ද්විතීය කතාව
30 “ආශීර්වාද+ හා ශාප+ ගැන මා පැවසූ සෑම දෙයක්ම ඒ ආකාරයටම ඉටු වෙයි. එහි සඳහන් ශාප ඔබ අද්දකින විට යෙහෝවා දෙවි ඔබව විවිධ ජාතීන් අතරට විසුරුවාහරියි.+ නමුත් ඒ තත්වයේ සිටින විට මා දැන් ඔබට පවසන සියල්ල ඔබට මතක් වෙයි.+ 2 එවිට යෙහෝවා දෙවි වෙතට නැවත හැරී+ මා අද කියා දෙන මේ සියලු දේවල් පිළිපැදීමට ඔබ වෑයම් කරයි. ඔබද ඔබේ පුතුන්ද මුළු හදවතින්ම දෙවිගේ හඬට කීකරු වෙන්නත් ඒ සඳහා මුළු ජීවිතයම කැප කරන්නත් පෙලඹෙයි.+ 3 එවිට යෙහෝවා දෙවි ඔබට දයාව පෙන්වයි.+ යෙහෝවා දෙවි ඔබ විසිරී සිටින සෑම ජාතියක් අතරින්ම ඔබව එකතු කර,+ වහල්කමින් නිදහස් කරයි.+ 4 ඔබ පොළොවේ ඈත කෙළවරක සිටියත් යෙහෝවා දෙවි ඔබව නැවතත් රැගෙන එයි.+ 5 යෙහෝවා දෙවි ඔබට හිමි කර දුන් දේශයේ ඔබව නැවත පදිංචි කරනවා විතරක් නොවෙයි, ඔහු ඔබට ආශීර්වාද කර ඔබේ පියවරුන්ගේ කාලයටත් වඩා ඔබගේ ගණන බොහෝ සෙයින් වැඩි වීමට සලස්වයි.+ 6 යෙහෝවා දෙවි ඔබෙත් ඔබේ දරුදැරියන්ගෙත් සිත් පවිත්‍ර කරයි.*+ එහි ප්‍රතිඵලයක් ලෙස ඔබේ දෙවි වන යෙහෝවාට ඔබ මුළු හදවතින්ම ප්‍රේම කර ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරයි. එයින් ඔබට ජීවනය අත් වෙයි.+ 7 ඔබට අද්දකින්න සිදු වූ සියලු ශාප යෙහෝවා දෙවි ඔබේ සතුරන් පිටටත් ඔබට වෛර කරන සියලුදෙනා පිටටත් ඔබට පීඩා කරන අය පිටටත් ගෙන එයි.+
8 “ඔබ නැවත යෙහෝවා දෙවි වෙතට ළං වී ඔහුගේ හඬට සවන් දෙමින් මා අද ඔබට කියා දෙන දෙවිගේ සියලු අණපනත් පිළිපදින්න පෙලඹෙයි.+ 9 යෙහෝවා දෙවිගේ ආශීර්වාද ඔබට ලැබෙන නිසා ඔබ කරන සෑම දෙයක්ම ඔබ සිතනවාටත් වඩා සාර්ථක වෙයි.+ ඒ නිසා ඔබට බොහෝ දරුදැරියන් බිහි වෙයි. ඔබ ඇති කරන සතුන්ද ගණනින් බොහෝ සෙයින් වර්ධනය වෙයි.+ ඔබේ වගා කටයුතුවලින් නෙළාගන්නා පලදාවද බහුල වෙයි.+ යෙහෝවා දෙවි ඔබේ මුතුන්මිත්තන්+ ගැන සතුටු වී ඔවුන්ට ආශීර්වාද කළා සේම ඔබටත් ආශීර්වාද කරන නිසා මහත් සමෘද්ධියක්+ භුක්ති විඳින්න ඔබට හැකි වෙයි. 10 ඒ කාලයේදී නීතිය සඳහන් මෙම ලියවිල්ලේ තිබෙන සියලුම අණපනත් පිළිපදින පිණිස ඔබ යෙහෝවා දෙවිගේ හඬට සවන් දෙයි.+ ඔබ මුළු හදවතින්ම යෙහෝවා දෙවි වෙතට හැරී ඔහුට සේවය කරන්න ඔබේ මුළු ජීවිතයම කැප කරයි.+ එහි ප්‍රතිඵලයක් ලෙස ඒ සියලු ආශීර්වාද ඔබට අද්දකින්න පුළුවන් වෙයි.
