසූ ජනතාව කණ්ඩායම් දෙකකට වෙන් වූයේ+ ඒ කාලයේදීය. එක් කණ්ඩායමක් ගීනත්ගේ පුත් තිබ්නීට පක්ෂව සිට ඔහුව රජකමට පත් කිරීමට උත්සාහ කළෝය. අනික් කණ්ඩායම ඔම්රීට පක්ෂව සිටියෝය. 22 අවසානයේදී ඔම්රීට පක්ෂව සිටි අය ගීනත්ගේ පුත් තිබ්නීගේ පක්ෂයේ සිටි අයව පරදවා, තිබ්නීව මරා දැමූහ. එබැවින් ඔම්රී රජකමට පත් විය.
23 යූදාහි රජකම් කළ ආසාගේ පාලනයේ තිස්එක්වන අවුරුද්දේදී ඔම්රී ඊශ්‍රායෙල්හි රජකමට පත් විය. ඔහු අවුරුදු දොළහක් පාලනය කළ අතර ඉන් අවුරුදු හයක් තිර්ෂාහි සිට පාලනය කළේය. 24 පසුව ඔහු සමාරිය* නම් කන්ද රිදී තලෙන්ත දෙකකට ෂෙමෙර්ගෙන් මිලට ගෙන, ඒ කන්දේ නුවරක් ගොඩනැඟුවේය. ඒ නුවර සමාරිය+ යන නමින් එනම්, කන්ද කලින් අයිතිව තිබූ ෂෙමෙර්ගේ නමින් හැඳින්විය. 25 ඔම්රී රජ යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් දිගටම කළේය. ඔහුට කලින් ජීවත් වූ සියල්ලන්ටත් වඩා ඔහු දුෂ්ට දේවල් කළේය.+ 26 ඔහු නෙබාත්ගේ+ පුත් යෙරොබොවම්ගේ අඩිපාරේ ගමන් කළේය. කිසි වැදගැම්මකට නැති දේවතා රූපවලට නමස්කාර කර, ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාව උදහස් කරවීමට ඊශ්‍රායෙල්වරුන්ව පෙලඹවූ යෙරොබොවම්ගේ සියලු පාපවලට ඔහුද හවුල් විය.+ 27 ඔම්රී රජුගේ ජීවිතයේ අනිකුත් සිදුවීම්ද ඔහු කළ දේවල්ද ඔහුගේ බලවත් ක්‍රියාද ඊශ්‍රායෙල්හි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+ 28 කල් යත්ම ඔම්රී රජ මිය ගියේය. ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කරන ලදි. ඔහුව තැන්පත් කරන ලද්දේ සමාරියේය. ඔහුගෙන් පසුව ඔහුගේ පුත් ආහබ්+ රජකමට පත් විය.
29 ඔම්රීගේ පුත් ආහබ් ඊශ්‍රායෙල්හි රජකමට පත් වූයේ ආසා යූදාහි රජකම් කළ තිස්අටවන අවුරුද්දේදීය. ඔහු අවුරුදු විසිදෙකක් ඊශ්‍රායෙල් දේශය පාලනය කළේය. ඔහු පාලනය කළේ සමාරියේ+ සිටය. 30 ඔම්රීගේ පුත් ආහබ් තමාට කලින් ජීවත් වූ සියල්ලන්ට වඩා යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් කළේය.+ 31 ඔහු නෙබාත්ගේ පුත් යෙරොබොවම් කළ පාපවල+ නියැලුණා පමණක් නොව+ සීදොන් ජාතිකයන්ගේ+ රජු වූ එත්බාල්ගේ දියණිය වූ යෙසබෙල්වද+ විවාහ කරගත්තේය.+ ඔහු බාල් දෙවියා+ ඉදිරියේ වැඳ වැටී ඔහුටද නමස්කාර කළේය. 32 එමෙන්ම ඔහු බාල් දෙවියාට සමාරියේ දේවාලයක්+ ගොඩනඟා එහි පූජාසනයක්ද තැනුවේය. 33 එපමණක්ද නොව ආහබ් රජ බොරු නමස්කාරය සඳහා කුලුනක්ද+ සෑදුවේය. මෙසේ ආහබ් රජ තමන්ට කලින් ඊශ්‍රායෙල්හි පාලනය කළ සියලු රජවරුන්ට වඩා ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වූ යෙහෝවාව උදහස් කළේය.+
34 ආහබ් රජුගේ කාලයේදී බෙතෙල් නගරයේ වැසියෙකු වූ හීයෙල් යෙරිකෝ නුවර ඉදි කිරීමට පටන්ගත්තේය. නමුත් ඔහු එහි අත්තිවාරම දමද්දී ඔහුගේ කුලුඳුල් දරුවා වන අබිරාම් මිය ගියේය. නුවර දොරටුව සෑදූ විට ඔහුගේ බාලම දරුවා වන සේගුබ් මිය ගියේය. යෙහෝවා දෙවි නූන්ගේ පුත් යොෂුවා මාර්ගයෙන් පවසා තිබූ දේ එයාකාරයෙන් ඉටු විය.+