11 “මා අද ඔබට කියා දෙන මේ අණපනත් ඔබට පිළිපදින්න බැරි තරම් අමාරු ඒවා නොවෙයි. ඒ නීති දැනගන්න දුර බැහැර ප්‍රදේශයකට යන්නවත්+ 12 ඉහළ අහසට නඟින්නවත් අවශ්‍ය නැහැ. ඒ නිසා, ‘කවුරුන් හෝ ඉහළ අහසට නැඟ ඒ නීති දැනගෙන අපිට කියා දෙන්න. එතකොට අපි ඒවා පිළිපදින්නම්’ කියා පැවසීමට කිසිම අවශ්‍යතාවක් නැහැ.+ 13 ඒ වගේම ඒවා තේරුම්ගන්න මහ සමුද්‍රය තරණය කරන්න අවශ්‍ය නැහැ. ‘කවුරුන් හෝ මහ සමුද්‍රය තරණය කර ඒ නීතිවල තේරුම දැනගෙන ඇවිත් අපට කියා දෙන්න. එවිට අපි ඒවා පිළිපදින්නම්’ කියා පැවසීමටත් කිසිම අවශ්‍යතාවක් නැහැ. 14 මන්ද නීතියේ සඳහන් සියලුම වචන ඔබ ළඟම තිබෙනවා. ඒ වචන ඔබේ සිතෙත් දිව අගත් තිබෙනවා.+ ඒ නිසා ඒවා පිළිපැදීම අමාරු දෙයක් කියා පවසන්න ඔබට බැහැ.+
15 “අද මා ඔබ ඉදිරියේ මාර්ග දෙකක් තබනවා. එකක් යහපත් ප්‍රතිඵල අත් කර දෙන ජීවනයට යන මාර්ගය. අනික නරක ප්‍රතිඵල අත් කර දෙන මරණයට යන මාර්ගය.+ 16 ඒ නිසා අද මා ඔබට කියා දෙන යෙහෝවා දෙවිගේ සියලුම අණපනත්වලට සවන් දෙන්න. ඔබේ දෙවි වන යෙහෝවාට නිතරම ප්‍රේම කරමින්+ ඔහු ලබා දෙන මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙන්න. ඔබ එසේ ඔහුගේ සියලු අණපනත්+ හා තීන්දු පිළිපදින්න+ තීරණය කළොත් ඔබට ජීවනය ලැබෙනවා+ පමණක් නොව ඔබේ ගණනද බොහෝ සෙයින් වැඩි වෙයි. ඒ වගේම ඔබට හිමි වන දේශයේදී යෙහෝවා දෙවි ඔබට අනිවාර්යයෙන්ම ආශීර්වාද කරයි.+
17 “නමුත් ඔබ සිතින් මුළා වී දෙවිට සවන් දෙන්නේ නැතුව+ වෙනත් දෙවිවරුන් ඉදිරියේ වැඳ වැටී නමස්කාර කළොත්+ 18 ඔබ සහමුලින්ම නැති වී යන බව මට සහතිකවම කියන්න පුළුවන්.+ යොර්දාන් ගඟෙන් එගොඩ වී ඔබ හිමි කරගන්නා දේශයේ දිගු කාලයක් ජීවත් වෙන්න ඔබට හැකි වෙන්නේ නැහැ. 19 මා දැන් ඔබට කියන දේට ස්වර්ගයේ හා පොළොවේ වාසය කරන සියලුදෙනාම සාක්ෂිකරුවන් වෙයි.+ ඔබ ඉදිරියේ මාර්ග දෙකක් තිබෙනවා. එකක් ජීවනයේ මාර්ගය. අනික මරණයේ මාර්ගය.+ මෙයින් එකක් තෝරාගන්න. ඔබ තෝරාගන්නා මාර්ගය අනුව ඔබට ආශීර්වාද+ හෝ ශාප+ හිමි වෙයි. ඔබ තෝරාගත යුත්තේ ඔබටත් ඔබේ දූපුතුන්ටත්+ දිගු කල් ජීවත් වීමට+ හැකියාව ලබා දෙන ජීවනයට යන මාර්ගයයි. 20 ඒ සඳහා ඔබේ දෙවි වන යෙහෝවාට+ ප්‍රේම කරන්න. ඔහුගේ හඬට සවන් දී ඔහුට ළංව සිටින්න.+ ඔබට ජීවනයත් පොළොවේ බොහෝ කල් ජීවත් වීමේ ප්‍රස්තාවත් ලබා දෙන්නේ ඔහුයි.+ ඔබ එසේ කළොත් යෙහෝවා දෙවි ඔබේ මුතුන්මිත්තන් වන ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ්ට පොරොන්දු වූ දේශයේ දිගු කාලයක් ජීවත් වෙන්න ඔබට හැකි වෙයි.”+